නාට්‍ය ගුරුවරයකු ලෙස මගේ කොටස මම කළා

ප්‍රවීණ නාට්‍යවේදී ලීල් ආනන්ද ගජනායක
නොවැම්බර් 10, 2022

 

සරසවි නිර්මාණ සම්මාන උලෙළ මෙවර 37 වැනි වරටත්

සොඳුරු සිතක ආ‍ෙලා්කය ලද බිමක සැබැවින්ම සොඳුරු මල්මය පිපුණේ. එබඳු සොඳුරු සිතැති සැබෑ ගුරුවරු ද සැමදා කටයුතු කළේ සංවේදී මානව පරපුරක් බිහි කරනු උදෙසාය.

ගුරුවරයකු ලෙස ඈත එපිට ගම් දනව් පුරා දූ දරුවන්ට සිප් සතර බෙදා දෙමින් ද ඔහු වෙහෙසී රැස් කළේ මිණි කැට ය. ඒ මිණි කැට රැස් කර ඔහු ජීවිත කාලයක් පුරා නිමැවුයේ කලා සෞන්දර්යයේ ආලෝකය ලද පරපුරක්ය. එනිසා ලීල් ආනන්ද ගජනායක නම් ඒ අපූරු ගුරුවරයාගේ, සම්මානීය නාට්‍යවේදියාගේ හා ලේඛකයාගේ සෞන්දර්ය චාරිකාවේ එක් උත්කර්ෂවත් අවස්ථාවක් පිළිබඳ අද අපි කතා කරමු.

1984 ඔබට සුවිශේෂ වසරක් වුණේ කොහොමද?

ඒ ගැන කියන්න මා ප්‍රවේශයක් ගත යුතුයි. මා යෞවනයකුව සිටියදී කලා කටයුතුවල නිරතවීමේදී අත්විඳි බාධා ගැන ඒ කාලයේ නිතරම මා හිතුවා. කලා රුචි තරුණ පරපුරට කලා ක්ෂේත්‍රයේ ඉදිරියට ඒමට ඇති බාධා දැක ඇති වු කම්පනයයි මෙවැනි දෙයක් කරන්න මුල් වුණේ ඉතින් මමත් තරුණයකු වශයෙන් නිර්මාණ තරඟාවලි සඳහා ඉදිරිපත් වෙද්දී මතු වූ බාධා හා ගැටලු තමයි ඇත්ත වශයෙන්ම මෙවැනි දෙයක් කරන්න විශාල පෙලඹවීමක් ඇති කළේ. ඒ සංවේදී අදහස නිසා සරසවි නිර්මාණ රංග පීඨය අරඹා නාට්‍ය පුහුණු පාඨමාලාවක් සමඟ නාට්‍ය තරග සංවිධානය කිරීමේ ක්‍රියාවලිය ආරම්භ කළා. එහිදී සමස්ත ලංකා මට්ටමින් තරග පවත්වා සාර්ථකව එය සම්මාන ප්‍රදාන උළෙලක් දක්වා වූ මට්ටමට තෙක් වර්ධනයට කළ හැකි වුණා. පියවරෙන් පියවර ගොඩනැඟී වර්ධනය වූ ඒ ක්‍රියාවලිය අදත් මේ ක්ෂේත්‍රයට මෙන්ම නවකයින්ට ලොකු ආලෝකයක් වෙලා තියෙනවා. මට මතකයි සුගතපාල ද සිල්වා, හෙන්රි ජයසේන, සෝමලතා සුබසිංහ, දයානන්ද ගුණවර්ධන ආදී ප්‍රවීණයන් මට දුන් ශක්තිය ඉතා වැදගත් සාධකයක් වුණා. ඔවුන් එය සැම විටම අගය කළා. ඒ නිසා මං සරසවි නිර්මාණ සම්මාන ප්‍රදානය නමින් මේ උත්සවය වසරක් පාසාම පවත්වන්න උත්සුක වුණා. එය ආරම්භ කළේ 1984 දීයි.එයින් ඇත්තටම තරුණයන්ගේ පීඩනය බොහෝ දුරට අඩු වුණා. ඒ කියන්නේ නාට්‍ය තරඟයකින් පූර්ව වටය, දෙවැනි වටය, අවසාන වටය ආදී වශයෙන් සුදුුසුකම් ලබමින් ඉදිරියට පැමිණීමේ ගැටලු මඟ හැරුණා. ඒ කාලයේ අපි ඈත ගම් දනව් කරා ගොසින් නාට්‍ය තරග පවත්වා විනිශ්චය කරනු ලැබුවේ.

