වර්ෂ 2023 ක්වූ December 04 වැනිදා Monday
දිලිප් කුමාර්, ගාමිණි ෆොන්සේකා රූ ගැන්වූ-සිනමාව වෙනුවෙන් දිවි පිදූ

‘පුතේ ඔන්න උඹ අද එක පිම්මක් පැන්නා. දැන් ඉතින් ඉදිරියට තියෙන්නෙ දොස්තර විභාගය.’
එවර දෙටු පෙළ පන්තියේ ඉංග්‍රීසි මාධ්‍යයෙන් සියලුම විද්‍යා විෂයයන් විශිෂ්ට ලෙස සමත් වූ තම පුතාට ආශිර්වාදය කරමින් අම්මා කීවේ පුතුගේ හිස සිප ගනිමිනි.
‘හොඳයි අම්මේ’
එහෙත් මේ පුතාගේ සිත ගියේ සිනමාව ගැනය. ඔහු කොළඹ ආනන්ද විද්‍යාලයේ ඉගෙනුම ලබමින් සිටි අතර හින්දි චිත්‍රපටලෝලියකු විය. දෙටු පෙළ පන්තියේ තමා සමඟ ඉගෙන ගත් චිත්‍රපටලෝලී මිතුරන් වූ ජෝර්ජ් ලෙස්ලි රණසිංහ, ඩී. බී. නිහාල්සිංහ, විජේරත්න වරකාගොඩ, එල්මෝ ගුණරත්න, එස්. සුබසිංහ (පසුව පුවත්පත් කතුවර), අසෝක පොන්නම්පෙරුම සමඟ හින්දි චිත්‍රපට බැලූ මේ විද්‍යා ශිෂ්‍යයා සුමිත්ත අමරසිංහය. අනිත් මිතුරන් ඇළුම් කළේ දිලිප් කුමාර්, රාජ් කපූර්, කිෂෝර් කුමාර්, නිම්මි, මධුබාලා, මීනා කුමාරි, දේව් ආනන්ද් ආදීන්ගේ රඟපෑම්වලටත්, තලාද් මෙහෙමුද්, මොහොමඩ් රාෆී ආදීන්ගේ හින්දි ගීතවලටත්ය. සුමිත්ත ඇලුම් කළේ ඔවුන් රූ ගන්වන ආකාරය ගැනය.
සුමිත්තගේ හොඳම මිතුරා වූයේ ඩී. බී. නිහාල්සිංහය. මේ දෙදෙනා පාසලේ ඡායාරූප සංගමයේ ක්‍රියාශීලී ශිෂ්‍යයන්ය. සංගමයේ අඳුරු කාමරයට වී එහි තිබූ රතු පාට දුබල එළියෙන් දළ සේයා පට සුද්ධ කරමින් සුමිත්ත සිටිනු දකින අනික් මිතුරන්ට වූයේ විමතියකි.
‘උඹලාට පුතේ, මෙඩිකල් කොලේජ් එකට පස් පාගන්න හම්බ වෙන්න ලැබෙන්නේ නෑ.ඩාර්ක් රූම් එකටම වෙලාම හිටියොත් උඹලගේ ජීවිතත් ‘ඩාක්’ තමයි. පිස්සෝ නොවී පාඩම් කරපල්ලා’ ඔවුන් නිතර නිහාල්සිංහට හා සුමිත්තට කීහ.
‘අයිසේ යං මෑන්, තමුසෙ ඉස්කෝලේ ඉන්න බ්‍රිලියන් ස්ටුඩන්ට් කෙනෙක්. ෆ්‍රින්සිපල් මිස්ටර් මෙත්තානන්ද තමුසේ ගැන විමසිල්ලෙන් ඉන්නේ. ඩාක් රූම් එකෙන් එළියට එනවා. ලැබ් එකට එනවා. මම පුද්ගලිකව උදවු කරනවා. තමා, මේ පාර මෙඩිකල් කොලේජ් එකට යන්න ඕනෑ. තේරුණාද? විද්‍යා රසායනාගාරය භාර විශිෂ්ට භෞතික විද්‍යා ගුරුවරයකු වූ සිවගුරුනාදන් මහතා කිහිප වරක්ම කියා ඇත.
