අසීරු නිළි භුමිකාවක සංචලන...

අගෝස්තු 5, 2021
"Untouched" හී සුබුද්ධි ලක්මාලි

 

එම්.සෆීර් "Swings of love" -"ආදරයේ ඔංචිල්ලා" (2017) ඔස්සේ මෙරට ඒකපාත්‍ර (Monodrama)  නාට්‍ය ප්‍රභේදයට පුරෝගාමී වූ බැව් මවිසින් මින් ඉහත සඳහන් කරන ලදි. සුජීව පතිනිසේකර පිටපත ලියා අධ්‍යක්ෂණය කළ "untouched" (2019) මෑත භාගයේ දී බිහි වූ ඒකපාත්‍ර ප්‍රභේදය නියෝජනය කළ වෙසෙස් පර්යේෂණාත්මක, ලාංකේය ඉංග්‍රීසි නාට්‍යයකි. 2019 දෙසැම්බර් 20 වැනිදා මෙය මුල්වරට වේදිකාගත කෙරිණ. මේ උදෙසා වස්තු විෂය වූයේ අතිශය සුලබ තුන්කොන් ප්‍රේම කතාවකි. එහෙත් මෙකී සුලබ ප්‍රේම කතාව නාට්‍යවේදියාගේ ප්‍රතිභානය හේතු කොට නව්‍ය ආකෘතියකින් යුක්තව, ප්‍රේක්ෂක සහෘදයාට නැවුම් සහානුභූතියක් ගෙනෙන අපූර්ව නාට්‍ය නිර්මාණයක් බවට පත් විය.

එහි අපූර්වත්වය දිස්වනුයේ සුලබ ප්‍රේම කතාවේ අන්තර්ගතයට වඩා අපූර්ව ආකෘතිය නොඑසේනම් ඉදිරිපත් කිරීමේ නව්‍ය විලාසය හේතුකොට ගෙනය. ඊට අන්තර්ගත වූ සුලබ ප්‍රේම කතාව මේය. තම සැමියාට හා පෙම්වතාට මැදි වූ ස්ත්‍රිය මෙහි කේන්ද්‍රීය චරිතය බවට පත් වේ. සැමියා වෛද්‍යවරයෙකි. මේ කුටුම්භය තුළ සැමියා හා බිරිඳ අතර මනා වූ මානසික සහ කායික බැඳීමක් දක්නා නොලැබේ. ඔහු තම වෛද්‍ය වෘත්තියටමැ කැපවී සිටින,විවාහ ජීවිතය කෙරෙහි ඉතා උදාසීන ගති ලක්ෂණ පළ කරන්නෙකි. මේ හේතු කොට ඇය ඉච්ඡාභංගත්වයෙන් හා දැඩි අසහනයකින් දිවි ගෙවන්නීය. මේ අතර වෛද්‍යවරයාට දිවි නසා ගැනීමට තැත් කොට බේරෙන රෝගියකු සුවපත් කිරීමට අවස්ථාව ලැබේ. ඔහු පුරාවිද්‍යාඥයෙකි. දිනක් මේ පුරාවිද්‍යාඥයාට රාත්‍රී භෝජන සංග්‍රහයක් සඳහා වෛද්‍යවරයාගේ නිවසට ඇරැයුම් ලැබෙයි. ඇගේ අවධානය පුරාවිද්‍යාඥයා වෙත යොමු වන්නේ මෙතැන් සිටය. තම සැමියාගෙන් නොදකින උද්‍යෝගී, ක්‍රියාශීලී ස්වභාවයක් ඔහු වෙතින් පිළිබිඹු වනු ඇයට පෙනේ. ක්‍රමිකව ඇය ඔහු හා ප්‍රේමයෙන් බැඳෙයි. ඇය ඔහුට සැබැවින්ම ප්‍රේම කරන නමුදු ඔහුට නම් ඇය හුදෙක් තම ආශාවන් සන්තර්පණය කොට ගැනීමට ඉවහල් වන්නා වූ එක් භාණ්ඩයක් පමණි. සැමියා අතරත් පෙම්වතා අතරක් දෝලනය වන්නා වූ ඇයට තමා අපේක්ෂා කරන්නා වූ ප්‍රේමය අත්විඳීය හැකිවීද ? නාට්‍යවේදියා අප හමුවේ තබනුයේ මේ නොවිසඳුණු පැනය වේ. මිනිස් ජීවිතයට අගක් මුලක් නොමැති සේම මේ නාට්‍යයටද අවසානයක් නොමැත. ඉතා කුඩා සංසිද්ධියක් පාදක කොට ගන්නා නාට්‍යවේදියා එමඟින් ස්ත්‍රී - පුරුෂ සබඳතා පිළිබඳ ගැඹුරු දාර්ශනික කියැවීමකට සහෘද ප්‍රේක්ෂකයා පොලඹවයි.

