රේඛාවේ පසුබිම් සංගීතය නිර්මාණයට විදේශිකයන් මවිත කළ සංගීතඥයා

විශාරද කේ. ඒ. දයාරත්න
අගෝස්තු 13, 2020

 බදුල්ලේ ධර්මදූත විද්‍යාලයේ ඉගෙනීම ලබමින් සිටි කුඩා දරුවකු ‘ගුත්තිලයේ’ හා ‘සුභාෂිතයේ’ කවි අපූරු තාලයකට ගයනු අසා සිටි ගුරුවරු ඔහුව විද්‍යාලයේ කැරෝල් කණ්ඩායමට තෝරා ගත්හ. එතැන් සිට මේ දරුවා පාසලේ දක්ෂතම ගායකයා ලෙස ප්‍රකට වූයේය. එහෙත් මේ සිසුවා උපන් හපන්කම් දැක් වූයේ චිත්‍ර කලාවටය. කවදා හෝ දක්ෂ සිත්තරකු වීමට සිහින මැවූ ඔහුගේ අනාගත ඉරණම වෙනස් වූයේ කවුරුත් නොසිතූ ලෙසය.

මේ සිසුවාගේ පියා චාල්ස් සිල්වා බදුල්ලේ ධනවත් ව්‍යාපාරිකයෙකි. ‘සිල්වා මුදලාලි‘ නමින් ප්‍රකට බදුල්ලේම ප්‍රකටව සිටි ඔහුගේ නිවසේ බදුල්ලේ තැපැල් ස්ථානාධිපති නැවතී සිටියේය. තැපල් මහතා මුදලාලිගේ පුත්‍රයා චිත්‍ර අඳින ආකාරය බලා සිටියේ නොතිත් ආසාවෙනි.  ගීත ගායනා කරන මේ දරුවා අනාගතේ කලාව පැත්තෙන් ඉහළටම යන  බව දැන ඒ බව මුදලාලිට අනාවැකියක් පළ කර සිටියේය.

 “මුදලාලි මහත්තයෝ, පුතා කවදා හරි කලාව පැත්තෙන් ඉහළටම යනවා. ඒක  ඉර හඳ ලෙස විශ්වාසයි” කීවේය.

 “අනේ මහත්තයෝ මෙයා චිත්‍ර අඳින්නයි, සින්දු කියනව මිසක් ඉස්කෝලෙ අනික් වැඩවලට උනන්දු  නැහැ. පුතා කොයි පැත්තට යයි ද කියලා දෙයියෝ තමයි දන්නේ.”

 “මම හොඳට දන්න මහත්තයෙක් මේ දවස්වල ඉන්දියාවේ සංගීතෙ ඉගෙන ගන්නවා. නිවාඩුවට ළඟදී ලංකාවට එනවා. අපි බලමු එයාගෙන් උදව්වක් ඉල්ල ගන්න. අපි කෝකටත් ලියුමකුත් දාලා බලමු.”

තැපැල් මහතා හොඳින් දැන සිටියේ ඉන්දියාවේ ශාන්ති නිකේතනයේ සංගීතය හදාරමින් සිටි ඩබ්ලිව්. බී. මකුලොලුව මහතාවය. ගැටවරයාගේ කුසලතා රෙකමදාරු කරමින් තැපැල් මහතා ඔහුට ඉන්දියාවේ ශාන්ති නිකේතනයට ලිපියක් යොමු   කළේය. හැරෙන තැපෑලෙන් එවූ ලිපියේ සඳහන් වූයේ “මේ තරුණයා වහාම ශාන්ති නිකේතනයට එවන්න” යන්නය.

මේ 1943 වසරය. චිත්‍ර කලාව ගැන වැඩිදුර ඉගෙනීමට තැපැල් මහතාගේ බල කිරීම හා උනන්දුව මත මේ තරුණයා ඉන්දියාව බලා නැව් නැංගේ ඉන්දීය නිදහස් සටනේ උච්චම අවස්ථාව මෙන්ම දෙවැනි ලෝක සංග්‍රාමයේ උණුසුම  දැඩිව තිබූ අවධියකය.

