නිධාන‍ෙය් නිදාන කතාව

අදට අවුරුදු පනහයි
පෙබරවාරි 3, 2022

මේ වෘත්තාන්තය කෙසේ පටන්ගත යුතුදැයි මම නොදනීම. පසුගිය කාලය තුළ සිදු වූ සෑම දෙයක්ම ඒ සිදුවූ අනුපිළිවෙළින් මම සිහිපත් කරමි. එහෙත් ඒ සිදුවීම් මා මතකයට නැඟෙන්නේ එකම කාල රටාවකට අනුව නොවේ. එය එලෙසම ඔබට විස්තර කළ හොත් එය අගක් මුලක් නැති නන්දෙඩවිල්ලකැයි ඔබ සිතනු ඇත. ඹබ කුමක් සිතුවත් මට ඉන් ඇති ඵලය කුමක්ද? මා උත්සාහ කරන්නේ ඔබට කතන්දරයක් කීමට නොවේ, මා සිත අරක්ගත් බරකින් නිදහස් වීමටයි. ඉන්පසු මා දැන් සිටින කාමරයේ වහලයේ පරාලයක ගැට ගසා ඇති ලණුවෙන් දිවි තොර කර ගනිමි. 

එය පාපොච්චාරණයක් බඳුය. අපට ඇසෙන්නේ උල්පත් පෑනකින් යුතුව තබන සටහනක කථනයකි. ඒ වන විට රාත්‍රිය එළැඹ ඇතැයි අපට හැඟෙන්නේ කාමරය අඩක් එළිය කරන පහනෙහි දැල්ලෙනි. ඔහු සිටින කුටිය පුරා අපට දකින්ට ලැබෙනුයේ පැරණි ගෘහයක නිදන කාමරයක ලක්ෂණය. එහි පිළිවෙළක් නොමැත. ඇත්තේ අපිළිවෙළයි. වියන් ඇඳ විටිටමේ එක් පසෙකින් සේද රෙද්දක් වැටී ඇත. කාමරය පුරා ඇති මහේශාක්‍ය බව පසක් කරන මෙම ගෘහභාණ්ඩ නිසා කාමරයේ ඇත්තේ ඇහිරුණු ස්වභාවයකි. මේ ස්වයං කථනයේ යෙදෙන පුද්ගලයා තුළ ඇත්තේ පශ්චාතාපී බවක් විනා බියගුලු බවක් නොවේ. ඔහුට ඉදිරියෙන් ඇති ආලේඛ්‍ය චිත්‍රය මෙම නිවහනේ ආදිතම කාන්තාවකගේ රූපයක් විය හැකිය.

අනතුරුව ඔහුගේ කථනය එලෙසම තිබිය දී කැමරාව කාමරයෙන් පිටතට ගමන් කරයි. එහි පැරණි සිරියාව හා ප්‍රතාපවත්බව එලෙසම තිබුණ ද ගරා වැටීමේ ආසන්න යුගයට සමීපව ඇති මන්දිරයක් අප ඉදිරියේ ඇත.

මේ සා විශාල මන්දිරයක වෙසෙන මේ මිනිසාට සිය දිවි තොර කරගැන්මට ආසාවක් ඇතිවූයේ මන්ද? බැලූ බැල්මට එය සිදුවිය යුත්තක් නොවේ.

පුරා පැය දෙකකට ආසන්න කාලයක් උත්තම පුරුෂ ආඛ්‍යානයකින් යුතුව සිනමාකරු හෙළිදරවු කරනුයේ මේ අබිරහසයි.

