වර්ෂ 2023 ක්වූ December 04 වැනිදා Monday
මුල්ම චිත්‍රපටයෙන්ම සරසවිය සම්මාන දිනූ සංගීතඥයා

ලක්නව් හි භාත්ඛණ්ඩේ සංගීත විද්‍යා පීඨයෙන් 1958 වාද්‍ය විශාරද විභාගයෙන් පන්තියේ සිටි සියලු සිසුන් අබිබවා විශිෂ්ට සාමර්ථයක් ලබා මුල්වරට ශ්‍රී ලංකාවේ ශිෂ්‍යයෙක් මුල්තැන ගත්තේය. ඔහු පසු කලෙක සංගීත ක්ෂේත්‍රයේ තබ්ලා වාදකයකු මෙන්ම චිත්‍රපට හා නාට්‍ය ක්ෂේත්‍රයේ ද කැපී පෙනුණේය. වසන්ත ඔබේසේකර අධ්‍යක්ෂණ්‍ය කළ “පළඟැටියෝ” චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂවරයා වූ හෙතෙම සිය ප්‍රථම සංගීත අධ්‍යක්ෂණයෙන්ම 1979 වසර සරසවිය සම්මාන උලෙළේ හොඳම සංගීත අධ්‍යක්ෂවරයා ලෙස සරසවිය සම්මානය දිනා ගත්තේය.
ඔහු විශාරද ඩී. ආර්. පීරිස්ය.
ගම්පොළ කහටපිටියේ සයිමන් පීරිස් හා මාග්‍රට් ජයසිංහ යුවළගේ පුත්‍රයා ලෙස 1933 ජනවාරි 25 වෙනිදා උපත ලැබූ ඩී. ආර්. පීරිස් හෙවත් දොඹගහපතිරණගේ රිචඩ් පීරිස් මූලික අධ්‍යාපනය ලැබුවේ ගම්පොළ සහිරා විද්‍යාලයෙනි. ඔහු ද්විතීය අධ්‍යාපනය ලැබුවේ ගම්පොල ශාන්ත ජෝසප් විද්‍යාලයෙනි. පාසල් වියේ හෙතෙම සංගීතය ඉගෙන ගත්තේ ඩබ්ලිව්. ජේ. ප්‍රනාන්දු මහතාගෙනි. ඒ. සී. සිරිමාන්න මහතා යටතේ තබ්ලා වාදනයත් ඉගෙනීමට මේ කාලයේ ඔහුට අවස්ථාව ලැබිණ.
“1953 වසරේ මගේ සංගීත ගුරුවරයා වූ ප්‍රනාන්දු මහතාගේ උපදෙස් හා අනුශාසනා පරිදි භාත්ඛණ්ඩ විද්‍යා පීඨයට ඇතුල්වීමට මට අවස්ථාව උදා වුණ. එහිදී ලක්නව් තබ්ලා සම්ප්‍රදායේ (ගරානා) ආධිපත්‍ය දැරූ ඔස්තාද් වජිඩ් හසාන් ඛාන්, උස්තාද් අෆාක් හුසේන් ඛාන් හා පණ්ඩිත් ශාඛාරාම් යටතේ ඉගෙන තබ්ලා වාදනයෙන් විශිෂ්ට ශ්‍රේණියෙන් සාමර්ථ්‍යයක් ලබා ගන්නට හැකි වුණා. ඒ සාමාර්ථය ලැබූ මුල්ම ලාංකික ශිෂ්‍යයා වුණා.”
ඩී. ආර්. පීරිස් මහතා අපට මේ විස්තර පැවසුවේ 1979 කොළඹ රාජකීය විද්‍යාලයීය නව රඟහලේ පැවති සරසවිය සම්මාන උලෙළේ සංගීත සන්දර්ශනයෙන් එදා ප්‍රේක්ෂකයන්ට උසස් රස වින්දනයක් ලබා දෙන අතරම සම්මාන උලෙළේදී හොඳම සංගීත අධ්‍යක්ෂ ලෙස සරසවිය සම්මානයක් තම මුල්ම චිත්‍රපට සංගීත අධ්‍යක්ෂණයට ලබා ගනිමිනි.
