අභියෝගයක් වූ භූමිකාව

ලාංකේය වේදිකා නාට්‍ය කලාවේ ස්ත්‍රී භූමිකාව - 74 ලිපිය
ඔක්තෝබර් 21, 2021
මහාචාර්ය  එදිරිවීර සරච්චන්ද්‍ර

 

 

චාන්දනී සෙනෙවිරත්න වූ කලී තමාට ලැබෙන ඕනෑම චරිතයකට සාධාරණය ඉටු කළ හැකි විශිෂ්ට ගණයේ චරිතාංග නිළියක බැව් මා අමුතුවෙන් කිව යුතු නොවේ. ඇතැම් නිළියන් හට උප්පත්තියෙන් හිමි වනුයේ පෙරදිග ඌරුවේ ගැමි පෙනුමකි.එහෙයින් ඔවුන් හට අපරදිගට උරුම චරිත නොගැළපේ. ඇතැමුන්ගේ පෙනුම බටහිර පන්නයට සමීප වූ බැවින් ප්‍රාචීන ගැමි ලිය ඔවුන්ට නිරූපණය කිරීමට නොහැකිය.උප්පත්ති රූපකාය හේතු කොට ඔවුන් හට ඒකාකාරී,පැතලි චරිතවලට කොටු වීමට සිදු වීම ස්වභාවයකි.

චාන්දනී උප්පත්තියෙන් භාග්‍යවන්ත රූපණවේදිනියකි. ඇයට තිබෙනුයේ විශ්වයටමැ පොදු ගැහැනු රූපකායකි.එහෙයින් නිරූපණයට ලැබෙන භුමිකාවෙහි ප්‍රාචීන, ප්‍රතිචීන බව චාන්දනී හට ගැටලුවක් නොවීය. අවැසි වූයේ ඊට අදාළ වේශ නිරූපණය පමණකි.

එහෙයින් ඇය හට කිසිදු චරිතයක් නිරූපණය කිරීම අභියෝගයක් නොවීය. එසේවුවත් එදා මෙදා චාන්දනීගේ වේදිකා නාට්‍ය දිවියෙහි එක් නාට්‍යයක භුමිකාවක් ඇයට අභියෝගයක් මැ වීය. එයද රූපණයට අදාළ හේතුවක් නිසා නොවේ. මේ නාට්‍යයෙහි ගීත ගායනා කිරීමටත් ඕ හට සිදුවීම හේතුවෙනි. ලලිතා සරච්චන්ද්‍රගේ "යෙර්මා" (1999) නාට්‍යයෙහි යෙර්මාගේ භුමිකාව ඇයගේ රූපණ දිවියෙහි අභියෝගාත්මක මංසලකුණකි. තමාට ගීත ගායනා කළ නොහැකි යැයි පවසා චාන්දනී මේ චරිතය රඟපෑම මුලින් ප්‍රතික්ෂේප කළාය. එහෙත් පසුව ලලිතාවන්ගේ දිරිගැන්වීම හේතු කොට මේ අභියෝගය ඕ භාර ගත්තාය. වත්මනෙහි රුසියාවේ වාසය කරන නිශාන්ත රොහාන් නෙත්සිංහගේ ඖචිත්‍ය පූර්වක සංගීතය "යෙර්මා" හී කැපී පෙනිණ. මෙහිදී නෙත්සිංහ තමාට ගායනා කළ හැකි ශ්‍රැතියට අනුව ගීත හදා දුන් බව චාන්දනී වරක් මා හට පැවසුවාය.