1972 වසරේ පෙබරවාරි මස 3 වැනි දින (අද වැනිම බ්‍රහස්පතින්දාවකම) මෙරට සිනමා තිරයට එක්ව 1997 වසරේ දී ලාංකික සිනමා විචාරකයන්ගේ ඒකච්ඡන්දයෙන් පනස් වසරක හොඳම දේශීය චිත්‍රපටය ලෙස ද කථානාද සිනමාවේ හැත්තෑපස් වසරක දී හොඳම චිත්‍රපටය තේරීමට සරසවිය මඟින් කළ මත විමසුමෙන් සිනමාකරුවන්ගේ හොඳම චිත්‍රපටය ලෙස මේ වනවිටත් ඉහළින්ම සඳහන් කරනු ලැබ ඇති නිධානය සොයා යනුයේ ස්වයං ඝාතනයක යෙදෙන්නෙකුගේ පාපොච්චාරණයකි. එයට අදට හරියටම අවුරුදු පනහකි. එදා ද අද මෙන් බ්‍රහස්පතින්දාවකි. එය තිරගත කරන ලද්දේ කොළඹ එම්පයර්, එල්ෆින්ස්ටන්, රොක්සි, අසෝකා මෙන්ම මොරටුව එමෙස්, වත්තල ගැමුණු පැලස් කුරුණෑගල, රත්නපුර හා පානදුර ඉම්පීරියල්, වෙන්නප්පුව ශ්‍රී ලංකා, මාතර බ්‍රෝඩ්වේ, මහරගම නැෂනල්, ගම්පහ පබ්ලික්හෝල්, ගාල්ලේ ක්වීන්ස්, මහනුවර වේල්ස් යන සිනමාහල්වලය.

1972 වසරේ දේශීය සිනමාව සම්බන්ධයෙන් සිදුවූ වඩාත්ම විශිෂ්ටතම සිදුවීම කවරේදැයි පෞද්ගලිකව යමෙක් විමසූ කල දිය හැකි හොඳම පිළිතුර එම වසරේ නිධානය තිරගත වීමයැයි සඳහන් කරන්නට මම කැමැත්තෙමි. අන් සියලු කාරණා නිධානයේ වටිනාකමෙන් ගව් ගණනක් ඈතය. සිනමාලෝලීන් වූ අපට වෙනත් කාරණාවලින් තඹ දොයිතුවක හෝ ප්‍රයෝජනයක් සිදුව නැත.

ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් ගොළු හදවත චිත්‍රපටය නිර්මාණය කරනුයේ සීමාසහිත සිලෝන් ස්ටුඩියෝස් ආයතනයේ නිෂ්පාදනයක් හැටියටය. ගොළු හදවත කිසිකලෙක ආදායම් වාර්තා තබනු ඇතැයි සමාගමේ බලධාරින් හෝ කිසිවකු හෝ සිතුවේ නැත. එහෙත් ගොළු හදවත වාර්තා පිට වාර්තා තැබුවේ ඒ වන විට මුදල් අර්බුදයකට මුහුණ දෙමින් සිටි චිත්‍රාගාරයේ සියලු ණය ගෙවා හමාර කොට එයට නැඟී සිටින්නට ජවය ලබා දෙමින්ය. මේ අධි සාර්ථකත්වය නිසාම ලෙස්ටර් සමඟ තවත් චිත්‍රපට දෙකක් නිර්මාණය කරන්නට සීමාසහිත සිලෝන් ස්ටුඩියෝස් ආයතනය තීරණය කළේය. ලෙස්ටර් ම වරක පැවසූ අන්දමට ඔහු සමඟ චිත්‍රපට ත්‍රිත්වයක් තැනූ එකම නිෂ්පාදන සමාගම සිලෝන් තියටර්ස් අනුබද්ධිත සිලෝන් ස්ටුඩියෝස් පමණි. චිත්‍රාගාරය මඟින් දෙවැනුව නිෂ්පාදනය කළේ අක්කර පහ චිත්‍රපටයයි. එයින් පසු තෙවැනි චිත්‍රපටය සඳහා යෝජනා කිහිපයක්ම විය. එවකට සිලෝන් තියටර්ස් සභාපති ඊ.ඒ.වීරසූරිය මහනුවර බහිරව කන්ද ආශ්‍රිත පුවතක් ගැන පැවසුවේ පැරැණි බිලිදීමේ චාරිත්‍රයක් ද ඇතුළත්වය. එහෙත් නිෂ්පාදන වියදම වැඩිවන හෙයින් එය අත්හැර දැමිණ. මේ අතරවාරයේ සන්දේශය චිත්‍රපටයේ සම තිර නාටක රචකයකු වූ බෙනඩික්ට් දොඩම්පේගම විසින් කෙටි කථා තුනක එකතුවෙන් යුත් චිත්‍රපටයක් නිර්මාණය කිරිමේ යෝජනාවක් ගෙන ආවේය.