කවුද මේ  තරුණයා?

1925 මැයි 21 වෙනිදා බදුල්ලේ කයිලෙගොඩ උපත ලැබූ කැපේ ආරච්චිගේ දයාරත්න සිල්වාය. පසුව මෙරට සිටි දක්ෂතම සිතාර් වාදකයෙකු හා සංගීතඥයකු වූ විශාරද කේ. ඒ. දයාරත්නය.

 “මම මුලින්ම ශාන්ති නිකේතනයට ගියේ චිත්‍ර කලාව හදාරන්න. නන්දලාල් බෝස් නම් විශිෂ්ටතම චිත්‍ර ගුරුවරයාගෙන් මම චිත්‍ර කලාව ඉගෙන ගත්තේ.  ඊට පස්සේ මට හිතුණා සංගීතය හදාරන්න. උස්තාද් ෂොක්මන් ඛාන් හා පණ්ඩිත් ඩී. ටී. ජෝසි යටතේ සංගීතය වසර 14 ක් හදාරා ලංකාවට පැමිණියා. 1948 මාව ඉන්දීය ගුවන් විදුලියේ සිතාර් වාදකයෙකු ලෙස ඒ ශ්‍රේණියෙන් සමත්ව එහි වාදක මණ්ඩලයේ කටයුතු කළා. ඒත් චිත්‍ර කලාව අමතක කළේ නැහැ. ඉන්දියාවේ හා ලංකාවේ චිත්‍ර ප්‍රදර්ශන පැවැත්තුවා. මගේ ශාන්ති නිකේතනයේ චිත්‍ර ගුරුවරයා වූ නන්දලාල් බෝස් මහත්මාගේ ආශිර්වාදය හා මඟ පෙන්වීම උඩ අලේඛ්‍ය චිත්‍ර අඳින්න පරිචයක් ලැබුවා. ඒ අනුව මම ලංකාවට පැමිණි පසු සංගීතඥ ලයනල් එදිරිසිංහගේ චිත්‍රයක් ඇදලා සංගීත විද්‍යාලයේ තැබුවා. එහෙත් කලාගුරු ජේ. ඩී. ඒ. පෙරේරා මේ චිත්‍රය සංගීත විද්‍යාලයෙන් ඉවත් කරන්න කිව්වා. ඊට පස්සේ චිත්‍ර ඇඳීමට තිබූ උනන්දුව නැතිව ගියා. භාත්ඛණ්ඩේ සංගීත විශ්වවිද්‍යාලයේ ගුරුවරයෙක් හැටියට කටයුතු කොට ලංකාවට පැමිණි මම ගුවන් විදුලියේ ප්‍රථම විශිෂ්ට ශ්‍රේණියේ වාද්‍ය විශාරදයා. මගේ මුල්ම ගුවන් විදුලි වැඩ සටහනේදී තබ්ලා වාදනයෙන් සහය වූයේ මගේ ශිෂ්‍ය පී. වී. නන්දසිරි.

මගේ කලා ජීවිතය කටුක මාවතක, කෙනහිළි, කැපිලි කෙටිලි මැද ගිය ජීවිතයක්. ලයනල් එදිරිසිංහ මහතා සමඟ එක් වී රජයේ සංගීත විද්‍යාලය ඇරඹීමට මාත් පුරෝගාමි වුණා. කේ. ඒ. දයාරත්න මහතා මේ තොරතුරු මා සමඟ පැවසුවේ 2007 වසරේ පෙබරවාරි මාසේ බත්තරමුල්්ලේ වික්‍රමසිංහ පුර අයි. ටී. එන් ආයතනය අසල පදිංචි ඔහුගේ දියණියකගේ නිවසකදීය.

