වර්ෂ 2023 ක්වූ December 03 වැනිදා Sunday
ප්‍රංශ නව රැල්ලේ පියා ෂාන්-ලුක් ගොඩාඩ් ජීවන ව්‍යාකරණය ලියා අවසන් කරයි

සම්ප්‍රදායික බැමි බිද දමා සිනමාවේ ව්‍යාකරණය වෙනස් කළ ඔහු එතෙක් පැවති සාම්ප්‍රදායික සිනමාව මරා දැමීය. සිනමා ඝාතකයා ඇතැමුන් ඔවුන් නම් කළේ එලෙසිනි. එහෙත් ඔහු නව ව්‍යාකරණයක් ප්‍රංශ සිනමාවට එක් කළේ ය. සිය වෘත්තීය දිවිය පුරාම සිනමා ව්‍යාකරණ නීතිය සිය අනසකට ගත් මේ මහා සිනමාවේදියාට සිනමාව රසායනාගාරයක් බඳු විය. එනිසා ප්‍රංශ නව රැල්ලේ පුරෝගාමියා යන විරුද නාමය ඔහුට ලැබිණි. ජීන් - ලුක් ගොඩාඩ් නම් ඔහු සැප්තැම්බර් 13 වැනිදා ස්විස්ටර්ලන්තයේදී සදහටම දෑස් පියා ගත්තේ ය. 2022 වසර මහා කලාකරුවන් දැවැන්ත යුග පුරුෂයන් දිවියට සමුදුන් වසරකි. විශ්ව ගීත කෝකිලා ලතා මංගේෂ්කාර්, ලෝක සාමයේ පරෙවියා මිකායෙල් ගොර්බචොෆ්, හිරු මෙන් බැබළුණු දෙවැනි එලිසබෙත් මහ රැජන ජීවිතයට සමු දුන්නේ මේ වසරේදී ය.
ඒ නම් අතරට එක් වූ ඊළඟ දැවැන්තයා වූයේ ගොඩාඩ් සිනමාවේදියා ය.
ෂාන්-ලුක් ගොඩාඩ් උපත ලැබුවේ ඉහළ පාන්තික ස්විස් පවුලක ය. ඔහු ගේ පිය පාර්ශ්වයේ මුත්තණුවන් නාසි පාක්ෂිකයකු විය. එය ඔහු ගේ ලජ්ජාවටත් බියටත් හේතුවූ නිසා ඔහු නිවෙසින් පිට විය. ගැටවරයකුව සිටියදී ම ඔහු සිනමාවට පෙම් බැන්දේ ය. ගොඩාඩ් නව යෞවනයා වේල්ලක් ඉදි කිරීමට උදව්කරුවකු වශයෙන් සේවය කර වැටුපක් ලැබුවේ ය. ලද වැටුපෙන් ඔහු කළේ වේල්ල ඉදි කිරීම සම්බන්ධ වාර්තා වැඩ සටහනක් කිරීම ය. ඔහු කෙටි සිනමා පට දෙකක් ද නිර්මාණය කළේ ය. පැරීසියේ සිටියදී ඔහු සිනමාවට උමතු වූ තමන් වැනි ළාබාල තරුණයන් කිහිප දෙනකුම හමුවිය. මහා සිනමා නගරයක් බදු පැරීසිය සිනමා රූගත කිරීම්වලට පාරාදීසයක් විය.
ගොඩාඩ් ගැටවරයා මුල් ම සිනමා විචාරය ලිව්වේ වයස අවුරුදු 19 දී ය. ළාබාල වයසකදී වුවත් ඔහු ගේ විචාරය පරිණත විය.
ලෝක යුද්ධයට පසු ප්‍රංශය ආර්ථික වශයෙන් වෙවුළුම් කෑ යුගයක් විය. සමාජ සහ සංස්කෘතික වශයෙන් සිදු වූ හානිය ඊට වඩා බරපතළ විය. උසස් සිනමා පට නිර්මාණය නො විණි. සිනමා පට නැවත නැවත බැලීමත් සාහසික ලෙස විවේචනය කරමින් විචාර ලිවීමත් ගොඩාඩ් ගේ ජීවිතය බවට පත්වී තිබිණි. ඔහු Schroeder විසින් පවත්වා ගෙන යනු ලබන සිනමා සමාජයට බැදුණේ ය. Schroeder සෑම සිනමා පටයක් ම තිරගත වීමට පෙර හඳුන්වා දුන් අතර සිනමා පට පිළිබඳ විවෘත සංවාද පවත්වන්නෙක් විය. පසුව Schroeder එරික් නම් ආරූඪ නාමයෙන් de Gazette du Cinema නමින් සඟරාවක් ඇරැඹීය. සඟරාව මුද්‍රණය කළේ පස් වරක් වුව ද ඒ සඟරා පහේ ම ගොඩාඩ් ගේ විශේෂාංගයක් පළවී තිබිණි. ගොඩාඩ් ගේ නව සිනමා දැක්ම ඒ සෑම විශේෂාංගයකින් ම කැපී පෙනිණි.
