‘ දිවිතුරා’ රඟපා සදහටම සමුගත් පුංචි තිරයේ ආදරණීය මාතාව

හයසින්ත් විජේරත්න
අගෝස්තු 5, 2021

 

ඇයට තිබුණේ සිරියාවන්ත උවනකි. ඇගේ සිනාවේ ළෙන්ගතුකම අව්‍යාජත්වයේ සංකේතයක් බඳුය. මේ හේතුවෙන් රටක් ඇයට ආදරය කළෝය. හයිසින්ත් විජේරත්න නැමැති ඒ අප ආදරය කළ රංගන ශිල්පිනිය රංගනයේ නැමැති උතුම් වෘත්තියේ ගරුත්වය ආරක්ෂා කරමින් සිටි තැනැත්තියකි. පුංචි තිරයේ ඇය රඟපෑවේ වැඩිපුරම මවගේ චරිතයයි. එහෙයින් තරුණ නළු නිළියන් රැසකගේ නිල නොලත් මවුතුමිය වීමටද ඇය වාසනාව ලද්දීය. මේ හේතුවෙන් බොහෝ තරුණ නළු නිළියෝ හයිසින්ත් විජේරත්න ඇමතුවේ හයිසින්ත් අම්මා යනුවෙනි. එහෙත් රටක් ආදරය කළ ඒ අපූරු රංගන ශිල්පිනිය සදහටම අප අතරින් සමුගන්නේ තමන්ට හිතවත් කිසිවෙක් නොමැති පාළු කඳු පාමුලකය. පසුගිය තිස් වැනිදා මධ්‍යම රාත්‍රිය ගෙවෙමින් පැවතිණි. ඇය එදා තමන් රඟපෑ ටෙලිනාට්‍ය රූගත කිරීම් අවසන් කොට නුවරඑළියේ සිට කොළඹ බලා එන්නට පිටත් වන්නේ රාත්‍රී කාලයේදීමය.