2006 දෙසැම්බර් 28 වෙනිදා ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ ‘රේඛාව‘ චිත්‍රපටය තිරගත වී හරියටම 50 වැනි දිනය නිමිත්තෙන් රීගල් සිනමාහලේදී මා විසින් ලියන ලද ‘අඩසිය වසක රේඛාව‘ කෘතිය දොරට වැඩි උලෙළේ චිත්‍රපටයට සම්බන්ධ ජීවත්ව සිටි කලාකරුවන්ට උපහාර පිදීමේ උත්සවයට දයාරත්න මහතා සහභාගි වූයේ රේඛාව චිත්‍රපටයේ පසුබිම් සංගීත නිර්මාණ ශිල්පියා ලෙසය. 

රජයේ සංගීත විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පතිවරයා වූ දයාරත්න මහතා එහි කීර්තිමත් කථිකාචාර්යවරයකු ලෙස කටයුතු කළේය. ඔහුගේ කීර්තිමක් සිසුන් අතර මහාචාර්ය සනත් නන්දසිරි, මහාචාර්ය අමරා රණතුංග, ආචාර්ය දයාරත්න රණතුංග, වික්ටර් රත්නායක, සරත් දසනායක, රෝහණ වීරසිංහ, සෝමසිරි ඉලේසිංහ ගැන කතා කළේ ආඩම්බරයෙනි.

 “මහාචාර්ය සරච්චන්ද්‍ර, නන්දා මාලිනි, ට්‍රිලිෂියා ගුණවර්ධන, මිනෝන් රත්නම් මගෙන් සංගීතය ඉගෙන ගත් ගෝලයෝ. සරච්චන්ද්‍ර මහත්තයාගේ ‘හස්තිකාන්ත මන්තරේ’ නාට්‍යයේ සංගීත අධ්‍යක්ෂණයට තෝරා ගත්තා. බ්‍රිගේඩියර් සිසිල් කල්දේරා සමඟ එක්ව යුද හමුදා හේවිසි තූර්ය වාදක මණ්ඩලය ආරම්භ කළෙත් මමයි. අවුරුදු 38 ක් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ සංගීත පත්‍ර සකස් කරමින් ගාන්ධර්ව විභාග පරීක්ෂකවරයකු වශයෙනුත් කටයුතු කළා.” දයාරත්න මහතා එදා කීවේය.

ඔහු හින්දි, බෙන්ගාලි, ගුජරාටි, ද්‍රවිඩ භාෂා පිළිබඳ දැනුමක් ඇත්තෙකි. 1954 බ්‍රිතාන්‍යයේ මහා රැජින වෙනුවෙන් පැවති සංගීත ප්‍රසංගය මෙහෙය වන ලද්දේ ද ඔහු විසිනි. 

සිංහල සිනමාවේ ප්‍රථම කැරැල්ල මෙහෙය වූ ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ ‘රේඛාව‘  චිත්‍රපටයේ අරුත්බර, නැවුම් ගීත තනු නිර්මාණය කළේ සුනිල් සාන්තය. ඒවා සංගිතවත් කළේ බී. එස්. පෙරේරාය. එහෙත් රේඛාවේ පසුබිම් සංගීතය මෙහෙය වූයේ කේ. ඒ. දයාරත්නයන්ය. මේ ගැන අධ්‍යක්ෂ ලෙස්ටර් මා සමඟ පැවසුවේ (අඩ සියවසක රිදී රේඛාව - 2006) මෙසේය.

 ‘රේඛාවේ පසුබිම් සංගීතය නිර්මාණය කළේ ලංකවේ දක්ෂතම සිතාර් වාදකයකුව සිටි සංගීතඥ  කේ. ඒ. දයාරත්න. මට ඔහු හඳුන්වා දුන්නේ තවත් දක්ෂ සංගීතඥයකු වූ සදානන්ද පට්ටිආරච්චි විසින්. සදානන්ද මගේ ළඟම ඥාතියෙක්. දයාරත්න ඒ වන විට රජයේ චිත්‍රපට අංශය මඟින් නිෂ්පාදනය කළ වාර්තා චිත්‍රපට රැසක පසුබිම් සංගීතය මෙහෙයවා තිබුණා. මා අධ්‍යක්ෂණය කළ වාර්තා චිත්‍රපටවලත් ඔහු සංගීතය මෙහෙය වූවා. රජයේ චිත්‍රපට අංශයේ  චිත්‍රපටවල තේමාව නිර්මාණය කළේ ඔහු. දයාරත්න ගැමි ජීවිතය නිරූපණය වන අයුරින් පසුබිම්  සංගීතය නිර්මාණ කළේ පහසුකම් නැති කිරිබත්ගොඩ සිරිසේන විමලවීර මාස්ටර්ගේ නවජීවන චිත්‍රාගාරයේ.” 

