මගේ මේ ගී මතක තියාගන්න කිසි දිනෙක සමුගනිමියි නොකියන්න...

බප්පි ලහිරි 1952 - 2022
පෙබරවාරි 24, 2022

චල්තේ චල්තේ මෙරේ යාහ් ගීත් යාද් රඛ්නා කභි අල්විදා නා කෙහෙනා...

පෙබරවාරි මාසය සංගීත ලෝලීන්ට අකාරුණික වී ඇති සේය. සුවහසක් ගීත ලෝලීන් මන්මත් කළ බොලිවුඩ් ගීත කෝකිලාව ලතා මංගේෂ්කාර් දිවි ගමන නිම කළේ පසුගිය පෙබරවාරි 06 වැනිදාය. ඉන් සතියකුත් දින කිහිපයක් ගත වූ තැන සංගීත රසවතුන් හට තවත් ශෝකී පුවත් දෙකක් සැල විය. ඒ ඉන්දීය පසුබිම් ගායිකාවක වූ සන්ධ්‍යා මුඛර්ජි සහ සංගීතවේදියෙකු වූ බප්පි ලහිරිගේ සමු ගැනීම්ය.

බප්පි ලහිරි යන නම අපට පුරුදු වන්නේ ඩිස්කො ඩාන්සර් නිසාය. 80 සහ 90 දශකවල බොලිවුඩයේ ඩිස්කෝ සංගීතයේ පුරෝගාමියෙකු වූ ඔහු හැඳීන්වූයේ 'බාප්පි ඩා' යන ආදර නාමයෙනි. තවද රන් දම්වැල් සහ අව් කණ්ණාඩි පැලඳීමෙන් ඔහු අන් අය අතරේ විශේෂිතව කැපී පෙනෙන අනන්‍යතාවයක් ගොඩනඟා ගත්තේය. එතෙක් මෙතෙක් ඉන්දීය සිනමාවේ ඉහළ ජනප්‍රියත්වක් දිනූ ගීත රැසක් බප්පි ලහිරි සතුය.

80 දශකයේ දී ඉන්දීය සිනමා සංගීතය නව මාවතකට ගෙන ඒමට බප්පි ලහිරි ක්‍රියා කළේය. ඔහු සංගීත අධ්‍යක්ෂණය කළ මිතුන් චක්‍රබෝර්තිගේ රංගනයෙන් හැඩ වූ 'ඩිස්කෝ ඩාන්සර්' චිත්‍රපටය, හින්දි සිනමාවේ එතෙක් පැවති සාම්ප්‍රදායික සංගීත රටාව වෙනස් කළ නිර්මාණයක් බවට පත් විය. නව ආරක සංගීතය, ඉන්දීය රසිකයන් පමණක් නොව ලොව පුරා බොලිවුඩ් සංගීත ලෝලීන් මවිතයට පත් කළ අතර 'ඩිස්කෝ ඩාන්සර්' චිත්‍රපටය වාර්තා පිට වාර්තා තබමින් තිරගත වූයේ මිතුන් චක්‍රබෝර්ති හටද නමක් දිනා දෙමිනි. "අයි ඈම් අ ඩිස්කෝ ඩාන්සර්", "ජිමි ජිමි ජිමි අජා", "ගොරොන් කි නා කාලෝන් කි" ඒ සමඟ ඉහළ ජනප්‍රියත්වයක් දිනා ගත් බප්පිගේ සංගීතයෙන් හැඩ වූ ගීත විය.

"ජිමි ජිමි ජිමි අජා" ගී තනුව පසු කාලීන සිනමා නිර්මාණ රැසකට සේම ඇඩම් සැන්ඩ්ලර්ගේ ප්‍රධාන චරිතයට පණ පෙවූ 'යූ ඩෝන්ට් මිස් විත් ද සොහාන්' නම් හොලිවුඩ් චිත්‍රපටයටද යොදා ගෙන ඇත. තවද 'ඩිස්කෝ ඩාන්සර්' චිත්‍රපටයේ "යාද් ආ රහා හේ තේරා ප්‍යාර්" ගීතය ගායනා කළේ ද බප්පි ය. එය එදා සිට අද දක්වා ඔහුගේ සංගීත දිවියේ සුවිශේෂි ගීත ගායනයක් ලෙස සැලකේ. ඩිස්කෝ සංගීතය මුසු නිර්මාණ සමඟ ඔහු හට බොලිවුඩයේ 'ඩිස්කෝ රජු' නම් අන්වර්ථ නාමයක්ද පටබැඳුණි. ඔහු ඩිස්කෝ ගීත සඳහා ප්‍රසිද්ධ වුවද ඔහුගේ සංගීත නිර්මාණ සුවිශේෂ ලක්ෂණයක් විය. එය නම් ඔහු වේග රිද්මයන් සමඟ ඉන්දියානු සංගීතයද මුසු කිරීමයි.

