වර්ෂ 2023 ක්වූ December 04 වැනිදා Monday
භාරතය මවිත කළ තබ්ලා වාදකයා

ලක්නව් භාත්ඛණ්ඩ සංගීත විශ්වවිද්‍යාලයේ සංගීතය ඉගෙනීමට මීට වසර 60 කට ඉහත භාරතය බලා ගිය ළාබාල තරුණයෙක් තබ්ලා වාදනයෙන් කොතරම් නිපුණතාවක් දැක් වුයේ ද යත් එහි සිසුන් මෙන්ම ගුරුවරු ද මවිතයට පත් කළේ්ය. ඔහු හිමිදිරි පාන්දර නැගිට තබ්ලා වාදනය පුහුණුවනු බැලීමට පැමිණෙන සිසුන් සැඟ වී ඒ දෙස භාවනානුයෝගීව බලා සිටි අයුරු එකල සුලභ සිද්ධියක්ලු.
ඔහු පසු කලෙක විශිෂ්ට ගාන්ධර්වයකු, තාල වාදන ශිල්පියකු, චිත්‍රපට සංගීතඥයකු, ගායකයකු වූ පී. ෂෙල්ටන් පෙරේරාය. ෂෙල්ටන් කලා පසුබිමකින් පැවත එන විශිෂ්ට දෙමාපියන් යුවළකගේ පුතෙකු වීමට වාසනාව ලැබී තිබුණි. එබැවින් ‘ගහේ කටු උල් කරන්න ඕනෑ නෑ’ නම් සිංහල ප්‍රස්තා පිරුළ (ස්වභාවයෙන්ම සිදු වන දේ සම්බන්ධයෙනි) අපට සිහිපත් කරයි.
ෂෙල්ටන්ගේ පියාගේ නම ටී. විල්බට් පෙරේරාය. 1904 දී පිටකොටුවේ උපන් විල්බට් පෙරේරා එකල ටවර් රඟහල ඒකාලෝක කළ රංගනයෙන් පමණක් නොව කඩවසම් රූපයෙන් ද රසිකයන් මනමෝහනය කළ රංගවේදියකු විය. බටහිර සිනමාවේ රූමත්ම නළුවා මෙන් ලංකාවේ රුඩෝල්ෆ් වැලන්ටිනෝ ‘ඛ්ඥරතධද අභඤධතනඩ ඍචතඥදබඪදධ’ නමින් ප්‍රකට විල්බට් පෙරේරා නාට්‍ය ජීවිතය ඇරඹුවේ ජෝසෆ් ද සිල්වා සහ විට්ටච්චි විසින් සංවිධානය කළ විට්ටච්චි සංචාරක නෘත්‍ය සමාගමෙනි. ඉන්පසු ඔහු ටවර් හෝල් ආරිය සිංහල නාට්‍ය සභාවට බැඳී රංගනයේ යෙදුණේය. ඔහු රඟපෑ ‘ඔතලෝ’ නාට්‍යයේ කොතරම් උසස් රංගනයක් ඉදිරිපත් කළා ද යත් ඒ සඳහා රන් පදක්කමක් ද ‘හෙළදිව පුරඟන’ නාට්‍යයේ වික්ටර් හාමුගේ චරිතය ද රන් පදක්කමක් හිමි කරගෙන ඇත. ඔහු රඟපෑ සෙසු නාට්‍ය අතර ඇහැළේපොළ, සිරිසඟබෝ, විදුර, වෙස්සන්තර කැපී පෙනුණි. ඔහු ගායකයකු ලෙස ද ප්‍රකට වූ අතර ගුවන් විදුලියේ විශිෂ්ට ශ්‍රේණියේ ගායකයකු විය.
