වර්ෂ 2023 ක්වූ December 03 වැනිදා Sunday
මම ආදරය කළ හැමදෙයක්ම නැතිවුණු මට කොණ්ඩයෙන් ඇති ඵලය කුමක්ද

ස්ව උත්සාහයෙන් ගොඩන`ගා ගත් රංගප්රතිභාව නිසාවෙන් ඇය දෙස් විදෙස් හී කීර්තිමත් නිළියක බවට පත්වූවාය. සිංහල සිනමාවේ එක්තරා යුගයක කැපී පෙනෙන නිළියක වූ ඇය සිනමාව ද, වේදිකාව ද, පුංචි තිරය ද, සිය ග්‍රහණයට නතුකරගෙන රංගනයෙන් අතික්‍රමණය කරනු ලැබුවේ සම්මාන පිට සම්මාන ලබමිනි. සිය රංගනයේ එකිනෙකට වෙනස් විවිධ වූ චරිත ඇය ප්‍රතිනිර්මාණයෙන් පේ්රක්ෂක හදෙහි නිමග්න වුයේ කිසිදා සිය රංග භූමිකාවන් සදා මතකයේ ඈත්නොවන පරිදිය. තම භාවපුර්ණ රංගනයෙන් ඔබ්බට ගිය ඈ චිත්‍රපට නිෂ්පාදිකාවක සේම ගායිකාවක ලෙසින් ද තම හැකියාවන්ගෙන් කලාකෙතේ අස්වනු නෙළාගනු ලැබුවේ තම රංගන වපසරියෙන් ඔබ්බට යමිනි. සිරිමැදුර, ගුරුගෙදර, සුරබිදෙන, සෙයිලම, හිතවතිය, කෙළිමඬල, මල්දෙණියේ සිමියොන්, ජුලියට්ගේ භූමිකාව ආදී චිත්‍රපට කෘති හරහා ඇය රංගනයෙන් ලාංකේය සිනමාව පෝෂණය කරමින් ප්රශස්ත රැඟුමින් සිනමා අඹරේ දිදුලන තරුවක් බවට පත්වූවාය. 11 වැනි අන්තර්ජාතික නවදිල්ලි චිත්‍රපට උලෙළේ හොඳම නිළිය ලෙසින් මල්දෙණියේ සිමියොන් චිත්‍රපටයේ ද්විත්ව චරිතය උදෙසා රජතමයුර සම්මානය දිනාගනිමින් ඇය මෙරටට අන්තර්ජාතික කීර්තියක් අත්කරදෙනු ලැබුවාය. සරසවිය, ජනාධිපති, රාජ්‍ය නාට්‍ය, ඕසි.අයි.සී., විජය රූපවාහිනී, ටොප් ටොන්, කලාශූරී, රණතිසර, වූමන් ඔෆ් ද ඉයර්, කොහිනුර් රත්න, වනිතා ආදී දෙස් විදෙස් සම්මාන රාශියකින් පිදුම් ලැබූ ඇය විදෙස් සම්මාන උලෙළ රාශියක් නියෝජනය කරනු ලැබුවේ ශ්‍රී ලාකේය අභිමානය ලොවට කියාපාමිනි. දශක හතරකට වැඩිකලක් ලාංකේය කලාකෙත පෝෂණය කරන ඇය නමින් අනෝජා වීරසිංහ. කලකට පසු සරසවිය හා පිළිසඳරට එක්වන අනෝජා තම අලූත්ම තොරතුරු අප හා බෙදාහදා ගන්නේ බොහොම ළෙන්ගතු සිතින්.
අනෝජා වීරසිංහ මේ වන විට කලා ක්ෂේත්රය තුළ නිහඬ වෙලා ද?
මම සාමාන්‍යයෙන් බාහිර සමාජයේ කරමින් සිටි වැඩකටයුතු වලින් ඈත්වීමක් සිද්ධ කළා. නමුත් මගේ බෙල්ලන්විල පිහිටි අභින යෝගා ආශ්රමයේ වැඩකටයුතුවල මේ දවස්වල පූර්ණ කාලීනව යෙදිලා ඉන්නවා. අභින වැඩමුළු ඒ වගේම ඇක්ටින් ස්කූල් එකේ කටයුතු මා හොඳින් කරගෙන ඉන්නවා. හුඟාක් දරුවෝ මා ළඟට එනවා ඉගෙන ගන්න. යෝග අභ්‍යාස සඳහා වෛද්‍යවරු පවා මා ළඟට එනවා. කාල කළමනාකරණයක් ඇතුව මේ දේවල්වල මම නිරතවෙලා ඉන්න නිසා කලා නිර්මාණ වෙත සිත් යොමුවීමක් සිද්ධ නොවන තරම්.
කලා නිර්මාණ සඳහා දැන් ඔබට ආරාධනා නැද්ද
පරාක්‍රම නිරිඇල්ල මට චිත්‍රපටයක් සඳහා ආරාධනා කළා. ඔහු පවසා සිටියා මගේ කොණ්ඩය පවා කපන් නැතුව ඒ සඳහා සූදානම් වෙන්න කියලා. ඒත් කොරෝනා වසංගතය පැමිණීමත් සමඟ ඒ කටයුතු කෙරුණේ නෑ. කොණ්ඬේ වැවුණා චිත්‍රපටය කෙරුණේ නෑ තවම. ටෙලිවිව් ආයතනයේ සුනිල් රත්නායක චිත්‍රපටයක් සඳහා මට ආරාධනා කරලා තියෙනවා.
රංගනයන් සඳහා ලැබෙන ආරාධනාවලදී ඔබ අධ්යක්ෂවරයා පිළිබඳ සැලකිලිමත් වෙනවද?
අධ්යක්ෂවරයා අලූත් ද පරණ ද කියල මට අදාළ නෑ. මම චරිතයක් භාරගන්නව නම් මට ඕනේ තිරපිටපත. මට තියන චරිතය මොකක්ද කියල බලන එක තමයි මම කරන්නේ. චරිතේ තමයි මට වැදගත්. මුදල නොවෙයි මට වැදගත්. මුදල ගැන කතාව පසුවට තියල තිරපිටපතේ මට ලැබෙන චරිතය ගැන තමයි මම විශේෂ කොට සලකන්නේ.
සමහර අධ්යක්ෂවරුන් තුළ හීනයක් තිබුණා. ඒ අනෝජා වීරසිංහව තමන්ගේ නිර්මාණයක් තුළ අධ්‍යක්ෂණය කරන්න?