මේ ගැන දයාරත්නයන් කී කතාවයි මේ.

 “මම රජයේ චිත්‍රපට අංශයෙන් 1954 සිට 1958 දක්වා නිපදවන ලද වාර්තා චිත්‍රපටවල සංගීතය මෙහෙය වූවා. මුල්වරට සිංහල චිත්‍රපටයකින් ජාතික මුහුණුවරක් දීමට මම උත්සාහ කළා. අන්තර්ජාතික චිත්‍රපට උලෙළවල ලංකාවේ මුල්වරට නියෝජනය කරද්දී එහි සංගීතයට, චිත්‍රපට අධ්‍යක්ෂවරු, විචාරකයෝ  චිත්‍රපටයේ පසුබිම් සංගීතයට කොතරම් වශී වුණා ද කිවහොත් එහි සංගීත තැටියක් ඔවුන්ට අවශ්‍ය බව කියා ඇත. මේ චිත්‍රපටයේ ගීත ඇතුළත් වී නැහැ. ලෙස්ටර් මහතා මේ ආරංචිය මට කීවේ මට සුබ පතමින්. රේඛාවේ සේන සොරුන්ගෙන් මුදල් පැහැරගෙන යාම, සොරුන් සේන ලුහුබැඳ යන අවස්ථා සිතාරයෙන් ඒ අවස්ථා තීව්ර කිරීමට ගත් උත්සාහයත් විචාරකයන් අගය කර තිබුණා.

රේඛාවේ සේන හා අනුලා සරුංගල් යවන දර්ශනය සඳහා මම කළ නයියඩි වන්නම ආශ්‍රයෙන් කළ දීර්ඝ සිතාර් වාදනය විදේශික පුවත්පත් අගය කර තිබූ හැටි ලෙස්ටර් මහතා මට කීවා. ලෙස්ටර් කොතරම් චිත්‍රපටයේ පසුබිම් සංගීිතයට කැමති වුණාද යත් එතුමාගේ ‘සන්දේශය’ චිත්‍රපටයේ ද පසුබිම් සංගීත වාදන නිර්මාණය මට පැවරුවා. එහි ගීතවල තනු නිර්මාණය සුනිල් සාන්තගේ. සංගීතය මෙහෙයවීම ආර්. මුත්තුසාමිගේ.”

දයාරත්නයන්ගේ සිතාර් වාදනයක් ඇසීමට බීට්ල්ස් සංගීත කණ්ඩායමේ නායකයා වූ බ්‍රයන් ජෝන්ස් ඇතුළු පිරිසක් 1964 චිත්‍රපට අධ්‍යක්ෂ මයික් විල්සන්ගේ හැව්ලොක්ටවුමේ නිවසට පැමිණ ඇත. එදා එහි චිත්‍රපට නළු ජෝ අබේවික්‍රමත් සිටි බවත්, මයික්ගේ නිවසේ බිම වාඩි වී සිතාර් වාදනය රස වින්දනය කළ බීට්ල්ස් නායකයා සතුටු කිරීමට දයාරත්නයන්ට රැය පහන් වනතුරු වාදනය කිරීමට සිදු වූ බව ඔහු මට පවසා ඇත. ප්‍රසාදයට පත් බ්‍රයන් ජෝන්ස් තම සංගීත තැටියක් පරිත්‍යාග කර ඇත්තේ සමරු සටහනක් ද සහිතවය. 

