වියෝ ගී ගැයෙනා හදේ ආදර මල් නොමියේ

-නීලා වික්‍රමසිංහ-
ජනවාරි 27, 2022

 

බෝධියේ විහාරයේ

පිදූ පියුම් වැනි වූ

බාලිකා ලොව

මැළවුණ දා

මුළු ලොවටම

රෑ වෙනවා....

 

ඇය ගැයුවේ එහෙමය. එහෙත් අද රෑ කළුවර වී ඇත්තේ බාලිකා ලොව නොව අපේ ගීත ක්ෂේත්‍රයය. ඒ ඇගේ සුමිහිරි ගී නාදය යළිත් කිසිදා නොඇසෙන්නට නිහඬ වූ බැවිනි. ඈ නමින් ආදරය කළ සුවහසක් ගීත ශ්‍රාවකයන්ගෙන් මිදී දුරු රටක වා තලයට ඇගේ අවසන් සුසුම් නිකුත් වූ බව පෙර දා දැනගත්තේ ලාංකික ශ්‍රාවක සිත් සතන් ගල් කරවමිනි. උඳුවප් සීතල අපේ ආදරණීයයන් කැඳවා ගනිද්දී ගල් වූ සිතින් ඒවා දරා සිටිනවා හැරෙන්නට වෙන කුමක් කළ හැකිද? මතු දා එවන් ආදරණීයයකුගේ සමුගැනීමක උණුසුම පහව යන්නටත් මත්තෙන් ඔබ ද ගිය බව දැනගන්නට ලැබීම හද කම්පා කරවන්නකි.

ඈ නීලා වික්‍රමසිංහය. ඉතාලියේ මිලානෝ නුවර දී ඇය සදහටම දෙනෙත් පියාගත්තේ මෙරට රාජතන්ත්‍රීකයකු ලෙසින් සේවය කරන්නට එය පා තබා සුළු කලදීය. ඇය මෙරට සංගීත ලෝකය තුළ සුවහසක් ගීත ශ්‍රාවකයින්ගේ ආදරය දිනාගත් ගායිකාවක වූවාය. එසේම ඉතාමත් අලංකාර ගී තනු අපේ ගීත ක්ෂේත්‍රයට දායාද කළ තනු නිර්මාණ ශිල්පිනියක වූවාය. ඒ සියල්ලටම වඩා ඇය මෙරට අනාගත පරපුරකට සංගීත ඥාානය බෙදා දුන් ආදරණීය ගුරු මවක ද වූවාය.

ඇගේ ජීවන ගමන් මඟ දෙස ආපසු හැරී බලද්දී ජීවිතයේ ඉතා කුඩා කාලයේ පටන්ම දෛවය ඇයට හිමිකර දුන් සරදම් අභියෝගයන් බාර ගනිමින් උත්සාහයෙන්. ධෛර්යයෙන් ජීවිතය ජයගත් ගැහැනියක වූවාය.

ඇය දෝන ඩිලීෂියා නීලා වික්‍රමසිංහය. දොන් ෆ්‍රැන්සිස් වික්‍රමසිංහ සහ විතානාරච්චිගේ දොන් යසවතී ගුණසේකර දෙපළට දාව පවුලේ බාල දියණිය ලෙසින් ඇය ඉපදුණේ 1950 මාර්තු 31 වැනිදාවකය. සිඟිති නීලා වත්තල කිරිමැටියාගාර විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ආරම්භ කළ අතර පසුව කැස්බෑව මහා විදුහලට ඇතුළත් වූවාය. ඇගේ සුන්දර ළමා විය ඇයට අහිමි කරලනුයේ ඇයට වයස අවුරුදු 6 ලබනවාත් සමඟමය. රැදුරු පෝලියෝ රකුසාට බිලිවන ඇය සම වයසේ දරුවන් සමඟ දුව පැන ඇවිදීමේ වරම අහිමි කර ගන්නේ අවාසනාවන්ත අයුරිනි. ඇය වැඩි කාලයක් කල් ගෙවූයේ මවගේ සහ සිය ආච්චි අම්මාගේ උකුළේය. ඇයව පාසලට රැගෙන ගොස් ඇත්තේ සිය මව කරපින්නාගෙනය.