එහෙම අයත් හිටියා කිව්වොත් ඒත් මුසාවක් නොවෙයි. ඒකට මම කතාවක් කියන්නම්. එක්තරා හිටපු සහය අධ්යක්ෂවරයෙක් දීර්ඝ කාලයක් චිත්‍රපට සහය අධ්‍යක්ෂණයේ නිරත වෙලා මාව හිතේ තියාගෙන තිරපිටපතක් ලියල ඔහු හා පුරා කියල චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කරන්න සැලසුම් කරලා මට ආරාධනාවක් කළා. ඒ චිත්‍රපටයේ ප්‍රධාන චරිතය සඳහා. මේ ඔහුගේ පළමු චිත්‍රපට අධ්‍යක්ෂණය. මා කාර්යබහුල වකවානුවක් නිසා මට ඔහුගේ ආරාධනය බැහැර කරන්න සිදුවුණා. අකැමැත්තෙන් වුණත් ඔහුගේ ඒ ආරාධනය මම භාර නොගැනීම නිසාම මේ පුද්ගලයාට තමන් ගේ බලාපොරොත්තුව කඩවීම නිසා ඇඩුණා. ඒ විතරක් නොවෙයි මේ තරුණ සහාය අධ්යක්ෂවරයා මෙහෙම කතාවක් කිව්වා. ”අක්කේ මගේ හීනයක් තිබුණා මම අක්කා රඟ පෑ බොහෝ චිත්‍රපටවල සහය අධ්යක්ෂවරයෙක් ලෙස වැඩ කළා. ඒ හැම අවස්ථාවකට මම හිතුවේ කවද හරි මම චිත්‍රපට අධ්යක්ෂවරයෙක් වෙන දාට අනෝජා වීරසිංහව අධ්‍යක්ෂණය කරනවා කියලා.” ඒ හීනය සැබෑකර ගන්න මට අද නොහැකි වීම මට දරාගන්න බැරි වේදනාවක් කිව්වා.
අනෝජා වීරසිංහ කියන ප්‍රතිභාපූර්ණ නිළියගේ ආගමනය උඩුයටිකුරු කර ලන්නට හේතු කාරණා බොහොමයක් සිදු වුණා නේද?
මගේ මොනරාගල ගෙදර ගිනිබත් කළ සිද්ධියත් රටට සුනාමිය පැමිණිමත් හේතුකොටගෙන මගේ ජීවිතයට විශාල බලපෑමක් එල්ල කළා. ඒ කලකිරීම මගේ ජීවිතයේ විශාල වෙනසක් ඇති කළා. සිනමාව තුළ මම හරිහම්බ කරපු සියල්ල මගේ ගේ ගිනිබත් කිරීමත් සමඟ මට නැතිවුණා. මම ආශා කළ ආසාවෙන් එකතු කරපු ඇඳුම් පැලඳුම්, තිරපිටපත්, චිත්‍රපට පිටපත් මේ හැමදෙයක්ම මට නැතිවුණා. මගේ ආශාව තිබුණේ මොනරාගල ගෙදර කෞතුකාගාරයක් කරන්න. විශාල ප්‍රමාණයේ කාමර පහක ගෙයක්. මේ ගෙදරට මම සිනමාවෙන් හම්බ කරපු හැමදෙයක්ම ගෙනත් දාල තිබුණේ. මම චිත්‍රපටවලට ඇදපු ඇඳුම් පලදින ලද ආභරණ. සපත්තු, චිත්‍රපටවල තිරපිටපත්, සිනමාව ගැන ලියවුණු පොතපත මේ වගේ මට මිල කරන්න බැරි බොහෝ දේ මගේ ගේ ගිනි බත් කරලා මට නැති කරලා දැම්මා. කෞතුකාගාරයක් සෑදීමේ මගේ සිහිනය කඩා බිඳල දැම්මා. මේ සිදුවීමත් සමඟ මම දැඩි කම්පනයට කලකිරීමට පත්වුණා. ඒ කළ කිරීම ජීවිතයේ යථාර්ථය මට අවබෝධ කරලන්නට පටන් ගත්තා. එතැන් පටන් මගේ ජීවිතයේ වෙනස් මාවතක් විවරවෙන්න පටන් ගත්තා. මට ආදරය කළ මගේ සමීප කල්්‍යාණ මිත්‍රයෝ ගොඩක් මට නැතිවුණා. ඞී.බී.නිහාල්සිංහ, ජෝ අබේවික්‍රම, අජන්තා රණසිංහ, සුනිල් සෝම පීරිස්, මගේ විවාහයන් දෙකේම ස්වාමි පුරුෂයන් දෙදෙනාම මේ ආකාරයෙන් මට සමීප වෙලා හිටිය බොහෝ දෙනා මිය යාමත් සමඟ මා තුළ ඇති වූ කලකිරීම මේ හැමදෙයක්ම මගේ නව පරිවර්තනයට හේතු කාරණා වුණා.
කලකිරීම ඔබට මොනතරම් තදින් දැනුණා ද කිව්වොත් හිස පවා ඔබ මුඩුකළා?
මම ආදරය කරපු හැම දෙයක්ම නැතිවෙච්ච මට මගේ කොණ්ඩයෙන් ඇති ඵලේ මොකක්ද කියල මට හිතුණා. ලෝක ධර්මතාවය අනුව සියල්ල අනිත්‍ය බව පසක්වෙන කොට තව මොනවද මට නැතිවෙන්න තියෙන්නේ කියල මට හිතුණා.
ඔබ රූප ස්වභාවය අලංකාර කළ කේශකලාපය ඔබෙන් ගිලිහීගිය මොහොත පිළිබඳ යළි සිහිපත් කිරීමක් කළොත්?
