වර්ෂ 2023 ක්වූ September 22 වැනිදා Friday
අපේ සිනමාවේ සදාකාලික සටන්කාමියා

සිනමා තාරකා යනු ජනප්‍රියත්වය ද කුසලතාව ද එක සේ රඳවා ගත් පිරිසට යෙදෙන පර්යාය නාමයකි. කුසලතාවත් ජනප්‍රියත්වයත් එක සේ ලබා ගත හැක්කෝ විරලයහ. එමෙන්ම මේ ජනප්‍රියත්වය සදාකල් පවත්වාගෙන යෑම එයටත් වඩා දුෂ්කරය. අපේ සිනමා ඉතිහාසයේ එබඳු තවත් තරුවක් සදහටම නික්ම ගියේය. ඔහු අවසාන රංගනය දක්වාම සිය කුසලතාව පළ කර සිටි අතර මිය යන තෙක්ම ජනප්‍රියත්වය ද රඳවා ගෙන සිටියේය. ගිය සෙනසුරාදා එනම් 8 වැනි දින උදෑසන මෙලොව හැර ගිය රොබින් ප්‍රනාන්දූ නම් සුවිශේෂී සිනමා රංගවේදියාණන් එලෙස කීර්තිය ගෞරවය මෙන්ම ජනපියත්වය ද එක ලෙස රදවා සිටි විරල ගණයේ පුද්ගලයෙකි. 1937 වසරේ ජූනි මස 15 වැනි දින කොළඹ කොටහේනේ දී උපත ලද පට්ටියගේ රොබින් ස්ටීවන් ප්‍රනාන්දු උත්පත්තියෙන් ද පැවැත්මෙන්ද සැදැහැවත් බෞද්ධයකු විය. චිත්‍රපටයක කවර ආකාරයේ දඩබ්බර චරිතයකට මුහුණ දුන්න ද සැබෑ දිවියේ රොබින් යනු මානව දයාවෙන් පිරි පුද්ගලයෙකු විය. ඉතා වැදගත් මහත්මයකු විය.
ඔහු ඉගෙනුම ලබන්නේ ද කොටහේන ශාන්ත බෙනඩික්ට් විදුහලේය. ශාන්ත බෙනඩික්ට් විදුහල යනු සිංහල සිනමාවට සමීපම ඥාති සම්බන්ධය ඇති පාසලයි. කථානාද සිනමාවේ ආරම්භක නිෂ්පාදක එස්.එම්.නායගම්ගේ පටන් ශාන්ත බෙනඩික්ට් විදුහලෙන් සිනමාවට පිවිසි සංඛ්‍යාව විශාලය. රොබින් ප්‍රනාන්දුට වඩා ඉහල පන්තියක හිටියේ අභාවප්‍රාප්ත රංගන ශිල්පී සුදේශ් ගුණරත්නය. රොබින් ජ්‍යෙෂ්ඨ සිසුවකු ව සිටියදී විජය කුමාරතුංග හා රවීන්ද්‍ර රන්දෙණිය සිටියේ පාසැලේ කණිෂ්ඨ ශ්‍රේණිවලය. එකල සාන්ත බෙනඩික්ට් විදුහල ලංකාවේ හොඳම ජිම්නාස්ටික් ක්‍රිඩා කණ්ඩායමේ ගෞරවය දිනා සිටියේය. එම ගෞරවය ලබා දුන්නේ කණ්ඩායම් නායක රොබින් ප්‍රනාන්දුය. එහි ඉතා අසීරු ඉසව්වක් වූයේ ගිනි වළලු මැදින් පැනීමය. රොබින් මේ ක්‍රිඩාව කෙතරම් හොඳීන් ප්‍රගුණ කළා ද යත් එහි වළලු හතරකින් පැන තැබූ වාර්තාව අද ද පාසැල් සිසුන් අතර නොබිඳී පවතින්නකි. ක්‍රිඩකයකු මෙන්ම ඉතා කඩවසම් ගැටවරයෙකු වූ රොබින් පාසලට එන්නේ අනිත් කුඩා සිසුන් ක්‍රිඩාපිටියේ දුව පැන සෙල්ලම් කරන විටය. කෙතරම් නිර්භීත සටන්කාමියකු වුව ද ලජ්ජාශිලි ගැටවරයෙකු වූ රොබින් පැසලට ඇතුළුවී සිය පන්ති කාමරයට යන අයුරු බොහෝ සිසුන් බලා සිටියේ මහත් ආදරයෙන් හා