ඊට පසු දින ඇයට යෙදී තිබුණු රාජකාරි රැසකි. සිකුරාදා රාත්‍රියේ මේ එන්නේ තමන්ගේ අවසන් ගමන බව හයිසින්ත් හීනෙකින්වත් සිතන්නට නැතිව ඇත. අවසාන මොහොත දක්වාම රංගන ශිල්පිනියක් ලෙසින් සක්‍රීයව කටයුතු කළ කඩිසර කාන්තාවක වූ ඇය වියෝවන්නටද මොහොතකට ප්‍රථමව සුපුරුදු සිනහව මුවේ රඳවා ගෙන සිටින්නට ඇත. සාමාන්‍යයෙන් හයිසින්ත් විජේරත්න රූපගත කිරීම් අවසන් කොට රාත්‍රියේ මේ අන්දමින් පැමිණෙද්දී වාහනය පදවන රියදුරුගෙන් නොසෑහෙන වාරයක් අසන්නේ පුතා නිදිමතද යනුවෙනි. නිදිමත නම් පොඩ්ඩක් අයිනකට කරල නවත්තලා නිදාගෙන යමු කියන්නට ඇය පසුබට වන්නේද නැත. එවන්වූ අයෙකුට මෙවන් ඉරණමක් අත්වීමද පුදුම සහහතය. මාර්ගයෙන් ඉවතට පැන හයිසින්ත් ගමන් කළ වාහනය ළිඳුල ප්‍රදේශයේ කඳු පාමුලකට පෙරළෙද්දි ඇයට කුමක් සිතෙන්නට ඇතිද. ඒ රාත්‍රිය ගෙවී අලුයම වෙද්දි හයිසින්ත් අප අතරින් සදහටම සමුගෙනය. හයිසින්ත් විජේරත්න නැමැති නිළියට වයස් භේදයකින් තොර ප්‍රේක්ෂක කණ්ඩායමක් සිටියේය. ඇයගේ පිරිපුන් රංගන හැකියාවට මෙන්ම මුහුණේ රැඳී තිබුණු සිරියාවන්ත සිනාවට රටක් ආදරය කළේය. හයිසින්ත් විජේරත්නගේ නැන්දම්මාට පින් සිදු නොවන්නට එවන් නමකින් යුතු නිළියක් අප ක්ෂේත්‍රයේ නොසිටින්නට ඉඩ තිබිණ. උපතින්ම මුදල් හදල් යහමින් තිබූ පවුලක දිවිගෙවූ හයසින්ත් පාසල් වියේදී පුංචි පුංචි නාට්‍යවලට සම්බන්ධ වී සිටියා මිසක මහා පරිමාණයෙන් නිර්මාණ සඳහා දායක වන්නට කිසි දිනෙක පෙරුම් නොපිරුවාය. තමන්ගේ පප්පා කෙදිනකවත් රංගන ශිල්පිනියක් ලෙස ඉදිරියට යන්නට ඉඩ නොදෙන බවට හයිසින්ත් හොඳාකාරවම දැන සිටියාය. එහෙත් ඇයට තිබුණේ නිළියන් පරදන සුරූපී රූ සපුවකි. එහෙයින් මේ සොඳුරු පුෂ්පය වටා සෑහෙන්න ඉලන්දාරින් පිරිසක් පැමිණි වග නොරහසකි. එහෙත් ඇය අනවශ්‍ය බැඳීම්වලට නොයා ආගමානුකූලව දිවි පෙවතක් ගත කළාය. නව යොවුන් වියේදී සාස්තරකරුවෙකු කිවූ වචනයක් ඇගේ සිතේ දෝංකාර දෙමින් තිබිණ. ඒ වැඩි වයසක් නොයා ඇය විවාහ ජීවිතයට ඇතුළත් වන බවය. ඔය කාලයේදී හයසින්ත්ට තම ජීවිතයේ සහකරුවා අයිවන් හමුවන්නේ අහම්බෙනි. ඔහු පෙර සිට හයසින්ත්ගේ පවුලට හිතවත් අයෙකු විය. මේ කඩවසම් තරුණයා තමන් පසුපස එන බව දැනගත් හයිසින්ත් ඔහුව ගණන් නොගෙන සිටියාය. කෙසේ වෙතත් දෛවයේ ලියවී ඇති පරිදි අයිවන් විජේරත්න හයසින්ත්ගේ දයාබර සැමියා වන්නේය. ත්‍රීරිස් හයසින්ත් විජේරත්න නැමැති රංගන ශිල්පිනිය කලඑළියට එන්නේ එතැන් සිටය. චිත්‍රපටියකට අලුත් නළු නිළියන් ගන්නවා කියා පුවත්පත් දැන්වීමකට ඇය අයදුම්පතක් යොමු කළේ නිකමටය. සුගතපාල සෙනරත් යාපාගේ “පෙම්බර මධූ” එම සිනමාපටයයි. වැඩිය නොසිතා එම චිත්‍රපටයේ තිර පරීක්ෂණයටද සහභාගිවූ හයිසින්ත්ට එහි උප ප්‍රධාන චරිතය ලැබෙන්නේ ඇගේ වෙනස්ම වූ රූ සපුව නිසාවෙනි. මේ බව දැනගත් ඇගේ සැමියා අඩි පොළොවේ හැපෙමින් කියා සිටියේ කිසිදිනක ඔය චිත්‍රපටයේ රඟපෑමට නොයවන ය. එහෙත් අයිවන්ගේ මව එනම් හයිසින්ත්ගේ නැන්දම්මා තම පුතාගේ අදහසට විරුද්ධව මෙම සිනමාපටයේ රඟපෑමට හයිසින්ත් යවන්නේය. අප කලා ක්ෂේත්‍රයට හයිසින්ත් විජේරත්න නැමැති නිළියගේ ආගමනය සිදුවන්නේ ඒ අන්දමිනි. එතැන් පටන් ඇයට දිගින් දිගටම චරිත රංගනයෙන් දායක වන්නට අවස්ථාව ලැබේ. එක්ටැම්ගේ, සුරබිදෙන, හිත හොඳ ගැහැනියක්, එකදා වැහි, ක්‍රිස්තු චරිතය, තාරකා මල්, හෝ ගානා පොකුණ, ගුරු ගීතය, සිරිදළදාගමනය ආදී චිත්‍රපට රැසක ඇය චරිත රංගනයෙන් දායක වූවාය.

