අබිරහස් මරණයකට ගොදුරු වූ හාර්මෝනියම් මාස්ටර්

අප්‍රේල් 22, 2021
සංගීතඥ ඩබ්ලිව්.ඒ. ජෝසප් පෙරේරා

 

වර්ෂ 1906-43 දක්වා පූර්ව සිනමා යුගයේ මෙරට බිහිවුණු පුරෝගාමී සංගීතඥයන් අතුරින් ඔබ අප බොහෝ දෙනා හඳුනන පුරෝගාමී සංගීතඥයන් අතරට ඇම්. ජී. පෙරේරා, ජේ. සාදිරිස් සිල්වා, එච්. ඩබ්ලිව් රූපසිංහ, බී. එඩී. ද සිල්වා, මොහොමඩ් ගවුස් ආදීහු ප්‍රමුඛ ස්ථානයක් ගනිති. නමුත් මේ යුගයේම අතිශය ප්‍රසිද්ධියක් සහ ජනාදරයක් දිනා සිටි වල්පොල ආරච්චිගේ ජෝසප් පෙරේරා යන එවකට ජනප්‍රිය වූ සංගීතඥයා, හාර්මෝනියම් වාදකයා පිළිබඳව ඔබා අසා නොමැති වන්නට පුළුවන. නමුත් එතුමා විසින් ගායනා කරන ලද ඔබ අප හොදින් හදුනන එක් ගීතයක් දශක අටකට ආසන්න කාලයක් ගෙවී ගියත් අදටත් අතිශය ජනප්‍රිය ගීයකි. “ප්‍රීති සාර වේ කොළඹ නගරෙ රෑට සුරපුර මෙන” ගීතය මගින් එතුමා ස්වකීය අනන්‍යතාවය ඔහුගේ අභාවයෙන් දශක ගණනාවකට පසුවද සටහන් කළේ ඔහුගේ ස්වරයේත්, ගීත තනුවෙත් ඇති මාධූර්යය නිසාවෙන් ම ය. මේ ගීතය පිළිබඳ කෙටි විස්තරයක් අප මීට ප්‍රථම කොළඹ නගරය ගැන කියවුණු ගී යන ලිපිය යටතේ පළ කළ බැවින් අද අප තෝරා ගත්තේ එතුමා විසින් ඒ අයුරින්ම ගැයූ තවත් ගීතයකි. “කොළොඹ නගරේ” ගීත තැටියේ අනෙක්පස අඩංගු වූ මෙම සන්ධ්‍යා වර්ණනා ගීතය ද එවකට සංගීත මාස්ටර් ලා සහභාගී වෙමින් කොළොඹ මරදාන අවට පවත්වන්නට යෙදුණු “බජව් සාජ්ජ” වල ඉතා ජනප්‍රිය ගීතයක් විය.

 

චන්ද්‍රාලෝකෙනි සන්ධ්‍යා කාලේ

එන්නා නැගී චන්ද්‍රයා ආකාසේ සැන්දෑ කාලේ //

 

මානෙල් මලෙහි මේ .........

මානෙල් මලෙහි මේ - බෝ අලංකාරේ

හර්දේ යාවි පිනා - මේ දිනේ සන්තොසෙනි //

 

චන්ද්‍රාලෝකෙනි සන්ධ්‍යා කාලේ .....

 

මනෝරම්‍ය නාදෙනී .......

මනෝරම්‍ය නාදේනි - කර්ණේ පිනාවී

කෝකිල ආදී නෙක පක්ෂීන්ගේ රැව් දී පිනා-

නෙක පක්ෂීන්ගේ රැව් දී පිනා //

 

චන්ද්‍රාලෝකෙනි සන්ධ්‍යා කාලේ .....

 

පුෂ්ප පිපිලා බොහෝ ...........

පුෂ්ප පිපීලා බොහෝ සුවඳය පැතිරේ

මීමැසි ආදී හැසිරෙන්නා මධු ලෝලෙනි ..

හැසිරෙන්නා මධු ලෝලෙනි //

චන්ද්‍රාලෝකෙනි සන්ධ්‍යා කාලේ .....

