වර්ෂ 2023 ක්වූ December 04 වැනිදා Monday
පනහ දශකයේ ගුවන් විදුලි ගායිකාවක වූ කෙටිකතා පොතක් ලියූ ලංකාවේ මුල්ම කාන්තාව

වසර 1955 ය. කොළඹ ආනන්ද බාලිකා විද්‍යාලයේ ඉගෙනුම ලැබූ පද්‍ය ගායනයට දක්ෂ සිසුවියක් පාසල් දිවිය නිම කළ පසු එස්රාජ් වාදනය ඉගෙන ගනිමින් සිටියාය. ලංකාවේ 1955 වසරේ පැවති සංගීත තරඟයකින් දහසක් තරඟකරුවන් අබිබවමින් එස්්රාජ් වාදනයෙන් ඇය ප්‍රථම ස්ථානය දිනාගත් බව එකල පුවත්පත්වල වාර්තා කොට තිබුණි. පද්‍ය ගායනයේ ද කුසලතා දැක් වූ ඇය ඩී. ඩී. ඩැනී, වී. පී. ලීලාවතී, චිත්‍රා ධනවලවිතාන (පසුව චිත්‍රා වාකිෂ්ඨ) සමඟ ඇය කුඩා කල සිටම සංගීත කලා කටයුතුවල නිරතව සිටියාය. එම යුගයේ ප්‍රභූ මංගල උත්සවවල අෂ්ටක හා ජයමංගල ගාථා කියන කණ්ඩායමක් රාජගිරිය ආශ්‍රිතව පැවතිණි. මේ කණ්ඩායමට මේ යුවතිය ද ඇතුල් වූවාය. කීර්තිමත් සිවිල් නිලධාරියකු හා හිටපු මුදල් ඇමතිවරයකු වූ රොනී ද මැල් හා මල්ලිකා ද මැල්ගේ ද මහාචාර්ය ගුණපාල මලලසේකර මහතාගේ දියණිය අන්තර් කීර්තියට පත් පියානෝ වාදන ශිල්පිනියක් වූ චිත්‍රා මලලසේකර (පසුව රණවක) විවාහ වන විට ද අෂ්ටක ජයමංගල ගාථා කීමට මේ කුඩා දැරිය සහභාගි වී ඇත.
ඇගේ නම කල්‍යාණි අබේසිංහය. අබේසිංහ ආරච්චිගේ කල්‍යාණවතී උපන්නේ 1932 පෙබරවාරි 16 වෙනිදා රාජගිරියේය. ඇයගේ පියා 1901 කොළඹ උපත ලැබූ අබේසිංහ ආරච්චිගේ චාර්ල්ස් සිංඤෝය. මව වූයේ 1906 උපත ලැබූ විජයමුනි ලීලාවතී ද සිල්වාය. කොළඹ හුණුපිටියේ ගංගාරාමයේ බෝධි ඉදිකිරීම සඳහා ඉඩම පූජා කර ඇත්තේ ලීලාවතී මහත්මියගේ පවුලේ ඥාතීන් විසිනි. චාල්ස් - ලීලාවතී යුවළට දූ දරුවන් පස් දෙනෙකි. කල්‍යාණි දෙවැන්නාය. නන්දාවතී වැඩිමලාය. පියසීලී, පියසේන හා ගුණසිරි බාල සොහොයුරු සොහොයුරියන්ය.
කුඩා කාලයේ රාජගිරියේ හේවාවිතාරණ විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ඇරඹූ කල්‍යාණි පසුව මරදානේ ආනන්ද බාලිකා විද්‍යාලයට ඇතුළු වී ඉගෙන ගත්තාය. ඒ අතරම කොළඹ රාජගිරියේ ආයුර්වේද රෝහල අසල ශ්‍රී ජයවර්ධනාරාම විහාරස්ථාන බී. ජේ. එෆ්. දහම් පාසැලේ දහම් අධ්‍යාපනය ලැබීය. පාසල් වියේදීම පද්‍ය ගායනා , තරඟ ගීත ගායනා, කථික තරඟ ආදියෙන් ඇය ජය ගත්තාය.