ඒක හරිම ලස්සනයි. වෙළක, කමතක, නිවෙසක දහම් පාසලක නැතිනම් බණ මඩුවක ආදී තැන්වලයි මේ නාට්‍ය සංවිධානය කළේ. අවසාන වටය තමයි කොළඹ සංවිධානය කළේ. කොළඹ දී තෝරාගත් හොඳම නාට්‍ය ටික විනිශ්චය මණ්ඩලයක් ඉදිරියේ පෙන්වා එහිදීම සම්මාන ප්‍රදානයක් සිදු කළා. එයින් අද ක්ෂේත්‍රයේ සිටින බොහෝ පිරිසක් බිහි වුණා. නම් වශයෙන් දැක්වුවොත් විශාල පිරිසක් සිටිනවා.පාලිත සිල්වා. නලින් ප්‍රදීප් උඩවෙල, අතුල පීරිස්, අමිත්ත වීරසිංහ, සරත් කොතලාවල, කුමාර තිරිමාදුර, ජයලාල් රෝහණ ප්‍රසාද් සූරියආරච්චි ආදී වර්තමානයේ ප්‍රවීණත්වයට පත් වූ පිරිස් සඳහා මුල්ම තිඹිරිගෙය වුණේ මේ සරසවි නිර්මාණ රංග පීඨයයි.

 

පසු කාලයේ ඔබට පුනරුත්ථාපන කාර්යාංශයේ විශේෂ තනතුරකුත් හිමි වුණා නේද?

ඒ තමයි මගේ ජීවිතයේ විශාලතම පෙරළිය. එයත් සුවිශේෂයි. 1980 ගණන්වල අගභාගයේ විිවිධ සිදුවීම්වලට මුහුණ දුන් තරුණ පිරිස්වල පුනරුත්ථාපන ක්‍රියාවලියට සම්බන්ධ වූ විශේෂ අංශයක් යටතේ මට භාර වුණේ සෞන්දර්ය අංශයෙන් යම් මෙහෙවරක් කරන්න. පුනරුත්ථාපන කාර්යාංශයේ සහකාර කොමසාරිස් සංස්කෘතික තනතුර යටතේයි ඒ විශේෂ කාර්යභාරය මට පැවරුණේ.

එවකට පුනරුත්ථාපන, කොමසාරිස් ජෙනරාල්වරයා ලෙස කටයුතු කළේ, පසුකාලයේ පැවිදි දිවියට ඇතුළත්ව හිඳ අපවත් වූ පූජ්‍ය බුද්ධංගල ආනන්ද හිමියි.

මේජර් ජෙනරාල් ආනන්ද වීරසේකර ලෙස එවකට එතුමා පුනරුත්ථාපන කොමසාරිස් ජෙනරාල්වරයා ලෙස කටයුතු කළේ. ඒ තරුණයන් සෞන්දර්ය අංශයෙන් ගොඩනැඟීම තමයි මට පැවරුණේ. එහිදී මධ්‍යස්ථාන හැට අටක තරුණ දරුවන් දහතුන් දහසක් පමණ මට හමු වුණා. ඒ අතරින් සෞන්දර්ය අංශයට වඩා නැඹුරු, ඒ ඔස්සේ කටයුතු කළහැකි, තරුණ කණ්ඩායමක් මා තෝරා ගත්තා. ඒ අය සතියක නේවාසික වැඩමුළුවක් සඳහා යොමු කළා.

