මා රැඟු‍ මා කැමැති ගී

ශ්‍රියාණි අමරසේන
සැප්තැම්බර් 15, 2022

 

නරිබෑණා නාට්‍යයේ ගම දියණියගේ චරිතය නිරූපණය කරමින් වේදිකාව ජයගත් ඇය සුවහසක් ප්‍රේක්ෂකයන් ගේ ආදරයට පාත්‍ර වූවාය. මේ පොළොවේ මහා සිනමාවේදියා වූ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පිරීස්ගේ ‘ගොළු හදවත’ ඇයගේ ප්‍රථම වෘත්තාන්ත චිත්‍රපටය විය. සිංහල සිනමාවේ කඩඉම් සලකුණු කළ ‘ගොළු හදවත’ ඇගේ සිනමා දිවියේත් සුවිශේෂී මං සලකුණක් ම විය.

කල්්‍යානි ගංගා, රත්තරන් අම්මා, අපරාධය සහ දඬුවම, හතර දෙනාම සුරයෝ ආදී 70 සහ 80 දශකයන් හි අතිශයින් ජනාදරයට පාත්‍ර වූ සිනමා නිර්මාණයන්ට එක්වෙමින් ‘සිනමාවේ අහිංසකාව’ ලෙසින් පේ‍්‍රක්ෂකාදරයට පාත්‍ර වූ ශි‍්‍රයාණි අමරසේන නම් වූ කෘතහස්ත රංගනවේදිනිය මෙවර සරසවියේ ‘මා රැඟු මා කැමැති ගී’ විශේෂාංගයට එකතු කර ගත්තේ ඇය එදා සේම අද දවසේත් ඔබේත් මගේත් ආදරය දිනාගත් සදානන්දනීය භූමිකාවක් ම වන හෙයිනි.

 

චුක්කි චුක්කි චුක්කි කියලා  මාව රවටලා

හිතුවොත් හිතුවමයි චිත්‍රපටය රූගත කිරීම් සිදුකළේ දඹුල්ල ප්‍රදේශයේ. ලෙනින් මොරායස් කැමරාවෙන් අරුමැසි දේ කරන්න හරිම සුරයා. එතුමා මේ ප්‍රදේශයේ සුන්දරත්වය බොහෝම ඉසියුම්ව කැමරාවට නතුකර ගත්තා. චුක්කි චුක්කි ගීතයේ රූප රචනාවට, වෙල් යායක් තැනි තලාවක වැව් ඉවුරක් ආදී ස්ථානයන් හී හරි අපුරුවට මේ ගීතයේ රූගත කිරීම් සිදුකළා. ඒ මොහොත සිහිපත් කරනවිටත් හිතට දැනෙන්නේ අපුරු ආනන්දයක්. මං රඟපෑවේ ‘සුමාලි‘ නැමැති චරිතය. ඒ වගේම මෙහි කීර්තිමත් නළු නිළියන් රැසක් රංගනයෙන් දායක වුණා. විශේෂයෙන් ඩේසි අක්කා (රුක්මණී දේවි) එඩි ජයමාන්න, ඩොමි ජයවර්ධන, පියදාස ගුණසේකර වගේම මාලිනී ෆොන්සේකා සහ මම ඒ අතර සිටියා. ඔගස්ටස් විනයාගරත්නම් මහතා මේ ගීතය පද මාලාව නිර්මාණය කළා. ඔහුත් අපිත් එක්ක දඹුල්ල තානායම් නැවතී සිටියා. විහිළු තහළු කරමින් ගත කළ ඒ කාලය හරිම සොඳුරුයි. චිත්‍රපටයේ නිෂ්පාදක ඒ. ඒ. පේජ් මහතා ඇතුළු මේ චිත්‍රපටයේ රඟපෑ ශිල්පීන් වැඩි පිරිසක් අද ජීවතුන් අතර නැහැ. ඔවුන් සියලු දෙනාම මේ මොහොතේ මං කෘතවේදිව සිහිපත් කරනවා.

මේ ගීතයට රංගනයෙන් දායක වූයේ විජය කුමාරතුංගයි මායි. ලතා වල්පොල සහ වික්ටර් රත්නායක දෙපළ ගීතය ගැයුවා. සංගීතවත් කළේ සරත් දසනායක.

