බී.ඒ.ඩබ්ලිව්. ගෙන් ඉපිද කේ.ඒ.ඩබ්ලිව්ගෙන් බැබළුණු ලැටීෂියා පීරිස් (1931-2013)

‘මගේ සිනමා ජීවිතයේ හොඳම චරිතය රඟපෑවේ ‘සිරියලතා’ චිත්‍රපටයේ
නොවැම්බර් 25, 2021

හතළිස් දශකයේ මීගමුවේ මිනර්වා නාට්‍ය සංගමය ලංකාවේ නාට්‍ය ක්ෂේත්‍රයේ ජය කෙහෙළි නංවමින් තිබුණි. මිනර්වා නාට්‍යයේ මහා මොළකරු බී.ඒ.ඩබ්ලිව්. ජයමාන්නගේ අලුත්ම නාට්‍යය මීගමුවේ ‘මිනර්වා’ නිවසේ පුහුණු කරනු බැලීමට ගිය පිරිස අතර යාබද ගෙදරක කුඩා දැරියක් ද සිටියාය.

‘අනේ මටත් ඇලෝ අන්කල්ගේ (බී.ඒ.ඩබ්ලිව්. කවුරුත් ආදරෙන් ඇමතුවේ ඒ නමිනි) නාට්‍යයක රඟපෑමට ඇත්තම්? දැරිය තම වැඩිමහල් සොහොයුරිය වූ ග්‍රේස්ට කීවාය.

ග්‍රේස් නම් සොහොයුරිය නම් ගියේ ඇලෝ අයියා දැක බලා ගැනීමට මිස රඟපෑමට ආසාවෙන් නොවේ. 

නාට්‍ය පුහුණුවේ මඳ විරාමයක දී හත් හැවිරිදි අර පුංචි දැරිය ඇලෝ අයියා වෙත ඇදුණාය.

‘අන්කල් මමත් නාට්‍යයක රඟපාන්න ආසයි.’

‘රඟපාන්න ඉස්සර වෙලා දුව ඉගෙන ගෙන ඉන්න.’

කුඩා දැරියක් මුහුණු නරක් වුවාය. බි.ඒ. ඩබ්ලිව්. ජයමාන්න ඇගේ හිස අත ගාමින් ඇගේ සොහොයුරියට ආදර බැල්මක් හෙළුවේය. ග්‍රේස් ද කාල වර්ණ උස මහත ඔහුට යහපත් ප්‍රතිචාරයක් දැක්වූවාය.

‘හොඳයි, අපි කරන ‘කඩවුණු පොරොන්දුව‘ ඩ්‍රාමා එකේ ළමා චරිතයට ගන්න බලමු.’ බී.ඒ. ඩබ්ලිව්. කීවේ.

මේ කුඩා දැරිය වූ ලැටීෂියා පීරිස් ‘කඩවුණු පොරොන්දුව් වේදිකා නාට්‍යයේ කුඩා හිල්ඩාගේ චරිතයෙන් මිනර්වා නාට්‍ය කණ්ඩායමින් කලා ලොවට පිවිසියාය.

මේ වේදිකා නාට්‍යය බැලීමට පැමිණි ඩබ්ලිව්. එම්. පෙරේරා විසින් නිෂ්පාදන කළ ‘ගැහැනු හිත’ හා ‘ගෙදර නටන’ නාට්‍යවල රඟපෑමට ඇයට ආරාධනා ලැබිණි. නාට්‍ය පිස්සුව නිසා අධ්‍යාපනය අතරමඟ නතර විය.