ගොඩාඩ් සහ ඔහු ගේ මිතුරන් සිනමා පට නැරැඹීමෙන් සිනමාව ගැන ලිවීමෙන් සෑහීමකට පත් වූයේ නැත. ඔවුනට තමන් ගේම කියා සිනමාපටයක් නිර්මාණය කිරීමේ දැඩි උනන්දුවක් (උණක් ) තිබිණි. ගොඩාඩ් එරික් රෝමර් සහ ජැක් රිවෙට් නිපදවන කුලුඳුල් සිනමා පටයට සහාය විය. පනහ දශකයේදී බසින් ගේ කතෘත්වයෙන් සිනමා සඟරාවක් ඇරැඹිණි. 1956 දී ගොඩාඩ් ලියූ “Montage, my fine care” ලිපිය දැඩි අවධානයක් දිනා ගත්තේ ය. ඔහු හොලිවුඩ් සිනමාව විවේචනය කර තිබුණු අතර ඇල්ෆ්‍රඩ් හිච්කොක්, ෆෝඩ්, හෝවඩ් හෝව්ක්ස් වැනි දැවැන්තයන් විවේචනය කර තිබිණි.
නීතියට එරෙහිව ත්‍රාසජනක සහ භයානක ලෙස සටන් වැදුණු සොරකු ගේ කතා පුවතක් ඔහු ගේ කන වැටුණේ ඔය අතරේ ය. පොලිස්කරුවකු යතුරු පැදියකින් සොරා පසු පස හඹා ගොස් ඇති අතර සොරා ගේ පෙම්වතිය විසින් ඔහු පාවා දීම නිසා පොලිස් වෙඩි පහරින් සොරා මරණයට පත් විය. ගොඩාඩ් ගේ මිතුරන් දෙදෙනෙක් සිදු වීම ඇසුරින් පිටපතක් ලිව්ව ද කාලයා ගේ ඇවෑමෙන් ඒ පිළිබඳ තිබූ කැමැත්ත තුනී වී ගියේය. එහෙත් ගොඩාඩ් දිගින් දිගට ම ඒ කතාවට ඇලුම් කළේ ය.
ගොඩාඩ් අවම පිරිසකින් සැබෑ සිදුවීම සිදු වූ තැන රූගත කිරීම් ඇරැඹීය. සිනමා පටය සංස්කරණයේදී ඔහු අලුත් තාක්ෂණයක් හඳුන්වා දුන්නේ ය. jump cut ඒ තාක්ෂණයයි. විශිෂ්ට සිනමා කරු සත්‍යජිත් රායි විහිළුවට ගොඩාඩ් ගේ සංස්කරණය තම සිනමා ගමන පහසු කළ බව වරක් පවසා තිබිණි.
Vivre sa vie (1962),Bande à part (1964), Pierrot le Fou (1965) වැනි සිනමා පට ගණනාවකින් ගොඩාඩ් ප්‍රංශ සිනමාව පමණක් නොව ලෝක සිනමාව ම සම්භාවනීය කළේ ය. 2002 සිදු කරන ලද Sight & Sound ඡන්ද විමසීමේදී ලොව සර්වකාලීන අදියුරුවරුන් දස දෙනා අතර ගොඩාඩ්ට තෙවැනි මනාපය හිමිවී තිබිණි. 2010 වසරේදී ඇකඩමි ගෞරව සම්මානය ගොඩාඩ්ට පිරි නැමුණ ද ඔහු සම්මාන උලෙළට සහභාගී වූයේ නැත.