ෂෙල්ටන්ගේ මව වූ එල්. කේ. සෝමකාන්තා ද වේදිකා නිළියකි. ඇය 1935 වසරේ රඟපෑ ‘චින්තාමනි’ නාට්‍යයේ චින්තාමනි කුමරියගේ චරිතය සඳහාත්, 1937 වසරේ ‘ඇහැලේපොළ’ නාට්‍යයේ කුමාරිහාමිගේ චරිතය සඳහාත් රන් පදක්කම් දිනා ගත්තාය. 1915 කොච්චිකඩේ උපන් ඇය වේදිකාවට පිවිසියේ වයස අවුරුදු අටේදී පමණ මීගමුවේ නාට්‍ය සන්දර්ශනයක සූත්‍රධාරි චරිතය රඟපාමිනි. ඇගේ දෙමව්පියන් දෙදෙනාම නර්තන ශිල්පීන් මෙන්ම සර්කස් ශිල්ප ශිල්පනියන් දෙදෙනෙකි. සෝමකාන්තා ගුවන් විදුලි නාඩගම් හා නෘත්‍ය හා නාඩගම් ගී ගායිකාවක් ලෙස විශිෂ්ට ශ්‍රේණියෙන් සමත් වී ඇත.
මෙවැනි පසුබිමක තොටගමගේ ෂෙල්ටන් පෙරේරා 1939 මාර්තු 20 වෙනිදා උපත ලැබුවේ පවුලේ දෙවෙනියා ලෙසය. වැඩිමලා ආතර් මියගොස්ය. තෙවැන්නී සූරිය රාණි චිත්‍රපට හා වේදිකා නිළියකි. ඊළඟට ග්‍රේෂන්ය. ඩේන්සන්, රෙක්සන්ගෙන් පසු පවුලේ බාලයා වූ කුමාරි පෙරේරාය. සරච්චන්ද්‍රයන්ගේ ‘මනමේ’ නාටකයේ මනමේ කුමරිය (1973 සිට 1980) ලෙස ද ‘සිංහබාහු’ නාටකයේ සිංහ සීවලී ලෙස ද රඟපෑ කුමාරි ජාතික රූපවාහිනියේ මුල්ම නිවේදිකාවන් අතුරින් එක් නිවේදිකාවකි. ඇය තවමත් ගුවන් විදුලි නිවේදිකාවක් ලෙස සේවය කරන්නීය. ඇගේ සැමියා වූ රංජිත් යාපා ද අල්විස් සංගීත අධ්‍යක්ෂවරයකු, රජයේ චිත්‍රපට අංශයේ චිත්‍රපට අධ්‍යක්ෂවරයකු ලෙස ද අයි. ටී. ඇන්. හි කෝපි කඩේ මුල්ම අධ්‍යක්ෂවරයකු සහ සංගීත අධ්‍යක්ෂවරයකු ලෙස කටයුතු කොට ඇත.
කුඩා කල සිටම සංගීතයට ඇලුම් කළ කුඩා ෂෙල්ටන් එච්. ඩබ්ලිව්. රූපසිංහ මාස්ටර්ගෙන් මූලික දැනුම ලැබුවේය. 1954 සිට 1955 වර්ෂවල ඔහු රජයේ සංගීත විද්‍යාලයට බැඳුණු ෂෙල්ටන් එහි විදුහල්පති ලයනල් එදිරිසිංහ මහතා යටතේ සංගීතය හැදෑරුවේය. එදිරිසිංහ මහතාගේම උපදෙස් පරිදි තබ්ලා වාදනය ප්‍රගුණ කළ ෂෙල්ටන්ට 1962 දී ඉන්දියාවට ගොස් වැඩිදුර ඉගෙනීමට ලොකු ආසාවක් ඇති විය. ඔහු 1980 වසරේදී තමාගේ ඒක පුද්ගල ප්‍රසංගය වූ ‘මිහිරැති වසන්ත කාලේ’ ප්‍රසංගය පැවැත් වූ අවස්ථාවේ මෙසේ අදහස් “සරසවිය” පුවත්පතට දැක් වූයේ මෙසේය.