ගායන හා වාදන කුසලතාව නිසා කල්‍යාණි රජයේ ලලිත කලායතනයට ඇතුළු වූවාය. අමරා කස්තුරිආරච්චි (රණතුංග) ද ඇය සමඟ පන්තියේ ඉගෙන ගත් එක් ගායන ශිල්පිනියකි. රජයේ කලායතනය ආරම්භ වූයේ කලා ගුරු ජේ. ඩී. ඒ. පෙරේරා විදුහල්පති ලෙස පත්වීමෙනි. එහි සංගීත අංශයට ඇතුළත් වූ මුල්ම ශිෂ්‍යාවකි කල්‍යාණි.
කල්‍යාණි විශාරද ලයනල් එදිරිසිංහ හා බී. එස්. විජේරත්න මහතුන් යටතේ ශාස්ත්‍රීය ගායනය ඉගෙන ගත්තාය. 1957 දී ඉන්දියාවේ ලක්නව් නුවර භාත්ඛණ්ඩේ සංගීත විශ්වවිද්‍යාලයට ඇතුළු වූවාය. ඇය ප්‍රගුණ කළේ වීණා වාදනයයි. ආචාර්ය අමරදේව, වාද්‍ය නිපුන් පී. වී. නන්දසිරි, වාද්‍ය නිපුන් ඩී. ආර්. පීරිස්, විශාරද එස් ඩී. එස්. ජයසේකර, කුලරත්න තෙන්නකෝන්, කුද්දුස් මරික්කාර් ඇගේ කලණ මිතුරෝ වූහ. ජිනදාස වික්‍රමසිංහ මහතා ඇයට භාත්ඛණ්ඩේදී උපකාර කොට ඇති බව ඇය කෘතවේදීව සඳහන් කර තිබුණාය. භාත්ඛණ්ඩේ විශ්වවිද්‍යාලයේදී මහාචාර්ය රතන් ජංකර්, මහාචාර්ය පී. එන්. නාතු ආදි මහා සංගීතවේදින්ගේ පා සෙවණේ උත්තර භාරතීය සම්භාව්‍ය සංගීතය ඉගෙන ගැනීමට ඇයට භාග්‍ය උදා විය.
ගුවන් විදුලියේ පද්‍යාවලිය, කවි මඩුව, යෞවන සමාජය, ගුවන් විදුලි නාට්‍ය, විචිත්‍රාංග, ප්‍රණීතාංගවලට කල්‍යාණිය දායක වූවාය.
1952 වර්ෂයේ ලංකා ගුවන් විදුලියේ සංගීත ශීල්පීන් වර්ග කිරිම සඳහා පැවැත් වූ පරීක්ෂණයෙන් සමත් වූ කල්‍යාණියට ගුවන් විදුලිය් විවිධ වැඩසටහන් කිරීමට අවස්ථාව උදා විය. ගීත නාටක, කම්කරු පැය, රස මංජරී ආදී වැඩසටහන්වලට ඇය සහභාගි වූවාය. නොයෙක් විරිතෙන් රචනා කරන ලද කවි සිත් ගන්නා ලෙස කීමට ඇය සමත් වූවාය. එක්දාස් නවසිය පනස් ගණන්වල අග භාගයේ ජාතිවාදී කලබල අවස්ථාවේ ඇය ලංකාවට පැමිණියාය. ඉන් පසුව මෙරට බිහි වූ අග්‍රගණ්‍ය පඬිවරයකු, සාහිත්‍යවේදියකු, රාජ්‍ය සාහිත්‍ය සම්මාන දිනූ ලේඛකයකු වූ කලාකීර්ති පණ්ඩිත විමල් අභයසුන්දරයන් සහ කල්යාණි 1958 වසරේ විවාහ ප්‍රාප්ත වූහ.
1950 වසර කල්‍යාණියගේ ගායන දිවියේ සුවිශේෂ කඩඉමක් සනිටුහන් කළ කාල පරිච්ඡේදයක් වූවාය. මේ කාලයේ කල්‍යාණිය ගුවන් විදුලිය හා ග්‍රැමෆෝන් සරල ගී ගායිකාවක් වූවාය. සංගීතඥ බී. එස්. පෙරේරා, විශාරද ලයනල් එදිරිසිංහ යන සංගීතඥයන්ගේ ගී තනුවලට තම සැමියා වූ විමල් අභයසුන්දරයන් ලියූ ගී ඇය යුග ගායනා කළේ ජිනදාස ගුණසේකර සමඟය. ඇය ගුවන් විදුලි සරල ගී (1953 - 1954) ගැයූ ඒකල ගීත තම ආදරණීය සැමියා රචනා කළ අතර පී. ඩන්ස්ටන් ද සිල්වා, විශාරද ලයනල් එදිරිසිංහ හා බී. එස්. පෙරේරා සංගීතය නිර්මාණය කළහ. මේ ඒ ගීතවල ගේය පද රචනාය.
