වර්ෂ 2023 ක්වූ December 04 වැනිදා Monday
පෙම්වතිය අහිමි වේ යැයි සිතා “මුළු හදින් මම ඇයට පෙම් කොට” ලියූ

අදින් වසර 60 කට පමණ පෙර කළුතර විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ පන්තියේ ඉගෙනුම ලබමින් සිටි කලාවට ළැදි සිසුන් තිදෙනෙක් එක්තරා හවස් යාමයක කළු ගඟ අද්දර සතුටු සාමීචියේ යෙදී සිටියහ. මේ මිතුරන්ගෙන් එක් අයෙක් කවියකු ලේඛකයකු වීමට ද, තවත් ශිෂ්‍යයකු චිත්‍රපට නළුවකු ගායකයකු වීමට ද, තවත් ශිෂ්‍යයෙක් චිත්‍ර ශිල්පියෙකු හා නාට්‍ය නිෂ්පාදකවරයකු වීමට සිහින මැව්වෝය. මේ තිදෙනාම පසු කලෙක සිය අභිමාර්ථ ඉෂ්ඨ කර ගැනීමට සමත් වී කලා ක්ෂේත්‍රයේ ඉහළටම ගියහ. ලේඛකයකු වීමට සිතූ එඩ්මන්ඩ් ජයසූරිය රාජ්‍ය සම්මාන දිනූ ග්‍රන්ථ කතුවරයකු, ගීත රචකයකු, නවකතා රචකයකු, පරිවර්තකයකු පමණක් නොව මෙරට කර්තිමත් පරිපාලන නිලධාරියකු විය. ඔහු පසුගිය 27 වැනි සඳුදා මත්තේගොඩ සුසාන භූමියේදී අවසන් ගමන් ගියේය.
චිත්‍රපට නළුවකු හා ගායකයකු වීමට සිහින මැවූ නාරද දිසාසේකර නම් සිසුවා නළුවකු වීම පසෙක ලා ලංකාවේ ප්‍රවීණ ගායකයකු හා චිත්‍රපට සංගීත අධ්‍යක්ෂවරයකු විය. මුල්ම සරසවිය සම්මාන උලෙළේදී හොඳම චිත්‍රපට පසුබිම් ගායකයා ලෙස සම්මාන දිනුවේ ඔහුය. තෙවැන්නා චිත්‍ර ශිල්පියකු, මූර්ති ශිල්පියකු විශේෂයෙන් සම්මාන පිට සම්මාන දිනූ ළමා නාට්‍ය නිෂ්පාදකවරයකු වූ මොරටුව වේල්ස් කුමාර විද්‍යාලයෙන් ජාත්‍යන්තර සම්මාන දිනූ නළුවන්, සම්මානනීය ළමා නළුවන් රැසක් බිමි කළ නාට්‍ය නිෂ්පාදක, චිත්‍ර ගුරු තිස්ස ගුණවර්ධන විය. මේ මිත්‍රයන් තිදෙනාම අද ජීවතුන් අතර නැත.
මේ මිත්‍රයන් තිදෙනාගෙන් අද අප කතා කරන්නේ එඩ්මන්ඩ් ජයසූරිය හෙවත් බෝදියාබදුගේ ආරියදාස එඩ්මන්ඩ් පෙරේරා ජයසූරිය ගැනය. 1935 දෙසැම්බර් 29 වෙනිදා බේරුවල උපන් ඔහුගේ පියා ගමේ ගම්මුලාදෑනියාය. පියාගේ ආභාසයෙන් පොතපත කියවීමට ආසා කළ එඩ්න්ඩ් කෙටිකතා රචකයකු ලෙස’ජනතා’ පත්‍රයෙනුත්, කවියෙකු ලෙස ‘දින දින’ සඟරාවෙන් දොරට වැඩීමට උපකාර කර ඇත්තේ සෝමපාල රණතුංග හා ජී. ඩබ්ලිව්. සුරේන්ද්‍රය.
