සතුන් අල්ලා ගැනීමට ගිය ත්‍රාසජනක ගමන

මාර්තු 23, 2023

අප්‍රිකාවේ මහා ඝන වනාන්තරවල සිටින සතුන්ව අල්ලා සත්වෝද්‍යානවලට බාරදී ආදයමක් උපයා ගැනීම එකල හොඳ ව්‍යාපාරයක් විය. මෙය අන්ත්‍රාදායක ක්‍රියාවලියක් වූවද, මේ සිදුවීම් අලළා චිත්‍රපටයක් නිර්මාණයක් කළහොත් එය කෙතරම් ත්‍රාසජනක වේවිදැයි හොලිවුඩ් සිනමා නිෂ්පාදක හා අධ්‍යක්ෂක ⁣'හෝවර්ඩ් හෝක්ස්' ගේ සිතට නිකමට මෙන් ඇතුල්විය. ඔහු මෙම අදහස එවකට ඇමරිකාවේ සිටි දක්ෂ නව කථාකරුවකු වූ 'හැරි කර්නිට්ස්' ට කියූ පසු ඔහු එම අදහස ප්‍රායෝගීකව දැක බලා, හරි අපූරුවු කථාන්තරයක් ගොඩනැංවීය.

'ලීග් බ්‍රැකට්' යනු ඇමරිකානු තිර නාටක රචිකාවකි. ඇය බොහෝ විට ප්‍රචලිත වී තිබුණේ විද්‍යා ප්‍රබන්ධ නවකථා ලිවීමටය. 'ප්ලැනට් ස්ටෝරිස්' නම් නවකථා පෙළක් ඇය එළිදක්වා තිබුණි. ඇයව ඇමරිකාවේ හදුන්වා දී තිබු⁣ණේ 'ක්වීන් ඔෆ් ස්පේස් ඔපේරා' නමිනි.

ඇයගේ සිනමා තිර රචනා ගැන අධ්‍යයනය කරන විට, ඇය තිරනාටකයකට මුලින්ම සම්බන්ධ වී තිබු⁣⁣⁣ණේ 1946 දී තිර ගත කළ හම්ප්‍රි බොගාටි රඟපෑ හොවාඩ් හෝක්ස් නිෂ්පාදන හා අධ්‍යක්ෂණය කළ 'ද බිග් ස්ලීප්' චිත්‍රපටයටය. ඇයට එහී තිරනාටකය ලීවීමට විලියම් ෆොල්ක්නර්, හා ජූලස් ෆර්ද්මන්,ද එක්වීය.ඇය හොවාඩ් හෝක්ස් ගේ 'රියෝ බ්‍රාවෝ' චිත්‍රපටයේද තිර නාටකය ලිවීමේදී යළිත් ජූලස් ෆර්ද්මන් සමඟ එක් වීය.

අප්‍රිකානු වනාන්තරේ භයානක සතුන් අල්ලන කථාව හෝවර්ඩ් හෝක්ස් වෙනුවෙන් ලියූ හැරි කුනිට්ස් එය හෝවර්ඩ් ට භාර දුන් අතර, හෝවර්ඩ් එය ලීග් බ්‍රැකට් ට දුන්නේ ත්‍රාසජනක මෙන්ම රොමැන්තික 'කොමඩියක්' ලෙසට තිර රචනා කරන්නටය.හෝවර්ඩ්, හැරි,එකතුවි එයට නම තැබූවේ 'හටාරි' කියාය.

