සිංහල සිනමාවේ ඉන්දියානු සිනමාකරුවෝ

ජනවාරි 20, 2022

අපේ සිනමාවේ පුරෝගාමී සිනමාකරුවන් රැසක් ඉන්දියානු සිනමාකරුවෝය. මේ ඔවුන් ගැන කෙටි හැඳින්වීමකි.

 

 

ජ්‍යොතිෂ් සිං

සිංහල කථානාද සිනමාවේ ප්‍රථම අධ්‍යක්ෂවරයා ඔහුය. බෙංගාලි ජාතිකයකු වන ඔහු ශබ්ද පරිපාලන ශිල්පියෙකු ලෙස ද ප්‍රකටව සිටියේය. දෙමළ, කණ්ණඩ, තෙළිඟු චිත්‍රපට සඳහා තිර රචනයෙන් හා අධ්‍යක්ෂණයෙන් දායක වූ ජේ. සිං, කඩවුණු පොරොන්දුව, වැරදුණු කුරුමානම, පෙරළෙන ඉරණම, දස්කම යන චිත්‍රපට අධ්‍යක්ෂණය කළ අතර කපටි ආරක්ෂකයා, ගැහැනු ගැට චිත්‍රපට සඳහා සම අධ්‍යක්ෂණයෙන් ද දායක විය. තල්ලි ප්‍රේම, රාධා රමා, ඔහු ඉන්දියාවේ දී අධ්‍යක්ෂණය කළ චිත්‍රපට අතුරින් ප්‍රකට නිර්මාණ දෙකකි.

පී.එන්. ජවේරි

ගුජරාටි ජාතිකයකු වන ජවේරි දේශීය සිනමා වංශ කතාවේ සිවුවැනි චිත්‍රපටය ලෙස තිරගත වූ දිව්‍යමය ප්‍රේමය අධ්‍යක්ෂණය කළේය. හින්දි චිත්‍රපට කිහිපයක්ම අධ්‍යක්ෂණය කරමින් හා සංස්කරණය කරමින් පළපුරුදු සිනමාකරුවෙකු ලෙස නමක් දිනාගෙන සිටි ජවේරි විසින්ම දිව්‍යමය ප්‍රේ‍මය සංස්කරණය කිරිම විශේෂත්වයකි. දේශීය චිත්‍රපටයක් නිපදවීම සඳහා ප්‍රථමයෙන්ම ඉන්දියාවට ගිය පිරිස ලෙසින් දිව්‍යමය ප්‍රේමය චිත්‍රපට කණ්ඩායම හඳුනාගෙන ඇත.

 

රාජා වහාබ් කාශ්මීර්

මොහු අධ්‍යක්ෂණය කළ එකම දේශීය චිත්‍රපටය වූයේ බණ්ඩා නගරයට පැමිණීම ය. එය ලංකාවේ චිත්‍රාගාරයක සම්පුර්ණයෙන් නිපද වූ ප්‍රථම චිත්‍රපටය මෙන්ම සිනමාවට නැගුණු ප්‍රථම විකට චිත්‍රපටය ලෙස ද හැඳීන්විය හැකිය. මෙම චිත්‍රපටය ලංකාවේ නිෂ්පාදනය වීම නිසා දේශීය ශිල්පීන්ට කාර්මික අංශයට සම්බන්ධ වීමේ අවස්ථාව ද උදාවිය. කෙසේ වෙතත් ඔහු විසින් අධ්‍යක්ෂණය කරනු ලැබ ඇත්තේ මෙම චිත්‍රපටයේ මුල් කොටස පමණකි.

 

