වාර්තා පොත වසා බොක්ස්ඔෆිස් රජු යන්නට ගියේය

දෙසැම්බර් 16, 2021

 සෙනෙහලතා උඹ මට වචනේ දුන්නේ නැත්නම් මම උඩ ඉඳන් බිමට පනිනවා.

සනා බෝයි එම තර්ජනය තවමත් බහ නුදුන් සෙනෙහලතාට පැවසුවේ තේ කර්මාන්ත ශාලාවේ ඇති අඩි ගණනක් උඩ වතුර ටැකිංයක් මතට නැඟ ගෙනය. . සෙනෙහලතා පමණක් නොව ඇගේ ආදරයට අකුල් හෙළන එක් තනැත්තෙකු වූ ඇගේ සොහොයුරා ද වත්තේ වෙනත් සේවකයෝ ද එම ස්ථානයට රොක් වෙමින් සිටියහ. වචනයේ පරිද්දෙන් සනා බෝයි බිමට පැන්නොත් සිදුවනුයේ කෑලි එකතු කරගන්නටය. සනා බෝයිගේ ප්‍රධානියා වූ අජිත් මහත්තයා ද එතැනට ආවේ ගෝලයා අස්වසන්නටය. එහෙත් එයින් පලක් වූයේ නැත.

මම දහයට ගණන් කරන්න කලින් මට වචනේ දුන්නේ නැත්නම් මම පනිනවා

අවසාන තර්ජනාංගුලිය ද එස වූ සනා බෝයි ගණන් කරන්නට පටන් ගත්තේය.

එකයි දෙකයි. තුනයි පැවසූ සනා බෝයි මොහොතකට නතර වූයේ ඇගේ වචනය අහගන්නටය.

සෙනෙහලතා ගේ හිත දිනා ගන්නට වලි කන තවත් තරුණයෙකු වූයේය. ඔහු වත්තේ කංකානම් කෙනෙකි. ඔහු ද එතැනට දිව ආයේය.

උඔ පැනපං . ඔහු කෑගැසුවේ එයින් තමන්ට සෙනෙහලතා ගේ ආදරය දිනා ගත හැකියැයි අනුමාන කළ බැවින්ය. සෙනෙහලතාගේ ආදරය දිනා ගන්නට ඔහු ද නොගත් වෑයමක් නැත.

සනාබෝයි දහයට ගණින්ට පටන් ගත්තේ සෙස්සන් අන්දමන්ද කරවමින්ය.

එකයි දෙකයි .තුනයි .හතරයි යැයි පැවසූ සනා බෝයි එතැනින් එහා ගණන් කිරීම නතර කළේය.

ඇයි හතරයි

එහෙම කෑගසා ඇසුවේ බිම සිටි කංකානම්ය. .

හතරයි,? එලෙස ප්‍රශ්න ඇසූ සනා බෝයි එතැන් පටන් ඉක්මනින් අට දක්වා ගණන් කළේය. දැන් නවයේ යළි නැවතිලාය.

ඇයි නමය ? දහය ? යළි කංකානි කෑගෑවේය.