 

මේ ගීතය ඉන්දියානු කව්වාලි සහ තරනා ගීත ශෛලීන් ආභාසය කර ගනිමින් ජෝසප් පෙරේරා මාස්ටර් විසින් ගායනා කරන ලද්දකි. විශේෂත්වය වන්නේ ගීතය ගායනා කරමින්ම හාර්මෝනියම් වාදනය කළේ ද එතුමා වීමය. එතුමාගේ ගීත සියල්ලකම වාගේ ඉතා විශිෂ්ට හාර්මෝනියම් වාද්‍ය ඛණ්ඩ ආරම්භයට හෝ අවසානයට එතුමා ඇතුළත් කළේ ඔහුගේ ගායනයේ මෙන්ම වාදනයේ හැකියාවන් ද ශ්‍රාවක ජනයා ට සමීප කරවීමට ය. මෙම ගීතය වර්ෂ 1939 දී ඩ්ර්ඍ තැටි අංක ව් 9317 අංකයෙන් නිකුත් වුණු අතර තැටියේ අනෙක් පස අඩංගු වූයේ ද ජෝසප් පෙරේරා මාස්ටර්ගේ ම “ ප්‍රීති සාර වේ කොළඹ නගරේ රෑට” ගීතයයි. මෙම ගීත ද්විත්වය අඩංගු ගීත තැටිය සඳහා තිබූ අධික ශ්‍රාවක ඉල්ලුම හේතුවෙන් ඩ්ර්ඍ තැටි සමාගමට 1939-43 කාල වකවානුවේ මෙම ගීතයේ ප්‍රතිනිකුතු රාශික් වෙළෙඳපොළට එකතු කිරීමට සිදු විය. මෙම ගීතය රචනා කරන ලද්දේ ද එවකට ජෝසප් පෙරේරා මහතා පදිංචි වී සිටි පානදුරේ එඬේරමුල්ල ප්‍රදේශයේ සිටි ග්‍රැමොෆෝන් යුගයේ අතිශය ජනප්‍රිය ගීත රචකයෙක් වූ ඩබ්ලිව්. ඩී. මර්සිලිනු ඇල්බට් මහතා විසිනි. සංගීත වෘන්දය එච්. ඩබ්ලිව් රූපසිංහ මාස්ටර් ගෙනි. සංගීතය මෙහෙයවනන්ලද්දේ ජෝසප් පෙරේරා මාස්ටර් විසින් ම ය. මෙම කන්කළු ගීතයේ ස්වර සප්තකයේ පූර්වාංගයේ පමණක් මෙම තනුව පිහිටා ඇති අතර ගන්ධාරය වාදී ස්වරය වන බිහාග් රාගයේ ඡායාවක් දිස්වේ. තාලය කෙහෙර්වා වන අතර මෙම ගීතයේ ශුද්ධ නිෂාදය ෂඩ්ජය ලෙස යෙදී ඇත. වාද්‍ය භාණ්ඩ ලෙස ෆුට් බැලො හාර්මෝනියම්, තබ්ලාව, පියානෝව ආදිය භාවිත කර ඇත.

ජෝසප් පෙරේරා මහතා පිළිබඳව තොරතුරු ගවේෂණය ඉතා අපහසු වන්නේ එතුමා ඉතා තුරුණු වියේදීම එනම් 1940 දශකයේම කාලයාත්‍රා කළ බැවිනි. වර්ෂ 1914-17 පමණ කාලයේ උපත ලදැයි සැලකෙන මෙතුමා ගායකයෙක්, සංගීත ගුරුවරයෙක්, සංගීතඥයෙක් සහ සුප්‍රකට හාර්මෝනියම් වාදකයෙක් ලෙස 1935-44 වකවානුවේ මෙරට ඉතාවිශාල ජනාදරයක් දිනා සිටියේ ය. මෙතුමාගේ වැඩිමහල් සහෝදරයා වූ ඩබ්ලිව්. රූබන් පෙරේරා මාස්ටර් එවකට අතිශය ජනප්‍රිය තබ්ලා වාදකයෙක් විය. ඔහු වෙතින් තබ්ලා වාදනය ද, ඩබ්ලිව් අල්විස් නම් මහතෙක් මගින් හින්දුස්ථානි රාගධාරී සංගීතය ද ප්‍රගුණ කළ මෙතුමා ග්‍රැමොෆෝන් ගීත ගායනයට අවතීර්ණ වන්නේ වර්ෂ 1935 දී එනම් ඔහුට යන්තමින් වයස දහහතක් හෝ දහ අටක් පමණ කාලයේ දී එවකට ජනප්‍රිය ගීත ලේබලයක් වූ බ්‍රෝඩ්කාස්ට් (ඕඅර්‍ණඒච්ඛ්ඒඉඊ) ලේබලය වෙනුවෙනි. එම ලේබලයේ ගීත තැටිගත කිරීම සඳහා ලක්ෂ්මි බායි, රෙජිනා පෙර්රා, රොමියුලස් පෙරේරා, සුසිලා ජයසිංහ, නෝබට් රුද්‍රිගු, එච්.ඒ ලෝරන්ස් පෙරේරා ඇතුළු කණ්ඩායමක් 1935-36 වකවානුවේ මදුරාසියට පිටත්ව ගොස ඇත. ඒ කණ්ඩායමේ මුලිකත්වය ගත් සංගීතඥයා වූයේ ජෝසප් පෙරේරා මාස්ටර් ය. ඔහුගේ ඉතා කන්කලු ගීත රාශියක් මෙම ලේබලයෙන් තැටියට නැගුණි. ඒ අතුරින් “එපා බොන්ට මත්පැන් නැණත්තෝ ලොවෙහී”, “සැප සම්පත්“, “සැපා නෑ මේ ලොවේදී ”, “දේස දේසා දී”, “ ශිල්ප ශාස්ත්‍රා” ආදී ගීත ප්‍රමුඛත්වයක් ගැනේ. මේ සෑම ගීතයකම හාර්මොනියම් වාදනය කරමින් සංගීතය සපයමින් ගීතය ගායනා කළේ මෙතුමා ය. එම සියලු ගීතයන්හිම එතුමාගේ කර්ණරසායන හර්මොනියම් වාදන කොටස් ඇතුළත් කිරීමට ඔහු වගබලා ගත්තේය.

