සිංහල සිනමාවේ ඩිංගිරි මැණිකා

විමලා වැනීෂියා- 1936-2011
අගෝස්තු 19, 2021

 

'කුස්සියේ ළීපට පිඹීමින් සිටි නංගී වෙත අක්කා දුව ගියේ ඉස්කෝලේ ප්‍රධානාචාර්යතුමා ඇතුළු තිදෙනෙකු පැමිණීම පිළිබද ආරංචිය කීමටය. මේ පිරිසෙන් එක් කෙනෙක් පාඨශාලාවේ උප ප්‍රධානාචාර්යවරයාය. අනිත් තැනැත්තා කොළඹින් ආ නීතිඥ මහතෙකි. මේ තිදෙනා ආකාශ වස්තු පරීක්ෂණවල මීට ඉහත යෙදී නැතත් මෙදා ගියේ තරු සෙවීමටය.

තරු සෙවීමේ යෙදුණ පිරිස කල්පනා කළේ අලුත් ග්‍රහ ලෝකයකට යාමට නොවේ. ඔවුන්ගේ බලවත් ආසාව වූයේ සිංහල චිත්‍රපටයකට තරුවක් සෙවීමය. ගම්පොල සිංහපිටිය පාරේ නොම්මර 49 දරන නිවසේදී මීට වසර 66 කට පමණ වූ සිද්ධියක් ගැන ඒ අවදියේ එනම් 1956 වසරේ මැයි මස 6 වැනි දා සිළුමිණ පත්‍රයේ කර්තෘ මණ්ඩලයේ සිටි ජී.ටී.වික්‍රමසිංහ ලියන ලද ලිපියක් ආරම්භ වී තිබුණේ ඒ ආකාරයෙනි.

මෙසේ එසේ මේ පිරිස ගම්පොල සිංහපිටියට ගියේ පිරිසට අනාගතයේ සිනමාවට නැගෙන ඩිංගිරි මැණිකා චිත්‍රපටයේ ඩිංගරි මැණිකාගේ චරිතය සදහා නවක නිළියක් තෝරා ගැනීමටය. ගම්පොල ජිනරාජ මිශ්‍ර පාඨශාලාවේ ජ්‍යෙෂ්ඨ පන්තියේ ඉගෙනුම ලබමින් සිටි විමලා වැනීෂියා නම් රූමත් ශිෂ්‍යාව තම පාසලේ විදුහල්පති අයි.ඩී.කරුණාතිලක උප විදුහල්පති එච්.ආර්. ද සිල්වා මහතා සමඟ කොළඹින් පැමිණි තවත් මහතෙකු දැක විමතියට පත්වූවාය.

විමලා වැනීෂියා නම් පසුව ඩිංගරි මැණිකා චිත්‍රපටයේ ප්‍රධාන නිළිය මීට වසර 14 කට පමණ පෙර කොළඹ 7 බෞද්ධාලෝක මාවතේ නොම්මර 410/125 දරන නිවසේ දී හැඳීන ගෙන කතාබහ කිරිමේ අවස්ථාව ලැබිණ. ඒ වන විට බෞද්ධ උපාසිකාවක ලෙස පූර්ණ කාලීනව සමස්ත ලංකා බෞද්ධ සම්මේලනයට ඇය දායක ව සිටියාය.

'මම ඩිංගිරි මැණිකා චිත්‍රපටයට සම්බන්ධ වූණේ අහම්‌බෙන්. ඒ 1955 වසර. ගම්පහ ජිනරාජයේ මා ඉගෙන ගන්න කාලේ වැඩිපුර උනන්දුව දැක්වූයේ නෙට්බෝල් ක්‍රීඩාවටයි. මධ්‍යම පළත් නෙට්බෝල් කණ්ඩායමේ නායිකාව මමයි. 'ඩිංගිරි මැණිකා චිත්‍රපටයට මුලින් තෝරා ගෙන සිටියේ රේඛාව චිත්‍රපටයට තෝරා ගෙන සිටි මල්ලිකා පිලපිටිය (චිත්‍රපට හා ටෙලි නාට්‍ය නළු රොෂාන් පිලපිටියගේ මව) එදා අපේ විදුහල්පති තුමා හා උප විදුහල්පති තුමා අපේ ගෙදරට ආව වෙලාවේ අම්මා ටවුන් එකට ගිහිල්ලා. මේ වන විට මගේ පියා මිය ගිහින්. අක්කා අම්මා හොයන්න යන්න ලෑස්ති වුණා. විදුහල්පති තුමා ගෙදර ආවාට.