“කුඩා කාලයේ සිටම මා තුළ තිබුණේ ඉන්දියාවට ගිහින් වැඩිදුර සංගීතය ඉගෙන ගන්න. බොහොම දුෂ්කරතා මැද මම ඉන්දියාවට ගිහින් භාත්ඛණ්ඩේ සංගීත විශ්වවිද්‍යාලයට ඇතුළත් වුණා. එහිදී මම ඔස්තාද් අහමඩ් ජාන් තිරක්වා, ඛාන්, ඔස්තාද් ඔස්තාද ඛාන් සහිබ්, පණ්ඩිත් හරිශංකර් මිශ්‍රා යටතේ තබ්ලා වාදනය ඉගෙන ගත්තා. ඒ අතර ඉන්දියානු ගුවන් විදුලි සේවයේ තබ්ලා වදකයකු ලෙස නමක් දිනූ ඔහු සංගීත සම්මේලනවලදී උසස් භාරතීය ගායක ගායිකාවන්ට හා ගෝපි ක්‍රිෂණ ආදී ලෝ පසිඳු නර්තන ශිල්පීන්ට තබ්ලා වාදනයෙන් සහාය වී ප්‍රසාදයට ලක් විය. ලක්නව් භාත්කණ්ඩේ සංගීත විද්‍යාලයේ භාරතීය සිසුන් අබිබවා ෂෙල්ටන් ගුරුවරුන් ඉදිරියේ ශිල්ප පෙන්වා අභිෂේක ලැබුවේය. ඔහු තම නවාතැනේ උදෑසන තබ්ලාව පුහුණුවනු බැලීමට භාරතීය හා ලෝකයේ විවිධ රටවල සිසුන් හොරා බලනු දැක ඔහු සම මෙත් දක්වා ඔවුන්ට තමන් දන්නා දේ කියා දුන්නේය.
“ෂෙල්ටන් ඔබ තබ්ලා වාදනයේ විශිෂ්ටයෙක්. ඔබ අපේ සංගීත විශ්වවිද්‍යාලයට සම්පතක්. එහෙත් ඔබේ අනාගතය ඇත්තේ ලක්නව්වල නෙවෙයිි, වහාම බොම්බායට යන්න. ඔබට එහිදී චිත්‍රපට කර්මාන්තයට සම්බන්ධ වී හොඳ අනාගතයක් හදා ගන්න පුළුවන්’. තම ගුරු ඔස්තාද් අහමඩ් ජාන් තිරක්වා ෂෙල්ටන්ට කීවේ ඔහු භාත්කණ්ඩේ සංගීත විශ්වවිද්‍යාලයෙන් සංගීත හා වාද්‍ය විශාරද (විශිෂ්ට ශ්‍රේණියෙන්) උපාධිය ලැබූ අවස්ථාවේදීය.
ලක්නව් භාත්ඛණ්ඩේ සංගීත විශ්වවිද්‍යාලයේ ෂෙල්ටන්ගේ ගජ මිතුරා වූයේ ලංකාවේ සිට සංගීතය ඉගෙනීමට පැමිණි ඇල්. පී. සෝමත්නය. සෝමරත්න ද තබ්ලා වාදනය හැදෑරුවේය.
භාරතයේදී ෂෙල්ටන් කළ හපන්කම් ගැන ගිරාගම ගුරු අභ්‍යාස විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පතිව සිටි සංගීතඥ ජයන්ත අරවින්දයෝ 1986 වසරේ පුවත්පතකට මෙසේ ලියා තිබුණි.
“විශේෂයෙන් තබ්ලා වාදකයකු වශයෙන් ඉන්දියාවේ උගත් කාලය තුළදීම එහි කීර්තියක් ඇති කර ගති. තබ්ලා වාදනයේදී ඔහුගේ දෑත ක්‍රියා කරන අයුරු බලා සිටීම නරඹන්නන් හට අපූරු අත්දැකීමක් විය.
ශාස්ත්‍රීය දෘත ලයාන්විත වාදනයේදී හා සරල ශාස්ත්‍රීය වාදනයේදී ද එනම් සාහර්වා, ලාවණි වැනි තාල වාදනයේදී ද සිත් කාවදින රිද්ම රටාවන් උපදවමින් අසන්නන්ගේ හා නරඹන්නන්ගේ භාවයන්ගෙන් පුබුදුවා ලොම් දැහැ ගැන්වීමට ඔහු සමත්ව සිටියේය. ශාස්ත්‍රීය පද වාදනයේදී බොහෝ තබ්ලා වාදනයේදී බොහෝ තබ්ලා වාදකයින් දක්වන ගාම්භීර කර්කෂ බව හා බර බව ඔහුගේ වාදන ශෛලියට ආගන්තුක වූයේය.