‘මොනවද සුමිත්ත උඹේ කාමරයේ කැඩිච්ච කැමරායි ලාම්පු කෑලියි, බෝල්ට් ඇණයි, පුරව ගෙන මොනවද කරන්නේ’ අම්මා සුමිත්තගේ කාමරයේ රෑ එළිවෙනකං ලයිට් පත්තු වෙනු දැක කෑගැසුවාය.
කිසිවකු සමඟ කතා නොකළ සුමිත්ත වෛද්‍ය විද්‍යාලයට නොව බොම්බායට පළා යාමට සිහින මැව්වේය. ඔහුගේ ඒකායන පරමාර්ථය වූයේ බොම්බායට ගොස් සිනමා කැමරාව ගැන පුංචිම ඇණ මුරිච්චියේ සිට ඉගෙන ගැනීමටය. එය දුෂ්කර කාර්යයකි. සුමිත්ත කෙසේ හෝ බොම්බායට පලා ගියේය. කට්ට කමින් මේ ආධුනිකයාට අත හිත දුන් කැමරා ශිල්පියෙක් ද විය. ඔහු සුදින් මන්ජුධාර්ය. ආනන්දයේ උගන්නා කාලේ මිතුරන් සමඟ බැලූ හින්දි චිත්‍රපටවල රඟපෑ ජනප්‍රිය නළු නිළියන් වූ දිලිප්, රාජ් කපූර්, නිම්මි, මධුබාලා ඇතුළු ජනප්‍රිය නළු නිළියන් සුමිත්තගේ කැමරාවට මුහුණ දී ඇත.
සුමිත්ත අමරසිංහ බොම්බායේ ඇකඩමි ඔෆ් සිනමා ආට්ස් ඇන්ඩ් සයන්සස් ආයතනයට බැඳුණේ 1953 වසරේදීය. 1953 සිට 1957 දක්වා එම ආයතනයේ පුහුණුව ලැබූ ඔහු හින්දි චිත්‍රපට හතළිහක පමණ සහාය කැමරා ශිල්පියා ලෙස කටයුතු කළ අතර දිලිප් කුමාර්, රාජ් කපූර්, කිෂෝර් කුමාර්, දේව් ආනන්ද, නිම්මි, මධුබාලා, මීනා කුමාරි ආදී ජනප්‍රිය නළු නිළියන් සමඟ වැඩ කිරීම ඔහුගේ සිනමා ජීවිතයේ අමතක නොවන බව කියා ඇත. සුමිත්ත මෙසේ පවසා ඇත්තේ ‘සරසවිය’ පුවත්පතේ මාධ්‍යවේදී කුමාරදාස වාගීස්ට (1966. 9. 25) සමඟ පිළිසඳරේදීය. මේ එහි සඳහන් වූ සුමිත්තගේ අත්දැකීමකි මේ.
‘ඔන්න බොම්බායේ සුප්‍රසිද්ධ චිත්‍රාගාරයක හින්දි චිත්‍රපටයක දර්ශනයක් රූගත කිරීම ආරම්භ වුණා. එදා කැමරාව මෙහෙය වූයේ මම. කැමරාවට මුහුණ දුන්නේ නිම්මි කියන ජනප්‍රිය නිළිය. නිම්මි ජනේලයකින් පැන යාමේ සිද්ධියක් රූගත කිරීමට තිබුණේ. නිම්මිට ජනෙල් පොලු කඩා ගත හැකිවීමට ඒවා බාගෙට කපා තිබුණා. පෙට්ටියක් මත ගොඩවුණු ඈ ජනේලය කඩා පැන යාමට ඔන්න මෙන්න කියා තිබියදී ‘දඩාස්’ ගා බිම ඇද වැටුණා. ඈ බිම වැටුණේ ඇගේ පය ලිස්සා ගිය නිසයි. වැටීමෙන් තුවාල ලැබූ ඇය සතියක් පමණ රෝහලක හිටියා’.