පුදමි කුසුම් මාලා
සුවඳ කපුරු හා
එ සිරි පතුල සෑසී
අමා සුව පතා
දෙව් බඹ නරනාරි
පූජෝපහාර ධාරි
නිති වඳිමි ඒ සිරි පාදේ
නිර්මාණ සුව පතා - පුදමි
ආලෝකේ දිදී දිලිසේ
මිණි තලේ පිහිටි පාදේ
සර්වලෝක වාසී හමුවේ
මල් සුවඳ තුවරලා දී
නිතර වඳින්ට පේවී
ශ්‍රී පාද පද්මෙ සෑසී
මේ ගීත පද්මෙ සෑසී
මේ ගීත මලිනි පුද දී
වඳිමි මුනි සිරි පා
ගායනය - කල්‍යාණි අභයසුන්දර
ස්වර රචනා හා සංගීතය - බී. ඇස්. පෙරේරා
ප්‍රචාරය - සරල ගී 1952
පෝදා වඳිමු ශ්‍රී පාදේ
පූජා වේ මේ මල් මාලා
සීත ගඟුලේ බැස දිය නාලා
පිරුවට හැඳලා හැඳ පේවීලා
සාදු කියාලා නඟිමු අපි
දෝත නඟාලා වඳිමු අපි
පෝදා වඳිමු ශ්‍රී පාදේ
මහජන සේනා බුදු ගුණ සමරා
මළුවට නැගලා නළල තබාලා
සෑසි පියාගේ පාදෙ අපි
සාදු කියාලා වඳිමු අපි
පෝදා වඳිමු - ශ්‍රී පාදේ
පූජාවේ මේ මල් මාලා
ගායනය - කල්‍යාණි අභයසුන්දර සහ ජිනදාස ගුණසේකර
ස්වර රචනය හා සංගීතය - ආචාර්ය ලයනල් එදිරිසිංහ
ප්‍රචාරය - ගුවන් විදුලි සරල ගී 1953
කතරගම උපහාර ගී
තානු තරුණ අරුණ කිරණ බරණින් යස තේජනේ
බානු අසුර අසුරන් යුද ඔද වැඩි ගිරි රාජනේ
මැණික් ගඟේ ගං ඉවුරේ
කතරගමේ දෙව් විමනේ
බෙජෙන සතන් සුරැක සදා
තුන් හෙළයෙහි තෙදණ තැබූ
මූණු සයකි අත් දොළසකි මයුරා පිට වාහනේ
රූණු රටේ පිහිටි කන්ද කදිර දේව සාමිනේ
තානු තරුණ අරුණ කිරණ
බරණින් යස තේජනේ
ඇහැළ මහේ පොහෝ දිනයි
කතරගමයි මැණික් ගඟයි
සුද්ද වුණේ සුරිඳ ඔබේ
පින් සිරි පිරි මහිම නිසා
දෝත නගා පඬුරු පුද සෙත පතමින් පා සෙනේ
පාද පියුම් සිඹිමි සදා සුරිඳුනි මයුරාසනේ
තානු තරුණ අරුණ කිරණ
බරණින් යස තේජනේ
ගායනය - කල්‍යාණි අභයසුන්දර
සංගීත නිර්මාණය - විශාරද පී. ඩන්ස්ටන් ද සිල්වා
ප්‍රචාරය - ගුවන් විදුලි සරල ගී 1953
චන්ද්‍ර ග්‍රහණ සමය
සඳ රාහු ගිළී සොඳුරේ - හා හා
ගෙ තුළට යන්න නොසිට එළියේ
රන් තරු ටික ලේ පැහැය වෙලා
නුබ ගබ ඇඳිරිය සුරත ගලා
නදියේ
ඉවුරේ
ළා වැනි පිට මල් ඇතිරිල්ලේ
වෙණු දෙවි සේයා නැටුමක් වාගේ
මන්ද සමීරණ ගෙන එන සීතලේ
දුක් ගිනි දැල් අවුළා
සඳ රාහු ගිළී සොඳුරේ - හා - හා
දෙසඳුන් වනයෙහි සුවඳ උරා
මල් යහනෙක සුව ගෙනෙන හොරා
ඔබගේ
මුහුණේ
රූ සිරි දුටුවොත් නැළැවිල්ලේ
සඳ අත්හැර දා ඔබ ගිල ගන්නේ
