වර්ෂ 2023 ක්වූ December 09 වැනිදා Saturday
මෙවර නව මුහුණුවරකින් ඔබ වෙත එනවා

කොරෝනා ඇතුළු අපේ රටේ විවිධ කලබැගෑනිවලින් පස්සේ බොහොම සෙමෙන් සෙමෙන් හිස ඔසවාගෙන එන අංශ අතරට ගැනෙන නාට්‍ය කලාව ගැන දැනෙන්නේ සතුටක්. ඒ කුමන ගැටලු පැන නැඟුණත් ඒ කලාව අතැර නොගිය නිර්මාණකරුවන් පිරිසක් අදටත් අපට සිටින නිසා. මේ අප කියන්න යන්නෙත් ඒ වගේ වැඩක් ගැනයි.
වසර කිහිපයකට පස්සේ ‘කොළඹ අන්තර්ජාතික රංග කලා උලෙළ’ යළිත් කරළියට එන්නයි මේ සූදානම් වෙන්නේ. ඒ ගැන ලැබුණු ආරංචිය අනුව ඒ පිළිබඳ විමසන්න අප එම්. සෆීර් ව මුණ ගැසුණා. වසර ගණනක් තමන්ගේ ම මහන්සියෙන් ඔහු” ‘කොළඹ අන්තර්ජාතික රංග කලා උලෙළ’ ගොඩනැඟුවා. එහි අලුත් ම තත්ත්වය පිළිබඳ ඔහු පැවසුවේ මේ වගේ කතාවක්.
“අවසන් වතාවට ‘කොළඹ අන්තර්ජාතික රංග කලා උලෙළ’ පැවැත්වුණේ 2019 වසරේ. ඊට පස්සේ පැවැතුණු කොරෝනා, අරගල තත්ත්ව හමුවේ අවුරුදු තුනක් මේ උලෙළ පැවැත්වුණේ නැහැ. ඒ අනුව ‘කොළඹ අන්තර්ජාතික රංග කලා උලෙළ’ මෙවර පැවැත්වෙන්නේ නවවැනි වරටයි. රටේ පසුගිය තත්ත්වය මොනවා වුණත් අපි ඒ අවුරුදු තුනේ ම ශාලා වෙන් කළා. දින වෙන් කළා. ඒත් එය කළ හැකි තත්ත්වයක් පැමිණියේ නැහැ. ඒ අතර මමත් වෙන වෙන කටයුතුවලට යොමු වුණා. එහිදි එක වෙලවකදි මටම තේරෙන්න ගත්තේ මේ අවුරුද්දෙත් මේ නාට්‍ය උලෙළ නොකෙරුණොත් මගේ අතින් මේ කාර්යය අතහැරෙයි කියලයි. ඒ නිසයි කොහොමහරි මේ අවුරුද්දේ ‘කොළඹ අන්තර්ජාතික රංග කලා උලෙළ’ පැවැත්විය යුතු බව තීරණය කළේ.”
ඔහු එහෙම තීරණය කළත් මීට වසර කිහිපයකට ඉහත තිබුණු තත්ත්වය නොවෙයි මේ වනවිට රටේ පවතින්නේ. ආර්ථික තත්ත්වය වුණත් බොහොම වෙනස්.
“එහෙම වෙලාවකයි ඔබ ඇතුළු පිරිස ‘කොළඹ අන්තර්ජාතික රංග කලා උලෙළ’ පවත්වන්නට තීරණය කරන්නේ”
“පසුගිය අවුරුදු තුන, හතරේ ඇතිවුණු බාධා, අභියෝග ගැන අපි දන්නවා. ඒ දේවල් නිසා මෙවර ඒ වගේ තුන්, හතර ගුණයකින් විතර හැමදේම වැඩි වෙලා. උදාහරණයක් විදියට බඩු මිල වැඩි වෙලා. අනෙක් පැත්තෙන් ප්‍රවාහන ගාස්තු; විදුලි බිල්; මේ වෙනස් වීම් ඔක්කෝම අපේ නාට්‍ය උලෙළට බලපානවා. අපට දැනට එල්ෆින්ස්ටන් එක ලැබෙන්නේ පරණ මුදලට. ඒත් මාසෙක, දෙකක ඉඳලා ඒ ගාස්තුත් වෙනස් කරලා. ඒ නිසා මේ සියලු දේ අපට බලපානවා. මේ නිසා මා ඇතුළු අපේ කණ්ඩායම කතාබහ කරලා තිබුණේ මේ අවුරුද්දේ පසුගිය අවුරුදු දහයට වඩා හැමදේම සංකීර්ණ විය හැකි බවයි. පොඩි මට්ටමකින් හරි උදවුවක් කරන්න මනුස්සයෙකු ඉදිරිපත් වෙන්නේ නැහැ. මොක ද මේ වනවිට ඒ අයගේ ව්‍යාපාර කඩා වැටිලා. මේ වගේ පසුබිමක වුණත් අපි කල්පනා කළේ මෙවර නාට්‍ය උලෙළ මඟ ඇරුණොත් ඉන් පස්සේ ඒ සියල්ල නැති වේවි කියලයි. ඒ නිසා සමහර දේ පාලනය කරන්න අපට කළමනාකරණ තීරණ කිහිපයක්ම ගන්නටත් සිදු වුණා.”