ගෞරවයෙන් යැයි පවසන්නේ රවීන්ද්‍ර රන්දෙණියයි. රොබින් තම ළමා වියේදී පාසැලේ ලොකු අය්යා කෙනෙකු හැටියට ආදරය දිනූ අන්දම ඔහු සිහිපත් කරනුයේ ගෞරවයෙනි. පසු කලෙක සිනමාවට පිවිසෙන රවීන්ද්‍ර රන්දෙණියට ගුරුමුෂ්ටි නොතබා ත්‍රාසජනක අවස්ථාවන්ට මුහුණ දෙන අන්දම මේ ජ්‍යෙෂ්ඨ නළුවා කියා දුන්නේ සිරිපාල හා රන්මැණිකා චිත්‍රපටයේ එන ත්‍රාසජනක අවස්ථා රූපගත කිරිමේදීය. පැයට සැතපුම් හතළිහකට පමණ වේගයෙන් ධාවනය වන දුම්රියකින් ආදේශක නළුවන් නැතිව අතක් පයක් නොකඩාගෙන පනින අන්දම කියා දුන් අයුරු අද රවීන්ද්‍ර රන්දෙණිය සිහිපත් කරනුයේ නෙතග රැඳී කඳුළක් ඇතිවය.
නමින් කතෝලික වු බව පෙනුණ ද ඉහළම කතෝලික පාසලකට ගිය ද රොබින් ප්‍රනාන්දු ඉරිදා කොටහේන දීපදුත්තාරාමයේ දහම් පාසලට යෑම කිසිදිනෙක අත් හළේ නැත. වරෙක පන්සලේ පින්කමක දොරකඩ අස්න කියැවීමේ වරප්‍රසාදය ලත් රොබින් ප්‍රනාන්දු දේවදූතයෙකු ලෙස සැරසී හස්තිරාජයකු පිට නැඟ කොටහේනේ වීදි පුරා සංචාරය කරන්නට වරම් ලැබුවේය.
සිනමා ලෝලියකු ලෙස චිත්‍රපට නරඹන්නට පුරූදුව සිටිය ද රොබින් ප්‍රනාන්දු සිය පාසැල් වියේදී සිනමා නළුවකු වන්නට බලාපොරොත්තුවෙන් සිටි අයෙක් නොවිණ. ඔහු වඩාත් ආසාවෙන් නැරඹුවේ සටන් පිරි චිත්‍රපට ය. එහෙත් ඔහුගේ කඩවසම් පෙනුම සිනමාවට උචිත පෙනුමක් බව ඇස ගසා සිටි අයෙක් විය. ඒ සිය අසල්වැසියකු වූ ආරියරත්න කහවිට ය. සිනමාස් සමාගම මඟින් එකල ප්‍රකාශයට පත් කරන ලද කලා සඟරාවේ කතුවරයා වූයේ කහවිට ය. පාසලෙන් ඉවත්ව මැක්වුඩ්ස් සමාගමේ රැකියාවකට ගිය පසු පවා රොබින් ජිම්නාස්ටික් මෙන්ම විවිධ සටන් කලාවන් ඉගෙන ගත්තේය. ආරියරත්න කහවිට රොබින් කැටුව ගියේ ඒ දිනවල සිනමාස් සමාගම මඟින් නිෂ්පාදනය කරන අලුත්ම චිත්‍රපටයේ අධ්‍යක්ෂ හමුවන්නටය. ඔහු ටයිටස් තොටවත්තය. චිත්‍රපටය චණ්ඩියාය. අලුත් හාදයාගේ පෙනුමෙන්ම තරම මැනගත් ටයි මහත්තයා ඔහුට බාර දුන්නේ සිනමා ඉතිහාසයේ සදාකාලික සිහිවටනයක් වන ජවනිකාවකි. ඒ ගාමිණී ෆොන්සේකා සමඟ සටනකි. පිහිනුම් තටාකයක ලෑල්ල මත සිට කෙරෙන මෙම සටන අද මිම්මෙන් ගත්තත් ත්‍රාසජනක සටනකි. චුට්ටේ හෙවත් ගාමිණී ෆොන්සේකාගෙන් පහර කා ඉහළ සිට පහළ තටාකයට ඇද වැටෙන මේ ජවනිකාව අමතක නොකර කියන්නට චණ්ඩියා සිහිපත් කරද්දී රසිකයෝ පෙළඹුණහ. එතෙක් සිංහල සිනමාවේ තිබුණු පොල් අඩි වෙනුවට සටන් ශිල්පය අවතීර්ණ වූයේ එතැනිනි.
