ශ්‍රී ලංකාවේ ප්‍රථම සිනමා සම්මාන උලෙළයි මේ

ඔක්තෝබර් 8, 2020

* රුක්මණීට - ටේප් රෙකෝඩරයක් 

* ප්‍රේම් ජයන්ත්ට - ගුවන් විදුලි යන්ත්‍රයක් 

* ආනන්ද සමරකෝන්ට- ෆයිලිං කැබිනෙට්ටුවක් 

ශ්‍රී ලංකාවේ දිනපතා ජාතික පුවත්පතකින් මුල්වරට පවත්වන ලද ප්‍රථම සම්මාන උලෙළ පවත්වන ලද්දේ ලේක්හවුස් ආයතනය විසිනි. 1956 පවත්වන ලද  මේ උලෙළ සංවිධානය කරන ලද්දේ ‘දිනමිණ’ පුවත්පතේ  සතිපතා පළ වූ ‘රඟහඬල’ සිනමා පිටුව මුල් කරගෙනය. 1953 වසරේ එම පිටුව සංස්කරණය කළේ ජයවිලාල් විලේගොඩ විසිනි. රඟමඬල අතිරේකයෙන්  චිත්‍රපට විචාර ලිවීමේ සම්ප්‍රදාය බිහි කළේ ද ජයවිලාල් විසිනි. ඔහුගේ මුල්ම සිංහල චිත්‍රපට විචාරය වූයේ ‘පුදුම ලේළි‘ චිත්‍රපටයයි. කෙසේ වුව ද මෙරට ප්‍රථම වරට සිනමා සම්මාන උලෙළක් සංවිධානය කිරීමේ ගෞරවය හිමි වන්නේ ‘දිනමිණ’ පත්‍රයටය. එදා (1956) ‘දිනමිණ’ ප්‍රධාන කර්තෘවරයා වූයේ පියසේන නිශ්ශංක මහතාය. 

‘දිනමිණ’ රඟමඬල චිත්‍රපට තරගයට සලකා බැලුණේ 1953 වසරේ සිට 1955 වර්ෂය දක්වා ප්‍රදර්ශනය වූ චිත්‍රපට වේ.

ඒ චිත්‍රපට නම් ‘එදා රෑ’ (ශාන්ති කුමාර්  සෙනෙවිරත්න) ප්‍රේම තරඟය (ඒ. බී. රාජ්) පිටිසර කෙල්ල (සිරිසේන විමලවීර) කැලෑ හඳ (බී. ඒ. ඩබ්ලිව්. ජයමාන්න) සුජාතා (ටී. ආර්. සුන්දරම් / චාරි) පුදුම ලේලි (ඒ. එස්. නාගරාජන්) වරද කාගේද? (ටී. ආර්. සුන්දරම් / ජී. ආර්. රාඕ) අයිරාංගණී (බී. ඒ. ඩබ්ලිව්. ජයමාන්න) සරදියෙල් (සිරිසේන විමලවීර) අහංකාර ස්ත්‍රී (ඒ. බී. රාජ්) රදළ පිළිරුව (ටී. ආර්. සුන්දරම්) සුරංගණී (සිරිල් පී. අබේරත්න / කේ. වෙම්බු) අසෝකා (සිරිසේන විමලවීර) මතභේදය (බී. ඒ. ඩබ්ලිව්. ජයමාන්න) සැඩ සුළං (ටී. සෝමසේකරන්) මාතලන් (ඒ. එස්. නාගරාජන්) පෙරකදෝරු බෑණා (ඒ. බී. රාජ්) පොඩි පුතා (සිරසේන විමලවීර)

1953 සිට 1955 දක්වා තිරගත වූ  චිත්‍රපට අතරින්  ‘දිනමිණ’ පාඨකයන්ගේ ඡන්දයෙන් සම්මාන පිරිනැමුණි. මෙහිදී ප්‍රධාන  සම්මාන 13 ක් පිරිනැමීමට තීරණය කොට තිබුණි. මෙහිදී දිනමිණ පුවත්පත මෙහෙයවීමෙන් තෝරා ගන්නා ලද ප්‍රියතම නිළිය, ප්‍රියතම  නළුවා, ප්‍රියතම චිත්‍රපටය, ප්‍රියතම ගීතය හා නිවැරදි අනාවැකි පළ කළ ‘දිනමිණ’ පාඨකයාට රුපියල් දහසක් පිරිනැමීම විශේෂයකි.

1956 මාර්තු 02 වෙනි සිකුරාදා රාත්‍රී 7.30 ට කොළඹ රාජකීය විද්‍යාලයීය ශාලාවේ සම්මාන ප්‍රදානෝත්සවය පවත්වා ඇති අතර පොලිස්පති ඔස්මන්ඩ් ද සිල්වාගේ බිරිය ඔස්මන්ඩ් ද සිල්වා මහත්මිය අතින් සම්මාන බෙදා දෙන ලදී.