ඒ වැඩමුළුවේදී සුගතපාල ද සිල්වා, ඩග්ලස් සිරිවර්ධන සෝමලතා සුබසිංහ, අජන්තා රණසිංහ, පේ‍්‍රමසිරි කේමදාස ආදී ලංකාවේ කලා ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගේ දැනුම, ආලෝකය ඔවුන්ට ලැබෙන්නට සැලැස්වුවා. ඒ වැඩමුළුවෙන් අනතුරුව තෝරාගත් දරු පිරිස වෙනුවෙන්ම සරසවි සෙවණ නමින් පිහිට වූ සෞන්දර්ය මධ්‍යස්ථානයකට යොමු කළා.

එහිදී ඒක පුද්ගල ගී ප්‍රසංග දෙකක් පවත්වන්නටත් හැකි වුණා. ඒ කාලෙම වාගේ ගුවන් විදුලි සංස්ථාව මෙහෙයවූ භක්ති ගීත තරගයකට මේ දරුවන්ගේ භක්ති ගීතයක් අපි ඇතුළත් කළා. එය හොඳම භක්ති ගීතය ලෙස තේරුණා. ඒ 1990 වසරේදියි. අනතුරුව ඒ වසරේදීම යෞවන සම්මාන උළෙල සඳහාත් මේ දරුවන්ගේ නාට්‍ය නිර්මාණ ඉදිපත් කළා. ඒ වසරේ එම දරුවන් ඉදිරිපත් කළ එක් නාට්‍යයක් සම්මාන හතකට පාත්‍ර වුණා. ඒකත් හරිම ලස්සන නාට්‍යයක්. ඊට පසු ඒ දරුවන් වෙනුවෙන් මධ්‍යස්ථාන අතර නාට්‍ය තරගයකුත් පැවැත්වුවා. එහිදී තරුණ ප්‍රතිසංවර්ධන නාට්‍ය උළෙල යන නමින් නාට්‍ය උළෙලක් පවා ඉතා උසස් අන්දමින් පැවැත්වුවා.

ඒ අනුව විසිරුණ, සීසීකඩ වූ හදවත් ඇතිව සිටි තරුණ දරුවන් වයලීනයට, නාට්‍යයට, සම්බන්ධ කර ඔවුන්ගේ සිත් තැන්පත් කළා. ඉන්පසු ඔවුන්ගෙන් අප දුටු ප්‍රතිඵල හරිම විශිෂ්ටයි. ඒ අවස්ථාවත් සුගතපාල ද සිල්වා මහත්මයා ඉතාමත් අගය කළා. ඒ දරුවන්ගේ ගී ප්‍රසංගයට පැමිණි අමරදේව ශූරින් මගේ හිස සිඹ ආනන්ද, උඹ ආනන්දජනක වැඩක් කර තිබෙනවායි කිව්වා. ඉතින් ඒ වැඩසටහන් ඔස්සේ පුනරුත්ථපාන ක්‍රියවලියෙන් බලාපොරොත්තු වූ අරමුණ හොඳින් ඉටු වුණා.

 

එබඳුම අරුත්බර කටයුත්තක් අධ්‍යාපන අමාත්‍යාංශය යටතේත් පැවැරුණා නේද?

ඒකත් හොඳ කටයුත්තක් පාසල් මට්ටමින් පවත්වන්න යෙදුණ නාට්‍ය තරගයක් වූ එය, පාසල් පෙළ පොත් ආශ්‍රයෙන් කළ නිර්මාණ කටයුත්තක්. ජාතක කතා පොත, බැද්දේගම කතාව, වෙනත් අරුත්බර කවි ආදී එක් එක් වසරට අදාළ පාසල් පෙළ පොත්වල කොටස් ආශ්‍රයෙන් නාට්‍ය තරගයක් එහිදී පැවැත්වුවේ. දිස්්ත්‍රික් මට්ටමින් පාසල්වලින් නාට්‍ය තෝරාගෙන, එයින් අවසන් වටයට තෝරාගනු ලැබු නාට්‍ය සඳහා සහතික සම්මාන ප්‍රදානය කරන්න කටයුතු කළා.

