‘ජංගිය’ කුණුහරුපයක් කියලත් සමහරු කියයි

-ආචාර්ය සෝමරත්න දිසානායක
දෙසැම්බර් 23, 2021

 

මම ගේ දොරත් නැතිවෙන තත්ත්වයක ඉන්නේ

 

දුවේ පුතේ මේ චිත්‍රපටය ඔයාලට නෙවෙයි

 

එදා මෙදාතුර ශ්‍රී ලාංකේය සිනමා වංශකතාවේ වැඩිම ප්‍රෙ‍්‍ර්කෂක පිරිසක් නැරඹූ චිත්‍රපට නිර්මාණය කරමින් අද්විතීය නාමයක් තම සිනමා ගමනය තුළ සනිටුහන් කළ ඒ සාඩම්බරකාර සිනමාවේදීයා වනුයේ ආචාර්ය සෝමරත්න දිසානායකය. තම සිනමා නිර්මාණ තුළින් පේ‍්‍රක්ෂකයාට ගුණාත්මක බවින් යුතු සිනමා කෘති හැදූ ආචාර්ය සෝමරත්නයන් දේශීය මෙන්ම විදේශීය සම්මාන රැසකින් පිදුම් ලැබූ අන්තර්ජාතික සම්මානයෙන් ඇගැයුම් පැසසුම් ලැබූ කලාකරුවෙකි.

කලාත්මක අගයෙන් පිරිපුන් සිනමා නිර්මාණ ඔස්සේ මෙරට ජනාකර්ෂණීය සිනමාවේ හැරවුම් ලක්ෂ්‍යයක් සනිටුහන් කළ ආචාර්ය සෝමරත්නයන්, සරෝජා, පුංචි සුරංගනාවී, සුරිය අරණ, සමනළ තටු, සිරිරජසිරි, බිංදු, සිරිපැරකුම්, සරිගම, සුනාමි වැනි චිත්‍රපට මෙරට සිනමා ප්‍රේක්ෂකයාට තිලිණ කරමින් මෙරට වැඩිම පේ‍්‍රක්ෂක පිරිසක් තමන් වෙත නතුකර ගෙන ඇති අතර, මෙවර තම නවතම සිනමා කෘතිය වන Under Pants Thief  (ජංගි හොරා) චිත්‍රපට නිර්මාණයෙන් තම පේ‍්‍රක්ෂක රසමනස වෙනස්ම මාවතකට ප්‍රවේශකරන්නට උත්සාහයක් ගෙන ඇත.

ආචාර්ය සෝමරත්න දිසානායකයන් බොහෝ දෙනා හඳුන්වනුයේ ළමයින් වෙනුවෙන් චිත්‍රපට නිර්මාණය කරන අධ්‍යක්ෂවරයකු ලෙසිනි. ඔහු මෙතෙක් නිර්මාණය කළ සියලු චිත්‍රපට අන්තර්ජාතික සම්මානයට පාත්‍ර වූ අතරම ජංගි හොරා චිත්‍රපටය ද මේ වන විට දිල්ලි අන්තර්ජාතික සිනමා උලෙළේ තරගකාරි අංශයේ හොඳම චිත්‍රපටය ලෙස සම්මානයට පාත්‍ර වීමට ද ඇති අතර 22 වැනි බුන්සා අන්තර් ජාතික සිනමා උලෙළ නියෝජනය කිරීමට ද සමත්ව ඇත.

තම සිනමා ගමනයේ වෙනස් පැතිකඩක් පේ‍්‍රක්ෂකයා අභිමුව තබන ආචාර්ය සෝමරත්නයන් තම සිනමා රීතියේ වෙනස්ම මඟක් ගත් ජංගි හොරා සිනමා කෘතිය පිළිබඳ සරසවිය සමඟින් මෙසේ සංවාදාත්මක ප්‍රවේශයක එක්වන්නේ එය අද 23 වැනිදා සිට තිරගත වන බැවිනි.

කොරෝනා ව්‍යසනයත් සමඟ ඔබ සුනාමි අමතක කළා ද?