‘මෝගල් අසාම්’ හින්දි චිත්‍රපටයේ සුමිත්ත සහාය කැමරා ශිල්පියා ලෙස කටයුතු කර ඇත. සුමිත්ත දිලිප් කුමාර් නම් හින්දි නළුවා දැකගන්නට ලැබී ඇත්තේ ඒ චිත්‍රපටයේ රඟපාන විටය. තමා ඇසුරු කළ කාලය තුළ දිලිප් උණුවන සුළු හදවතක් ඇති නළුවෙකු බව තේරුම් ගත් බව පවසා තිබුණි. දේව් ආනන්ද් හා ඔහුගේ බිරිඳ කල්පනා කාතික් එදිනෙදා ජීවිතයේ විහිළුකාරයෝ බවත් කොතරම් විකට ගී ගයමින් විකට චරිත රඟපෑවත් රඟපෑම්වලින් බැහැර වූ විට ‘සීරියස්’ චරිතයක් බවත් විහිළුකාරයකු ලෙස හැසිරෙන්නේ නැති බවත් කියා ඇත.
සුමිත්ත අමරසිංහගේ ගුරුවරයා වූයේ මන්ජුධාර් නම් බෙංගාල ජාතික කැමරා ශිල්පියාය.
‘උඹ දැන් යා යුත්තේ කල්කටාවට. ඒ ගිහින් වර්ණ චිත්‍රපට කැමරා ගත කරන හැටි ඉගෙන ගනින්. උඹට ඒ පැත්තෙන් හොඳ අනාගතයක් පේනවා. උඹ සැබෑ දක්ෂයෙක්. සුදු කළු චිත්‍රපටවලට ඉන්දියාවේ ඉන්න කැමරා ශිල්පීන්ට වඩා උඹ ඉන්නේ ඉහළින්. කල්කටාවට ගිහින් වර්ණ චිත්‍රපට ගැන ඉගෙන ගන්න. එහෙ ඉන්න හොඳම කැමරා ශිල්පියාට උඹව රෙකමදාරු කරලා හොඳ සහතිකයක් මම දෙන්නම්. උඹේ රට ‘සිලෝන්’වල ඉන්න ඉහළම චිත්‍රපට කැමරා ශිල්පියා උඹ වෙනවට කිසිම සැකයක් නෑ. උඹට මම සුබ පතනවා.’
කල්කටාවේ වර්ණ කැමරාකරණය පුහුණු කොට ලංකාවට පැමිණී සුමිත්ත 1958 දී රජයේ චිත්‍රපට කැමරා ශිල්පියෙකු ලෙස සේවයට බැඳුණේය. එම ආයතනයේ දක්ෂ කැමරා ශිල්පියකු වූ විමල් පෙරේරා සුමිත්තගේ ගජ මිතුරා විය. විමල් පදිංචිව සිටින පිටකෝට්ටේ ආනන්ද බාලිකා විද්‍යාල පාරේ තම මිතුරාගේ නිවසට ආව ගිය සුමිත්ගේ සිත ගියේ විමල්ගේ සොහොයුරිය වූ සුමිත්‍රා පෙරේරා වෙතය. සුමිත්ත තුළ සුමිත්‍රා ගැන පිළිබඳ සිතක් ඇති විය. වැඩි කලක් යන්නට පෙර ඔවුන් විවාහ වූහ. ඔවුන්ගේ එකම දියණිය දිලිනි අමරසිංහ ද දක්ෂ කැමරා ශිල්පිනියකි.
රජයේ චිත්‍රපට අංශයෙන් අස් වූ සුමිත්ත 1958 ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ ‘සන්දේශය’ චිත්‍රපටයෙන් පළමුවැනි සහාය කැමරා ශිල්පියා වශයෙන් එහි ප්‍රධාන කැමරා ශිල්පී විලී බ්ලේක් යටතේ වැඩ කොට ඇත. එපමණක් නොව නිශ්චල ඡායාරූප ශිල්පියකුව කටයුතු කළ රෙග් වැන්ක්‍යුලන්බර්ග්ට (ලයිතන් ලෙස රඟපෑ) සහාය නිශ්චල ඡායාරූපකරණයට සහාය වූයේ සුමිත්තය. ‘සන්දේශය’ චිත්‍රපටයේ පරංගි බලකොටුව පුපුරන දර්ශන රූ ගැන් වූ ප්‍රධාන කැමරා ශිල්පියා ද ඔහුය.
