වර්ෂ 2023 ක්වූ October 04 වැනිදා Wednesday
ඝෝෂාකාරී ගීත කවදාවත් මගෙන් ලියවෙන්නේ නෑ

ගම්පහ බණ්ඩාරනායක මධ්‍ය මහා විද්‍යාලයෙන් මෙරටට බිහි වූ උගතුන් වියතුන් කලාකරුවන් බොහෝය. ඔවුහු විවිධ ක්ෂේත්රවල මේ වන විට අස්සක් මුල්ලක් නෑර ම සිටිති. විවිධ වෘත්තීන්වල යෙදෙන වෘත්තිකයන් තම සහජ දක්ෂතාවයන් විවිධ ඉසව් කරා ගෙන යයි. අද අපට හමුවන ඔහු ද බණ්ඩාරනායක මධ්‍ය මහා විද්‍යාලයේ දීප්තිමත් ශිෂ්‍යයෙකි. කුඩා කල සිටම කලාවට ඇති නැඹුරුතාව නිසා ගීත රචනාවලට රුචිකත්වයක් දැක්වූවෙකි. උසස් පෙළ කලා විෂය ධාරාව හැදෑරුවත් විශ්ව විද්‍යාලයට ඇතුළත් වී සමාජගත වන්නේ නීතිඥවරයෙකු ලෙසයි. ඔහු නමින් ශ්‍රීධර සේනාරත්නයි.
මේඝ යටින් තරු සේ සැගවීයන්
වේග සරින් නුබ ගැබට වැදීයන්
රහසක් වී සුවසේ සැතපීයන්
දහසක් මව්වරු කිරට ලැබීයන්
සාර කෙතේ නිල් සළුව ඇදේයා
මාල ගිරා සොඳ සීන ගෙනේයා
සිනිදු සදෙන් බට සාවුන් සේයා
දිනිදු නැගේ සෙට දොරමඩලේයා
ගොස නගමින් පැන දියෙහි කෙළින්නා
රසදුන දුල්මිණි කිරුළක් වන්නා
දස මාමාවරු යුධ කැදවන්නා
නසන රුපුන් දිනු බිම සරසන්නා
මේඝ යටින්....
ඔබ තුළ ජීවත්වන කලාකරුවා හඳුනා ගත්තේ කොහොමද?
මම පාසල් අධ්‍යාපනය හදාරන කාලේ කලාවට සෑහෙන නැඹුරුතාවයකින් වැඩ කළා. පාසලේ විවිධ සංගම්වල මගේ කලා හැකියාවන් ඔප් නංවා ගත්තා. ඒත් විශ්ව විද්‍යාලයේ දි මගේ විෂය පථය වෙනස් වුණ නිසා මට එයට නැඹුරුවීමට තරමක අපහසුතාවයක් තිබුණා.මම මේ ලියපු ගීතයත් විශ්වවිද්‍යාලයේ කාලේ තුළම තමයි මගේ අතින් රචනා වෙන්නේ.
“මේඝ යටින් තරුසේ සැඟවී එන්න” උන්මාද චිත්‍රාගේ කතා පුවත තමයි මං මේ ගීතයට පාදක කරගෙන රචනා කරල තියෙන්නෙ.
ඒ ලියපු වකවානුවේ මේ ගීතය කාටවත් කියන්න දෙන්න හිතුණෙ නැද්ද?
මම මේ ගීතය 2004 වර්ෂයේ ලියල පණ්ඩිත් අමරදේව ශූරීන්ට දෙන්න හිතාගෙන හිටියා. දවසක් මට පණ්ඩිත් අමරදේව ශූරින් ජෝන් ද සිල්වා සමරු රඟහලේ දී මුණ ගැහුණා. එදා මම මේ ගීතය එතුමා අතට දුන්නා. එදා මට එතුමාගෙන් හොඳ ප්‍රසාදයක් ලැබුණා. මේ වගේ ගීත ලියන එක ගැන. ඒත් මගේ අවාසනාවට එම ගීතය එතුමාගේ හඬින් කියවගන්න බැරි වුණා.පසුව මම තීරණය කළා වෙනත් කෙනෙක් ලවා මෙම ගීතය ගායනා කරවන්න. ඒ ඉන්න අතරතුර තමයි මට සුභානී අමරදේව හමුවන්නේ. එදා සිදු වෙච්ච සියලු දේ මම ප්‍රකාශ කළාට පස්සේ එතුමිය එම ගීතය ගායනා කරන්නට බාරගත්තා.අද ඇයගේ හඬින් මෙම ගීතය පටිගත කරලා අවසානයි. මේ වන විට ශ්‍රාවකයන්ට අසන්නට අවස්ථාව ලැබිලා තියෙනවා. මම ලබපු ජයග්‍රහණයක් හැටියට මම දකිනවා මෙම ගීතය එතුමාගේ දියණිය ගේ හඬින් ගායනා කිරීමට හැකිවීම.
