සැඟවුණු නළු,නිළි ප්‍රතිභා ප්‍රභා ඉස්මතු කළ නාට්‍ය ද්වයක්

අප්‍රේල් 22, 2021
“පුන්තිලා” නාට්‍යයේ රඟපෑම් වැඩිපුරම කෙරුණේ වේදිකාවේ නොව නාට්‍ය ශාලාව මැදය. ආසන පිළියෙල කර තිබුණේ ශාලාව දෙකට බෙදෙන ආකාරයෙනි. මේ ලුම්බිණි රඟහලේ එය වේදිකාගත කළ අවස්ථාවකි.

ලාංකේය නාට්‍ය වංශයේ මවුපිය උරුමයෙන් රූපණය උරුම කොට ගත් නළු නිළියෝද විරලව හෝ සිටිති. කලාකරුවකු බිහිවීමට මවුපිය උරුමයද ,ජාන සම්බන්ධතාවද එක් සාධකයක් බව සැබවි. එහෙත් එය අනිවාර්ය සාධකයක් නොවේ. ප්‍රතිභාව සහ වාසනා ගුණය එහි අනිවාර්ය සාධකයෝ වෙත්. පෙරදිග වේවා අපරදිග වේවා කලාව දිව්‍යමය වරමක්, සම්ප්‍රදානයක් ලෙස සලකනුයේ එහෙයිනි.කලාවට මවුපිය උරුමය තිබෙන සියලු දූ දරුවෝම කලාව පයුරුපාසනය නොකරති. ඊට හේතුව මා පෙර කී සාධක සපුරා නොතිබීමය. කලාව මවුපිය උරුමයෙන් ලැබූවත් තම මව හෝ පියා අදාළ ක්ෂේත්‍රය තුළ අතික්‍රමණය හෝ සමතික්‍රමණය කළ හැකි දූ දරුවෝ ලොව අතිශය දුර්ලභ වෙති. කෞශල්‍යා ප්‍රනාන්දු ඒ විරලවුන් අතර එක් රංගන ශිල්පිනියකි. කීර්තිමත්, ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරියකු, ලේක් හවුස් ආයතනයේ හිටපු සභාපතිවරයකු, විරලව වේදිකාවේ සහ සිනමාවේ රංගනයෙන්ද දායක වූ කලාකරුවකුද වූ ලයනල් ප්‍රනාන්දු මහතාගේත් ප්‍රවීණ නාට්‍යවේදිනී සෝමලතා සුබසිංහ මහත්මියගේත් දියණියක ලෙස උපත ලැබීමෙන් කලා ලොව අනුප්‍රාණයට උචිත පතිරූප දේසය කෞශල්‍යාට ලැබිණ. ඇය තම මවු ප්‍රවීණ නාට්‍යවේදිනී සෝමලතා සුබසිංහයන්ට නොදෙවැනි රූපණ ප්‍රතිභාවක්, පෞරුෂයක් විදහා පෑ නිළියක් බව පැවසුවොත් ඊට එකඟ නොවන්නෝ කවරහුද ? සෝමලතා සහ කෞශල්‍යා එකිනෙකට වෙනස් අනන්‍යතා ද්වයකින් පිරිපුන් කෘතහස්ත රූපණවේදිනියෝය ;නාට්‍යවේදිනියෝය.

වේදිකාවට පිවිසෙන කල්හී වේදිකාව පිරී ඉතිරී යන ප්‍රභාවක් (ඹ්භඵබපඥ) විදහා පෑ නිළියක ලෙස සෝමලතා සුබසිංහ වරක් හඳුන්වා දෙන ලද්දේ ප්‍රවීණ නාට්‍යවේදී සුමන ආලෝක බණ්ඩාර විසිනි. සෝමලතා සුබසිංහයන්ගේ රංගනයෙහි පෙර අපර දෙදිග ස්ත්‍රීත්වය දක්නා ලැබුණද කෞශල්‍යාගේ රූපණ ශෛලියෙන් වඩාත් ඉස්මතු වූයේ පෙරදිගට වඩා අපරදිග ඌරුවකැයි මට සිතේ. ඇයගේ රූපණයෙන් අප දුටුවේ තම මව සෝමලතා සුබසිංහ ඉන් පෙර ස්ථාපිත කළ විකල්ප (ඒද චතබඥපදචබඪමඥ චජබපඥඵඵ) නිළි ප්‍රතිරූපයෙහිම වෙනත් දිගුවකි. අනෙක් අතට ඇගේ රංගන ශෛලිය වඩාත් ගැළපුණේ කාව්‍යාත්මක හෙවත් ශෛලීගත නාට්‍ය ධාරාවට වඩා තාත්වික, යථාරූපී නාට්‍ය ධාරාවටය. කෞශල්‍යා යනු කුශලතාව, හැකියාව එනම් ප්‍රතිභාව ඇති තැනැත්තියයි. ඇයට මේ නාමකරණය කෙතරම් නම් ඖචිත්‍යපූර්වකද ?