මම හිස මුුඩු කළා කියලා මගේ දුව දිල්කි දවස් හතරක් මාත් එක්ක වචනයක් කතා කරන්නේ නැතුව හිටියා. ඒ දවස්වල මම යෝග කරන විට කොණ්ඩය මට මහ වදයක් වුණා. යෝග කිරීමේ දී මට කොණ්ඩය නැතිවීම පහසුවක් වුණා. සමහරු ඇහුවා කොණ්ඬේ කපල දාන්න කොහොමද හිත හදාගන්නේ කියලාත්. මට මතක හැටියට නුගේගොඩ මං සන්ධියේ නිිමි ඇඳුම් කඬේක බෝම්බයක් පිපිරුණු දවස. එදා මම රූපවාහිනිය බලා ඉන්න කොට මම දැක්කා බෝම්බය පිපිරීම නිසා විනාශ වුණු කඩයේ සිට එළියට දුවගෙන ආපු කෙනෙක්ගේ ඇඟට ගිනි ඇවිලී ඔහු කඩෙන් ඉවතට දුවගෙන යන රූප රාමුවක්. පණපිටින් මිනිස්සු පිචිචෙන කොට අපේ මේ ජීවිතේ ඇති ඵලේ කුමක් ද කියල මම හිතුවා. මගේ රූපලාවණ්‍ය කටයුතු සිද්ධ කළේ රමණී ෆර්නෑන්ඩු මහත්මියගේ සැලූන් එකෙන්. මම කොණ්ඬේ කපාගන්න ඕනෙ කියල කිව්වට රමණී මගේ අදහසට කැමති වුණේම නෑ. කාලයක් මගේ කොණ්ඩයට රූපයට සාත්තු කළ ඒ දෑතින් මගේ කේශ කලාපය කපල දාන්න එයාගේ හිත දුන්නෙම නෑ. එයා මගේ ඉල්ලීම මඟ හරිමින් එයාගේ සැලූන් එකේ වෙනත් අයෙකු මගේ හිසමුඩු කිරීමේ කාර්යය කළා. මගෙන් කීප වතාවක් ඇහුවා ඔය තීරණය ගන්නේ හොඳට හිතලා බලල ද කියලත් පස්සේ දුක්වෙන්න වෙයි කියලත් කිව්වා. ඒත් මගේ එකම තීරණය වුණේ හිස මුඩු කිරීම මට දැනුත් මතක් වෙනවා. සැලූන් එකේදී මගේ කොණ්ඩය කපා ඉවත් කරන්න කතුර අතට ගත්ත සැලූන් එකේ රමණීගේ සහායිකාව මගෙන් තුන් පාරක් ඇහුවා සිය අදහස වෙනස් කරගන්න බැරි ද කියලා. මම ඒ තුන්පාරම ඇයට කිව්වේ තවත් බලන් ඉන්නේ නැතුව මගේ හිත වෙනස් වෙන්න කලින් කොණ්ඩය කපල ඉවත් කරන්න කියලා. ඇයත් අකැමත්තෙන් මගේ කොණ්ඩයට කතුර තිබ්බේ හිතේ වේදනාවක් චකිතයක් ඇතුව කියල මට දැනුණා. කෙස් වැටිය කතුරට අහුවෙලා මගේ උරහිස මතට වැටෙන කොට ඇගේ නාසයෙන් පිටවුණු සුසුමේ හුළඟ පවා මගේ පිටට දැනුණා.
අනෝජා හිසමුඩු කළ ආරංචියත් එක්ක චිත්‍රපට ටෙලි නාට්‍ය සඳහා මෙහෙණින් වහන්සේලාගේ චරිතවලට ආරාධනා ගලා ආවා නේද?
එහෙමත් ආරාධනා ආවා. හිස මුඩු කළ පමණින් මට රඟපෑමේ ආශාවක් තිබුණේ නෑ. මම ඕනේ තරම් චිත්‍රපට ටෙලි නාට්‍ය වේදිකා නාට්‍යවල රඟපෑ නිළියක්. දෙස් විදෙස් සම්මාන රැසක් ලැබුව කෙනෙක්. එහෙම තියෙද්දී හිසමුඩු කළා කියල මෙහෙණින් වහන්සේ කෙනෙක් වෙන්න මට අවශ්‍ය වුණේ නෑ. හිතේ හැටියට රඟපාල සම්මාන ලබා සිටි මට තවත් රඟපෑම් මොකට ද? ඒ ආ හැම ආරාධනයක්ම මම ප්‍රතික්ෂේප කළා.
දශක හතරකට වැඩි කලා ජීවිතය තුළ ඔබ චරිත තෝරා බේරා ගැනීමේදී විශේෂ කොට සැලකුවේ කුමන කාරණා සම්බන්ධවද?
රඟපෑම කියන්නේ මායාවක්. මේ මායාව වෙනුවෙන් තමයි අපි සම්මාන ලබන්නේ. මම අනෝජා හැටියට මේ මායාව ප්‍රතිනිර්මාණය සඳහා තෝරගන්න කලින් මම බලන්නේ මම කරන චරිතයෙන් සමාජයට පණිවිඩයක් දෙන්න පුළුවන් ද කියලා. මට ලැබෙන චරිතය මම කෙසේ ප්‍රතිනිර්මාණය කළ යුත්තේ ද කියල මනා අවබෝධකින් තමයි ලැබෙන චරිතයක් බාරගන්නේ.
රංග ශිල්පිනියක් සේම ඔබ චිත්‍රපට නිෂ්පාදිකාවක් ලෙසිනුත් කටයුතු කරනවා නේද?
සුනිල් ආරියරත්න අධ්‍යක්ෂණය කළ කැලෑමල් චිත්‍රපටය තමයි මගේ මුල්ම චිත්‍රපට නිෂ්පාදනය. සුනිල් සෝම පීරිස් අධ්‍යක්ෂණය කළ ඔබට දිවුරා කියන්නම්, ඔබට රහසක් කියන්නම් ඞී.බී.නිහාල්සිංහයන් අධ්‍යක්ෂණය කළ කෙළිමඬල, ජැක්සන් ඇන්තනී අධ්‍යක්ෂණය කළ ජුලියට්ගේ භූමිකාව චිත්‍රපට මම නිෂ්පාදනය කළා.
චිත්‍රපට නිෂ්පාදිකාවක් ලෙස ඔබ ගත් උත්සාහය සාර්ථක වුණාද?
කැලෑමල් චිත්‍රපටය නිෂ්පාදනය කිරීම නිසාවෙන් මට ගෙවල් දොරවල් පවා විකුණන්න සිද්ධවුණා ණය ගෙවන්න. ජුලියට්ගේ භූමිකාව චිත්‍රපටයෙනුත් මට විශාල පාඩුවක් සිද්ධ වුණා. ඔබට දිවුරා කියන්නම් හා කෙළිමඬල චිත්‍රපට දෙකෙන් නිෂ්පාදිකාවක් ලෙසින් මම සාර්ථකයි. චිත්‍රපට දෙකම හොඳට දිවුවා. ආදායම අතින් ඉහළ සාර්ථකත්වයක් ලැබුවා. ඔබට රහසක් කියන්නම් චිත්‍රපටයේ වියදම පියවාගන්න මට හැකියාව ලැබුණා.
සිනමා කර්මාන්තයේ අර්බුදකාරී වටපිටාවක් තුළ කර්මාන්තයේ පැවැත්ම සඳහා ඔබ, ඔබට දිවුරා කියන්නම් චිත්‍රපටය නිෂ්පාදනය කරමින් සිනමා කර්මාන්තයේ උන්නතියට උත්තේජනයක් සපයනවා නේද?