නෑ. මගේ පේ‍්‍රක්ෂකයෝ තවමත් බලාගෙන ඉන්නවා සුනාමි බලන්න. එත් තවම රටේ වාතාවරණය හොඳ මදි සුනාමි ආයෙත් පෙන්නන්න පටන් ගන්න. මගේ සුනාමි චිත්‍රපටය අහුවුණා කොරෝනා එකට. ඒ නැවතුණ තැනින් මම ආයෙත් මේ කටයුත්ත පටන් ගන්නවා ලංකාවේ. සිංහල චිත්‍රපට නොපෙන්වන තැන්වලත් විශේෂයෙන් මඩකලපුව, යාපනය වගේ ප්‍රදේශවල සිනමා ශාලාවල පවා අපි මේ චිත්‍රපටය පෙන්වන්න සැලසුම් කරලා තියනකොට තමයි කොරෝනා ව්‍යසනයට රට වැහුවේ. ලබන අවුරුද්දේ අපි සුනාමි නැවත පෙන්වන්න බලාපොරොත්තුවක් තියෙනවා. මේ නත්තල් මාසයේ අපිට සුනාමිය නැවත පෙන්වන්න පටන්ගන්නත් තිබුණා. ඒත් අපි ඒක පස්සට තියලා අපි වැඩ ඉවර කරල තිබුණ ජංගි හොරා චිත්‍රපටය පෙන්වන්න අදහස් කළා. සුනාමි කියන්නේ පවුලේ චිත්‍රපටයක් මේ චිත්‍රපටය බලන්න ළමයි සමඟ දෙමව්පියන් එළියට බහින්න මැළිකමක් දක්වනවානේ මේ කෝවිඩ් කතාන්දරයත් එක්ක. ඒ නිසා සුනාමි නැවත තිරගත කරන එක තව ටිකක් පස්සට තිබ්බා.

 ඔබගේ නවතම සිනමා නිර්මාණය ජංගි හොරා?

මේ චිත්‍රපටය මම කරල ටික කාලයක් වෙනවා. සුනාමියට ඉස්සෙල්ලා තමයි මේ චිත්‍රපටය කළේ. ඒත් චිත්‍රපටයේ සියලු වැඩ කටයුතු අවසන් කළේ නෑ. ඒ වෙනකොට සුනාමි චිත්‍රපටයට තිබුණු ඉල්ලුම ඒ ගැන තිබුණ කතා බහ නිසාවෙන් අපි ජංගි හොරා පස්සට තියලා සුනාමි පෙන්වන්න අදහස් කළා. සුනාමි චිත්‍රපටය අධික පිරිවැයක් දරලා කරපු නිර්මාණයක් ඒ නිසාම අපි යට කළ මුදල් හොයාගැනීමත් අපට අභියෝගයක් වුණා. ඒ නිසා සුනාමි කලින් පෙන්නන් පටන් ගත්තා.

 ඔබ ළමයින්ට චිත්‍රපට හදන සිනමාවේදියෙකු ලෙසයි ප්‍රසිද්ධ ළමා මනස ස්පර්ශ කරන සොඳුරු මිනිසකු වූ ඔබ ජංගි හොරා නිසා ළමයින්ව අමතක කරනවාද?

ඕනෙම කලාකාරයෙක් ළඟ ඉන්නේ නිර්මාණකරුවෙක් ඔය නිර්මාණකරුවා කිසියම් හෝ පිරිසකට සීමා විය යුතු නෑ. මම ළමයි වෙනුවෙන් චිත්‍රපට හදපු එක ඇත්ත. තවත් හදන්නත් පුළුවන්. ඒක මම නතර කරලත් නෑ. හැබැයි මම එතැනට සීමාවෙලා ඉන්න කැමැති නෑ. විවිධ මාතෘකා යටතේ විවිධ වස්තු බීජ යටතේ නිර්මාණකරණය කරන්න මමත් කැමැතියි. ළමයින්ට සිමා වෙන කොටසක් වගේම වැඩිහිටියන්ට සීමා වෙච්ච කොටසකුත් තියෙනවා. මට තේරුම් ගියා මම ළමයින් තුළ කොටුවෙච්ච සිනමා කරුවෙක් ද කියාත්, ඒ කොටුවීම බිදින්න තමයි මම වැඩිහිටි තේමාවක් රැගත් ජංගි හොරා නිර්මාණය කළේ. මම හිතන්නේ කිසිම කලාකාරයෙක් එක දේකට සීමාවෙන්න ඕනෙ නෑ කියලයි.

ජංගි හොරා මොනවගේ තේමාවක් ඔස්සේ ඔබ සිනමාරූපීයව ගොඩනගා තියෙනවද?

