යොවුන් නාට්‍ය උලෙළේ හොඳම නළුවා සහ නිළිය සමඟ කතාබහක්

දෙසැම්බර් 16, 2021

වසර හතක් රඟපෑවේ නැහැ
- ඉෂාන් කුලතිලක

නාට්‍යය පුහුණු වුණේ බේකරියක 
- ආශා හංසනී පෙරේරා

මෙවර යොවුන් නාට්‍යය උලෙළේ දිගු නාට්‍ය අංශයේ හොඳම නළුවා සහ නිළියයි මේ. නළුවාගේ නම ඉෂාන් කුලතිලක. නිළිය ආශා හංසිනි පෙරේරා. පළමුව අපි කතා කරමු ඉෂාන් සමඟ.

ඔබ රංගනයට අත්පොත් තැබුවේ කොහොමද?

මගේ ගම පල්ලේබැද්ද. පල්ලෙබැද්ද මහ විදුහලින් තමයි අධ්‍යාපනය හැදෑරුවෙ. නාට්‍යවලට මම ආසයි කියලා දැනගත්තට පස්සෙ අපේ ඉස්කෝලේ ජගත් වේරගම සර් මාව නාට්‍ය විෂය හදාරන්න යොමු කළා. ඊට පස්සේ මම එනවා රත්නපුර ශාන්ත ලූකස් විදුහලට. එතනින් මම සම්බන්ධ වුණා සාරින්දා කලායතනයට. ඊට පස්සෙ 2014 වසරේදී රාජ්‍ය ළමා නාට්‍ය උළෙලට නාට්‍යක් කළා. ඒක අධ්‍යක්ෂණය කළේ දිලංක නාමල් උඩුමුල්ල.

2014න් පසුව?

කියන්නට කනගාටුයි. ඒ අවුරුද්දෙන් පස්සේ මේ සම්මානය ගන්න තැනට වෙනකම් මම කිසිදු නිර්මාණයකට දායක වුණේ නැහැ.

ඇයි එහෙම වුණේ?

ඒකට කියන්න හේතු මම දන්නේ නැහැ. එදා ඒ නාට්‍යයට සම්බන්ධ වෙලා මේවනතෙක් මම නළුවෙක් විදිහට නිර්මාණවලට දායකත්වය ලබාදුන්නේ නැහැ. නමුත් පිටපත් රචකයකු, අධ්‍යක්ෂවරයකු විදිහට මම නිර්මාණකරණයේ යෙදුණා. ඒ අතරතුරදී මට සම්මාන කිහිපයක් හිමිවුණා. රාජ්‍ය නාට්‍ය උලෙළේ හොඳම අධ්‍යක්ෂණයට, ඒ වගේම යොවුන් නාට්‍ය උලෙළේ හොඳම පිටපත් රචනය. මේ සම්මාන ලැබුණේ ‘ද ස්මෙල්’ කියන මගේ නාට්‍යයට. ඊට පස්සේ වේදිකාවෙන් මහපොළවට නාට්‍ය උලෙළේදිත් මට සම්මානයක් හිමි වුණා. මම සම්මාන ගණනාවක් ලබා ගත්තාත් නළුවෙක් විදිහට මට ඉස්සරහට එන්න බැරි වුණා.

මෙවර යොවුන් නාට්‍යය උලෙළේ ඔබ ලබාගත් සම්මානය පිළිබඳ සඳහන් කරන්න?

හතළිස් දෙවැනි යොවුන් නාට්‍ය උලෙළ දිගු නාට්‍ය අංශයේ හොඳම නළුවා ලෙස තමයි මම සම්මාන ලැබුවේ. ඒ නාට්‍ය නම මිසිං. එදා 2014 වසරේදීයි වසරේදී රාජ්‍ය නාට්‍ය ළමා නාට්‍ය උලෙළට ඉදිරිපත් කරපු ඇපල් කියන ඒ නාට්‍යය අධ්‍යක්ෂණය කරපු නිලන්ත නාමල්ම තමයි මිසිං කියන නාට්‍යයත් නිර්මාණය කළේ. මම එහි රඟපෑවේ කාන්තා ගතිගුණවලට වඩා වඩාත් නැඹුරු පිරිමි චරිතයක්. ඒ චරිතය ගොඩනඟා ගන්න සෑහෙන අභියෝගයක් වුණා.

කාත් සමඟද ඔබට තරගයක් තිබුණේ?

ඇත්තටම අභියෝගයක් කියලා තිබුණේ අපේම අයගෙන් තමයි. අපිම තමයි තරග වැදුණේ. ඒක නිසා ඒ සම්මාන කාට ගියා වුණත් ගැටළුවක් වුණේ නෑ.

මොනවද ඉදිරි බලාපොරොත්තු?

ඇත්තටම මේ වෙනකොට අධ්‍යක්ෂවරයෙක් විදියට මං ඉස්සරහට ඇවිල්ල තියෙනව. ‘ලේඩීස් ඔන්ලි’ කියලා ටෙලි සීරීස් එකක් පරන්ගත්තා. ඒක ලෝන්ච් කරන්නෙ මගෙ යූටියුබ් චැනල් එකේ. ඒකෙ වැඩ කටයුතු තමයි මේ වනවිට කරගෙන යන්නේ.