ඒ.බී. රාජ්

බණ්ඩා නගරයට පැමිණීම චිත්‍රපටයේ නිෂ්පාදන කටයුතු අවසන් කිරීම සඳහා ලංකාවට පැමිණෙන රාජ් ප්‍රේම තරගය, අහංකාර ස්ත්‍රී, පෙරකදෝරු බෑනා, රම්‍යලතා, සොහොයුරෝ, ගංතෙර, ආදි වූ සිංහල චිත්‍රපට හයක් අධ්‍යක්ෂණය කළේය. මෙයින් ගංතෙර හා පෙරකදෝරු බෑනා චිත්‍රපට ද්විත්වය හැරුණු කොට ඔහු විසින් අනෙක් සියලු සිංහල චිත්‍රපට අධ්‍යක්ෂණය කරනු ලැබුවේ එස්. එම්. නායගම්ගේ ශ්‍රී මුරුගන් නවකලා චිත්‍රපට සමාගම වෙනුවෙනි. ඉතා ජනප්‍රිය වූ ඔහුගේ චිත්‍රපට කිහිපයම රාජ් නිර්මාණය කර තිබුණේ දකුණු ඉන්දියානු චිත්‍රපට අනුසාරයෙන් වීම විශේෂත්වයකි. මුල් චිත්‍රපටය ඒ අයුරින්ම අනුකරණය කිරීම ඔහුගේ චිත්‍රපට විලාසය විය. මෙරට සිනමාකරණයට පිවිසීමට පෙර ඔහු සිංහල බස මැනවින් හදාරා තිබීම සුවිශේෂී කරුණකි.

 

ටී.ආර්. සුන්දරම්

සිංහල සිනමාවේ එක් සන්ධිස්ථානයක් බවට පත් වූ සුජාතා චිත්‍රපටය 1953 දී අධ්‍යක්ෂණය කරමින් සුන්දරම් සිංහල සිනමාවට එක් විය. වරද කාගෙද, රදළ පිළිරුව, වන මෝහිනී ඔහු විසින් පසුව අධ්‍යක්ෂණය කළ සිංහල චිත්‍රපට වේ. ටී.ආර්. සුන්දරම් මෙරට සිනමාවේ ඒකාකාරීබව බිඳීමින් එය දෙමළ ජනප්‍රිය චිත්‍රපටවලට සමගාමී තලයකට ගෙන ඒමට තම නිර්මාණ ශක්තිය වැය කළ පුද්ගලයකු ද විය. දෙමළ සිනමාවේ ප්‍රධානම නළු නිළියන් හා ශිල්පීන් මෙහෙය වූ සුන්දරම් සිංහල චිත්‍රපට කර්මාන්තයට රැගෙන එනු ලැබුවේ සීමාසහිත සිනමාස් සමාගමේ ප්‍රධානී කේ.ගුණරත්නම් විසිනි.

 

ඒ.එස්. නාගරාජන්

පළමුව චිත්‍රපට සංස්කරණ ශිල්පියකු ලෙස සිනමාවට පිවිසෙන නාගරාජන් චිත්‍රපට අධ්‍යක්ෂණයට පිවිසියේ පසුවය. පුදුම ලේලි, මාතලන්, පුරුෂ රත්නය ඔහු විසින් අධ්‍යක්ෂණය කළ සිංහල චිත්‍රපට වේ.

නාගරාජන් දෙමළ චිත්‍රපට රීතිය අකුරට භාවිත කරමින් එම ලක්ෂණ සිංහල චිත්‍රපට සඳහා ද ආදේශ කෙරූවෙකු විනා වෙනත් ආකාරයක නිර්මාණාත්මක දායකත්වයක් සිනමාවට ලබා දුන්නකු නොවන බැව් ඔහුගේ චිත්‍රපට නැරඹීමේදී අවබෝධ වේ. ඔහු තැනූ සිංහල චිත්‍රපට ත්‍රිත්වය අතරින් මාතලන් මෙරට සිනමාවේ ඉහළම ආදයම් වාර්තා තැබූ චිත්‍රපටයක් විය.

 

කේ. ශන්කර්

මලයාලි ජාතික ෂන්කර් සිංහල, දෙමළ, තෙළිඟු, හින්දි කණ්ණඩ හා මලයාලම් භාෂාවලින් චිත්‍රපට සියයක් අධ්‍යක්ෂණය කරනු ලැබූවෙකි. ඔහු අධ්‍යක්ෂණය කළ එකම සිංහල චිත්‍රපටය වූයේ දොස්තර චිත්‍රපට යයි. ඒ.වී.එම්. චිත්‍රාගාරයේ සංස්කරණ ශිල්පියෙකු වූ ශන්කර් කතා රචකයකු, මෙන්ම ශබ්ද තාක්ෂණ අංශයේ ද කැපී පෙනෙන ශිල්පියෙකු විය. ගාමිණී ෆොන්සේකා රඟ පෑ නිලක්කඩලින් ඕරත්තිලේ චිත්‍රපටය ද ශන්කර්ගේ සිනමා නිර්මාණයක් වූ අතර ආලයමන්, චන්දෝදයම්, අඩිමෙයි පෙනේ ඔහු අතින් නිර්මාණය වූ ජනප්‍රිය චිත්‍රපට කීපයකි.