සේද වලාවෝ නො එති හැඬුමට
පැල්පත දොර වටලා
සඳ රාහු ගිලී සොඳුරේ හා - හා
ගායනය - ජිනදාස ගුණසේකර හා කල්‍යාණි අභයසුන්දර
ප්‍රචාරය - ගුවන් විදුලි සරල ගී 1953
සංගීත නිර්මාණය - විශාරද පී. ඩන්ස්ටන් ද සිල්වා
වැලිනි - වැලිනි - ඕ
මාදු ගංගා දේවී
වැලිතොට නදී ළඳේ
ඕ - වැලිනි - වැලිනි
උපත ලබා පොල් අතු කන්දේ
බැස යයි ගමනින් ගජ ගාමී
කුදු මහ දූපත්වල සිරියා
මනහර බව දෙයි පරිසරේ
කමල් වෙනේ ඕළු කෙතේ
කොඳ යායේ ගුමු ගී
දිවා රැයේ තාල නඟා කව් සිතිවිලි පුබුදා
විකුම් පපා පතිරජ දෙව් ගේ
කේරල රුහිරින් ගත සෝදා
උරුමය පෙන්නා රුහුණු රටේ
නිජ බිම රැක ගත් ජය ගොස දී
හබල් වැදි මාළු පැටවු පැන යන්නෝ පෙරැළී
සවන් පිනා සීපද රාවය දියඹින් එනවා
ගායනය - කල්‍යාණි අභයසුන්දර
සංගීත නිර්මාණය - විශාරද පී. ඩන්ස්ටන් ද සිල්වා
ප්‍රචාරය - ගුවන් විදුලි සරල ගී 1953
සඳ දිළිහි දිළිහි අර
ගැ - සඳ දිළිහි දිළිහි අර ටික ටික හෝ
නැඟේ ශාන්ති ගී දහරා හෝ
නැඟේ ශාන්ති ගී දහරා
පි - සඳ දිළිහි දිළිහි අර
ගැ - පේ‍්‍රමේ සුමිහිරි ගීයේ
රස දහරා ඒ මල් මීයේ
රස උරා ඒ මල් මීයේ
පර මල් ගම් තීරේ ගලා ඒ
ගායනය - කල්‍යාණි අභයසුන්දර හා ජිනදාස ගුණසේකර
ප්‍රචාරය - ගුවන් විදුලි සරල ගී 1952
මේ මධුර උදා ගීතේ
මේ මධුර උදා ගීතේ
ප්‍රීති ප්‍රීති
අරුණාලෝකේ
අඹරේ පැතිරේ
ප්‍රේම ගීත රස
ගේන ඈත සිට
කෝකිල නාද දිදී
සීතල සුළඟ ඇදේ
ශාන්ත උදයේ මේ
ළහිරු නැඟ ආවේ
ලාලනිය මඳහාස පාන
අති කෝමල තාමරසී
ලාලිත ගතිය ගෙනේ
මේ මධුර උදා ගීතේ
ගායනය - කල්‍යාණි අභයසුන්දර
සංගීත නිර්මාණය - බී. ඇස්. පෙරේරා
ප්‍රචාරය - ගුවන් විදුලි ‘උදා ගීත’ 1952
ගීත සාගරේ සංගීත සාගරේ
ගීත සාගරේ
සංගීත සාගරේ
හැම දා නොසිඳී ගලනා
ගීත සාගරේ
ලෝකෙ සෑම දේ ම
නැතිව යාවි ඇති වෙලා
මෝහනීය ආදරේ
සැමදා නොවේ ලොවේ
හේළි මීර පතා
හදෙහි තාල නඟ නඟා
ගීත හඬ නඟා
හැම දා නො සිඳී ගලනා
ගීත සාගරේ
ගායනය - කල්‍යාණි අභයසුන්දර
සංගීත නිර්මාණය හා සංගීතය - බී. ඇස්. පෙරේරා
ප්‍රචාරය - ගුවන් විදුලි ‘උදා ගීත’ වැඩසටහන 1952
උයනේ කුසුම් රේණු සැලේ
සීත දැනෙන්නේ
රෑයාමෙ මන්ද මාරුතයේ
සීත දැනෙන්නේ
තුරුලේ නිදි නෑ භෘංගයෝ
තනි වී අනේ නෙළා ගියේ