ගාමිණී එයින් පසු ටයිටස් තොටවත්තයන්ගේ චිත්‍රපටවල රඟපෑවේ නැත. රොබින් අය්යා ටයිටස් තොටවත්තයන් සිය ගුරු දේවයන් ලෙස මිය යන තෙක්ම ඇදහුවේය. චණ්ඩියා චිත්‍රපටය රූපගත කළත් එයට පෙර සිනමාස් සමාගම එම්.මස්තාන් අධ්‍යක්ෂණය කළ ධීවරයෝ ප්‍රදර්ශනය කළේය. ඒ චණ්ඩියා දර්ශන පෙළක් නැවත රූ ගැන්වීමට තීරණය කිරිම නිසාය. චණ්ඩියා තුළින් ලැබූ කිර්තිය නිසාම රොබින් ධීවරයෝ චිත්‍රපටයට ද තෝරා ගැනිණ. එබැවින් රොබින් ප්‍රනාන්දු රඟපෑ චිත්‍රපටයක් ලෙස ප්‍රේක්ෂකයන් මුලින් දුටුවේ ධීවරයෝය . එහෙත් එම ජවනිකාව කිසිවකුට හෝ මතකයේ ඇති ජවනිකාවක් නම් නොවේ. කෙසේ වෙතත් මුල්ම රූ ගැන්වීම ඉතිහාසය පුරා සිහිවටනයක් සේ සටහන්ව පවතින්නකි. එතැන් පටන් චිත්‍රපට සටන් කලාව නවමානයකට යොමුවිණ. කිසිදු පැකිළීමකින් තොරව අතිශය ත්‍රාසජනක අවස්ථා සඳහා ආදේශකවලින් තොරවම රොබින් ප්‍රනාන්දු දායක වූයේය. ටයි මහත්තයාගේ කවුද හරි චිත්‍රපටයේදී ඉතා උස පාලමකින් පැනීමේ සිට හාරලක්ෂෙ චිත්‍රපටයේ මෝටර් රථයක එල්ලෙමින් හා එයින් පසුව ඇලෙක්සැන්ඩර් ප්‍රනානදු සමඟ වැල්ඩින් ආලෝකයක් සමඟ කරන සටන මොන මට්ටමින් බැලුවත් ඉතා ඉහළම සටන් බව අමුතුවෙන් කිවයුතු නැත.
සාගරිකා චිත්‍රපටය දක්වාම රොබින් ප්‍රනාන්දු ටයිටස් තොටවත්තයන්ගේ චිත්‍රපටවල රගපෑවේ ය. මේ සිදුවීම පිළිබදව වරක් රොබින් අය්යා මා සමඟ පැවසුවේය. ඒ ඔහු කැමැතිම චරිත ගැන සඳහන් කරමිනි. ඔහුගේ මුල්ම කැමැත්ත ටයි මහත්තයා ය. එහෙත් සිය ගුරුතුමන්ගෙන් වෙන් වීම පිළිබඳ රොබින් අය්යාගේ සිතේ දුකක් තිබුණ ද කතාව රසවත් එකක් බැවින් මෙහි සඳහන් කරන්නට කැමැත්තෙමි. ටයි මහත්තයා සමඟ වැඩ කිරිම ලේසි පහසු කෙනෙකුට කළ හැක්කක් නොවේ. එහෙත් රොබින් ප්‍රනාන්දු දිගටම රඟපෑවේ අනේක විධ නින්දාද බැණුම් ද අසාගෙනය. ඒ ටයි මහත්තයාගේ හැටිය. තම ගුරුවරයාට විරුද්ධව වචනයක් හෝ කියන්නට රොබින් ප්‍රනාන්දු කිසිසේත් කැමැති නැත. රොබින් ප්‍රනාන්දු තිරයේ කවර තරම් සටන්කාමියකු වුව ද කිසිවකු සමඟ කිසි කලෙක රණ්ඩු වූවෙකු නොවේ. කොතැනක හෝ කවුරුන් හෝ සටනක ඇවිළෙන්නේ නම් එම ගින්න නිවනවා විනා කිසි කලෙකත් ඔහු මුළු ජීවිත කාලය පුරාම