ධනුෂ්-ඓශ් ආදර කතාවටත් නැවතීමේ තිත

ජනවාරි 27, 2022

දකුණු ඉන්දීය නළු ධනුෂ් අවසන් වරට පෙනී සිටියේ 'අත්‍රංගි රේ' හින්දි චිත්‍රපටයේ වන අතර ඔහුගේ එම රංගනය ප්‍රේක්ෂක මෙන්ම විචාරක පැසසුමට ලක් විය. ධනුෂ් යනු මේ වන විට සම්මානනීය නළුවෙකි. ෆිල්ම්ෆෙයාර් සමඟ කළ විශේෂ සම්මුඛ සාකච්ඡාවකදී ධනුෂ් අහම්බෙන් නළුවෙකු වූ අයුරු සිහිපත් කළේය. "මට කවදාවත් නළුවෙක් වෙන්න ඕන වුණේ නෑ. මගේ හදවත මෙතන තිබුණේ නැහැ. මට පොඩි කාලේ ඉඳන්ම රංගනයට බල කෙරුණා. කාලයකට පසු මට මහේන්ද්‍ර නම් ජනප්‍රිය සිනමාකරුවා මුණගැසුණා. ඔහු චිත්‍රපටයක් ගැන කතා කරන විට පැවසුවේ, ඔබ දැන් තරුණයි. මම ඔබ තුළ දකින දේ ඔබට පෙනෙන්නේ නැහැ. නමුත් ඔබ මෙය බැරෑරුම් ලෙස ගත යුතුයි. ඔබට තෑග්ගක් ඇත. ඔබ එය ඉක්මනින් දකිනු ඇතැයි මම බලාපොරොත්තු වෙනවා" යනුවෙනි.

ධනුෂ් පවසන්නේ චිත්‍රපට කර්මාන්තයට පිවිසෙන විට ඔහුගේ පෙනුම නිසා බොහෝ දෙනෙකු ඔහුට දැඩි ලෙස සමච්චල් කළ බවයි. ධනුෂ් එම අතීතය සිහිපත් කරමින් පවසන්නේ එදා ඔහු එම අවස්ථාවට මුහුණදුන් ආකාරය ගැන ආඩම්බර වන බවයි. "එවිට මගේ වයස වයස අවුරුදු 16 යි. මගේ පෙනුම සම්බන්ධයෙන් මම බොහෝ විවේචනවලට මුහුණ දුන්නා. නමුත් මට බ්ලොක්බස්ටර් සාර්ථකත්වයන් ගොඩක් ලැබුණා. ඒ වගේම අසාර්ථකත්වයන්ට මුහුණ දෙන්නත් සිදු වුණා. මේ හැමදේම වුණේ මම ගොඩක් තරුණ කාලයේ. දැන් මම පරිණත වෙලා. මට අත්දැකීම් තියෙනවා. තත්ත්වය හසුරුවන්නේ කොහොමද කියලා දැන් මම දන්නවා".

නමුත් පසුගිය සඳුදා රාත්‍රියේ ධනුෂ් තැබූ ඉන්ස්ටග්‍රෑම් සටහන ඔහුට හිතැති බොහෝ දෙනා කණස්සල්ලට පත් කරන්නට සමත් විය. එයින් කියවුණේ බිරිය ඓශ්වර්යා රජිනිකාන්ත් සමඟ එක්ව පැමිණි ගමනට නැවතීමේ තිත තබන බවයි. "වසර 18ක් එකට මිතුරන්, අඹුසැමියන් ලෙස, මවුපියන් ලෙස, එකිනෙකාට සුබ පතන්නන් ලෙස එක්ව ගමනක් පැමිණියා. නමුත් අද අපි ඉන්නේ අපේ මංපෙත් වෙන් වෙන තැනක. ඓශ්වර්යා සහ මම යුවළක් ලෙස වෙන්වීමට තීරණය කළා. හොඳ පුද්ගලයන් ලෙස අපව තේරුම් ගැනීමට කාලය ගන්න. කරුණාකර අපගේ තීරණයට ගරු කර මේ වෙනුවෙන් අවශ්‍ය පෞද්ගලිකත්වය අපට ලබා දෙන්න" එම සටහනේ සඳහන් විය.

ධනුෂ් මෙන්ම ඓශ්වර්යාද ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ සිය වෙන්වීමේ සටහන තැබුවාය.