මෙම කෙටි කථා ත්‍රිත්වය වූයේ ගුණදාස අමරසේකරගේ බයිසිකලය, මාර්ටින් වික්‍රමසිංහෙගේ ලේළි සහ ජී.බී.සේනානායක ගේ නිධානයයි. මේ අදහස ද බැහැර කෙරිණ.

නිධානය කෙටිකථාව යනු පිටු පහකින් යුත් ඉතා කුඩා එකකි. එය ඇතුළත් වූයේ සේනානායකයන්ගේ පළිගැනීම නම් කෙටිකථා සංග්‍රහයටය. මෙම කුඩා කථාව චිත්‍රපටයකට නම් වෙනකෙකු විසින් පහසුවෙන් බැහැර කරනු ලබනසුලු අදහසක් පමණකි. එය අත්හැර දමන්නට නොව එහි මහා සිනමා කෘතියක් සඳහා දැවැන්තම සාධකය තිබෙන විත්තිය ලෙස්ටර්ට වැටහිණ. එය දීර්ඝ වෘත්තාන්තයක් සේ නිර්මාණය කිරිම පහසු කටයුත්තක් ද නොවිණ. ආචාර්ය ලෙස්ටර් ‌ජේම්ස් පීරිස් විසින් සිනමාවට ගෙනා මහා පුද්ගලයන් දෙදෙනෙකි. එක් අයෙක් ගාමිණී ෆොන්සේකාය. අනිත් තැනැත්තා මෙරට සිනමාවේ විශිෂ්ටතම තිරනාටක රචකයා වූ තිස්ස අබේසේකරය. නිධානය ගොඩ දැමීමට නම් තිස්ස අත්‍යවශ්‍ය බැව් ලෙස්ටර් වටහා ගත්තේය.

කෙටිකථාවේ විලි අබේනායක කවර ඝනයේ පුද්ගලයකු ද යන්න එහි ඉස්මතු නොවිණ. එහි විලි අබේනායක හා අයිරින් හැර මතුවන කිසිදු චරිතයක් වූයේ ද නැත. නිධානය චිත්‍රපටයක් බවට පරිවර්තනය කිරිමේ කටයුත්ත අත හරින්නට ලෙස්ටර් හෝ තිස්ස කල්පනා නොකළහ. පළමුව කළ යුතුව තිබුණේ ලේඛක ජී.බී.සේනානායක කැමති කරවා ගැන්මය. සේනානයක මහතා නිධානය චිත්‍රපටගත කරන්නට මුලින් විරුද්ධ විය. චිත්‍රපටයක් කරන්නට තරම් දෙයක් එහි නැතැයි ඔහු පැවසීය. එය මාර්ටින් වික්‍රමසිංහයන් ගම්පෙරළිය රූප ගැන්වීමේදි ලෙස්ටර් ජේම්ස් පිරිස්ට පැවසූ කාරණයට සමානය. අවසානයේ මේ කතාබහ කෙළවර සේනානායකයන් එකඟ කරවා ගැන්මට ලෙස්ටර් සමත් විය. එහෙත් ඔහු ඉල්ලූ මුදල කේවල් කළ නොහැකිය. මුදල රුපියල් දස දහසකි. මෙයට අවුරුදු පනහකට කලින් එය ඉහළම මිලක් විය. අවසානයේ අදාළ මුදල ගෙවා නිධානය ගන්නට ලෙස්ටර් මෙන්ම සමාගම ද එකඟ විය.

චිත්‍රපටයේ තිරනාටකයේ මූලික සැලැස්මට පමණක් මාස දහයකට ආසන්න කාලයක් ගතවිය. විලී අබේනායක වංශවතෙක් බවත් ඔහු ජිවත් වනුයේ බ්‍රිතාන්‍ය සමයේ අවසාන යුගයේ බවත් ඔහු අනුක්‍රමයෙන් වස්තු භංගත්වයට නැතහොත් ගරා වැටෙන පෙළපතක මිනිසකු හැටියටත් ගොඩ නැංවිණ. විලි අබේනායක ඇස් ලේ මස් ඇති ප්‍රාණවත් සිරුරක් බවට පත් කිරිම කළ යුතුය. ඔහුට කාලයක් තිබිය යුතුය. පසුබිමක් තිබිය යුතුය. එබැවින් වලව්වක ජිවත් වන විල්ෆ්‍රඩ් අබේනායක තනිකඩයෙකු බවත් ගුප්ත ස්වභාවයකින් යුක්ත බවත් ගොඩ නැංවිණ. ඉංග්‍රීසියෙන් ඉගෙන ගත්ත ද පුස්කොළ නිදන් වදුලක ඇති දේ පිළිබඳ විශ්වාස කරන කිසියම් බෙලහීන චරිතයක් බවට පත් කළ යුතුවිය. උපන් ලප සහිත කාන්තාව කෙටිකථාවේ මුණ ගැසෙනුයේ දුම්රියේදීය. චිත්‍රපටයේ ඇය මුණ ගැසෙනුයේ තොටුපළකදීය. නිකම්ම නොවේ කොන්ත්‍රාත් වැඩක් ඇරඹීමට විලී බහිරව පූජාව පැවැත් වූ සැණින් බිල්ල පැමිණෙනුයේ ගඟ දිගේය. බහිරවයා චිත්‍රපටය පුරා ඉස්මතු වන සාධකයකි.