කඩවුණු පොරොන්දුවෙන් ඇරඹි විකට පෙම් යුවළ ජොසී බබා -මනප්පුවා දිගින් දිගටම මතකයේ රැඳී තිබුණ ද එයින් එහා එකී චරිත ප්‍රේක්ෂක මනසේ රැදි තිබුණේ නැත. එහෙත් 1983 වසරේ යසපාලිත නානායක්කාර විසින් අධ්‍යක්ෂණය කරන ලදුව සිනමාවේ බොක්ස් ඔෆීස් වාර්තා තැබූ ජය සිකුරුයි චිත්‍රපටය අලුත් විකට පෙම් යුවළක් අපේ මතකයේ සනිටුහන් කළේය. ඒ සනා බෝයි හා සෙනෙහලතා යුවළය. චිත්‍රපටය ප්‍රචාරයේ දී ඒ සදහා වෙනමම ප්‍රචාරයක් ලබා දෙන ලද බව එකල පළවුණු සිනමා දැන්වීම් පවා සිහිපත් කරයි. ජය සිකුරුයි චිත්‍රපටයේ විජය කුමාරතුංග හා ගීතා කුමාරසිංහ පෙම් යුවළ වූ අතර මේ විකට පෙම් යුවළ වූයේ ෆ්‍රෙඩී සිල්වා හා සමන්ති ලැනරෝල්ය. වතු යායක ජීවත් වුණු සනා බෝයිගේ ආදරයට ඒ හා සමාන විකට දුෂ්ටයා වූ කංකානිගේ චරිතයට යයසපාලිත නානායක්කාරගේ මුල්ම තෝරාගැන්ම වූයේ එස්.රාම්දාස්ය. රාම්දාස් මෙරට ගුවන් විදුලියේ දෙමළ නාට්‍යවල අතිශය ජන්‍රපිය නළුවෙකු විය. එමෙන්ම ඔහු මෙරට තැනුණු දෙමළ චිත්‍රපට කිහිපයක මෙන්ම යසපාලිතගේ නැවත හමුවෙමු චිත්‍රපටයේ ද කැපී පෙනෙන චරිතයක් නිරූපණය කළේය. එහෙත් ජය සිකුරුයි රූප ගත කරද්දී මොකද්දෝ හේතුවකට රාම්දාස්ට සහභාගි වන්නට නොහැකි විය. චිත්‍රපටයේ අත්‍යවශ්‍යම චරිතයක් වූ එම චරිතයට යසපාලිතගේ හදිසි තෝරා ගැන්ම වූයේ ඔහුගේ ම සහාය අධ්‍ය්කෂවරයා වූ සුනිල් සෝම පීරිස්ය. සුනිල් සෝම එම වගකීම ඉතා මැනවින් ඉටු කරන ලද්දේ අදටත් මතක හිටින අන්දමටය. එහෙත් අහම්බෙන් කැපී පෙනුණ ද ඉන් එහා වැඩිපුර රඟපාන්නට ගියේ ද නැත. චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකු ලෙස ඔහු පසුකලෙක ජුලියට්ගේ භූමිකාව චිත්‍රපටයේ රඟපෑවේය.

හැබැයි සුනිල් සෝම පීරිස් සිනමාවට එකතු වුණේ නළුවෙකු හැටියටය. 1968 වසරේ තිරයට ආ ශාන්ති අබේසේකරගේ වහල් දූපත චිත්‍රපටයේ රඟපෑමටය. මේ අපරු පුද්ගලයා සිය ජීවිතය නිමා කරනුයේ සිනමාවේ කිසි කෙනෙකුට දිගු කලකට කරන්නට බැරි වාර්තාවක් අපේ සිනමාවේ තබමින්ය. ඒ වැඩිම චිත්‍රපට ගණනක් නිර්මාණය කළ සිනමාකරු හැටියට නොබිඳීය හැකි තරම් වාර්තාවක් තබමින්ය. එයටත් වඩා සුනිල් සෝම අතින් සිංහල සිනමාවේ තවත් අමරණීය සටහන් රාශියක් තැබිණ.