ඒක මෙහෙමයි සිද්ධවෙන්නේ. සුනිල් සෝම පීරිස් මට කිව්වා, අනෝජා චිත්‍රපට කළාට වැඩක් නෑ දුවන් නැත්නම්. අපි දුවන චිත්‍රපටයක් කරන්න ඕනෙ කියලා. ශෂි විජේන්ද්‍ර සම්බන්ධ කරගෙන චිත්‍රපටයක් කරන්න සැලසුම් කරනකොට ශෂීට විදේශ ගතවෙන්න සිද්ධ වුණා. කොහොමහරි අපි අතරේ චිත්‍රපටයක් කරන කතාබහ දිගටම තිබුණා. ඔය අතරෙ ශෂි විජේන්ද්‍ර නැවත ලංකාවට ආවා. ඒ එනකොට හින්දි චිත්‍රපට කැසට් විශාල ප්‍රමාණයක් අරගෙන ආවා. මේවා සුනිල් සෝම පීරිස් එක්ක බල බල ඉන්නකොට ”තෙරි කසම්” හින්දි චිත්‍රපටය ඒ කැසට් අතරේ තිබිලා හමුවුණා. ඒක බලපු සුනිල් සෝම පීරිස් කිව්වා අනෝජා මෙන්න කරනවනම් චිත්‍රපටය කියලා. ශෂිත්, සුනිල් සෝමත් එකතු වෙලා හින්දි කොපිය වචනයක් නෑර සිංහල භාෂාවට හරවලා පිටපත ලිව්වා. ඔබට දිවුරා කියන්නම් නමින් ඒක චිත්‍රපටයක් කළා. අපිත් නොහිතපු විධියට චිත්‍රපටය හිට් වුණා. ආදායම් වාර්තා තබමින් රජ ගමනේ ගියා. අන්තිමට රජ ගමන කොහොම වෙතත් කොපි චිත්‍රපට ගහනවා කියලා මහ චෝදනාවක් නම් අපට ආවා.
ඔබ වේදිකාවෙන් කලා ක්ෂේත්රයට අත්පොත තැබූ නිළියක්. ඒත් අද වේදිකාවට සමුදීලද?
මගේ රංගනයේ කුටුම්ඹය වේදිකාව. වේදිකාව මම අමතක කරලා නැහැ. අදටත් මම වේදිකාවෙ පය ගහලා ඉන්න කෙනෙක්. අවුරුදු 20ක් පුරා මම ට්‍රෝජන් කාන්තාවෝ එක්ක වේදිකාවෙ. ට්‍රෝජන් කාන්තාවෝ වේදිකා ගත කරන්න වෙන්්කරපු හෝල්වලට බැන්ද සල්ලිත් ආපහු ගන්න තියෙනවා. කොහොමද නාට්‍යයක් පෙන්වන්නේ; රටේ තියෙන තත්ත්වයත් එක්ක. අද මිනිස්සු ඉන්නෙ නාට්‍ය බලන මානසිකත්වයක නොවෙයි. රුපියල් සත ඩෝලර් සොයන, පෙට්‍රල් ඩිසල් ගෑස් හොයන, එදා වේල කන්න හොයන මානසිකත්වයක ඉඳගෙන මිනිස්සු නාට්‍ය බලයිද?
අනෝජා මෝඩර්න් විලේජ් එකක් හදන්න යනවා කියලා ආරංචියක් තියෙනවා?
එහෙම අදහසක් මගේ හිතේ තියෙනවා. ඒ සඳහා අවශ්‍ය හැම දෙයක්ම සැලසුම් කරලා ඉවරයි. අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන පවා හොයාගෙන තියෙනවා. තවත් ඒ සඳහා අවශ්‍ය මුදල් ආධාර ගන්න ඕනෙ කරන වැඩ පිළිවෙල පවා සකස් කරලා ඉවරයි. මගේ හිතේ ඇතිවෙච්ච හීනයක් තමයි; මේ හැබෑ කරගන්න යන්නෙ. මොනරාගල මගේ ගම වූ හිඳිකිවුල සුපිරි මෝඩර්න් විලේජ් එකක් කරන්න මගේ අදහසක් තියෙනවා. ගමේ යෝගාශ්‍රමයක් හදලා සම්පූර්ණයෙන්ම ගම මොඩිෆයි කරන්න තමයි; මේ කාර්යයේදී බලාපොරොත්තු වෙන්නේ. මේ කටයුත්ත පමා වෙන්න හේතු වුණේ රටේ පැතිරී ගිය කොරෝනා තත්ත්වය. අද රටම ගිලගත් ආර්ථික අවපාතයක් ඇතිවෙලා. මේ වගේ තත්වයක් තුළ මගේ අදහස ක්‍රියාවට නැංවීම තව තවත් පහුවෙන එක තමයි සිද්ධවෙන්නේ.
අද කලාකාරයොත් සිස්ටම් චේන්ජ් එකක් සොයා අරගල කරනවා නේද?
මම අවුරුදු 20කින් විතර කවුරුවත් පාලකයො ගේන්න ඡුන්දය දීලා නැහැ. එහෙම ඡුන්දයක් දීලවත් පාලකයො පත් නොකරපු මම මොනවටද ඒ අය එළවන්න ඉදිරිපත් වෙන්නේ. අරගල කරයි. හැබැයි මේ අරගලයේ සැබෑ අරමුණ සිස්ටම් චේන්ජ් එකක් නම් ඇයි බලාපොරොත්තු වෙන චේන්ජ් එක සිද්ධ වෙනවද? චේන්ජ් එක ඉල්ලන අයම වංචාව කරනවා නම් තව කවර කතාද?
මොකක්ද මේ අරගලයේ තේරුම. අද ගෑස් ටැංකිය ගන්න, පෙට්‍රල් ඞීසල් ටික ගහගන්න, ඉන්ධන ටික ෆුල් ටෑන්ක් කරගන්න, කෑම ටික ගන්න අතයට මුදල් තියන්නද සිස්ටම් චේන්ජ් ගැන කතා කළේ. මේවා වෙනස් වෙන්න නේද අරගල කළේ. බඩු මල්ලක් අතට දෙනකොට දණින් වැටිලා ගන්න එකද සිස්ටම් චේන්ජ් එක. හිඟන මානසිකත්වය තුළ ඉන්නකම් සිස්ටම් චේන්ජ් විකාර කතා. මම ඔය මොන මතිමතාන්තරවලටත්, කවුරු කතා කළත්, කවුරු පෙනී හිටියත්, මම නෑ අලගු තියන්නෙ.
කලාත්මක හා වාණිජ සිනමාවේ කැපී පෙනුණ නිළියක් වූ ඔබ රංගන ධහරාවේ බොහෝ ඉසව් ආක්‍රමණය කළ නිළියක්?
සිනමාවේ ස්වර්ණමය යුගයට සම්මාදම් වූ ශිල්පිනියක් විදිහට මට හරි සතුටුයි; මගේ ගමන් මෙඟ් කඩඉම් පිළිබඳව. කලක් මම කාර්ය බහුල නිළියක් වෙලා හිටියා. දවසට චිත්‍රපට දෙකක් රඟපෑ අවස්ථා තිබුණා. මම රඟපෑ චිත්‍රපට එවකට තිබූ චිත්‍රපට මණ්ඩල පහේම එකවර තිරගත වූ අවස්ථා තිබුණා. සම්මාන උලෙළවලදී මම රඟපෑ චිත්‍රපට බහුතරයක් සම්මාන දිනාගත් අවස්ථා තිබුණා. මට මතකයි සරසවිය සම්මාන උලෙළකදී මම රඟපෑ, මම නිෂ්පාදනය කළ කෙළිමඬල චිත්‍රපටයට සරසවිය සම්මාන 14ක් හිමි වුණා. ඒක සරසවිය සම්මාන උලෙළේ වාර්තවක් කියලයි මම හිතන්නේ. එකම චිත්‍රපටයක් වැඩිම සම්මාන ප්‍රමාණයක් හිමිකර ගැනීම.