මෙතෙක් ලාංකේය සිනමාව තුළ වැඩි වශයෙන් කතා නොවුණු නමුත් මිනිස් සමාජය තුළ දකින්නට ලැබෙන ඒතරම් විවෘතව කතා කරන්න අකැමැති කතා වස්තුවක් මුල්කරගෙන තමයි මම මේ චිත්‍රපටයේ පිටපත් ගොනු කරල තියෙන්නේ. කාන්තා යට අඳුම් කෙරෙහි දැඩි ආකර්ෂණයක් පළකරන ඒවා හොරකම් කිරීමට පෙලඹෙන මානසික ව්‍යාධියකින් පෙළෙන පුද්ගලයෙක් වටා තමයි මේ චිත්‍රපටය දිගහැරෙන්නේ. ජංගි හොරා නම ඇහෙන කොට දකින කෙනෙකුට හිතෙන්න පුළුවන් මේක අසභ්‍ය දෙයක් කියලා. අසභ්‍ය චිත්‍රපට කාම චිත්‍රපට රැල්ලට අයිති චිත්‍රපටයක් නොවෙයි ජංගි හොරා යම් රෝගී තත්ත්වයකට පත්වෙච්ච පුද්ගලයෙක් දෙස සානුකම්පිතව බැලීමක් තමයි මේ තුළ තියෙන්නේ මේ චිත්‍රපටය බලපුවාම තමයි තේරෙන්නේ මම කියන දේ කොච්චර දුරට හරි ද කියලා. මේක මනෝවිද්‍යාත්මක චිත්‍රපටයක් කිව්වොත් හරි මම මේ චිත්‍රපටයේ පිටපත ලියන කොට සෑහෙන කාලයක් මම ගත කළා මනෝවෛද්‍යවරු සමඟ මේ පිටපත ලියල තියෙන්නේ සත්‍යකතාවක් පාදක කරගෙන මේ වගේ චරිත හොයාගෙන ගිහිල්ලා ඒවායේ මුලාශ්‍ර හොයල තමයි මම ජංගි හොරා පිටපත රචනා කළේ. විද්‍යාත්මක ගවේෂණයක් කරලා හදපු චිත්‍රපටයක් මම කිසිවක් අතින් දාල බොරුවක් එකතු කරලා නෑ. අපිට තියෙන සමාජ සංස්කෘතිය එක්ක හුඟදෙනෙක් මේව කතා කරන්න බයයි. නමුත් මම හිතන්නේ මේවා අපි කතා කළ යුතුයි කියලා.

 අප සමාජයේ තියන මතිමතාන්තරත් එක්ක මේ සිනමා කෘතියට සමාජයෙන් වීරෝධී බලපෑමක් එල්ල වෙයිද?

සමහර විට වෙන්න පුළුවන්. එහෙම නැතත් මගේ මෙතෙක් කළ හැම නිර්මාණයකට පහර දෙන්න පිරිසක් හිටියනේ මගේ සරෝජා ඉඳලා සුනාමි දක්වාම කළ නිර්මාණ වලට අනන්ත පහර ගැහුවේ ඒ අයට අවශ්‍ය තැන දී මම පිළිතුරු දුන්නා. විශාල පිරිසක් වර්ණාකරන අතරේ එක්තරා පිරිසක් ඉන්නවා පහරදෙන ඕක ලෝක ස්වභාවය. අඩුපාඩු හොයනවා දෝෂාරෝපණය කරනවා. මේකටත් එහෙම එයි. කිසියම් සාර්ථක වැඩක් කරන කලාකාරයෙකුට ඕක තියෙනවා. ඕවාට අපි සැලෙන්නේ නැතුව අපේ ගමන අපි යනවා. ජංගිය කියන වචනයම අල්ලගෙන කුණුහරුප වචනයක් කියලත් මට කතා ගොතන්න මඩ කපුටන්ට පුළුවන්.

 සිනමා පේ‍්‍රක්ෂකයාව කොරෝනා රැල්ල ගොදුරු කරගෙන ඉන්න මොහොතක ඔබ අපේක්ෂිත ඔබේ සිනමාලෝලීන් ජංගි හොරා සොයාගෙන එයි කියල ඔබ විශ්වාස කරනවාද?