පෙර කී ලෙසින් "untouched" වූ කලී ඒකපාත්‍ර (Monodrama) නාට්‍යයකි. මේ නාට්‍යය පුරාම අපට දක්නට ලැබෙන්නේ එක් භූමිකාවක් පමණි. මේ එකම ස්ත්‍රී භූමිකාව නිරූපණය කරනුයේ සුබුද්ධි ලක්මාලිය. රැඟුමට, ගැයුමට මතු නොව නර්තනයටද ප්‍රතිභානයක් ඇති ඇය සතතාභ්‍යාසයෙන් එය දියුණු කරගනිමින් සිටින්නියකි. ලාංකේය වේදිකා නාට්‍යයක මෙතෙක් නිළියකට නිරූපණය කිරීමට සිදු වූ අභියෝගාත්මක, අසීරුම චරිතය "untouched" නාට්‍යය ඔස්සේ ඇයට රඟපෑමට සිදු වූ බැව් පැවසීමට මම මැළි නොවෙමි. මා එසේ කීවේ මන්දැයි මේ නාට්‍යය විග්‍රහය අවසන පාඨක සහෘද ඔබ පසක් කොට ගනු ඇත. මෙහි පුරුෂ චරිත ද්වය ඉදිරිපත් වනුයේ කට හඬෙන් පමණි. සැමියාට සුජීව පතිනිසේකරත් පෙම්වතාට සුදර්ශන බණ්ඩාරත් හඬ කවති.(ඉදිරියේ වේදිකාගත වීමට නියමිත මෙහි සිංහල නිෂ්පාදනයේ පෙම්වතාගේ චරිතයට හඬ කවනුයේ මොහොමඩ් ෂෆ්රාස්ය.) නාට්‍යයේ භූමිකා ත්‍රිත්වය අධ්‍යක්ෂවරයා නාමකරණයට ලක් කොට නැත. රංග වින්‍යාසය, පසුතල නිර්මාණය, වස්ත්‍ර නිර්මාණය සහ නිෂ්පාදන පිරිමැවුම එම්.සෆීර්ගෙනි.

නාට්‍යවේදී සුජීව පතිනිසේකර යනු කවුරුන්ද ? ඔහු ගාමිණි ද සිල්වාගේ Sri Lankan Shakespeare centre හීදී රූපණය හැදෑරුවේය. විලියම් ෂේක්ස්පියර්ගේ "King Lear"" ඇසුරෙන් සුජීව "ලියර් රජු" (2011) නාට්‍යය මුල්වරට අධ්‍යක්ෂණය කළේය.

"Untouched" හී පසුතලයෙහි දක්නා ලැබෙන විශාල නයිලෝන් දැල (Net) ) සංකේතවත් කරනුයේ පවුල් සංස්ථාව ඇතුළතය. දැලෙන් පිට බාහිර සමාජය විදාරණය කෙරේ. කුටුම්භයක සීමා, මායිම් ඉන් ධ්වනිත කිරීමට නාට්‍යවේදියා උත්සුක වේ.

මෙහි එකම ස්ත්‍රී චරිතය නිරූපණය කරන සුබුද්ධි ලක්මාලි නළුවන් නොමැතිව පසුබිමෙන් ඇසෙන පුරුෂ හඬවල් දෙක ඔස්සේ විවිධ මනෝභාවයන් හසුරුවමින් තම සැමියා හා පෙම්වතා ප්‍රේක්ෂක සහෘදයා ඉදිරියේ මවා පෙන්වීමට වෙර දරන්නීය. ඔවුන් දෙදෙනා දෙපස සිටින ආකාරයෙන් ස්වකීය ආංගික, සාත්වික හා වාචික අභිනයන් මැනවින් හසුරුවා ගැනීමට ඇය සමත් වේ. වරෙක ඇය මේ දෙදෙනා සමඟ දැල ඇතුළත ආලිංගන නර්තනයෙහි යෙදෙනු දක්නා ලැබේ. මෙහිදී නාට්‍යවේදියා භාවිත කොට ඇත්තේ මාළු දැල්වලට උපයුක්ත කොට ගන්නා නයිලෝන් දැලකි. මේ ලොකු දැල ඇතුළත තවත් කුඩා දැල් තුනකි. මේ දැල්වලින් වැසී ඇති නිසා සුබුද්ධිගේ මුව බොහෝ තැන්වලදී ප්‍රේක්ෂකයාට නොපෙනේ. මේ හේතුකොට ඇය යම් ආකාරයක අතිශයෝක්තියට නැඹුරු වූ රංගනයක් පවත්වා ගෙන යෑමෙන් මේ සීමාව අතික්‍රමණය කිරීමට උත්සුක වන්නීය. "Untouched" " නාට්‍යය දිවෙන පැයකුත් විනාඩි හතක කාලයක් පුරා ප්‍රේක්ෂක අවධානය අඛණ්ඩව රඳවා ගනිමින් තනිව රංගන කාර්යයෙහි නියැළීම සැබැවින්ම නිළියකට අභියෝගයකි.

