පෙළ අතර නොමැති රංගනය කියැවීම

අගෝස්තු 19, 2021
උදයසිරි වික්‍රමරත්න

 

 

උදයසිරි වික්‍රමරත්නගේ "රඟපෑම් ඉවරයි" (Adieu to acting) නාට්‍යයෙහි ශ්‍රියන්ත මෙන්ඩිස් විනාඩි 20 ක් රඟපෑ මළ මිනිසාගේ භූමිකාවෙන් සහ සුබුද්ධි ලක්මාලි විනාඩි 25 ක් රඟපෑ , නාමකරණයක් නොමැති ස්ත්‍රී භූමිකාවෙන් සංක්ෂේපයෙන් පළවූ නාට්‍යවේදියාගේ දෘෂ්ටිය, දිගු පුළුලින් සහ ගැඹුරින් යුතුව සහෘදයාට සන්නිවේදනය කෙරෙනුයේ මෙහි අවසන් අර්ධයේ එන කමල් අද්දරආරච්චිගේ විනාඩි 55 ක රංගනය ඔස්සේය.ඔහුගේ භූමිකාව "සබකෝලයා" ලෙස නාමකරණය කොට ඇත. ඕනෑම පුහුදුන් පුද්ගලයකුගේ අධ්‍යාත්මයෙහි උඩු සිත සහ යටි සිත අතර අනවරත අරගලයක් පවතී.

 

මිනිසා ස්වකීය හෘදය සාක්ෂියට එකඟව ක්‍රියා කළත් නැතත් ඕනෑම මිනිසකු හට එහි බලපෑමෙන් මිදී සිටිය නොහැකිය. කොතැනකදී හෝ එය ඉස්මතු වේ. බාහිර සමාජයට කෙබඳු ආකාරයක හෝ බොරු රඟපෑමක් ඉදිරිපත් කළත් තම චිත්ත අභ්‍යන්තරයෙහි හෘද සාක්ෂිය එය පෙන්වා දුන් කල්හි ඕනෑම පුද්ගලයකු ලැජ්ජාවට පත්වීම නොවැළැක්විය හැක්කකි.

 

සබකෝලයාගේ භූමිකාවෙන් සංකේතවත් කෙරෙනුයේ සමාජයේ ඕනෑම පුද්ගලයකු හට මෙලෙස දැනෙන්නා වූ ලැජ්ජාවය. සබකෝලය යනු සභාවක් හෙවත් සමාජයක් ඉදිරියට පැමිණීමේදී දැනෙන හිරි හෙවත් ලැජ්ජාවය. සබකෝලය යනුවෙන් වදනක් සිංහල භාෂාවෙහි ඇති නමුත් සබකෝලයා යන යෙදුම එතරම් සුලබ නැත. නාට්‍යවේදියා නිර්මාණශීලී නාමකරණයකට පිවිස ඇත. මෙහිදී භූමිකා ගණනාවක් නිරූපණය කරන කමල් අතිශය සාමාන්‍ය කමිසයකින් සහ කලිසමකින් සැරසී සිටියි. මේ නාට්‍යයෙහි වස්‍ත්‍ර නිර්මාණය කමල් විසින්ම ඉටු කරන ලදි. සබකෝලයාගේ භූමිකාව ඔහුගේ වේදිකා නාට්‍ය රංගන දිවියෙහි සංධිස්ථානයක් ලෙස මම දකිමි. එය අසීරු මෙන්ම අතිශය නිර්මාණශීලී රංග කාර්යයකි. එබඳු භූමිකාවක් මැනවින් රූපණය කළ හැකි වනුයේ දිගු කාලයක් රංග කාර්ය මැ පයුරුපාසනය කරමින් අත්දැකීම්, මනා පරිචයක් ලබා ඇති නළුවකුට පමණි. කමල් ස්වකීය පරිකල්පනය ඔස්සේ මෙහි විවිධ චරිතවලට නිර්මාණශීලී මානයක් එක් කොට ඇත. නාට්‍යයෙහි පෙළෙහි වචන අතර නොමැති කියැවීමක් (Read between the lines) ) ඔහුගේ ශූර රංගනයෙන් නිරූපණය කෙරේ. මේ රංග කාර්යය තාත්විකත්වයට නැඹුරු වන නමුදු විටෙක එය ඉක්මවා යමින් ප්‍රේක්ෂකයාට තීව්‍ර හැඟීම් දනවන අයුරු පෙනේ. මේ වූ කලී සර්වකාලීන අත්දැකීමක් ප්‍රේක්ෂකයාට සූචනය කෙරෙන හෙවත් දනවන නාට්‍යයකි. මිනිසා වූ කලී සැබෑ ජීවිතයේ බහුලව රඟපාන්නෙකි. ඔහු හෝ ඇය මෙලෙස මොනතරම් රඟපෑවත් ඔවුන්ගේ හෘදය සාක්ෂිය ඉස්මතුවීමෙන් රඟපෑම තමන්ටම හෙළිවී වරෙක ඔවුහු ලැජ්ජාවට පත් වෙති.