ඊළඟට අපි කතා කරන්නේ අශා එක්ක.

ආශා ඔබ මීට ප්‍රථම සම්මාන ගණනාවක් දිනාගත් කෙනෙක්. ඒ පිළිබඳ විස්තරයක් සදහන් කරන්න.

මුලින්ම මම වේදිකාවට එන්නේ කෙටි නාට්‍යයකින්. ඒ 2012දී විතර. නාට්‍යයේ නම ගැහැනු කවුරුද වරද නොබැඳෙන. ඊට පස්සේ දිගින් දිගටම වේදිකා නාට්‍යවල සම්බන්ධ වුණා. 2016 වසරේදී මං විතරක් කියලා වේදිකා නාට්‍යයක් නිර්මාණය කළා. එක තමයි මගේ පළවෙනි වේදිකා නාට්‍ය අධ්‍යක්ෂණය. 2017 වසරේ යෞවන සම්මාන උලෙළේ හොඳම නිළිය ලෙස සම්මානයට පාත්‍ර වෙනවා. ඒ අවුරුද්දෙම රාජ්‍ය සම්මාන උලෙළේ හොඳම නිළිය තුන්වැනි ස්ථානයට මට සම්මානය ලැබෙනවා. ඒ සම්මාන හිමිවුණේ ඒ ස්වර්ගරාජ්‍යය වේදිකා නාට්‍ය වෙනුවෙන්. 2018 වසරේ රාජ්‍ය ළමා නාට්‍ය උලෙළේ මම අධ්‍යක්ෂණය කළ රාමන්ට රජ තෑග්ගක් නාට්‍යයට හොඳම අධ්‍යක්ෂණය ඇතුළු සම්මාන හයක් හිමිවෙනවා. 2019 වසරේ රාජ්‍ය ළමා නාට්‍ය උලෙළට දමිළ අංශයෙන් මම ඉදිරිපත් කරපු වනක්කම් රාජා කියන වේදිකා නාට්‍යයේ හොඳම අධ්‍යක්ෂ විදියට සම්මාන හිමිවෙනවා. ඒ ළමා නාට්‍ය උලෙළේ හොඳම සහාය නිළිය ලෙස සම්මානයට පාත්‍රවෙන්නෙත් මම. මේවා තමයි මම ගත් සම්මාන.

මෙවර ලැබූ සම්මාන ගැන සඳහන් කරන්න.

යෞවන සම්මාන උළෙලේ 2020 වර්ෂයේ හොඳම නිළිය ලෙසටයි මට සම්මාන හිමිවුණේ. ඒ වගේම හොඳම නිෂ්පාදනයටත් සම්මාන හිමි වුණා. නාට්‍යයේ නම පුනරාගමනය. මම එහි අධ්‍යක්ෂ. මේ වෙලාවේ ජාතික තරුණ සේවා සභාවට ස්තුතිවන්ත වෙන්න ඕනේ මේ වගේ කාලයක මෙවන් වූ වේදිකා නාට්‍ය උලෙළක් සංවිධානය කිරීම පිළිබඳ.

පුනරාගමනය නාට්‍යයේ අන්තර්ගතය මොකක්ද?

ඒ නාට්‍යය පරිවර්තනය. මුල් නාට්‍යය පැය දෙකහමාරක් දිගයි. මම එය පැය ඒකයි විනාඩි හතළිහකට කෙටි කළා. මම මෙහි රඟපෑවේ මවගේ චරිතය. ස්වාමිපුරුෂයාගේ අකටයුතුකම් විඳීමින් මේ මව ජීවත් වෙන්නෙ. තමන්ගේ මාතෘ සෙනෙහස පසෙකටලා තම දරුවා ගෙදරින් පිටත්කර හරිනවා වෙන තැනකට. මොකද ස්වාමිපුරුෂයාගේ ඒ වරදකාරී දේවල් ළමයා දැනගනියි කියලා. නමුත් මේ දරුවා කරන්නේ මවට වෛර කිරීම. ඉතින් මේ මවගේ චරිතය ටිකක් සංකීර්ණයි. මාස හයක් විතර මං ඒ චරිතය පිළිබඳ අධ්‍යයනය කළා. ඊට පසුව තමයි රිහසල් කරලා වේදිකාවට ගෙනාවේ.

ඔබේ ඉදිරි බලාපොරොත්තු මොනවාද?

මං නිර්මාණය කළ පුනරාගමනය නාට්‍යයේ දර්ශනවාර ටිකක් රටපුරා පැවැත්වීම තමයි මගේ එකම බලාපොරොත්තුව. මේ වගේ කාලෙක වේදිකා නාට්‍යයක් නිර්මාණය කළා කියලා කියන්නේ ඒක ඉතාම අභියෝගයක්. මේ වෙලාවෙ මතක් කරන්න ඕනේ අපිට කොවිඩ් කාලේ රිහසල් කරගන්න ‍තැනක් නැතුව සෑහෙන්න කට්ටක් කෑවා. කොට්ටාවේ මහල්වරාව රාජයියාගේ බේකරිය කියන ප්ලේස් එකේ තමයි අපි වේදිකා නාට්‍ය රිහසල් කළේ. ඒ නිසා ඔහුවත් මතක් කරන්න ඕනේ.

සේයාරූ - නිශ්ශංක විජේරත්න