කළුතර විද්‍යාලයේ ඉගෙන ගන්නා කාලයේ තමා නාරද දිසාසේකර සමඟ ගත කළ රසබර ජීවිතය එඩ්මන්ඩ් මට විස්තර කර ඇත.
‘එකල නාරදත් මමත් කළුතර විද්‍යාලයේ එකම පන්තියෙ ශිෂ්‍යයෝ. කළු ගඟ අසල පිහිටි විද්‍යාලය එකල පවත්වාගෙන ගියේ අල්විස් වලව්ව නමින් හැඳින් වූ විශාල මන්දිරයකය. නාරදගේත් මගේත් ජීවිතයේ විනෝදාංශය වූයේ චිත්‍රපට බැලීමයි. කටුකුරන්දේ ඉම්පීරියල් තියටර්ස් සිනමාහලට ගොස් හින්දි චිත්‍රපට බැලීමයි. අන්මෝල් ගාඩි, ඩීඩාර්, රත්තන්, බාජු බවුරා, මදර් ඉන්දියා, අවාරා වැනි හින්දි චිත්‍රපට අප දෙදෙනා බැලුවේ දිවා ආහාරය සඳහා තිබෙන මුදල් ඉතිරි කරගෙන ශත 55 දී මිල දී ගත් ගැලරි ආසනවල ඉඳගෙන. වරක් නාරද ‘ඩීඩාර්’ බලා පැමිණි දාක එහි අන්ධ ගායකයකු ලෙස දිලිප් කුමාර්ගේ භූමිකාව ‘මේරි කාහානි බූල්නෙ වාලේ’ ගීය ද ගයමින් රඟපෑ අයුරු මට අද වගේ මතකයි. දිලිප් කුමාර්ගේ හැඩරුව තිබුණු කඩවසම් තරුණයකු වූ නාරද කෙරෙහි අනාගතයේ චිත්‍රපට නළුවකුවීමේ රහසිගත ආශාවක් තිබුණ බවට මට නම් සැකයක් නැත.
ඉර බැස යන ඇතැම් දවසක කළු ගං තෙර කුඹුක් සෙවණේ වාඩි වී සැඳෑ හිරු රැස් වැටී දිදුලන දිය රැළි දෙස හෙලූ නෙතැතිව මාත්, නාරදත්, ඩොස්ටොව්ස්කි, ගෝර්කි, චෙකොෆ්, ෂෝන් පෝල් සාත්‍රෙ, කැමූ, හෙස යන නවකතාකරුවන්ගේ කෘති පිළිබඳව වාද විවාද කර ගත් කාලය මගේ ජීවිතයෙන් උපුටා දැමීමට නොහැකියි’ එඩ්මන්ඩ් මට පැවසුවේ නාරද මියගිය දිනයේදීය.
යොවුන් වියේ සිටම එඩ්මන්ඩ් ගීත රචනා කර ඇත. මේ කියන කාලේ ඔහු කළුතර බාලිකා විද්‍යාලයේ ඉගෙනුම ලැබූ යුවතියක පිළිබඳ ඔහුට සිතක් තිබුණි. ඒ ගැන රස තොරතුරු ඔහු මට හෙළි කළේ මෙසේය ‘අපි දෙදෙනා ආදරය කළා. ඇගේ නම රාණි තිලකා සිරිවර්ධන. අපි හැම පෝයටම කළුතර බෝධියේ හමුවෙන්න බලන් ඉන්නවා. එක පෝයක ඇය පැමිණියේ නැහැ. රාත්‍රී 7 ට පසු ඇගේ පැමිණීම නිෂ්ඵල දෙයක්. අපි දෙදෙනාගේම ගෙවල් තිබුණේ කළුතර බෝධිය අසළ දකුණු කළුතර පැත්තේ. එදා බලාපොරොත්තු සුන් වී ගෙදර ගිහින් මම හඳ ඇති ඒ රාත්‍රියේ මෙහෙම හිතුවා. ඇය මට නොලැබේද? නොලැබුණොත් මා කුමක් කරන්නද?