 

දේදුනු පායා පාට වැටෙනවා

මගේ චිත්‍රපට ජීවිතයේ ගීතමය ජවනිකාවකට රංගනයෙන් එක්වුණු මුල්කාලීන ගීතයක් හැටියට මේ ගීතය හඳුන්වන්නට පුළුවන්. මා කැමතිම ගායනවේදිනියක් වූ නන්දා මාලිනිය මේ ගීතය ගායනා කළේ. මට අද වගේ මතකයි මේ ගීතය, දේදුනු පායා පාට වැටෙනවා රූපගත කළේ වත්තල සමාරා හෝටල් පරිශ්‍රයේ. එම හෝටල් පරිශ්‍රයේ බොහොම අලංකාර පියගැටපෙළක් තිබුණා. මම එය බැසගෙන ඇවිදින් මේ ගීතය ගායනා කළා. චිත්‍රපටයේ මගේ පෙම්වතා ලෙසින් රඟපෑවේ ජෝ අයියා (ප්‍රවීණ රංගනවේදී ජෝ අබේවික්‍රම) මගේ මව ලෙසින් රඟපෑවේ ශාන්ති ලේඛා මහත්මියයි. ඔස්වල්ඩ් ජයසිංහ චිත්‍රපටයේ චරිත නිරූපණය කළා. මේ පිරිසත් එක්ක බොහොම සබකෝලයෙන් මං ගීත ජවනිකාවට මුහුණ දුන්නේ ගීතය මට වැරදෙයි දෝ කියන චකිතයක් මගේ හිතේ තිබුණා. අමුතු විදියේ කොණ්ඩා මෝස්තරයක් දාලා සාරියක් අන්දලා මාව හැඩ කර තිබුණා. මේ හැමදෙයක්ම මට හරි අමුතුයි. අදටත් දේදුනු පායා පාට වැටෙනවා. ගීතය අහන දකින විට අමුතු හැඟුමකින් හිත පිරී යනවා මට දැනෙනවා.

 

අනංග රන් හීයෙ මල් සැරය වැදීලා

අනංග රන් හීයෙ මල් සැරය වැදීලා

හිතත් හිතක ලැගුම් ලබාලා...

සමන් ලතාවේ මලක් හිනාවේ

යොවුන් සිතක නැවුම් සුවඳ ගෙනාවේ

පැතුම් පතාලා පෙරුම් පුරාලා

මැව්ව විමන සෙව්ව සෙවණ පිරීලා

වසන්තේ දසන්තේ

සීත සතුටු රිදී වලා පාවෙලා

සුගන්ධි ...ගලන්නේ

අපේ ලොවම සහන් සුවෙන් නෑවිලා

සේන සමරසිංහයන් අධ්‍යක්ෂණය කළ ‘ආශා දෑසින්’ චිත්‍රපටයේ ගීත 6 ක් ඇතුළත් වුණා පමණක් නොවෙයි මේ සෑම ගීතයේම අතිශයින් ජනපි‍්‍රය වුණා. ගීත නිසාම මේ චිත්‍රපටය නරඹන්නට පැමිණි විශාල ප්‍රේක්ෂක සමූහයක් සිටි බව මට මතකයි. චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රඟපෑවේ ගාමිණි අයියා (ප්‍රවීණ රංගනවේදී ගාමිණි ෆොන්සේකා) ගීතමය ජවනිකාවට රංගනයට අමතරව නර්තනයක් එක්කළ අවස්ථාවක් හැටියට මේ ගීතය හඳුන්වන්න පුළුවන්. සිරි අමරසිංහ නර්තන ආචාර්යවරයා මේ සඳහා විශේෂයෙන් මට නැටුම් පුහුණුවීම් සිදුකළා. අධ්‍යක්ෂ සේන සමරසිංහ මහතාගේ නිවසේදියි. මේ ගීත පුහුණු වීම් සිදුකළේ.මේ ගීතය මගේ සිනමා ගීතාවලියේ අමරණීය ගීතයක්ව සිටින බව කියන්න පුළුවන්. මං දන්නවා ඔබ සියලුදෙනාත් මේ ගීතයට ආදරය කරන බව. ඇන්ජලින් ගුණතිලක හා මිල්ටන් මල්ලවාරච්චි ගැයූ මේ ගීතය සරත් දසනායක සංගීතවත් කළා.