ඒ තීරණ අනුව මෙවර ‘කොළඹ අන්තර්ජාතික රංග කලා උලෙළ’ ස්වරූපය වෙනස් ම හැඩයක් ගනු ලබනවා. ඒ හැඩයත් එක්ක නවමු මුහුණුවරක් අරගෙන ඔබ ඉදිරියට පැමිණෙන්නයි ‘කොළඹ අන්තර්ජාතික රංග කලා උලෙළ’ මේ සුදානම් වෙන්නේ.
“ඒ හැඩය මොන වගේ එකක් ද?”
“අපි වෙනදාට කළේ නාට්‍ය උලෙළට කණ්ඩායම්වලට ආරාධනය කිරීමයි. මෙවර අපි ඒ කණ්ඩායම්වල පිරිස අඩු කරගන්න පුළුවන් ක්‍රමවේදය මොකක් ද කියලා කල්පනා කළා. එතකොට අපට ආව අදහසක් වුණේ මොනොඩ්‍රාමා නාට්‍ය උලෙළකට යමු කියන කාරණය. එවිට ඒ එන පිරිස අඩුයි. අපට කළමනාකරණය කර ගැනීමට ඇති හැකියාව වැඩියි. ඒ අනුව අපි මෙවර මොනොඩ්‍රාමා නාට්‍ය උලෙළක් පවත්වනවා. ඒ මොනොඩ්‍රාමා අන්තර් ජාතිකතරගයක් හැටියට. එතනදි අංශ දෙකක් තියෙනවා. එකක් අන්තර්ජාතික අංශය. අනෙක් අංශය දේශීය අංශය. දේශීය අංශයට තියෙනවා තරග වදින නාට්‍යය පහක්. අන්තර්ජාතික අංශයට නාට්‍ය හතක් තියෙනවා. මේ එක් අංශයකට සම්මාන තුනක් දෙනවා. හොඳම නළුවා, හොඳම නිළිය, හොඳම නාට්‍යය. මේ සම්මාන දේශීය වගේ ම විදේශීය අංශයටත් ලබාදෙනවා. ඒ වගේ ම මේ නාට්‍ය උලෙළ විනිශ්චය සඳහා අපි අන්තර්ජාතික නාට්‍යකරුවන් කිහිපදෙනෙකුට ආරාධනා කරන්නටත් බලාපොරොත්තු වෙනවා. එහෙත් තාම ඒ පිළිබඳ පොඩි පොඩි සංවාද යනවා. මොකද සමහර රටවලට ඡන්ද පවත්වන්නට කතා කළාට පස්සේ ඒ අයට රටෙන් එළියට යන්න බැහැ. යුරෝපයේ ඉන්න සමහර අයට අපේ රටට එන්න ආසාව තිබුණාට ගුවන් ටිකට් එකේ ගණන දරන්න බැරි වීදියට වැඩි වෙලා. මේ වගේ ප්‍රශ්න ටිකක් එක්කයි කාලය ගත වෙන්නේ. මේ කුමන දේ වුණත් තරගයක හැඩයෙනුයි නාට්‍ය උලෙළ පැවත්වෙන්නේ.”