මයික් විල්සන් කැමරාව මෙහෙයවා අධ්‍යක්ෂණය කළ ‘රන්මුතු දූව‘ චිත්‍රපටයේ ප්‍රධාන සහාය කැමරා ශිල්පියා වූ සුමිත්ත එළිමහන් දර්ශන රූ ගත කළේය. චිත්‍රපටයේ නන්දා මාලිනී හා නාරද දිසාසේකර ගයන ප්‍රේම ගීතය වූ ‘ගලන ගඟකි ජීවිතේ’ සම්පූර්ණයෙන් රාජගිරියේ පාළු වෙළක සුමිත්ත කැමරා ගත කළ අතර සහාය අධ්‍යක්ෂ තිස්ස ලියනසූරිය මේ ගීතය අධ්‍යක්ෂණය කර ඇත.
සුමිත්ත අමරසිංහ කැමරා ගත කළ මුල්ම හා මුල්ම වර්ණ චිත්‍රපටය ‘වෙසතුරු සිරිතය’ය. ඒ 1966 වසෙර්ය. සුමිත්ත හාපුරා කියා කැමරාව මෙහෙය වූ චිත්‍රපටය ගාමිණී ෆොන්සේකාගේ කුළුඳුල් අධ්‍යක්ෂණය වූ ‘පරසතු මල්’ ය.
‘පරසතු මල් චිත්‍රපටයේ කටයුතු කිරීම හරිම සුන්දර අත්දැකීමක්. විරාමයකදී කතා රචක පී. කේ. ඩී. සෙනෙවිරත්න ලියන කවි ගාමිණී රස කර කියනවා. ටෝනි රණසිංහ හැමෝටම ලණු දෙනවා. මේ අතර දර්ශනයකට (ටෝනි තුවක්කුවක් කරේ තියාගෙන වත්ත මැදින් ගොස් වෙහෙස වී කේන්තිය නිවී ගෙදර පුටුවකට වී ගිමන් නිවන අවස්ථාව) බිම වැටී කණපිට පෙරළි නොපිටට එන්න වෑයම් කරන දර්ශනයකට පොල් කුරුමිණියෙක් අවශ්‍යව තිබුණා. අපි කොයි දේ වුණත් කිව්වේ නිෂ්පාදක චිත්‍රා බාලසූරියට.
‘චිත්‍රා පොල් කුරුමිණියෙක් ඕනෑ’ මම කිව්වා.
‘හරි මචං, කොයි වෙලාවලටද ඕනේ? කොයි දවසට ද ඕනෑ’
‘අද. තව පැයකින්’
‘රයිට් මචං . . . වෙලාවට ගෙනත් ඇති’ චිත්‍රා අතුරුදන් වුණා.
කිව්ව වගේ චිත්‍රා පොල් කුරුමිණියෝ දෙතුන් දෙනෙක් අරන් ආවා. මේ වගේ වැඩට විතරක් නෙවෙයි, කොයි වැඩේටත් චිත්‍රා දස්සයා. විස්මකර්ම වැඩකාරයා.’
‘ගාමිණී එක්ක වැඩ කරන්න පාළු නෑ. අපි සන්දේශය කරන කාලෙත් හොඳ යාළුවෝ’ සුමිත්ත කියා ඇත.
