වර්ෂ 2023 ක්වූ March 28 වැනිදා Tuesday
සරසවිය හොඳම නිළිය සමඟ අමුතු ඉලන්දාරියා කොළඹ එයි

ඉන්දීය සම්භවයක් සහිත කැනේඩියානු ජාතික දීපා මෙහ්තා දැඩි ආන්දෝලනයට ලක් වන සිනමා නිර්මාණ ගෙන එන අධ්‍යක්ෂවරියක ලෙසින් ප්‍රකටය. 'ෆයර්', 'අර්ත්', සල්මන් රුෂ්ඩිගේ නවකතාවක් ඇසුරින් නිර්මාණය වූ 'මිඩ්නයිට්ස් චිල්ඩ්රන්', 'බීබා බෝයිස්' මීට පෙර ඇය විසින් අධ්‍යක්ෂණය කෙරුණු චිත්‍රපට අතරින් කිහිපයකි. එසේම ඉන්දියාවේදී එල්ල වුණු යම් යම් විරෝධතා හේතුවෙන් ශ්‍රී ලංකාවේදී රූගත කර ඇය විසින් අධ්‍යක්ෂණය කළ 'වෝටර්' චිත්‍රපටය ලොව පුරා අවධානය දිනා ගැනීමට සමත් විය. 'ෆනී බෝයි' චිත්‍රපටය දීපා මෙහ්තාගේ 14 වැනි සිනමා අධ්‍යක්ෂණයයි. එය 2020 වසරේ දෙසැම්බර් මස කැනඩාවේ සහ එක්සත් ජනපදයේ තෝරාගත් සිනමා ශාලා සහ නෙට්ෆ්ලික්ස් ඔස්සේ මුදා හැරුණි. 'ෆනී බෝයි' චිත්‍රපටය මේ දිනවල මෙරට තිරගත වන්නේ ගෝලීය වශයෙන් නිකුත් වී වසරකටත් වැඩි කාලයකට පසුවය.
'ෆනී බෝයි' චිත්‍රපටය නිර්මාණය වී තිබෙන්නේ ශ්‍යාම් සෙල්වදුරෙයිගේ 'ෆනී බෝයි' නවකතාව ඇසුරිනි. ශ්‍යාම් කැනඩාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයෙකි. සිංහල මවකට සහ දෙමළ පියෙකුට දාව කොළඹදී උපත ලද ශ්‍යාම් ඇතුළු සෙල්වදුරෙයි පවුල වාර්ගික අර්බුද හේතුවෙන් 1983 වසරේදී කැනඩාවට සංක්‍රමණය වන විට ඔහුගේ වයස අවුරුදු දහනවයක් විය. 1997 වසරේ ශ්‍යාම් සෙල්වදුරෙයි ශ්‍රී ලංකාවේ ගත කළ කාලසීමාවක් තුළ ඔහු සහ ඔහුගේ සහකරු අත්විඳී අපහසුතා පිළිබඳ වාර්තාවක් 2003 වසරේ ටයිම් ඒෂියා විශේෂ කලාපයෙහි 'කමින් අවුට්' රචනාවේ විස්තර කළේය. ඔහුගේ 'ෆනී බෝයි' කෘතිය ලංකාවේ වාර්ගික අර්බුදයට මැදි වූ නව යෞවනයෙකුගේ ලිංගික හැඟීම් අලළා රචනා වූවකි. 1994 වසරේදී පළවුණු මෙම නවකතාව සමලිංගික ප්‍රබන්ධ සඳහා Lambda සාහිත්‍ය සම්මානය සහ කැනඩාවේ කෘති වෙනුවෙන් පිදෙන The First Novel සම්මානය දිනා ගත්තේය. සුගතපාල ද සිල්වා විසින් 'අමුතු ඉලන්දාරියා' යන නමින් සිංහලයට පරිවර්තනය කළේ ද මෙම කෘතියයි. එහි අර්ජි චෙල්වරත්නම් නම් තරුණයා ශ්‍රී ලංකාවේ හැදී වැඩෙන සමරිසි පිරිමි ළමයෙකු ලෙස තම ලිංගික අනන්‍යතාවය ගවේෂණය කරන අතර අසූව දශකයේ මුල්භාගයේ ජනවාර්ගික අර්බුදයට මුහුණ දෙන අයුරු දිග හැරේ.