ඓශ්වර්යාගේ එම සටහනෙහි සිරස්තලය වූයේ මෙලෙසිනි. "සිරස්තලය අවැසි නොවේ. අවැසි වන්නේ ඔබේ අවබෝධය සහ ඔබේ ආදරය පමණකි".

ධනුෂ් සහ ඓශ්වර්යා 2004 නොවැම්බර් 18 වන දින විවාහ වූයේ මාස හයක කෙටි පෙම් සබඳතාවයකින් පසුවය. ඒ වන විට ධනුෂ්ගේ වයස අවුරුදු 21 ක් වූ අතර ඓශ්වර්යාගේ වයස අවුරුදු 23 ක් විය. අවුරුදු දෙකක වයස් පරතරය ඔවුන්ගේ ආදර කතාවට කිසි විටෙකත් ප්‍රශ්නයක් නොවීය. ඔවුන්ගේ කැදැල්ලේ පුතුන් දෙදෙනෙකු සිටී. 2013 දී සම්මුඛ සාකච්ඡාවකදී ඓශ්වර්යා ඔවුන්ගේ සම්බන්ධතාවය ගැන පැවසුවේ ධනුෂ් සහ තමා එක්වීම 'දෙවියන්ගේ කැමැත්ත' බවයි. ධනුෂ් සහ ඓශ්වර්යා මුණගැසුණේ ඇල්බට් රඟහලේ ධනුෂ් රංගනයෙන් දායක වු කාදල් කොන්ඩෙයින් (2003) නැරඹීමට ගිය අවස්ථාවේදීය. පසුව ඇය ඔහුගේ රංගනය අගය කරන සටහනක් සමඟින් ඔහුට මල් එවා තිබූ අතර ධනුෂ් නැවත කතා කළේ ස්තූති කිරීමටය. එම කතාබහේ ප්‍රතිඵලය වූයේ පෙම් පුවතකි. "ධනුෂ් සහ මම විවාහයෙන් පසුව එකිනෙකා හඳුනා ගත්තා. අපගේ රුචිකත්වයන් පවතින්නේ කොතැන දැයි ඉගෙන ගත්තා. කාලයක් තිස්සේ අපගේ ස්වභාවයන් සොයා ගත්තා. අපගේ සම්බන්ධතාවයේ හොඳම දෙය නම් අපි එකිනෙකාට ඕනෑ තරම් නිදහස ලබා දීමයි" ඓශ්වර්යා වරෙක පවසා තිබුණා.

ධනුෂ් යනු චිත්‍රපට නිෂ්පාදකයෙකු වන කස්තුරි රාජාගේ පුත්‍රයා වේ. ඓශ්වර්යා දකුණු ඉන්දීය සුපිරි තරුව වන රජිනිකාන්ත්ගේ වැඩිමහල් දියණියයි. කාලයත් සමඟ ධනුෂ් වඩාත් දක්ෂ නළුවෙකු ලෙස දකුණු ඉන්දීය කර්මාන්තයේ කීර්තියට පත් වූවත් ඔහු එය දකුණට පමණක් සීමා කළේ නැත. බොලිවුඩයටද පිවිසි ඔහු දැන් හොලිවුඩ් නිර්මාණයකටද සූදානම් වී සිටින්නේය. ඓශ්වර්යා චිත්‍රපට නිෂ්පාදකවරියක් සේම අධ්‍යක්ෂවරියකද වන්නීය. තරු බවට පත්වීමත් සමඟ බොහෝ දෙනෙකුට කටකතා මෙන්ම සම්බන්ධතා ඇති වීම සුලබව දක්නට ලැබෙන දෙයකි. ධනුෂ්ගේ ජීවිතයේ ඓශ්වර්යා සිටියද ජනප්‍රිය දකුණු ඉන්දීය නිළියන් වන ශ්‍රති හසන් සහ ත්‍රිෂා ක්‍රිෂ්ණන් සමඟ වූ හිතවත්කම් ප්‍රවෘත්තිවලට ලක් විය.