ඒ වැඩපිළිවෙළ අවසානයේදීත් දක්ෂ දරුවන් විශාල පිරිසක් මේ ක්ෂේත්‍රයට පිවිසුණා. නලින් ප්‍රදීප් උඩවෙල ඒ තරගයෙන් ආපු ශිෂ්‍යයෙක්. පියල් කාරියවසම් ආදී බොහෝ දෙනෙක් ක්ෂේත්‍රයට ආවා. මගේ රංග පීඨය හරහා තරුණ කොටස් එක් රැස් කර එක් තැනකට ගෙන එන ගමන්, මේ ආකාරයට පාසල් මට්ටමිනුත් දරුවන් සෞන්දර්ය අංශයෙන් එක් රැස් කර එක තැනකට ගෙන එන්න ලැබීම පිළිබඳ මං ගොඩක් සතුටු වෙනවා.

 

ඒ කටයුතුවලටම කාලය යොදවද්දී ඔබේ නිර්මාණවලට ඉඩක් තිබුණා ද?

ඒ සේරම කරන ගමන් තමයි මගේ නිර්මාණත් කළේ. මගේ වේදිකා නාට්‍ය, ටෙලි නාට්‍ය ආදී දිගටම කළා.

පළමුවැනි රාජ්‍ය නාට්‍යයේ උලෙළේ මගේ ටෙලි නාට්‍යයක් තමයි මුලින්ම ඇගයීමකට පාත්‍ර වුණේ. ‘සුවඳ ඔබයි අම්මේ’ කියලා. ඊට අමතරව පොත් ලීවීමේ කටයුතුවලත් නිරත වුණා. ඒවා නාට්‍ය සම්බන්ධ පොත් විතරක්ම නොවෙයි. නමුත් විවිධ නවකතා, කෙටි කතා තිර රචනා ආදී ඒ අතර තියෙනවා.

විශේෂයෙන්ම මා ලබා ඇති අධ්‍යාපනික දැනුමෙන් කුමක් කළ යුතු දැයි සිතූ විට තරුණ දරුවන් අතර ඒ දැනුම බෙදා හැරිය යුතුයි කියන අදහසින් තමයි මේ පොත් ලියුවේ.

 

අදටත් සෑම ඉරු දිනකම ඔබ ඉටු කරන වටිනා කාර්යය ගැනත් සිහිපත් කරන්න කැමැතිද?

ඒ කටයුත්තේ දී නාට්‍ය මූලධර්මවල සිට නාට්‍ය නිර්මාණකරණය තෙක් දැනුමක් තරුණ දරුවන්ට ලබා දෙන්න මං කටයුතු කරනවා. ඒ වගෙම ඒ දරුවන්ගේ නිර්මාණ එකතු කර විවිධ තරගවලට යොමු කිරීම ආදීත් එහිදී සිදුවෙනවා. මේ පන්තියට බොහෝ දුරට සහභාගි වන්නේ අවුරුදු දහනවය විසිනවය ආදී වයස්වල තරුණ කොටස්. මම ඒ වෙනුවෙන් කිසිදු මුදලක් අය අය කරන්නෙත් නෑ. ඒක මට සතුටක්. ඒ දරුවනුත් හරිම කැපවීමකින් ඒ දැනුම ලබාගන්න කටයුතු කරන්නේ. එහිදී දරුවකුට තනිවම නාට්‍යයක් නිෂ්පාදනය කරගන්නා මට්ටම දක්වා වූ මඟ පෙන්වීම කරනවා.

 

නාට්‍ය හා රංග කලාව පිළිබඳ ගුරුවරයකු ලෙස කටයුතු කර ලැබූ අත්දැකීම් යළි සිහිපත් කළ හැකිද?