‘කොළඹ අන්තර්ජාතික රංග කලා උලෙළ’ මෙවර පැවැත්වෙන්නේ මේ මස 25, 26, 27, 28, 29, 30 දක්වා දින කිහිපයේ. මේ දිනවල නාට්‍ය උලෙළේ කටයුතු විවිධ අයුරින් සංවිධානය වනවිට ඔබටත් ඒ දිනවල ඒ හා සම්බන්ධ විය හැකියි.
“මේ දින කිහිපය ගත වෙන්නේ කොහොම ද?”
“25 වැනිදා ආරම්භ වන නාට්‍ය උලෙළ 30 වැනිදා දක්වා විහිද යනවා. ඒ වගේ ම 30 වැනිදායි මෙහි සම්මාන උලෙළ පැවැත්වෙන්නේ. ඒ කියන්නේ පසුගිය කාලයේදි අපි මේ නාට්‍ය උලෙළේදි සිදු කළේ සමාරම්භක උත්සවයක්. එහෙත් මෙවර පැවැත්වෙන්නේ අවසන් උත්සවයක්. ඒක සම්මාන උලෙළක්. එහි යම් ලොකු වාසියකුත් අපට තියෙනවා. මොකද සැප්තැම්බර් මාසයේ 01, 02, 03 වනවිට ලෝකයේ කොහෝ හරි රටක කොළඹ අන්තර්ජාතික රංග කලා උලෙළෙන් සම්මාන දින්නා කියන කාරණය ප්‍රධාන ප්‍රවෘත්තියක් වන නිසා. රටක් හැටියට අපට එහි වාසිය ලැබේවි කියලා අප සිතනවා. අපි වුණත් වෙන රටකට ගිහින් සම්මානයක් දින්නොත් නිවුස් එකක් පත්තරවලට යවනවා. ඔවුනුත්, ඔවුන්ගේ දිනන කෙනා ගැන විස්තර ඒ විදියට යවාවි. මෙවර අන්තර්ජාතික රංග කලා උලෙළට ඒක ලොකු වාසියක් වේවි කියලයි අප සිතන්නේ. ඒ හැරැණු විට අනෙක් දේවල් සිදු වන්නේ සාමාන්‍ය විදියටයි.”
සුපුරුදු ආකාරයට ‘කොළඹ අන්තර්ජාතික රංග කලා උලෙළ’ යම් විද්වතකුගේ නාමයෙන් නම් කිරීමත් විශේෂ ලක්ෂණයක්.
“මෙවර නාට්‍ය උලෙළ නම් කෙරෙන්නේ කාගේ නමින් ද?”
“මෙවර නාට්‍ය උලෙළ නම් කරලා තියෙන්නේ මහාචාර්ය වෝල්ටර් මාරසිංහ නමින්. මහාචාර්ය වෝල්ටර් මාරසිංහ වගේ විද්වතකු තෝරා ගැනීමට හේතුව වෙන්නේ පාලි, සංස්කෘත කියන භාෂා දෙක පිළිබඳ මනා හසල දැනුමක් තිබෙන කෙනෙක්. අනෙක් කාරණය ඔහු ග්‍රීක නාට්‍ය පිළිබඳ වගේම සංස්කෘත නාට්‍ය පිළිබඳත් ඉගැන්වීම් කටයුතු කළ කෙනෙක්. මේ වනවිට එතුමාට වයස අවුරුදු අනූවක් විතර වෙනවා. අපි සිතුවේ එවන් විද්වතුන්ව අගය කළ යුතු සුදුසු ම අවස්ථාව මෙවැනි මොහොතක් කියලයි. ඒ නිසයි ඔහු ව මේ සඳහා තෝරාගනු ලබන්නේ. ඒ වගේ ව එලෙස නම් කරන විදේශීය නාට්‍යකරුවා වන්නේ ඉන්දියාවේ ප්‍රසාද් වනරාසී. මේ වනවිට ප්‍රසාද් වනරාසී අන්තර් ජාතිකනාට්‍ය ආයතනයේ ආසියානු පැසිපික් කලාපය භාරව ඉන්න උප සභාපති. ඒ වගේ ම ඔහු අන්තර්ජාතික නාට්‍ය ආයතනයේ විධායක සභාවේත් ඉන්නවා. ප්‍රසාද් වනරාසී ඉන්දියාවේ නාට්‍ය සංස්කෘතිය ඇතුළේ කරන සේවය නිසයි අපේ අන්තර්ජාතික රංග කලා උලෙළේදි ඔහුගේ නම අභිනන්දනය සඳහා නම් කරන්නට තීරණය කළේ. ඒ ආකාරයටයි අභිනන්දනය කියන කාරණය සිදු වන්නේ. ඒ අනුව මේ උලෙළ නම් කර තිබෙන්නේ මහාචාර්ය වෝලටර් මාරසිංහ අභිනන්දන කොළඹ අන්තර්ජාතික රංග කලා උලෙළ නමින්.”