"රඟපෑම් ඉවරයි" නාට්‍යයේ සබකෝලයාට වේදිකාවට පිවිසීමටත් ඇත්තේ සබකෝලයකි. ප්‍රේක්ෂකයාට නොපෙනී ලැජ්ජාවෙන් සිටින ඔහුව වේදිකාවට කිසිවකු විසින් තල්ලු කරනු ලබන අයුරු පෙනේ. එහෙත් ඔහු වරින් වර ඇතුළට දුවයි; ආයෙත් එළියට එයි ;අන්තිමට රඟපෑම පටන් ගනී.ටික වේලාවක් රඟපාද්දී වචන පැටලෙයි.වරෙක නවත්වාගත නොහැකි සිනහවක් ඔහුගෙන් දිස් වේ. ඔස්කාර් සම්මාන උලෙළේ දී ඇගැයීමට ලක් වූ "Joker" (2019) චිත්‍රපටයේ ජෝකින් ෆීනික්ස්ගේ නොනවතින සිනහව මෙනි. එහෙත් උදයසිරිට හොලිවුඩ් සිනමාවේ "Joker" බලපෑවේ නැත. "රඟපෑම් ඉවරයි" නාට්‍යය ඊට ප්‍රථම බිහි වූ බැවිනි. මෙලෙස සබකෝලයා භූමිකා රැසක් රඟපාන්නට පටන් ගනී. කමල් සබකෝලයා ලෙස දේශප්‍රේමියකු, ඉතිහාසය පිළිබඳ මහාචාර්යවරයකු ,රංගන ශිල්පියකු, ධනාත්මක චින්තනයකින් හෙබි උපදේශකවරයකු, දේශපාලනඥයකු, එෆ්.එම් ගුවන් විදුලි නාළිකාවක නිවේදකයකු යනාදී වශයෙන් විවිධ භූමිකා රැසක් ශූර ලෙස රඟපාන අයුරු මෙහිදී දැකිය හැකිය. සමාජයේ වෙසෙන මේ තරාතිරම් හොබ වන සැබෑ, අව්‍යාජ පුද්ගලයන් මින් උපහාසයට ලක් නොවේ. නාට්‍යවේදියාගේ කර්කශ උපහාසයට මෙහිදී බඳුන් වනුයේ එකී තරාතිරම් හොබවද්දී රඟපාමින්, හුදෙක් ආත්මාර්ථ සාධනය උදෙසා ජනතාව මුළාවට පත් කරන ව්‍යාජ මිනිසුන්ය.