වයස 91 දීත් ගොඩාඩ් සිනමාව පිළිබඳ සිහින මැවීය. එහෙත් අවාසනාවකට ගත මහලු විය. ෂාන්-ලුක් ගොඩාඩ් සැප්තැම්බර් 13 දින ඒ සුන්දර සිහිනයෙන් අවදි නො වී ජීවිතයෙන් සමුගත්තේ ය. ඔහු මිය ගියේ ද සොබා දහමට එරෙහිවය. ස්විස්ටර්ලන්තයේ නිත්‍යානුකූලව වෛද්‍ය හේතූන් මත සියදිවි නසා ගැනීමට අවසර ඇත. ගොඩාඩ් සිය දිවි නසා ගෙන ඇත්තේ ස්විස් නීතියට අනුකූලව ය. ගොඩාඩ් ගේ නීතිඥවරයා ඔහු රෝග ගණනාවකින් පීඩා විඳින බව පැවසුවත් සත්‍ය වශයෙන් ඔහුට කිසිදු රෝගයක් නැති බව පවුලේ අය පවසා තිබෙණි.
ෂාන්-ලුක් ගොඩාඩ් ගැන කරුණු නවයක්
1. ඔහු තරුණිය සහ තුවක්කුව මගින් සිනමාව වෙනස් කළේ ය.
සිනමා පටයක් නිර්මාණය කිරීමට නම් අවශ්‍ය වන්නේ තරුණියක් සහ තුවක්කුවක් පමණක් යැයි වරක් ඔහු ලියා තිබිණි. ලියා තිබූ පද සැබෑ කරමින් ඔහු බ්රෙත්ලස් Breathless (À Bout de Souffle) නම් සිනමා පටයෙන් 1960 දී සිනමා ගමන ඇරැඹී ය.
පැට්‍රීෂියා නම් තරුණිය අපරාධකාරියකි. ඇය ගේ පෙම්වතා මයිකල් පොලිස් නිලධාරියකුට වෙඩි තැබීමට හඹා යන්නෙකි. පැට්‍රිෂියා මයිකල් ට ද්‍රෝහි වන අතර පොලිසිය මහ මඟදී මයිකල්ට වෙඩි තබයි. බ්රෙත්ලස් අපරාධ දෘශ්‍ය කාව්‍යයකි. එය ගොඩාඩ් ගේ අනෙක් බොහෝ නිර්මාණවල කථා වස්තුවල මෙන් ම සංස්කෘතික ගවේෂණයක් විය. ප්රතිරූප සමඟ කෙරෙන අත්හදා බැලීමක්, සිනමාව විසින්ම සිදුකරන සිනමා පරීක්ෂණයක් විය. ප්‍රංශ සිනමා නව රැල්ලට මුල පිරෙන්නේ බ්රෙත්ලස් නිර්මාණය වීමත් සමඟ ය.
බ්රෙත්ලස් ගේ පළමු සිනමා අත්හදා බැලීම සාර්ථක වූවා පමණක් නොව ප්‍රේක්ෂකයා සෙනෙහසින් වැලඳ ගත්තේ ය. සිනමා පටය නිර්මාණය වී හැට වසරකට ආසන්න කාලයක් ගතවී තිබුණ ද තවමත් එය සම්භාව්‍ය නිර්මාණයක් ලෙස පිළිගනියි. එපමණක් නො ව එය නරඹන වාරයක් පාසා නරඹන්නන්ට ගෙන එන්නේ නවමු අත්දැකීමකි.
2. සම්මතයට එරෙහි කප්පාදුව
බ්රෙත්ලස් සිනමා පටයේ වඩාත් ම විප්ලවීය කාර්ය භාරය වූයේ ණභථන ජභබ ලෙසින් හදුන්වන සංස්කරණ තාක්ෂණයයි.
3. තිර පිටපත නැවත ලිව්වේය.
බ්රෙත්ලස් රූ ගත කරන අතරවාරයේ ම ගොඩාඩ් විසින් පිටපත ලිව්වේ ය. ඔහු නළු නිළියන්ට දෙබස් ලබා දුන්නේ රූ ගත කරන අතරවාරයේම ය. මෙය සිනමා රීතියෙන් උඩුගංබලා යාමක් විය. සාම්ප්‍රදායික සිනමාවේදියා තිර පිටපතට තදින් ම බැදී සිටින්නෙකි. මිල අධික චිත්රාගාරවල තිරපිටපතට අකුරට ම අනුගත වෙමින් විශාල සිනමා කණ්ඩායමක් කතාපුවරුවත් සමඟ කරන සටනක් ලෙස සිනමා රූගත කෙරීමක් හැඳින්වූ කාලය ඔහු නිම කළේ ය.