පට්ටියගේ සුනිල් සෝම පීරිස් උපන්නේ මහරගම ගැමියෙකු වූ සලමන් පීරිස් යුවළගේ දරුවන් අට දෙනාගෙන් යුත් පවුලක දෙවැනියා හැටියට 1948 වසරේ අප්‍රේල් මස 13 වැනි දිනය. ඒ දවස සිංහල අවුරුදු දවසය. ලංකාව එංගලන්තයෙන් නිදහස ලබා මුල්ම අලුත් අවුරුද්ද වූ බැවින් ලංකාවම හොඳීන් අවුරුදු කෑ දවසක් විය. ඒ දවස්වල මහරගම අද මෙන් නමට ගමක් නොව ඇත්තටම ගමකි. සුනිල් සෝම ඉගෙන ගත්තේ මහරගම බුවනෙකබා විදුහලෙනි. සිනමාවේ අසමසම වාර්තා තබා 2021 දෙසැම්බර්10වැනි දින පාන්දර ඉර නැඟෙන යාමයේ සදහටම දෑස් පියාගත් සුනිල් සෝම කලක් මහරගම නගරසභාවේ නාගරික මන්ත්‍රිවරයෙක් ලෙස ද එහි උප සභාපති ලෙස ද කටයුතු කළේය. දේශපාලනය පමණක් නොව උපන් ගමේ අයතියි ද ඔහුට තිබිණ. එබැවින් උපන්දා සිටන් මියයන තුරුම සුනිල් සෝම පීරිස් මහරගම ගැමියෙකු විය. ගම නගරයක් වූ කල ගැමියෙක් වූ ඔහු චිත්‍රපටයේ රඟපෑමට යන විට සුනිල් සෝම එවකට මහරගම, නුගේගොඩ පළාතේ පැවැති සිනමා ශාලා සියල්ලේම එක් චිත්‍රපටයක් හෝ අත නොහැර නරඹන සිනමා ලෝලියකු ව සිටියේය. ඒ කාල‌ය සිනමාවට පිවිසි සියල්ලොම පාහේ කොහොමටත් සිනමාවට පෙම් බැන්ද සිනමා ලෝලීහු වූහ. ඔහුගේ සිනමා දිවියේ හැරවුම් ලක්ෂ්‍යයක් වූයේ තුෂාරා චිත්‍රපටයයි. ඒ යසපාලිත නානායක්කාර හමුවයි. එය යසපාලිතගේ මුල්ම අධ්‍යක්ෂණය විය. එතැන් පටන් ඔහු යසපාලිත ගේ චිත්‍රපට නාමාවලියේ නැතුවම බැරි පුද්ගලයකු විය. යසපාලිත ගේ චිත්‍රපට රැසක සහාය අධ්‍යක්ෂවරයා වූ ඔහු ඇතැම් තැනක සහාය සංස්කරණ ශිල්පියා ද විය. අතරින් පතර චිත්‍රපටවල රඟපෑවේය.