එවකට සුප්‍රසිද්ධ කව්වාලි ගායකයෙක් වූ මාස්ටර් ඛල්ලාන් ඛාන්, සහ ශාස්ත්‍රීය ගායක කේ. සී. ඩේ, ශාස්ත්‍රීය ගායිකාවන් වූ ඉන්දුබාලා, අන්ඝූර් බාලා සහ මිස් දුලාරී ගේ ගායනා ශෛලීන් මෙතුමා වඩා ප්‍රිය කළ බවක් පෙනේ. සුප්‍රකට නිළි ලක්ෂ්මී බායි විසින් ඇයගේ ගායනා ශෛලීය අර්ධ ශාස්ත්‍රීය ශෛලීයකට වෙනස් කොට හින්දුස්ථානි වෘත සහ ආලප් ඇසුරු කොට පළමු වරට ගීත ගායනා කළේ මෙම බ්‍රෝඩ්කාස්ට් ලේබලයට ජෝසප් පෙරේරා මාස්ටර් ගේ සංගීතයට ය. ඒ අතුරින්, “මහ මුණි ශ්‍රී පා” , “ ඉතිහාසේ මේ අපේ”, “ අහෝ මේ පැමිණුනු”, “ලංකා මාතා ගේ“ , ශ්‍රී ලංකා මේ දීපේ කීර්ති දරු”, “සිත සෝකා කය පීඩා” ආදී ලක්ෂ්මි බායි ගේ එවකට ජනප්‍රිය රාශියක සංගීතඥයා වූයේ ජෝසප් පෙරේරා ය. වර්ෂ 1939 පටන් හිස් මාස්ටර්ස් වොයිස් ලේබලය යටතේ ගීත තැටිගත කළ මෙතුමා එම ලේබලය සඳහා ගීත දොළහක් 1939-42 වකවානුවේ තැටිගත කළේ ය. “දෝස බෝවේ” යන මද්‍යපානයේ ප්‍රතිවිපාක පිළිබඳ කියැවෙන ගීතය එවකට ඇරැඹී අමද්‍යප ව්‍යාපාරය සඳහා විශාල දායකත්වයක් ලබා දුන් අතර, අතිශය ජනාදරයක් දිනා ගත්තේ ය. “ ප්‍රේමා දෝණි”, “ ප්‍රීති සාර වේ කොළඹ නගරේ”, “ චන්ද්රාලොකෙනි සන්ධ්‍යා කාලේ”, “ප්‍රමාණේ නොදැනා“, “කලණා හිතමිතුරු”, “සිහලුනි මේ ලංකා වාසි“, “සමතා ඉවසන සුදනා“, “කළ උපකාරා”, “බැරි සිරිතේ ගැලී“, “තිලෝනා ගේ කුඩා මවු වූ“ ,”රථ සක වාගේ” යන ගීත දොළහ එනම් ගීත තැටි හයක් මෙතුමාගේ නමින් නිකුත් විය. මේ කාලයේ කොළඹ තොටළඟ ප්‍රදේශයේ “ පෙරදිග සංගීත විද්‍යාලයය” නම් සංගීත ආයතතයක් ආරම්භ කළ මෙතුමා හින්දුස්තානි රාගධාරී සංගීතයත්, හාර්මෝනියම් වාදනයත් ඉගැන්වීමේ කටයුත්තෙහි යෙදුණේ ය. එතුමාගේ ගෝලයන් අතර සුප්‍රකට වාද්‍ය විශාරද ඩී. ඒ . දේවගේ, ජී .ඇම්. ඒ ජෝර්ජ් ද සිල්වා යනාදීහු ප්‍රමුඛ වෙති. එසේම එවකට සිටි ජනප්‍රිය තරුණ ටවර්හෝල් නෘත්‍ය ශිල්පිනියක මෙන්ම, ඇති දක්ෂ ෆුට්බැලෝ හාර්මෝනියම් ශිල්පිනියක වූ ෆ්ලොරී දේවී (ලලිතා පෙරේරා) මහත්මියගේ (ශිල්පිනී සුජාතා අත්තනායක මහත්මියගේ වැඩිමහල් සොයුරිය) ගේ හාර්මෝනියම් ගුරුතුමා වූයේ ද මෙතුමා ය. එසේම එවකට මෙරට පෙන්වන ලද නිහඬ වෘත්තාන්ත චිත්‍රපටවල ජවනිකා අතරතුර කාලයේ ප්‍රේක්ෂකයා වෙත සජීවී ගීත ගායනා කරමින් මෙතුමා විශාල ජනාදරයක් දිනා ගත්තේ ය.

