‘සුජාතා‘ වේ චුට්ටා වූ රත්මලාන රජ මාවතේ

මර්වින් ද අල්විස් (1940-1999)
ඔක්තෝබර් 14, 2021

 

 

‘ඉන්දියාවේ සිටි ‘චුට්ටා‘ එහි සුරතලා විය. සේලම් හී මෝඩර්න් චිත්‍රාගාරය නිතරම වාගේ දකුණ ඉන්දීය චිත්‍රපටි නළු නිළියන් ගැවසෙන තැනකි. සුප්‍රසිද්ධ ජෙමිනි ගනේෂන් හා සිවාජි යන නළුවෝ ‘චුට්ටා‘ට මහත් ආදරයක් දැක් වු නළුවන් දෙදෙනෙකි. තවත් චිත්‍රපට නිළියක් තමාව දරුකමට හදා ගැනීමට ඉල්ලා ඔහුගේ මාමාට ඇවිටිලි කළ හැටිත් ඔහුට මතකය.

 

මම නළුවෙකු වශයෙන් කුඩා වුව ද නළු ජීවිතය ගැන ලද අත්දැකිම් වැඩි මහලු නළුවෙකුගේ අත්දැකිම් හා සමානය

 

මර්වින් හින්දි චිත්‍රපට සිනමා ලෝලියකි. දිලිප් කුමාර් ඔහුගේ ප්‍රියතම නළුවා බව එම පුවත්පතට පවසා තිබුණි

 

මර්වින්ට තරම් පොල් ගස් නඟින්න කොල්ලෙක් මුළු පළාතෙම හිටියේ නැහැ.

‘පොල් මර්වින්’ නමින් හුරතලේට අපි මර්වින්ට කිව්වට මිනිහා විනෝදකාමියා

‘සුජක්කේ, සුජක්කේ මේ කෝට් එක සුජක්කාගේම අතින් මැදගෙන එන්න කියා නිහාල් දොස්තර මහත්තයා කිව්වා‘ චුට්ටා සුජාතාට කීවේය.

‘චුට්ටෝ බලාපන් කවුදෝ නාඳුණන මිනිහෙක් මගේ පස්සෙන් එනවා.‘ සුජාතා කියන විට,

චුට්ටා ඇගේ සාරි පොට දිහා හොඳට බලා ‘එහෙම කෙනෙක් නැහැ‘ යි කියයි.

දොස්තර නිහාල් හා සුජාතා හමු වූ මොහොතේ දී නිහාල්ගේ කෝට් එක දිගු කරයි.

‘මහත්තයා දැන් කවුද මේ කෝට් එක මදින්නේ? මේ බරත් මගේ කරපිට ද? දැයි සිනමා රසිකයන් සිනා සයුරේ ගිල්වමින් චුට්ටා පවසන්නේ අනාගතයේ හොඳ ළමා නළුවකු බිහිවන ඉඟි පළ කරමිනි.

සිංහල සිනමාවේ - චුට්ටා‘ ලෙස එතැන් සිට ප්‍රකට වූ මේ නළුවා ගේ නම මර්වින් ද අල්විස්ය. එදා මුලින්ම රඟපෑවේ 1953 වසරේ තිර ගත වූ ‘සුජාතා‘ චිත්‍රපටයේ චුට්ටා නම් ළමා මෙහෙකරුවා ලෙසය. ඉහතින් දැක්වූයේ ‘සුජාතා‘ චිත්‍රපටයේ සුජාතා ලෙස රඟ පෑ ෆ්ලෝරීඩා ජයලත් හා දොස්තර නිහාල් ලෙස රඟ පෑ ප්‍රේම් ජයන්ත් සමඟ ඔහු රඟ පෑ චරිතයකි. ‘සුජාතා‘ චිත්‍රපටයේ රඟපාන විට ඔහුගේ වයස දොළොස් වියේ පමණ වීලු. චිත්‍රපටයේ දොස්තර නිහාල්ගේ (ප්‍රේම් ජයන්ත්) ගේ මාමා වූ මුඩ්ලියර්ගේ (ඩේවිඩ් ධර්මකීර්ති) මෙහෙකාර කොලුවා ලෙස රඟ පෑවත් ඔහු එම චරිතය හාසෝත්පාදක ආකාරයෙන් නිරූපණය කර තිබු ආකාරයෙන් අතිශයින්ම ජනප්‍රිය විය.