"කඥපථච" (1934) වූ කලී සුප්‍රකට ස්පාඤ්ඤ නාට්‍යවේදී ෆෙඩ්රිකෝ ගාර්සියා ලෝර්කා (1898-1936) විසින් විරචිත ශෝකාන්ත නාට්‍යයකි. මේ නාට්‍යයේ පෙළ 1993 දී මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර සහ මහාචාර්ය සුනිල් ආරියරත්න රස මුසු කවි බසින් සිංහලයට නැඟූහ. ඒ පෙළ ඇසුරු කොට ගත් "යෙර්මා" නාට්‍යය ලලිතා සරච්චන්ද්‍ර අධ්‍යක්ෂණය කළාය. දාරක සම්පත පිළිබඳ නොතිත් ආශාවෙන් මඩනා ලද යෙර්මා නම් වූ විවාහක ස්ත්‍රියගේ සංකීර්ණ , ප්‍රමුඛ භුමිකාව චාන්දනී මෙහි නිරූපණය කළාය. තම සැමියා වූ යුවන් (සරත් කුලාංග රඟපෑ) ඇයගෙන් හුදෙක් සම්භෝග සුවය පමණක් අපේක්ෂා කරන්නෙකි. යුවන් සහ යෙර්මා අතර පවත්නා ජීවන අරගලය මේ නාට්‍යයට වස්තු විෂය විය. ඔවුන් විවාහ වී වසර ගණනාවක් ගත වුවද ඔවුන්ට දරු ඵල නොමැත. යුවන් ඇයට දරුවකු ලබා දීමට කිසිදු කැමැත්තක් නැත. ආගමික හැඟීම්වලින් මනාව හික්මුණු ගැහැනියක වූ යෙර්මා පරපුරුෂ සේවනයෙන් දරුවකු නොපැතුවාය. යුවන් හා විවාහයට පෙර ඇයට සිටි පෙම්වතා වික්ටර් (නීල් අලස් රඟපෑ) ය. ඔහු ඇසුරෙන් හෝ එවැනි වරදක් නොකොට ඇය පතිවෘතය රැක ගත්තාය.එහෙත් යුවන් නිතර ඇය දෙස බැලුවේ සැක මුසු චිත්තයෙනි. මේ හේතු කොට යෙර්මාට ගිහිගෙය ගිනිගෙයක් බවට පත් විය. යුවන්ගේ සොහොයුරියන් වූ අවිවාහක, මුස්පේන්තු ගති පැවැතුම්වලින් හෙබි නෑණාවරුද (පුෂ්පකුමාරි ජයවර්ධන සහ කසුනි ජයවර්ධන රඟපෑ) ඇයට අකාරුණික වූහ. යුවන් සහ යෙර්මා කඳු මුදුනක පිහිටි ආශ්‍රමයකට වන්දනාවේ යති.යුවන් වඳ පුරුෂයකු බව මෙහිදී මැහැල්ලකගෙන් (දීපානි සිල්වා රඟපෑ) යෙර්මාට දැන ගැනීමට ලැබේ. අවසන තම පීඩනය දරාගත නොහී , භග්න ආශා ඇත්තී යෙර්මා තම සැමියාගේ ගෙල මිරිකා මරා දමනුයේ ඔහු ඇයගේ ලස්සනට පළමුව වශී වී සම්භෝග රතියට එළඹෙන කල්හීය. ඒ උද්වේගකර ජවනිකාව මේ ය.

 

යෙර්මා - මට ළමයෙක් ඕන බව දැනගෙනත් උඹ ඒ ගැන පොඩ්ඩක්වත් හිතුවේ නෑ.

යුවන් - පොඩ්ඩක්වත් නෑ.

(දෙදෙන ම බිම හිඳ ගනිති.)

යෙර්මා - මට බලාපොරොත්තුවක් නැද්ද ළමයෙක් ගැන ?

යුවන් - නැහැ !

යෙර්මා - උඹටත් නැද්ද

යුවන් - නැහැ , හිත හදා හදාගනින්

යෙර්මා - වඳයි !

යුවන් - සමාදානෙන් ඉම්මු.

උඹයි මමයි. සන්තෝසෙන්.සමාදානෙන්. මාව බදා ගනින්.

(ඔහු ඇය වැලඳ ගනියි.)

යෙර්මා - උඹ මොනවද හොයන්නෙ ?

යුවන් - උඹවයි. හඳ එළියට උඹ හරි ලස්සනයි.

යෙර්මා - උඹට මාව ඕනෙ කරල තියෙන්නෙ, සමහරුන්ට සමහර දවස්වලට පරවියෙක් ඕනෙ කරනව වගේ උයාගෙන කන්න !

යුවන් - මාව ඉඹපන් ...මෙහෙම..

යෙර්මා - මං කිසි කාලෙක ඒක කරන්නෙ නෑ

(යෙර්මා යටි ගිරියෙන් මොර ගසා තම සැමියාගේ බොටුවෙන් අල්ලයි.ඔහු පසුපසට වැටෙයි. ඇය ප්‍රාණය නිරුද්ධ වනතුරුම ඔහුගේ බොටුව මිරිකා ගෙන සිටී. වන්දනාකාරයන්ගේ ගීතය ඇරඹේ.

යෙර්මා - වඳයි ! වඳයි ! ඒක හරි

දැන් මං හොඳාකාරවම දන්නවා ඒක ඇත්ත බව. ඒ විතරක් නෙවෙයි, මං තනි ගෑනියෙක් බව.

(ඇය නැඟී සිටී. මිනිස්සු රොක් වෙන්ට පටන් ගනිත්.)