'හොවාර්ඩ් හෝක්ස්' ඇමරිකානු සිනමාවට එකතු වූයේ 1926 තරමේය. ඒ නිහඬ චිත්‍රපට යුගයේය. 'ද රෝඩ් ටු ග්ලෝරි' ඔහු මුලින්ම අධ්‍යක්ෂණය කළ නිහඬ චිත්‍රපටයයි. එලෙස නිහඬ චිත්‍රපට 7 ක් පමණ අධ්‍යක්ෂණය කළ ඔහු ශබ්ද චිත්‍රපට අධ්‍යක්ෂණය කිරීමට ආරම්භ කළේ 1928 වර්ෂයේ 'ද එයා සර්කස්', නම් චිත්‍රපටයෙන් ය ඔහු එහී සම අධ්‍යක්ෂක වරයා විය. 'ද ඩෝන් පැට්‍රෝල්' ඔහු තනිවම අධ්‍යක්ෂණය කළ ශබ්ද චිත්‍රපටයයි. ඒ 1930 වසරේදී ය. ඔහු 1926 සිට, 1970 දක්වා චිත්‍රපට 41ක් අධ්‍යක්ෂණය කර තිබුණි. එකී නිහඬ චිත්‍රපට 7, මෙම චිත්‍රපට 41 ට ඇතුළත් වී තිබුණි. 'හටාරි' ඔහුගේ 37 වෙනි අධ්‍යක්ෂණය වූ අතර, 15 වෙනි නිෂ්පාදනයයි. ඔහුගේ චිත්‍රපට බොහොමයකම 'ජෝන් වේන්' යන නළුවා රඟපෑ අතර, ඔහුගේ ප්‍රියතම නළුවා වූයේද, ජෝන් වේන්ය. ඔහු තම 'හටාරි' චිත්‍රපටයට ප්‍රධාන නළුවා ලෙස තෝරා ගත්තේද 'ජෝන් වේන් ය.'.

'ජෝන් වේන්' ගේ මුල් නම වූයේ 'මාරියන් රොබට් මොරිසන්' ය. ඔහු ඉපදුණේ 1907 මැයි 26 වනදාය. ඒ ඇමරිකාවේ 'වින්ටර්සෙට්' නගරයේය. ඔහු රඟපෑමට එකතු වී තිබුණේ 1926 දීය. ඒ 'බ්‍රවුන් ඔෆ් හාවර්ඩ්' නම් චිත්‍රපටයෙනි. ඔහු එහී පා පන්දු ක්‍රීඩකයෙක් ලෙස ඉතාමත් සුළු චරිතයක් රඟපා තිබුණි. ඔහු ඉන්පසු එක දිගට චිත්‍රපට 13 ක පමණ රඟපා තිබුණද, ඒවා සියල්ලම චරිතයක් නොවන සුළු චරිතයන් ය. 1929 දී ඔහු චරිතයක් රඟපෑ චිත්‍රපටයක් තිර ගත විය. ඒ ජේම්ස් ටින්ලිංග් අධ්‍යක්ෂණය කළ 'වර්ඩ්ස් ඇන්ඩ් මියුසික්' චිත්‍රපටයෙනි. එහී 'පෙටී ඩොනහූ' චරිතය රඟපෑවේ ඔහුය. එවිට ඔහු තිරයට භාවිතා ක⁣ළේ 'ඩියුක් මොරිසන්' යන නමය. මෙහී ප්‍රධාන චරිතය රඟපෑවේ ලුයිස් මොරන් නම් නළුවෙකි. ඩියුක් මොරිසන් හෙවත් ජෝන් වේන් ට ලැබුණේ 5 වෙනි සහය චරිතයයි. ඉන්පසුද ඔහු ඊලග අව්රුද්ද එනම් 1930 වෙන තෙක් තවත් චිත්‍රපට 6 ක පමණ සුළු චරිත රඟපෑවේය. 1930 දී ඔහු ප්‍රධාන චරිතය රඟපෑ ප්‍රථම චිත්‍රපටය තිරගත විය. ඒ 'ද බිග් ට්‍රේල්' ය. ඔහු 'ජෝන් වේන්' නමින් සිනමා ලෝකයට ඇතුල් වූයේ මෙම චිත්‍රපටයෙනි. ඒ වන විට ඔහුගේ වයස අවුරුදු 23 ක් පමණ විය. 'ද බිග් ටේ‍්‍රල්' ඔහුගේ චරිතයේ නම වූයේ 'බ්‍රෙක් කොලිමෑන්' ය. 'ජෝන් වේන්' ව ප්‍රධාන චරිතයකින් ලොවට හදුන්වා දීමේ ගෞරවය හිමි වන්නේ 'ද බිග් ට්‍රේල්' චිත්‍රපටයේ අධ්‍යක්ෂක 'රාඕල් වොල්ශ්' ටය.