චිත්‍රපට සහාය අධ්‍යක්ෂණය කරන අවධියේ යසපාලිත නානායක්කාර ටක් ටික් ටුක් නමින් තැනු චිත්‍රපටය රූප ගත කරන අතරතුර එය දැක බලා ගන්නට පැමිණි එක් සුරූපි කාන්තාවක් සුනිල් සෝම පීරිස්ගේ ඇස ගැටිණ. මේ ඇස ගැටීම සුනිල් සෝමගේ පමණක් නොව ඒ වන විට ශ්‍රී ලංකා‌ රක්ෂණ සංස්ථාවේ සේවය කරමින් සිටි එම කාන්තාවගේ ද ජිවිතය වෙනස් කරලීය. ඇය චිත්‍රපටයේ දර්ශනයකට යොදාගත් සුනිල් සෝම පසුකලෙක ඇය අපේ සිනමාවේ නම ජාත්‍යන්තරයේ ද රඳවනු ඇතැයි සිතු‌වේ නැත. එපමණක් නොව තමන්ගේ මුල්ම අධ්‍යක්ෂණය සඳහා ඇය නිෂ්පාදනයෙන් සම්මාදම් වනු ඇතැයි සිතුවේ ද නැත. ඇය අනෝජා වීරසිංහයි. අනෝජා වීරසිංහ ඉතා ඉක්මනින් සිනමාවේ නමක් දිනා ගත්තාය. 1985 වසර වන විට සිංහල සිනමාව තිබුණේ ඇදගෙන වැටෙමින්ය. ඒ වන විට බොහෝ ප්‍රධාන පෙළේ චිත්‍රපට නිෂ්පාදකවරුන් සිනමාව අතහැර දමා තිබුණ අතර වසර කිහිපයක් එක දිගට පෝලිම් ගැසුණු චිත්‍රපට සිනමාහල්වලින් දවසෙන් දෙකෙන් ගලවා දැමිණ. එබැවින් සිනමාහල්වල තත්ත්වය අතිශය දුබල වූ අතර දවසින් දෙකෙන් චිත්‍රපට ගැලවීම නිසා සිනමාහල්වලට අලුත් චිත්‍රපට පැමිණියේ පිටකොටුවට බස් එන්නාසේය. කොටින්ම චිත්‍රපට කටවුට් එක සවි කරන්නට අවසන් ඇණය ගසන විට චිත්‍රපටය සිනමාශාලාවෙන් ඉවත් කර ඇතැයි එකල ජනප්‍රිය කථාවක් විය. කොහොම වුණත් කෙතරම් ඉක්මනින් චිත්‍රපට ගලා ආවේ ද යත් අසූපහ අවුරුද්ද වන විට අලුතෙන් එන්නට චිත්‍රපට තිබුණේ නැත. කර්මාන්තයේ නියැළි සමහරුන් අලුත් රැකියා සොයා ගිය අතර ඇතැමුන් ගියේ මැද පෙරදිග පැත්තටය. ඇතැම් නළුවෙකු ජීවිකාව උදෙසා පෞද්ගලික බස් රථයක් පැදවූ 1985 වසරේ බොහෝ දෙනා චිත්‍රපට ක්ෂෙත්‍රයෙන් ඉවත්වන සමයක ඇය සිය දෙවැනි චිත්‍රපටය නිෂ්පාදනය කිරිම ඇරඹුවාය. ඒ සඳහා ඇය තෝරා ගත්තේ ඒ වන විට චිත්‍රපට සහාය අධ්‍යක්ෂවරයෙකු ලෙස නමක් දිනා සිටි සුනිල් සෝම පීරිස්ය. එය එක් අතකින් ගුරු දක්ෂිණාවක් බඳු ක්‍රියාවකි. ඇය සිනමාවට හඳුන්වා දුන් ගෞරවය ඔහුට හිමිවන බැවින්ය. සුනිල් සෝම පීරිස් සිනමා අධ්‍යක්ෂණයට මුල පුරන අනෝජාගේ නිෂ්පාදනය සිංහල සිනමා ඉතිහාසයේ වාර්තා රැසක් සිනමාවට එක් කළේය. එයින් පළමුවැන්න අලුත්ම නළුවකු කොටින්ම කිසිකලෙක සිනමා කැමරාවක් ඇහැටවත් නොදුටු කෙනෙකු ශෂී විජේන්ද්‍ර සිය චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට තෝරා ගෙන අලුත්ම සංගීත අධ්‍යක්ෂවරයෙක් (සරත් ද අල්විස්) ලවා මියරු ගීත රාශියක් ද යොදාගෙන චිත්‍රපටයක් තනා එය දින සියය ඉක්මවා ප්‍රදර්ශනය කරලීමය. අධ්‍යක්ෂගේත් නළුවාගේත්, සංගීත අධ්‍යක්ෂගේත් තිදෙනාගේම මුල්ම චිත්‍රපටය දින සියය ඉක්මවීම එයට පෙර වාර්තාවක් නොවිණ. පසුද එය අලුත් නොවිණ. එය එක් රැයින් සිංහල සිනමාවට අමුතු ප්‍රබෝධයක් ඇති කළේය. . ඔබට දිවුරා කියන්නම් නමින් තැනුණු එම චිත්‍රපටය නව සම්ප්‍රදායක් ගොඩනැංවූයේය.