“මම භාත්ඛණ්ඩ් සංගීත විද්‍යා පීඨයේ ඉගෙන ගනිද්දී මගේ සමකාලීන සිසුන් වූයේ අමරදේව, පී. වී. නන්දසිරි, කල්‍යාණි අබේසිංහ (අභයසුන්දර) කුලරත්න තෙන්නකෝන්, එච්. ඩී. එස්. ජයසේකර ආදීන්. ආචාර්ය රතන් ජංකර් විදුහල්පති හා ජී. එන්. නාටු නියෝජ්‍ය විදුහල්පති සමඟ ඉන්දීය සිසුන් වූ ෂේක්රාම් අක්කාල්, කුද්දුස් මරික්කාර්, ඉශ්වරදන් නන්ඩුලාල් සමඟ ඓතිහාසික ඡායාරූපක් මා සතුව තිබෙනවා.” පීරිස් සංගීතඥයා වරෙක අපට මතක් කළේය. එම ඡායාරූපය මෙහි පළ වේ.
1959 දී බැසිල් මිහිරිපැන්නගේ “රංකැටි පුතා” මුද්‍රා නාට්‍යයේ තාල වාදනයෙන් සහාය වූ ඔහු ගුවන් විදුලියේ වාදක මණ්ඩලයේ සිටියදී සරත් විමලවීර නිෂ්පාදනය කළ “පංච මධුර”, වැඩසටහනේ සංගීත අධ්‍යක්ෂවරයා ද විය. ‘පංච මධුර’, ‘ළමා මණ්ඩපයේ සංගීත සන්ධ්‍යාවේ ළමා ගායක ගායිකාවන් රැසකගේ කුසලතා රටට හඳුන්වා දුන්නේය. ඒවා අතර “හූණු සාස්තරකාරයෝ” “හිනාවෙන්න පොල්කිච්චෝ” (ගායනය - දමයන්ති ජයසූරිය - ගීත රචනය - මහින්ද අල්ගම) “සමනළ තටුවක පාට හොරා ගත්” (ගායනය - රෝහිණී ජයසිංහ / ගීත රචනය - මහින්ද අල්ගම) “සීනි කෝපි තේ කිරි තේ” (ගායනය - පුෂ්පමාලා සුබසිංහ / පද රචනය - සුනිල් ආරියරත්න), දමයන්ති ජයසූරිය හා ලංකා රාජනී ගුණසේකර ගයන “සපුමල් ඉහිරුණු සපුමල් ලන්දේ”, දමයන්ති ජයසූරිය හා නිරංජලා සරෝජිනී ගයන “දේදුන්නට පාට හතයි වැහි බිඳුවක උපත එයයි” රෝහණ සිරිවර්ධන ගයන “වැහි වැහැලා ගඟ උතුරා”, ගීතා කාන්ති ජයකොඩි හා තමරා ජයන්ති ගයන “දොං දොමිකිට” කැපී පෙනෙයි.
සංගීත විද්‍යාලයේ ඩී. ආර්. පීරිස් ගුරුවරයා යටතේ තබ්ලා වාදනය ඉගෙන ගත් සිසුන් අතර අද සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ කුලපති මහාචාර්ය සනත් නන්දසිරි මෙසේ මතකය අවදි කළේය.
“භාරතයේ ඉගෙනීම අවසන් කළ මෙතුමා බොරැල්ලේ තරුණ බෞද්ධ සමිති ශාලාවේ තබ්ලා ඉගැන්වීමේ පන්තියේ මුල් සිසුන් අතර මාත් එක් කෙනෙක්. ගුවන් විදුලියේ නිත්‍ය වාදන ශිල්පියකු වශයෙන් ද, ශාස්ත්‍රීය තබ්ලා වාදන ශිල්පියකු වශයෙන් ගුවන් විදුලියේ ශ්‍රේණිගත වීමෙන් ද තම කලා ජීවිතය ආරම්භ කළ මෙතුමා එතෙක් මෙතෙක් කළ විශිෂ්ටතම සේවය වශයෙන් මා දකිනුයේ මෙරට තබ්ලා වාදනය උගැන්වීමේ නිවැරදි ශිල්පය ව්‍යාප්ත කිරීමේ කාර්ය භාරය ඉටු කිරීමට තම සමකාලීන භාරතීය තබ්ලා වාදනය පිළිබඳ මිතුරා වූ සංගීත් නිපුන් පී. වී. නන්දසිරි සංගීතවේදියාණන් සමඟ අත්වැල් බැඳ ගෙන ආරම්භ කිරීමයි. පැරණි ගීත ශෛලිය ආරක්ෂා කරමින් ‘රාමායණය’ නාට්‍යය වෙනුවෙන් කළ නව ගීත ද විිශේෂයෙන් සඳහන් කළ යුතුය.’