ෂෙල්ටන් පෙරේරාගේ ආගමනයට පෙර ලංකාවේ දක්ෂ තබ්ලා වාදකයන් ලෙස කැපී පෙනී ඇත්තේ පොඩි අමරදාස, ලොකු අමරදාස, පොඩි අප්පුහාමි (ගායක මිල්ටන් පෙරේරාගේ පියා) නඩරාජා, සෙල්ලදොරේ, කොඩිතුවක්කු, එම්. ආරියදාස ආදීන් බව පැවසේ. එහෙත් මෙය අසම්පූර්ණ නාමාවලියකි.
ෂෙල්ටන් පෙරේරා ලක්නව් සිටි බොම්බායට සම්ප්‍රාප්ත වන්නේ චිත්‍රපට ක්ෂේත්‍රයට එක්වීමට තිබූ බලවත් ආශාව නිසාය. ඔහු “සරසවිය” පුවත්පතට (1980. 5. 12) ඒ ගැන (පියසේන ගමගේට) කියා තිබුණේ මෙසේය.
“මම බොම්බායට යන අවස්ථාවේ උදව් උපකාර කරන්න කිසිවෙක් හිටියේ නැහැ. ඔහොම ඉන්න අවස්ථාවේදීයි බොම්බායේ ප්‍රකට චිත්‍රපට අධ්‍යක්ෂ මදන් මෝහන් (වෝ කෝන් ති, මෙරා සායා, ආකේන්, වීර්සාරා සංගීත අධ්‍යක්ෂ) අකිල භාරතීය ගුවන් විදුලි වැඩසටහනකට සහභාගිවීමට ලක්නව් ගුවන් විදුලියට ආවේ. මදන් මෝහන්ට තම වැඩ සටහන සඳහා සංගීතය සැපයීමට කෙනෙකු අවශ්‍ය වුණා. ලක්නව් හි කිහිප දෙනෙකු කැඳවා බැලුවත් හරි ගියේ නැහැ. මේ නිසා තම වැඩසටහන අත්හැරලා යන්නයි සූදානම් වුණේ. ඒ අවස්ථාවේදී ලක්නව් ගුවන් විදුලියේ සිටි භූපේන්ද්‍ර සිං නම් මගේ මිතුරෙකු මඟින් මදන් මෝහන් හමුවන්න මට අවස්ථාව ලැබුණා. මගේ දක්ෂතා දැකලා ඔහු තම වැඩසටහනට මාව තෝර ගත්තා. ඒ අවස්ථාව වන විට මට හින්දි භාෂාව කතා කරන්න පුළුවන්. ඒ නිසා මදන් මෝහන් මගෙන් ඇහැව්වා ලංකාවේ කෙනෙක් ද කියලා. මගේ ගැන පැහැදුණ ඔහු මාව බොම්බායට කැඳවා ගෙන ගියා. ඔහු යටතේ මම තබ්ලා වාදනය කළා.
නෞෂාඩ්, ශංකර් ජෙයකිෂන්, සලීල් චෞද්රි, එස්. ඩී. බර්මන්, කල්යානන් ජී ආනන්ද්, ඇස්. මොහින්දර් ත්‍රිපාති, ආර්. ඩී. බර්මන් යටතේ චිත්‍රපටවල තබ්ලා වාදනය කළ එකම ශ්‍රී ලාංකිකයා ඔහුය.
තම පියා වූ විල්බට් පෙරේරා මියගිය බව ෂෙල්ටන්ට දැනගන්න ලැබුණේ කලකට පසුය. තම පුතු ඉගෙනීමේ කටයුතු අතරමඟ නවතා ගෙදර එතැයි සිතූ මව මේ ආරංචිය නොදීමට තීරණය කර තිබුණි. මිතුරෙකුගේ මාර්ගයෙන් පියාගේ අභාවය දැනගත් ෂෙල්ටන් බොම්බායේ සිට පෙරළා ලංකාවට ආවේ 1966 වසරේදීය. මුලින්ම රජයේ සංගීත ගුරුවරයකු ලෙස අම්පාරේ උහන මහා විද්‍යාලයට ගිය ඔහු ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ මුල් හින්දි නිවේදකයා ලෙස පත්වීම ලද ශ්‍රී ලාංකිකයා ඔහුය.