විමලා මේ මහත්තයා කොළඹ ඉදලා ආවේ . සෝමරත්න නීතිඥ මහත්තයා . මුන්නැහේ ඩිංගරි මැණිකා කියලා චිත්‍රපටයක් කරන්න හදනවා. අපි මේ ළමයව ප්‍රධාන

චරිතයට තෝර ගන්න ආවේ. ඒ නවකතාව පියදාස සිරිසේන මහත්තයාගේ උසස් පොතක්. ඒ නිසා බයවෙන්න එපා."

මට ලැජ්ජාවට වඩා ගුරු භක්තියට ඔවුන්ගේ කීමට පිටුපාන්න බැරි වුණා.

"මේ මහත්තයාට ඇහෙන්න සින්දුවක් කියලා පෙන්වන්න විමලා," විදුහල්පති තුමා කීවේය.

මම දොර රෙද්දට මුවා වුණා. දැන් මම ගුරු අණට කීකරු විය යුතුයි. ඒ කාලේ තිරගත වෙමින් තිබුණු අශෝකා චිත්‍රපටයේ ගීයක් මම මිමිණුවා.

' ලෝකේ සිහිනයක් වගේය

අරුම පුදුම ජීවිතේ

කවුද මෙහෙම මැවුවේ ලෝකේ"

හොදයි හොදයි දැන් කවියක් කියන්න

මම කවියක් කියලා ඉවර වුණාම නීතිඥ සෝමරත්න මහතා ඩිංගිරි මැණිකා නවකතාවේ දෙබසක් කියන්න කිව්වා, ඒ සමඟම අම්මා ආවාම විදුහල්පතිතුමා කතාව කිව්වා.

' අපි පවත්වපු විභාගයෙන් මේ ළමයා පාස්, දැන් මේ ඇග්‍රිමන්ට් එකට අත්සන් තියන්න, සෝමරත්න මහත්තයා කියන කොට මාව වෙව්ලන්න පටන් ගත්තා."

ගහෙන් ගෙඩි එනවා වගේ ගිවිසුම් පත්‍රයට අත්සන් තැබීමට තම මව ද බය වූ බව විමලා අපට කීවාය. විදුහල්පතිතුමන් දෙදෙනා ගැන විශ්වාසය තැබූ අම්මා ගිවිසුමට අත්සන් තැබුවාය. අමුත්තන් ගිය පසු ඒ වන විට පිටපළාත් වල සිටි විමලාගේ අය්යලා යකා නැටූ හැටි විමලා විස්තර කළාය. පාසලට ගිය පසු මේ ආරංචිය ලැව් ගින්නක් සේ පැතිර ගිහින් තිබිණ.

' මට ජිනරාජේ උගන්වපු තිලක් රත්නාකර ( පසුව මහාචාර්ය) ජේ. ආර්.පී.සූරියප්පෙරුම, ( පසුව පාර්ලිමේන්තු මන්ත්‍රී) අමරසේකර (පසුව මහනුවර ධර්මරාජ විදුහලේ විදුහල්පති) එකහෙළාම මගේ තීරණයට විරුද්ධ වුණා. අම්මාත් මාත් කොළඹ ගිහින් කොටහේනේ කුමාර විද්‍යාලයීය ශාලාවේ පුහුණුවීම් කළා, චිත්‍රපටයේ කතා පිටපත ලියූ සයිරස් ඩබ්ලිව්. සුරේන්ද්‍ර හා ඇස්. පියසේන මහතුන් හා චිත්‍රපටයේ අගෝරිස් නම් චණ්ඩියා ලෙස රගපෑ බන්දුල ශ්‍රී සරච්චන්ද්‍ර ( පසුව දිනමිණ කර්තෘ) චිත්‍රපටයේ අධ්‍යක්ෂ ඉන්දිය ජාතික ඒ. එස්. ඒ.සාමිත් අපේ රඟපෑම් නිරීක්ෂණය කළා. කෝන්ගොඩ වික්‍රමපාල චරිතය රඟපෑවේත් සයිරස් මහත්තයා."