 

සාමි

දෙමළ සිනමාවේ ඉහළ තලයේ සිනමාකරුවකු ලෙස නමක් දිනා සිටින ඒ.එස්.ඒ. සාමි 1956 දී අධ්‍යක්ෂණය කළ එකම සිංහල චිත්‍රපටය ඩිංගිරි මැණිකාය. ප්‍රකට තිර රචකයෙකු ද වන සාමි අධ්‍යක්ෂණය ඩිංගිරි මැණිකා මෙරට තිරයට ආ ප්‍රථම සිංහල රහස් පරීක්ෂක චිත්‍රපයටය ද වේ. ප්‍රධාන පෙළේ නළු නිළියන් රාශියක් යොදා ගැනීම, වේදිකා නාට්‍ය ස්වරූපයේ භාවාතිශය කතා පුවත් තෝරා ගැනීම, චිත්‍රාගාර තුළ රූපගත කිරීම, ගීත හා නැටුම්වලට ප්‍රමුඛත්වය දීම ඔහුගේ චිත්‍රපටවල මුලික ලක්ෂණය විය. ඒ.එස්.ඒ. සාමි, ලංකාවේ ඉපදුණු, මෙරටින් අධ්‍යාපනය ලැබූ පුද්ගලයෙකි.

 

ඒ. මිත්‍රදාස්

සිනමාස් සමාගම වෙනුවෙන් ඒ මිත්‍රදාස් දුප්පතාගේ දුක චිත්‍රපටය අධ්‍යක්ෂණය කළේය. දෙමළ චිත්‍රපට කිහිපයක් අධ්‍යක්ෂණය කළ මිත්‍රදාස් දුප්පතාගේ දුක චිත්‍රපටයට සම්බන්ධ වනුයේ මොඩර්න් චිත්‍රාගාරයේ සේවය කළ අවධියේය. තමිළ්නාඩු සිනමාවේ සන්ධිස්ථානයක් බවට පත් වූ එලෙයි පඩම් පාඩු දෙමළ චිත්‍රපටයේ සෘජු අනුකරණයක් ලෙස මිත්‍රදාස් විසින් දුප්පතාගේ දුක සිංහල චිත්‍රපටය අධ්‍යක්ෂණය කරනු ලැබීය.

 

ක්‍රිෂ්ණ රාඕ

1957 දී ක්‍රිෂ්ණ රාඕ ශූරයා නමින් චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කළ අතර එය ඔහු විසින් අධ්‍යක්ෂණය කළ එකම සිංහල චිත්‍රපටය විය.

 

එස්.එස්.රාජන්

එස්.එස්.රාජන් විසින් 1957 දී සිරියලතා චිත්‍රපටය අධ්‍යක්ෂණය කරනු ලැබීය. එය ඩබ්ලිව්.ඒ. සිල්වාගේ ප්‍රථම නවකතාව වූ ශ්‍රියාලතා ඇසුරින් නිෂ්පාදනය කරන ලද්දකි. ප්‍රථම කථානාද චිත්‍රපටය වූ කඩවුණු පොරොන්දුව මෙන්ම වැරදුණු කුරුමානම හා උමතු විශ්වාසය චිත්‍රපටවල සහය අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළ එස්.එස්. රාජන් ක්ෂේත්‍රය පිළිබඳ දැනුමක් ලබා සිටි පළපුරුදු ශිල්පියකු විය.