වේදිකාවට ප්‍රතිභාපූර්ණ නළු, නිළි පරම්පරාවක් හඳුන්වාදුන්, සදානුස්මරණීය සොඳුරු ඇදුරුතුමියක වූ සෝමලතා සුබසිංහ නාට්‍යවේදිනිය ස්වකීය දියණියගේ රූපණ කෞශල්‍යයද සියල්ලන්ටම පෙර හඳුනා ගත්තාය. විචාරක, ප්‍රේක්ෂක උභය පාර්ශ්වයේ උසස් ඇගැයීම් ලැබුණු ඇගේ "විකෘති" (1982) නාට්‍යය, කෞශල්‍යාගේ වේදිකා ප්‍රවිෂ්ටයද සනිටුහන් කළේය. චාන්දනී සෙනෙවිරත්න, නිල්මිණි සිගේරා වැනි නිළියන්ද කලඑළි බැස්සේ "විකෘති" නාට්‍යයෙනි. පළමුව පාසැල් නාට්‍යයක් වශයෙන් නිෂ්පාදනය වූ "විකෘති" පසුව වේදිකා නාට්‍යයක් බවට පත් විය. එතෙක් පැවැති සංවෘත, සුබසාධනවාදී අර්ථ ක්‍රමය 1977 දී කිසිදු පෙර සූදානමකින් තොරව , ක්ෂණිකව විවෘත අර්ථ ක්‍රමයට පෙරළීමත් සමඟ සිදු වූ සමාජ, ආර්ථික, දේශපාලනික, සංස්කෘතික විපරිණාමය හේතු කොට මානව හිතවාදය අබිබවා මුදලේ බලය, වාණිජ පරමාර්ථ, එකිනෙකා පරයා ඉස්මතුවන ආත්මාර්ථකාමී තරඟකාරීත්වය පෙරමුණට ආ බැව් පෙනේ. මේ විකෘතිය අධ්‍යාපනයට, සිසු මනසට, තාරුණ්‍යයට බලපෑ ආකාරය "විකෘති" නාට්‍යයෙන් කුළුගැන්විණ. මේ නාට්‍යයෙහි උසස් පෙළ සිසු සිසුවියන්ගේ ගායන වෘන්දයට (ඛ්ඩධපභඵ) එක් වූ කෞශල්‍යා, ඒ හැරුණු කොට මෙහි කාර්යාලයක ලඝු ලේඛිකාවක වූ "ට්‍රික්සි" නමැති චරිතයත් වැඩිහිටි මවකගේ (ජගත්ගේ මව ලෙස) භූමිකාවත් නිරූපණය කළාය.