ඩිංගරි මැණිකා පිරිස 1955 ඔක්තෝබර් මාසයේ මදුරාසි‌යේ වාහිනි චිත්‍රාගාරයට ගියා, . විමලා තම මව සමඟ එහි කල් ඇතිව ගියාය. චිත්‍රපටයේ ප්‍රධාන චරිතය වන ඩිංගිරි මැණිකා ගේ පෙම්වතා වූ රංබණ්ඩා ලෙස රඟපෑවේ තේජා සෙනෙවිරත්න. යි, බබා සිංඥෝ නම් හොර නායකයා ලෙස රගපෑවේ ප්‍රකට වේදිකා නළු ලූමන් රාජපක්ෂ ය.

තේජා සෙනෙවිරත්න අපි හොදින් හදුනන අපේ ගමේ අම්මාගේ පැත්තෙන් ඥාති සම්බන්ධයක් තියෙන වැදගත් මහත්මයෙක්. මහනුවර ධර්මරාජයේ ඉගෙන ගෙන කොළඹ කාර්මික විද්‍යාලයට ගිය තේජා සමඟ රඟපෑමට ලැබීම සතුටක්. චිත්‍රපටයේ මගේ පියා ඕවිටිගල නිලමේ ලෙස රඟපෑවේ විදුහල්පති කරුණාතිලක මහතා වීම අපට ලොකු සැනසීමක් වුණා. අපේ උප විදුහල්පතිතුමත් චරිතයක් රඟපෑවා. කොළඹ ආනන්ද මහා විදුහලේ ගුරුවරයෙක් වූ එඩ්වඩ් සේනාරත්න රංබණ්ඩාගේ හොදම මිතුරා ලෙසත් ගායිකාවක් වූ සීතා නානායක්කාර හොර අරක්කු පෙරෙන මැගී ලෙසත් රගපෑවා, විමලා කීවාය.

ලංකාවේ දී ද රූප ගත වූ 'ඩිංගිරි මැණිකා චිත්‍රපටයේ ප්‍රේම ගීත දෙකක් රූ ගත කර තිබුණේ පේරාදෙණිය මල්වත්තේදීය. මේ ගීත දෙකම තේජා හා විමලා රගපාද්දී පසුබිම් ගායනා කළේ ධර්මදාස වල්පොල හා ලතා විසිනි. මේ එම ගීත දෙකය. කරුණාරත්න අබේසේකර රචනා කර තිබූ මේ ගීත දෙකම ඇතුළු සෙසු ගීත සංගීතවත් කළේ ඉන්දිය ජාතික එස්. එස්. වේදා හා පී.එල්. ඒ. සෝමපාල ය.

' පෙම් රාජ්‍යයේ - මංගල යෝගයේ

ආසිරි වාදයේ- කෝකිල ගී රාවේ

 

ඇළේදොළේ -විලේ ජලේ ප්‍රේමේ අපේ

ප්‍රේමේ අපේ හෝ සේයා පෙනේ,

මතු ජීවිතේ සෝබන මාවතේ

පෙර නිමිති පෙනේ - පෙම් අභිෂේකේ මේ

 

තරු ආකාසේ දිලිසෙනවා සේ

ප්‍රේම සිනාවේ කෝමල ලතාවේ

චන්ද්‍රා මන්ද නාවේ තාම පායලා

හෝ නාවෙ පායලා

පෙම් ඊලයේ පැද්දෙමු මේ රැයේ

ආලය මාළයේ ශාන්තිය සාදා දේ

අපේ කුලේ ප්‍රේම කුලේ_ බාධා නසා

බාධා නසා හෝ ප්‍රෙමේ දිනා

වස්තුව මාගේ_ මියුලැසි වාගේ

ප්‍රේම තොටිල්ලේ ප්‍රීති වුණාවේ

රම්‍ය සෞම්‍ය කාන්ති ප්‍රේම සාගරේ

හෝ ප්‍රේම සාගරේ

 

චිත්‍රපටයේ එන අනිත් ප්‍රේම ගීතයේ රචනය මෙසේය.