එවකට සිංහල චිත්‍රපට ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් වූ එම්. කේ. රොක්සාමි, පී. එල්. ඒ. සෝමපාල, ලයනල් අල්ගම, මොහොමඩ් සාලි, ටී. එෆ්. ලතීෆ් යටතේ තබ්ලා වාදනය කළ ෂෙල්ටන්ට හාපුරා චිත්‍රපටයක සංගීත අධ්‍යක්ෂණය කිරීමට අවස්ථාව ලැබුණේ ප්‍රවීණ චිත්‍රපට නළුවකු වූ ඩොමී ජයවර්ධන නිසාය. ඩොමීගේ මුල්ම චිත්‍රපටය වූ ‘දරු දුක’ චිත්‍රපටයෙන් ෂෙල්ටන් මුල්ම සංගීත අධ්‍යක්ෂවරයා ලෙස 1967 දී සිනමාවට එක් විය. කරුණාරත්න අබේසේකර ලියූ ගීත තුනකට ෂෙල්ටන් ස්වතන්ත්‍ර ගිත තුනක් නිර්මාණය කර ඇත. සුජාතා අත්තනායක ගැයූ ‘ගුවන් තොටිල්ලේ සඳ සැතපෙනවා’ ගීතය අතිශයින් ජනප්‍රිය විය.
ඉන්පසු ඩොමී ජයවර්ධනගේ ‘සිංගප්පූරු චාලි‘ චිත්‍රපටයේ ද ෂෙල්ටන් සංගීතය අධ්‍යක්ෂණය කළේ ප්‍රේමලාල් දන්වත්ත සමඟය. පසුව ෂෙල්ටන් 1967 තිරගත වූ එල්. එස්. රාමචන්ද්‍රන් අධ්‍යක්ෂණය කළ ‘සරුබිම‘ චිත්‍රපටය ‘ඉවසන දනා’ චිත්‍රපට ද, ටයිටස් තොටවත්ත අධ්‍යක්ෂණය කළ ‘අහල පහළ’ හා ‘පික්චර් පිස්සා’ (තෙවත) කෙටි චිත්‍රපටවල ද සුබේර් මාකීන් අධ්‍යක්ෂණය කළ ‘හදවත් නැත්තෝ’ චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂණය කළේ මොහොමඩ් සාලි සමඟය.
චිත්‍රපට පසුබිම් ගායකයකු ලෙස ද චිත්‍රපට කිහිපයකට ද ෂෙල්ටන් දායක විය. සිහසුන, හදවත් නැත්තෝ හා ටොම් පචයා මේ අතර කැපී පෙනෙයි. ගාමිණි ෆොන්සේකා අධ්‍යක්ෂණය කළ ‘පරසතු මල්’ චිත්‍රපටයේ බොනී මහත්තයාගේ නිවසේ එන දර්ශනයක ෂෙල්ටන්, අමරදේවයන් පසුබිමින් ගැයූ ගීතයක රඟපෑවේය. ගීතය රූපගත කිරීිමෙන් පසු ෂෙල්ටන්ගේ දෑසේ කඳුළු පිරී තිබුණේය. ගීතයේ අර්ථය භාවපූර්ණ දැක්වෙන ලෙස රඟපාන මේ අවස්ථාව එලෙසම චිත්‍රපටයට ඇතුළත් කිරීමට අධ්‍යක්ෂ ගාමිණි ෆොන්සේකා තීරණය කර ඇත.