මෙරට නිර්මාණය වූ ප්‍රථම ටෙලි සිතුවම වන ඩී. බී. නිහාල්සිංහ සූරීන්ගේ දිමුතු මුතු ටෙලි සිතුවමෙන් පුංචි තිරයට ආගමනය වන හයිසින්ත් එහි උඩුකිඳ මැතිණියගේ චරිතයට රංගනයෙන් දායක වෙයි. ඉතින් පසුව නාට්‍ය සියගණනකට ඇයට ඇරැයුම් ලැබෙන්නේය. දඩබිම, ඉසුරු ගිර, කන්දෙ ගෙදර, සංක්‍රාන්ති සමය, පිටගම්කාරයෝ, බ්‍රහ්ම මූර්තය, වීදි පහන්, සසර සක්මන, සත් පියවරු සිට ඇය අවසන් වරට රඟපෑ දිවිතුරා නාට්‍ය දක්වා ඇයගේ ටෙලිනාට්‍ය රංගන චාරිකාව දිගුවන්නේය. එදා පටන් අද දක්වාම ඇය වැඩිපුරම රඟපෑවේ මවගේ චරිතයය. 1946 ඔක්තෝබර් 03 වැනිදා උපත් ලැබූ හයසින්ත් විජේරත්න අධ්‍යාපනය හදාරන්නේ මෝදර මේරි මාග්‍රට් විදුහලෙනි. අද එය ශාන්ත ඇන්තනි විද්‍යාලය ලෙසට නම වෙනස් කොට තිබේ. මෝදර ශාන්ත ජේම්ස් විද්‍යාලයෙන්ද ඇය පසුව අධ්‍යාපනය හදාරන ලදී. හයිසින්ත් අයිවන් යුවළට දාව එක පුතෙකි. ඔහු ශිරාෂ් විජේරත්නයි. ඔහු විදෙස්ගතව ජීවත් වේ. හයිසින්ත් සරසවිය පත්තරේ හා තිබුණේ මහත්වූ ළෙන්ගතුකමකි. වාසනාවේවා ටෙලි නාට්‍යයේ රඟපාන කාලයේදීය සිදුවුණු සිදුවීමක් මෙහිදී සඳහන් කරන්නේ එය තහවුරු කිරීමටය. මා සහ අප ඡායාරූප ශිල්පී මාලන් කරුණාරත්න එම දර්ශනතලයට ගියේ සරසවියට පුවත්පත් ලිපියක් සැකසීමටය. එහෙත් එදින රූපගත කිරීම සඳහා හයිසින්ත් සහභාගී නොවන බව සහාය අධ්‍යක්ෂවරයා දැන්වා සිටියේය. පුදුමයකි සුළු මොහොතකින් හයිසින්ත් විජේරත්න දර්ශන තලයට ආවාය.

"අද මගේ ෂූටිං නැහැ නමුත් සරසවියෙන් එනවා කියලා කිව්වනේ. අපිව හොයාගෙන සරසවියෙන් එද්දි මම කොහොමද ගෙදරට වෙලා ඉන්නේ. ඒකයි ෂූටිං නැතත් මේ ආවේ. සරසවියෙන් තමයි ඉස්සර අපිට ගොඩක් උදව් කළේ.

ඒ හයිසින්ත් එදා කිවූ වදනයි.

හයිසින්ත් අවසන් වරට රංගනයෙන් දායක වූයේ දිවිතුරා ටෙලි සිතුවමේය. එහි උඳුල් ලෙස රගපාන සුර්යා දයාරුවන්ගේ මව ලෙසින් ඇය රඟපෑමෙන් දායක වූවාය. එම කොටස් කිහිපය තවම විකාශය නොවුණි. තව නොබෝ දිනකින් ඇගේ අවසන් රංගනය කණගාටුවෙන් වුවද අපට නැරඹීමට සිදු වන්නේ මෙම ටෙලි සිතුවම ඔස්සේය. අවුරුදු 75ක් ආයු විඳීමින් හදිසියේ අප අතරින් වියෝවූ හයිසින්ත්ගේ අවසන් කටයුතු ඊයේ එනම් 4වැනිදා බදාදා වත්තලදී සිදුවිය. නැවතත් ඇගේ සුන්දර උවන පුංචි තිරයේදී වරින් වර දැක ගැනීමට හැකි වුවත් සැබෑ ජීවිතයේදී නම් කෙදිනකවත් ඇයව අපට හමු නොවනු ඇත

 

ශාන් රූපස්සර