සම වයසේ දරුවන් පිට්ටනිය පුරා දුව පැන ඇවිදිද්දී නීලා බංකුවකට වී ඒ දෙස බලා සිටියාය. එහෙත් ඈ කිසිදු විටෙක සිය චිත්ත ශක්තිය නොබිඳී තබා ගැනීමට තරම් ශක්තිවන්ත දැරියක් වූවාය. මේ ආත්ම ශක්තියම දිනක කෙසේ හෝ පොළොවේ පය ගසා ඇවිදින්නට ඇයට ශක්තියක් වූයේය.

කුඩා කාලයේ පටන්ම ගීත ගායනයට කැමැත්තක් දැක් වූ ඇයගේ සංගීත දිවිය මුලින්ම සාරවත් වනුයේ කැස්බෑව විද්‍යාලයට ඇතුළත් වූ පසුවය. පසු කළෙක පිළියන්දල මහා විද්‍යාලයට ශිල්ප ශාස්ත්‍ර හැදැරීමට පැමිණි ඇයට සංගීතය හැදැරීම සඳහා අතිදක්ෂ සංගීත ගුරුවරුන් කිහිප පොළක්ම මුණ ගැසිණ. ඒ වින්සන්ට් සෝමපාල ආනන්ද ජයසිංහ, සරත් දසනායක වැන්නෝය.

හුරු බුහුටියට ගායනය ඉගෙන ගත් නීලා ඉස් ඉස්සෙල්ලාම ගුවන් විදුලියට පය තබනුයේ 1959 දීය.

ඒ ‘ආධුනික හඬ’ වැඩසටහනටය. ඒ වනවිට ඇගේ වයස අවුරුදු 9ක් පමණ විය. මේ ආභාෂයත් සමඟ ඇය ප්‍රථම වතාවට ගීතයක් පටිගත කරන්නීය. ඒ 1969 රේඩියේ සිලෝන්හිදීය. ඇගේ ප්‍රථම ගීතය රචනා කළේ ඩෝල්ටන් අල්විස් විසිනි. සංගීතය නිර්මාණය කළේ ලයනල් අල්ගම විසිනි. මේ කාලය අතරතුරම ඇය චිත්‍රපට පසුබිම් ගායනයට ද අවස්ථාව ලද්දාය. පුවත්පතක පළ වූ දැන්වීමකට අයැදුම් පත්‍රයක් යොමුකළ ඇය අයදුම්කරුවන් 555 දෙනකු අතරින් එම අවස්ථාව හිමිකර ගත්තීය. ඒ ලතා වල්පොල සහ එම්.එස්.ප්‍රනාන්දු ගැයූ ‘රොන් රස බේරෙන’ ගීතයට අත්වැල් ගායනයෙන් එක්වෙමිනි. පසුව ඇය ‘සිතිජය’ චිත්‍රපටයට කවි දෙකක් ද ගායනා කළාය.

නීලාගේ සංගීත දිවියේ කඩඉමක් වූයේ ගුවන් විදුලි සරල ගී ශිල්පිනියක් වීමය. ඩෝල්ටන් අල්විස් රචනා කළ පණ්ඩිත් අමරදේව සංගීතවත් කළ “ඔබේ සුරතින්’ නැමැති සරල ගීතය ඇය ගුවන් විදුලියට ගායනා කළ මුල්ම සරල ගීයයි. ගුවන් විදුලියේ ද ස්වර්ණමය යුගයක් ලෙසින් සලකන රිජ්වේ තිලකරත්න යුගය නීලාගේ ගායන දිවියට ද රැගෙන ආවේ ස්වර්ණමය යුගයකි.

ඇය 1968 පැවැති සරල ගී පරීක්ෂණයෙන් බී. ශ්‍රේණියේ ගායිකාවක ලෙසින් සමත් වූ අතර පසුව ඒ ශ්‍රේණියට උසස් කරන ලදී. ඇගේ ජනපි‍්‍රයතම ගීත අතර වන ‘දෑතට වළලු - මල් මුතුලැල් මාල පොටයි, සූ සැට බරණින් සැරසීලා, ඉඟබිඟි කරනා, මිහිදුම් සලු තිර, පියමං කෙරුවෙමි වැනි ගීත නිර්මාණය වන්නේ ඈ ගැයූ සරල ගීත තුළය.