සඳකත් පිනි දිය දිය වී ගලනා
සීතල කඳු අතරේ
හද ගොළු වී ඉකි බිඳ ඔබ හඬනා හඬ
මා සවනේ පෑරේ
නිසංසලේ රෑ අහසේ
නිසංසලේ රෑ ගන බොල් අහසේ
මිලාන වූ තරු එළියේ
ඔබේ නුවන් මිණි පහන් නැඟි
ඇවිළේ මා දෑසේ
සුසුම් හෙළන තුරු ලතා ළපල්ලේ
සිසිල් සුළඟ හා වෙළී
මගේ කවුළු දොර තුළින් එබී
ඔබ සොයා ඇදේ
ෂෙල්ටන් පෙරේරාගේ චිත්‍රපට පසුබිම් ගායන ජීවිතයේ සුවිශේෂ කඩඉම වූයේ 1985 සරසවිය සම්මාන උලෙළේ වසරේ හොඳම ගායකයා ලෙස සරසවිය සම්මාන ලැබීමය. මාලිනී ෆොන්සේකා අධ්‍යක්ෂණය කළ ‘සසර චේතනා’ චිත්‍රපටයට මහාචාර්ය සුනිල් ආරියරත්න ගේය පද ලියූ සරත් දසනායක සංගීත නිර්මාණය කළ මේ ගීතය පමණක්ම ෂෙල්ටන්ගේ ගායන දිවියේ මඟ සලකුණත් වනු ඇති.
බුදුනේ බුදු පියාණනේ
මනු සත් දෙරණේ අඳුර මකා
පුනරාගමනය කළ මැනවි
පුනරාලෝකය දෙනු මැනවි
පියාණෙනි ඔබ බෝ මැඬ සිටියත් නිසංසලේ
ඔබ සෙවණැල්ලේ දුසිරිත් වැඩි වෙයි
නිරන්තරේ
බැතියෙන් සපිරුණු ඔබගේ ලෝකය
නොදහම මැද මියැදී අවසානය
නිවන්පුරේ සිට අදිසි වෙසින් හෝ වැඩම කරන්
මිනිසත්කම ගැන බණ පදයෙන් මෝහය දුරලන්
ඔබ දුටු නිර්මල දැහැමි අතීතය
අදමිටු ජනයින් අතර අනාථය
ෂෙල්ටන් විවාහ වූයේ භාත්ඛණ්ඩේ විශ්වවිද්‍යාලයේ නැටුම් කලාව ඉගෙනීමට පැමිණි ශෂි නම් හින්දි යුවතියක පෙම් බැඳී වසර කිහිපයකට පසුය. ලංකාවට ගිය ෂෙල්ටන් ශෂී ගෙන්වාගෙන යුග දිවිය ඇරඹීය. පසුව ශෂී පෙරේරා ලංකා ගුවන් විදුලියේ හින්දි නිවේදිකාවක වූවාය. ෂෙල්ටන් ශෂී යුවළට දරුවන් පස් දෙනෙකි. සජේ, සුභාෂ් හා සතිස් පුතුන් ගෙන් පියා මෙන් ගායන හැකියාව තිබුණේ සතිස්ටය. ඔහු ගායකයකු මෙන් ප්‍රකට විය. සතිස් ලියුකේමියා රෝගයෙන් මිය ගියේය. අනුපමා පෙරේරා නැටුම් විශාරදවරියකි. අනුරාධා පෙරේරා සංගීත විශාරදවරියකි. ගායිකාවකි.
ෂෙල්ටන් පෙරේරා ශ්‍රී ලංකා ගුවන් විදුලියේ ශාස්ත්‍රීය ගායන හා තබ්ලා වාදන විශිෂ්ට ශ්‍රේණියේ ශිල්පියෙකි. සරල ගී හා නුර්ති ගී විශිෂ්ට ශ්‍රේණියේ ශිල්පියෙකි. ඔහු ගැයූ ගුවන් විදුලි ගීත අතර ජනප්‍රිය ගීත දෙකක් වඩාත් කැපී පෙනෙයි. ප්‍රේමකීර්ති ද අල්විස් රචනා කළ ‘මිහිරැති වසන්ත’ ගීතය නමින් 1980 මැයි 20 වෙනිදා ටවර් රඟහලේ ගී ප්‍රසංගයක් පැවැත්විය.
මිහිරැති වසන්ත කාලේ
කිම ඔබ මෙතෙක් නො ආවේ
ගිම්හානයේ ගිලන් වී
තනිවීමි වේදනාවේ
සිතුවිලි සිතුම් සඳැල්ලේ
ලතවෙයි රැඳෙයි නිදැල්ලේ
මිහිරක් කොහේද ඇත්තේ
කිව මැන මටත් වසන්තේ
මිහිරැති . . .