අපේ චිත්‍රපට ඉන්දියානු චිත්‍රපට අනුකරණය කරන්නට පටන් ගත්තේ එහි ආරම්භයේ පටන්මය. සමහර විට කතාව ද සමහරවිට කතාවේ අදහස ද ඇතැම්වට එහි රූප රාමුවෙන් රාමුවට ද අනුකරණය කළ අවස්ථා එමට විය. එය තරමක් කල්ගත වද්දී අපේ සිනමාවෙන් ඉවත්වන්නට ගත්තේ චිත්‍රපට සංස්ථාව පිහිටු වූ පසු එබඳු චිත්‍රපට සඳහා සහයෝගයක් ලබා නොදුන් හෙයින්ය. . එහෙත් ඉඳහිට හෝ තැනුණු එම චිත්‍රපට ආදායම් වාර්තා බිඳ හෙළුවේය. කෙසේ වෙතත් අලුත් තාක්ෂණය යටතේ මෙරටට ගලා ආ වීඩියෝ තාක්ෂණය මඟින් චිත්‍රපට නරඹමින් චිත්‍රපට රී මේක් කිරිම ආරම්භ කරන ලද්දේ යසපාලිත නානායක්කාර නැවත හමුවෙමු තුළින්ය. එහි සහාය අධ්‍යක්ෂ වූ සුනිල් සෝමපීරිස් එයටත් වඩා ඉහළ අන්දමින් චිත්‍රපට රීමේක් කිරීම ඇරඹුවේය. වර්තමානයේ රී මේක් යනුවෙන් ගෞරවය ලබන්නේ නමුදු ඒ අවධියේ ඒවා කොපි චිත්‍රපට යැයි ගර්හාවට ලක් කරන ලද්දේ සිනමාවේ සියලු ව්‍යසනයන්ට හේතුව එබඳු චිත්‍රපටයැයි විලාප නංවමින්ය. කෙසේ හෝ වේවා තේරි කසම් නම් ජනප්‍රිය හින්දි චිත්‍රපටය පාදක කරගෙන තැනුණු ඔබට දිවුරා කියන්නම් පැල් බැඳගෙන තිරගත වූවා පමණක් නොව වසරක පමණ කාලයක් ආසන පුරවන්නට බැරිව සිටි සිනමාහල් කරා ජනයා පෝලිම් ගැසෙන්නට පටන් ගත්තේය. සුනිල් සෝමට ඊළඟ චිත්‍රපටය ගෙනාවේ තවත් ජනප්‍රිය රංගනවේදිනියක වූ සෝනියා දිසානායකයි. ඒ වන විට සෝනියා , ලෙනින් මොරායස් ලවා චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කිරිමට ගොස් අතරමඟ නතරව තිබිණ. සුනිල් සෝම එවර තෝරා ගත්තේ කාලියා නම් හින්දි චිත්‍රපටයයි. සිහලෙන් ජය අපටයි හැදුණේ එහෙමය මුල් චිත්‍රපටය දින සියය ඉකමවා වාර්තාවක් තැබූ සුනිල් සෝමගේ දෙවැනි චිත්‍රටය ද දින සියය