බප්පි ලහිරිගේ වෘත්තීය ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යයක් වූයේ 1975 වසරේ සුනිල් දත් සහ ආශා පරේක් රඟ පෑ 'සක්මී' හින්දි චිත්‍රපටයයි. ඒ වෙනුවෙන් ලතා මංගේෂ්කාර් ගැයූ "අභි අභි ති දුෂ්මනී", "ආඕ තුම්හේ චන්ද්" සහ කිෂෝර් කුමාර් සමඟ ආශා බොස්ලේ ගැයූ "ජල්තා හේ ජියා මේරා" ගීත ඔහුට පිළිගැනීමක් ගෙන ආවේය. තවද කිෂොර් කුමාර් සහ මොහොමඩ් රාෆි සමඟ බප්පි "නතින්ග් ඊස් ඉම්පොසිබල්, කෙහ්තා හූන් මේන් සච් බිකුල්"ගීතය ගායනා කළේය. 1976 වසරේ තිරගත වූ 'චල්තේ චල්තේ' චිත්‍රපටයේ ඔහුගේ සංගීත අධ්‍යක්ෂණයෙන් හැඩ වූ සියලුම ගීත ජනප්‍රිය වූ අතර එමඟින් ඔහුට ජාතික මට්ටමේ සංගීත අධ්‍යක්ෂවරයෙකු ලෙස පිළිගැනීමක් ලැබුණි.

චල්තේ චල්තේ මෙරේ යාහ් ගීත් යාද් රඛ්නා කභි අල්විදා නා කෙහෙනා...

මෙම ගීතය එදා පටන් අද දක්වාම ඉහළ ජනප්‍රියත්වයක් හිමි හින්දි ගීතයක් බවට පත් වී ඇත. ඔහු 'අයිත්බාර්' (1985) චිත්‍රපටය වෙනුවෙන් "කිසි නසර් කෝ තෙරා ඉන්තෙසාර් ආජ් බහි හේ" සහ "අවාස් දි හායි" වැනි ගසල් ගීත ද නිර්මාණය කළේය. රාජේෂ් ඛන්නා රඟපෑ 'නායා කාදම්', 'මාස්ටර්ජී' වැනි ජනප්‍රිය චිත්‍රපටවල ලතා මංගේෂ්කාර් සහ ආශා බෝස්ලේ සමඟ කිෂෝර් කුමාර් විසින් ගායනා කරන ලද මියුරු ගීත බප්පි සාර්ථකත්වය කරා රැගෙන ගියේය.

'ශරාබී' චිත්‍රපටයේ අමිතාබ් බච්චන්ගේ රංගනය වෙනුවෙන් කිෂෝර් කුමාර් ගැයූ "දෙ දෙ ප්‍යාර් දෙ", විනෝද් ඛන්නා සහ ශබානා අස්මිගේ රංගනයෙන් හැඩ වූ "චහියේ තෝඩා ප්‍යාර්", සංජේ දත් සහ මධුරි ඩික්සිත්ගේ රංගනයෙන් හැඩ වුණු "තමා තමා ලෝගේ", 'ද ඩර්ටි පික්චර්' චිත්‍රපටයේ විද්‍යා බාලන් සහ නසරුදීන්ගේ රංගනය වෙනුවෙන් නිර්මාණය වූ "ඌ ලල්ලා", ගුන්ඩේ චිත්‍රපටයේ ප්‍රියංකා චොප්රා, රන්වීර් සිං, අර්ජුන් කපූර්ගේ රංගනය වෙනුවෙන් තැනූ "තූනේ මාරි එන්ට්‍රියාන්" ඔහුගේ සංගීත නිර්මාණ අතරේ ජනප්‍රියතම ගීත අතරින් කිහිපයකි. 1986 වසරේදී ඔහු චිත්‍රපට 33ක් සඳහා ගීත 180කට අධික සංඛ්‍යාවක් පටිගත කිරීමෙනන් ගිනස් ලෝක වාර්තා පොතට ද ඇතුළත් විය. 