 

එම්. මස්තාන්

එම්. මස්තාන් මුල්වරට සිංහල චිත්‍රපට නිර්මාණයට පිවිසෙන්නේ 1957 දී සුකුමලී චිත්‍රපටය අධ්‍යක්ෂණය කරමිනි. අදට වැඩිය හෙට හොඳයි, උඩරට මැණිකේ, ධීවරයෝ, අල්ලපු ගෙදර, සූර චෞරයා, අටවෙනි පුදුමය, ආත්ම පූජා වැනි චිත්‍රපට එම්. මස්තාන් හැටේ දශකයේදී අධ්‍යක්ෂණය කළ ඒවාය. මස්තාන් චිත්‍රපට කැමරා ශිල්පියකු ද විය. ඔහු සිංහල චිත්‍රපටයක් සඳහා මුල්වරට කැමරාකරණයෙන් එක්වූයේ අශෝක මාලා චිත්‍රපටය සඳහාය. මස්තාන්ගේ පළමු අධ්‍යක්ෂණය වන සුකුමලී චිත්‍රපටයේ කැමරා අධ්‍යක්ෂවරයා වුයේ ද ඔහුමය. මස්තාන් සිංහල චිත්‍රපට අධ්‍යෂණයේදී තම අනන්‍යතාව සනිටුහන් කළ සිනමාකරුවෙකි.

 

එස්.එම්.එස්. නායිදූ

දෙමළ භාෂීය සිනමාවේ සිට හින්දි සිනමාවට අවතීර්ණ වූ පුරෝගාමී සිනමාකරුවකු වන එස්.එම්.එස්. නායිදු මුල්වරට අධ්‍යක්ෂණය කළ සිංහල චිත්‍රපටය වූයේ සුරසේන යි. 1957 දී එය තිර ගත වූ අතර සුරසේන එකවර භාෂා හයකින් නිර්මාණය වූවකි. මෙහි සිංහල දෙබස් හා ගී පද මාලා රචනා කරනු ලැබුවේ ආනන්ද සමරකෝන් විසිනි. දේශීය සිනමාවේ ලක්ෂණ කිසිදු අයුරකින් ප්‍රකට නොකළ සුරසේන චිත්‍රපටයෙහි ඉන්දියානු ජනප්‍රිය සිනමාවේ අනන්‍ය ලක්ෂණ ඒ අයුරින්ම දක්නට ලැබිණි.

 

එල්.එස්. රාමචන්ද්‍රන්

සංස්කරණ ශිල්පියෙකු වූ රාමචන්ද්‍රන්ගේ පළමු සිනමා අධ්‍යක්ෂණය කදම්බම් දෙමළ චිත්‍රපටයයි. ඔහුගේ ප්‍රථම සිංහල චිත්‍රපට අධ්‍යක්ෂණය වූයේ 1958 තිරගත කළ සොහොයුරෝ ය. එයින් සිංහල චිත්‍රපට නිර්මාණයට පිවිසි රාමචන්ද්‍රන් දෙයියන්ගේ රටේ, නළඟන, කුරුලු බැද්ද, සිකුරු තරුව, චණ්ඩාලි, සොඳුරු යුවළ, සරුබිම, වනසරා යන සිංහල චිත්‍රපට අධ්‍යක්ෂණය කළේය. ඔහු විසින් නිර්මාණය කරනු ලැබූ චිත්‍රපට වැඩි සංඛ්‍යාවක් හැටේ දශකයට අයත් වනු අතර ඔහු සිංහල සිනමාවට මුල්වරට එක්වනුයේ ද චිත්‍රපට සංස්කරණ ශිල්පියෙකු ලෙසිනි.

 

එම්.ආර්.එස්. මානි

චිත්‍රපට සංස්කරණ ශිල්පියෙකු හා සහාය අධ්‍යක්ෂවරයකු ලෙස ප්‍රකටව සිටි මානි අධ්‍යක්ෂණය කළ එකම සිංහල චිත්‍රපටය වූයේ සල්ලි මල්ලි සල්ලි චිත්‍රපටයයි. ඒ 1958 දී ය. කුබෙර කුචේල, ක්‍රිෂ්ණ භක්ති, කන්නගී ඔහු අධ්‍යක්ෂණය කළ ප්‍රකට චිත්‍රපට තුනකි. ලාංකේය චිත්‍රපට නිෂ්පාදන සමාගමක් දකුණු ඉන්දියානු චිත්‍රපට නිෂ්පාදකයකු සමඟ හවුල්ව නිෂ්පාදනය කළ ප්‍රථම චිත්‍රපටය වූයේ ද සල්ලි මල්ලි සල්ලි සිනමා පටයයි.