කිසිවකු සමඟ හෝ සටනකට අවතීර්ණ වී නැත. කෙසේ වෙතත් ගුරු ගෝලයන් වෙන් වූ කතාව අපූරුය. සාගරිකා චිත්‍රපටයේ එක් ජවනිකාවක් රූපගත කෙරුණේ මහනුවර වැව අයිනේය. මෙකල මෙන් නොව එකල චිත්‍රපට රූපගත කිරිමක් සිදුවුවහොත් එබඳු ආරංචියකට වැල නොකැඩී සෙනඟ පිරිම සාමාන්‍ය කරුණකි. ටයි මහත්තයාට එම වටපිටාවේ සිටින්නේ කවුරුන්දැයි ගාණක් ද නැත. රූපගත කළ යුතුව තිබුණේ වැවට පනින දර්ශනයකි. විවිධ රොඩු බොඩු පිරි නුවර වැව එකල අපිරිසුදුව තිබිණ. එයට පැනීම සිහියක් පතක් ඇත්තෙකුට නම් කළ හැක්කක් නොවිණ. එහෙත් ටයි මහත්තයාගේ අවලාද කෙළවරක් නැත. අවසානයේ රොබින් හිත හදාගෙන වැවට පැන්නේය. චිත්‍රපටය රූපගත කිරිම් අවසානයේ සාදයක් තිබිණ. එහිදී රොබින් සිය ගුරුතුමාගේ දෙපා වැඳ තම ගුරුවරයාගේ චිත්‍රපටවල නැවත රඟනොපාන බව පැවසුවේය. මධුවිතකින් සන්තර්පණය වී සිටි ගුරුතුමා එකෙනෙහිම සිය ගෝලයාගේ දෙපා වැඳ නැවත තම සිසුවා චිත්‍රපටවලට නොගන්නා බවට පෙරළා පොරොන්දු විය. එහෙත් කිසි කලෙකත් තම ගුරුතුමන් ගැන අබමල් රේණුවකවත් අහිතක් රොබින් අය්යාගේ හිතේ තිබුණේ නැත.
මෙරට බොහෝ සටන් නළුවන්ට චරිතාංග නළුවන් ලෙස ඉස්මතු වන්නට තිබුණු අවස්ථා විරලය. ඇතැම් දෙනාට මුලු ජිවිත කාලය පුරාම සිදු වූයේ වීරයාගේ සහායක වන්නට හෝ වීරයාගෙන් අම්බානට ගුටි කන්නටය. රොබින් ප්‍රනාන්දු ඊට වඩා වාසනාවන්ත වූයේය. එකක් නම් ඔහු සටන් නළුවකු ලෙස අවතීර්ණ වුව ද එහි කොටු නොවිමය. ඔහු චිත්‍රපට සටන් නිකම්ම සටනක් නොව සටන් කලාවක් බවට පරිවර්තනය කළේය. එමෙන්ම සටන් නළුවකුගෙන් බැහැරව චරිතාංග නළුවකු වන්නට හැකි බව ඔහු පෙන්වාදීමය. එබැවින් ඉතා ඉක්මනින් ඔහුට චරිතාංග නළුවකු වන්නට අවකාශ ලැබිණ. චන්ඩියා චිත්‍රපටයෙන් පසු ඔහුගේ වඩාත් ත්‍රාසජනක සටන් ජවනිකාව තිබුණේ කපටිකම චිත්‍රපටයේය. එයින් පසු කවුද හරි චිත්‍රපටයේය. පිනි බිඳුචිත්‍රපටයේ ඔහු කළ කුඩා රඟපෑම එකල විචාරකයන්ගේ අවධානයට යොමු විය. සිංහල සිනමාවට වඩා ප්‍රාණවත් සටන් ජවනිකා ඇතුළත් වන්නට පටන් ගත්තේ හැටේ දශකයේ මුල රන්මුතුදූව වැනි චිත්‍රපට සමඟය. එහෙත් එයට වඩා පණ යොදා සටන් කලාව ඉස්මතු කරවන්නට රොබින් ප්‍රනාන්දු