ප්‍රශ්න තියෙනවා. ආර්ථික ප්‍රශ්න ලෙඩ රෝග මේ හැමදෙයක්ම තියෙනවා. හැබැයි මේ ප්‍රශ්නය දැන් වසර දෙකක් දක්වා ගොඩ නැගුණා ඉවරය කවදද කියලා කාටවත් කියන්න බෑ. ඒ තත්ත්වය තුළ මට තවදුරටත් නිර්මාණය නොපෙන්වා තියාගන්න බෑ. යටකරපු සල්ලි ඒවට ගත්තු ණය පොලිය දවසෙන් දවස වැඩිවෙනවා. බලන කෙනෙක් බලයි. මට වෙන කරන්න දෙයක් නෑ.

දැනට අපි අන්තර්ජාලයට මුදා හැරලා තියෙන ට්‍රේලර් එක අනුව මේ චිත්‍රපටයට පේ‍්‍රක්ෂක ඉල්ලුමක් ඇතිවෙලා තියෙනවා කියලා. අපිට පේන්න තියෙනවා. මේ කාලය අපි සාමාන්‍යයෙන් චිත්‍රපටයක් රීලිස් කරන කාලයට වඩා වෙනස්ම වකවානුවක්නේ. මම කියන්නේ නෑ දින සීයක් එක දිගට දුවන්න ඕනේ කියලා. හැබැයි මාසයක් හරි කමක් නෑ. අපිට ලංකාව පුරා සිනමා ශාලා වැඩි ප්‍රමාණයක සිනමා කෘතිය පෙන්න ගන්න පුළුවන් නම් ඒ ඇති කියලයි මම හිතන්නේ.

ඔබ මේ සිනමා කෘතිය හරහා ඉලක්ක කරලා තියෙන්නේ වැඩිහිටියෝ?

රැඟුම් පාලක මණ්ඩලය චිත්‍රපටය රිලීස් කරන්න දීලා තියෙන්නේ වැඩිහිටියන්ට පමණයි. ලේබලය යටතේ ඒකට කමක් නෑ. වැඩිහිටි හැගීම් ළමයි ළඟ නෑනේ. නිර්මාණකරුවෙකුට සීමාවල් නෑ. කලාකෘතියක් කියන්නේ අපිට දැනෙන අපිට හැගෙන අපි සංවේදී වන කිසියම් දෙයක් තවත් කෙනෙකුට සංවේදී කිරීමට කුමක් හෝ මාධ්‍යයක්් ඔස්සේ නිර්මාණයක් හැටියට පරිවර්තනය කිරීමක්. නවකතාවක් කෙටි කතාවක් ගීතයක් කවියක් ලිව්වහමත් එහෙමයි. සිනමාව කියන දේත් එහෙමයි. තමන්ගේ හැගීිම සංවේදීතාවය අපි අනික් අයට දෙන්නේ මොන මාධ්‍යයෙන් ද කියල නිර්මාණ කරුවා තීරණය කළ යුතුයි. මම සිනමා කරුවෙකු හැටියට මගේ සිතුවිල්ල සිනමා කෘතියකින් එළිදක්වල තියෙනවා. කලාකරුවා සමාජය පිළිබඳ අවධානයෙන් ඉන්න ඕනෙ කෙනෙක්. සමාජය සමඟ බැඳීමක් නැත්නම් ඔහුට කලාව තුළ සිටිය නොහැකියි. ඒ බැදීමෙන් ඉන්නකොට තමයි අපිට සමාජය තුළින් පේන්නේ එක එක මිනිස්සු මනෝ ව්‍යාධීන්ගෙන් බැඳිල ඉන්නවා කියලා. මම ජංගි හොරා තුළ කතා කරන පුද්ගලයාත් එහෙම කෙනෙක්. සාමාන්‍ය පුද්ගලයෙක් ප්‍රසිද්ධියේ නොකරන දේවල් මේ පුද්ගලයා ප්‍රසිද්ධියේ සිද්ධ කරනවා.

ජංගි හොරා සිනමා කෘතිය ඔස්සේ ඔබ සමාජගත කරන්න උත්සාහ ගන්නා පණිවිඩය මොකක්ද?