දැනට නිර්මාණ කීයක් කර තියෙනවද?
මේ වන විට මම පද රචනා පහකට වැඩිය කරලා තියෙනවා.දෙවැනි ගීතය ආනන්ද පෙරේරා සංගීතය සහ තනු නිර්මාණය කරල ගායනා කරන්නේ.එම ගීතයේත් වැඩ ගොඩක් මේ වන විට අවසන් කරලා තියෙනවා .තව ටික කාලයකින් එම ගීතයත් රස විඳීන්නට පුළුවන්.
නීතිඥයකුගේ භූමිකාවේ ඉඳගෙන කොහොමද කලාව කරන්නේ?
කලාවෙ තියෙන්නේ එදිනෙදා දෛනික ජීවිතය හමුවෙන ජීවිත හා වස්තූන් පිළිබඳ කතන්දරයි. සිදුවීම් හා නැති වීම් පාදක කරගෙන නිර්මාණය කරනු ලබන නිර්මාණයන්ය.උසාවියකින් ඇහෙන්නෙත් මිනිසුන්ගේ දුක්ඛ දෝමනස්ස පමණයි. සාධාරණ හා අසාධාරණ සමාජයන් හි ජීවත්වන මිනිසුන්ගේ කතන්දර කලාවට ගොනු කරන්නට මගේ මනස ක්‍රියාත්මක වෙනවා. උසාවියට පමණක් සීමා වන නීතිඥවරයා ඉන් පරිබාහිර ලෝකයට එනකොට මම ජීවත් වෙන්නේ කලාව තුළයි. මේ සියලු දේවල් කලාත්මක ඇසින් දකින නිසා මගේ මනසින් මගේ පෑනෙන් ගී පද කතන්දර ලියවෙනවා. අප හදවත්වල ජීවත්වන කලාකරුවා ජීවත් කරවන්න තමයි මං මේ ගීත ලියන්න පුරුදු වුණේ.
ඔබේ ගීතවලට පාදක කරගන්න කැමති මොනවද?
වැඩි නැඹුරුතාවක් තියෙන්නේ 60,70,80,90 දශකවල ලියැවුණු ගීත හා සමාන ගීත තමයි මම ලියන්නත් කැමති. ඒ වගේම සංස්කෘතිය ඉතිහාසය. පදනම්වන ගීතත් ලියන්න වැඩි රුචිකත්වයකින් පෙලඹිලා ඉන්නවා. මේ ලියපු ගීත ඒ හා සමානයි.
සරල ගීත මෙන්ම විරාහා ගීතත් ලිවීමේ අදහසක් තුළත් මම ජීවත් වෙනවා. නව පරපුර හොයන ඝෝෂාකාරී සංගීතයට නම් මගේ අතින් ගීත ලිය වෙන්නේ නැති වෙයි. මව් ගුණ ගීත සහ පිය ගුණ ගීත ලියවෙන්නැති වකවානුවක වැඩිහරියක් මම ඒ දේට රුචිකත්වයක් දක්වනවා.
නව පරම්පරාවට ගීත රචනා කරන්න අදහසක් නැද්ද ?
ඔවුන් සොයන ඝෝෂාකාරී සංගීත රටාවට මගේ අතින් ගීත ලියවෙන්නැති වෙයි. නමුත් ඉතිහාසය වර්තමානය හා සිදුවීම් වලට උචිත වෙන ගී පදවැල් ලියලා දෙන්න කිව්වොත් නම් මම ලියනවා. නව පරම්පරාව අද දියුණුයි ඔවුන් සොයන්නේ වින්දණීය භාවයෙන් හා ගුණාත්මක බවින් ඉහළ දේවල්ය. ඒ අතර ඉන්න කිහිප දෙනෙක් තමයි මේ වෙනත් මාර්ගවල ගිහින් ගීත ලෝකය ඝෝෂාකාරී පරිසරයක් හදන්න දඟලන්නේ. අද ගීතය ලියලා හෙට රෙකෝඩ් කරල ප්‍රචාරය කරලා එක දවසින් නැතිවෙන ගීත ලියලා වැඩක් නෑ ගීත රචකයකු හැටියට
ජන සංගීතය පාදක කරගෙන පද රචනා කරන්න ඔබේ අදහසක් නැද්ද?.
