එදා සීගිරියෙහි රැඳුණු රුවක් දෝ...

ඔක්තෝබර් 5, 2023

 

කවුද ඔබ කවුරුන්දෝ
මලක පිනි බිඳුවක් දෝ
නිහඬ වීලා මන්දෝ
පවසන්නේ මොනවාදෝ
සිතුවාට නැත සිතෙන්නේ
කවුද ඔබ කවුරුන්දෝ
මලක පිනි බිඳුවක් දෝ

මදහාස බැල්මෙන්
මා මත් කරන්නේ
ඇයි කල්පනාවෙන් මෙන්
නැද්ද නෙත් සලන්නේ

සඳ පායලා ආ ඒ
ඔබදෝ වසන්තේ
සැළලිහිණි ගී පිළිරැව්
හඬදෝ දසන්තේ
එදා සීගිරියෙහි
රැඳුණු රුවක් දෝ
රුවක් දෝ... රුවක් දෝ

වලාකුළු වගේ පීරූ
හිස පිරිමදින්නම්
නෙළා ඕලූ මානෙල් මල්
ගෙල පලඳවන්නම්
මගේ ආදරේ සතුටින්
පිළිගන්නවා නම්
උදේ මෙන් දිවා රෑ මං
පණ සේ රකින්නම්
හිතා ගන්න බෑ තාමත්
ඔබ කාගෙ කවුදෝ
කවුදෝ... කවුදෝ...

ගී පද - ප්‍රේමකීර්ති ද අල්විස්
ගී නද - ර්‍ථ.ඹ්.ඒ. සෝමපාල
ගී හඬ - එච්.ආර්. ජෝතිපාල
චිත්‍රපටය - ශාන්ති

 

කෙනෙකුට තවත් කෙනෙක් කෙරෙහි ආදරයක් ඇතිවීමට ඔහු හෝ ඈ කෙරෙහි ඇතිවන ආකර්ෂණය ප්‍රබල හේතුවකි. එක බැල්මකින්, සිනහවකින්, කතාවකින්, එක දැකුමකින් මෙන්ම කුමන හෝ ඉඟියකින් කෙනෙකුට තවත් කෙනෙක් කෙරෙහි ආකර්ෂණයක් ඇති වී එය ආදරයක් බවට පත්විය හැකියි.

මෙහි කථකයාත් එවැනි තත්ත්වයකට පත් වූ තරුණයෙකි. අහම්බෙන් නෙත ගැටුණු, සුරූපී තරුණියකගේ රුව, ඔහුගේ නෙත සිත පැහැරගෙන ගොස්ය. ඇගේ රූපයෙන්, බැල්මෙන්, සිනහවෙන් ඔහු අතරමං වූ සෙයකි. ඇය සැබෑවටම කවුද කියා ඔහු සොයයි. එය දැනගන්නා තුරු ඔහුට කිසිදු සැනසුමක් නොමැත.

එක් ක්ෂණයකින් දුටු ඇගේ සුන්දර වත කමල ඔහුගේ නෙත සොරා ගනියි. ඇය මලකට වැටුණු පිනි බිඳුවක් සේ ඔහුට දැනෙයි. ඈ කෙරෙන් ඔහු දුටු පිවිතුරු සුන්දත්වය මලක පිනි බිඳුවකට උපමා කරයි. ඇයගේ ‘නිහඬ’ ඒත් මදහසින් පිරි බැල්ම ඔහු උමතු කර තිබේ. ඇත්තටම ඔබ කවුද? කියා එවැනි තත්ත්වයකට පත් වූ සිත් තුළ විමසිලිමත් වීම්, නොසන්සුන් වීම්, උපමා කිරීම් ආදිය සිදුවීම ස්වාභාවික තත්ත්වයකි. මෙහි කථකයා මුහුණ පා සිටින්නේද එවැනිම් තත්ත්වයකටය. පේ‍්‍රමයක් හට ගැනීමේ මූලාරම්භය ඇයගේ රුව දැකීමෙන් ඔහුගේ හදවතේ මතු වී තිබේ. ඒ සිතිවිල්ල ඔහු ඈ කවුරුදැයි සෙවීමේ නිරත කරයි.

ඇයට බොහෝ උපමා ඔහු තුළ ජනිත වෙයි. ඇයගේ දැක්මම ඔහුගේ ජීවිතයට වසන්තයක් වුවා යැයි ඔහුට දැනේ. විටෙක ඈ සීගිරියේ විසූ සීගිරි අප්සරාවක් දැයි ඔහුගේ සිත විමසයි.

ඈ කවුරු වුවත්, ඇයට ආදරය කරන්නට, ඇයට ආදරයෙන් බලාගන්නට ඔහුට සිතිවිල්ලක් ඇති වී තිබේ. එය පවසාගන්නට ඇය නොමැති වීම ඔහු තුළ ශෝකයක් මතු කරයි.

1974 වසරේ තිරගත වූ ‘ශාන්ති’ සිනමා පටයට ඇතුළත් වූ ගීතයකි.

මෙම චිත්‍රපටය තිරගත වී වසර 50ට ආසන්නව ඇතත්, එදා ජෝතිපාලයන් විසින් ගායනා කරන ලද මෙම ගීතය අදටත් එක සේ ජනපි‍්‍රය නොමියෙන ගීතයක් බවට පත් වී තිබේ. එවකට ආදායම් අතින් ඉතාම සාර්ථක වූ වාණිජ චිත්‍රපටයක් ලෙස මෙම චිත්‍රපටය වාර්තා ගත විය. මෙය ඩබ්ලිව්. විල්ෆ්‍රඩ් සිල්වාගේ අධ්‍යක්ෂයකි.

එච්.ආර්. ජෝතිපාල, ශි‍්‍රයාණි අමරසේන, නීටා ප්‍රනාන්දු, ඔස්වල්ඩ් ජයසිංහ ප්‍රධාන චරිත නිරූපණයන්ගෙන් දායක වූ අතර එච්.ආර් ජෝතිපාල ගායන ශිල්පියකු සේම රංගන ශිල්පියකු ලෙසත් ඉහළින් ඔසවා තැබීමට ඔහුගේ රංගනය මෙහි ඉවහල් විය.

මෙම චිත්‍රපටයේ අඩංගු වූ මෙම ගීතය සේම අනිකුත් ගීත සියල්ලම පාහේ ඉතා ජනපි‍්‍රය ගීත බවට පත්විය.

මෙය හින්දි සිනමා ගීතයක අනුකරණයකි. මෙය, සරල ආදර කතාවක් තේමාව වූවකි. එසේ වුවද මෙහි ගී පද රචනා හා සංගීතය තුළ දේශීයත්වය මතු වී තිබේ. එය සිනමා රසිකයන් මෙන්ම පොදු රසිකයින් අතරත්, අදටත් මෙම ගීත ජනපි‍්‍රය වීමට හේතු වී තිබේ.

විශේෂයෙන්ම එච්.ආර්.ජෝතිපාලයන්ගේ අමරණීය හඬ මුසුව මෙම ගීතය ජනපි‍්‍රය වීමට බලපා තිබේ.

 

 

[email protected]