ප්‍රතිඵල මෙසේය.

* ප්‍රියතම නිළිය - රුක්මණී දේවි (ඡන්ද 1,00,091)

(සම්මානයට අමතරව  සීමාසහිත  බ්‍රිටිෂ් ඉලෙක්ටිකල් සමාගමෙන් පිරිනමන ලද ටේප් රෙකෝඩරයක්)

දෙවැනි ස්ථානය - ෆ්ලොරිඩා ජයලත් (ඡන්ද 13,616)

(සම්මානයට අමතරව සිමාසහිත බවුස්ටඩ් සමාගමෙන් බිලිං විදුලි බලයෙන් කෑම පිසින යන්ත්‍රයයක්)

තෙවෙනි ස්ථානය - ක්ලැරිස් ද සිල්වා (ඡන්ද 3,704)

* ප්‍රියතම නළුවා - ප්‍රේම් ජයන්ත් (ඡන්ද 90,999)

සම්මානයට අමතරව සීමාසහිත රිචඩ් පීරිස් සහ සමාගමෙන් මර්පි ගුවන් විදුලි යන්ත්‍රයයක්)

දෙවැනි ස්ථානය - ස්ටැන්ලි පෙරේරා - (ඡන්ද 11,912)

(සම්මානයට අමතරව බ්‍රිටිෂ් ඉලෙක්ට්‍රිකල් සමාගමෙන් ගෘන්ඩිග් ගුවන් විදුලි යන්ත්‍රයක්)

තෙවැනි ස්ථානය - බී. ඒ. ඩබ්ලිව්. ජයමාන්න (ඡන්ද 5,237)

* ප්‍රියතම චිත්‍රපටය - ‘කැලෑ හඳ’ (ඡන්ද 96,666)

 (සම්මානය සමඟ ටී. සෝමසේකරන් (‘සුජාතා’ චිත්‍රපටයේ නිෂ්පාදක, අධ්‍යක්ෂ) පිරිනමන ලද විශේෂ සම්මානයක්

දෙවැනි ප්‍රියතම චිත්‍රපටය - ‘සුජාතා’ - නිෂ්පාදක  කේ. ගුණරත්නම් - ඡන්ද 11,243

සම්මානය සමඟ යුනයිටඩ් ඉලෙක්ට්‍රිකල් සමාගමෙන් විදුලි ඉස්තිරික්කයක්)

තෙවැනි ස්ථානය - ‘සැඩ සුළං’ ඡන්ද 3,024

* ප්‍රියතම ගීතය - ‘මනරංජන  දර්ශනීය ලංකා’ (සුජාතා) * ඡන්ද 81,090)

ගීත රචක ආනන්ද සමරකෝන්

සම්මානය සමඟ සීමාසහිත ඉම්පෝටර්ස් සහ එක්ස්පෝට්ස් සමාගමෙන් රැන්ඩෝල්ෆ් ෆයිලිං කැබිනෙට්ටුවක්)

දෙවැනි ස්ථානය - ‘මායා . . . මායා (කැලෑහඳ) ඡන්ද 12,988

තෙවැනි ස්ථානය - ‘මැවිලා පෙනේවි’ (කැලෑ හඳ) (ඡන්ද 6,192)

* නිවැරැදි අනාවකි එවූ පාඨකයා -

පාදුක්ක පාරේ ගෙදර එස්. එල්. විජේතුංග

(දිනමිණ පුවත්පත විසින් පිරිනමන ලද රු, 1000 ත්‍යාගය)

රුක්මණී දේවි, බී. ඒ. ඩබ්ලිව්. ජයමාන්න ‘පෙරකදෝරු බෑණා’ චිත්‍රපටයේ රූගතවීම් සඳහා මදුරාසියේ සිටි නිසා පැමිණ නැත.

මේ අනුව ප්‍රථම ත්‍යාග උලෙළ ශ්‍රී ලාංකේය සිනමා වංශ කතාවේ වාර්තා වී ඇත. මේ අනුව ‘කැලෑ හඳ’ චිත්‍රපටයට සම්මාන 06 ක් ද, ‘සුජාතා’ චිත්‍රපටයට සම්මාන 05 ක් ද හිමි කරගෙන තිබුණි.

(ඡායාරූප එදා දිනමිණ පුවත්පතින් උපුටා ගත් නිසා එහි අපහැදිලි බවක් දැක්වෙතත් ඓතිහාසික වටිනාකම නිසා එය පළ කළෙමු.