එවක මෙරට විසූ පින්ලන්තයේ තානාපතිවරයාගේ බිරිය වූ හෙලේනා ලේටිමකී අධ්‍යක්ෂණය කළ "පුන්තිලා"(1984) නාට්‍යය කෞශල්‍යාගේ රූපණ දිවියෙහි කඩඉමකි. එහි ඇය කසිප්පු අලෙවි කරන ගැහැනියක්, සමාජ ශාලාවක ජර්මානු ගායිකාවක් සහ පූජකවරයකුගේ බිරිඳක් යනාදී වශයෙන් එකිනෙකට වෙනස් චරිත ත්‍රිත්වයක් රඟපෑවාය. මේ වූ කලී බර්ටෝල්ට් බ්‍රෙෂ්ට්ගේ "ර්ප ර්‍ථභදබඪතච චදඤ ඩඪඵ ථචද ර්චබබඪ"(1940-1948) නමැති නාට්‍යයේ සිංහල පරිවර්තනයකි. සුප්‍රකට නළු නිහාල් සිල්වාගේ රංගන ජීවිතයේ විශිෂ්ටතම රඟපෑම අන්තර්ගත වූයේ "පුන්තිලා" නාට්‍යයෙහි (පුන්තිලා ලෙස) වූවත් ඔහුගේ අකල් මරණය හේතු කොට එය අපතේ ගිය රංග ප්‍රතිභාවක් වීම අභාග්‍යයකි. විධිමත් පුහුණුව හා නිවැරැදි මඟපෙන්වීම හේතුකොට නිහාල් සිල්වා තුළ සැඟවී සිටි ප්‍රතිභාන්විත නළුවා මෙහිදී ඉස්මතු විය. මේ නාට්‍යයෙහි ඔහුගේ රියැදුරා ලෙස රඟපෑ මහේන්ද්‍ර පෙරේරාද වෙසෙසින් කැපී පෙනිණ. එවක ලයනල් වෙන්ඩ්ට් සහ ලුම්බිණි රඟහල්වල මෙය වේදිකාගත කෙරිණ.ජුහානි එප්‍රෙම්සන් විසින් නිර්මාණය කරන ලද රංගභූමි සැලැස්ම මෙහිදී අමතක කළ නොහැකිය. "පුන්තිලා" නාට්‍යයෙහි රඟපෑම් වැඩි කොටස සිදු කෙරුණේ වේදිකාවේ නොව නාට්‍ය ශාලාව මැදය. ආසන පිළියෙල කොට තිබුණේ ද ශාලාව දෙකට බෙදෙන ආකාරයෙනි. එවක නීති ශිෂ්‍ය වසන්ත බණ්ඩාර මේ නාට්‍යය ඉතා පරිශ්‍රමයෙන් සිංහලට නැඟුවේය."පුන්තිලා" වූ කලී බ්‍රෙෂ්ට්ගේ එතරම් ප්‍රකට නාට්‍යයක් නොවේ. එහෙත් එවක මෙරට විවෘත අර්ථ ක්‍රමය හා ආබද්ධ වෙමින් සිදුවෙමින් පැවැති සමාජ විපරිණාමයට එය ඖචිත්‍යපූර්වකව ගැළපෙන බැව් ලේටිමකීට සිතුණා විය හැකිය."ධනේශ්වර සමාජ ක්‍රමය නියෝජනය කරන්නකු හට යහපත් ගතිගුණ ඇති මිනිසකු වීම දුෂ්කරය" ඈ චින්තනය බ්‍රෙෂ්ට් මේ නාට්‍යය ඔස්සේ කුළුගැන්වීය.ඉඩම් හිමි ධනපතියකු වූ පුන්තිලා (නිහාල් සිල්වා) දෙබිඩි ජීවිතයක් ගෙවන්නෙකි. සිහි බුද්ධියෙන් සිටින විට ඔහු වචනයේ පරිසමාප්ත අරුතින්ම ධනපතියෙකි. පුන්තිලා නිර්ධන පන්තිය පිටු දකිනුයේ කොමියුනිස්ට්කාරයෝ යැයි ගර්හා කරමිනි. එහෙත් සුරාවෙන් මත් වන විට ඔහු තරම් හොඳ මිනිසකු තවත් නොමැත. තම රියැරාට (මහේන්ද්‍ර පෙරේරා) පෙම් බඳීන සිය දියණියට (කාන්ති ෆොන්සේකා) ඔහු බැන වදී. එහෙත් සුරා මතින් සිටිද්දී ඔහු රියැදුරාට සලකනුයේ සම තත්ත්වයෙනි.

ලේටිමකී වසරක කාලයක් "පුන්තිලා" උදෙසා කැපවෙමින් තම නළු නිළියන් පුහුණු කළාය. එවක ජර්මානු සංස්කෘතික ආයතනයේ අනුග්‍රහය හේතු කොට බර්ටෝල්ට් බ්‍රෙෂ්ට්ගේ නාට්‍ය තුනක් (හෙලේනා ලේටිමකීගේ "පුන්තිලා", ෆ්‍රිට්ස් බෙනෙවිට්ස්ගේ "පැන්ස තුනේ කතාව"සහ පරාක්‍රම නිරිඇල්ලගේ "ගැලිලියෝ") සිංහලෙන් නිෂ්පාදනය කෙරිණි. එදා "පුන්තිලා"නාට්‍යය පිළිබඳ මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයෝ (කල්පනා සඟරාව -1984 ජූලි ) මෙසේ කීහ.

"පුන්තිලා සිංහල නාට්‍ය ඉතිහාසයේ එක්තරා ස්මාරකයක් බව සැක රහිතව කිව හැකිය.අද දවසේ (1984) කිසිදු නාට්‍යමය වින්දනයක් ගෙන නොදෙන, නොයෙක් මාදිලියේ බොළඳ බහුරූ කෝලම් බහුජන විඥාපන මාධ්‍යයන්ගෙන් ලැබෙන ප්‍රචාරයේ අනුහසින්, අහිංසක, පහසුවෙන් රැවටිය හැකි ප්‍රේක්ෂකයන්ගේ ඇඟේ ගසනු ලබයි.මෙකල සිංහල චිත්‍රපට ද විරල බැවින් මේවා බැලීමට ප්‍රේක්ෂකයෝ වැල නොකැඩී එති. මේ ප්‍රේක්ෂක සමූහයාගේ එක් අඩකටවත් 'පුන්තිලා' වැනි නාට්‍යයක් බැලීමේ භාග්‍යය ලැබුණොත් අවසාන හුස්ම හෙළන සිංහල නාට්‍ය කලාව යළි පණ උපද්දවා ගත හැකි යැයි මම සිතමි."

ඉතිරි කොටස ලබන සතියේ...