ජෝසප් පෙරේරා මහතාගේ මතු දක්වන ලද “චන්ද්‍රා ලෝකෙනි සන්ධ්‍යා කාලේ” ගීතයේ මුල් තනුව උපුටා ගත්තේ වර්ෂ 1931 ප්‍රති නිකුතුවක් වශයෙන් නිකුත් වූ 1919-1920 දී පමණ මුල් වරට ට්අඒර්ර්‍ණර්‍ථඩ්ර්‍ණව්ඡ් ඛ්ර්‍ණව්ඛ්ඡ්අඊ ලේබලයට තැටිගත කරන ලද, එවකට ජනප්‍රිය තරුණ ශාස්ත්‍රීය ගායිකාවක වූ “මිස් දුලාරී“ නම් ගායිකාව ගැයූ “සෛයාන් තේරී ගෝරී” නම් ඩ්ර්ඍ තැටි අංක ර්‍ථ 6471 (ට් ඛ් 16-13073) ගීතයෙනි. හින්දි ගීතයේ තාල ද සිංහල ගීතයේ සඳහන් කර ඇති ලෙස වුවද මිශ්‍ර පහඩි රාගයේ යම් යම් සේයාවන් මතු කරන බවක් පෙන්. ගායිකාවගේ උච්ච ස්වර පරාසයට සුදුසු පරිදි මධ්‍යමය ෂඩ්ජය ලෙස යොදා ගෙන ඇත. එනම් ස්වර හතරක පරතරයකින් යුතුව හින්දි ගී තනුව නිර්මාණය කර ඇත. එසේම මෙම ගීතය තුළ ඇති විශේෂ ලක්ෂණයක් වන්නේ ගීතය රසවින්දනය කරන රසිකයන් ගේ ඝෝෂා, කටහඬවල් සහ අත්පුඩි ආදියද ගීතයට ඇතුළත් කර තිබීමයි. එක්කෝ මෙය සජීවී ගායනයක දී තැටිගත කළා විය යුතුය. නැතහොත්, ගායිකාවගේ ජනප්‍රිය භාවය තීව්‍ර කිරීමට තැටි සමාගම් භාවිත කළ උපක්‍රමයක් විය යුතු ය (මෙම ලක්ෂණය මෙරට එවකට ජනප්‍රියම ගායිකාව වූ ලක්ෂ්මී බායි මහත්මියගේ ගීත ඇතැම් පර්ලොෆෝන් ලේබලයේ තැටි වලත් එලෙසම ඇතුළත් විය). නිහඬ යුගයේ චිත්‍රපට වල සිට වර්ෂ 1936 දක්වා ඇතැම් කතා නාද චිත්‍රපට වලද නිළි ගායිකාවක වූ මිස් දුලාරී ද තුරුණු වියේම මිය ගිය ගායිකාවක බව සඳහන් ය.