මේ ක්ෂේත්‍රයට පිවිසෙන්න පෙර නාට්‍ය හා රංග කලාව පිළිබඳ ගුරුවරයකු ලෙසයි කටයුතු කළේ. ගුරුවරයකුගෙන් ශිෂ්‍යයන් යම් කිසි විෂයක් හදාරන්නේ නම් ඒ ශිෂ්‍යයන් පසුකාලීනව යම් ඒ ඔස්සේ කැපී පෙනීමකට බඳුන් විය යුතුයි. මම හිතන්නේ එහෙමයි. ඒ නිසා මම හැම විටම ඒ විෂය ප්‍රායෝගික පැත්තට නැඹුරු කළා. ඒ දරුවන් වේදිකාවේ හෝ සිනමාවේ දක්ෂ රංගන ශිල්පීන් බවට පත් කරන්න වුවමනා මඟ පෙන්වීම ශක්තිය නොඅඩුව ලබා දුන්නා. එබඳු දරුවකු තමයි පාලිත සිල්වා. පාසල් වේදිකාවෙන් ගෙන නාට්‍යය හරහා කලා ක්ෂේත්‍රයට යොමු කළා. අන්න ඒ තැනට ආවොත් තමයි ගුරුවරයෙක් හට තමන්ගේ කොටස හරියට කළා කියා දැනෙන්නේ.

 

සරසවි නිර්මාණ සම්මාන ප්‍රදානය පිළිබඳත් අදහසක් දැක්වීම වැදගත් වේවි

ඔව්. 37 වැනි සරසවි නිර්මාණ සම්මාන ප්‍රදානය ලබන දෙසැම්බර් මාසයේ පැවැත්වෙන්නේ. ඒ යටතේ දිවයිනේ නිර්මාණශිලි නවක නාට්‍ය ශිල්පීන්ට මෙන්ම කලා මාධ්‍ය ඔස්සේ අපේ කලා ක්ෂේත්‍රයට අනුපමේය සේවයක් කළ ප්‍රවීණ කලා ශිල්පීන් වෙත සරසවි නිර්මාණ සම්මාන ප්‍රදානය කෙරෙන 37 වැනි සරසවි නිර්මාණ සම්මාන ප්‍රදානය එළැඹෙන දෙසැම්බර් මස 28 වැනි බදාදා පස්වරු 6.30ට කොළඹ නව නගර රංග ශාලාවේදී පවත්වන්න කටයුතු සුදානම් කර තියෙනවා. එහිදී උදෑසන 9 සිට සවස 4 දක්වා නාට්‍ය තරගයත් සවස 6 සිට සම්මාන ප්‍රදානයත් පැවැත්වෙනවා. කලින් පැවැත් වූ නාට්‍ය තරගවලින් අවසන් වටයට සුදුසුකම් ලැබු නාට්‍ය දහතුනක් එකම වේදිකාවක එදින වේදිකාගත වෙන්නේ. එතැනදී විනිශ්චය මණ්ඩලයක් ඉදිරිපිට සුදුසුකම් ලබන ජයග්‍රාහකයන්ට තමයි සම්මාන ප්‍රදානය කරනු ලබන්නේ. මෙතැනදී හැම නාට්‍ය ශිල්පියකුම තම නිර්මාණ විනිශ්චය මඬුල්ලේ නිරීක්ෂණයට ලක් වන හැටි දකිනවා. ඒ අවස්ථාවේම අගය කිරීමට ලක් වීම හා සම්මාන තීරණය වීම නිසා කිසිදු ගැටලුවක් ඇතිවන්නේ නෑ. සම්මානය ප්‍රදානය සිදු වන්නෙත් එදාමයි. ඉතින් පුරා අවුරුදු තිස් හතක් මා මෙය ඉටු කළා. ආත්ම තෘප්තිය තමයි මට හැමවිටම වැදගත් වුණේ. ඒ වාගේම මේ අවුරුදු ගණනාව පුරා මේ ක්ෂේත්‍රයට බිහි වූ පිරිස වර්තමානයේ ගෙවන දිවිය දැක බොහෝ සතුටු වෙනවා. කලා ක්ෂේත්‍රයේ හැම මාධ්‍යයකම ඔවුන් ඉන්නවා. ඒ සාර්ථකත්වය දකිනු හැර වෙන සතුටක් නෑ.