පසුදා මම මුහුදු වෙරළට ගිහින් හුදෙකලාවේ මේ ගැන මතක් කරමින් සිටියා. මුහුද පැත්තෙන් හමා ආ සිහිල් සුළං රැල්ලක් මා සිසාරා ගියා. ‘දින දින’ සඟරාවට ධර්ම ශ්‍රී කුරුප්පු ලියූ කාව්‍ය සංකල්පනාවක් මතක් වුණ. විලියම් වර්ඩ්ස්වත් ලියූ SOLITARY REAPER ඇසුරෙන් ධර්ම ශ්‍රී කුරුප්පු ලියූ පද්‍ය සංකල්පනාවක් මගේ හිතේ තිබුණා.
‘පළා මිටියක් අතින් අරගෙන
නැඹුරු වී මේ වෙල මැදේ
බලාගෙන ඇයි හුදකලාවම
අහිිංසක පිටිසර ළඳේ
මේ කවියේ මාත්‍රා අනුව මගේ සිතිවිලි පිබිදුණා. මම හුදෙකලාවෙම පෑනෙන් අර කවිය අනුව මෙහෙම ලිව්වා.
“මුළු හදින් මම ඇයට පෙම් කොට
අනාගත පෙම් සිහින මැව්වෙමි
මගේ සොඳුරිය තවත් කෙනෙකුට
අයිති වන හැටි බලා දුක්වෙමි
නිසංසල තැනකට වෙලා
අඬන මගේ ඇස් දෙක බලා
කියන්නකෝ දෙවියනේ මෙහෙවිත්
කොහොම ඉන්නද ඉවසලා
මගේ අත ගෙන කණට ළං වී
අනේ සුදු මට ආදරේ යැයි
කියන්නට සිතුවේ ඇයි ද සුදු
නොසිතුවෙද මට දුක් ලැබේ යැයි
නිදැල්ලේ තුරුලට වෙලා
රහස් එක එක කොඳුරලා
සිනාසුණු හැටි මතක් වෙන කොට
කොහොම ඉන්නද ඉවසලා
එදා රෑ ගං ඉවුර අසබඩ
සුපුන් සඳ පායන වෙලාවක
කතා කී හැටි මතක් වෙන කොට
දුක දැනෙයි පවතින අපායක
මෙහෙම ලෝකෙක ඉපදිලා
සිතෙහි අදහස් සුන් වෙලා
මේ පද්‍ය සංකල්පනාව ඇතුළු මා ලියූ කුරුටු ගෑ දෑ අඩංගු ෆයිල් එකක එකතු වුණා’ එඩ්මන්ඩ් අපට කීවේ සිතින් යෞවන වියට යමිනි.
එක්තරා හවසක නාරද දිසාසේකර හිටි හැටියේ කලබලයේ එඩ්මන්ගේ නිවසට පැමිණියේය. ඒ වන විට නාරද ගුවන් විදුලියේ කාර්මික නිලධාරියෙකි.
‘මචං එඩ්මන්ඩ් මට රේඩියෝ සිලෝන් එකෙන් සරල ගී වැඩ සටහනක් ලැබිලා තියෙනවා. මම ආවේ උඹට කියලා සින්දුවක් ලියව ගන්න. අනික් සින්දු දෙක කරුණාරත්න අබේසේකරයි, සරත් විමලවීරයි ලිව්වා’ නාරද කීවේය.
‘මට අලුතින් සින්දු ලියන්න බැහැ මේ හදිසියට. මම කුරුටු ගාපු කවි මේ ෆයිල් එකේ ඇති. උඹට හොඳයි කියලා හිතෙන එකක් තෝර ගනින්’ එඩ්මන්ඩ් කියා ඇත.
නාරද ෆයිල් එක පීරා තෝරා ගෙන ඇත්තේ ‘මුළු හදින් මම ‘ සංකල්පනාවය.
‘මචං . . . මේක හොඳයි, මම කුලරත්න තෙන්නකෝන්ට කියලා තනුවක් හදා ගන්නම්’ නාරද රටක් රාජ්ජයක් ලැබුණාසේ කෑගසා කියා අතුරුදන් වී ඇත.