දරු නැළවිලි ගීත, නාඩගම් සම්ප්රදායේ එන එක එක කතා වස්තූන් මෙන්ම ගොයම් කවි, පැල් කවි, පාරු කවි, පතල් කවි, කරත්ත කවි ආශ්රයෙන් ඉදිරියට මම නිර්මාණ කිහිපයක් කරන්න බලාපොරොත්තු වෙනවා. ජන මූලාශ්‍ර වල තියෙන එක එක කතා වස්තූන් ගෙනහැර දක්වන්න තමයි මගේ ප්රයත්නය වෙන්නේ.
උසාවියේ දී සිදු වෙච්ච සිදුවීම් ඔබේ පද රචනාවලට මේතාක් ඇතුළත් කරගෙන නැද්ද?
මම වෘත්තියෙන් නීතිඥයකු උණාට මම එවැනි දේවල් තාම ඇතුළත් කරගෙන නැහැ.
ඉදිරියේදී මම කරන නිර්මාණ කිහිපයකටම එහි කථා වස්තූන් ඇතුළත් කරලා පදරචනා කරන්න බලාපොරොත්තු වෙනවා. රූප රචනය තුළින් තමයි මේ නිර්මාණ කරන්න බලාපොරොත්තු වෙන්නේ. රූප රචනය නැතුව අද නිර්මාණ කරන්න හරි අමාරුයි
ඔබේ මේ ගමනට කවුද උදව් කරන්නෙ?
කුඩා කාලයේදී මගේ දෙමව්පියන් දෙන්නා කලාවට සෑහෙන්න උදව් කළා. වර්තමානය වන විට මාගේ පිටු පස්සේ ඉදන් මගේ බිරිඳ සෑහෙන සහයක් දෙනවා. ඊට අමතරව ඉතින් මගේ යාලු හිත මිත්‍රාදීන් උදව් කරනවා.
ආධුනික ගී පද රචකයකු හැටියට ප්‍රවීණයන්ගෙන් ලැබෙන සහයෝගය කොහොමද?
ඇත්තටම හොඳ සහයෝගයක් මට ප්‍රවීණයන්ගෙන් ලැබෙනවා. ඒ සියලු දෙනාගේ පතපොත පරිශිලනය කරන්න පවා මට අද වන විට ලැබිලා තියෙනවා. රෝහණ වීරසිංහ වැනි සංගීත අධ්යක්ෂවරු පවා ගීත වලට මට හොඳ සහයෝගයක් ලබා දෙනවා. ආධුනිකයි කියන ලේබලයෙන් එහාට ගිහිල්ලා තමයි මට උදව් කරන්නේ.
පද රචකයන්ගේ අයිතිය ගායකයන්, තනු නිර්මාපකයන් අයිති කර ගන්නවා. නීතිඥයෙක් හැටියට ඔබ ඒ ගැන මොකද හිතන්නේ?
ඒක නීති්යානුකූළ සදාචාරාත්මක කාරණයක් නෙවෙයි. වෙන කෙනෙකුගේ නිර්මාණයක් සොරාගැනීම බුද්ධිමය දේපළ යටතේ ඕනම මොහොතක නඩුවක් දාන්නත් පුළුවන්. තව කෙනෙකුගේ නිර්මාණයක් වෙනස්කම් කරලා තමන්ගෙ නිර්මාණයක් බවට පරිවර්තනය කරනවා කියන එක සමාජයේ සුදුසු නැති වැඩක් ලෙසයි මම දකින්නේ. සමහර වෙලාවට ඔහු දන්නෙ නැතුව ඇති ඒත් සමාජය ඔහු කරන ක්‍රියාකාරකම් සියල්ල දන්නවා. සාමූහික වැඩක් තුළ නිර්මාණයක අයිතිකරුවන් කොටස්කරුවන් ඉන්නවා නම් සමසේ බෙදී යා යුතුයි. එසේ නොවනවා නම් නීතියේ ආධිපත්‍ය තුල ක්‍රියා කිරීමට හැකි .
ඔබේ මේ ගමනේ අලුත් බලාපොරොත්තු මොනවා ද?
අලුත් නිර්මාණ කිහිපය ක් කරලා සංයුක්ත තැටියක් බවට පරිවර්තනය කිරීම තමයි මගේ ගමනේ බලාපොරොත්තුව. ඕනම මොහොතක දුක සතුට බෙදා ගන්න තියෙන්නෙ කලාව පමණයි. හැමදාම දුක අහල අහලා එපා වෙලා ඉන්න මට මිනිසුන්ට සතුටක් දෙන්න පුළුවන්නම් කොච්චර හොඳයිද කියලා හිතෙනවා. ඒ දේ වෙනුවෙන් දිගටම නිර්මාණ කිරීම තමයි මගේ එකම අරමුණ