සමත් වූයේය. බයිසිකල් හොරා, ඔහොම හොඳද, පේනව නේද වැනි චිත්‍රපටවල ලැබුණ හැම අවස්ථාවකම රොබින් සටන් යනු කලාවකැයි පෙන්වා දුන්නේය. දැවෙන පිපාස රොබින් මුල්වරට ප්‍රධාන චරිතයට පිවිසි අවස්ථාවයි. ඒ වන විට ඔහු උප ප්‍රධාන චරිත ඔස්සේ තම දක්ෂතාව පෙන්වා තිබිණ. හාරලක්ෂෙ චිත්‍රපටයේ එන රාජාගේ චරිතය ඔහුගේ වඩාත්ම සටක්නාමි චරිතාංග රංගන අතරින් කැපී පෙනෙන එකකි. කිසිදු පැකිළීමකින් තොරව ස්ටන්ට් නළුවකු යොදා නොගනිමින් රොබින් ප්‍රනාන්දු ඕනෑම බිහිසුණු ජඔවනිකාවකට පෙනී සිටිම ඔහුගේ විශේෂ ලක්ෂණයක් විය. හදවත් නැත්තෝ ඔහු රඟපෑ ඉතා වැදගත් චිත්‍රපටයක් විය.
එයට ගණිකාවක් හා ඇයට පෙම් කර විවාහ කරගන්නා තරුණයෙකු පිළිබද කථාවක් ඇතළත් විය. මේ තරුණයාට රඟපෑවේ රොබින් ප්‍රනාන්දුය. හදවත් නැත්තෝ තිර ගත වූයේ 1974 වසෙර්ය. අපේ සිනමාවේ සංධිස්ථානයක් වූ අහස් ගව්ව තිරගත වූයේ ද එම වසෙර්ය. අහස් ගව්ව් සෙවණැල්ලට වැසී නොයන්නට එම වසරේ විශිෂ්ටතම චිත්‍රපටය වූයේ එක් චිත්‍රපටයක් තනා අකල් මරණයකට ගොදුරු වූ සුබයිර් මාකීන්ගේ හදවත් නැතිතෝ චිත්‍රපටයයි. හාරලක්ෂේ රාජාගේ චරිතයෙන් පසු සැබෑ සිදුවීමක් පාදක කරගෙන තැනුණු තවත් චිත්‍රපටයකට රොබින් ප්‍රනාන්දු එක්වූයේ සිරිපාල සහ රන්මැණිකා සමඟය. එහි සිරිපාලගේ සගයා වූ ලයනල් ඔහුය. සිරිපාල ලෙස රඟපෑවේ තම පාසැලේ තමන්ගේ සටන්වලට ආසාවෙන් බලා සිටි වර්තමාන සිනමාවේ මහා රංගවේදියා වන රවීන්ද්‍ර රන්දෙණියයි. එම පන්තියේම තවත් සිසුවකු වූ විජය කුමාරතුංග සමඟ ඔහු මුලින්ම රගපෑවේ රන් ඔන්චිල්ලා චිත්‍රපටයේය. විජය ඝාතනය කළ පසු අවමඟුලේ දී ඔහුගේ නිසල දේහය විදුහලේ ධජයෙන් වසා අවසාන ගෞරවය ලබා දුන්නේ ජ්‍යෙෂ්ඨ සිසුවකු වූ රොබින් ප්‍රනාන්දුය. නිවෙන ගින්න, අපේක්ෂා, වීර පුරන්අප්පු වැනි චිත්‍රපට සියල්ල රොබින්ගේ කිර්තිය ඉහළින්ම රඳවා සිටි චිත්‍රපට අතර විය. අපේක්ෂා චිත්‍රපටයේ ඔහු ගීතා කුමාරසිංහ සමඟ රඟපාමින් ගැයූ සොඳුරු ලොවට මල් වැහැලා ගීතය සිංහල සිනමාවේ එදා මෙදා තුර ජනප්‍රිය ගීතාවලියේ එකකි. එහිදී රන්ජන් මෙන්ඩිස් සමඟ කළ බිහිසුණු සටන ද අපේ සිනමාවේ වඩාත්ම ත්‍රාසජනක සටනකි.