‘පරසතු මල් චිත්‍රපටයේ අනුලා කරුණාතිලක ‘පරසතු මල්වල සුවඳ අතීතේ’ ගීතය ගයන විට පුංචි අත දරුවෙක් හිටියා ඔබට මතක ඇති. ඒ සඳහා ගත්තේ ගම්පහ රෝහලේ ප්‍රසූතිකාගාරයෙන් දිනපතා ප්‍රසූත කළ කිරි දරුවෝ. අම්මලා රෝහලේ ඉඳලා කිරී දීලා දර්ශනය රූපගත කිරීම සඳහා පැයකට ගෙන ඒම චිත්‍රා බාලසූරියගේ තවත් වික්‍රමයක්. අපි මේ දර්ශනය ගත්තේ ගම්පහ ‘අග්‍රා’ නම් විශාල නිවසේ. මේ විදිහට රූ ගත හැම දිනකම දරුවෙක් දර්ශනයට ඕනෑ වුණා. චිත්‍රා අකුරටම ඒ වැඩේ කළා.’ සුමිත්ත වරක් මෙම ලියුම්කරුට කියා ඇත.
සුමිත්ත බොහෝ මහන්සි වී වැඩ කළ මුල්ම චිත්‍රපටය ‘පරසතු මල්’ බව පවසා ඇත. ගම්පහ අග්‍රා නිවස විශාල ප්‍රතාපවත් එකක් බවත් එය ආලෝකකරණය එසේ මෙසේ දෙයක් නොවූ බවත් ඔහු කියා ඇත. බොනී මහත්තයා (ගාමිණී අධික ලෙස සුරා මතින් වෙරි වී තරප්පු පේලියේ උඩ සිටින විට ඔහුගේ දැවැන්ත හෙවනැල්ල බිත්තියට වැටී තිබුණි. ඒ සමඟම නිවස කැරකෙන ස්වභාවය රුගත කිරීම තමා කළ අසීරු දර්ශනයක් බව කීවේය.
ගාමිණී දර්ශනවල විස්කි කියා බිව්වේ තේ කහට, ලයිට් ප්ලේන්ටි. නමුත් වයින් කියා බිව්වේ නම් ඇත්තම රෙඩ් වයින්. ගාමිණී (බොනී) පුණ්‍යාට (කමලා) එව් කවිය ටෝනි (සිරිසේන) වතුරට වීසි කළ තැන ඔබට මතක ඇති. කඩදාසි ගුලිය වතුරට වීසි කළාම එය පුණ්‍යාගෙන් ඈත් වෙන්න පටන් ගත්තා. සුළඟ තිබුණේ විරුද්ධ දිසාවට. ඒ පාර අපි කඩදාසි ගුලිය නුලකින් බැඳලා හෙමින් හෙමින් පුණ්‍යා ඉන්න දිහාවට ඇද්දා. ඒත් කිසිම අස්වාභාවිකත්වයක් එතන පෙනුණේ නැහැ. ඒ නූල ඇද්දේ පී. කේ. ඩී. සෙනෙවිරත්න.’
සුමිත්ත කැමරාව මෙහෙය වූ තෙවැනි චිත්‍රපටය වූයේ ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ ‘රන්සළු’ය. එහි වරා මලක් පාවෙන දර්ශනය බුදු දහමේ නිස්සාරත්වය පෙන්වන සංකේතයක් බව විචාරකයෝ පෙන්වා දුන්හ. 1967 වසරේ සරසවිය චිත්‍රපට සම්මාන උලෙළේදී වසරේ හොඳම කැමරා අධ්‍යක්ෂණය ලෙස සුමිත්ත මුල්ම සම්මානය හිමි කර ගත්තේය. ඊළඟට ඔහු කැමරාව මෙහෙය වූ චිත්‍රපට අතර කුමාර් වික්‍රමසූරිය හා එච්. ඩී. විජේදාස අධ්‍යක්ෂණය කළ ‘අබුද්දස්ස කාලේ’ (1968), රංජිත් සේනවීරගේ ‘බඩුත් එක්ක හොරු’ (1969), සුගතපාල සෙනරත් යාපාගේ ‘හන්තානේ් කතාව‘ (1969), මහගම සේකර ගේ ‘තුං මං හන්දිය’ (1970), මනික් සන්ද්‍රසාගරගේ ‘කළු දිය දහර’ (1975), විමල් වෛද්‍යසේකරගේ ‘තරංගා’ (1975), ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ ‘දෑස නිසා’ (1975), අමරනාත් ජයතිලකගේ ‘තිලක හා තිලකා’ (1975), විජය ශ්‍රීගේ ‘දුහුළු මලක්’ (1976), අමරනාත් ජයතිලකගේ ‘නිවෙන ගින්න’ (1977), සුගතපාල සෙනරත් යාපාගේ ‘පෙම්බර මධූ’ (1977), ටී. අර්ජුනගේ ‘සාරා’ (1978), ‘වසන්තේ දවසක්’ (1979), විජය ධර්ම ශ්‍රීගේ ‘දඬු මොණර’ (1980), අමරනාත් ජයතිලකගේ ‘එක් දවසක් රෑ’ (1981), සුගතපාල සෙනරත් යාපාගේ ‘ඉන්දුට මල් මිටක්’ (1981), විජය ධර්ම ශ්‍රීගේ ‘ආරාධනා’ (1981), විජය ධර්ම ශ්‍රීගේ ‘සූරියකාන්ත (1981), එච්. ඩී. ප්‍රේමරත්නගේ ‘දෙවෙනි ගමන’ (1984), මාලිනී ෆොන්සේකාගේ ‘සසර චේතනා’ (1984), ටී. අර්ජුනගේ වසන්තතිල් ඔරු වානවිල් (1984), සුනිල් ආරියරත්නගේ ‘අහස් මාලිගා’ (1994), සුමිත්ත කැමරාව මෙහෙය වූ වෘතාන්ත චිත්‍රපටය.
ඈෂ්ලි රත්න විභූෂණ සංස්කරණය කළ ‘සිනෙ සිත්’ (1985 අංක 4) සඟරාවෙන් මේ සවිස්තර ලේඛනය උපුටා ගන්නා ලදී. ඒ අනුව සුමිත්ත කැමරා ගත කළ කෙටි හා වාර්තා චිත්‍රපට මෙසේය.
Liptea (Japanese), A Man A Faith A Religion (English), Socials Status of Women in Ceylon (german), Tituals in Sri Lanka (English) Kandy Perahera (ලෙස්ටර් ජේම්ස් පීරිස් අධ්‍යක්ෂණය කළ චිත්‍රපටය) ‘ගිලිහුණු මල්’ (ටයිටස් තොටවත්ත අධ්‍යක්ෂණය කළ චිත්‍රපටය) ‘මිනිසා සහ කපුටා’ (සුගතපාල සෙනරත් යාපාගේ අධ්‍යක්ෂණය), අසෝක සේනානානායකගේ ‘මධ්‍යසාර’ (කොළඹ නාලන්දා විද්‍යාලයේ චිත්‍රපට කවය වෙනුවෙනි) Peter of the Elephants (ඉංග්‍රීසි - ජී. ඩී. එල්. පෙරේරා විසින් අධ්‍යක්ෂණය කළ මෙම චිත්‍රපටය බ්‍රිතාන්‍ය රූපවාහිනිය ඔස්සේ විසුරුවා ඇත).
සිනමා මාධ්‍යය හදාරන ශිෂ්‍යයන්ට හා කලා රසිකයන්ට සුමිත්ත අමරසිංහ සමඟ ‘සිනෙසිත්’ සඟරාවේ චන්දන සිල්වා කළ සංවාදය හා සාකච්ඡාව අතිශයින්ම ප්‍රයෝජනවත් වෙනු ඇත. එහි මැය වූයේ ‘සොබා දහම ආලෝකයෙන් සිතුවම් කිරීම‘ය.