ලාංකේය සිනමාවේ විදෙස් චිත්‍රපට උලෙළ කිහිපයක් නියෝජනය කළ එකම ශිල්පිනිය ඔබ කිව්වොත්?
මගේ දැනුමෙ හැටියට නම් ඔබ කියන දේ හරි කියලයි මට නම් හිතෙන්නෙ. සමහර විට දැන් මෙම තත්ත්වය වෙනස් වෙලාද මම දන්නෙ නැහැ. මම මේ ලෝකයේ බොහෝ රටවල සංවිධානය කරන චිත්‍රපට උලෙළ සඳහා ආරාධිත අමුත්තියක් ලෙස සහභාගී වෙලා තියෙනවා. සමහර රටවල මම වෙනුවෙන් චිත්‍රපට උලෙළ සංවිධානය සිදුවුණු අවස්ථාත් තිබුණා. ග්‍රීසිය, ප්‍රංශය, ඉන්දියාව, නවදිල්ලිය, කේරළය, කල්කටා, ජර්මනිය, ලන්ඩන් ආදී රටවල නගරවල සිනමා උලෙළ බොහොමයක් වෙනුවෙන් මම සහභාගී වුණා. ඒක මට රංගන ශිල්පිනියක් වශයෙන් ලොකු ආඩම්බරයක්. ඒ වගේම ලොකු අත්දැකීමක්. ලංකාවේ නිළියක් සඳහා ලෝක මට්ටමේ නිළියන් අතර නම කියවෙනකොට කාටද සතුටක් නැත්තේ.
ලොව ප්‍රකට චිත්‍රපට අධ්‍යක්ෂකවරයකු වූ පෝල් කොක්ස් ඔබව අන්තර්ජාතික තලයේ විරාජමාන කළා නොවේද?
ඔහු අධ්‍යක්ෂණය කළ අයිලන්ඞ් චිත්‍රපටයේ මගේ රංගනය සුවිශේෂී වුණා. චිත්‍රපටයේ ලෝක ප්‍රකට නිළියන් රඟපෑවත් මගේ රංගනය ගැන විචාරක පේ්රක්ෂක පැසසුම් ගලා ආවා. මේ චිත්‍රපටය නිසාවෙන් මට විශාල මුදලක් ලැබුණා. එසේම චිත්‍රපට උලෙළ සඳහා සහභාගී වෙන්නත් මට ආරාධනා ලැබුණා.
ඔබේ දියණිය දිල්කි වීරසිංහ පවා ඔබ සිනමාවට හඳුන්වා දුන්නා නොවේද? ඒත් ඇය සිනමාව තුළ ගමනක් නොගියේ ඇයි?
මගේ නිෂ්පාදනයක් වූ ජැක්සන් ඇන්තනි අධ්‍යක්ෂණය කළ ජුලියට්ගේ භූමිකාව චිත්‍රපටයෙන් මම ඇයව සිනමාවට රැගෙන ආවා. නමුත් ඇය රඟපෑම තුළ දිගටම රැඳෙන්න අකැමැත්ත පළ කළා. එච්.ඞී.පේ‍්‍රමරත්න කරපු සිහින දනව්ව ටෙලි නාට්‍යයේ. මිස් ලංකා, හම්සේ නාටක්රානා පකිස්ථාන් චිත්‍රපට දෙකකත් හැරැණු කොට දිල්කි වෙන කිසිම කලා නිර්මාණයක රඟපෑවේ නැහැ. එයා චිත්‍රපට බලන්න ආසයි. සින්දු අහන්න ආසයි. ඒත් රංගනයට කැමැත්තක් නැහැ. ඇය කැමති ව්‍යාපාරික පැත්තෙන් ඉදිරියට යන්න. අද වෙනකොට ඇය ඒ පැත්තෙන් සාර්ථක ගමනක් ගිහින් තියෙනවා.
ඔබත් සමඟ සමීපව කටයුතු කළ රංගවේදියකු වන ජැක්සන් ඇන්තනි අද අනතුරකට පත්වෙලා දැඩි සත්කාර ඒකකයේ වෛද්‍ය ප්‍රතිකාර ලබනවා නේද?
ජැක්සන්ගේ පළවෙනි චිත්‍රපට අධ්‍යක්ෂණය මම නිෂ්පාදනය කළ ජුලියට්ගේ භූමිකාව. ජැක්සන් මුල්මවරට චිත්‍රපටයක රඟපෑවේ මා සම`ග ගුරු ගෙදර චිත්‍රපටයේ. මුල්වරට ටෙලි නාට්‍යයක මාත් එක්ක රඟපෑවේ තාරාදේවී ටෙලි නාට්‍යයේ. අපි අතර ආත්මීය බැඳීමක් තිබුණේ. මිත්රත්වයටත් එහා ගිය. මට අභින කියන නම යෝජනා කළෙත් ජැක්සන්. මට හරි වේදනාවක් මාත් එක්ක එකට හිටිය ජැක්සන්ට මේ වුණු දේ ගැන. මම ප්‍රර්ථනා කරන්නේ ජැක්සන්ට ඉක්මනින් සුවය ලැබේවා කියලා.
මෙරටට අන්තර්ජාතික කීර්තියක් රැගෙන ආ පළමු නිළිය ඔබ නොවේද?
මෙහෙමයි මාලිනී අක්කාට (මාලිනී ෆොන්සේකා* එයා දැන් ලොකු ළමයෙක්, සිරිපාල සහ රන්මැණිකා චිත්‍රපට ද්විත්වය සඳහා මුලින්ම අන්තර් ජාතික ඇගැයීමක් ලැබිලා තිබුණා. නමුත් අන්තර්ජාතික සම්මානයක් රැගෙන ආපු නිළිය මම. ඒ මල්දෙණියේ සිමියොන් චිත්‍රපටයේ මව සහ දියණිය ලෙස මම කළ ද්විත්ව චරිතය උදෙසා.
11 වෙනි අන්තර්ජාතික නවදිල්ලි චිත්‍රපට උලෙළේ හොඳම නිළිය ලෙසින් ඔබ සම්මානනීය වෙනවා නේද?