 

ඔබෙ සිත මගේ ළඟයි

අපේ සිංහල සිනමාවේ සටන්කාමියා රෙක්ස් කොඩ්ප්පිලි ලස්සන දවසක් චිත්‍රපටයේ මා සමඟ නිරූපණය කළ ‘ඔබේ සිත මගේ ළඟයි.’ කියන ගීතය සුවිශේෂයි. මොකද මෙය පේ‍්‍රම ගීතයක්. රෙක්ස් මුලින් මුලින් අදිමදි කළා. ‘මං සටන් ජවනිකා නම් ඕනෑ එකක් කරන්නම් ඒත් පේ‍්‍රම ජවනිකා නම් බැහැයි’ කියා. ඒත් අධ්‍යක්ෂවරයා ඉන් සැලුනේ නැහැ. ඔහු කොහොම හරි රෙක්ස් මේ ගීතය සඳහා සුදානම් කළා. ඒත් අවසානයේ ඔහු හොඳින් පුහුණුවීම් කර ගීතයට සාධාරණයක් ඉටුකළා කියා මං හිතනවා. මේ ගීතයේ එක් ජවනිකාවක් සඳහා අපි ගියා උස්වැටකෙයියාවේ මුහුදු වෙරළට. මුහුදු වෙරළ ආසන්නයේ අපේ වාහන නතර කරලා රූගත කිරිම් ආරම්භ කරනතුරු බලා හිටියා. රෙක්ස් කාරෙකේ දොර ඇරලා ඈත බලන් හිටියා. මං හුළං සැර වැඩි නිසා එකපාරටම දොර වසා දැම්මා. අයියෝ රෙක්ස් ගේ අත දොරට අහුවෙලා.... ලේ ගලනවා.... මට කරකියාගන්නට බැරිව හිටියේ සින්දුව රූගත කරලත් නෑ. වෙළුම්පටි වලින් අත වෙළන්න විදියකුත් නෑ. එත් රෙක්ස් කොහොම හරි වේදනාව දරාගෙන ගීත ජවනිකාවට සාර්ථකව මුහුණ දුන්නා. රෙක්ස් කොඩිප්පිලි කියන්නෙත් හරිම හිත හොඳ මනුස්සයෙක්. එච්.ආර්.ජෝතිපාල හා ඇන්ජලීන් ගුණතිලක ගීතය ගැයුවා.

 

නිල් වන ලන්දේ

මුවන්පැලැස්ස 2 චිත්‍රපටයේ රොබින් ප්‍රනාන්දු සමඟයි මේ ගීතයට පෙනී සිටියේ. රොබින් ප්‍රනාන්දු කියන්නෙත් සිනමාවේ සටන්කාමියා, දුෂ්ටයා, සියලු චරිත නිරූපණය කළ ශිල්පියෙක්නේ. ඒත් පේ‍්‍රම ගීතයකට පෙනී සිටින්නට යසපාලිත නානායක්කාර මහත්මයා (චිත්‍රපටයේ අධ්‍යක්ෂ) ආරාධනා කළාම මුලින් මුලින් අදිමදි කළා. මේ ගීතය සඳහා නර්තනාචාර්ය කුලසිරි බුදවත්ත මහතා නැටුම් පුහුණුවක් සිදුකළා. ගීතයේ හැටියට රොබින් මොනරෙක් හැටියට ඇඳගෙන හිටියේ. මොනරෙක් වගේ හැඩවැඩ වෙලා ඇවිත් සෙනඟ මැද්දෙන් පැනගෙන නැටුම ඉදිරිපත් කරද්දි හරිම තේජාන්විතයි මනස්කාන්තයි. හැමදෙනාම ගල් ගැහිලා වගේ නැටුම දිහා බලාගෙන හිටියා. ඒ වගේ ප්‍රතිභාන්වික, තේජවන්ත රංගන ශිල්පීන් සිංහල සිනමාවේ දැක ගන්නට ලැබේවා කියා මං ප්‍රාර්ථනා කරනවා. කොහොම හරි මුවන්පැලැස්ස 2 චිත්‍රපටයෙන් රොබින් මගේ තිරයේ පෙම්වතෙකු වුණා. වික්ටර් රත්නායක හා නන්දා මාලිනී ගීතය ගැයුවා.