දාහය ගතේ වෙලීලා
කඳුළැලි නෙතින් ගලාලා
ඈතට ඇදී ගලා ඒ
සොයමින් ගෙවූ අතීතේ
සෙනෙහස ඔබෙන් උදා වූ
යුගයකි ගෙවා නිමා වූ
ෂෙල්ටන් පෙරේරා ගැයූ ජනප්‍රිය ගීත අතර ‘එගොඩහ යන්නෝ’, ‘අවසන් ලියුමයි ඔබට ලියන්නේ’, ‘මහ මුහුදු විමානේ’ , ‘වැහි බිංදු වරුසාවේ’, ‘හිමිදිරි එළියේ’, ‘මිහිතලය මත’, ‘දුර ඈත නොයන’, ‘කඳුළක් වුණා’ ගීත විශේෂයෙන් කැපී පෙනෙයි. මේ ගීතවල සංගීත නිර්මාණ ද ෂෙල්ටන්ගේය. ඩෝල්ටන් අල්විස් රචනා කළ මේ ගීතය ඒ අතරින් ද විශේෂය.
එගොඩහ යන්නෝ
මෙගොඩහ එන්නෝ
තව කවුරුද ඉන්නේ
තව කවුරුද ඉන්නේ
පමා නොවන්නේ
අඳුුර වැටෙන්නේ
යනවා නම් එන්නේ
මම මේ ගඟුලේ අඟුලේ නැඟලා
එගොඩ මෙගොඩ යනවා
ගඟුල අනෝමයි
අද මට වෙහෙසයි
යනවා නම් එන්නේ
මෙගොඩහ එන්නෝ
එගොඩහ යන්නෝ
තව කවුරුද ඉන්නේ
‘සීතා මා සිරියා ඉන්නේ’ ‘අගනා බඩුය මේවා’ ‘පුණ්‍යවන්ත’, ‘ලංකේන්ද්‍ර ස්වාමි’ පැරණි නුර්ති ගීත ද නැවත ෂෙල්ටන් ගයා ඇත්තේය. සංගීතඥ ජයන්ත අරවින්ද පවසා ඇත්තේ ෂෙල්ටන්ගේ ගායනය තුළින් ඉදිරිපත් වූයේ ශාස්ත්‍රීය සංගීත ශෛලියට නැඹුරු වූ නිවැරදි ස්වර ස්ථානවලින් යුත් එක්තරා ප්‍රමාණයක නාසික්‍ය ස්වර උච්චාරණයකින් ශෝභිත වූ මධුර කටහඬකින් ද යුතු ගායන ප්‍රකාරයක් බවය. ශාස්ත්‍රීය ගායනය, ඨුඕරි, භජන්, ගායන හා නුර්ති ගීත සඳහා එම කටහඬ මහත් සුසංගත භාවයකින් යුක්ත යයි ජයන්ත අරවින්ද අගය කර ඇත.
ජීවත් වූ අවුරුදු 47 ක කාලය තුළ ඔහුගේ කල්‍යාණ ප්‍රිය මිතුරන් වූයේ ජනප්‍රිය ගායන ශිල්පී ජේ. ඒ. මිල්ටන් පෙරේරා හා විශිෂ්ට තබ්ලා වාදක ඇල්. පී. සෝමරත්නය. ඔවුන් මධුපැණි බොමින් ගත කළේ සැහැල්ලු ජීවිතයකි. 1986 සැප්තැම්බර් 18 වෙනිදා ෂෙල්ටන් ජීවිතයෙන් සමුගන්නා විට ඔහුගේ වයස අවුරුදු 47 කි. ඔහුගේ අකල් මරණය ගැන ජයන්ත අරවින්දයන්ගේ මේ ප්‍රකාශයෙන් මේ ලිපිය අවසන් කරමි.
‘මීට අවුරුදු සිය ගණනකට පෙර තාන්සේන් නමැති ඉන්දියානු සංගීතඥයා මියගිය අවස්ථාවේ එබඳු සංගීතඥයකු මතු අවුරුදු දහසකටවත් නූපදින බව එකල සංගීතඥයන්ගේ මතය විය. ෂෙල්ටන් වැනි සංගීතඥයෙක් මතු අවුරුදු දහසකටවත් නූපදිතැයි කීම අතිශයෝක්තියක් විය නොහැකිය.’