‘මගේ අධ්‍යාපනය කඩාකප්පල් කර ගැනීම ගැන මුල්ම සෝලිය තැබුවේ ඇලෝයි අංකල්ය. මගේ දෙමාපියන් මම ඉගෙනීම නතර කර ගැනීම ගැන තරවටු කළා. මා කුඩා හිල්ඩා ගේ ළමා චරිතය කඩවුණු පොරොන්දුවේ වේදිකා නාට්‍යයේ රඟපැවත්, මේ නාට්‍ය ඇසුරෙන් සිනමාවට නඟන විට මට එහි රඟපෑමට අවස්ථාව ලැබුණේ නැත්තේ ඒ වන විට මා ළමා විය ඉක්මවා වැඩුණු යුවතියවක් සිටි නිසා. මේ නිසා ලංකාවේ ප්‍රථම සිංහල කතානාද චිත්‍රපටයේ රඟපෑමේ සිහිනය ගිලිහුණා. හැබයි මගේ අක්කා ග්‍රේස්ගේ සිහිනය නම ඉටු වුණා. ග්‍රේස් ‘ඇලෝ අන්කල්’ ගේ, මට වැරදුණා ‘ඇලෝ අයියා’ ගේ පි‍්‍රයාදර බිරිය වුණා.’ ඒක අපේ පවුලට ශක්තියක් වුණා.

මීමනගේ මේරි මැගිලින් ලැටිෂියා පීරිස් 1931 ඔක්තෝබර් 19 වෙනිදා මීගමුවේ උපත ලැබුවාය.

1950 වසරේ තිරගත වූ බී.ඒ.ඩබ්ලිව්. ජයමාන්න නිෂ්පාදනය කොට අධ්‍යක්ෂණය කළ හා නිෂ්පාදනය කළ ‘හදිසි විනිශ්චය’ චිත්‍රපටයේ පද්මිණී ලෙස විකට රංගනයක් රඟපෑමට ඇයට අවස්ථාව ලැබිණි. ඇගේ පෙම්වතා වූ කෝකිල ලෙස රඟපෑවේ විකට රජා ලෙස ප්‍රකටව සිටි එඩී ජයමාන්නය. එපමණක් නොව එඩී ජයමාන්න සමඟ යුග ගීතයක් ගැයීමට ද අවස්ථාව ලැබිණ. බී.එස්.පෙරේරා නම් සංගීත අධ්‍යක්ෂවරයාගේ තනුවකට මර්සලීනු ඇල්බට් ගේ රචනයක අනුව එඩී සහ ලැටිෂියාට චිත්‍රපටයට ඇතුළු වූ දෙවැනි විරුදු ගායනය කිරිමට භාග්‍ය හිමි විය. සිංහල සිනමාවේ ප්‍රථම විරුදු ගීය ඇතුළත් වන්නේ ‘කපටි ආරක්ෂකයා’ චිත්‍රපටයට එඩී හා ජෙමිනි කාන්තා ගැයූ ගීතයයි.

එඩී හා ලෙටිෂීයා ගැයූ විරිඳු ගායනයයි මේ.

තම හිමියා වැඩ ඇරිලා ගෙට ආවම වෙහෙස වෙලා 
ඕපදුප රස කරලා නොකියනු කරදර කරලා 
ඒක සැබයි සැබයි සැබයි 
කාසි පණම් හම්බ කරලා දුන්නම හිමි බාරි අතට 
අමතර වියදම් කරලා ඉවර උණොත් වැටෙයි දුකට 
අන්න ඒක හිතට ගනින්

ආලෙ පාල කාර බැන්ද ස්වාමි ඇතත් නැතත් ගෙදර 
පාල මුකුළු කොමල සිනා විහිළු තහළු කැතයි නිතර 
නුඹත් එහෙම නේද වෙලා

‘රේස්’ සූදුවට ගෙනහිල්ලා පැරදී හිමිගෙට ආ විට 
රේස් පිස්ස කියලා හිමිට එපා රවල බැණ වදින්ට 
මගේ ගෑනි එහෙම තමයි

මීට අමතර ලැටීෂියා හා එඩි ගැයූ ගී තුනකි.

‘මගේ පද්මිණිගේ රූපේ නිසා ආමි සොයා මන් 
නුඹටා ආලේ පාලා කුමරි ආලේ පාලා 
ශි‍්‍රයාවි මනමාලී වෙන්කෝ ආදරේ 
මේ මොකද මේ මිනිහා කියන කතා 
ඔය විගඩම මම හරි නෑ.”