1940 ජනවාරි 07 වෙනිදා වැල්ලවත්තේ උපන් කුරුවේ ආරච්චිගේ ක්‍රිස්ටෝෆර් ධර්මසේන ද අල්විස් ගේ පියා වූයේ ඇල්ප්‍රඩ් ද අල්විස් ය. මව වුයේ මියුරියෙල් අල්විස්ය. මේ යුවළට සිටි දරුවන් තිදෙනාගෙන් වැඩිමහල් දරුවා වුයේ මර්වින්ය. ඔහුට බාල සොහොයුරියන් දෙදෙනෙක් ඉන්ද්‍රානි හා ප්‍රින්සි නමින් වූහ. ඔහු අධ්‍යාපනය ලැබුවේ කොටහේනේ ශාන්ත ලුසියා විද්‍යාලයේය. පාසැලේ දී ඉගෙනුම් ලබන ගමන් පාසලේ විවිධ ප්‍රසංගවල රඟ පෑවේය. ඔහුගේ කුසලතා දැක නාට්‍ය නිෂ්පාදකයන් වේදිකා නාට්‍ය කිහිපයකට තෝරා ගත්තේය. ඒ අතරින් වෙසස්න්තර හා සංසාරය කැපී පෙනී ඇත. යු.ඩී.ආරියදාස ගේ ‘ෂාමා‘ නාටයේ විකට චරිතය දුටු ‘සුජාතා චිත්‍රපටයේ කතාව හා දෙබස් රචනා කළ සිරිල් පී.අබේරත්න විසින් චිත්‍රපටයේ නිෂ්පාදක කේ. ගුණරත්නම්ට හඳුන්වා දුන්නේය. ඒ අනුව මර්වින් දකුණු ඉන්දියාවේ සේල්ම් හී මෝඩර්න් චිත්‍රාගාරයේ හාර මාසයක් ගත කර ඇති බව ග්‍රේෂන් චන්ද්‍රතිලක 1956 නවයුගය සඟරාවේ සිනමා : රැඟුම්‘ විශේෂාංගයට ලියා තිබුණි. මුල් නම වෙනස් කර මර්වින් ද අල්විස් නමින් තමාව සිනමාවට, හඳුන්වා දුන් සිරිල් පී.අබේරත්නට හා කේ.ගුණරත්නම් යු.ඩී.ආරියදාස ගුරුමහතාටත් සදා ණය ගැති බව එම සඟරාවේ පළ වී තිබුණි. එහි මෙසේ ද සඳහන් වී තිබුණි.

‘ඉන්දියාවේ සිටි ‘චුට්ටා‘ එහි සුරතලා විය. සේලම් හී මෝඩර්න් චිත්‍රාගාරය නිතරම වාගේ දකුණ ඉන්දීය චිත්‍රපටි නළු නිළියන් ගැවසෙන තැනකි. සුප්‍රසිද්ධ ජෙමිනි ගනේෂන් හා සිවාජි යන නළුවෝ ‘චුට්ටා‘ට මහත් ආදරයක් දැක් වු නළුවන් දෙදෙනෙකි. තවත් චිත්‍රපට නිළියක් තමාව දරුකමට හදා ගැනීමට ඉල්ලා ඔහුගේ මාමාට ඇවිටිලි කළ හැටිත් ඔහුට මතකය. චුට්ටාගේ මාමා ද ‘සුජාතා‘ චිත්‍රපටයේ වෙළෙන්දෙකු ලෙස රඟ පෑවේය.

පාසලේ ඉංග්‍රීසි භාෂාවෙන් ඉගෙනීම ලැබූ ඔහු ඉන්දියාවේ දී චතුර ලෙස ඉංග්‍රීසියෙන් කතා කොට ඉංග්‍රීසි ගෞරව උපාධියක් ලැබූ අධ්‍යක්ෂ ටී.ආර්.සුන්දරම් ගේ සිත්දිනා ගෙන ඇත.