සබකෝලයා දේශප්‍රේමී, දේශමාමක පුද්ගලයකු බවට පත් වේ. මඳ වේලාවක් ඔහු කතා කරගෙන යද්දී හෘද සාක්ෂිය ඉස්මතු වීමෙන් ලැජ්ජාවට පත් වේ. ඉතිහාසය පිළිබඳ මහාචාර්යවරයාටද සිදුවන්නේ එයමය. වරෙක සබකෝලයා චිත්‍රපටයක තිර රචකයකු බවට පත් වේ. එසේම නළුවා සහ නිළිය ලෙසද භූමිකා හුවමාරු කරමින් රඟපායි. වරෙක ඔහු මෙසේ කියයි.

"මට ටෙලි නාට්‍යයක් තියා මෙගා නාට්‍යයක් වත් කරන්න ඉඩ දෙන්නේ නෑ මේ සබකෝලයා"

 

සබකෝලයා ඉක්බිතිව විශ්වවිද්‍යාල මහාචාර්යවරයකුගේ භූමිකාවට පිවිසේ. මේ සරසවි ඇදුරා පවසන වචනවල අරුත් අසන්නන්ට තබා ඔහුටවත් නොතෙරේ. මෙකල විශ්වවිද්‍යාලවල බහුලව සිටින ඇතැම් ව්‍යාජ පණ්ඩිතයන් නාට්‍යවේදියා මෙමඟින් උපහාසයට ලක් කෙරේ.වරෙක සබකෝලයා මෙසේ පවසනු ඇසේ.

"ඉබ්බාගෙයි කැස්බෑවාගෙයි වෙනස දන්නවාද ? ඉබ්බාට යතුරක් තියෙනවා කැස්බෑවාට නැහැ."

සබකෝලයා විටෙක මැරයෙක් බවට පත් වේ. මැරකම් කළ හැක්කේ සබකෝලය නොමැතිතාක්ය.

"තේ එකක් හදාගෙන එහෙම බීලා...ඔයාලා cool  එකේ ඉන්න වෙලාවේ... මං ඔයාලට ඉස්සෙල්ලම Play කරන්න යන්නේ ඔයගොල්ලො කවුරුත් ඉතාම ආශාවෙන් අහන පට්ටම පට්ට ඵධදඨ එකක්. ඔයාලා විතරක් නෙවෙයි , අපේ පුංචිම නංගිලා මල්ලිලා ඉතාමත් ආශාවෙන් අහන, ජාතික ගීතයටත් වඩා ඒගොල්ලන්ට මතක තියෙන, මේ ගීතය අහන්න... ඔයාලා කොහෙවත් යන්නේ නැතුව මාත් එක්කම මටම තුරුල් වෙලා අහන් ඉන්නවා නේද ? අහගෙන හිටියොත් වෙන මොනවද දන්නවානේ.....සල්ලි තමයි...මේක Crazy ම  Crazy Song  එකක්. ඒ විතරක් නෙවෙයි. අර්ථයේ පරිසමාර්ථයෙන්ම කීවෝත් මේක Fun... Fun.. Song  එකක්. ඉතින් මේ Fun...Fun Song එක නිසා මං කියන්නෙ නැහැ මේක අහන්න කියලා.... මං කියන්නේ... මේ Fun  ම Fun Song එක අහ ටභද කියලා "

සමහර එෆ්.එම්.ගුවන් විදුලි නාළිකාවල පල්හෑලි දොඩන ඇතැම් වාචාල නිවේදකයන් සිහිපත් කරමින් සබකෝලයා එසේ කියයි. ශ්‍රාවකයන්ගේ දුරකථන ඇමැතුමකට ප්‍රතිචාර වශයෙන් ඉක්බිතිව ඔහු ඝෝෂාකාරී, කර්ණකටුක රැප් ශෛලියෙහි දුර්ගීතයක් විකාරරූපී ලෙස නටමින් ගයනු ඇසේ. සබකෝලය, ලැජ්ජාව නොමැති කල්හි එබඳු (දුර්) ගීත ගැයීමේ අපහසුවක් නොමැති බව නාට්‍යවේදියා ඉඟි කරයි.

 

(ඉතිරි කොටස ලබන සතියේ)