පසු කලෙක නාරද මට මෙසේ කීවේය.
‘එඩ්මන්ඩ් ලියූ මේ ගීතය වෛරයෙන් තොර දුක්වීමක් හැටියටයි මම සලකන්නේ. ඔහු දක්ෂ ගීත රචකයෙක්. ඔහු ලියූ තවත් ගීතයක් මම ගැයුවා. එහිත් තනුව අකාලයේ අපිට අහිමි වූ සංගීතඥ කුලරත්න තෙන්නකෝන්ගේ. මේ ඒ ගීතය යයි නාරද එහි මුල් පද පේළිය මිමිනුවේය.
‘ඇය පමණයි මගේ මිහිරි
ඒකයි ලතවන්නේ
ඇය සඟවා ගෙන ගොස් උන්
ඇයි මට දුක දෙන්නේ’
එඩ්මන්ඩ් නාරදට ලියූ තවත් ගීතයක් එම්. කේ. රොක්සාමි සංගීතය නිර්මාණය කර ඇත.
‘රන් රිදී වස්තුව මට එපා මට
හිරු නඟින තෙක් සිටින්නම්
ළඟින් ඉඳගෙන මිහිරි කවි පද
කනට කොඳුරා කියන්නම්’
එඩ්මන්ඩ් යෞවන වියේ පෙම් බැඳි රාණි තිලකා සිරිවර්ධන 1966 වසරේ සිට ඔහුගේ සහකාරිය, මිතුරිය, සොහොයුරිය ලෙස ඔහුට අත්වැලක් වූ බව ඔහු අපට කියා ඇත. මේ යුවළට පුතුන් තිදෙනෙකි. දසන්ත ජයසූරිය පන්නිපිටියේ ධර්මපාල විද්‍යාලයේ ආචාර්යවරයෙකි. රවි ජයසූරිය විජය පුවත්පත් ආයතනයේ පුස්තකාලයේ සේවය කරන අතර බාල පුතු සංජීව ජයසූරිය පුද්ගලික සමාගමක ප්‍රධාන තක්සේරුකරුවෙකු ලෙස සේවය කරයි.
එඩ්මන්ඩ් ජයසූරිය ද්වි භාෂා උගතෙකි. සාහිත්‍ය විචාරකයෙකි. ඔහු ඩේලිනිවුස් පත්‍රයට සාහිත්‍ය විචාර තුරුණු වියේදී ලීවේ ඡ්. බ්. නමිනි. ගුවන් විදුලියේ තිලක සුධර්මන් ද සිල්වා මෙහෙය වූ ‘විවේචන විමර්ශන’ තුළින් ඔහු හොඳම නවකතා කෙටිකතා, කවි රටට හඳුන්වා දුන්නේය.
ඔහු ලියූ ‘මුළු හදින් මම ඇයට පෙම් කොට’ ගීතය 50 දශකයේ කොපමණ ජවප්‍රිය වී ද යත් ‘ඉවිනිං ඔබ්සවර්’ පත්‍රයේ පාඨක පිටුවට songs sends man insane (මිනිහෙකු පිස්සු වැට්ටුව ගීතය) නමින් ලිපියක් ලියා තිබුණි. ප්‍රේම වියෝවෙන් පසු වූ තමා මේ ගීතය අසා අසළ තිබූ රේඩියෝවට පොරවකින් ගසා දෙපළු කළ බව පවසා තිබූ එඩ්මන්ඩ් මට කියා ඇත. තමා ලියූ ගීතයේ ‘තුරුලට වෙලා’ වචන ගුවන් විදුලි බලධරයන් කපා ‘නිදැල්ලේ අපි එක් වෙලා’ නමින් වෙනස් කළ බව ද එඩ්මන්ඩ් කීවේ සිනාසෙමිනි.