ඉක්මවිය. එපමණක් නොව එයින් පසු තැනුණු දිනුම (සම අධ්‍යක්ෂණ්‍ය ආනන්ද වික්‍රමසිංහ) රජ වැඩ කාරයෝ, ඔබටයි ප්‍රියේ ආදරේ චිත්‍රපට පෙළම එක දිගට දින සියය ඉක්මවිය. ඒ වාර්තාව එතෙක් සිංහල සිනමාවේ තබන්නට කිසිවකුට හෝ හැකියාවක් වූයේ නැත. හය වැන්න මමයි රජා සියයක් නොව දින දෙසියයක්ම තිරගත වූයේ දින දෙසිය ඉක්ම වූ සිංහල චිත්‍රපට දෙකින් එකක් ලෙස වාර්තාවක් තබමින්ය. ඒ වාර්තා දෙකම යළිත් තබන්නට කිසිදු සිනමාකරුවෙකුට තවමත් හැකි වූයේ නැත. මේ ජයග්‍රාහි රටාවේ බහුතරයක් ඉන්දියානු චිත්‍රපට රී මේක් වුව ද එමඟින් මෙරට සිනමා කර්මාන්තයට ලැබුණු උත්තේජනය විශාල විය. සුනිල් සෝම විසින් සිනමාවේ පෙන්වන ලද අධි සාර්ථකත්වය නිසාම යළි චිත්‍රපට කර්මාන්තය පුරා අමුතු පිබිදිමක් ඇති විය. සුනිල් සෝම සොයා නිෂ්පාදකවරුන් පැමණියා විනා ඔහුට නිෂ්පාදකවරු සොයා යා යුතුව තිබුණේ නැත. සුනිල් සෝමගේ අධි සාර්ථකත්වය දුටු තවත් සමහරු අලුතින් චිත්‍රපට සඳහා ආයෝජනය කළ අතර ඔහු මෙන්ම ඉන්දියානු චිත්‍රපට රී මේක් කිරිමේ අනුගාමියකයන් රැසක් බිහි විය. එහෙත් වඩාත් සාර්ථක හා එයින් විපුල ඵල නෙළන්නට බොහෝ දෙනෙකුට නොහැකි විය. රී මේක් ද හැමෝටම කළ හැක්කක් නොවන වග සුනිල් සෝම ඔප්පු කර පෙන්වා දුන්නේය. එම යුග‌යේ සිනමා නිෂ්පාදනය ඉහළ දමමින් සිනමා කර්මාන්තයේ රැකියා යළි ඇතිවෙමින් තැනුණු නවරැල්ලේ ගෞරවය සුනිල් සෝමට හිමි විය යුතුය. මේ අවධියේ සිංහල සිනමාව පැවැතියේ පීරිස් වරුන් දෙදෙනෙකු අතරයැයි ජනප්‍රිය කතාවක් විය. සිනමා කලාත්මක අංශයේ දැවැන්තයා ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් විය. ජනාකර්ෂණීය සිනමාවේ දැවැන්තයා සුනිල් සෝම පීරිස් විය.