ඔහු ගේ සිනමා පටවල රඟන නළු නිළියන් බොහෝවිට දර්ශන තලයට පැමිණෙන්නේ දෙබස් ගැන කිසිත් නොදැන ය.
4.සිනමා උමතුවක් තිබිණි.
ගොඩාඩ් සම්මතයට පහර දෙන්නෙක් වූවා විය හැකිය. එහෙත් ඔහු එසේ වූයේ සිනමාවට බැඳි පරම ප්‍රේමය හේතුවෙනි. ඔහු කෙතරම් කෑදර සිනමා ලෝලියකු ද කිවහොත් එක ම සිනමා පටය කිහිප වරක් බලමින් සතුටක් ලැබුවේ ය.
සිනමාව කෙසේ විය යුතු ද යන්න සිනමා පට දිගින් දිගටම නැරැඹීමේදී ඔහු ගේ චිත්ත සන්තානයේ නිදන්ගත වූ අතර ඔහු ඒ අදහස් ක්‍රියාවට නැංවී ය.
5. නව නිර්මාණකරුවෙකි.
බ්රෙත්ලස්, සිනමාවේදියකු ලෙස ප්‍රංශ සිනමාවේ පමණක් නොව අන්තර්ජාතිකව ද ඔහු ගේ නම ස්ථාපිත කළේ ය. එහෙත් ඔහු නිර්මාණ දිවිය සිනමාවට පමණක් සීමා නො කළේ ය. IMDB හි ඔහු ගේ කාර්යයන් 100 කට වඩා ලැයිස්තුගතකර තිබෙයි. කෙටි වාර්තා වැඩසටහන්, රූපවාහිනී මාලාවන් සහ හතළිහකට අධික කථානාද සිනමා පට ඒ අතර ඇත.
2014 වසරේදී ජීවිතයේ අසූව දශකයේ පසු වෙද්දී ඔහු සිය සුනඛ සුරතලා යොදා ගෙන Goodbye to Language නම් ත්‍රිමාන සිනමා පටය නිර්මාණය කළේ ය.
6. ඔහුට අවශ්‍ය වූයේ විචාරයයි.
ගොඩාඩ් ගේ සිනමා පට තේරුම් ගැනීමට අසීරු විය හැකිය. ඔහු සිනමා පටයේ ආදායම් වාර්තාවලින් සතුටු වුණ ද පසු කාලීනව බලාපොරොත්තු වූයේ ප්‍රේක්ෂක විචාරයයි.
සිනමාවට ස්නේහය පුද කිරීමට පෙර ඔහු ඔහු කියවීමට ඇලුම් කළේ ය. ජර්මානු වේදිකා නාට්‍ය රචක බර්ටෝල්ට් බ්‍රෙෂ්ට් ගොඩාඩ් ගේ පරමාදර්ශී චරිතයක් විය. බ්‍රෙෂ්ට් ද ප්‍රේක්ෂකයන් ගේ අදහස් උදහස් ගැන දැඩි අවධානයකින් සිටි අයෙකි.
7. සිනමා නිර්මාණවල ඔහු ද ජීවත් විය.
ඔහු 1963 දී නිර්මාණය කළ Le Mépris සිනමා පටයේ මයිකල් පිකෝලි රඟපෑවේ ප්‍රංශ තිර රචකයකු ගේ චරිතයකි. වාණිජත්වය, නිර්මාණකරණය, විවාහය කඩාකප්පල් වීම මයිකල් මඟින් නිරූපණය වුව ද මයිකල්ගෙන් නිරූපණය වූයේ ගොඩාඩ් ගේ චරිතයයි. ඔහු ගේ සිනමා පට ගණනාවක ම රඟපෑ ඇනා කැරිනා සමඟ තිබූ සබඳතාව ඒ වන විට දෙදරා ගොස් තිබිණි.
8. ඔහු ප්‍රසන්න පුද්ගලයකු නොවිය හැකිය.