 

හීන් සැරේ නුවන් පුරා

හීන් සැරේ නුවන් පුරා

පෙම් සටහන් ඇඳිලා

දෑස් අගින් අන්න බලන්

මල් දහයක් පිපිලා

ඔබ ඒ දෙනුවන් මතු දා හඬවා

කඳුළින් පුරවන්න එපා

 

සඳ නිම්නයේ තරු බිංදු සේ

නෙතුලන් පහන් කාන්ති සේදිලා

එතරම් දුරින් මා ඉන්න දෝ

නෑ රත්තරං මා ඔබ ළඟයි

පොඳ වරුසාවේ ආදරයේ

සුළඟ වගේ මා එනවා

ඒ නුවන් සොයා

දෑසේ මල් පිපිලා චිත්‍රපටයේ සියලු රූගත කිරීම් අවසන් කළා. අපිට රූගත කිරීමට තිබුණේ ඔය හීන් සැරේ නුවන් පුරා පෙම් සටහන් ඇඳිලා ගීතය පමණයි. මේ වන විට විජේ (ප්‍රවීණ රූපණවේදී විජය කුමාරතුංග මහතා) දේශපාලනයට සම්බන්ධ නිසා බෙහෙවින් කාර්ය බහුල වී සිටියේ. විජේ අධ්‍යක්ෂකට කියා තිබුණා ගීතය සඳහා දින දාගන්න කොහේ සිටියත් ඔහු එනවා කියා. ඒ දිනවල ඔහු නුවර ආශි‍්‍රත ප්‍රදේශයක දේශපාලන කටයුත්තක නියැළී සිටි නිසා නිෂ්පාදන කණ්ඩායම නුවර ප්‍රදේශයේ සුන්දර වතු බංගලාවක් ආශි‍්‍රතව මේ ගීතය රූගත කිරීමට කටයුතු යොදා තිබුණා. පොරොන්දු වු පරිදිම නියමිත දින නියමිත වෙලාවට විජය ආවා. ගීතය කීප වරක් අසා හොඳින් සුදානම් වී බොහොම සහයෝගයෙන් මේ ගීතය රූගත කිරීමට ඔහු දායක වුණා. හවස හයවන විට ගීතය රූගත කිරිම් සාර්ථක ලෙස නිමකරන්න අපිට හැකිවුණා. අවුරුදු හතරක් චිත්‍රපට පෝලිමේ රැඳී දෑසේ මල් පිපිලා තිරගත වන විට විජය අපෙන් සමුඅරගෙන ගිහින්. ඒ මතකයන් මේ ගීතය ඇසෙන දකින හැම වාරයකම මගේ හිත් ඉමේ නිම්නාද වෙනවා. එච්.ආර්.ජෝතිපාල හා ලතා වල්පොල ගීතය ගැයුවා.

 

 