අපේ රටේ විවිධ වූ රංග කලා උලෙළ රැසක් පැවැත්වෙනවා. ඒ රාජ්‍ය මට්ටමින් කරන නාට්‍ය උලෙළවල්. එහෙත් මෙයත් රාජ්‍ය මට්ටමින් පැවැත්විය යුතු උලෙළක්. කොහොම වුණත් ඒ නාට්‍ය උලෙළවල් අතුරින් ‘කොළඹ අන්තර්ජාතික රංග කලා උලෙළ 2023’ හාත්පසින්ම වෙනස් හැඩයකුයි ගන්නේ.
“මේ දෙක අතර වෙනස කොහොමද විහිදෙන්නේ?”
“උදාහරණයක් විදියට රාජ්‍ය නාට්‍ය උලෙළ කියන්‌නේ නාට්‍ය උලෙළක්. මොකද එහි සමගාමී වැඩසටහන් කිසිවක් නැහැ. යොවුන් නාට්‍ය උලෙළේදි යොවුන් නාට්‍ය කේන්ද්‍රව සමගාමී වැඩසටහන් කිසිවක් නැහැ. ඒ නිසා ‘කොළඹ අන්තර්ජාතික රංග කලා උලෙළ’ එක්තරා විදියකින් නාට්‍ය උලෙළක් විතරක් නොවෙයි. මොකද අපි එක පැත්තකින් අභිනන්දනය කරනවා. අනෙක් පැත්තෙන් නාට්‍ය වැඩමුළු පවත්වනවා. අනෙක් පැත්තෙන් අධ්‍යක්ෂවරුන්ගේ සම්මේලන තිබෙනවා. ඊට පස්සේ ලෝකයේ විවිධ නාට්‍යකරුවන්ගේ දේශන සහ සම්මන්ත්‍රණ තියෙනවා. තවත් පැත්තකින් නාට්‍ය පෙන්වනවා. එයයි මේ රංග කලා උලෙළේ තිබෙන වෙනස වන්නේ. 25 සිට 30 දක්වා මේ දවස් කිහිපය පෙළ ගැස්වෙන්නේ මෙහි අභිනන්දන උත්සවය වෙනම තිබීමත්, නාට්‍ය දර්ශන පැවත්වීමත්, ඊට අමතරව නාට්‍ය වැඩමුළු පැවැත්වීමත්, අධ්‍යක්ෂවරුන්ගේ සම්මේලනය පැවැත්වීමත්, අවසානයේ සම්මාන රාත්‍රිය පැවැත්වීමත් යන අංශ පහකිනුයි.”
ඒ ආකාරයට කටයුතු එලෙස සිදු වෙද්දි මේ රංග කලා උලෙළ සඳහා රටවල් රැසක නිර්මාණ ද ඇතුළත්. ඒ රටවල නාට්‍යකරුවන්ගේ පැමිණීමත් සමඟ රංග කලා උලෙළේ අසිරිය තවත් වැඩි වන බව රහසක් නොවෙයි.
“මෙවර මහාචාර්ය වෝලටර් මාරසිංහ අභිනන්දන කොළඹ අන්තර්ජාතික රංග කලා උලෙළ සඳහා සහභාගි වන රටවල් මොනවා ද?”