1954 බ්‍රිතාන්‍ය මහ රැජිනි වෙනුවෙන් පැවති සංගීත ප්‍රසංගයේ ගායන හා වාදන කණ්ඩායම පුහුණු කර මෙහෙය වන ලද්දේ දයාරත්නයන් විසිනි. එමෙන්ම ඉන්දීය අගමැතිනි ඉන්දිරා ගාන්ධි මැතිනිය වෙනුවෙන් ලංකා අගමැතිනි සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය කොළඹ තැප්‍රබේන් හෝටලයේ පවත්වන ලද  සංගීත ප්‍රසංගයේදී දයාරත්නයන් ඉදිරිපත් කරන ලද සිතාර් වාදනයට ගාන්ධි මැතිනියගේ පැසසුම් ලැබී ඇත. ලයනල් එදිරිසිංහයන්ගේ ප්‍රධානත්වයෙන් පැවති මේ ප්‍රසංගයේ දයාරත්නයන්ද, නාලිනී එදිරිසිංහ, බී. වික්ටර් පෙරේරා, කේ. ඒ. ධර්මසිරි පෙරේරා, ජී. ආර්. බී. අතාවුද, සෝමසිරි ඉලේපෙරුම, ඩී. ඩබ්ලිව්. මැදගංගොඩ, එල්. කේ. රාජසිංහ, විමලසිරි රුද්‍රිගු, සුසිල් පියදාස, ඩී. ඩබ්ලිව්.  මහීපාල, විජයරත්න රණතුංග, නාගානන්ද එදිරිසිංහ, ශවේන්ද්‍ර එදිරිසිංහ දස්කම් පෑ බව වාර්තාවේ. දයාරත්නයන් විසින් තනු නිර්මාණය කළ අතර “ශාන්ත සිතුවිලි මැව්නාවේ, මිහිරි  ගීතේ කෝ ඔබේ, අඹ මාදම් පලා මැදුර, ලා අඹ දළු සිලි සිලියේ ගීත ද වෙයි.

දයාරත්නයන්ගෙ ජීවිතයේ  සෙවණැල්ල මෙන් සිටින්නේ ජීවිතයේ ඔහුගේ බිරිඳ ඩොරීන් මේරි අතීතය ආදරයෙන් සිහිපත් කළාය.

 “මගේ නම ඩොරීන් මේරි බෙල්ෆර්. 1936 ජනවාරි 14 වෙනිදා බදුල්ලේ කයිලගොඩ උපන් බ්‍රිතාන්‍ය ජාතික තරුණියක්. මම ඉගෙනීම ලැබුවේ බදුල්ලේ උසස් බාලිකා විද්‍යාලයේ. මගේ පියා ඇන්ඩෲ බෙල්ෆර් බ්‍රිතාන්‍ය ජාතික වතු පාලකවරයෙක්. අපේ බදුල්ලේ ගෙදරට යාබදව ඔහුගේ නිවස තිබුණේ. අපි අසල්වාසී මිත්‍රයන්. දයාරත්නට  හිටියේ එකම නංගියි. එයයි මමයි එකම පන්තියේ ඉගෙන ගත්තේ. මගේ මිතුරිය බලන්න එයාගේ ගෙදරට ගියාමයි දයාරත්න හඳුනගන්න ලැබුණේ. මම බටහිර සංගීිතයත්, තබ්ලා වාදනයත් ඉගෙන ගත්තේ එයාගෙන්. දයාරත්න එක්ක මගේ ආදර සම්බන්ධයක් ගොඩ නැගුණා. එයා ඉන්දියාවට ගිහින් ඉගෙන ගෙන එනතෙක් වසර 14 ක් මම බලන් හිටියා. පසුව අපේ සම්බන්ධය දැන දෙපැත්තේම අය විරුද්ධ වුණා. පස්සේ මම කොළඹ රැකියාවකට ඇවිත් 1956 ජූනි 14 වෙනිදා රහසේම විවාහ වුණා. එතකොට එයා චිත්‍රසේන කලායතනයේ නැවතිලා හිටියේ. අපේ විවාහයේ සාක්ෂියට අත්සන් කළේ චිත්‍රසේනයි, සෝමදාස ඇල්විටිගලයි. ගායක  සී. ටී. ප්‍රනාන්දු තමයි එයාගේ කාර් එකෙන් අපිව රෙජිස්ට්‍රාර් ගාවට එක්ක ගියේ. අපි විවාහ වෙලා මාස හයක් කාටවත් නොදැනෙන්න හිටියා. විවාහ වුණාට පස්සේ මම දයාරත්නගේ සිතාර් වාදනවලට තබ්ලාවෙන් සහාය වුණා. රේඛාවේ, සන්දේශය චිත්‍රපටවල ‘මියුසික් නෝට්ස්’ ලිවීමට මම සහාය වුණා. මම  නාරද දිසාසේකර එක්ක ‘මිහිරි ගීතය කෝ ඔබේ’ ගීතය ගැයුවා. තනුව දයාරත්නගේ. ඩොරීන් මේරි එදා මට කීවාය.