දීපා මෙහ්තා සහ ශ්‍යාම් සෙල්වදුරෙයි විසින් තිරරචනය කළ 'ෆනී බෝයි' චිත්‍රපටයේ ළමා වියේ අර්ජි චෙල්වරත්නම් ලෙස අරුෂ් නන්ද් ද නව යොවුන් වියේ අර්ජි ලෙස බ්‍රැන්ඩන් ඉන්ග්‍රම් ද චරිත නිරූපණය කරති. හොඳම නිළිය ලෙසින් සරසවිය සම්මානලාභි නිම්මි හරස්ගම සමඟින් අලි කස්මි, අගම් දර්ශි, සීමා බිස්වාස්, රෙහාන් මුදන්නායක සහ ශිවන්ත විජේසිංහ ද රංගනයෙන් දායක වී සිටින මෙම චිත්‍රපටය රූගත කෙරුණේ චෙන්නායි සහ කොළඹ දීය.
'ෆනී බෝයි' චිත්‍රපටය කැනඩාව වෙනුවෙන් 93 වැනි ඔස්කාර් සම්මාන උලෙළ නියෝජනය කිරීමට වරම් ලබා ගත්තද පසුව එය ප්‍රතික්ෂේප විය. ඇකඩම් ඔෆ් මෝෂන් පික්චර්ස් ආර්ට්ස් ඇන්ඩ් සයන්ස් පෙන්වා දී තිබෙන්නේ 'ෆනී බෝයි' චිත්‍රපටයේ සියයට පනහකට වඩා ඉංග්‍රිසි බසින් යුතු දෙබස් අන්තර්ගතව තිබීම මෙම නුසුදුසුකමට හේතු වූ බවයි. විනාඩි 109ක ධාවන කාලයකින් යුතු 'ෆනි බෝයි' චිත්‍රපටයේ විදේශීය භාෂාවලින් යුතු දෙබස් එනම් සිංහල හෝ දෙමළ දෙබස් ඇතුළත් කර තිබෙන්නේ විනාඩි 12 තත්පර 27ක කාලයක පමණක් බව ද සඳහන්.
'ෆනී බෝයි' චිත්‍රපටය විචාරකයන්ගෙන් ධනාත්මක ප්‍රතිචාර ලද චිත්‍රපටයක් බවට පත් විය. ඇතැමෙක් එය හඳුන්වා දුන්නේ නිර්භීතව මානවවාදී ප්‍රබන්ධයක් ඉදිරිපත් කරන චිත්‍රපටයක් සේම දීපා මෙහ්තාගේ ප්‍රබලතම දෘශ්‍ය රූපවලට සාක්ෂියක් බවයි. නමුත් ප්‍රචාරක පටය නිකුත් කිරීමෙන් පසුව චිත්‍රපටයේ දෙමළ චරිත වෙනුවෙන් දෙමළ සම්භවයක් සහිත නළු නිළියන් නොමැතිකම පිළිබඳ කතාබහ ඇති විය. ඒ සම්බන්ධව පිළිතුරු දෙමින් දීපා මෙහ්තා වරෙක පවසා සිටියේ වසරක් පුරා පැවැති තිර පරීක්ෂණයේදී සමරිසි චිත්‍රපටයක් ලෙසින් මේ සඳහා රංගනයෙන් දායකවීමට කැමැති දෙමළ නළුවන් ශ්‍රී ලංකාවේදී සොයා ගැනීම දුෂ්කර වූ බවයි. තවද 'ෆනී බෝයි' චිත්‍රපටයේ ඇතුළත් වන දෙමළ භාෂාව ශ්‍රී ලංකාවේ භාවිත කථන දෙමළ භාෂාව නොවන බවටද ඇතැමුන් ගෙන් චෝදනා එල්ල විය.