තිරනාටකය අඩක් නිම කළ ලෙස්ටර් සිනමා කෘතියේ දැවැන්ත චරිතයක් බවට පත්වන වලව්ව සොයන්නට වූයේය. චිත්‍රපටයට සුදුසු වලවු කිහිපයක් සොයා ගිය ද ඒ එකක්වත් නිධානයට ගැළපුණේ නැත. අවසානයේ හොඳ ඔත්තුවක් ලැබිණ. තැන රාජගිරියේය. එංගලන්තයේ ඉගෙනුම ලද තනිකඩ නිතීඥවරයකු මේ වලව්වේ ජීවත්වෙයි. පළාත ප්‍රසිද්ධ වූයේ ද මෙම ප්‍රභුවරයා අයත් පරම්පරාව අයත් ඔබේසේකර පුර නමින්ය. ලද ඔත්තුවට අනුව ලෙස්ටර් හා තිස්ස අබේසේකර දෙදෙනා ඔබේසේකර වලව්වට ගියහ. පුදුමය නම් ඉංග්‍රිසිකාරයකු ලෙස සිතන මේ අපූරු නීතිඥවරයා නිධානය රූපගත කරන්නට සිය දැවැන්ත ප්‍රාසාදයෙහි ඉඩ කඩ දීමට කිසිදු පැකිළීමකින් තොරවම එකඟවීමය. වලව්ව පිහිටි වත්ත පිටියේ ඇවිද ගිය තිස්ස තවත් අපූරු දෙයක් තිරනාටකයට වහා එක් කර ගත්තේය. ඒ වත්තේ කූඩුවක සිටි මොනර යුවළකි. මොනරා චිත්‍රපටයේ අති ප්‍රබල සංකේතයක් බවට පත්වෙයි. විලි අබේනායක යනු ලිංගික බෙලහීනයකින් පෙළෙන මිනිසකු යැයි අනුමාන කරන්නට ඇති එක් ප්‍රබල සාක්ෂියක් වුයේ මොනරාය.

අයිරින් දුටු මොහොතේ පටන්ම ඇය කෙරෙහි ප්‍රේක්ෂක අනුකම්පාව ලැබීම වැදගත් කරුණකි. අයිරින් හැර විලි මෙන්ම චිත්‍රපටය නරඹන ප්‍රේක්ෂකයෝ පවා ඇය බිල්ලක් බව දත්හ. හිච්කොක් චිත්‍රපටයක නම් ඇය අවසාන මොහොතේ හෝ මරණයෙන් ගැලවෙන්නේය. එහෙත් අයිරින් වාසනාවන්ත නූවූවාය.

චිත්‍රපටය මුළුමනින්ම විලි අබේනායකගේ දෘෂ්ටියෙන් ගලා යාම තිරනාටක රචකයකු හැටියට ලැබුණ දැවැන්තම අභියෝගයක් විය. පාලමක් ඉදිකිරිම , හා මී මැස්මොර රෝගියා යන සංකල්පයන් ගෙන එන ලද්දේ ලෙස්ටර් විසින්ය. විලි අබේනායකොගේ චරිතයේ ගුප්ත ස්වරූපය තිස්ස අබේසේකරයන්ගේ පරිකල්පනාවේ බලමහිමයයි. අවසාන වශයෙන් තිරනාටකය සමාප්ත වන විට නිධානය කෙටිකථාවෙන් උකහාගෙන තිබුටණ් ප්‍රධාන තේමාව හැර එහි නම පමණකි. තම බිල්ල තමන්ගෙන් වෙන් කළ නොහැකි ආදරයක් බවට පත් කරන විලිගේ රෝගාතුරවීම මෙහි එක් අපූරු චරිත ගොඩනැංවීමක් විය. එහෙත් එම හැඟීම මතින් සෑහීමකට පත්ව ජීවත් වන්නට තම අවට පරිසරය විලීට ඉඩ සලසන්නේ නැත. මේ තීරණය නොගත්තේ නම් තමන්ට උරුමය අහිමි වනු ඇත. උරුමය සමග නම්බුව ද අහිමි වනු ඇත.