ඔහුගේ රජයේ සංගීත විද්‍යාලයේ කීර්තිමත් ශිෂ්‍යයන් අතර සනත් නන්දසිරි, වික්ටර් රත්නායක, විජයරත්න රණතුංග, ඊ. ඩී. ආරියසිංහ කැපී පෙනෙති. ඔහු 1980 දී රටවල් 17 ක් සහභාගි වූ ජපානයේ පැවති සමුද්‍රද්වීප ගීතා තෝරා ගැනීමේ සම්ම්න්ත්‍රණයට ශ්‍රී ලංකාව නියෝජනය කිරීමේ අවස්ථාව ලැබුණු ඩී. ආර්. පීරිස් සංගීතවේදියා යුනෙස්කෝ සංවිධානය විසින් මෙහෙය වූ සමුළු ගීත හතරක් ඉදිරිපත් කළේය.
චිත්‍රපට සංගීත අධ්‍යක්ෂවරයකු ලෙස ඩී. ආර්. පීරිස් සිනමාවට හඳුන්වා දෙන ලද්දේ අධ්‍යක්ෂ වසන්ත ඔබේසේකර විසින් ‘පළඟැටියෝ’ (1979) වසෙර්ය. එහි එන එකම ගීතයේ ගේය පද රචනය හෙන්රි ජයසේනගෙනි. සුරංජි ෆොන්සේකා හා සුජාතා අත්තනායක ගයා තිබුණි. ඩී. ආර්. පීරිස් සංගීත අධ්‍යක්ෂණය කළ චිත්‍රපට අතර එම්. ඒ. සංඝදාස අධ්‍යක්ෂණය කළ ‘කාංචනා’ (1980) කඳපොල කුමාරතුංග ගේ ‘බදුලු කෝච්චිය’ හා ‘හංස ගීතය’ ද වෙයි. ඊට අමතරව ‘ළමයෙක්’ ‘අන්දරේ’ (කාටුන් චිත්‍රපටය) කෙටි චිත්‍රපටවල ද සංගීත නිර්මාණය ඔහුගේය.
ඔහු සංගීතය අධ්‍යක්ෂණය කරමින් නිර්මාණාත්මක හා ජනප්‍රිය ගීත තුනක් ‘දියමන්ති’ චිත්‍රපටයට නිර්මාණය කර තිබුණි. මේ චිත්‍රපටයේ ගීත තුනම රචනා කර තිබුණේ සුනිල් ආරියරත්න විසිනි. නන්දා මාලිනී, වික්ටර් රත්නායක හා සනත් නන්දසිරි මේ ගීත ගයා තිබුණි. මේ නන්දා මාලිනිය ගැයූ ගීතයයි.
යොවුන් වසන්තේ
දුහුල් වලාකුළේ
රෑන් මුදාගෙන පාවී යනු මැන ඉගිල්ලිලා
දිලිසෙන කඳුළේ කිරණින් නෑ වී
සිඟිති ආදර දූපතක තනි වී
ගංගාවක් සේ ගලා බසිනු මැන
නිරන්තරේ සිනාසිසී
හසරැළි ගවසා තුරු මුදුනේ
කල්පනා තෝතැන්නේ
තරු අහුරක් සේ රෑ ඇවිලෙනු මැන
අහස් ගඟේ දියඹ දිගේ
වික්ටර් රත්නායක ගැයූ මේ ගීතයත් නන්දාගේ ගීතය මෙන්ම ඉතා ජනපිය විය.
ගිගිරි ගීත රාවේ
මලවි හී සැරේ
සබඳ අද කොමදෝ
උමුතු දෑස රෑ තුන් යාමේ
ලගින මේ නුරා අම්බලමේ
හදේ සෝක පීඩා වියැකේ
හැංගෙන්න මායා සිහිනයේ
තරිඳු තාම නාඹර වයසේ
රඟනු රංග රන් රඟ මඬලේ
කුමුදු යාය මල්වර මොහොතේ
රොන් ගන්න පෙම් මල් වන පෙතේ
දියමන්ති චිත්‍රපටයේ සනත් නන්දසිරි ගැයූ ‘ඇලඩින්ගේ පුදුම පහන නෙලැබුණොතින් අපට හෙටක් නැහැ’ නම් ගීතය ගුවන් විදුලියේ ප්‍රචාරය කිරීම තහනම් කළ අතර ඒ ගීතය ඇතුළත් දර්ශනය අධ්‍යක්ෂවරයා ප්‍රදර්ශනයේදී ඉවත් කර තිබුණි.
ඩී. ආර්. පීරිස් විසින් තනු නිර්මාණය කළ සරල ගී අතර වික්ටර් රත්නායක ගැයූ මේ ගීතය ඔහුගේ මුල් යුගයේ ජනප්‍රිය ගීතයකි. එහි පද රචනය ඩෝල්ටන් අල්විස්ගෙනි.