මා හද වාවනු බෑ දරු සෙනෙහේ

මා හද වාවනු බෑ දරු සෙනෙහේ

ආදර අම්මයි මා ඔබේ පුතුණේ

ළැම තුරුලේ සුව යහනේ

නළවමි රංකැටි මගේ පුතා

මෙලෙස පුතුගෙ මුව කමල සඹින්නේ

මගේ පුතේ යැයි දෝතට ගන්නේ

පෙරුම් පුරයි අම්මා පුතුණේ

වරම් නැතිව ඉන්නා

මව්වරු ලෝකේ ජීවත් වෙන්නේ

දරු සෙනෙහෙන් බව පුතුණි සිතන්නේ

අම්මා කවුද කියා මගෙ පුතු හඳුනන්නේ

ඔබ ගැන රහසක් මහද තැවේ

එහි ගිනි දැල් මැද නිබඳ දැවේ

විඳ අද පුතු කිරි සුවඳ මුවේ

නොනිවෙන ගිනිදැල් මහද නිවේ

ටී.බී. ඉලංගරත්නයන්ගේ නිවෙන ගින්න නව කතාව මම පාසැල් කාලයේදීම කියවා තිබෙනවා. ඒ වගේම එතුමා ගේ නවකතා බොහොමයක් මං හරිම කැමැත්තෙන් කියවා තිබෙනවා. නිවෙන ගින්න කතාව කියවාගෙන යන විට නන්දා කියන මේ චරිතයට මගේ තදබල ආසාවක් ඇතිවුණා. වලව්වක බැළ මෙහෙවර කරන තරුණියක් වලව්වේ පුතාගෙන් අනාථ වී මුහුණ දෙන සෝචනීය අත්දැකීමක් මේ චිත්‍රපටයට පාදක වෙනවා. අමරනාත් ජයතිලකයන්ගේ අධ්‍යක්ෂණයක් ලෙසින් මේ කෘතිය සිනමාවට නැගෙද්දී මං ආදරය කළ නන්දාගේ චරිතය මට ම ලැබීම දෛවයේ සරදමක් වගෙයි. මම නන්දාගේ චරිතයත් වලව්වේ පුතාගේ චරිතය රොබින් ප්‍රනාන්දුගේ නිරූපණය කළා. නන්දා තම පුතුගෙන් අනාථ වූ බව දැනගත් වලව් හිමියන් නන්දා වලව්වෙන් නෙරපා දමනවා. තම ප්‍රත්‍රයා විදේශගත කරවනවා. නන්දා වලව්වෙන් පළි ගැනීමට සැලසුම් කරනවා. මෙලෙස ගලායන චිත්‍රපට හමුවන ඉතාම හැගුම් අවස්ථාවක් ලෙස මේ ගීතය හඳුන්වන්න පුළුවන්. ගයන්නී නන්දා මාලිනියයි.

 

 

ආරාධනා සේ ආවේ

එක හිත චිත්‍රපටයේ කතාවට පාත්‍ර වුයේ හින්දි සිනමාවේ එන මධුමති චිත්‍රපටයයි. මෙම මධුමතී චිත්‍රපටයේ රඟ පෑ වෛජයන්තිමාලා රංගන ශිල්පිනිය පාසැල් කාලයේ මගේ පි‍්‍රයතම නිළිය බවට පත්ව සිටියා. වෛජයන්ති මාලා රඟ පෑ චිත්‍රපටයක් තිබුණොත් මම එය අනිවාර්යයෙන්ම බලන්න යනවා. ඉතින් කාලයාගේ ඇවෑමෙන් මමත් නිළියක් වුණා. එකහිත චිත්‍රපටයේ ඇතුළත් වුණොත් මධුමතී චිත්‍රපටයේ කතාවමයි. එය මට පුදුමාකාර ආස්වාදයක් ගෙන ආවා. මම ආසා කරන හින්දි නිළිය රංගනයෙන් දායක වූ චිත්‍රපටයේ කතාවක් මට රඟපාන්න ලැබීම මහත් සතුටක් වුණා. ඒ වගේ අහම්බයක් ජීවිතයට ලැබෙන්න හරිම කලාතුරකින්. මේ චිත්‍රපටයේ මගේ පෙම්වතා ලෙසින් රඟපෑවේ ටෝනි රණසිංහ. ‘ආරාධනා සේ ආවේ’ ගීතය රූගත කිරීම් කළේ අම්පාර ප්‍රදේශයේ. ඒ ප්‍රදේශය කොයි තරම් සුන්දරද කියා මම දැනගත්තේ එදා තමයි. ඇත්තටම අපේ රටම සිනමාව උදෙසාම හැදුණු දර්ශන තලයක් වගෙයි. මේ චිත්‍රපටයේ විජය කුමාරතුංගත්, පර්ල් කුරේ ඇතුළු ශිල්පී පිරිසක් එක්වුණා.