අනෙක් අතට ඇය නාට්‍යයෙන් වැඩි කාලයක් සිටිය යුත්තේ දැල ඇතුළතය.

මේ චරිතය රඟපෑමේදී සුබුද්ධි මුහුණ පෑ කායික පීඩාවද අපට බැහැර කළ නොහැකිය. එනම් එක් අතකින් දැල ඇතුළත සිටීමේදී උණුසුමෙන් ඇගේ ගතට දැනෙන පීඩාවය. අනෙක් අතට ආලෝක උපකරණවල එළියෙන් දැනෙන උණුසුමය. මේ අතර චරිතයෙහි මනෝභාවයන් හා චිත්ත ඒකාග්‍රතාවෙන් යුතුව වේදිකාව පුරා එළා ඇති දැලට පය පැකිළීමකින් නොවැටී, නිවැරැදි තැන්වල ස්ථාන ගත වීමේ අසීරුතාව ගැන කියනුම කවර ? අනෙක් අතට ඇය මෙහි බූට් සපත්තු පැලඳ සිටින්නීය. දැල මත ඇයට නර්තනයෙහි යෙදීමටත් සිදු වේ. සෆීර්ගේ "Swings of Love"" හී ජූලියා ෆිලිප්පෝ නිරූපිත භූමිකාවෙහි කායික ක්‍රියාකාරකම් බහුලය. සුජීවගේ "Untouched" හී සුබුද්ධි ලක්මාලිගේ භූමිකාවේ කායික ක්‍රියාකාරකම් තිබුණත් මානසික ක්‍රියාකාරකම්වල බාහුල්‍යයක් දිස් වේ.

මෙහි ඇයට දෙබස් කීමට ඇත්තේ ඉතා අඩු ප්‍රමාණයකි. වාචික අභිනය අවමයෙන් භාවිත කොට සකලාංග අභිනයෙන් (Body language) හා සාත්වික අභිනයෙන් (Facial expression) මනෝභාවයන් පළ කිරීමට ඇයට සිදු වේ. විටෙක එහි අමූර්ත ලක්ෂණ (ඒඡඵබපචජබ) පළට කෙරේ. නාට්‍යවේදියා ඇය හසුරුවා ඇත්තේ රඟ නොපා රඟපෑමේ (Non acting action) ක්‍රමවේදයටය. සංචලන නාට්‍ය (Movement Theatre) ) ප්‍රභේදයට සුජීවගේ "Untouched"  මනා සනිදර්ශනයකි. දෙබස්වලට වඩා සංචලනයන්ට (Movements)  ප්‍රමුඛතාව ලැබීම මෙහි ලක්ෂණය වේ.

පළමුවෙන් සෆීර්ගේ "Swings of Love" " නාට්‍යයෙහි දක්නා ලැබුණු වින්දක වීරසිංහගේ සංගීත නිර්මාණය ඒ අයුරින්ම සුජීවගේ "Untouched"උදෙසාද භාවිත කෙරුණු නමුදු එය ඖචිත්‍යපූර්වක නොවුණි. පසුව මේ නාට්‍ය සඳහාම සාගර විජේසිංහ නිර්මාණය කළ සංගීතය මැනවින් ගැළපිණ. ඔපෙරා ස්වරූපයෙහි ගීත ද්වයක්ද මීට ඇතුළත් විය. ආචාර්ය ප්‍රේමසිරි කේමදාස සූරීන්ගේ ශිෂ්‍යාවක ලෙස සුබුද්ධි ලක්මාලි සතු වූ ඔපෙරා ගී ගැයුමෙහි වෙසෙස් ප්‍රතිභාව හා සතතාභ්‍යාසය මේ භුමිකාවට ආලෝකයක් විය. මෙහි එක් ගීතයක භාවය මෙසේය.