මේ චිත්‍රපට උලෙළට ලෝකයේ රටවලින් චිත්‍රපට 400ක් ඉදිරිපත් කරලා තිබුණා. එයින් අවසාන වටය සඳහා චිත්‍රපට 24ක් තරඟ වැදුණා. එයින් මම හොඳම නිළිය ලෙසින් රජත මයුර ර්ණීසකඩැර ඡුැ්ජදජන” සම්මානය දිනාගනිමින් මේ රටට අන්තර්ජාතික කීර්තියක් අත්කර දුන්නා.
එදා ඒ අන්තර්ජාතික සම්මානයෙන් ඔබ පුද ලද ඒ අතීතය අදත් ඔබට මතකද?
මීට අවුරුදු 35කට කලින් 1987දී තමයි මට රජත මයුර සම්මානය ලැබුණේ. ඒ වෙනකොට මට වයස අවුරුදු තිස් දෙකක් විතර ඇති. මේ සම්මාන උලෙළට ඞී.බී.නිහාල් සිංහ අධ්‍යකෂණය කළ මල්දෙනියේ සිමියොන් චිත්‍රපටයත් ලංකාව නියෝජනය කරමින් ඉදිරිපත් කර තිබුණා. සම්මාන උලෙළ සඳහා සහභාගීවෙන්න නිහාල්සිංහ, මම, ජෝ අබේවික්‍රම, විජය රාමනායක ඉන්දියාවට ගොස් සිටියා. සම්මාන ප්රදානය තිබුණේ 1987 ජනවාරි 24 වැනිදා. අපි කලින්ම ඉන්දියාවට ගියේ වැඩි වශයෙන් එහෙ චිත්‍රපට බලන්න. අපි නැවතිලා හිටියේ අශෝක හෝටලයේ. දවසට අපි චිත්‍රපට 4ක් විතර එහෙ බලනවා. උදේ ඉඳන් හැන්දෑ වෙනකන් කෑම බීම අපට ප්‍රශ්නයක් නැහැ. මොනවාහරි දෙයක් කාලා දවස පුරා චිත්‍රපට බැලීම තමයි අපේ වැඬේ. ජනවාරි 21 වැනිදා මගේ උපන්දිනය. ඒ වෙනුවෙන් විජය රාමනායක අපි හැමෝටම ඩිනර් එකක් දුන්නා. මේ ඩිනර් එකට මට මතක හැටියට ඉන්දියාවේ එවක ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයාව සිටියේ බර්නාඞ් තිලකරත්න. ඔහුටත් මේ ඩිනර් එකට ආරාධනා කරලා තිබුණා. එහිදී මහ කොමසාරිස්වරයා කියා සිටියේ මෙවර ලංකාවට සම්මානයක් තියෙනවා කියලා ආරංචියි කියලා. අපි හිතුවෙ නිහාල් අයියට හෝ ජෝ අයියට සම්මානයක් ඇති කියලා. අපි නැවතිලා හිටිය හෝටලයේ අපේ කාමර පේළිය තිබුණේ එක ළඟ. අපි ඒවායේ වෙන වෙනම නවාතැන්ගෙන හිටියා. අපේ සම්බන්ධීකාරක වශයෙන් සම්මාන උලෙළේ කටයුතු කරන්න පත් කරලා හිටියේ රවී මලික් කියලා කෙනෙක්. මට මතකයි එදා ජනවාරි 24වැනිදා උදේ පාන්දර මම නැවතිලා හිටිය කාමරයේ දොරට තට්ටු කරන සද්දයට මම බැලූවා. දොර අරිනකොට එතන හිටියේ ලොකු මල් බොකේ එකක් අරන් රවී මලික්. ගුඞ් මෝර්නින් කිව්ව රවී මගේ අතට මල් බොකේ එක දීලා මෙහෙම කිව්වා. අද ඔබතුමියට සම්මාන උලෙළට යන්න කාර් එකක් දීලා තියෙනවා. ළඟ තියෙන ලස්සනම ඇඳුමෙන් ලෑස්තිවෙලා ඉන්න කියලා මලික් එහෙම කිව්වම මට අදහගන්න බැරිවුණා. මේක මටත් ප්‍රශ්නයක්. මම ඇහුවා ඇයි කියලා. ඒත් ඔහු මොනවත් කිව්වෙ නැහැ. යළිත් කිව්වෙ මුලින් කිව්ව දේම තමයි. මම බැගෑපත්වෙලා රවී මලික්ගෙන් ඇහුවා මේ විශේෂත්වයේ කාරණය මට හංගන්නේ නැතුව කියන්න කියලා. ඒ පාර ඔහු කිව්වා ඔබතුමිය හො`දම නිළිය හැටියට නිර්දේශ වෙලා කියලා. මට අදහාගන්න බැරිව ගියා. ඒ සතුටට මට ඇඬුණා. මම මලික් බදාගෙන කෑගහලා ඇඬුවා සන්තෝෂය වැඩිකමට. මගේ ඇඬීම ඇහිලා නිහාල්සිංහ අයියා දොර ඇරගෙන ආවා ඇයි මේ අනෝජා කියලා. මට සතුට ඉහවහා ගිහින්. මලික්ව අත ඇරලා මම නිහාල් අයියාව බදාගෙන ඊට පස්සෙ අඬන්න පටන්ගත්තා. සන්තෝෂයෙන් හිත පිරිලා. මගේ ඇඬීම නතර කරපු නිහාල් අයියා මාව එකඟ කරගත්තා සම්මානය ලැබෙනකන් කාටවත් මේක නොකියන්න.
ඉන්දීය ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය හරහා මම නිර්දේශ වෙලා ඉන්නවා කියන පණිවිඩය එවක සරසවිය පත්තරයේ ප්‍රධාන කර්තෘවරයාව සිටි ග්‍රැන්විල් සිල්වාට දන්වලා තිබුණා. ග්‍රැන්විල් පත්තරෙන් වගේම රූපවාහිනියටත් දන්වලා මට සම්මානය ලැබුණොත් ප්‍රසිද්ධියක් ලබාදෙන්න කටයුතු සූදානම් කරලා තිබුණා. මම ඔසරියෙන් සැරසිලා ඒ මහා සිනමා උලෙළට මට එවා තිබුණු කාර් එකෙන් පිටන් වුණා. සම්මාන උලෙළ හරි ලස්සනට සංවිධානය කරලා තිබුණා. හොඳම නිළිය හැටියට නිර්දේශිත නාමාවලිය ප්‍රකාශ වුණා. මටත් අදහාගන්න බැහැ. කදුළුවලින් මගේ ඇස් පිරිලා. හොඳම නිළියට මගේ නම කියවුණා. මට රජත මයුර සම්මානය ලැබුණා. එදා රාත්‍රී රූපවාහිනියේ ප්රවෘත්ති විකාශයේ මට සම්මානය ලැබීම ගැන ඉඩකඩ වෙන්වෙලා තිබුණා. ¥රදර්ශන් රූපවාහිනිය හරහා එහි දර්ශන අරගෙන අපේ රටේ විකාශය කරලා තිබුණා. මම පහුවදා ලංකාවට එනකොට මම සම්මානයට පාත්රවීම ගැන විස්තර, ඡුායාරූප පත්තර මුල් පිටුවල පළ වී තිබුණා. මම රජත මයුර සම්මානය අරන් ලංකාවට එනකොට සරසවිය සම්මාන උලෙළේ චිත්‍රපට සතිය රීගල් සිනමාහලේ පැවැත්වෙනවා. එදා හවස මම ගුවන් තොටුපළට ආවම මාව කෙළින්ම අරන් ආවේ රීගල් සිනමා ශාලාවට. ග්‍රැන්විල් සිල්වා මාව පිළිගන්න රීගල් එකේ උත්සවයක් පවා චිත්‍රපට සතිය තුළම සූදානම් කරලා තිබුණා. මල් ඇතිරූ පාවාඩ මතින් මම සම්මානය අතැතිව මම සිනමා ශාලාවට එනකොට හිත මිත්‍රයන්ගෙන්, මගේ සිනමා රසිකයන්ගෙන් උණුසුම් ප්‍රතිචාර ලැබුණා. මට මතකයි ඒ හැමෝටම ස්තූති කරන්න. මාව රීගල් එකේ වේදිකාවටත් නැග්ගුවා.