 

' සැබෑ වේ සීනය මාගේ හෝ

දිලේ ප්‍රේම චන්ද්‍රයා පායා

 

සැබෑ වේ සීනය මාගේ හෝ

දිලේ ප්‍රේම චන්ද්‍රයා පායා

 

සිනාසෙන්න හාහා

ආවේ සෙවනැල්ල වාගේ මා

ඔබේ ප්‍රාණේ වේ ම ප්‍රාණේ - මගේ ප්‍රේම රාජයා

පෙම් ලෝකේ-දිව්‍ය ලෝකේ වීලා

දිලේ ප්‍රේම චන්ද්‍රයා පායා

 

සිනාසෙන්න කාලේ - ප්‍රේමී සැනසෙන්න සීදේවී

යමු පීනලා විනෝදේ ගිලී ප්‍රේම සාගරේ

සුකුමාලී මා මනමාලි වේවා

දිලේ ප්‍රේම චන්ද්‍රයා පායා

 

මේ ගීත දෙක රූ ගත කරන විට අධ්‍යක්ෂක හා නිෂ්පාදක ට විමලා විසින් කොන්දේසියක් දමන ලද බව අපට පැවසුවාය.

' ප්‍රේම ජවනිකාවල පෙම්වතා මගේ අත් අල්ලන්න බෑ. නැටුම් වලට ඉන්නබැහැ. නාන ඇදුමින් ඉන්න බැහැ. මඟුල් පෝරුවක නගින්න බැහැ. ඔය විදියට. ඒ හැමදේටම අධ්‍යක්ෂ සාමි අවනත වුණා.

ඒත් බොහෝ ඉල්ලීම් වලට ඉඩදෙමින් පෙම් රාජ්‍යයේ ගීතයේ පමණක් තේජා සෙනෙවිරත්නට මගේ අත අල්ලන්න වුණා.

මම චිත්‍රපටයේ තිනව ගයන ගීතයක් තිබුණා.

රංමැණිකා රවටා බබා සිංඥෝ නම් හොර මුලක නායකයා විසින් සිරගත කරනවා. බබා සිංඥෝ විසින් ඩිංගිරි මැනිකාට ගෙනෙන විවාහ යෝජනාව කල් දමන්නේ කපටි ඥානයෙනි. තමාට ඇති විශාල අපලයක් කියා ඩිංගරි මැණිකා කළ කාරුණික ආයාචනය පිළිගැනීමට හොර නායකයා එකග වෙනවා. සියලු සැප පහසුකම් මැද ඩිංගරි මැණිකා ගෙදරක සිර ගත කරනවා. එවිට තනිකම හා සිය පෙම්වතා රංබණ්ඩා සිර ගතව දුක් විදින මානසික වේදනාව පවසන ගීයක් චිත්‍රපටයට ඇතුළත් ව තිබුණා. මේ ගීතයේ දී මම සියලූ හැඟිම් සම්පිණ්ඩනය කරමින් රගපෑවා.

මේ ගීතය පසුබිම්න් ගැයුවේ ලතා

මාව හංගා වනේ අයියෝ සක් දෙවියනේ

පඬුපුල් ආසනේ ඇයි දෝ උණු නොවුණේ

ඉන්න බෑ පෙම්බරෝ වෙන්ව මේ දුක් දරන්

ඉන්න තැනකින් ඇවිත් යන්න මාවත් අරන්

 

ඇල් වතුර පවා මට ලෝ දියකි.

දුක් ගින්න මහා ගිනි ජාලයකි

ඩිංගිරි මැණිකා වැලහින්නියකි.

පෙම් ලෝකය දැන් නරකාදියකි.

 

ආවේ නැතිනම් සොයා පපුව දෙදරා පැළෙයි

සෝක කදුළෙන් තෙමී නෑවි හැපිලා මැරෙයි

කෑලි කැපුවත් ඔබෙයි ජාති ජාතිත් ඔබෙයි

ගෙනියන්න ඇවිත් බුදු වෙන්න ලැබෙයි.