“ඉන්දියාවෙන් නාට්‍ය දෙකකුත්, බංගලාදේශයෙන් එක් නාට්‍යකුත්, රොමේනියාවෙන් එක් නාට්‍යයකුත්, පෝලන්තයෙන් එක් නාට්‍යයකුත්, ස්පාඤ්ඤයෙන් එක් නාට්‍යයකුත්, ටියුනීසියාවෙන් එක් නාට්‍යයකුත් විදියටයි නිර්මාණ ඉදිරිපත් වෙන්නේ. අපේ රටෙන් නාට්‍ය පහක් ඉදිරිපත් වෙනවා. ඒ මොනොඩ්‍රාමා කෙටි නාට්‍යයයි. නාට්‍ය දහතුනක්, රටවල් අටක්, නාට්‍යකරුවන් සිය ගණනක් සමඟ සිදු වන කටයුත්තකුයි මෙහිදි සිදු වන්නේ. අපේ රටෙන් ඉදිරිපත් වන්නේ ‘ටික් ටික්’ කියන පසුගිය දවස්වල පැවැත්වුණු අපේ මොනොඩ්‍රාමා නාට්‍ය උලෙළේ හොඳම නාට්‍යය විදියට තේරුණු නාට්‍යයත්, ‘ද ටයර්’ කියන ඒ උලෙළේදීම ඒ පිටපතට විශේෂ සම්මාන දෙකක් ලැබුණු නාට්‍යයත් මෙහිදි ඉදිරිපත් වෙනවා. ඒ වගේ ම ‘අසඩක්ට වෙඩි තියමු’ කියන කෑගැල්ල පැත්තේ ඉස්කෝලෙකින්, එහෙත් අධ්‍යාපන අමාත්‍යාංශය කරන සමස්ත ලංකා පාසල් රංග කලා උලෙළේ හොඳම නාට්‍යය වුණු නාට්‍යයත් මේ සඳහා ඉදිරිපත් වෙනවා. ඒ වගේ ම නිර්මාණි ප්‍රනාන්දුගේ නාට්‍යයක් තියෙනවා. ඒක අලුතින් හැදෙන්නේ. ඊට අමතරව සමිත සුගීෂ්වර පළමු වරට නාට්‍යයක් කරනවා. ඒ අනුව අලුත්ම නාට්‍යය දෙකකුත්, දන්න නාට්‍ය තුනකුත් සමඟ මේ සියල්ල මේ උලෙළේදි තරග වදිනවා.”
‘කොළඹ අන්තර්ජාතික රංග කලා උලෙළ’ වැඩ කටයුතු ආරම්භ කරන්නේ ගිය වසරේ නොවැම්බර් මාසයේ. දිගු කාලයක වෙහෙස මහන්සියකින් පසු පෙළ ගැසෙන මේ උලෙළේ කාර්යභාරය සුළු පටු නැහැ.
“‘කොළඹ අන්තර්ජාතික රංග කලා උලෙළ’ සඳහා නිර්මාණ කොයිතරම් ප්‍රමාණයක් ඉදිරිපත් වුණා ද?”
“වෙනදා නම් අයදුම්පත්‍ර තුන්සියපනහක් විතර එනවා. මෙවර මොනොඩ්‍රාමා නාට්‍ය උලෙළ කියලා සීමා කළ නිසා පැමිණි නාට්‍ය අඩුයි. ඒ අනුව නාට්‍ය හතළිස් ගණනක් ආවා. ඒත් ලබන වසර වනවිට අප බලාපොරොත්තු වෙන්නේ මේ පැමිණි නාට්‍ය ගණන හතර ගුණයක්වත් වැඩි වේවි කියලයි. මොකද පසුගිය කාලයේ පැවැතුණු තත්ත්වය එක්ක ලෝකයේ වැඩ කටයුතු ආරම්භ කරලා තියෙන්නේ දැන් නිසයි අප එහෙම පවසන්නේ.”
මෙවැනි සුවිසල් කටයුත්තක් කරන්නට යන වියදම බොහොමයි. කාලයක් එම්. සෆීර්ගේ නාට්‍ය උලෙළ වගේ වුණු ‘කොළඹ අන්තර්ජාතික රංග කලා උලෙළ’ සඳහා ටික කාලයකින් පස්සේ විවිධ අය සහය දැක්වූවා. එහෙත් මෙය ජාතික කර්තව්‍යයක්. ඔහු ඇතුළු පිරිස විසින් තනියම කර ගහන්නේ රජයේ විවිධ අංශ මඟින් කළ යුත්තක්.
“මේ සඳහා අනෙක් අයගෙන් යම් සහයෝගයක් ලැබෙනවා ද?”