එදා සිට මේ දක්වා ඇය ගායනා කර ඇති ගුවන් විදුලි ගීත, චිත්‍රපට ගීත, ටෙලි නාට්‍ය ගීත, කැසට් ගීත කොපමණදැයි ගණනින් නම් කළ නොහැකිය. මේ සියල්ලන් තුළම ඇය ඇයට අනන්‍ය හඬ පෞරුෂයක් ගොඩනඟා ගත්තේය. ඒ හඬ පෞරුෂය තුළ භාවාත්මක බව, ඉමිහිරි බව ඕනෑවටත් වඩා වූයේය. ඒ තුළ පවතින්නා වූ රසවත් භාවය නිසාම ඇගේ ගීත අපගේ භාවයන් ද උද්දීපනය කරමින් අප මනසේ ලැඟුම් ගත්තාය. එසේම ඇගේ ගායන කෞෂල්‍ය එක් ශෛලියට අයත් වූවක් නොවීය. ඇය පෙරදිග මෙන්ම අපරදිග ලක්ෂණ ද අපූරුවට තම ගායන විලාසයට සංකලනය කර ගත්තාය. එසේම ජන ගීතයේ නාද මාලාව ද ඇය චිත්‍රපට ගීතයේ හැඩතලය ද හොඳින් හඳුනාගෙන ඒ එක් වර්ගයේ නිර්මාණයන් වෙනුවෙන් සිය හඬ ප්‍රදානය කිරීමට සමත් වූයේය. විශේෂයෙන්ම පෙරදිග ශෛලිය පෙරදිග ලෙසටත්, අපරදිග ශෛලිය අපරදිග ලෙසටත් ගායනා කිරීමේ අපූරු හැකියාව ඇය සතු විය. හොඳම උදාහරණය වන්නේ ‘මාස්ටර් සර්’ ගීතය සහ ‘මල් මුතුªලැල්’ ගීතයයි.

නීලාගේ ගායන දිවියේ මුල් කාලයේ දී ගායනා කළ පහත ගීතය එකල ඇයට අසීමිත ජනපි‍්‍රයත්වයක් ලබා දුන් ගීතයක් විය. මවක් සහ දියණියක් අතර වන්නා වූ සදාකාලික ආදරණීයත්වය. මෙරට සෑම දියණියකගේම ඇසට කඳුළක්ව ගෙන එන්නට හැකි වූයේ නීලාගේ භාවාත්මක ගායන විලාසය.

‘එදා උකුළු තල -

මා සුබ යහනට

තොළඟින් මැතිරූ -

නැළැවිල්ලෙන්

හැරලා මා සුබ

සිහින විමානෙට

නිදි ගන්වා

මා ඔබ තුරුලේ...

 

පි‍්‍රයානන්ද විජේසුන්දර රචනා කර ඇති මේ ගීතයේ සංගීත නිර්මාණය අතුල සෝමසිරිගෙනි. එසේම ඇය එකල ගුවන් විදුලිය මඟින් විකාශය වූ අමරදේවයන්ගේ ‘ස්වර වර්ණ’ විචිත්‍රාංගය වෙනුවෙන් ඉදිරිපත් කළ පහත ගීතය අද ද පේ‍්‍රමයේ සුන්දරත්වය සේම සියලු බැඳීම් සම්මත නීති චර්යා ධර්මයන් පේ‍්‍රමය අභියස බිඳී යන බව ද ප්‍රකට කරන්නක්.

‘දස්කොන් සකි සඳ

ඉක්මන් ගමනින්

නොඑනා ගමනකි යන්නේ

සක්මන් මළුවේ

බැඳි පෙම් තොරණේ

මල් දම් ගිලිහී යන්නේ....

මහාචාර්ය සුනිල් ආරියරත්නගේ ගී පද සංකල්පනාවට ගී තනු නිර්මාණය කර තිබුණේ පණ්ඩිත් අමරදේවයන්ය. මෙම ගී තනුවට පණ්ඩිත් අමරදේවයන් කෙතරම් පෙම් කළා ද කිවහොත් මෙම ගීයේ මාත්‍රාවට ඔහුගේම හඬින් ගීයක් ගැයූ බවද ප්‍රකටය.