ජෝන් වේන් 1926 සිට 1976 දක්වා චිත්‍රපට 170 ක් පමණ රඟපා තිබුණි. එයින් බොහෝ චිත්‍රපට ගොපලු චිත්‍රපට විය. හොලිවුඩ් පුරයේ විශාලතම සංඛ්‍යාවක රඟපෑ එකම නළුවා ජෝන් වේන් විය. ඔහුගේ අවසන් චිත්‍රපටය වූයේ 1976 වසරේ ප්‍රදර්ශනය කෙරූ ඩොන් සීගල් අධ්‍යක්ෂණය කළ 'ද ෂූටිස්' ය. එයද ගොපලු චිත්‍රපට විය. 1977 වසරේ තිරගත කළ 'ස්ටාර් වෝස්' හඬ කැවීමට ජෝන් වේන් එකතු වූ අතර, 1979 වන තෙක් රූපවාහිනි මාධ්‍යට එකතු වී රඟපෑම් මෙන්ම විවිධ වැඩසටහන් ඉදිරිපත් කරන්නෙකු ලෙස සහභාගී වී තිබුණි. එලෙසම ඔහු 31 වෙනි, 32 වෙනි, 42 වෙනි, 44 වෙනි, 47 වෙනි, හා 51 වෙනි ඇමරිකානු ඇකඩමි (ඔස්කාර්) සම්මාන උලෙළවල්වල පුරකයා ලෙස සහභාගී වී තිබුණි. ඔහුගේ රඟපෑමට මෙන්ම ඔහුගේ හඬට ද දැඩි ඉල්ලුමක් තිබුණි. ජෝන් වේන් චිත්‍රපට 170 ගණනක රඟපෑවද, ඔහුට හොඳම නළුවාට හිමි ඇමරිකානු ඔස්කාර් ඇකඩමි සම්මානය ලැබුණේ එක් වරක් පමණි. ඒ 1969 දී තිරගත කළ 'ටෲ ග්‍රීට්' චිත්‍රපටයට ය. ඔහු එහී රඟපෑවේ එක් ඇසක් කළු පාට ආවරණයකින් වසා ගත් මාර්ෂල් රූස්ටර් කොග්බර්න් ගේ චරිතය ය.

'හටාරි' ජෝන් වේන්ගේ 146 වෙනි චිත්‍රපටය විය. ඔහුගේ ගොපලු චිත්‍රපට ශානරයෙන් මිදුණු චිත්‍රපටයකි 'හටාරි'.

නිෂ්පාදක ,අධ්‍යක්ෂක හෝවර්ඩ් හෝක්ස් ට තම හටාරි චිත්‍රපටයට ජෝන් වේන්ට අමතරව, ක්ලාක් ගේබල්වද, චිත්‍රපටයට රංගනයෙන් එකතු කර ගැන්මට අවශ්‍ය වී තිබුණි. එහෙත් ක්ලාක් ගේබල් 1960 දී මිය ගිය නිසා, හෝක්ස්ට තම අදහස මුදුන්පත් කර ගැන්මට නොහැකි විය.

'හටාරි' කථාව ගෙතී ගියේ නැගෙනහිර අප්‍රිකාවට අයත් නගරයක් වූ 'ටැන්ගැන්යිකා' හී තිබූ ⁣'මොමෙලා ගේම්' සමාගම විසින් සිදුකෙරෙන, අප්‍රිකානු කැලෑවල සිටින සතුන් අල්ලාගෙන ,සත්වෝද්‍යාන, හා සර්කස් වලට භාර දීම සම්බන්ධවය. මෙම සතුන් ඇල්ලීම පිනිස ඔවුන් කැලෑපාරවල් වල වේගයෙන් යා හැකි වාහන, හා විශාල කූඩ, වාහනේ යන ගමන් සතුන්ව අල්ලන කඹ , අවශ්‍ය වුවහොත් තුවක්කු පවා ගෙන යන ලදී.