හින්දි සිනමාවේ පමණක් නොව බෙංගාලි සිනමා ක්ෂේත්‍රයේද බප්පි හට විශේෂ ගෞරවයක් හිමි විය. 'අමර් සන්ගී', 'ආශා ඕ භාලෝබාෂා', 'අමර් තුමි', 'අමර් ප්‍රේම්', 'මන්දිරා', 'ප්‍රියා' වැනි සාර්ථක බෙංගාලි චිත්‍රපටවල සංගීත නිර්මාණය කළේ ද ඔහු විසිනි. බොලිවුඩයට සම්බන්ධ වීම වෙනුවෙන් බප්පි මුම්බායි වෙත පැමිණියේ ඔහුගේ වයස අවුරුදු 19 දී ය. ඔහු සංගීතවත් කළ පළමු හින්දි චිත්‍රපටය වන්නේ 'නන්හා ශිකාරි' (1973) ය. එහි ඔහුගේ ප්‍රථම හින්දි ගී නිර්මාණය වූයේ මුකේෂ් විසින් ගායනා කරන ලද "තූ හි මෙරා චන්දා, තූ හි තාරා" ය. ඔහුගේ අවසන් හින්දී චිත්‍රපට ගී නිර්මාණය වූයේ 'බාගි 3' චිත්‍රපටයේ "භන්කාස්" ගීතයයි. දේවි නිධි සහ ජොනිතා ගාන්ධි සමඟ බප්පි ද එය ගායනයට දායක විය. මෙම ගීතය 1984 වසරේ ජිතේන්ද්‍ර සහ ශ්‍රී දේවිගේ රංගනයෙන් හැඩ වූ බප්පි විසින් සංගීත අධ්‍යක්ෂණය කළ 'තෝෆා' චිත්‍රපටයේ "ඒක් අන්කාහ් මාරෝන් තෝ" ගීතයේ ප්‍රතිනිර්මාණයකි.

බප්පි ලහිරි හෙවත් 'බප්පි ඩා' ලෙසින් හැඳීන් වුවද උපතේදි ඔහු ලද නම ආලෝකේෂ් අපරේෂ් ලහිරි ය. 1952 වසරේ නොවැම්බර් 27 වැනිදා කල්කටාවේ බෙංගාලි බ්‍රාහ්මණ පවුලක උපත ලද ඔහු පවුලේ එකම දරුවා විය. ඔහුගේ මව්පියන් වන අපරේෂ් ලහිරි සහ බන්සුරි ලහිරි යන දෙදෙනාම බෙංගාලි ශාස්ත්‍රීය සංගීතඥයෝ වූහ. බොලිවුඩයේ ජනප්‍රිය ගායකයෙකු ව සිටි එබැවින් බප්පි ලහිරි කාජල්, රාණි මුඛර්ජි ඇතුළු පවුලේද සාමාජිකයකු විය. කිෂෝර් කුමාර් බප්පිගේ මව් පස මාමා කෙනෙකු වේ. බප්පි සංගීතයට අත් පොත තැබූයේ වයස අවුරුදු තුනේදී තබ්ලා වාදනය කිරීමෙනි. කුඩා වියේ පටන් සංගීත ක්ෂේත්‍රයේ ඔහු අනුගමනය කළ ගී තරුව වූයේ ඇමරිකානු සංගීතඥ එල්විස් ප්‍රෙස්ලි ය.

අඩ සියවසක් පුරා බොලිවුඩය සංගීතවත් කළ බප්පි ලහිරි පසුගිය 15 වැනිදා මුම්බායිහිදී සදහටම දෙනෙත් පියා ගත්තේය. බප්පිගේ සෞඛ්‍ය තත්ත්වය නරක අතට හැරුණේ පසුගිය වසරේ කොවිඩ්-19 වැලඳීමෙන් පසුවය. සම්පූර්ණ සුවයක් නොලද ඔහු විවිධ රෝගාබාධ හේතුවෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ අතර බාධාකාරී නින්දේ දී හුස්ම හිරවීම හේතුවෙන් බප්පිගේ මරණය සිදු වී තිබේ. ඒ වන විට ඔහු 69 වැනි වියේ පසු වූයේය. මෙලෙසින් ඔහු සමුගෙන ගියද ඔහු නිර්මාණය කළ ගී නිර්මාණ තවත් යුග ගණනක් රැව් පිළි රැව් දෙනු ඇත.