කෙසේ වෙතත් රී මේක් සම්ප්‍රදාය ඔස්සේ පිබිදීම වසර කිහිපයකින් හමාර විය. . . එයට හේතුවූයේ බොහෝ රී මේ ක්වල ඔරිජිනල් චිත්‍රපට ටෙලිවිෂනයේ විකාශය වීමය. මේ සමඟ පැවැති වාතාවරණය වෙනස් ව ගියේ අඩු වියදම් චිත්‍රපට නිෂ්පාදනයට පෙලඹවිමය. එමෙන්ම අඩු වියදම් සරාගී චිත්‍රපට රැල්ලක් ද එයට ප්‍රතිවිරුද්ධව ගොඩ නැඟිණ. මෙහි කොටස්කරුවකු වන්නට සුනිල් සෝම පීරිස්ට සිදුවීම එක් අවාසනාවකි. එහෙත් එය ඔහු හිතට එකඟව කළ කටයුත්තක් නොවිණ. චිත්‍රපට හදන එක මගේ බඩ රස්සාව මෙබඳු විවේචනයක දී ඔහු පැවසුවේය. සිනමා විචාරයේ දී සුනිල් සෝමගේ චිත්‍රපට නිර්දය විවේචවනයට ලක්වුණ ද ඔහුගේ නිර්මාණ හා පෞද්ගලික ජීවිතය අතර තිබුණේ වෙනසකි. ඔහු ගැන දන්නා හැමෝගේම මතය නම් සුනිල් සෝම ඉතා ගුණයහපත් මිනිසෙකු බවය. ඔහු කිසවෙකු සමග අනුන්ගේ දොස් පවරනු මා අසා නැත. ඔහුට සම්මාන නොලැබුණ ද සම්මානලාභින් දැක සතුටු වන්නට හැකි විය. එමෙන්ම ඔහුට පෙර මිය ගිය ඔහුගේ භාර්යාව මාලනීට මෙන්ම දරුවන් තිදෙනාට ද යුතුකම් ඉටු කළ පියෙකු විය. කොතරම් වැඩුණ ද තම දරුවන් තමා හා එක සෙවණක විසිය යුතුයයි විශ්වාස කළ ඔහු දරුවන් තිදෙනා ද දූදරු මුනුබුරුන් ද මැද එකම නිවෙසක මරණය තෙක් ඔවුන්ගේ සෙනෙහස වීදිමින් ජීව්ත් විය. 2010 වසරෙන් පසු ඔහු චිත්‍රපට අධ්‍යක්ෂණය කළේ නැත. ඒ වන විට ඔහු චිත්‍රපට 42ක් අධ්‍යක්ෂණය කර තිබිණ. එය නිල වශයෙනි. නොනිල වශයෙන් ගත් කල තවත් දහයක් එක් කළ හැකි විය. එය අසමසම වාර්තාවක් වූවා මෙන්ම එයින් වැඩි හරියක් එකම නිෂ්පාදක වෙනුවන් එනම් සුනිල් ටී.ප්‍රනාන්දු වෙනුවෙන් (*මුල් අවධියේ සෝනියා දිසානායක හා සුනිල් ටී ප්‍රනාන්දු) නිර්මාණය කළ චිත්‍රපට වීම විශේෂයකි. ගණනින් එය 38 කි. එකම චිත්‍රපටයක් අවසන් වන්නටත් පෙර නිෂ්පාදක හා අධ්‍යක්ෂ එකිනෙකාගේ මුහුණ නොබලන රටක එකම නිෂ්පාදකවරයෙකුට චිත්‍රපට 38 ක් තනා දීම ම සුනිල් සෝම පීරිස් කවර වර්ගයේ මිනිසකු දැයි සිතා ගන්නට හැකි කරුණකි. සුනිල් සෝම පීරිස් මිය ගිය දවසේ සිනමා කර්මාන්තයේ සියල්ලන්ම ශෝක වූ අයුරෙන් ඔහු සිනමා ක්ෂේත්‍රයේ අත්පත් කරගෙන සිටි ස්ථානය වටහා ගත හැක්කේය. සිනමා ඉතිහාසයේ බොක්ස් ඔෆීස් වාර්තා අතර නොබිඳීය හැකි වාර්තා තබා ගැනීමෙන් නොනැවතී අනෝජා වීරසිංහ සරත් ද අල්විස්. වික්ටර් විජයන්ත මෙන්ම තම පුත් සුදේශ් වසන්ත පීරිස් හා මුනුබුරු සංගීත අධ්‍යක්ෂ කේශාන් සුදන්ත පෙරේරා ආදින් සිනමාවට හඳුන්වාදීමෙන් ද ඔහු වාර්තා තැබුවේය. වරින් වර රෝගාතුරවීම නිසා පසුගිය දශකයක පමණ කාලයක් ඔහු චිත්‍රපට අධ්‍යක්ෂණයෙන් බැහැර වුව ද සිනමා ක්ෂෙත්‍රයෙන් බැහැර ගියේ නැත. ඔහු හැමවිටම සිනමාව වෙනුවෙන් අවදියෙන් සිටියේය. නිතර අපට කතා කරන සුනිල් සෝම පීරිස් වර්තමාන සිනමාව ගැන බොහෝ දේ කියාපෑවේය. යළි දෙපයින් හිට ගන්නේ නම් චිත්‍රපටයක් කරන්නේය යන ධෛර්යනේ පසුවිය. පසුගිය දවසක සරසවිය මගින් මෙරට චිත්‍රපට අධ්‍යක්ෂවරුන් ලවා තෝරනු ලබන මෙරට සිනමාවේ හොඳම කථානාද චිත්‍රපට දහය තෝරා ගැන්මට ඔහු ද සහාය පළ කළේය.