රජුගේ සුසාර මල් උයනේ
සීත දැනෙන්නේ
ගායනය - කල්‍යාණි අභයසුන්දර
ස්වර රචනය - බී. ඇස් පෙරේරා
ප්‍රචාරය - ගුවන් විදුලි කම්කරු පැය වැඩ සටහන 1951
පෙනේ තාරුකා රාසී පිපී මල් වගේ හා
වලාවෝ බෙදී පාවේ රිදී මාළිගා සේ
ගුවන්තල මැදේ - මතු වී - හෝ
හිනැහේවි චන්ද්‍රා - හෝ - හෝ
දිළේ චාන්දනි මාලා දිදී කාන්ති ධාරා
ඇසේ ගෝපිකා ගීතේ අනේ ඇගෙ ගීතේ
පැලේ පේන ආලෝකේ හදේ ගාව දේ දෝ
ගොයම් කෙත පැසී - බර වී - හෝ
සිරියාව පාවී - හෝ - හෝ
වෙලේ ජීවිතේ ලෝකේ උදාරයි විනෝදේ
ගායනය - කල්‍යාණි අභයසුන්දර
ස්වර රචනය හා සංගීතය - බී. ඇස්. පෙරේරා
ප්‍රචාරය - ගුවන් විදුලි ‘කම්කරු පැය’ වැඩ සටහන 1951
හෝ කවුදෝ පැලේ මෙම යාමයේ
හෝ වනමල් සොයා මම ආවෙමි
හෝ වඳිනට සිරි පා - මුනි ගේ
සරණේ සරණේ තුන් සරණේ - හෝ
හෝ වඳිනට සිරි පා මුනිගේ
මාගෙ සේලේ අනේ ගත්තේ කවුදෝ පැලේ
දෙන්කො සිරි පා පුදන්ටයි මේ යන්නේ අපි
හෝ වඳිනට සිරි පා මුනි ගේ
කාගෙ කවුදෝ තී ආවේ මේ වේලේ කෙසේ
කොයිද සිරි පා තිබෙන්නේ
මේ කන්දේ අනේ
හෝ වඳින්ට සිරි පා - මුනි ගේ
ඈත කන්දේ ශ්‍රී පාදේ
ශී‍්‍ර දේවි උතුම්
එන්න මා හා මේ පාරේ දමන්නම් කුසුම්
හෝ වඳින්නට සිරි පා - මුනි ගේ
සරණෙ . . .
ගායනය - ජිනදාස ගුණසේකර සහ කල්‍යාණි අභයසුන්දර
ස්වර රචනය හා සංගීතය - ලයනල් එදිරිසිංහ
ප්‍රචාරය - ගුවන් විදුලි සරල ගී 1951
කල්‍යාණි සමඟ වැඩිම යුග ගී ගැයූ ගායකයා ජිනදාස ගුණසේකර, ප්‍රවීණ රංගවේදී පියදාස ගුණසේකරගේ වැඩිමහල් සොහොයුරෙකි.
කල්‍යාණියට ඉතාම ලස්සනට අත් අකුරු ලිවිය හැකිව තිබුණාය. චිත්‍ර කලාවට, අත්කම්, මැහුම් ගෙතුම් මෙන්ම සූප ශාස්ත්‍රයට බොහොම දක්ෂය. ඇය තමන්ගේ මුලින්ම කෙටිකතා පොතක් කළා යැයි සැලකෙන්නේ කාන්තාවක් ලෙස ‘උද්‍යාන යාත්‍රා’ පොතයි. එය 1960 වසරේ ජූලි මාසයේ ගුණසේන සමාගම ප්‍රකාශයට පත් කරන ලදී
ඇගේ සැමියා වූ විමල් අභයසුන්දරයන් සිය බිරිඳට අත්වැලක් වෙමින් අත හිත දුන්නේය. ‘උද්‍යාන යාත්‍රා’ කෙටිකතා සංග්‍රහයට ‘සීගිරියේ වීණාවාදිකා’ නම් ඓතිහාසික කෙටිකතාව ලියා දී ඇත්තේ ඇගේ පරමාදරවත් සැමියාය. තමා විසින් ලියන ලද කෙටි කතා එකොළහ අතරට තම සැමියාගේ ඒ කතාව ද එක් වී ඇත. ඒ ගැන ඇය මෙසේ සඳහන් කර ඇත්තේය.