මොමෙල්ලා සමාගම විසින් මෙය ට සුදුසු දක්ෂ කණ්ඩායමක් එකතු කර ගෙන තිබුණි. එහී නායකත්වය දැරුවේ සතුන් අල්ලගැනීමේ හපන්කම් ඇති අතී දක්ෂයෙකු වූ අයිරිශ්, ඇමරිකන් සමිශ්‍ර ජාතිකයකු වූ 'ෂෝන් මර්කර්' ය. ඔහුට එකතු වූ අනෙක් අය වූයේ සමාගම නියෝජනය කළ තරුණ කාන්තාවක් වූ බ්‍රැන්ඩි, විශ්‍රාම ගිය රේස් කාර් ඩ්‍රයිවර් කෙනෙක් වූ 'කර්ට් මුලර්', මැක්සිකානු කුළුහරක් සටන් කරුවෙකු වූ ලුවිස් ප්‍රැන්සිස්කෝ, ඉලක්කයට නිවැරදිව වෙඩි තැබීමට දක්ෂ 'ලිට්ල් වුල්ෆ්', ( ද ඉන්ඩියන්) 'පොකට්' නම් නිව්යොර්ක්වල සිටි 'කැබ්' ඩ්‍රයිවර් කෙනෙක් හා ටන්සානියා වලින්ම සොයා ගත් සහයකයන් කීප දෙනෙකි.

කර්ට් හා ඉන්ඩියන් ජීප් රථ දෙක එලවූ අතර, පොකට් විසින් අල්ලා ගත් සතුන්ව රඳවා ගත හැකි විශාල ට්‍රක් රථය එළවන්නට විය. මෙසේ සතුන් අල්ලන්න යෑමෙිදී රයිනෝසිරස්ලව අල්ලා දීමට ප්‍රමුඛත්වයක් දෙන ලෙස සමාගම විසින් ඔවුනට දැනුම් දී තිබුණි. එහෙයින් ඔවුන් රයිනෝසිරස්ලා පසු පස එලවන්නට විය. මෙසේ එළවන විට එක් රයිනෝසිරයෙක් කෝපාවිෂ්ට වී ඉන්ඩියන් ගේ ජීප් රථයට පහර දෙන්නට වූ අතර, එයින් ඉන්ඩියන් ගේ පාදය දරුණු ලෙස තුවාල විය. කාර්ය මණ්ඩලය ඔහුව රෝහලට ගෙන ගිය අතර, එහිදී ප්‍රංශ වෙඩික්කරුවකු වූ 'චිප්ස් මොරේ' ඉන්ඩියන් කරමින් සිටි රැකියාව ඉල්ලා සිටියේය. එතැන ඇතිවූ බහින් බස් වීමකදී කර්ට් චිප්ස්ට පහර දෙන්නට විය. මේ අතර ඉන්ඩියන් ගේ කකුල සුව කිරීමට, ඔහුට ගැළපෙන ලේ අවශ්‍ය විය. එම රුධිර වර්ගය චිප්ස්ට තිබූ හෙයින්, ඔහු සිය කැමැත්තෙන්ම ඉන්ඩියන්ට තම රුධිරය එම කාර්යට අවශ්‍ය ප්‍රමාණය පරිත්‍යාග කළේය. මේ හේතුවෙන් කණ්ඩායමේ නායක ෂෝන් මර්කර්, චිප්ස්ව තම කණ්ඩායමට බඳවා ගතී.