ඔහු තම අතීතය සමරා චිත්‍රපට උලෙළක් පවත්වන්න ද තම අත්දැකීම් එක් කොට ග්‍රන්ථයක් ද පළ කරන්නට ද පසුගිය කාලයේ වුවමනාවෙන් සිටියේය. මේ කටයුත්ත ඔහු වරින්වර මට ද පවසා සිටියේය. ඒ සියල්ල අත ළඟ තිබියදී ඔහු හිමිදිරියේ ම හදිසියේ යන්නට ගියේය.

1985.07.25 - ඔබට දිවුරා කියන්නම්

1986.07.25 - ජය අපිටයි

1986.11.07 - දිනුම-ආනන්ද වික්‍රමසිංහ සමඟ

1987.09.11 - රජ වැඩ කාරයෝ

1987.12.11 - ඔබටයි ප්‍රියේ ආදරේ

1989.01.06 - මමයි රජා

1989.08.11 - ඔබට රහසක් කියන්නම්

1989.09.15 - සිනාසෙන්න රත්තරන්

1990.4.06 - යුක්තියට වැඩ

1990.09.14 - චණ්ඩි රජා

1991.06.21 - රජ සෙල්ලං

1991.08.16 - රන් හදවත

1992.03.27 - සක්විති රජ

1992.06.19 - චණ්ඩි රැජන

1992.12.04 - සිංහයන්ගෙත් සිංහයා

1993.10.05 - ලස්සනයි බලන්න

1995.01.27 - වාසනා වේවා

1995.04.28 - ඉර හඳ ඉල්ලා

1995.07.14 - චණ්ඩියාගේ පුතා

1995.11.17 - චාන්දනී

1996.02.02 - රත්තරන් මල්ලී

1997.03.14 - පුතුනි මට වාසනා

1998.02.20 - ඇය ඔබට බාරයි

1998.04.03 - සතුටයි කිරුළ අපේ

1998.11.06 - ඩිස්කෝ ගර්ල්

1998.11.20 - මොහොතින මොහොත

2000.04.14 - කවුද බොලේ ඇලිස්

2001.01.02 - හායි බේබි හායි

2001.05.03 - පිස්සු පූසෝ- සුදේශ් වසන්ත පීරිස් සමග

2002.03.15 - සංසාර ප්‍රාර්ථනා

2002.04.04 - පිස්සු ඩබල්- සුදේශ් වසන්ත පීරිස් සමග

2003.05.28 - පිස්සු ට්‍රිබල්- සුදේශ් වසන්ත පීරිස් සමග

2003.07.25 - ජිම් පප්පා- සුදේශ් වසන්ත පීරිස් සමග

2003.11.28 - හිත හොඳ පිස්සෝ-සුදේශ් වසන්ත පීරිස් සමග

2004.09.09 - ඔහොම හරිද

2004.10.01 - කාටවත් කියන්න එපා

2005.04.15 - ජේම්ස් බන්දු

2005.10.28 - මට තාම මතකයි

2007.04.27 - වැඩ බැරි ටාසන් - සුදේශ් වසන්ත පීරිස් සමග

2008.04.20 - වැඩ බැරි ටාසන් මැති සබයට-

සුදේශ් වසන්ත පීරිස් සමග

2009.01.01 - අලි සුරතල්-සුදේශ් වසන්ත පීරිස් සමග

2010.06.18 - ජය පිට ජය

දෙමළ චිත්‍රපටය - ෂර්මිලාවින් ඉදයරාගම්

ටෙලි නාට්‍යය - ලියතඹරා