මෙහි එන චිත්‍රපට ගීතවල නිවරැදි ගේය පද උපටා ගත්තේ මහාචාර්ය සුනිල් ආරියරත්නගේ සිංහල චිත්‍රපට ගීතාවලියෙනි.

චිත්‍රපටයේ එන ලැටීෂියා හා එඩී යුග ගැයූ ගීත දෙකම දෙබස් ආකාරයෙන් ලියවී ඇත.

‘ආදර ස්වාමි කෑම කන්ඩකෝ 
හා...හා... හා...හා...හා 
මේ හැටි කෑවොත් උගුර බඩට යයි 
දැන් බඩට ය.

අනික් ගීතය ද ඉහත කී ගීතය මෙන්ම දෙබසකි.

‘මා... මා...මා... මාම මගේ 
නං නං නං නගි මගේ

1951 වසරේ තිරගත වූ බී.ඒ.ඩබ්ලිව් ගේ ‘සැගවුණු පිළිතුර’ චිත්‍රපටයේ ලැටීෂියා රඟපෑවේ බීටා නම් චරිතයයි. ඇය එඩී සමඟ යුග ගීත තුනක් ද ගැයුවාය. ‘නෑ නෑ දැන් කකුල මගේ වේදනා - ඇන්නෑවේ නැත්තේ මොකද වේදනා වේදනා’, ‘පරණේ වාගේ ආලේ - මයි ෂූූගර් මයි

ජගරි මයි ලව් ලව්’, ‘මාගේ වාසනා කාලේ ළං වුණා.’ මේ අතර ඇය සුසිල් පේ‍්‍රමරත්න සමඟ ගැයූ මේ යුග ගීතය එකල අතිශයින් ජනපි‍්‍රය වී තිබුණි. මොහොමඩ් ගවුස් සංගීතවත් කළ මේ ගීත සී.වීරසේකර රචනා කර තිබුණි.

‘සනසනු මා

‘පේ‍්‍රම සයුරේ ගිලිලා’ 

1952 ‘උමුතු විශ්වාසය’ චිත්‍රපටයේ විකට මැන්ඩි ගේ චරිතය රඟ පෑ ලැටිෂියා තනි ගීතයක් වූ ලැබිච්ච් හො ලැබිච්චි - දිග කලිසම අඳනා ජෙන්ටල් මෑන්’ ගීතය ගැයුවාය. ලැටීෂියා තම මස්සිනා වූ බී.ඒ. ඩබ්ලිව්. ජයමාන්නගේ චිත්‍රපටයක අවසන් වරට රඟපෑවේ 1961 තිරගත වූ ‘ජීවිත පූජාව‘ චිත්‍රපටයේය. එයින් පසු ඇය 1965 වසරේ බී.ඒ.ඩබ්ලිව්. මියගිය පසු 1968 වසරේ දී කේ.ඒ.ඩබ්ලිව්. පෙරේරාගේ ‘බයිසිකල් හොරා’ චිත්‍රපටයේ රඟපෑවාය.

‘මගේ සිනමා ජීවිතයේ ෑ හොඳම චරිතය රඟපෑවේ ‘සිරියලතා’ චිත්‍රපටයේ එහි රඟපෑවේ කැරොලිනා ගේ චරිතය මේ චිත්‍රපටයේ මගේ පියා වූ ජෙරාණිස් පේ‍්‍රරා (හියුගෝ ප්‍රනාන්දු) ධනවත් සල්ලාල කමට කෑදර වැන්දඹු චරිතයක්. මම විවාහ ගිවිස සිටියේ වික්ටර් (මාක් සමරනායක) නම් පෙරකදෝරුවෙක් සමඟ. අපේ නිවසේ මෙහෙකාරියක් හිටියා ඇග්නස් (රුක්මණී දේවි) අනාථ රූමත් තරුණියක්. දිනක් මා වික්ටර් සමඟ ගෙදරින් බැහැර සිට ගෙදර එනවිට මගේ පියා ඇග්නස් හා පෙම්බස් දොඩන ආකාරය දැක පුදුමයටත්, පිළිකුලටත් පත් වෙනවා.