දැන් ඉතින් මට නිදාගන්ඩ පුළුවන්, හදිස්සියෙන් නැඟිටලා මගේ ලේවලට අලුත් අමුතු ලෙයක් ඇවිල්ල තියෙනවද කියලා බලන්නෙ නැතුව. මගේ සරීරේ සදහටම වේලිලා ! උඹලට මොනවද ඕනෑ. එන්න එපා මං ළඟට! මං මගේ පුතාව මැරුව ! මගේ අතින්ම මං මගේ පුතාව මැරුවා !

"යෙර්මා" හී ඇතුළත් වූ ගීත චාන්දනී ගයද්දී එහි ඇය සමඟ ප්‍රධාන චරිතය රඟපෑ සරත් කුලාංගගෙන් අනගි සහයක් ලැබිණ.ඔහු ප්‍රවීණ නාට්‍යවේදියකු , නළුවකු මතු නොව සංගීත අධ්‍යක්ෂවරයකුද වේ. මෙහි දරුවකු ගැන සිහින මවන යෙර්මා මෙලෙස ගයන්නීය. "ඔබේ ළැම මත සුදු කඳු ගැට" යන මෙහි එන රමණීය කාව්‍යෝක්තිය සහෘදයා තුළ ඉසියුම් සංවේදී ශෝකී රසයක් ජනිත කරවයි.

 

කොයිබ සිටන්දෝ

බිළිඳුන් ආවේ

හිම ගත කඳු

අඩවියෙනුයි ආවේ

සුරතල් බිලිඳුනි

මොනවද ඕනෑ

ඔබගේ ඇඳුමේ

උණුසුම ඕනෑ

 

(ඇය ඉඳීකටුව නූල අමුණයි)

 

ඉර අව්වේ අතු ඉති සෙල වේවා සතර අතේ උල්පත් මතු වේවා

 

(බිලිඳකුට අමතන අයුරින්)

 

මැද මිදුලේ සිට බල්ලෝ බුරතී

තුරුවදුලේ මඳ සුළඟ ගයයි

ගව රැළ එනතුරු

ගවයෝ හඬති

සඳ මගෙ හිසකේ රැළි කරවයි

ඈත සිටින මගෙ පුතුනේ

මොනවද නුඹ ඉල්ලන්නේ

 

(විරාමයක්)

 

ඔබෙ ළැම මත සුදු කඳුගැට

ඉර අව්වේ අතු ඉති සෙලවේවා

සතර අතේ උල්පත් මතු වේවා

 

(ගෙත්තම් කරමින්)

 

මගේ පුතේ මම කියන්නෙ

ඉරි කැඩී බිඳී ගියත්

කම් නැත මට නුඹ වෙනුවෙන්

නුඹ බාවා නළවන තුරු

නුඹේ පළමු තොටිල්ල මත

 

මේ ලිපිය සමඟ පළ කරනු පිණිස "යෙර්මා" නාට්‍යයේ සේයාරුවක් මා වෙත යොමු කළ ප්‍රවීණ නාට්‍යවේදී සරත් කුලාංගයන්ට මගේ හෘදයාංගම ප්‍රණාමය හිමි වේ. ෆෙඩ්රිකෝ ගාර්සියා ලෝකාගේ "ඊඩඥ ඩ්ධභඵඥ ධට ඕඥපදචඤච ඒතඡච"(1945) නාට්‍යය "බර්නාඩාගේ සිපිරිගෙය" නමින් මහාචාර්ය රංජිනී ඔබේසේකර සිංහලයට නඟා අධ්‍යක්ෂණය කළාය. ඒ 1971 වසරේදීය. මේ පිටපත ඇසුරුකොට ප්‍රියන්ත සිරිකුමාර 2011 දී "බර්නාඩාගේ සිපිරිගෙය" නාට්‍යය නිර්මාණය කළේය. ලෝකාගේ "ඕතධධඤ ඹඥඤඤඪදඨ"(1933) "තුරඟා දැන් දැන් හඬතා" නමින් හේමමාලී ගුණසිංහ විසින් සිංහලයට පරිවර්තනය කොට 1984 දී නිෂ්පාදනය කරන ලදි. කෞශල්‍යා ප්‍රනාන්දු "ඕතධධඤ ඹඥඤඤඪදඨ" ඇසුරෙන් "සඳ ළඟ මරණය" (2005) නාට්‍යය අධ්‍යක්ෂණය කළාය. එහෙත් ලෝකා ලාංකේය වේදිකාවට හඳුන්වා දීමේ ගෞරවය හිමි වනුයේ ප්‍රවීණ නාට්‍යවේදී ගුණසේන ගලප්පත්ති සූරීන්ටය.

 

මතු සම්බන්ධයි...