සුමිත්ත අමරසිංහ මුලින්ම සම්මානයෙන් පිදුම් ලබන්නේ 1967 එක්සත් ලංකා රසික සංගමය පිරිනැමූ වසරේ හොඳම කැමරා අධ්‍යක්ෂ ලෙසය. එය ‘පරසතු මල්’ චිත්‍රපටය වෙනුවෙන්ය. 1968 දී සරසවිය සම්මාන උලෙළේදී ‘රන්සළු’ චිත්‍රපටය සඳහා වසරේ හොඳම කැමරා අධ්‍යක්ෂ ලෙසද 1982 එම උලෙළේදීම ‘ආරාධනා’ චිත්‍රපටය සඳහා ද, 1982 වසරේම ‘සූරියකාන්ත’ ‘ආරාධනා’ හා ‘ඉන්දුට මල් මිටක්’ චිත්‍රපටවල කැමරාව මෙහෙයවීම වෙනුවෙන් ඕ සී අයි සී සම්මානය හිමි විය. මේ අතර 1980 වසරේ ‘වසන්තෙ දවසක්’ චිත්‍රපටය වෙනුවෙන් සුමිත්ත ජනාධිපති සම්මානය ද දිනා ගත්තේය. 1985 වසරේ ඔහුට ‘සසර චේතනා’ චිත්‍රපටයට සරසවිය සම්මානය ද 1995 ‘අහස් මාළිගා’ චිත්‍රපටය සඳහා ද සරසවිය සම්මාන දිනා ගත්තේය.
සුමිත්ත පිළිවෙලක් ඇතිව වැඩ කරන කාර්මික ශිල්පියෙකි. තමා කැමරා ගත කළ හැම චිත්‍රපටයකම නිශ්චල ඡායාරූප අනුපිළිවෙලට එකතු කර ඇත. ආධුනික කැමරා ශිල්පීන්ට ඔහු කිසිවක් නොසඟවා, ඊර්ෂ්‍යාවෙන් තොරව, කුහකකමින් තොරව ශිල්ප දුන්නේය. කැමරාවක හැම ඇණයක් මුරිච්චියේ සිට සියලු දේ කියා දුන්නේ තුන් වේලම සංග්‍රහ කිරීමෙනි. ඔහුගේ ගෝලයන් අතර සුමින්ද වීරසිංහට තමාට වඩා සම්මාන ගොන්නක් ලැබෙන විට ඔහු තනිව සතුටු වුණේය. අනික් ගෝලයන් වූ චන්ද්‍රලාල් මනමේන්ද්‍ර හා ජයනාත් ගුණවර්ධන හොඳම කැමරා ශිල්පියා ලෙස සම්මාන ලැබෙන විට තිබූ සොම්නස ගැන ලියන මේ මොහොතේ මගේ මතකයට ආවේ සම්මානනීය ගීත රචක පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමියන් තම ගීත සංග්‍රහය ගංගාරාමයේ පොඩි හාමුදුරුවන්ට පිළිගන්වා ලියූ මේ කවි දෙපදය.
ඉණි මං බඳින හැටි බැණ බැණ කියා දිදී
ඉණි මං නඟින විට සිටියා සිනා සිසී
තම ගෝලයන්ට තම කැමරා කාමරයේ දොර ඇර දුන්නේ තම පුතෙකුට මෙන් පුත්‍ර සෙනෙහසිනි. මා සුමිත්ත අමරසිංහයන් හඳුනා ගත්තේ සරසවිය පත්‍රයේ ලිපි ලිවීම සඳහා ගිය 70 වසරේදීය. මා චිත්‍රපට නාමාවලිය ඇන්දේ කළු කරන බොක්ස් බෝඩ්වල සුදු අකුරෙනි. මුල්වරට අමරනාත් ජයතිලකගේ ‘එක් දවසක් රෑ’ චිත්‍රපටයේ නාමාවලිය ඇඳීමට උපදෙස් ගැනීමට අමරසිංහයන්ගේ නිවසට ගියෙමි.
‘ඔයා බෝඩ් කළු කරලා වේලලා දුක් විඳින්නේ ඇයි? මගේ ළඟ වීදුරු සෙට් තියෙනවා. ඒවා ඇඟිලි තුවාල කර ගන්නේ නැතිව අරගන්න. ඔයා කලින් ඇඳපු අකුරු උඩින් වීදුරුව තියලා අකුරු අඳින්න. වැරදුණොත් මකල ආයෙත් අඳින්න.’