“ වෙනදා වගේ ම සහය දක්වන පිරිසක් අපට ඉන්නවා. ඒ අය මේ අවුරුද්දේත් අපිත් එක්ක ඉන්නවා. ඊට අමතරව සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය හා දෙපාර්තමේන්තුව, ජර්මන් සංස්කෘතික මධ්‍යස්ථානය, ටවර්හෝල් පදනම, ටුවරිස් බෝඩ් එක මේ රංග කලා උලෙළ ජාතික වශයෙන් වැදගත් බව පවසමින් සහය දක්වනවා. ඒ විදියට විවිධ මට්ටමින් සහය දක්වන පිරිසක් අපිත් එක්ක ඉන්නවා. ඒ නිසා උලෙළ අවම මට්ටමින් පවත්වාගෙන යන්න පුළුවන් කියන එක ස්ථිරයි. ඒත් මේක මා බලාපොරොත්තු වන උපරිම මට්ටම නොවෙයි. උපරිම මට්ටම කියන කාරණයෙන් අදහස් වෙන්නේ මේකයි. උදාහරණයක් ගත්තොත් මේ එන නාට්‍යකරුවන් නවත්වන්නේ කොළඹ ඉහළ මට්ටමේ අපාට්මන්ට්වල. මට මේ අයව හෝටලයක නවත්වන්න බැහැ. මොකද ඒවා ගණන් වැඩියි. මේ අයව රට වටේ සංචාරයක් එක්කගෙන යන්න විදියක් නැහැ. ඒ වගේ ප්‍රශ්න එක්කයි අප කටයුතු කරන්නේ. ඒ විතරක් නොවෙයි මේ අයට දෙන කෑම ටික පවා හදන්නේ ගෙවල්වලයි. ඒ මේවා කේටරින්වලට භාර දීලා කරන්න තරම් වත්කමක් අපට ඇත්තේ නැති නිසා. ඒ නිසා ඔය වටපිටාව ඇතුළේ අවම පහසුකම් ටිකක් තියාගෙන අපි මේ රංග කලා උලෙළ කරගෙන යනවා. මේක දියුණු කරන්න තව පහසුකම් හා සම්පත් අවශ්‍යයයි. ඒවා කවදා කොහොම ලැබේවිද කියලා දන්නේ නැහැ. හැමදාම අපි මේ අවුරුද්දේ හිතනවා මේ අවුරුද්දයි නරක, ලබන අවුරුද්ද හොඳ වේවි කියලා. ඒත් ලබන අවුරුද්ද මීටත් වඩා නරක වෙන්න පුළුවන්. අතීතයේ ඉඳලා අපට වුණේ එහෙමයි. ඒ නිසා මේ තිබෙන මොහොත ගැන සතුටු වනවා හැර අනාගතය ගැන අනාවැකි පළ කරලා පුරෝකථන දෙන්න බැරි තත්ත්වයකුයි උද්ගත වෙලා තියෙන්නේ. හැම වෙලාවෙම මේ ගත වෙන මොහොත හැර හෙට ගැන අවිනිශ්චිත භාවයකුයි අපේ වගේ රටක් ඇතුළේ තියෙන්නේ. ඒක කලාවටත් බලපානවා. කොවිඩ් කාලයේදි දැඩි පහරක් වැදුණේ නාට්‍යකරුවන්ටයි. ඒ කාලයේ ඔවුන් ගැන අහන්වත්, බලන්නවත් කෙනෙකු නැති තත්ත්වයට පත් වුණා. ඒත් මේ වනවිට ඒ තත්ත්වය වෙනස් වෙලා. නැවත කොළඹ ප්‍රේක්ෂකාරයේ සෙනඟ පිරිලා ඉතිරිලා. ඒත් මේවා කොයි මොහොතේ නැති වේවි ද කියලා නම් අපි දන්නේ නැහැ. ඒ කියන්නේ හැමවෙලාවකම, හැමදේකම අවදානමක් අපට ඉතුරු කරලා තියෙනවා. මෙන්න මේ වගේ පසුබිමකයි මේ රංග කලා උලෙළ අපට කරන්නට සිදු වී තිබෙන්නේ. එහෙත් ඒකට අවශ්‍ය කරන උදවු කළ හැකි සමහර පිරිස් ඉන්නවා, ඒ අයට උදවු කරන්නට තරම් වැඩක් නොවෙන ලෙසයි ඔවුන් මේ කාර්ය දකින්නේ. ඒ නිසා ඔවුන් මේ කාර්ය සඳහා අපට උදවු කරන්නේ නැහැ.”