‘සුජාතා‘ චිත්‍රපටයේ ජනාදරය දිනූ මර්වින්ගේ පියා අකාලයේ මියයාම නිසා ඔහු අසරණ විය. මවත්, මාමාත් ඔහු හදා ගැනීමේ බර උසුළු වුහ.

ඉන්පසුව ඔහු රඟපෑවේ කේ.ගුණරත්නම් විසින් 1954 වසරේ නිපද වූ ටී.ආර්.සුන්දරම් හා ඒ.ආර්.රාවෝ අධ්‍යක්ෂණය කළ ‘වරද කාගේද?‘ චිත්‍රපටයේ ළමා චරිතයකි. මේ චිත්‍රපටයේ දෙබස් රචනය කළ පසුව අමාත්‍යවරයකු වූ ටී.බී. ඉලංගරත්න සමඟ රඟපෑමට ලැබීම තමාගේ ජීවිතයේ අමතක නොවන අවස්ථාවක් ලෙස ප්‍රකාශ කොට තිබුණි. දෙබස් උච්චාරණය, හා රඟපෑවේ මුලික අධ්‍යාපනය ලැබූ බව මර්වින් කියයි.

‘ඉලංගරත්න මහතා කාරුණික පුද්ගලයෙක්. ඔහු ‘වරද කාගේද? චිත්‍රපටයේ රඟපෑවේ නොතාරිස් රාළහාමිගේ චරිතය. නොතාරිස් රාළහාමිගේ බාල පුතා ලෙසයි රඟ පෑවේ.

මම ඉන්දියාවේ සිටි කාලේ මට ‘පියෙකු‘ මෙන් එතුමා සැලකුවා. ඉන්දියාවේ ඉන්න කාලේ ඉලංගරත්න මහත්තයාගේ කිට්ටුම ඥතියෙකු මිය යාම නිසා ලංකාවට හදිසියේම පැමිණිම ලෑස්තිවෙන විට මට ඇඩුනා. මම නළුවෙකු වශයෙන් කුඩා වුව ද නළු ජීවිතය ගැන ලද අත්දැකිම් වැඩි මහලු නළුවෙකුගේ අත්දැකිම් හා සමානය. සමහර දිනවල උදෑසනම චිත්‍රාගාරයට යාමට සිදුවුණා. සමහර දිනවල රඟ පෑ දිනවල - ඔහු කවදත් හොඳීන් රඟ පෑවා. හොඳට රෝස්ට් කළ කුකුළෙකු රෑ කෑමට ආවා‘ කොක් හඬ ලා සිනාසෙමින් කියා ඇත.

‘සිනමා‘ පුවත්පත 1953 - සැප්තැම්බර් 06 ඉරිදා) සංස්කාරක - රොබට් ජයවර්ධන

මර්වින් හින්දි චිත්‍රපට සිනමා ලෝලියකි. දිලිප් කුමාර් ඔහුගේ ප්‍රියතම නළුවා බව එම පුවත්පතට පවසා තිබුණි. තමාගේ ජීවිතයට කණ කොකා හැඩ වුයේ පියාගේ අභාවයෙන් පසු බව මර්වින් තමාට විඳීන්න සිදු වූ හිරිහැර අපමණ බව කඳුළු මුසු දෙනෙතින් කියූ බව 1956 වසරේ නවයුගය සඟරාවට කියා තිබුණි.

වැල්ලවත්තේ ඉපදුණ ද මර්වින් ද අල්විස් හැදිවැඩි ඇත්තේ රත්මලාන රජ මාවතේ නිවසකය. 1956 බී.ඒ.ඩබ්ලිව්. ජයමාන්න නිෂ්පාදනය කොට අධ්‍යක්ෂණය කළ ‘දෛව විපාකය‘ චිත්‍රපටයේ මර්වින් රඟ පෑවේ කිත්සිරි නම් ළමා චරිතයයි. එහි වැඩිහිටි කිත්සිරි ලෙස රඟපෑවේ සේනාධීර කුරුප්පුය. මර්වින් කුඩා කිත්සිරිගේ චරිතය විය. පියා මියයාමෙන් පසු තම මව සමග අන්ත දුක්ඛිත චරිතයක් රඟ පෑවේය.