‘මින් පසු උඹ මෙතැන වැඩකාරකම් කරන්න තබන්නේ නෑ. උඹ මගේ හාමිනේ විය යුතුයි. බිරින්දෑ විය යුතුයි.” කියමින් බිමත් පියා ඇග්නස්ගේ අත අල්ලා සිටිනු දුටු මම වික්ටර් ගිය පසු ඇග්නස් ගේ කම්මුලට තදින් පහරක් ගැසුවා. ඒ පහරින් ඇග්නස් ලෙස රඟ පෑ අහිංසක නෑනා - ආදරණීය ඩේසි අක්කා ඒ කම්මුල් පහරේ වේගයෙන් නින්දකින් පිබිදි තැනැත්තියක මෙන් තිගැස්සී, සිත් පිත් නැති ඉටි රූපයක් මෙන් සිටින විට මට ඉබේම ඇඩුණා. මේ සිනමා ජීවිතයේ අමතක නොවන අවස්ථාවක් මේ. මේ දර්ශනය රූගත කිරීමට පෙර රාජන් නම් ඉන්දීය ජාතික අධ්‍යක්ෂවරයා මට කිව්වේ - ඩේසි අක්කාටත් නොකියා හැකිතාක් වේගයෙන් කම්මුලට ගැසිය යුතු බවය. මම එසේ කීවත්, බරපතළකම තේරුණේ ඉන් පසුවයි. මම ඩේසි අක්කාව බදාගෙන ඇඬුවා. ඩේසි අක්කා කිව්වා - ‘ලැටී, උඹ හොඳට රඟපෑවා. කිව්වා.’ ලැටිෂියා කලකට පෙර අපට කියා තිබුණාය.

1957 වසරේ ලෙටිෂියා විවාහ වූයේ කේ.මයිකල් සිල්වා සමඟය.

බී.ඒ.ඩබ්ලිව්. ගේ චිත්‍රපටයෙන් ද ඉපිද කේ.ඒ. ඩබ්ලිව්. ගේ චරිත තුළින් බැබැළුණු ලැටීෂියා ජීවිතයේ සන්ධ්‍යා භාගයේ ගිලන්ව තම රෝගී සැමියා සමඟ පදිංචිව සිටියේ 4B - 16 /L  නිවසේය.

ලැටීෂියා රෝගාතුර වීමට ප්‍රථම පික් පොකට්, කතුරු මුවාත්, සීයේ නොට්ටුව, ලොකුම හිනාව, ඉහත ආත්මය, අපරාධය හා දඬුවම, දුලිකා, කලියුග කාලේ, කලියුගකාලම්, සධානා, හාරත හතර, නීලා, වසන්තේ දවසක්, ජීවන කඳුළු, අක්කේ මට අවසර, සත්වෙනි දවස, ජීවන්ති, ආරාධනා, බංගලි වළලු, වතුර කරත්තය, රේල්පාර, සඳකඩ පහණ, මල් හතයි, පුනරුත්පත්තිය, අයදිමි, සමා, චිත්‍රපටවල රඟ පෑ අතර ටෙලි නාට්‍ය නිළියක් ලෙස ‘ප්‍රමාද වැඩියි’ ‘හිඟන කොල්ලා, අසල්වැසියෝ, නෝනාවරුනි මහත්වරුනි පාසල් ගුරුවරී, ආදි ටෙලි නාට්‍යවල රඟපෑවාය.

2013 වසරේ නොවැම්බර් 06 වෙනිදා ලැටීෂියා පීරිස් මියගියාය. මාධ්‍යවේදිනියක වූ නදිෂා හසන්ති ලියූ ලිපියක රේණුක ද සිල්වා පුතු ෂානලී ද සිල්වා දියණිය හා බෑණනුවන් වන සරත් ගලප්පත්ති ඇය මියයන තෙක් රැක බලා ගත් බව සඳහන් කර තිබුණාය.