එහෙත් අපේ රටේ මේ සම්බන්ධයෙන් විවිධ වූ අමාත්‍යාංශ හා දෙපාර්තමේන්තු ගොඩනැඟි තිබෙන බව අමුතුවෙන් කිව යුතු නැහැ.
“උදාහරණයක් විදියට ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තය සම්බන්ධ ප්‍රශ්න ටික විසඳන්න ඒකට වෙනම අමාත්‍යාංශයක් පත් කරලා තියෙනවා. ධීවරයාගේ ප්‍රශ්න ටික විසඳන්න ධීවර අමාත්‍යාංශයක් තියෙනවා. එහෙම නම් සංස්කෘතික අමාත්‍යාංශය මේ රටේ තියෙන්නේ මොකට ද? ඒ ප්‍රශ්නය අහන එක ඇතුළේ ම තියෙන්නේ ඒ වගේ බලගතු ක්‍රියාවලියක් උදෙසා මේ අමාත්‍යාංශය මැදිහත් වීමක් කරනවා ද? යන්නයි. ඒ කියන්නේ මේ නාට්‍ය උලෙළට මුදල් දෙන්න කියලා නොවෙයි මා පවසන්නේ. මා පවසන්නේ සංස්කෘතිය සඳහා ප්‍රබල මැදිහත් වීමක් ඔවුන් කළ යුතු බවයි. එහෙම සිතන විට සංස්කෘතික අමාත්‍යාංශයේ ධුරාවලිය මොකක්ද? කියන ප්‍රශ්නය අපේ සිතේ පැන නැඟෙනවා. මේ වනවිට ඔවුන් වසර දෙකකින් සාම්ප්‍රදායිකව තිබිය යුතු නාට්‍ය උලෙළවල් කරලා නැහැ. ඒ මුදල් නැහැ කියන කාරණය ඉදිරිපත් කරමින්. මුදලුත් නැත්නම්, අපට පෙනෙන විදියට වැඩක් කරන්නේත් නැත්නම්, එහෙම අමාත්‍යාංශයක් මේ රටේ තියලා තියෙන්නේ ඇයි කියන ප්‍රශ්නය පැන නැඟෙනවා. ශ්‍රී ලංකවේ සෑම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකම සංස්කෘතික නිලධාරියකු ඉන්නවා. එහි ඉන්න ප්‍රමුඛ නිලධාරීන් අතරයි සංස්කෘතික නිලධාරියාත් ඉන්නේ. ඇයි ඔහුව එතනට දමන්නේ. යම්කිසි අවශ්‍යතාවක් නිසයි ඔහු ව එතනට දමා ඇත්තේ. ඒ නිසා මෙවැනි සමහර දේවල් බොහොම ගැටලු සහගතයි.”
“ඒ වගේමයි යොවුන් නාට්‍ය උලෙළත් අවුරුදු කිහිපයකින් පවත්වලා නැහැ.”
“යොවුන් නාට්‍ය උලෙළ පවත්වනවා කියන ඒ ක්‍රියාවලිය ඇතුළේ තියෙන්නේ හුදු නාට්‍ය පිටපත් ටිකක් කැඳවලා, ඒකෙන් නාට්‍ය පිටපත් ටිකක් තෝරලා, සම්මාන ටිකක් දීම පමණක් ද?. ඒ නිසා මේවා එකින් එක ගැන පැවසීමෙන් මා අදහස් කළේ යමක් හිතන්න ඕන කියන කාරණය ඉස්මතු කිරීමටයි. එවන් අවස්ථාවකදි අපට පෙනෙන්න තියෙන කාරණය වන්නේ සංස්කෘතිය සම්බන්ධයෙන් තීරණ ගන්න මොඩියුල්ස්වල තිබෙන ප්‍රශ්නය නිසා එලෙස සිදු වන බවයි. උදාහරණයක් ගන්න තරුණයන් වෙනුවෙන් තියෙන තරුණ සේවා සභාවට අන්තර්ජාතික නාට්‍ය උලෙළට එකතු වෙන්න බැරිකමක් තිබෙනව ද? ඇයි ඒ අය ඒකට එකතු වෙන්නේ නැත්තේ.”
“ඔබ කොළඹ අන්තර් ජාතිකරංග කලා උලෙළට සහභාගි වෙන්න ඔවුන්ට ආරාධනා කරලා තියෙනවා ද?”