චිත්‍රපටයේ විලීගේ චරිතයට එකම තෝරා ගැන්ම ගාමිණී ෆොන්සේකා විය.ගැටලුව තිබුණේ එබදු චරිතයක් කරන්නට ගාමිණීට විවේකයක් ඇති ද යන්නය. ගාමිණී ඒ වන විට මෙරට ඉහළම සිනමා රංගවේදියා බවට පත්ව තිබිණ. ජනප්‍රියත්වය මෙන්ම කුසලතාව ද ඔහු සතු විය. ඔහු තම චිත්‍රපටයකට තෝරා ගැනීමට අවශ්‍ය ඕනෑම මුදලක් යෙදවීමට නිෂ්පාදකවරු පෙළ ගැසී සිටි යුගය විය. ඒ වන විට මාලනී ෆොන්සේකා සිය නිළි රැජන කිරුළ සොයා යන චාරිකාව ආරම්භ කළා පමණකි. වාසනාවකට මෙන් අක්කර පහ චිත්‍රපටයේ මාලනී කළ රංගනය අතුරු චරිතයක් වුව ඇයගේ ප්‍රතිභාව මහා සිනමාවේදියාට වැටහී තිබිණ. එය ගම්පෙරළිය චිත්‍රපටයේ සුළු චරිතයකට පෙනී සිටි ටෝනි රණසිංහට දෙලොවක් අතර චිත්‍රපටයේ ප්‍රධාන චරිතය වූ නිශ්ශංකගේ චරිතය බාර දුන්නාටත් වඩා බරපතළ අභියෝගයක් වූ බව පෙනෙන්නකි. ඒ වන විට මාලනි එකම ආකාරයේ පෙම්වතියගේ චරිත රාශියකට තිරයේදී මුහුණ දෙමින් එයට ඇබ්බැහි වෙමින් සිටි අවධියයි. නිධානයේ සමය වන විට ඔවුන්ගේ කාර්ය බහුලත්වය නිසා මාසයකට ලබා ගත හැකි දින තිබුණේ පහක් වැනි සුළු කාලයකි. එබැවින් ඔවුන්ගේ රූගත කිරිම් සඳහා මාස දහයකට නො අඩු කාලයක් ගත විණ. ලෙස්ටර් මවිත කළ කාරණය නම් ඉන්දිය අනුකාරක චිත්‍රපට රැසක ගස් වැල් වටා දුවමින් ගිත ගයන මේ මහා නළු නිළි යුවළ එකවරම නිධානයේ රංගාවේශය ලබා ගත් අයුරුය. එකදිගට රූප ගත කළ යුතුව තිබුණු නිධානය එතරම් දින ගණනක් ගත වුණ ද ගාමිණී හෝ මාලනී සිය චරිතයන්හි ඇති ගති ස්වභාවයන් දශමයක හෝ වෙනස්කමක් නොකළහ. මාලනී නිධානය තිරනාටකය කියැවූ සැණින් ලෙස්ටර් මවිත කරන ලද්දේ ජී.බී.සේනානායකයක් විසින් අයිරින් කෙරෙහි මවන ලද උපන් ලප පෙළ මාලනි සතුව ස්වභාවයෙන් පිහිටා ඇති වග පෙන්වාදීමත් සමගය. ලේඛකයා සිය චරිතය දෛවෝපගතව නිර්මාණය කර තිබුණේ මාලනී ෆොන්සේකාට ම රඟපාන්නට මෙනි. 