අපි මේ වගේ තත්ත්වයකට පත්වෙලා ඉන්න කෙනෙක් දිහා සමාජ දෘෂ්ටිකෝණයෙන් බලන ආකල්පමය බැදිමෙන් එහාට ගොස් මම වෙනත් මාවතකට හරවනවා මෙවැනි පුද්ගලයන්ට අවශ්‍ය මොනවගේ ප්‍රතිකාරයක් ද කියලා මම සමාජයට වටහල දෙනවා. මේ වගේ චරිත ඇති අයට ඕනේ අපි දඬුවම් කරන්නවත් කොන් කරන්නවත් ගහල පෙළල පොලීසියට භාර දෙන්නවත් නොවේ. මේ මනුස්සයත් අපි වගේම සාමාන්‍ය මිනිහෙක් ලෙඩෙකුට අවශ්‍ය වන්නේ ප්‍රතිකාරය වගේ මේ අයටත් අපි කළ යුත්තේ ඒ රෝගී තත්ත්වයෙන් ගැලවෙන්න උදව් කරන එක කියන පණිවිඩය මම මේ ජංගි හොරා සිනමා කෘතිය මඟින් සමාජයට ඉදිරිපත් කරනවා.

 ඔබේ මීට පෙර සිනමා කෘති දිහා බැලීමේදී දැකිය හැකි දෙයක් වුයේ ‘කුඩා ළමයා හරහා වැඩිහිටියා වෙත පණිවිඩයක් සමාජගතකිරීමක් නමුත් ජංගි හොරා ඒ පිළිවෙත උඩුයටිකුරු කරනවා නේද?

සාමාන්‍ය හුරුපුරුදු රටාවෙන් මම මෙතැනදී ඉවත් වෙනවා. මේ චිත්‍රපටයේ දී මගේ ප්‍රධාන භූමිකාව ළමයි නොවෙයි. ළමයින්ට මේ චිත්‍රපටය ගෝචර නෑ. මම කියන්නේ නෑ මේ චිත්‍රපටය ළමයින්ට බලන්න කියලා. මට හිතේ බයකුත් තියෙනවා. මට ආදරය කරන ලක්ෂ සංඛ්‍යාත දරුවෝ තාත්තාට අම්මාට කියයයි ද දන්නේ නෑ. ෂෝක් චිත්‍රපටයක් ඇවිත් තියෙනවා සෝමේ මාමගේ අපිත් යමු බලන්න කියලා. මම දන්නවනේ මගේ මීට කලින් චිත්‍රපට බලන්න දරුවෝ අම්මල තාත්තාල එක්ක සිනමා ශාලාවට ආපු හැටි.

මම ඒ දරුවන්ට ආදරයෙන් කියනවා පුතේ දුවේ. මේක ඔයාලගේ චිත්‍රපටයක් නොවෙයි. මේක ඔයාල බලන්න එපා. මම ඔයාලව අමතක කරලා නෑ. ඔයාලට මම ආයෙත් ලස්සන චිත්‍රපටයක් ළඟදීම කරනවා. එතකල් ඉන්න. හැබැයි අම්මටයි තාත්තාටයි කියන්න තමන්ගේ දරුවා පුංචි කාලයේදීම අදුනගන්න මේ වගේ තත්ත්වයට ළමයි පත්නොවෙන්න. වැඩිහිටියෝ වග බලාගන්න දරුවෙකුට කුඩා කාලයේ සිට අවශ්‍ය කරන සෙනෙහස ආදරය අවධානය දෙමව්පියෝ හැටියට ලබා දෙන්න ඕනේ කොහොමද කියලා දැනගන්න. එයාලට ගිහින් චිත්‍රපටය බලන්න කියලා.

 මීට පෙර සෝමරත්න දිසානායකගේ චිත්‍රපටයක් එනකල් මඟ බලා හිටිය සිනමා ශාලා හිමියන් දැනුත් ඔබ සමඟද?

මම ජංගි හොරා චිත්‍රපටය ප්‍රදර්ශනය කරන්න බලාපොරොත්තු වන්නේ ඊ.ඒ.පී. මණ්ඩලයේ සිනමා ශාලා ප්‍රමුඛකොට දැනටමත් මගේ චිත්‍රපටයක් ළඟ එනවා කියලා බොහෝ සිනමා ශාලා හිමියන් කැමැත්ත පළ කරලා තියෙනවා. මගේ චිත්‍රපටය ඔවුන්ගේ සිනමා ශාලාවල ප්‍රදර්ශනය කරන්න. දැනට ට්‍රේලර් එක දැකලා සිනමා ශාලා හිමියන් මගේ ජංගි හොරා කෘතිය ඉල්ලන තත්ත්වයට අද යොමු වෙලා මගේ ට්‍රේලර් එක සමාජ වෙබ් අඩවි පුරා වයිරල් එකක් විධියට පැතිරයන්න පටන් අරන් ඒක හොඳ ප්‍රවනතාවක් මම හිතන්නේ මේක මට විතරක් තිබිය යුතු දෙයක් නොවෙයි. අනෙක් සිනමාකරුවන්ටත් මේ තත්ත්වය ඇතිවිය යුතුයි. සිනමා ශාලාවල මකුළුදැල් කඩල වවුල්ලු එලවල දූවිලි පිහදාලා ගරා වැටුණු සිනමා ශාලා නවීකරණය කරල සිනමා ශාලා හිමියන් දෙපයින් නැගිට්ටෙව්ව හවුස් ෆුල් බෝඩ් ලෑල්ල සිනමා ශාලා දොරකඩ හරස් කරපු සෝමරත්න මහත්තයෝ මේ කෝවිඩ් රැල්ලෙදීත් ආයෙත් අපිව නැගිට්ටවන්න කියලා තමයි සිනමා ශාලා හිමියන් මට නොකියා කියන්නේ.