“මම අවස්ථා ගණනාවකදිම හිටපු සභාපතිවරුන්ට ලියුම් ලියලා තියෙනවා. ඒත් ඒ මා යැව්ව ලියුමකට කවදාවත් නිල වශයෙන් උත්තරයක් වත් ඇවිත් නැහැ. කොහොම වුණත් කොළඹ අන්තර්ජාතික රංග කලා උලෙළ සම්බන්ධයෙන් ප්‍රමුඛව තිබෙන මතය වෙන්නේ ඒක එම්. සෆීර්ගේ නාට්‍ය උලෙළ කියලා. ඔව්; එම්. සෆීර් තමයි මේ නාට්‍ය උලෙළ කරන්නේ. ඒත් මා අහන්නේ මේ නාට්‍ය උලෙළෙන් රටට මුකුත් වෙන්නේ ම නැද්ද? යන්නයි. මේ නාට්‍ය උලෙළට එන නාට්‍යකරුවන් එක ඩොලර් එකක්වත් මේ රටට වියදම් කරන්නේ නැද්ද? මේ නාට්‍ය උලෙළට එන මිනිස්සු දකින දේ ගැන එළියේ ගිහින් කතා කරන්නේ නැද්ද? එහෙම නම් මේ නාට්‍ය උලෙළ සංචාරක ප්‍රවර්ධනයට හේතු වෙන්නේ නැද්ද? මට තිබෙන ප්‍රශ්න මේවායි.”
ඒ විතරක් නොවෙයි, එම්. සෆීර්ගේ සිතට නැගෙන තවත් බොහෝ දේ එමටයි.
“විදේශ කටයුතු අමාත්‍යාංශය වගේ එකකට මේ වගේ දෙයකට සම්බන්ධ වෙන්න තිබෙන ඉඩ ඇහිරිලා තියෙන්නේ ඇයි? නාට්‍ය අනුමණ්ඩලය වගේ එකක් මේ වගේ වැඩකට සම්බන්ධ කරන තිබෙන බාධාව මොකක්ද? ඒ වගේ ම සෞන්දර්ය විශ්වවිද්‍යාලය, කැලණිය විශ්වවිද්‍යාලය වගේ ආයතනවල නාට්‍ය හා රංග කලාව හදාරන ළමයින් ව මේ නාට්‍ය උලෙළේ තියෙන නාට්‍ය නරඹන්නට යැවීමට තියෙන බාධාව මොකක්ද? කියන ප්‍රශ්නවලට හේතුයි මා සොයන්නේ. ඒත් ඒ අය ආවේ නැහැ කියලා මම මේ රංග කලා උලෙළ කරන එක නවත්තලා නැහැ. එහෙම නම් මේකට නොපැමිණීම නිසා මඟ හැරුණේ හා පාඩු වුණේ කාට ද? එක පැත්තකින් රටට වෙන්න පුළුවන්. තවත් පැත්තකින් තරුණ පරම්පරාවට වෙන්න පුළුවන්. අනෙක් පැත්තෙන් විශ්වවිද්‍යාල ප්‍රජාවට වෙන්න පුළුවන්. හරි නම් වෙන රටවල්වල විශ්වවිද්‍යාලවල ශිෂ්‍යයන්ව මේ වගේ උලෙළවලට යොමු කරන්නේ ඔවුන්ට හැදෑරීමට සුදුසු ව්‍යාපෘතියක් විදියටයි. උදාහරණයක් හැටියට ඩකා අන්තර්ජාතික චිත්‍රපට උලෙළේදි අපට උදවු කරන්නට හිටියේ ඩකා ෆිල්ම් ඇකඩමි එකේ ළමයින්.”
“ඔබ පවසන්නේ මේ සියලු දෙනා එකමුතු වුණොත් වඩාත් සාර්ථක ලෙස කොළඹ අන්තර් ජාතිකරංග කලා උලෙළ කළ හැකි බව ද?”
“මේ සියලු දෙනාම ඉතා සක්‍රීයව එකතු වුණොත් අපට අන්තර්ජාතික රංග කලා උලෙළ ගැන මීට වඩා ලොකුවට සිතන්න පුළුවන්. ඒ වගේ ම ඒ සඳහා මීට වඩා ලොකු දෙයක් කරන්න පුළුවන්.