රක්තා චිත්‍රපටයේ ඔහු දාන්ත නම් විය. රක්තා, එනම් නිළි රැජන මාලනී ෆොන්සේකාගේ පෙම්වතා ඔහු විය. රක්තා 1980 වසරේ අති සාර්ථකම චිත්‍රපටවලින් එකකි. එම වසරේ රොබින් ප්‍රධාන චරිත රඟපෑ චිත්‍රපට දෙකක්ම බොක්ස් ඔෆීස් වාර්තා බින්දේය. ඒ මුවන්පැලැස්ස 2 සහ රක්තාය. හැත්තෑව අසූව දශකවල සිනමාවෙහි රොබින්ගේ නිර්භීත සටන්කාමී ස්වරූපය අන් සියලු සටන් නළුවන් අබිබවා ඔහු චරිතාංග නළුවකු බවට පත් කළ යුගයයි. එමෙන්ම ඔහු මෙන්ම ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු ආදින් රඟන චිත්‍රපට නැරඹීමට ප්‍රේක්ෂකයන් බලාසිටියේ අන් කිසිවක් නිසා නොව එම චිත්‍රපටවල ඇති උද්වේගකර සටන් ජවනිකා හා ජීවමාන බව හේතුවෙන්ය. රොබින්ගේ සටන් සිනමාවේ ජීව ගුණය දෙගුණ තෙගුණ කරන්නට හේතු විය. අද මෙන් තාක්ෂණික මෙවලම්, කැමරා හා පරිගණක දෘෂ්ටි ප්‍රයෝගවලින් පොහොසත් නොවුණ එකල රොබින් ප්‍රනාන්දු විසින් නිර්මාණය කරන ලද සටන් ඇත්තටම ජවාධික සටන් විය. ඔහු චිත්‍රපටයක රඟපාන විට සටන් අධ්‍යක්ෂණය බොහෝ විට ස්වේච්ඡාවෙන් පවරාගත් බව රහසක් නොවිණ. ඇතැම් චිත්‍රපටයක සටන් අධ්‍යක්ෂණය කිරිම සඳහා එහි නියමිත චරිතයෙන් ඉවත්ව ඒ සඳහාම කැපවුණු අවස්ථා එමටය. මාලනී ෆොන්සේකා මුල්වරට අධ්‍යක්ෂණය කළ සසර චේතනා එයට හොඳම උදාහරණයකි. එමෙන්ම සටන් කලාව තුළ තමන් ප්‍රගුණ කළ ශිල්පය කිසිදු පැකිළීමකින් තොරව අලුත් පරම්පරාවට දායාද කරන්නට රොබින් ප්‍රනාන්දු කිසි විටෙකත් දෙවරක් සිතුවේ නැත. එබැවින් අද පවා සිනමාවේ ජීව ගුණය ගොඩ නංවන සටන් නළුවන් බහුතරය රොබින් ප්‍රනාන්දුගෙන් ලත් අත්වැල සහිතව එයට අවතීර්ණය වූවෝ බව සඳහන් කළ යුතුය. ටෙලිවිෂනය පැමිණ මෙරට ප්‍රේක්ෂකයන් සිනමාහල්වලින් බැහැර වන්නට පටන්ගත්මුල් යුගයේ සිනමා ශාලා සඳහා යළි සෙනඟ ගෙනා චිත්‍රපටයක් වූ සසර චේතනා චිත්‍රපටයේ රොබින්ට ලැබුණු ප්‍රධාන පෙළේ චරිතයක් ප්‍රතික්ෂප කළ ඔහු ඒ වෙනුවෙට එහි ආ බිහිසුණු සටන් ජවනිකා අධ්‍යක්ෂණයේ වගකීම තමා වෙත පවරා ගත්තේය. රොබින් ප්‍රනාන්දු චිත්‍රපට අධ්‍යක්ෂණයට යොමු වූ සුර දූතියෝ ජන්‍රපිය විදෙස් ටෙලි නාට්‍ය මාලාවක් ඇසුරෙන් මුල් වරට නිර්මාණය කළ සිංහල චිත්‍රපටය