ගාමිණී-මාලනී යනු ඊළඟ පස්වසර ඇතුළත මෙරට සිනමාවේ වඩාත්ම ජනාකර්ෂණීය සිනමා යුවළ වූ අතර ඔවුන් මුල්වරට එකට යුවළක් ලෙස රඟපෑවේ නිධානය චිත්‍රපටයෙහිය. ගාමිණී ගේ රඟපෑම වරෙක මාලනී ද බියෙන් සැලී යන අන්දමේ එකක් බැව් ඇය එකල සරසවියට කියා තිබුණාය. මී මැස් මොරය සෑදෙන විලි අබේනායකව රූපගත කළ කැමරා අධ්‍යක්ෂ එම්.එස්.ආනන්ද බිය වී තැති ගැන්විණ. ලෙස්ටර් අන්දුන් කුන්දුන් වූයේ ගාමිණී ට ඇත්තටම මී මැස් මොරය වැලඳී ඇත්දැයි සැක කරමින්ය. එම්.එස්.ආනන්ද ඒ වන විට සිලෝන් ස්ටුඩියෝස් ආයතනයේ කැමරා අධ්‍ය්කෂවරයාය. එහෙත් ඔහු ගොළු හදවත, අක්කර පහ යන චිත්‍රපට ද්විත්වයෙහිම ලෙස්ටර්ගේ තෙවැනි ඇස විය. පසුව මඩොල්දූව මෙන්ම සුමිත්‍රා පිරිස් ගේ මුල්ම අධ්‍යක්ෂණය වූ ගැහැනු ළමයි චිත්‍රපටයේ කැමරා අධ්‍යක්ෂණය ද ආනන්දගේය. චිත්‍රපටය පුරා ඇති අඳුරු ආලෝකය යොදා ගනිමින් විලි අබේනායකගේ අභ්‍යන්තරයේ ඇති ගූඪබව රූපයෙන් ඉස්මතු කරවන්නට ආනන්ද සමත් වූයේය. නොඅනුමානවම එම්.එස්.ආනන්ද මෙරට බිහි වූ විශිෂ්ටතම සිනමා කැමරා අධ්‍යකෂවරයෙකු බව අවිවාදිතය. එයට කදිම උදාහරණය නිධානයයි. නිධානය රූප ගත කරන ලද්දේ ඉල්ෆෝර්ඩ් නම් එංගලන්තයේ නිෂ්පාදිත දළ සේයා පටලයකිනි. ඉල්ෆොර්ඩ් දළ සේයා පටලය මඟින් රූපගත කරන ලද එකම සිංහල චිත්‍රපටය ද නිධානයයි. චිත්‍රපටය සංස්කරණය කරන ලද්දේ ලෙස්ටර් ජේම්ස් පිරිස් ග්ලැඩ්වින් ප්‍රනාන්දු හා එඩ්වින් ලීට්න්ය. කලා අධ්‍යක්ෂණය එවකට සිලෝන් ස්ටුඩියෝස් ආයතනයේ කලා අධ්‍යක්ෂ වූ ජේ.ඒ.වින්සන්ට් ය. ජාතික රූපවාහිනියේ ආරම්භක කලා අධ්‍යක්ෂ වූයේ ද වින්සන්ට් ය. ලෙස්ටර්, තිස්ස, ගාමිණී, මාලනී, ආනන්ද මෙන්ම චිත්‍රපටයේ මහා අරුත් ගොඩ නැංවූ අනිත් තැනැත්තා ප්‍රේමසිරි කේමදාසයන්ය. නිධානය සංගීතය සඳහා කේමදාසයන් භාවිතා කරන ලද්දේ යක් බෙරය ප්‍රමුඛව චෙලෝව හා හාර්ප් එක පමණකි. විලි අබේනායක අයිරින් දකින තොටුපළේ දී මේ සංගීත භාණ්ඩයන් ත්‍රිත්වයම එක්වර වැයෙන්නට පටන් ගනියි. යක්බෙරය අපට විලිගේ බිල්ල සිහිපත් කරවන්නේ නිතැනිනි. අයිරින්ගේ සුකුමාලත්වය හාර්ප් භාණ්ඩයෙන් ගොඩ නැගෙද්දී මේසියල්ල මැද චෙලෝ වාදනය අබේනායකගේ පැළැන්තියේ අතීතය සිහිපත් කරයි. ඒ විලි හා අයිරින්ගේ ආදරයට මුල පුරද්දී යක්බෙරය නෑසි යයි. එහෙත් එය යළි ඇසෙන්නේ අයිරින් බිලි දිමට ගන්නා වූ තිරණයත් සමඟය. කේමදාසයන් තිස්සගේ තිරනාටකයත් ආනන්දගේ කැමරාකරණයටත් ගාමිණී-මාලනී දෙදෙනාගේ රංගනයටත් අලුත් මානයක් බිහි කළේය.