ඩොරීන් මේරි බැල්ෆර් බ්‍රිතාන්‍ය රාජකීය පවුලකට නෑකම් කියන කාන්තාවකි. ඇයගේ සීයා කෙනෙකු වූ ලෝඩ් අර්ල් ජේම්ස් බැල්ෆර් (ඹ්ධපඤ ඡ්චපත ඒපබඩභප බ්ඥථඥඵ ඕචතටධභප (1902 - 1905) තෙක් බ්‍රිතාන්‍යයේ අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කොට ඇත. ලංකා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව හැදීමට ඉවහල් වූ සෝල්බරි, ඩොනමෝර් කොමිෂන් මෙන්ම තම සීයාගේ බෙල්ෆර් කොමිෂන් වාර්තාව බල පෑ බව ඩොරීන් මේරි මට පැවසුවාය.

දයාරත්න යුවළට දරුවන් දෙදෙනෙකි. සන්ධ්‍යා සිල්වා දියණිය කොළඹ අන්තර් ජාතික පාසලක ගණිත ආචාර්යවරියක ලෙස ද පුතු සන්දීප් කැටපෙආරච්චි සිල්වා පුද්ගලික සමාගමක ප්‍රවාහන කළමනාකරුවකු ලෙස ද  එකල සේවය කර සිටියහ.

තමාගේ ජීවිතයේ සිදු වූ අකටයුතුකම් දයාරත්නයන් 1993 වසරේ පුවත්පතක අසංක නම් ලේඛකයාට විස්තර කර තිබුණේ වේදනාවෙනි.

 “රජයේ  සංගීත විද්‍යාලයේ (අද සෞන්දර්ය විශ්වවිද්‍යාලය) විදුහල්පති වශයෙන් පත්වීම් ලිපිය පවා ලැබී තියෙද්දිත් සමහරුන්ගේ යටිකූට්ටු අන්දමින් කපා තිබුණා. මම ඒ ගැන කම්පා වුණේ නැහැ. මට වඩා නුසුදුසුකම් ඇති අය දක්ෂයන් පාගා  දැමීම ඒ කාලයේත්  සෞන්දර්ය ආයතනවල තිබුණා. පුස්සෝ බිහි වුණේ මේ පසුබිම යටතේ. මගෙන් සප්ත ස්වරය දැන හඳුනා ගත් අද ඉහළ තැනක සිටින අය සිටියත් බොහෝ දෙනෙක් නිකමටවත් මා ගැන සඳහන් කළේ නෑ. මහාචාර්ය සනත් නන්දසිරි පමණක් නිතරම මගේ සුවදුක් බලන්න ආවා.”

කලක් කේ. ඒ. දයාරත්න නම් විශිෂ්ට ගාන්ධර්වයා 309/2, කඩුවෙල පාර, කොස්වත්ත, තලංගම උතුර ලිපිනය සහිත නිවසේ සැඳෑ සමය ගත කොට ජීවිතයෙන් සමු ගත්තේය.