ඔවුන් යළිත් සත්තුන් අල්ලා ගැනීමේ කාර්යයට ගිය අතර, මොමෙල්ලා සමාගම විසින් ඔවුන්ගේ කණ්ඩායමට ඉතාලි ඡායාරූප ශිල්පිනි ඇනා මරියා ඇලෙසැන්ඩ්‍රෝ එවා තිබුණේ, මොමෙල්ලා සමාගමේ ප්‍රධානතම සේවාදායකයා වන 'බාසල් සත්වෝද්‍යාන ය' විසින් ඇයව නියෝජනය කළ නිසාය. පිරිමි ඡායාරූප ශිල්පියෙක්ව බලාපොරොත්තුවෙන් සිටි කණ්ඩායමට තවත් ගැහැනු කෙනෙක් පැමිණීම තරමක විශ්මිත දෙයක් වූයේ, භයානක සතුන්ව අල්ලා යන ගමනේදී ගැහැනු කෙනෙකුට එයට නිර්භීතව මුහුණ දීමට හැකියාවක් තිබේද යන්න ඇති ගැටලුව සමඟිනි. දැනට කණ්ඩායමේ සිටින එකම කාන්තාව වූ බ්‍රැන්ඩි සතුන් ඇල්ලීමෙ පළපුරුදු කාන්තාවක් හෙයින් එය ප්‍රශ්නයක් නොවීය. එහෙයින් ඇනා මරියාගේ මෙම නියෝජනයට ⁣කණඩායමේ නායක ෂෝන් මර්කර් දැඩි ලෙස විරුද්ධ වූවද, එය තමා රැකියාව කරන සමාගමේ තීරණයක් නිසා ඔහුට එයට යටත් වීමට සිදුවිය. ෂෝන් හැරෙන්නට කණ්ඩායමේ අනිත් අයට නම් ඇනා මරියාගේ පැමිණීම සතුටක් විය. එහෙයින් ෂෝන් අකමැත්තෙන් වුවද ඇයව ජිරාෆ්ව අල්ලා ගැනීමේ කණ්ඩායම සමඟ යැවීමට තීරණය කළේය.

කණ්ඩායම තුළ සාමුහිකත්වය අත්‍යාවශ්‍ය වූවද, චිප්ස් හා කර්ට් අතර ඇති අසමගිකම පහව ගියේ නැත. එය චිප්ස් අතර නොතිබුණද, කර්ට්, චිප්ස්ගේ මුල් හමුවීමේ සිටම ඔහු සමඟ සිටියේ ආරවුලකින් මෙනි.

ඇනා මරියා කණ්ඩායම තුළ උද්යෝගිමත්ව, මෙන්ම සතුටින් තම කාර්ය කරමින් සිටි අතර, ෂෝන් ඇයගේ පැමිණීමට අකමැත්තෙන් සිටින බවද ඇය දැන සිටියාය. එහෙත් ඇය ෂෝන්ට ප්‍රිය කළාය. ෂෝන් ගේ පළමු පෙම්වතිය ඔහුව අතහැර ගොස් ඇති බවද, ඇනා මරියා දැන ගත් අතර ඔහු මොන තරම් උද්යෝගිමත්ව මේ භයානක සතුන් ඇල්ලීමේ කාර්ය කළද, ඔහුගේ සිතේ කිසියමි කලකිරීමක් ඇති බවක් ඇයට වැටහුණු අතර, ඇයගේ පැමිණීමට ඔහු අකමැති වන්නට හේතුවත් එම කලකිරීම හෝ පළමු පෙම්වතියගේ වෙන්වීම නිසා ඇතිවුණු මානසීක අසහනය බව ඇය නිගමනය කළාය. මේ හෙයින් ඇය ටිකෙන් ටික ෂෝන්ට ළංවන්නට උත්සහා කළාය.

බහුදින සංචාරයකදී කාර්ය මණ්ඩලය කැලෑ ගම්මානයක් හරහා යන විට එහී සිටි ක්‍රීඩා පාලකයෙකු විසින් හොර අලියෙකු මරා දමයි. ෂෝන් ඇතුළු කණ්ඩායම එම අලියා ගේ පැටවෙකු සොයා ගනී. එම පැටවා දුටු සැණින්ම ඇනා මරියා ට පැටවාව හදා ගැන්මට උවමනා වෙයි. එයට ⁣ෂෝන් විරුද්ධ වූවද ඇය එම අලි පැටවාව ජීප් රථයට දමා ගනී.

අලි පැටවා ට කිරි දීමට ඇයට එළු කිරි සොයා ගැනීමට සිදු වේ. එයට කාර්ය මණ්ඩලය ඇයට උපකාර කරනුයේ ෂෝන්ගේ විරුද්ධතාවයද නොතකාය.