වෙයි. එනම් ටෙලිවිෂනය විසින් මෙරට රසිකයන් වසඟ කරවා සිටි චාලීස් ඒන්ජල්ස් මාලා නාටකය පාදක කරගෙන ඔහු සුර දූතියෝ නිර්මාණය කළේය. චාලීස් ඒන්ජල්ස් හි සිටි චාල්ස් නම් නිලධාරියා වෙනුවට සුර දූතියන් මෙහෙය වූ පොලිස් නිලධාරියා වූයේ ගිහාන් තිසේරා නම් චරිතයයි. රොබින් ප්‍රනාන්දු එම චරිතය නිරූපණය කළේය. පසුව ඔහු මෙරටට ආගන්තුක නින්ජා කතා තේමාවක් පාදක කරගෙන නින්ජා ශ්‍රි ලංකා චිත්‍රපටය නිර්මාණය කළේය. රොබින් ප්‍රනාන්දු සිනමා ක්ෂේත්‍රයේ ප්‍රචලිතව සිටියේ ගුණයහපත් මිනිසකු ලෙස බව මෙහි මුලින් සඳහ්න් කෙළමි. එය ඔහුගේ මුළු දිවිය පුරාම ආරක්ෂා කරගැන්මට ඔහු වග බලා ගත්තේය. සිය භාර්යාව වයලා සමඟ ඉතා ආදර්ශවත් හා යහපත් පවුල් දිවියක් මිය යන තුරාම ගත කළ රොබින් එරන්දතී දියණියට හා චන්න පුතුට සෙනෙහවන්ත පියෙකු විය. සිය ජිවිතයේ අවසාන භාගයේ තම දූදරු මුනුපුරන් මැද ඔහු ගත කරන ලද්දේ රෝගි වුව ද සුතුටු දායක දිවියකි. ජීවත් වන සමයේ රොබින් ප්‍රනාන්දු මහා පුණ්‍ය කර්ම රාශියකට දායක වූවෙකි. ඔහුගේ පනස්පස් වැනි උපන් දිනය නිමිත්තෙන් ඔහු විසින් ඉදි කළ නාරාහේන්පිට බුදු පිළිමය අද බොහෝ දෙනාගේ වැඳුම් පිදුම්වලට ලක්වූවකි. එය ඔහු එදා පූජා කරන ලද්දේ මෙරට සිනමා ක්ෂේත්‍රය ගොඩ නඟා මියගිය සියලු කලාකරුවන්ට පින් පැමිණවීමටත් එක්කය. සෑම වසරකම වරක් දළදා වහන්සේ අභියස දායනයක් පිරිනැමීමට ඔහු දිනයක් වෙන් කර ගෙන සිටියේය. ඔහු හැමවිටම ජීවිතය යනු මරණයකින් කෙළවර වන බවත් සසර යනු දිගු ගමනක් බවත් විශ්වාස කළේය. සිනමාවේ සටන්කාමියකු වුව ඔහු කිසි කලෙක කිසිවකුට පහර දී නැත. පසුගිය සරසවිය සම්මාන උලෙළේ දී සිනමා කර්මාන්තය උදෙසා ජීවිතයේ එක්වරක් පමණක් පිදෙන රණතිසර සම්මානයෙන් රොබින් ප්‍රනාන්දු නම් මේ දැවැන්තයා පුදනු ලැබීය. වෙනදා මෙන් ජවාධිකව නොවුණ ද පැරැණි ප්‍රතාපවත් බවින් යුක්තව වේදිකාවට ගොඩ වැදී සම්මානය ලබාගත් මොහොත එහි රැස්ව සිටි සියල්ලන්ගේම ඇස්වලට කදුළු උපයන්නට සමත් විය. ඒ මොහොතේ මුළු සභාගැබම අසුන්වලින්නැඟී රොබින් වෙනුවෙන් ගෞරවය පුද කළේය. රොබින් ප්‍රනාන්දු හෙවත් අපට ආදරණීය රොබින් අය්යාට නිවන් සැප ලැබේවා!
සේයාරූ - දයාන් විතාරණ