වර්ෂ 2023 ක්වූ December 09 වැනිදා Saturday
කලා පෙළේ සඳ බැස යයි

ඈ කලා ක්ෂේත්රයට පිවිසියේ හත් හැවිරිදි වියේ කුඩා දැරියක ලෙසිනි
ගුවන් විදුලිය,වේදිකාව, සිනමාව සහ රූපවාහිනිය තුළින් ඉමහත් ජනාදරයට පත් කුසලතා පුර්ණ රංගශිල්පිණියක වූ ලියෝනි කොතලාවල මහත්මිය ඉකුත් 19 වැනිදා අභාවප්‍රාප්ත වූවාය.
එදා මෙදා තුර හද බැද ගත් ආදරණීය පේ්රක්ෂකයින් ගෙන් මෙන්ම තම ජීවන රඟමඩලෙන් ද සමුගත් ඈ මිය යන විට 78 වන වියේ පසුවූවාය.
ඈ කලා ක්ෂේත්රයට පා තබනු ලැබුවේ හත්හැවිරිදි වියේ කුඩා දැරියක ලෙසිනි. ගුවන් විදුලියේ එවක රැකියාව කළ තම බාප්පා වූ ස්ටැන්ලි විමලවීරයන් ගේ සුරතේ එල්ලී ගුවන් විදුලියට පා එස වූ ලියෝනි පසු කලෙක ගුවන් විදුලියේ ඒ ශ්‍රේණියේ නාට්‍ය ශිල්පිණියක් වූවාය.
කොටහේනේ යහපත් එඩේරාගේ කන්‍යාරාමයේ අධ්‍යාපනය ලැබූ ලියෝනි වයස අවුරුදු දොලහේ දී වේදිකාවට අත්පොත තැබුවේ ජී.ඩී.එල්. පෙරේරාගේ ‘මනමාලකම’ නාට්‍යයට හා පුරා කියා එක්වෙමිනි. හැටේ දශකයේ කලා ලොවට පිවිසි ලියෝනි එවක ප්‍රධාන පෙළේ ගුවන් විදුලි නාට්‍ය නිෂ්පාදකයන් වූ සුගතපාල සිල්වා. කරුණාරත්න අමරසිංහ බණ්ඩාර කේ විජේතුංග ආදීන්ගේ නාට්‍ය නිෂ්පාදනයන්හි රංගනයන් ඉදිරිපත් කළාය.
හතලිස් එක්වැන්නා, මොරණතැන්න, කැලෑමල්, වජිරා ආදී ගුවන් විදුලි නාට්‍ය රැසක ඈ විවිධ චරිත ඉදිරිපත් කළාය.
රංජීත් ධර්මකීර්ති, ලුෂන් බුලත් සිංහල, කිංස්ලි දිසානායක, වැනි ප්‍රවීණ කලාකරුවන් ඇසුරේ වේදිකාව හඳුනාගත් ලියෝනි තොටුපළ, මෙහෙව් ලෝකයක්, සක්කර වට්ටම්, රතුරෝස, මනමාලකම ආදී වේදිකා නාට්‍ය රැසකම රංගනයෙන් එක්වූවාය.
සාමා චිත්‍රපටයෙන් මුල් වරට සිනමාවට එක් වූ ලියෝනි චණ්ඩාලි, පිපෙන කුමුදු, වජිරා, පුනරුප්පත්තිය, බොරදිය පොකුණ, රජ දරුවෝ, සරසවි දියණියෝ, සුළං කිරිල්ලී, එකමත් එක රටක, බන්ධනය, දැවෙන විහඟුන් ආදී චිත්‍රපට රැසක් සඳහා රංගනයෙන් නොමසුරු දායකත්වය එක් කළාය.
1962 දී කලා මණ්ඩලය මඟින් සංවිධානය කළ ප්‍රථම වේදිකා නාට්‍ය තරඟයෙන් ‘මෙහෙව් ලෝකය’ වේදිකා නාට්‍යයේ රංගනය උදෙසා හොඳම නිළිය ලෙස සම්මාන ලැබු ලියෝනි 1988 දී. ප්‍රථම උණ්ඩා සම්මානයෙන් කුමාරිහාමි ටෙලි නාට්‍යයේ මේරිගේ චරිතය සඳහා හොඳම නිළිය සම්මානය ලැබුවාය.
කලා ලොවේ නිම් වළළු පුළුල් කරමින් නව මං සොයා ගිය ලියෝනි පුංචි තිරයේ වඩාත් ජනපි‍්‍රය වූ චරිතයක් විය. නාලන් මෙන්දිස්ගේ නෑදැයෝ ටෙලිසිත්තමේ අගිදහාමි, තිලක් ගුණවර්ධනගේ කුමාරිහාමි ටෙලි නාට්‍යයේ මේරි, ලියෝනි පේ්රක්ෂක මතකයේ අහස උසට ඔසවා තැබු චරිත විය.
අන්දර වැට, සත්සර රංගන හා ඒකාංගික ටෙලි නාට්‍ය හැරුණු කොට ප්රසාංගික ටෙලි නාට්‍ය විශාල ප්‍රමාණයක් රඟ පෑ ලියෝනි නෑදැයෝ, සෝමාගේ සිහිනය, චාරුලතා, තාරාදේවි, කුමාරිහාමි, හිරුට මුවාවෙන්, චරිත තුනක්, අරවින්ද සහ ඉන්දු, කඩතිර, කම්මිත්ත ආදී ජනපි‍්‍රය ටෙලි නාට්‍ය රැසක රංගනයන් ඉදිරිපත් කළාය.
බොහෝවිට පේ්රක්ෂකයන්ගේ අනුකම්පාව දිනූ මිත්තණියක මෙන්ම මවක් ලෙසින් රංගනයන් ඔස්සේ අසිමීත පේ්රක්ෂක හද දිනූ ඈ කිසි දිනක රඟපෑම උදෙසා චරිත සොයා නොගියේය. චරිත ඈ සොයාගෙන පැමිණියේය. චිත්‍රපට නිශ්චල ඡායාරූප ශිල්පියෙකු වූ තිස්ස කොතලාවල හා විවාහ වූ ලියෝනි පුතුන් පස් දෙනෙකුගේ ආදරණීය මවක් වුවාය. දශක හතකට ආසන්න කාලයක් කලා ක්ෂේත්රයේ නියැලි ලියෝනි කොතලාවල තම ආදරණීයන්ට සමුදෙමින් ඊයේ 22 වැනිදා මල හිරු බැස යන සැදෑයාමයේදී බොරුල්ල කනත්තේ දී තම සහෘදයන්ට සමුදෙනු ලැබුවේ මෙතෙක් කලක් ඈ රංගනයෙන් මැවූ ඒ අතීත රඟමඩල අප හද තුළ සදා මතකයේ රදවමිනි.