 

පී. නීලකන්ටන්

දකුණු ඉන්දියාවේ ප්‍රකට සිනමාකරුවකු වූ නීලකන්ටන් සිංහල චිත්‍රපට දෙකක් සඳහා අධ්‍යක්ෂණයෙන් දායක විය. 1958 වසරේ තිරගත වූ සුනීතා සහ 1964 වසරේ තිරගත වූ සුජාගේ රහස ඔහු අතින් නිර්මාණය වන සිංහල චිත්‍රපට ද්විත්වය වේ. නීලකන්ටන් ගුවන් විදුලි මාධ්‍යයට සම්බන්ධ වෙමින් සිය වෘත්තිය ජීවිතය අරඹන අතර 1948 දී වේදල උලගම් චිත්‍රපටයට දෙබස් ලියමින් සිනමාවට එක් විය.

 

එස්.කේ.ඕජා

උතුරු ඉන්දීය සිනමාකරුවකු ලෙස ප්‍රකට ඕජා 1959 දී දෛවයෝගය චිත්‍රපටය අධ්‍යක්ෂණය කළේය. එය ඔහු විසින් අධ්‍යක්ෂණය කරනු ලැබු එකම සිංහල චිත්‍රපටය වේ. උතුරු ඉන්දියානු චිත්‍රගාරයක නිපද වූ එකම සිංහල චිත්‍රපටය වූයේ ද ඕජා අධ්‍යක්ෂණය කළ දෛවයෝගයයි.

 

ටී.ජානකී රාම්

කැමරා අධ්‍යක්ෂවරයකු ලෙස තමිළ්නාඩු සිනමාවට එක් වූ ජානකී රාම් දෙමළ කණ්ණඩ හා මලයාලම් භාෂාවලින් චිත්‍රපට තැනූ පළපුරුදු අධ්‍යක්ෂවරයෙකි. 1959 දී ඔහු විසින් සිහිනය සිංහල චිත්‍රපටය අධ්‍යක්ෂණය කරනු ලැබීය. මහානන්ද, ශිව පාර්වතී, සසිදරන් ඔහුගේ නිර්මාණ අතර වඩාත් ප්‍රකට චිත්‍රපට විය.

 

ඩී.යෝගානන්ද

මදුරාසියේ වාහිනී චිත්‍රාගාරයේ නිපද වූ සුන්දර බිරිඳ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරනු ලැබුවේ යෝගානන්ද විසිනි. වංජිකොට්ටේ වාලිපන් දෙමළ චිත්‍රපටයේ අනුකරණයක් වූ සුන්දර බිරිඳ චිත්‍රපටයේ ගීත එවක වඩාත් ජනප්‍රිය විය.

 

කේ.එස්. සේතුමාධවන්

කේරළ සිනමාකරුවකු වන සේතුමාධවන් සම්මානනීය චිත්‍රපට රැසක් මලයාලම් දෙමළ, හින්දි භාෂාවලින් නිර්මාණය කළ දකුණු ඉන්දියාවේ පුමුඛ පෙළේ සිනමාකරුවකු වේ. 1960 නිපදවුණු වීර විජය සිංහල චිත්‍රපටය ඔහු විසින් අධ්‍යක්ෂණය කරන ලද මුල්ම චිත්‍රපටය වේ. ඊට පෙර ඔහු වනමෝහිනී චිත්‍රපටයට සහාය අධ්‍යක්ෂණයෙන් ද දායක වූයේය.

 

සී.වී. රාජු

ඉන්දියාවේ චිත්‍රාගාරයක නිපද වූ මෙරට ප්‍රදර්ශනය කළ අවසන් සිංහල චිත්‍රපටය වූ දේව සුන්දරී චිත්‍රපටය සී.වී රාජු විසින් 1962 දී අධ්‍යක්ෂණය කරනු ලැබීය. දේවසුන්දරී චිත්‍රපටය මඟින් ජෝ අබේවික්‍රම රූපණවේදියා සිනමාවට හඳුන්වාදෙනු ලැබුවේ ප්‍රධාන ද්‍රවිඩ භාෂා කිහිපයකින්ම චිත්‍රපට අධ්‍යක්ෂණය කළ ප්‍රවීණ සිනමාකරුවකු වන රාජු විසිනි.

 

 

මුලාශ්‍ර -

ගාමිණී වේරගම විසින් රචනා කරන ලද දේශීය සිනමා වංශය ප්‍රථම කාණ්ඩය ග්‍රන්ථයෙනි.