ජෝසප් පෙරේරා මාස්ටර් පිළිබඳව නැවත හැරී බැලුවොත්, එවකට අතිශය ජනප්‍රිය වූ එතුමාගේ ගීත 1942 පසු තැටිගත නොවීම අපගේ සැකය ට තුඩු දුන් කාරණයක් විය. එතුමා පිළිබඳ සොයා බලන විට දැනගන්නට ලැබුණේ එතුමා ඉතා තුරුණු වියේදීම එනම් 1942-43 වකවානුවේදීම කාලක්‍රියා කර ඇති බවකි. එතුමාගේ මරණය එකතරා අතකින් අබිරහසකි. එනම් එවකට එතුමා ඉතා කොළොඹ නගරාශ්‍රිත සංගීත සමාජයන් හි අතිශය ජනප්‍රිය සංගීතඥයෙක් වූයේ ඔහුගේ මධුර වූ ස්වරයත්, ඔහුගේ අතැඟිලි වල රැඳී ඔහුටම ආවේණික අතිශය දුර්ලභ වාදන හැකියාවත් නිසා එවකට බජව් සාජ්ජ වල මෙතුමා ගේ ගායනා අනිවාර්ය අංගයක් විය. එසේම එතුමාගේ ගීත තැටි වැඩිවශයෙන් අලෙවියක් ද සිදු විය. සිල්ක් සරමින් , ට්විඩ් කබායෙන් සහ පාවහන් යුවලකින් නිතරම සැරසුණු එතුමා හිතවතෙකු හමු වූ විට “හෙලෝ කන්ට්‍රි කොහොමද සැප දුක්” යන සුහද බසින් ආමන්ත්‍රණය කරමින්, ඉතා විනෝදකාමී සරල දිවිපෙවෙතක් ගත කළ උසස් සංගීතඥයෙක් බව එවකට ඔහු හඳුනන බොහෝ දෙනා සිහිපත් කරති. දිනක් මෙසේ බජවු සාජ්ජයකට සම්බන්ධ වී නිවසට පැමිණෙන අතරතුර ඇති වූ ආබාධයක් හේතුවෙන් මෙතුමාගේ අභාවය සිදු වුවත්, එවකට එතුමාගේ මරණය පිළිබඳව පැතිරුණු රාවය වූයේ විරුද්ධවාදීන් විසින් මෙතුමාට විෂ වර්ගයක් ලබා දී මරණයට පත් කරන ලද බවය. එතුමාගේ සහෝදරයා වූ ඩබ්ලිව්. රූබන් පෙරේරා මහතාගේ මරණය ද එලෙසම වූ බවක් සඳහන් වේ. කෙසේ හෝ මෙරට සිට අති දක්ෂ හර්මොනියම් වාදකයෙක් මෙනම් කිරුළු නොපළන් ගායකයෙක් වූ ජෝසප් පෙරේරා මාස්ටර් පිළීබඳව මෙලෙස හෝ මතකාවර්ජනයක් කිරීමට ලැබීම භාග්‍යකි. එතුමා විසින් අපගේ ගීත ක්ෂේත්‍රයට දායාද කළ උසස් ශාස්ත්‍රීය ගායනා අතීතයේ ඉඳ හිට හෝ ගුවන්විදුලියෙන් අසන්නට ලැබුණි. වත්මනෙහි නම් එතුමාගේ ගීත නොඇසෙන තරම් ය. මෙම සටහන වල්පොල ආරච්චි ගේ ජෝසප් පෙරේරා නම් වූ මෙරට සිටි අතිවිශිෂ්ට සංගීතඥයාට උපහාරයක් ම වේවා !

 

විශේෂ ස්තූතිය : ගීත තැටි සංරක්ෂක ටි. ඇන් විජේසිංහ මහත්මා, ජයරත්න ප්‍රනාන්දු මහත්මා, ජෝසප් පෙරේරා මහතා පිළිබඳ තොරතුරු සොයාගැනීමට උපකාර කළ, කලාභූෂණ ඇඹුල්දෙණියේ ලයනල් ගුණතිලක මහතා, කලාභූෂණ ෆ්‍රැන්සිස් ඇන්තනි මහතා, ගීතයන්න්හි රාග තාල පිළිබඳව දැනුම්වත් කළ විශාරද නිහාල් ගම්හේවා සහ අසංක පෙරේරා මහත්මාවරු.