 

කර්ට් හා චිප්ස් බ්‍රැන්ඩි වෙත ආකර්ෂණය වන අතර, ඔවුන් දෙදෙනාම විවෘතව ඇය සමඟ ගැවසී ඇයට උපකාර කරන්නට විය. ඒ අතරේදී පොකට්ස් ඇයට රහසින් ආදරය කරන්නට විය.

කණ්ඩායම සීබ්‍රාවෙක්, දිවියෙක්, ඔරික්ස් ගැසෙල්ලා නම් සත්වයෙක්, මී හරකෙක්ව අල්ලා ගනී. චිත්‍රපටයේ එසේ සතුන් අල්ලන දර්ශන ඉතාමත් ත්‍රසජනකව, එමෙන්ම ආකර්ෂණීය ලෙස ඉදිරිපත් කර තිබුණි.

මේ අතර ඔවුන් යන ජීප් රථයක ටයරයක ට රයිනෝසිරයෙක් විසින් ප්‍රහාරයක් එල්ල කල නිසා එම ජීප් රථය පෙරළෙයි. එය සිදුවන්නේ මොවුන් එකී රයිනෝසිරස්ව ව හඹා යන විටය. එම පෙරළීමෙන් කර්ට්ගේ උරහිසේ ඇටය පැනූ අතර චිප්ස්ගේ කකුල දරුණු ලෙස උළුක්කු විය. එදිනම පොකට්ස් උස වැටකින් බිමට වැටෙන්නට විය. එහෙත් ඔහුට අනතුරක් සිදුවූයේ නැත. ඉන්ඩියන් රෝහලින් පිට විය. ඒ වන විට ඔහුගේ තත්වය සුව අතට හැරී තිබුණි. ඉන්ඩියන් පැමිණිනු පසු ෂෝන් ඔහු හා එක්ව රයිනෝසිරස්ව ඇල්ලීමට සැලසුම් කර ගති.

පොකට් විසින් කුඩා රොකට්ටුවකට දැලක් සවි කර, එම රොකට්ටුව පා කර හැර ගස්වල සිටින 'වර්වට් නම් වඳුරු ' වර්ගයෙන් 500ක් පමණ ඇල්ලීය. එය නම් අපූරුම ක්‍රියාවක් වූ අතර කණ්ඩායමේ සියලු දෙනාම පොකට් ගේ එම ක්‍රියාවලියට විශ්මිත වූවා සේම, ඔවුන්ගේ ඉහළ ප්‍රශංසාවට ඔහු ලක්විය. කණ්ඩායමේ අයටත් වඩා විශ්මිත වූයේ පොකට්මය. ඔහුට ඒ තරම් දෙයක් කිරීමට හැකි බව ඔහු දැනගත්තේද එදිනය.

ෂෝන් ට ඇනා මරියා දැඩි ඇල්මක් දක්වන බව ඔහුට වැටහුණි. එය වඩාත් තහවරු වූයේ එක් රැයක ඇය ඔහු සොයා විත්, ඇයව සිප ගන්නට කියා ඉල්ලු විටය. ෂෝන් ඇයව සිප ගතී. එතැන් පටන් ඔවුන් දෙදෙනාගේ සමීප ඇසුර ආරම්භ විය. නමුත් ඇනා මරියාට නිතරම වැටහුනේ ෂෝන් ඇයගෙන්, ඔහුගේ පරණ පෙම්වතියව දකින්නට උත්සහා කරන බවකි.

ඇනා මරියා ට කැලෑවෙන් හමුවුණු අලි පැටවාට අමතරව ඔවුන් තවත් අලිපැටව් දෙදෙනෙකු සොයා ගෙන තිබුණි. ඔවුන් තිදෙනාම ෂෝන් ඇතුළු කණ්ඩායමේ කඳවුරේ හැදෙන්නට විය.