 

ලෝකේ කවුරුන් වුවත් ගැහැනු චපලයි අනේ

එහෙම තව නෑ මාගේ ප්‍රේමේ වෙනසක් වුණේ

රාජ කිරුළත් එපා_ ඔබව නොලැබී පනේ

මාගේ පතිදම් පරා මැරෙමි මැරුණත් අනේ,

ඉන්න බෑ පෙම්බරෝ වෙන්ව මේ දුක් දරන්

ඉන්න තැනකින් ඇවිත් යන්න මාවත් අරන්

 

මේ ගීතය රූප ගත කර අවසන් වූ පසු මගේ දෑසින් කදුළු රූ රා වැටුණා රූ ගත කිරීම් බැලීමට පැමිණි චිත්‍රපටයේ නිෂ්පාදක නීතිඥ එස්. ඩී.එස්. සෝමරත්න මහතාණන්ගේ බාල සොහොයුරු එස්. ඒ. සෝමරත්න මහතා මා අසලට පැමිණ විමලා ඔබ දක්ෂ ලෙස ඒ දර්ශනයේ රගපෑවා. කිව්වා, ' 'බොහොම ස්තූතියි මහත්මයා '

මම කිව්වා

1956 මැයි 11 විමලා වැනීෂියාගේ ජීවිතයේ අමතක නොවන දවසකි. ඩිංගිරි මැණිකා චිත්‍රපටයේ මංගල දර්ශනය වැල්ලවත්තේ සැෆයාර් සිනමාහලේ පැවැත් වූ අතර අගමැති බණ්ඩාරනායක මහතාත් මුදල් ඇමති ස්ටැන්ලි ද සොයිසා මහතාත් ප්‍රධාන අමුත්තන් ලෙසම සහභාගි වී ඇත. චිත්‍රපටය අවසානයේ 'කෝ මේ ඩිංගිරි මැණිකා ' යැයි අගමැතිතුමා නිෂ්පාදක සෝමරත්න ගෙන් අසා තිබුණි. විමලා ගේ රඟපෑම් අරභයා සුබ පැතූ අගමැතිතුමා ඇයට විහිළු කිරීමට අමතක කර නැත. ඒ හැමටම වඩා විමලා ගැන ඇසි පිය නොහෙලා බලා සිටි එස්. ඒ. සෝමරත්න ගේ නෙත් සැර විමසූ ප්‍රශ්නවලට ඇයට ප්‍රතිචාර දෙන්න සිදුවූවාය.

 

විමලා වැනීෂියා සෝලංගආරච්චි 1936 ඔක්තෝබර් 05 වැනි දා ගම්පොළ දී උපත ලැබුවාය.

' මගේ පියා ගම්පහ වෙද පරම්පරාවකින් පැවත එන සිංහල වෛද්‍යවරයෙක් සෝලංග ආරච්චිගේ දොන් චාල්ස් අප්පුහාමි නම් එතුමා ගම්පොල සර්වාංග වෛද්‍යවරයෙක් ලෙස සේවය කළා, ඉංග්‍රිසි යුගයේ මහනුවර දිසාපතිවරයෙක් ව සිටි හම්ෆ්‍රී විලියම් කොඩ්රිංටන් විසින් මගේ පියාට ගම්පොල ටවුන් ආරච්චි තනතුර ප්‍රදානය කර තිබෙනවා. මගේ අම්මාගේ නම සොපායා හාමිනේ. තාත්ත්ගේ ගජ මිතුරන් වූයේ ගම්පොල පී.බී. ඉලංගසිංහ නොතාරිස් රාළහාමිත් ප්‍රකට ලේඛක කවි චින්තාමනී පී.ඇම්.පී.අභයසිංහ මහතාත්. මම මුලින්ම ඉගෙන ගත්තේ ගම්පොල ජිනරාජ බාලිකාවිද්‍යාලයයේ. 1947 මහ ගංවතුර නිසා මගේ ඉගෙනීම අතරමග නැවතිලා. ඉන්පසු නුවරඑළියේ යහපත් එඬේරාගේ කන්‍යාරාමයටත් එතැනින් ගම්පොල ජිනරාජ ම්‍ශ්‍ර පාසැලටත් ඉගෙනීමට ආවා.