නීලාගේ සරල ගී ගායනය සේම චිත්‍රපට පසුබිම් ගීත ගායනය ද සුවිශේෂීය. නීලා චිත්‍රපට 50ට අධික සංඛ්‍යාවකට පසුබිම් ගායනය කර ඇති අතර ඇය හා හා පුරා හොඳම ගායිකාව ලෙසින් සම්මානයට පාත්‍ර වන්නේ 1984 දීය. ඒ ඇතින් ඈතට චිත්‍රපටය ඇය ගැයූ බෝධියේ විහාරයේ’ ගීතයට සරසවිය සම්මානය ලැබීමෙනි. නැවත වතාවක් 1988 දී ඇය 1988 දී ‘දුර්ගා’ චිත්‍රපටය ගායනා කළ ‘රස මුසු වූ පෙම් කල්පනා’ ගීතය සම්මාන දිනා ගත්තාය. තෙවැනි වතාවට ඇය සම්මානයට පත්වන්නේ ‘දොළොස් මහේ පහන’ චිත්‍රපටයට ගැයූ ‘පෙමක සුවඳ දැනිලා ගීතයටය. ඒ 1992 වසරේ පැවති 20 වැනි සරසවිය සම්මාන උලෙළේ දීය. පසුව 2005 වසරේ පැවති සරසවිය සම්මාන උලෙළේ දී ‘සමන්තා’ චිත්‍රපටය ඇය ගැයූ ‘නිල් නිල් ඇස් අග‘ ගීතයට ද ඇය හොඳම ගායිකාව ලෙසින් සරසවිය සම්මානය දිනා ගත්තාය.

නීලා මුල්වරට තනි ගීතයක් චිත්‍රපටයක් වෙනුවෙන් ගායනා කර ඇත්තේ සුමිත්‍රා පීරිස් ගේ ‘ගැහැනු ළමයි‘ චිත්‍රපටය.

‘වියෝ ගී ගැයෙනා හදේ

ආදර මල් නොමියේ...

සදා මේ සංසාරේ...

අපේ හමුවීම නොඒ...

මේ ගීතය එම යුගයේ කෙතරම් ජනපි‍්‍රය වූයේ දැයි විමසිය යුතු නොවේ. එකල බොහෝ යෞවන යෞවනියන්ගේ සිත් වසඟ කළ නිතර තොලඟ රැඳුණ ගීතයක් බවට පත් වූයේය. අපේ සිනමාවේ නිළි රැජන මාලිනි ෆොන්සේකාගේ සිට ස්වර්ණා මල්ලවාරච්චි, ශි‍්‍රයානි අමරසේන, ගීතා කුමාරසිංහ, වසන්ති චතුරානි, සබීතා පෙරේරා, නදීකා ගුණසේකර, රසාදරී ෆොන්සේකා ඇතුළු නිළියන් රැසකට ඇය පසුබිම් ගී ගයා ඇත.

ගායිකාවක් වශයෙන් පමණක් නොව ගී තනු නිර්මාණ ශිල්පිණියක ලෙසින් ද ඇය මෙරට බොහෝ ගායක ගායිකාවන්ට ගීත නිර්මාණය කළාය. මේ අතර ප්‍රදීපා ධර්මදාස, නෙලු අධිකාරී, වික්ටර් රත්නායක, ටී.එම්. ජයරත්න, රෝහණ බෝගොඩ, කපිල හේරත්. ක්‍රිශාන්ත එරන්දක, කුමා අත්තනායක වැන්නෝ වූහ.

‘මාස්ටර් සර්’ නමින් ඒක පුද්ගල සංගීත ප්‍රසංගය ද පැවැත්වූ අතර පසු කලක ‘ද මදර්’ නමින් සමාජ සුබ සාධන සංවිධානක් ද පිහිටුවා ගෙන බොහෝ සත් කාර්යයන් වෙනුවෙන් තම දායකත්වය ලබා දුන්නාය.

පසු කලෙක සිය ජීවිතයට ශක්තිමත් අත්වැලක් වූ ‘කපිල හේරත් සිය ස්වාමියගේ ආදරය හා රැකවරණය පිළිබඳ මහත් සතුටු සිතින් කතා කළ ඇය එක්තරා පුවත්පතකට පවසා තිබුණේ තමන් පී‍්‍රතිමත් ජීවිතයක් ගෙන යන බවය.

කෙසේ වෙතත් ඉතාමත් සුමිහිරි ගීත රාශියක් අප වෙත ඉතිරි කර දුරු රටක දී සිය අවසන් සුසුම් වා තලයට එක් කළ අපි ආදරය කළ නීලා වික්‍රමසිංහට නිවන් සුව ප්‍රාර්ථනා කරමු.

 

සේයාරූ - දයාන් විතාරණ