සමාජ වටපිටාව තුළ ආර්ථික අතින් අපහසුතා මධ්‍යයේ චිත්‍රපට ශාලා විවෘතව ඇති මොහොතක ඔබ අපේක්ෂිත දිනයට චිත්‍රපටය තිරගත කරන්න දැනට තිරගතවෙමින් තියෙන චිත්‍රපටය ඉවත් කරන්න පෙලඹවීමක් ඔබ කරනවාද?

කොහෙත්ම නෑ. දැනට ඊ.ඒ.පී. මණ්ඩලයේ මේ දිනවල තිරගත වන්නේ නිහඬ සෙවණැලි චිත්‍රපටය. යම් අයුරකින් මේ චිත්‍රපටය හොඳ පේ‍්‍රක්ෂක ප්‍රතිචාර මත ඒ හෝල්වල තිරගතවෙනවා නම් මම ජංගි හොරා තිරගත කරන එක තව පස්සට දාල ඒ චිත්‍රපටයට අවස්ථාව තව දුරටත් ලබාදෙනවා. කොහෙත්ම දුවන චිත්‍රපටයක් මග නතර කරලා මගේ චිත්‍රපටයක් දාගන්න තරම් මම පහත් තත්ත්වයට වැටිලා නෑ. වෙන මණ්ඩලයක සිනමා ශාලාවකට වුණත් මම චිත්‍රපටය දෙන්නේ එහි තිරගත වෙන චිත්‍රපටයට උපරීම පේ‍්‍රක්ෂක ආකර්ෂණයක් ඉවර වුණාම මිසක් කාටවත් බඩේ පහර ගහන්න මම චිත්‍රපටය රිලීස් කරන්නේ නෑ. දුවන චිත්‍රපටයට තැන දීලා මම පස්සට යන්න ඕනේ මොහොතක සුදානම්.

 සෝමරත්න දිසානායක කියන විශිෂ්ට සිනමාකරුවා මෙරට සිනමා කර්මාන්තය වෙනුවෙන් තම පෞද්ගලික ඉඩකඩම් යාන වාහන ගේ දොර පවා උකසට තිබ්බ පුද්ගලයෙක් කිව්වොත්?