චිත්‍රපටය නිෂ්පාදනයට අති විශාල මුදලක් වැය කරන්නට නොහැකිව තිබිණ. ගාමිණී ෆොන්සේකා කැඳවා ගෙන එන්නට රත්මලානට දිනපතා ගියේ ලෙස්ටර් ඔහු සතු වාහනයෙනි. ඔබේසේකර වලව්ව හැරුණු විට ශ්‍රීමත් ජෝන් කොතලාවලට අයත් කඳවල වත්තේ ද චිත්‍රපටය රූප ගත කෙරිණ. අශ්ව කරත්තයේ රූපගත කිරිම් යොදා ගෙන තිබුණේ එහිය. අවාසනාවට කරත්තයේ බදින ලද අශ්වයාගේ එක් පයක ආබාධයක් විය. එහෙත් කොර අශ්වයා ගේ ආබාධිත බව කැමරා ඇසට හසුනොකරන්නට ආනන්ද සමත් විය. චිත්‍රපටයේ එන මහ වැස්ස කොළඹ ගිනි නිවන දෙපාර්තමේන්තුව මඟින් දෙදිනක් පුරා ඇති කරන ලද්දකි. මේ දෙදින පුරාම මහ ජල පහරේ තෙමෙන්නට ගාමිණී ෆොන්සේකාට සිදුවිණ. චිත්‍රපටය කෙතරම් කලක් ගත වුණ ද වී.උපාලි පෙරේරා ගේ සහාය අධ්‍යක්ෂණයෙන් කළ දායකත්වය ආචාර්ය ලෙස්ටර් හැමවිටම අගය කළේය. චිත්‍රපටයේ නාමාවලියේ සඳහන් නැතත් ඇඳුම් නිර්මණයේදී පමණක් සුමිත්‍රා පිරිස් දායක වූවාය. සිනමාව පිළිබඳ ලැබුණු ශිෂ්‍යත්වයක් මත වැඩිපුර අධ්‍යයනයට පැරිසියට ගිය බැවින් නිධානය සංස්කරණයට හෝ ආචාර්ය සුමිත්‍රා පීරිස් දායක නොවුණාය.

නිධානය කිසිකලෙකත් පැරැණි නොවන්නකි. එය වර්තමානයේ නරඹන්නෙකුට වුව කලින් නරඹනවාට වඩා අර්ථ ගණනාවක් ඉස්මතු කරනු දැක ගත හැකි විරල ගණයේ නිර්මාණයකි. ජීවිතය පිළිබඳ ප්‍රබලම ශෝකාන්තයක් වන එය එක් පසෙකින් සිදුවන ආර්ථික විප්ලවයේ ගම් පෙරළියත් අනිත් පසින් පුද්ගල ජිවිතයේ අඳුරු අහුමුලුත් එකිනෙක නිරාකරණය කරනු ලබන විරල ඝනයේ සිනමා සිත්තමකි. චිත්‍රපටයක් නරඹන විට දිනෙන් දින යාවත්කාලින අර්ථයන් ඉස්මතු වන එමෙන්ම එදා මෙන්ම සංත්‍රාසය ද ආදරය ද සමඟ ජීවිතය පිළිබඳ ගැඹුරු කතිකාවක යෙදිය හැකි සිනමා නිර්මාණයක් තවමත් ලාංකික සිනමාවේ බිහිවුයේ නැති වග අවිවාදිතය. නිධානය ඕනෑම මානයක සිට ඕනෑම වර්ගයකින් රස විඳීය හැකි චිත්‍රපටයකි.