 

“මේ ජීවිතය

ඔබ කුමක් මවෙතින් සොයන්නේද ?

සිය දෝමනස්සයන් කැටිකර

මා වෙත දමා ගැසූ

මේ සීතල රාත්‍රියේ නිදි නොමැති

ගිලිහී වැටී යයි පිනිවන් කඳුළු කැට

දෙනෙත් දරා ඇදහැලුණු

කැලඹුණු රුහිරු සමවත් නොකරම”

 

කුටුම්භයෙන් පිටතට එනම් බාහිර සමාජයට යෑම සංකේතවත් කරමින් ඇය දැලෙන් එළියට බසිනුයේ දෙවතාවකි. එනම් තම පෙම්වතා හමුවීමට වරක් ඇය ඔහු සේවය කරන පුරාවිද්‍යා වැඩබිමටත් වරෙක ඔහු නවාතැන් ගෙන සිටින නිවාස සංකීර්ණයේ නිවසටත් යන්නීය. දැල ඇතුළත සහෘදයාට පෙනෙනුයේ නිවසක ස්වරූපයකි. ඝනක ද්වයක් සහ ඝනකාභයක් රංග භාණ්ඩ ලෙස දැල ඇතුළත දිස් වේ. ඇය ස්වකීය රංගනය අතරතුර මේ රංග භාණ්ඩ තමාම හසුරුවා ගත යුතුය. විටෙක මේවා නිවසෙහි මේසයක් සහ පුටුවක් බවට පත් වේ.වරෙක එයම සයනයක් බවට පත්වන අතර තවත් වරෙක එය ශෝධනාගාරයේ (Washroom) ස්නානයට උපයුක්ත වූ ඔරුවකි (Bathtub)..

2020 එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ෆුජෙයිරා අන්තර්ජාතික නාට්‍ය උලෙළේත් ඉන්දියාවේ කල්කටා ඩුම් ඩුම් අන්තර්ජාතික නාට්‍ය උලෙළේත් සුජීවගේ "Untouched"" හී ලෝක පූර්ව දැක්ම (World premiere) ) වේදිකාගත කෙරිණ. එසේම ඊජිප්තුව, කුවේට්, ලිතුඒනියාව, ඕස්ට්‍රේලියාව ඈ රටවලද මෙහි දර්ශන පෙන්වීය. මෙහි සුබුද්ධි ලක්මාලිගේ රැඟුම් දෙස් විදෙස් බොහෝ විචාරකයන්ගේ ඇගැයුමට ලක් විය. 2020 සැප්තැම්බර් මෙරට පැවැති ප්‍රේක්ෂා නාට්‍ය උලෙළේදීද මේ නාට්‍යය වේදිකාගත කෙරිණ. "untouched"" හී සිංහල නිෂ්පාදනය මේ වසරේ අග භාගයේ වේදිකාගත කිරීමට සැලසුම් කොට ඇත. ලංකාවේ ප්‍රථම වරට ඒකපාත්‍ර නාට්‍ය (Monodrama) ) උලෙළක් සංවිධානය කිරීමට ප්‍රවීණ නාට්‍යවේදී එම්.සෆීර් සූදානම් වෙමින් සිටින අතර සුජීවගේ "Untouched" හී සිංහල නිෂ්පාදනය ඒ නාට්‍ය උලෙළ ඇරැඹීමට පෙර වේදිකාගත වීමට නියමිත බව මට දැන ගැනීමට ලැබිණ. මෙරට යොවුන් නාට්‍යවේදීන්ගේ ඒකපාත්‍ර නාට්‍ය සඳහා මේ උලෙළෙන් ඉඩකඩ ලබාදීමට එම්.සෆීර්ගේ අපේක්ෂාව වේ. ඔහුගේ මේ සත්කාර්ය මා ඉතා අගය කරනුයේ පවතින වසංගත තත්ත්වය හමුවේ නාට්‍ය කලාවට පුනර්ජීවනයක් ලබා දීමට මෙරට නාට්‍යවේදීන් ගන්නා වෑයමට එයද මහත් ශක්තියක් වන හෙයිනි.

 

ඉතිරි කොටස ලබන සතියේ...