ඩිංගිරි මැණිකා චිත්‍රපටයෙන් පසු විමලාට චිත්‍රපට සදහා ඇරැයුම් ලැබුණත් ඇය ඒවා ප්‍රතික්ෂේප කළාය. චිත්‍රපටය තිර ගත වන කාලයේ ඇයට තම හද දිනූ තරුණයා වූ එස්. ඒ. සෝමරත්නගෙන් විවාහ යෝජනාවක් ආවේය.

'ඒ වන විට එස්. ඒ. සෝමරත්න කොළඹ ආනන් ද විද්‍යාලයේ ඉගෙනුම අවසන් කර ව්‍යාපාර කටයුතු වල යෙදී සිටියා. කොල්ලුපිටිය හන්දියේ වෙනුර ගොඩනැගිල්ල එයාට අයිති එකක්. කොල්ලුපිටියේ පෙට්‍රල් ෂෙඩ් එකෙත් අයිතිකාරයා. සෝමරත්නගේ විවාහ යෝජනාවට මම කැමැත්ත දුන්නේ මවගේත් වැඩිමහල් සොහොවුරන්ගේත් අවසර නැතුව. මගේ කැමැත්තට. ගෙදරින් මේ විවාහයට විරෝධය පෑවත් විමලා තමා දුන් වචනය වෙනස් කළේ නැත.

1958 පෙබරවාරි 21 වැනි දා අපි විවාහ වුණා. මගේ සැමියා 1968 තිර ගත වූ 'වනසරා චිත්‍රපටයේ නිෂ්පාදක, 1968 වසරේ සරසවිය සම්මාන උලෙළේ හොදම තිර රචක ලෙස සරසවිය සම්මානය දිනා ගත්තේත් මගේ සැමියා. අපට සිටියේ එක පුතයි. ලෝචන සෝමරත්න අකාලයේ මිය ගියා. එතැන් සිට මගේ ජීවිතය ආගමට දහමට යොමු වුණා. මගේ මහත්තයා බොහොම වැදගත් ස්ථිර ප්‍රතිපත්ති ඇති කෙනෙක්. ඔහු හා විවහා වූ පසු මා ගම්පොල මහගෙදර පස් පෑගුවේ නෑ.

විමලා කීවාය.

මට විමලා වැනීෂියා හමුවන විට ඇය සමාජ සේවා කටයුතු ආගමික සංවිධානවල ක්‍රියාකාරිව කටයුතු කළා‍ය.

ඒ දිනවල ඇය ළමා පොත් පෙළක් ද ලියා තිබුණි.

අපේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදි සිරි කහවල අපට කීවේ විමලා වැනීෂියා මහත්මිය තමා ටවර් හෝල් රඟහල පදනමේ උපදේශකයකුව සිටි කාලයේ දී පදනමට අගනා බුදු පිළිමයක් පරිත්‍යාග කළ බවය. වරක් ඇය කහවලයන් සමඟ කතා කරමින් සිටිය දී සූරියප්පෙරුම මහතා ගැන මෙසේ පවසා තිබුණි. කහවල, ආනන්ද විදුහලේ ඉගෙනුම ලබද්දී සූරියප්පෙරුම මහතාගේ ගෝලයකුව සිටියේය.

'බලන්න සූරියප්පපෙරුම සර් මගේ ගම්පොල ජිනරාජයේ ගුරුවරයා මේ ළඟදී මට හමුවෙලා කතා කළා. එතුමාගේ තාරුණ්‍ය මුහුණේ තිබුණා. මම කිව්වා, මම සර්ගේ ගෝලයෙක් වුණාට දැන් වයසයි. සර්ගේ අම්මා වගේ. සර් නම් එදා දැක්ක තරුණයාමයි. කියලා. නෑ නෑ විමලාත් ඔය අගේට ලස්සනට ඉන්නේ සර් එතකොට කිව්වා

 

විමලා වැනීෂියා සෝමරත්න 2011 වසරේ අගෝස්තු මස පස් වැනි දින මිය ගියාය. ඇගේ සැමියා මියගියේ එයින් වසර තිහිපයකට පසුවය.

 

ඩිංගිරි මැණිකා චිත්‍රපටයේ නිවැරැදි ගේය පද

උපුටනය-

මහාචාර්ය සුනිල් ආරියරත්න ලියූ සිංහල චිත්‍රපට ගීතාවලිය 1947-1956