ඒවාගෙම ඒ සියල්ලක් කළේ ඇගයීම් අපේක්ෂාවෙන් නොවේ. නමුත් රාජ්‍ය මට්ටමේ ඇගයීම් කීපයක්ම මං ලබා තියෙනවා. මේ කාර්යය නිසි ලෙස කරන හැටි විතරයි මං සිතන්නේ. මම මගේ පොත්වලින් ලැබෙන ආදායමෙනුත් තවත් අයකුට සම්මානයක් දෙන්නයි කටයුතු කරන්නේ. ඒ කියන්නේ තවත් පිරිසකගේ අනාගතය වෙනුවෙන් මම මගේ පොත්වල ආදායම පවා යොමු කරනවා. මම ඒක කරන්නේ ඇත්තටම හරි සතුටින්. ඒ තෘප්තිය පමණයි මට ලැබෙන්නේ. වෙන දෙයක් නොවේ. එදාට නවක ශිල්පීන්ට සම්මාන ප්‍රදානය කරනවා සේම ඔවුන්ගේ පසුබිම සකස් කරන්න දායක වූ ප්‍රවීණයන් කිහිප දෙනෙකුටත් සම්මාන හිමි වනවා. එය සෑම වසරකම සිදුවන දෙයක්. මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ සිට පන්සියයකට ආසන්න පිරිසකට එසේ සම්මාන ප්‍රදානය කර ඇති. ඒ වාගේම නවකයන්ට තමන් නියැළී සිටින ක්ෂේත්‍රයේ සිටින ප්‍රවීණයන් දැන හඳුනා ගැනීමට හා පුර්වාදර්ශයක් වනු සඳහාත් තමයි මෙය සිදු කරන්නේ.

මේ සඳහා මට අවංක හදවතින් උදවු කරන බොහෝ දෙනකු සිටිනවා. එදාට එම අවස්ථාව වර්ණවත් කරගැනීම වෙනුවෙන් රාජ්‍ය නාට්‍ය කණ්ඩායම දක්වන සහයත් ගොඩක් අගය කරනවා. ඊට අමතරව පරිබාහිර ශිල්පීන් මීට සහභාගි වෙනවා. එදාට අවසන් වටයට තෝරාගනු ලැබු නාට්‍ය දහතුනක් සඳහා අංශ කීපයක් යටතේ සම්මාන ප්‍රදානය කිරීමට නියමිතයි. ඒ වගේම මේ කර්තව්‍යය වෙනුවෙන් එදත් අදත් එක ලෙස විශාල සහයක් දක්වන සරසවිය පුවත්පතට, විශේෂයෙන් එදා සිට අද දක්වා වූ එහි ප්‍රධාන කතුවරුන්ටත් මගේ ස්තූතිය මේ වෙලාවේ පුද කරනවා.

 

ඔබ තරුණ පරපුර සමඟ දිගු ගමනක් ආ කෙනෙක්. එදා තරුණ පරපුර හා අද තරුණ පරපුර අතර වෙනස දකින්නේ කොහොමද?

එදා තරුණ පරම්පරාව හා අද තරුණ පරපුර අතර ලොකු වෙනසක් දකිනවා. එදා තරුණ පරම්පරාව අතර දුටු සාරධර්ම, මානුෂීය හැඟීම්, ළෙන්ගතුකම් අද මං දකින්නේ අඩුවෙන්. අද පරපුර ඉවසිලිමත් බවිනුත් හීනයි. නමුත් මං ඒ පිළිබඳ විශාල කම්පනයකට පත්වන්නේ නෑ. ඒ වෙනස්කම් අතර මට ඔවුන් වෙනුවෙන් කළ හැකි දේ කරමින් නිහඬව ඔවුන්ට යමක් වටහා දෙන්නයි උත්සාහ කරන්නේ. දහසින් බැඳි පියලි නැතත් ඒ ලබන සතුට මිල කළ නොහැකියි.

 

[email protected]

සේයාරූ - ශාන් රූපස්සර