බොහෝ සතුන් ඔවුන් විසින් අල්වා ගත්තද, ඔවුනට රයිනෝසිරස් ව අල්ලා ගැන්මට නොහැකි විය. ඔවුන් කීප වතාවක්ම රයිනොසිරස් පසු පස එළවූවද, ඔවුන්ට අල්වා ගැන්මට නොහැකි විය. මේ හෙයින් රයිනෝසිරස්ද කුපිත වී සිටි අතර, ඌ නිතරම බැලුවේ එක් ජීප් රථයකට හෝ හානි කිරීමටය. චිත්‍රපටයේ ත්‍රාසජනකම අවස්ථාවන් වූයේ මේ රයිනෝසිරස් හා කණ්ඩායම අතර ඇති වන 'බැටල්' එකය. අවසානයේදී විශාල ප්‍ර⁣යත්තයකින් ඔවුන් රයිනෝසිරස්ව අල්ලා ගතී. එයට ඉන්ඩියන්ගේ මැදිහත් වීම විශාල උපකාරයක් විය.

ෂෝන් තමා තුළින් ඔහුගේ පළමු පෙම්වතියව දකින නිසා, ඇය ඒ පිළිබඳව ෂෝන්ට ලිපියක් ලියා ඔවුන්ගෙන් වෙන්වී යන්නට උත්සහ කෙරීය. එහෙත් ෂෝන් එ⁣වැනි දෙයක් නොමැති බවක් කියා ඔහු ඇනා මරියාව විවාහ කර ගන්නට කැමති බව කීය.

ඔවුන් ගේ විවාහය කණ්ඩායමේ සියලු දෙනා ඉදිරියේ සිදුවූ අතර, විවාහ උත්සවයෙන් පසු ඔවුන් මධුසමය පිණිස ඔවුන්ට වෙන් කර තිබූ කාමරයට යන විට ඔවුන් දුටුවේ ඔවුන් ළඟ සිටි හුරතල් අලි පැටව් තුන්දෙනා ඔවුන් මධුසමය ගත කිරීමට තිබූ යහන කඩා බිමට දමා තිබූ අන්දමය.

ෂෝන් මර්කර් ලෙස ජෝන් වේන්, ඇනා මරියා ලෙස එල්සා මාර්ටිනෙලි, හා කර්ට් මුලර් ලෙස හාඩි කෘගර් ප්‍රධාන චරිතවලට එක්වූ 'හටාරි' චිත්‍රපටයේ පොකට් ලෙස රෙඩ් බටන්ස්, චිප්ස් ලෙස ජෙරාඩ් බ්ලේන්, ඉන්ඩියන් ලෙස බෘස් කැබොට්, බ්‍රැන්ඩි ලෙස මිචෙලි ජිරාර්ඩොන්, සෙසු ප්‍රධාන චරිත රඟපෑහ.

'හටාරි' මුල් වටයේම විශාල බොක්ස් ඔෆිස් ආදායමක් ලැබීය. එය දළ වශයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 12 1/2 විය. ඉන්පසුද එය ලොව වටා ප්‍රදර්ශනය කිරීමෙන් විශාල ආදයමක් ලැබීය. එය 1962 වර්ෂයේදී වැඩිම ආදායම් ලද චිත්‍රපට අතරින් 7 වන ස්ථානයට පැමිණ තිබුණි.

35 වෙනි ඇමරිකන් ඇකඩමි- ඔස්කාර් සම්මාන උලෙළේදී හොඳම වර්ණ කැමරාකරණය සඳහා 'හටාරි' චිත්‍රපටයේ කැමරා අධ්‍යක්ෂක රසල් හාලන් නිර්දේශිත වූවද, එම සම්මානය එවර හිමි වූයේ 'ලෝරන්ස් ඔෆ් ඇරේබියා' චිත්‍රපටයේ කැමරා අධ්‍යක්ෂක වරයාටය.

විනාඩි 157 ක් එනම් පැය 2කක් හා විනාඩි 37 ක ධාවන කාලය තුල නිශ්පාදක අධ්‍යක්ෂක හොවඩ් හෝක්ස් විසින් පෙන්වූ 'හටාරි' චිත්‍රපටයට අදට අවුරුදු 60 ක් ගත වුනිද, තවත් ශත වර්ෂ ගණනාවකටම සරිලන සේ අධ්‍යක්ෂණය වී තිබීම ඇත්තෙන්ම විශ්ම ජනකමය.