එඩ්මන්ඩ් ‘සැළලිහිණි සන්දේශය’ ඉංග්‍රීසියට පරිවර්තනය කළේය. 2004 හොඳම පරිවර්තනය ලෙස රාජ්‍ය සාහිත්‍ය ත්‍යාගය දිනුවේ එම කෘතියයි. ‘වැව් බැඳි රාජ්‍යයේ සවාරියක්’ ‘තොටුපළේදී හමු වූ යුවතිය’ (නවකතාව) ලියූ ඔහු ‘ගිරා සන්දේශය’ ථෙරී ගාථා ද ජයසේන ජයකොඩිගේ පිච්ච මල, කරුණාදාස සූරියආරච්චිගේ ‘කළු දෝංකාරය’ නවකතා ද ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කළේය.
කෘතහස්ත පරිපාලන නිලධාරියකු වූ එඩ්මන්ඩ් අනුරාධපුරයේ උප දිසාපති, සංස්කෘතික ත්‍රිකෝණයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ධුර ද ලබා පසුව ජනාධිපති කාර්යාලයේ අතිරේක ලේකම් ධුරය දැරීය. පූජ්‍ය ගංගොඩවිල සෝම හිමි අපවත්වීමේ ජනාධිපති කොමිෂන් සභාව, සුනාමි පිළිබඳ ජනාධිපති කොමිෂන් සභාව, යුධෝපකරණ මිලට ගැනීම පිළිබඳ ජනාධිපති පරික්ෂණ කොමිෂන් සභාව යන කොමිෂන් සභාවල ලේකම් ලෙස භාරදූර තනතුරු හෙබ විය.
මත්තේගොඩ නිවාස සංකීර්ණයේ පදිංචිව සිටි මේ අව්‍යාජ, සරළ, මානව දයාවෙන් යුතු මිනිසා ගත කළේ නිශ්ශබ්ද ජීවිතයකි. තනතුරු, වරප්‍රසාද , වරදාන පසුපස ලුහුබැඳ නොගිය මේ මිනිසා උතුරා යන මානව දයාවෙන් යුතුව මිනිසුන්ට, විශේෂයෙන් නුවර කලාවියේ මිනිසුන්ගේ ජීවන සුවඳට ආලය කළ අසමාන චරිතයක් විය.
වසර 50 ක් එඩ්මන්ඩ් ජයසූරිය නම් වැඩිහිටි මිත්‍රයා මට සමීපව ඇසුරු කිරීමට ලැබිණ. ඔහු මිය යාමට මාස පහකට පමණ පෙර මම ඔහුගේ සුව දුක් විමසීමට ගියෙමි. සුමති සම්මාන උලෙළේ ජූරි සභාවේ සභාපති ලෙසත් සාමාජිකයෙකු ලෙසත් කටයුතු කළ කාලය තරම් රසවත් කාලයක් මට හමු වී නැත. බොහෝ ඇසූ පිරූ තැන් ඇති මේ අව්‍යාජ මිනිසා වියෝවීම මගේ ජීවිතයේ ද අඩුවකි.
තම පුස්තකාල කාමරයට වී නොතිත් ආසාවෙන් පොතපත කිය වූ ඔහු මත්තේගොඩ සිටිය ද සිත තිබුණේ නුවර කලාවියේ අව්‍යාජ මිනිසුන් ළඟය. වෑකන්ද බක් මී හෝ කුඹුක් ගසක සෙවණේ වාඩි වී ගමේ වැඩිහිටියන් සමඟ කතා කරමින් ඔවුන්ගේ දැනුම උකහා ගනිමින් පැරණි සීපදයක් ගැමි කතාවක් අසමින් නොදරුවකු ලෙස බලා සිටි අයුරුත්, වැව් ඉස්මත්තේ තුරු සෙවණේ වාඩි වි නෙළුම් කොළයකට බෙදා දෙන කැකුළු හාලේ බතක්, කිරි හොද්දක්, අඟුණකොළ මැල්ලුමක්, බැඳුමක් දිව්‍ය ආහාරයක් සේ අනුභව කිරීම ඔහු සිතින් ස්පර්ශ කළේය.
මෙවැනි පරිපාලන නිලධාරීන් අද කොහිද?