‘හදේ සුසුමක් පතිත වීමෙන්
බකිනි මල් පෙති පර නොවේවා
ඔබේ සුවඳැති හිනා පියුමෙන්
මගේ හදවත සුවඳ වේවා
ලොවේ කෙදිනක ද ආදරේ මඟ
දෙපස කරදර හමු නොවේවා’
මහාචාර්ය තිලක් රත්නකාර ගේය පද රචනය කළ ‘කලා වැවේ දිය ගැඹරින්’ ගීතය ද පීරිසුන්ගේ සංගීත නිර්මාණයකි. සනත් නන්දසිරි ගැයූ ‘නීල භෘංග කේශ’ සෝමතිලක ජයමහ ගැයූ ‘නියම් ගම් ගෙවා එන්නම් ‘පෙම් පහන් දල්වා නුවන් තුළ’, නන්දා මාලිනී ගැයූ ‘මැදුර සුන්දර’ යන සුනිල් ආරියරත්නයන් ගේය පද රචනය කළ ගීත ද ඔහුගේ සංගීත රචනයන්ය.
1995 ඩී. ආර්. පීරිස් විසින් තාල ශාස්ත්‍රය පිළිබඳ විශිෂ්ට කෘතියක් වූ ‘සම්භාව්‍ය තාල දීපනී’ ග්‍රන්ථය දොරට වැඩීය. 1998 රාජ්‍ය සංගීත උලෙළේදී විශිෂ්ට සම්මානයෙන් ද, කලා භූෂණ සම්මානයෙන් ද ඔහු පිදුම් ලැබුවේය. 2002 වසරේ ජෝන් ද සිල්වා සමරු රඟහලේදී මේ ශ්‍රේෂ්ඨ කලාකරුවාට ‘තාලසර’ ප්‍රණාම උලෙළක් පැවැත් වූ අතර එදින ‘විශ්ව කලා ප්‍රසාදනී’ සම්මානයෙන් ද පිදුම් ලැබීය
කලා ක්ෂේත්‍රයට විශිෂ්ට කලාකරුවන් දෙදෙනෙකු වන බැසිල් මිහිරිපැන්න හා අනිල් මිහිරිපැන්නගේ සොහොයුරියක් වන නර්තනවේදිනි ජයන්ති මිහිරිපැන්න මෙනවිය හා යුග දිවියකට එළඹි ඩී. ආර්. පීරිස් සංගීතඥයා පුතුන් දෙදෙනෙකු හා දියණියකගේ දයාබර පියෙකි. වැඩිමහල් දියණිය සන්ධ්‍යා පීරිස් වෛද්‍යවරියකි.පුත්‍ර චානක පීරිස් සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලයේ කථිකාචාර්යවරයෙකි. පවුලේ හිතවතෙකු වූ සංගීතවේදී හේමතිලක දයාරත්න මහතාගේ ඉල්ලීමක් පරිදි පීරිස් පවුල යක්කල බෝගමුවේ පදිංචියට ගියේය.
2004 ජූනි 5 වෙනිදා ඩී. ආර්. පීරිස් සංගීතඥයා ජීවිතයෙන් සමු ගත්තේය.
එතුමා මා හඳුනා ගත්තේ 1970 දශකයේ ගුවන් විදුලියේ ‘ළමා සංගීත සන්ධ්‍යාව‘ සංගීතවත් කළ අවදියේය. මේ හැඳිණීම මිත්‍රත්වයට හැරුණේ වසන්ත ඔබේසේකරගේ බම්බලපිටියේ ලෝරිස් මාවතේ නිවසේ ‘දියමන්ති’ චිත්‍රපටයේ මුහුරත් උලෙළේදීය.
මේ නිර්ව්‍යාජ, මානව ගුණයෙන් පිරිපුන්, දැනුමෙන් සපිරි, කුහකත්වයෙන් තොරව තම ගෝල බාලයන් ඉහළට යන විට සිනාසෙමින් බලා සිට නිහතමානීව ඔවුන්ගේ දියුණුවට ආශිර්වාද කළ වචනයේ පරිසමාප්තාර්ථයෙන්ම විශ්වවිද්‍යාල ආචාර්යවරයකු ලෙස ඩී. ආර්. පීරිස් ගුරුතරුව සදා සුවඳ දෙන්නේය.
වැඩි උසක් නැති කාලවර්ණ දේහධාරී සිහින් රැවුලක් සහිත කලබලයෙන් ඇවිදින තමා ඇඳි කලිසම සකස් කර ගනිමින් ගුවන් විදුලි අතරින් ගමන් කරන නිහතමානි, කාරුණික හදවතකට උරුම කී ඩී. ආර්. පීරිස් නම් ගුරු තරුව මගේ මතකයෙන් කිසිදා බැහැර නොවේ.