ඔබ හරි. මම සිනමාව වෙනුවෙන් විශාල ධනයක් ශ්‍රමයක් කැප කළ කෙනෙක්. ගුණාත්මක සිනමාවක් මෙරට පේ‍්‍රක්ෂකයාට ගේන්න මම විශාල මුදලක් සිනමා නිර්මාණ වෙනුවෙන් යෙදෙව්වා. සිනමාව නිසා මම ආදායමක් ලැබුව කියන දේත් මම පිළිගන්නවා. නමුත් මගේ සුනාමි චිත්‍රපටයට මම අතිවිශාල මුදලක් යටකළා. තාක්ෂණයේ ඉහළම ගුණාත්මකභාවය, පේ‍්‍රක්ෂකයාට ලබාදෙන්න. මේ චිත්‍රපටය ප්‍රදර්ශනය වෙන්න පටන් අරන් වැඩි කාලයක් යන්න මත්තෙන් රටම කෝවිඩ් රැල්ලෙන් වෙලාගත්තා. මට ඒ චිත්‍රපටයට යොදවපු මුදල් හොයාගන්න බැරිවුණා. විශාල ණය කන්දරාවක මම හිරවුණා. මගේ චිත්‍රපටය පෙන්න ගන්න බැරිවුණා කියලා ණය ගත්ත ආයතන ණය මුදල ගන්න එක නතර කළේ නෑ. ඒ නිසා මට ගොඩක් මගේ පෞද්ගලික ඉඩකඩම් ගේ දොර විකුණා දමමින් ඒ මුදල් පියවන්න සිද්ධ වුණා. කොටින්ම කියනවා නම් මේ ඉන්න ගෙදරත් අවදානම් මේකත් බැංකුවට තියල තියෙන්නේ. යම් විධියකින් නීත්‍යානූුකූලව බැංකු නිලධාරීන් කටයුතු කළොත් මට මේ ඉන්න ගේත් නැතිවෙන තත්ත්වයක් තියෙන්නේ. සුනාමි නිසා මට අහිමි වුණේ සල්ලි විතරයි. අනික් සියල්ල ලැබිල තියෙනවා. අන්තර්ජාතික සම්මාන මිනිස්සුන්ගේ පැසසුම් ලැබිල තියෙනවා. අපේ නළු නිළියන්ට කීර්තියක් ලැබිල තියෙනවා. හැම යහපත් දෙයක්ම අපිට සුනාමි වෙනුවෙන් ලැබුණා. නොලැබුණේ අපි වියදම් කළ මුදල පමණයි. මේ වෙන කොටත් අපේ සුනාමි චිත්‍රපටය යම් දුරකට විදේශ රටවලත් ප්‍රදර්ශනය කරනවා.

සිංහල සිනමාවේ හැරවුම් ලක්ෂ්‍යයක් සනිටුහන් කළ සිනමා කරුවෙක් ඔබ?

එහෙම කියමු. සරෝජා චිත්‍රපටය තමයි ඒ යදම් බිඳගෙන යන ගමන ඇරඹුවේ. අපිම තිබ්බ වැඩිම පේ‍්‍රක්ෂක වාර්තා වැඩිම ආදායම් වාර්තා වැඩිම එක්දින ආදායම් වාර්තා මේ වගේ කී නොකී කොතෙකුත් දේ. අපිටම විඳින්න තිබුණු හොඳ අවස්ථාවක් තමයි සුනාමි චිත්‍රපටය. මේ චිත්‍රපටය අපිට දුවගන්න පුළුවන් වුණේ. දවස් පණහක් වගේ කාලයක්. සුනාමි චිත්‍රපටය ද්විභාෂික සිනමා කෘතියක් රටපුරා චිත්‍රපටයට ආකර්ෂණයක් ඇතිවෙන කොට කෝවිඩ් වලට සිනමා ශාලා වැහුවා. ඉතිං කොහොමද චිත්‍රපටය පෙන්වන්නේ.

 වසර දෙකෙන් දෙකට ඔබ නව සිනමා කෘතියක් පේ‍්‍රක්ෂකයන්ට රැගෙන ආපු සිනමා කරුවෙක්.

ඔව්.ඒ කරගෙන ආ විධියට අපේ ගමන ආව නම් ගිය අවුරුද්දේ අපි තව අලුත් චිත්‍රපටයක් කරලා. දැනටත් මම පිටපත් දෙක තුනක් ලියල ළඟ තියාගෙන ඉන්නේ. මම කළේ හදපු චිත්‍රපටය පෙන්නල ඒකෙන් ලැබෙන ආදායමෙන් ඊළඟ චිත්‍රපටය කිරීම දැන් මේ දම්වැලේ පුරුක සුනාමි නිසා කැඩුණ. දැන් ඊළඟ චිත්‍රපටය කරන්න. අතේ සල්ලි නෑ. මාත් සමඟ චිත්‍රපටයක් කරන්න ආයෝජනය කරන්න කවුරු හරි ඉන්නවා නම් මම සලකා බලන්න කැමතියි. මෙතෙක් කලක් අපි එහෙම කළේ නෑ. අපේ චිත්‍රපට අපිම නිෂ්පාදනය කළා. මේ ව්‍යසනය සමඟ අපිට තනිගමනක් යන්න අපහසුයි. මුදලාලිලා නොවන හොඳ චිත්‍රපටයක් කරන්න ආශා කරන ආයෝජකයෙක් ඉන්නවා නම් මම ළඟ තියන සාර්ථක පිටපත් සිනමා කෘතියක් බවට පත්කරන්න මම සුදානම්.

 

 

සේයා රූ - නිශ්ශංක විජේරත්න