ඔහු මට වීදුරු පෙට්ටි හයක් දුන්නේ උපදෙස් මාලාවක් දෙමිනි. මම මුල්වරට නාමාවලි රූගත කරන කාර්මික දැනුමක් පැය 2 ක් තුළ අසා සිටියේය. ඔහු දිසාපාමොක් ඇදුරෙකු වගේ. ඔහු ඕනෑම දෙයක් හරියට නූලට කළේය. ‘එක් දවසක් රෑ’ චිත්‍රපටයේ සම්පූර්ණයෙන් රූගත කළේ රාත්‍රී කාලයේදීය. නොකඩවා මාසයක් පමණ නිදි මරාගෙන රූගත කළේය. එක් රාත්‍රියක සුමිත්ත අමරසිංහයන් අධික මහන්සිය නිසා දර්ශන තලයේ විසඥව වැටුණේය. ඔහු රෝහල් ගත කළ පසු සතියක් විවේක ගන්නා ලෙස තදින් අවවාද කර තිබුණි. අසාධාරණය වෙනුවෙන් හැම විටම සටන් කළ ඔහුට මහන්සිය නොදැනුණේය. ඔහු දේශීය සිනමා කර්මාන්තය රැක ගැනීමට අභීතව සටන් වැදුණේය. ඔහු මේ සඳහා සන්දේශයක් රජයට ඉදිරිපත් කළේය.
වරක් ජයවර්ධන රජයේ නියෝජිතයන් සමඟ දේශීය සිනමාවේ අනාගතය ගැන සාකච්ඡාවක් තිබුණි. සිනමාවට සම්බන්ධ අය තම අදහස් දැක් වූහ. එදින කේ. ඒ. ඩබ්ලිව්. පෙරේරා, යසපාලිත නානායක්කාර, රෝයි ද සිල්වා සිටි බව මතකය. මැනවින් ක්‍රමානුකූල යෝජනා රැසක ෆයිල් එකක් සුමිත්ත භාර දුන්නේ එවකට එක්සත් ජාතික පක්ෂයේ සභාපති හා මහවැලි අධිකාරියේ සභාපති පණ්ඩිතරත්න මහතාටය. ඔහු ඒ ගැන දැක් වූ අයහපත් ප්‍රතිචාර නිසා එම ෆයිල් එක අතට ගත් සුමිත්ත ‘සිංහල සිනමාව ගැන මගේ යෝජනා සළකා නොලැබූ සභාපතිවරයාට කීවේ ‘මම තමුන්නාන්සේලාගේ ආණ්ඩුවට සාප කරනවා, අපේ සිනමාව වළපල්ලට යනවාට’ වේගයෙන් කී අයුරු එදා ඒ සාකච්ඡාවට නම් මතක ඇති.
1933 අගෝස්තු 05 වෙනිදා හලාවත, මාදම්පේ, මහවැව උපත ලැබූ සුමිත්ත සපරමාදු අමරසිංහගේ පියා වූයේ දක්ෂ සිංහල වෛද්‍යවරයකු වූ ඒ. ඩී. එම්. සපරමාදු මහතාය. මව වූයේ ආරියවතී සකළසූරිය මහත්මියයි. ආරියවතී මහත්මියගේ සහෝදරයකු වූයේ චිර ප්‍රසිද්ධ චිත්‍ර ශිල්පී එස්. ජී. සකළසූරිය සූරීන්ය. ඒ මහතාගේ පුතාගේ දුව සමන්මලී සකළසූරිය විවාහ වී සිටින්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිනි ගුණවර්ධන (විදේශ ඇමති දිනේෂ් ගුණවර්ධන මහතාගේ පුතා) මහතා සමඟය.
ජීවිතයේ අන්තිම කාලයේ රාජ්‍ය චිත්‍රපට සංස්ථාවේ සභාපතිවරයාව සිටි කාලේ දිවා රෑ නිදි මරමින් කාලය කැප කළේ දේශීය සිනමාව දියුණු කිරීම සඳහාය. අධික ලෙස වෙහෙස වූ ඔහු සංස්ථා සභාපතිවරයා නොවූවා නම් තවමත් ජීවත් වන බව බොහෝ දෙනෙක් කීහ. 1995 දෙසැම්බර් 13 වෙනිදා සිංහල සිනමාව වෙනුවෙන් මේ උතුම් මිනිසා දිවි පිදුවා යයි කීවොත් ඔබ එය අනුමත කරනවාද?