‘මගේ ඉල්ලීම අනුව එම කතාව ලියා දීමෙන් ද මෙම කෙටිකතා එකතුව සකස් කොට ප්‍රකාශයට පැමිණවීමට සහයෝගය මෙහිලා ඉත සිතින් සඳහන් කරන්නේ මෙම පරිශ්‍රමයෙන් යම් කිසි ගෞරවයක් අත් වෙතොත් එය ඉඳුරාම ඔහුට හිමි වන බව සපුරා පළ කරමිනි.’
ඇගේ සැමියා විසින් ලියූ ‘සංගීත සංහිතා’ නම් මහා ග්‍රන්ථය භාරතීය සංගීතයේ කතා පුවත වටා ගෙතුණු මෙබඳු ගතක් සිංහලයෙන් පළ වූ පළමුවැනි වතාවය. 1963 වසරේ ප්‍රකාශයට පත් පිටු 1299 යුතු මේ කෘතිය භාරතීය සම්භාව්‍ය සංගීතයේ සිංහල ගුරු පොතක් බවට පත් වූ කලා විශ්වකෝෂයක් බඳුය. මේ කෘතිය පිළිගන්වා ඇත්තේ තම බිරිඳටය.
‘මේ ගත කවරක උදෙසා ලියැවිණි ද ඇයට . . . . කල්‍යාණිට‘ කියාය.
විමල් හා කල්‍යාණියට දූ දරුවන් හතර දෙනෙකි. ප්‍රණීත් නිෂාද, අර්ජුන උපුල්වන්, පුලස්ති සරෝජන්, සුභානි ලාවණ්‍යා මේ සිව්දෙනාය. ආචාර්ය ප්‍රණීත් ශ්‍රී ජයවර්ධන විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙකි. ගීත රචකයකු, රාජ්‍ය සම්මාන ලැබූ ලේඛකයෙකි. අර්ජුන විදේශගතව සිටී. පුලස්ති ව්‍යාපාර කටයුතුවල යෙදෙයි. සුභානි දියණිය කොළඹ විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යා පිළිබඳ විශේෂ උපාධියක් ලබා ඇත.
ගුවන් විදුලියේ කවි මඩුව, යෞවන සමාජ, ගුවන් විදුලි නාට්‍ය, විචිත්‍රාංග, සංගීත ප්‍රණීතාංග ආදී වැඩසටහන්වලට සහභාගි වූ ගුවන් විදුලි ශිල්පිනියක් වූ කල්‍යාණි අභයසුන්දර අගනුවර තරුණ කවි සමාජයේ ක්‍රියාශීලි සාමාජිකයකු වූ අතර සංග්‍රහශීලී කාන්තාවක් ලෙස කැපී පෙනුණාය.
සංගීතමය, ගායන, වාදන හැකියා සියල්ල පසෙකලා විමල් අභයසුන්දර සිය සැමියාගේ ජීවිතයටත්, තමන්ගේ දරුවන් හදා වඩා ගන්නටත්, ඉතාමත් සැදැහැති උපාසිකාවක් ලෙස පින් කරන්නටත් ඇය ජීවිතයම කැප කළාය. තම ඥාතින්ට හැකි පමණින් සැලකුවාය.
1998 මැයි මස 11 වෙනිදා කල්‍යාණි අභයසුන්දර ජීවිතයෙන් සමුගත්තාය. ඇයගේ දයාබර සැමියා විමල් අභයසුන්දරයන් විසින් රචනා කළ ‘දෙනුවන’ පද්‍ය සංග්‍රහය හා ‘ආදිම යුගයේ බෞද්ධ කාන්තාවෝ’ යන විචාරාත්මක අපදාන නිබන්ධ කෘති පිළිගන්වා ඇත්තේ ඇයගේ නාමයටය.