ධනුෂ් රඟපෑ ප්‍රේමාන්විත ත්‍රාසජනක චිත්‍රපටයක් වන '3' ඓශ්වර්යාගේ මංගල අධ්‍යක්ෂණය සනිටුහන් විය. එහි ප්‍රධාන කාන්තා චරිතය සඳහා ඇය තෝරා ගත්තේ ඇගේ ළමා කල මිතුරිය වූ ශ්‍රති හසන්ය. චිත්‍රපටයට හා එහි ආදර කතාවට මිශ්‍ර ප්‍රතිචාර ලැබුණු අතර එයටත් වඩා එකල කොලිවුඩයේ බොහෝ කතාබහට ලක් වූයේ, තිරය පිටුපස වූ ධනුෂ් සහ ශ්‍රතිගේ ආදර කතාවකි. එම හේතුව නිසාම චිත්‍රපටයේ ප්‍රවර්ධන කටයුතු අතරතුර ධනුෂ් සහ ඓශ්වර්යා අතර හිත නොහොඳකම් ඇති වූ බව වාර්තා වේ.

2015 දී වරුන් මනියන් සමඟ ත්‍රිෂා ක්‍රිෂ්ණන්ගේ විවාහ ගිවිස ගැනීම බිඳ වැටීමට හේතුව ධනුෂ් බවට කටකතා පැතිර යන්නට විය. මේ අතර ත්‍රිෂා ධනුෂ් සමඟ සාදයකට සහභාගි වූ ඡායාරූප රැසක් අන්තර්ජාලයට එකවූයේ ඔවුන් දෙදෙනා අතර ප්‍රේම සම්බන්ධයක් පවතින බවට පැතිර ගිය කටකතාවලට එම ඡායාරූප ශක්තියක් වෙමිනි. කෙසේ වෙතත් ධනුෂ් මෙන්ම ත්‍රිෂා ද කටකතාවලට කිසි විටෙකත් ප්‍රතිචාර දැක්වූයේ නැත.

මේ අතර රජිනිකාන්ත් විසින් ධනුෂ් "රත්තරං කොල්ලා" යැයි හඳුන්වා දෙනු ලබන පැරණි වීඩියෝවක් අන්තර්ජාලයට නිකුත් වී ඇත්තේ මේ සම්බන්ධයෙන් එල්ල වන විවේචනවලට ප්‍රතිප්‍රතිචාරයක් වශයෙනි. එම වීඩියෝව ධනුෂ් විසින් නිෂ්පාදනය කර රජිනිකාන්ත් රංගනයෙන් දායක වූ Kaala (2018) චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරකපටය නිකුත් කිරීමේ උත්සවයේදී රජිනිකාන්ත් විසින් කරන ලද කතාවේ කොටසකි. ධනුෂ් සිය නිෂ්පාදන ආයතනය පවත්වාගෙන යන ආකාරය ගැන තමා ආඩම්බර වන බව පවසන රජිනිකාන්ත් ධනුෂ් දක්ෂ නළුවෙකු පමණක් නොව "රත්තරං කොල්ලෙක්" බව ද සඳහන් කළේය. "මම මේක කියන්නේ ධනුෂ් මගේ බෑනා නිසා නෙවෙයි. ඒත් එයා රත්තරං කොල්ලෙක්. ඔහු තම දෙමාපියන්ට ගරු කරයි. ඔහු තම බිරිඳව හොඳීන් රැකබලා ගනී. ඔහු හොඳ පියෙක් සහ හොඳ බෑනා කෙනෙක්. ඒ වගේම ඔහු ඉතා දක්ෂයි" රජිනිකාන්ත් පැවසීය. ධනුෂ් සමඟ ඇති සම්බන්ධය ගැන රජිනිකාන්ත් ප්‍රසිද්ධියේ විවෘතව කතා කළ පළමු සහ එකම අවස්ථාව එය විය.

තවමත් ධනුෂ් හෝ ඓශ්වර්යා සිය වෙන්වීමට පැහැදිලි හේතුවක් ඉදිරිපත් කර නොමැත. ධනුෂ්ගෙන් වෙන්වීමෙන් පසු ඓශ්වර්යා රජිනිකාන්ත් ආදරවන්තයන්ගේ දිනය වෙනුවෙන් ආදර ගීතයක් අධ්‍යක්ෂණය කළාය. නවතම කොලිවුඩ් වාර්තා ගෙන එන්නේ ධනුෂ් සහ ඓශ්වර්යා වෙන්වීමට තීරණය කළ බව දැනගත් රජිනිකාන්ත්, එය නිවැරදි කර ගැටලුව සමතයකට පත් කිරීමට උත්සාහ කළ නමුත් ධනුෂ්, රජිනිකාන්ත් හමුවීම මඟහැර සිටි බවයි.