ටෝනි කියන්නේ නටන්න කැමති කෙනෙක් නොවෙයි. ඒත් ඔහුගේ රංගන පෞරුෂය හා ප්‍රසන්න භාවය ගීතයට අපුරු බවක් එක්කළා. ජෝති-ඇන්ජි ගීතය ගැයුවා.

 

රැස් ප්‍රභා විහිදනා

ඇත්ත වශයෙන්ම ධර්ම ශ්‍රී කල්දේරා මහතා අධ්‍යක්ෂණය කළ චිත්‍රපට අතරින් මා ප්‍රථමයෙන්ම රඟ පෑ චිත්‍රපටය කල්‍යාණි ගංගා. ඊට අමතරව රත්තරං අම්මා චිත්‍රපටයේත් මම රඟපෑවා. කල්‍යාණි ගංගා චිත්‍රපටයේ රූගත කිරීම් බොහොමයක් තිබුණේ නුවර ප්‍රදේශයේ. මෙම ගීත දර්ශනයේ පෙනී සිටියේ මමයි ඔස්වලඩ් ජයසිංහයි. නුවරටත් එහා තියෙන ලස්සන වතු බංගලාවකයි. මේ ගීතය රූගත කළේ. බොහොම සුන්දර රූපරාමු ගීතාවලියට එකතු කරන්නට ඒ නිසා හැකි වී තිබුණා. ඔස්වලඩ් කියන්නේ අපිට සිටින දක්ෂ රංගන ශිල්පියෙක්. ඔහු සමඟ කටයුතු කිරීම තුළින් මේ ගීතය හැඩකරන්න පුළුවන් වුණා කියා මට හිතෙනවා. ජෝති-ඇන්ජි ගීතය ගැයුවා.

 

 

පැතුම් මල්ලකි මේ ජීවිතේ

අපේ ජීවිතයේ ප්‍රාර්ථනා නම් කොච්චර තියෙනවද ? මේ ප්‍රාර්ථනාව කළේ "හතරදෙනාම සූරයෝ" චිත්‍රපටයේ සෝමා නමැති මා රඟපෑ චරිතය.සෝමා , පොඩ්ඩෙට (ගාමිණි ෆොන්සේකා) ගොඩාක් ආදරය කළා. සෝමා දුප්පත් තරුණියක්.ඒ අසල පැල්පත්වල පොඩ්ඩෙ හැරුණු විට තවත් තරුණයෝ තිදෙනෙක් හිටියා. ඒ චරිත රඟපෑවේ විජය කුමාරතුංග, සේනාධීර රූපසිංහ සහ ඇන්තනි සී.පෙරේරා.

මේ හතරදෙනා හරි යාළුයි. හරි සූරයි. නමුත් සල්ලි නැහැ. හිත හොඳයි. විජය, මාලිනී ෆොන්සේකා මෙහි පෙම්වතුන්. ඔවුන්ගේ ආදරයට බාධා එල්ල වෙනවා. මාලිනිගේ මංගල ඇඳුමක් සෝමාගේ ගෙදර පරිස්සමට තියනවා. සෝමා තරුණියක් නිසා මේ ඇඳුම්, රන් ආභරණ පැලඳගෙන සිහින ලොවක තනි වෙද්දී ලතා වල්පොල මහත්මිය ගයන මේ ගීතය චිත්‍රපටයේ මා වෙනුවෙන් භාවිත කෙරෙනවා."පැතුම් මල්ලකි මේ ජීවිතේ" නමැති මේ ගීතය ලෙනින් මොරායස් ලස්සනට රූගත කළා, නීල් රූපසිංහගේ අධ්‍යක්ෂණය යටතේ.අත්ත වශයෙන්ම මනමාලියක් විදියට ඇන්දම මටත් හිතුණා මේ මමද ඉන්නේ කියලා. කළු සුදු වුණත් අදත් මේ චිත්‍රපටය ජනප්‍රියයි. ප්‍රවීණයෝ මෙහි රඟපෑවේ. හතරදෙනාම සූරයෝ හැරියට රඟපෑව ඒ වටිනා කලාකරුවන් අද අප අතර නැතත් අපි ඔවුන් සමරන්න ඕනෑ.මං හරිම ආශාවෙන් රඟපෑ ගීතයක් මෙය.