‘සත්තකින්ම දෛව විපාකයක ළමා චරිතයට මුල් වුණේ මගේම චරිතය මගේ පියා මිය ගියාට පසු මට අත් විඳීන්නට වූ හිරිහැර පමණ, අප්‍රමාණයි.‘ මර්වින් නවයුගය සඟරාවේ ලේඛක ග්‍රේෂන් චන්ද්‍රතිලක කියා තිබුණි.

‘දෛව විපාකය‘ චිත්‍රපටයේ මගේ මවට රඟ පෑවේ ග්‍රේස් ජයමාන්න නෝනා මහත්මිය එක්ක රඟපාන විට මට හිතුණේ ‘මේ මගේ ම අම්මා නේද කියලා. අග හිඟ මැද අම්මා අනුන්ගේ ගෙවල්වල මෙහෙකාරකරම් කරලා තමාට ලැබෙන බත් පත නොකා ගෙදර ඇවිත් මට කවනවා. මේ චරිතය රඟපාන විට මට ඇත්තටම ඇඩුණා. ග්‍රේස් ජයමාන්න නෝනා මට පුතෙකු වගේ සැළකුවා. ඔහුගේ සැමියා වූ බී.ඒ.ඩබ්ලිව්. ජයමාන්න මහතා ද මට පියෙකු ලෙස සලකා මට හොඳීන් රඟපාන්න උපදෙස් දුන්නා. එතුමා සිංහල සිනමාවේ යෝධයෙක්. පුරෝගාමියෙක් ඔහුගේ ඇසුරම මට ශක්තියක් වුණා.‘ මර්වින් කියා ඇත.

අවසන් වරට මර්වින් ද අල්විස් රඟපෑවේ සිනමාස් සමාගම 1957 තිරගත වු ‘ශුරයා‘ චිත්‍රපටයේ කුඩා සරත් ගේ චරිතයයි. දඟකාර, අකීකරු, දඩබ්බර චරිතයක් වුි ඔහු රඟපෑ ඇත්තේ කුඩා නැගණිය ලලිතා ලෙස සෝමා විලියම්ස් (මහවෙල) සමඟය. චිත්‍රපටයේ එන එක් ගීතමය ජවනිකා එදා සිනමා රසිකයන් අතරත් ළමුන් අතරත් ජනප්‍රිය වී ඇත. සෙල්ලමට, දඟ ළමුන් සමඟ මැරකම් කරන කුඩා සරත්ට ලලිතා නංගී දෙන අවවාද සහිත මේ ගීතය නංගී ගයන්නේ අයියාට අවවාද දෙන ආකාරයෙනි. ගායනය ඉන්ද්‍රානී විජේබණ්ඩාර ය. පද රචනය කරුණාරත්න අබේසේකරය. එස්.දර්ෂිණ මුර්ති සංගීත අධ්‍යක්ෂවරයාය.

‘හිතන්නකෝ අයියේ

දැන්වත් හැදෙන්කෝ අයියේ

දග ළමයින් නරකයි බොහෝ සැරයි

හොඳ ළමයට කවුරුත් ආදරෙයි

හිතන්නකෝ අයියේ

සෙල්ලම ලෙල්ලම වෙනවාමයි

එකෙන් ඇස් රතු වෙනවාමයි

හෝ - ඕ - ම් - ම් - ම්

මැර - කොල්ලන් එක්කල හාදකම්

උඩ - පැනලී නැඹිලී නාඩගම්

හොඳ නෑ කැතයි චී චී කැතයි - ලැජ්ජා නැද්දෝ

හිතන්නකෝ අයියේ‘

‘ශුරයා‘ චිත්‍රපටයේ නිවැරැදි ගීත බණ්ඩයේ ගේය පද උපුටා ගත්තේ මහාචාර්ය සුනිල් ආරියරත්න විසින් ලියූ ‘සිංහල චිත්‍රපට ගීතාවලිය (1957 - 1961) කෘතියෙනි. ඡායාරූප අනුග්‍රහය චිත්‍රපට ගීත, පෝස්ටර්, සඟරා සංස්කෘතික සුධර්මන් ද කොස්තා ගෙනි.