පෞද්ගලික දිවියේත් වෘත්තීය දිවියේත් ඔහු සමඟ ගනු දෙනු කිරීම පහසු කරුණක් නො විය හැකි ය. ඔහු ගේ විවාහයන් දෙකම බිඳ වැටිණි. පළමු බිරිය ඇනා කැරිනා සහ දෙවැනි බිරිය ඇනී වියැසෙම්ස්කි දෙදෙනා ම ඔහු ගේ සිනමා පටවල තාරකාවන් විය.
1968 Sympathy for the Devil ලන්ඩනයේ පෙන්වද්දී නිෂ්පාදක ලෙයින් කුවෙරීස්ට ගොඩාඩ් මිට මොළවා පහර දෙන ලදී. ප්‍රංශයේ තවත් නව රැල්ලේ අධ්යක්ෂවරයකු වූ ෆ්‍රැන්සුවා ටෘෆෝ සහ ගොඩාඩ් අතර ඇති වූ කෝන්තරය නිම නො වීය. මේ ආරාවුලට මුල පිරුණේ 1973 දී ගොඩාඩ් ටෘෆෝ ගේ සිනමා පටයකට තදින්ම පහරදී ලිපියක් ලිවීම හේතුවෙනි. පසුව ගොඩාඩ් සිය සිනමා පටයකට අරමුදලක් ඉල්ලා සිටිය ද ටෘෆෝ ඔහුට මුදල් ලබා දුන්නේ නැත. දෙදෙනා ගේ මිත්‍රත්වය එතැනින් ම අවසන් විය. අවාසනාවකට සමහර සබඳතා බිඳ වැටීම ඔහු ගේ වෘත්තීය දිවියට තදින් ම බලපෑවේ ය. කැරිනා හෝ වියැසෙම්ස්කි තරම් පසුකාලීනව ඔහු එක්කර ගත් ෂාන් පොල් බෙල්මොන්ඩෝ තාරකාව ඔහු ගේ සිනමා නිර්මාණයන් හි සාර්ථකත්වයට බලපෑවා ද යන්න සැක සහිත ය. වාම වාදී සිතුවිලි ඇති ෂාන් පෝල් පවසා සිටියේ " ඔහු පහත් පුද්ගලයකු වීමට පුළුවන්. එහෙත් ඔහු විශිෂ්ටයෙක් " බව ය. හැත්තෑව දශකයෙන් පසු ඔහු ගේ ජීවන සහකාරිය වූයේ ස්විස් ජාතික ඈන් - මාරී මීවිලේ නම් සිනමා අධ්‍යක්ෂිකාව සහ රචිකාව ය. ගොඩාඩ් මියෙන තුරුම සමගියෙන් දෙදෙනාට ජීවන මඟ මෙන් ම වෘත්තීය මාර්ගයේ ද ගමන් කළ හැකි විය.
9. ඔහු පරමාදර්ශී චරිතයකි.
කවුරුන් කෙසේ ඔහුව පුද්ගලයකු ලෙසින් අරුත් ගැන්වුව ද ඔහු ලොව සිනමා කර්මාන්තයේ යෙදී සිටින්නන්ට පරමාදර්ශී චරිතයකි. ඔහු ගේ නව සිනමා රැල්ල ලොව පුරා නව සිනමා රැලි ගණනාවකට හේතු විය. අමෙරිකාවේ ඉරානයේ අධ්යක්ෂවරුන් ඊට හොඳම උදාහරණයකි. ජිම් ජාමුෂ් ගේ Stranger Than Paradise, වින්සන්ට් ගැලෝ ගේ Buffalo ’66, ස්ටීවන් සොඩර්බර්ග් ගේ Schizopolis මාටින් ස්කෝසෙස් ගේ Mean Streets, වොං කා - වායි ගේ
Chungking Express,හැල් හාට්ලි ගේ Simple Men වැනි සිනමා පටවලට බලපෑවේ ගොඩාඩ් නම් අධ්යක්ෂවරයා ය.
සිනමාව සාම්ප්‍රදායික නො විය යුතු බව ඔහු අනාගත අධ්‍යක්ෂවරුන්ට ආදර්ශයෙන් පෙන්වා දුන්නේය. සිනමා කතාවකට ආරම්භයක්, මධ්‍ය කොටසක් හා අවසානයක් තිබිය යුතු බව ගොඩාඩ් විශ්වාස කළ ද එය අනු පිළිවෙළට නො තිබිය යුතු බව පෙන්වා දුන්නේ ය.