ජීවන්-අනෝජා සුංසයෝගය කලක් ජනප්‍රිය සිනමාවේ නැතිවම බැරි චරිත දෙකක් වුවානේද?
එහෙම කාල පරිච්ෙඡ්දයකුත් තිබුණා. මම නිෂ්පාදනය කළ ඔබට දිවුරා කියන්නම් චිත්‍රපටයේ ජීවන් දුෂ්ටයා විදියට මාත් එක්ක රඟපෑවා. ජීවන් රඟපාන චිත්‍රපටවල මම රඟපෑවා. කොහොම හරි ඒ දවස්වල අපි දෙන්නව චිත්‍රපට කරපු අධ්යක්ෂවරු, නිෂ්පාදකයෝ හරි හරියට චිත්‍රපටවලට සම්බන්ධ කරගත්තා. මේ සබඳතාවය ජීවන්-අනෝජා යුගයක් බවට සිනමාවේ ඇතිවුණා. ජීවන්ගේ බිරිය ෂෙරීන් මගේ ළඟම මිතුරියක් වුණා. අපි අතර තිබුණ බැ`දීම ගහට පොත්ත වගේ. ජීවන් සමඟ මම ඔබට රහසක් කියන්නම්, සිනාසෙන්න රත්තරන්, රණබිමේ වීරයා ආදී චිත්‍රපට බොහොමයක් රඟපෑවා. සින්දු කියන්න පුළුවන්කමත් නටන්න පුළුවන්කමත් අපි දෙන්නට තිබුණ නිසා අපි අතර රංගනයත් වඩාත් පහසු වුණා.
තම රංග ප්‍රතිභාව ප්‍රගුණ කරලන්නට අනෝජා බි්රතාන්යයේ ලන්ඩන් නුවර ”ලැම්ඩා” ආයතනයට සම්බන්ධ වෙනවා නේද?
ඒක මම ලබාගත් භාග්‍යයක්. කලාව සංගීතය, රංගනය, හඬ පාලනය පිළිබඳ මට දීර්ඝ කාලයක් මෙම ආයතනයෙන් ඉගෙනුම ලබනවා. මේ ආයතනයේ ඉගෙනගන්න යනවා කියන එක අපි වගේ රටක නළුවෙකුට නිළියකට හීනයක්. ඒත් ඒ හීනය මට සැබෑ කරගන්න පුළුවන් වුණේ ලියෝ බ්‍රදර්ස් ආයතනයත්, ජීවන් කුමාරතුංගගේ බිරිය ෂෙරීන් නිසාත්. පවුම් 6000ක මුදලක් මට මේ සඳහා ගෙවන්න සිද්ධවුණා. ෂෙරීන්ගේ පියා සේනාරත්න මහත්තයා ෂෙරීන්ට පණ වගේ ආදරෙයි. ෂෙරීන් කිව්වොත් නොකරන දෙයක් නැති තරම්. මම මේ ආයතනයේ ඉගෙන ගන්න යන්න දෙලොවක් අතර තනිවෙලා ඉන්නකොට ෂෙරීන්ගෙ කීමට එයාගේ තාත්තා මට මුදල් දුන්නා; ඉගෙනගන්න. ලියෝ බ්‍රදර්ස් ආයතනය අනුග්‍රහය දැක්වුවා. අද මම දෙයක් කරනවානම් ඒ හැම මොහොතකම ලියෝ බ්‍රදර්ස් ආයතනයටත්, ෂෙරීන්ගේ තාත්තා වන සේනාරත්න මහත්තයාටත් පින් දීලා තමයි මගේ වැඩ කටයුතු පටන් ගන්නේ. ඒ අය වෙනුවෙන් මට කළ හැකි කෙළෙහි ගුණ දැක්වීම මම ඒ ආකාරයෙන් හැමදාකම මම සිද්ධ කරනවා.
ගායිකාවක් ලෙසින් ඔබ ගමනක් අරඹනවා නොවේද?
බී. වික්ටර් පෙරේරා සර් යටතේ මම උත්තර භාරතීය රාගධාරී සංගීතය ඉගෙනගත්තා. රංගනය හා ගායනය මම ඉගෙන ගත්තත් මගේ රංගන කටයුතු බහුලවිමත් සමඟ ඒ සඳහා විභාගවලට පෙනී සිටීමට මට කාලය පිළිබඳ ගැටලූ ආවා. ඒ නිසාම දොඩම් ගොඩ වගේ හැම දේම බදාගන්නේ නැතිව මගේ සොයුරිය වූ මායා දමයන්ති ගායනය පැත්තෙන් ගමනක් යන්න මම රංගනය පමණක් තෝරාගත්තා. විජය කුමාරතුංග එක්ක මම විජය - අනෝජා නමින් කැසට් එකක් පවා එළි දැක්වූවා. අද ඒ ගීත කැසට් පටයේ මුල් ටේප් එක මගෙන් අරන් ගිය අයත් නැති කරලා. මම ළඟ තියෙන්නේ ඒ ගීත එකතුවේ සීඞී එකක් විතරයි.
දශක හතරකට එහා ගිය කලා ජීවිතයක් තුළ මුල්ම සිනමා අත්දැකීම අදත් ඔබට මතකද?