රත්මලානේ රජ මාවතේ පදිංචිව සිටි මර්වින් ද අල්විස් ගැන තොරතුරු දන්නෝ හිඟය. පණහ දශයේ රත්මලානේ එකට හැදී වැඩුණු ලූෂන් බුලත්සිංහල (සම්මානනීය නළුවකු, ගීත රචකයකු හා නාට්‍ය නිෂ්පාදක) මා සමඟ මතකය අවදි කරමින් කතා කළේය.

‘මර්වින් හිටියේ රත්මලානේ රජ මාවතට හැරෙන තැන තිබූ පේළි ගෙවල් පේලියේ නිවසක. මම පදිංචිවෙලා හිටියේ ඒ ළඟම තිබුණ වෙඩිකන්ද පාරේ නිවෙසක. මර්වින් කොටහේනේ සාන්ත ලුසියා විද්‍යාලයට ගියේ. මම රත්මලානේ ධර්මරාම විද්‍යාලයේ. මර්වින් මගේ හොඳ මිත්‍රයෙක්. අපි එකට හැදුනේ. මර්වින් කුරුම්බා කඩන්න රුසියා. අපි ඒ කාලේ හිස් ඉඩමක් වූ විශාල සොයිසා වත්තේ රෑට ගිහින් කුරුම්බා කඩල බීලා, ලොඳ කාලා බඩපුරවා ගත්තා. අපේ කොලුකමට කරපු දෙයක් වුණත් මේ වැඩේ දී මුලිකත්වය ගත්තේ මර්වින. මොකද? මර්වින්ට තරම් පොල් ගස් නඟින්න කොල්ලෙක් මුළු පළාතෙම හිටියේ නැහැ. ‘පොල් මර්වින්‘ නමින් හුරතලේට අපි මර්වින්ට කිව්වට මිනිහා විනෝදකාමියා. ළමා නළුවෙක් හැටියටත් ප්‍රසිද්ධයි. අපි රත්මලානේ කඳවල වැවේ නාන්න යනවා. මර්වින් සුන්දර චරිතයක්. අපේ පදිංචිය පාමංකඩට ගියාට පස්සේ මර්වින්ගේ ඇසුර නැතිව ගියා. මම ඉඉඛ් ගත්තේ 1957 වසරේ. ඒ වන විට මර්වින් ‘දෛව විපාකය‘ චිත්‍රපටයේ රඟපාල ප්‍රසිද්ධියක් තිබුණා.

මර්වින් ද අල්විස් සිනමාවෙන් සමුගෙන වරාය සංයුක්ත මණ්ඩලයේ විදුලි සංඥා ඒකකයේ සේවය කළේය. මර්ලින් පීචර්ස් සමඟ විවාහ වූ ඔහු මැල්කම් රොනල්ඩ් හා මහේෂ් අසංක නම් පුතුන් දෙදෙනෙක් වෙති. මැල්කම් බේරුවල ද, මහේෂ් රත්මලානේ රජ මාවතේ දී පදිංචි වී සිටි. රොනල්ඩ් තම පියාගේ කුඩා කාලයේ සහ මියයාමට පෙර ඡායාරූප ද සපයා දුන්නේ මර්වින්ගේ ඥාති සොහොයුරික වූ මතිෂා සහ නලින් ජයසූරියයි.

මර්වින්ට සිටියේ නැඟනියන් දෙදෙනෙකි. ඉන්ද්‍රානි ද අල්විස් කළුතර ද, ප්‍රින්සි අයිරාංගනී ද අල්විස් ගම්පහ ද පදිංචිව සිටින්නාහ.

1999 මාර්තු 26 වෙනිදා මර්වින් හෘදයාබාධයකින් මිය ගියේය.