නිධානය වැනිස් සිනමා උලෙළේ දී විචාරක ඡන්දයෙන් රජත සිංහ සම්මානය දිනා ගත්තේය. එම උලෙළට චිත්‍රපටය යවන්නට නිෂ්පාදකයන් එකඟ කරවා ගැන්මට ලෙස්ටර්ට බරපතළ වෙහෙසක් ගන්නට සිදුවිය. අවසානයේ උප සිරැසි ගැන්වීම සඳහා සමාගම යෙදවූ මුදල හා සමානව ම මුදලක් ආචාර්ය ලෙස්ටර් ද වැය කළේය. පසුකලෙක ප්‍රංශයේ සිනමාතෙක් ආයතනය නිධානය විසිවැනි සියවසේ ලොව හොදම චිත්‍රපට සියයට එක් කොට තිබිණ. පූසාන් ජාත්‍යන්තර උලෙළේ දී විසිවැනි සියවසේ හොඳම ආසියානු චිත්‍රපට දහයෙන් එකක් ලෙස ද නිධානය නම් කෙරිණ. පසුකලෙක සිලෝන් ස්ටුඩියෝ ආයතනයේ අයිතිය කොටස් වෙළෙඳපොළ මඟින් සීමාසහිත සිනමාස් සමාගම මිලයට ගැනීමත් සමඟ නිධානය අයිතිය ද සිලෝන් තියටර්ස් සමාගමට අහිමි ව ගියේය. චිත්‍රපටයේ දළ සේයා පටල පටය කලකට ඉහත දලුගම සරසවි චිත්‍රාගාරයේ සංරක්ෂණාගාරයට එහි පසු හිමිකරු සිනමාස් සභාපති ව සිටි ජී.පත්මරාජ් බාර දුන්න ද එය නරක්වන ලකුණු ඇතැයි සලකා එවකට එහි පාලකයන් විසින් අතු ගා ඉවත් කර දමන ලද වග පසුව මාධ්‍ය වාර්තා කරනු ලැබිණ. එය හෙළිදරවු වූයේ ද එහි දළ සේයා පටය සංරක්ෂණය කිරිමට වැනිස් සිනමා උලෙළේ සංවිධායකයන් කටයුතු කරමින් සිටි පසුබිමකය. පසුව ඉන්දියානු සිනමා සංරක්ෂණාගාරයේ තිබුණු නිධානය චිත්‍රපටයේ පිටපතකින් අනුපිටපතක් සකසා එමඟින් වඩා විශිෂ්ට පිටපතක් තනා එය ලෝකයේ මහා සිනමා කෘතියක් ලෙස වැනිස් සිනමා උලෙළේ සංවිධායකයන් විසින් සංරක්ෂණය කරන ලදී. එබැවින් නිධානය හොඳම පිටපත වර්තමානයේ තිබෙන්නේ එහිය. කලා අධ්‍යක්ෂ වින්සන්ට් විසින් නිධානය සඳහා භාවිත කරන ලද සියලු දෑ ආරක්ෂා කර එකතු කර සිටිය ද ඒ සියල්ල 83 ජූලි කලබල සමඟ මැරයන් විසින් වින්සන්ට්ගේ දේපළ සමඟ ගිනි තබන ලදී. ඉතිරි දෑ ඔහු ඉන්දියාවට ගෙන ගොස් වඩා ගෞරවයෙන් ආරක්ෂා කරන්නට කටයුතු කළේය. වින්සන්ට් ද දැනට වසර කිහිපයකට පෙර මිය ගියේය.

ආචාර්ය ලෙස්ටර්, ගාමිණී ෆොන්සේකා, තිස්ස අබේසේකර, ප්‍රේමසිරි කේමදාස, එම්.එස්.ආනන්ද අද අප අතර නැත. චිත්‍රපටය තිර ගත කළ බොහෝ සිනමා ශාලා ද නැත. නිෂ්පාදනය කරන ලද සිලෝන් ස්ටුඩියෝස් ගොඩනැඟිල්ල 83 වසරේ ගිනි තැබුව ද බරපතළ හානියක් නොවූයෙන් ටෙලිවිෂන් යන්ත්‍ර නිෂ්පාදන සමාගමක් මෙන්ම වාහන සේවා ආයතනයක් ද වර්තමානයේ එහි ආරම්භ කොට තිබේ. චිත්‍රපටයට පසුතලය වූ ඔබේසේකර වලව්ව සහමුලින්ම නෂ්ටාවශේෂයකි.

නිධානයට දායක වූ අප අතර නැති එමෙන්ම අප අතර සිටින සියලු දෙනාට මේ සටහන උපහාරයක් වේවා !