මොනරතැන්න චිත්‍රපටයේ පළමු දර්ශනය ගන්නකොට මගේ රඟපෑමට සියලූදෙනාම හිනාවුණා. ඒත් මාලිනී අක්කා මට හිනාවුණේ නැහැ. මගෙන් ඇහුවා මීට කලින් චිත්‍රපටයක රඟපාලා තිබුණද කියලා මම නෑ කිව්වා. මගේ පළවෙනි චිත්‍රපට අත්දැකීම මේක කියලා මම කිව්වා. නාට්‍යවල රඟපාලා තිබුණා ඇරෙන්න චිත්‍රපටයක අත්දැකීමක් මට නොතිබුණු නිසා මුලින් මාලිනී අක්කා කැමරාවට රඟපාන හැටි මට කියලා දුන්නා. ඊටපස්සේ මම ඒ කිව්ව විදිහට රඟපෑම කළා.
දෙස් විදෙස් සම්මානයට ලක් වූ විවිධ චරිත ඔබ චිත්‍රපට හරහා ප්‍රතිනිර්මාණය කළා. ඒ තුළ සිනමා නිර්මාණ මෙන්ම එහි රඟපෑ චරිතවලින් වඩාත්ම ඔබ කැමති මොන නිර්මාණවලටද?
චිත්‍රපට අසූවකට වැඩි ප්‍රමාණයක් මම රඟපාලා තියෙනවා. මේ ප්‍රශ්නයට මට කවදාවත් උත්තරයක් දෙන්න බැහැ. රංගනයේ යෙදුණු ශිල්පිනියක හැටියට මම හැම චිත්‍රපටයකම රඟපෑ හැම චරිතයක්ම මට වෙන් කරලා කතා කරන්න බැහැ. ඒ සියල්ලම මගේ රංගන ජීවිතයේ පියගැට. මොනරතැන්න චිත්‍රපටයේ සුරංගීව වගේම මම ඒ චිත්‍රපටයේ මුහුණදීපු හැම අභියෝගයක්ම මට අදත් මැවිලා පේනවා.
වේදිකාව මෙන්ම රූපවාහිනි මාධ්‍යයෙත් ඔබේ පළමු රංගන නිර්මාණය මතකද?
ඩොනල්ඞ් රණවීරගේ ”සටන” වේදිකා නාට්‍යය තමයි මගේ ප්‍රසිද්ධ වේදිකා රංගනය. ඊට කලින් වේදිකා නාට්‍යවල රඟපාලා තිබුණත් ඒවා පාසැල් වේදිකාවේ. පුංචි තිරයේ මගේ මුල්ම ටෙලි නාට්‍ය රංගනය ලූෂන් බුලත්සිංහලගේ තාරාදේවී ටෙලි නාට්‍යයයි. මේ ටෙලි නාට්‍යයේ රංගනය අදත් මිනිස්සුන්ට මතකයි. රූපවාහිනිය පැමිණි මුල් කාලයේ මේ ටෙලි නාට්‍යය විකාශයවීම නිසා මිනිස්සුන්ගේ හිත්වලට මාව හොඳින් කා වැදිලා තියෙනවා. සමහර අය අදටත් කියනවා මට තාරාදේවී කියලා.
ඔබේ ජිවිතයේ විශාල පරිවර්තනයක් ඇතිවන්නේ නිවස ගිනිබත් කිරීමත් සමඟ
මා තුළ ඇති කරන කළකිරීම එතෙක් මා ජීවිතයේ ලබා තිබූ පරාජයක්. මේ හැම දෙයක්ම මාව ආධ්‍යාත්මික පැත්තට යොමු කරනවා. මම හත් වරක් ජිවිතය නැති කරගන්න උත්සාහ කරපු කෙනෙක්. දෙවරක් විවාහ වෙලා විවාහය අසාර්ථක වූ කෙනෙක්. මේ හැම දෙයකින්ම මම ලබපු චිත්ත පීඩාවන් සඳහා මට යෝධ ශක්තියක් වුණේ භාවනාව සහ යෝග. රංගන ශිල්පිනියක් වශයෙන් මම භාවයන් සමඟ ගනුදෙනු කරමින් හිටිය නිසා මනසත් එක්ක ගනුදෙනු කිරීම මට පහසුවක් වුණා. මම දැන් ගෙවන්නේ අල්පේච්ඡු ජිවිතයක්. මෙහෙම කියනකොට සමහරු හිතයි අනෝජා සෝවාන් වෙලාද කියලා. එහෙම අහන අය ගැනත් මට ඇතිවන්නේ කනගාටුවක්, ලැජ්ජාවක්. උදේම කිරි විදුරවක් බීලා නට් බිස්කට් එකක් හරි කෙසෙල් ගෙඩියක් හරි කාලා දවස අරඹන මම දවල්ට නිර්මාංශ බත් වේලකින් කුස පුරවාගන්නවා. ?ට එළවළු සුප් එකකින් මගේ දවසෙ ආහාර වේල නිමාවෙනවා. බිමට එළාගන්න ඇතිරිල්ලක් මත හිසට කොට්ටයක් තබාගෙන නිදාගන්නවා. මේ වගේ ඉතාමත් සරල ජීවිතයක් තමයි මම ගෙවන්නේ. සෞඛ්‍ය සම්පන්න, ලෙඩ රෝගවලින් තොර සැහැල්ලූ මනසකින් මම ජීවිතය ගෙවා දමන්නේ. තවත් විශාල පිරිසකට දැනුම් සම්භාරයක් මගේ වැඩ කටයුතු හරහා ලබාදෙමින් මට තියෙන ගැටලූව තුන්වේල කන්න දියව් දියව් කියලා කෑගහන රටේ මිනිස්සු රට වෙනුවෙන් මොනවද රටට දීලා තියෙන්නේ කියලා.
ජීවිතයේ කළකිරීම් මධ්‍යයේ හැරවුම් ලක්ෂ්‍යයක් ලෙසින් යළි ජවයක් ලැබූ අනෝජාටද නැතහොත් එදා ලෞකික ආශාවන් මධ්‍යයේ දිවි ගෙවූ අනෝජාටද ඔබ කැමති?
එදා හිටිය අනෝජාට මම කොන්දේසි විරහිතව සමාව දීලා තියෙනවා. ඇයට මම ගෞරව කරනවා, ආදරය කරනවා. කොන්දේසි විරහිතව එදා මට ආදරය කළ රසිකයන්ගේ ප්‍රතිචාර දක්වපු විදිහයි, අද මට ප්‍රතිචාර ලැබෙන විධියයි හරි වෙනස්. අද ඉන්න අනෝජාට මම කොන්දේසි විරහිතව ආදරය කරනවා. සුදු කලිසමත්, කහ ටී ෂර්ට් එකත්, රබර් සෙරෙප්පු දෙකත් දාලා තැනකට ගියත් මැඩම් කියලා කතා කරන, හිස නමලා ආචාර කරන, එහෙම නැතිනම් පාත්වෙලා වඳින පවිත්‍ර ආදරයක් දකින්න පුළුවන්. ඒ පූජනීය ආදරයට මම හදවතින්ම කැමතියි.
ඡායාරූප - නිශ්ශංක විජේරත්න