වර්ෂ 2023 ක්වූ December 03 වැනිදා Sunday
ඇකඩමි සම්මාන දිනූ මුල්ම කළු නළුවා සිඩ්නි පොයිටියර්

සිඩ්නි පොයිටියර් යනු හොලිවුඩ් තරු අතර සුවිශේෂි තරුවකි. තවත් අයුරකින් කිවහොත් හොලිවුඩ් සිනමාවේ කළු නළුවන්ගේ පෙර ගමන්කරු යැයි සඳහන් කිරීම වඩා නිවැරදිය. ජාතිය පිළිබඳ ඇමරිකානු සංකල්ප වෙනස් කරමින් කළු ජාතික නළුවන්ගේ නව පරම්පරාවකට දොර විවර කරන ලද්දේ සිඩ්නි පොයිටියර් විසිනි. දශක හයක දිගු වෘත්තීය ජීවිතයේ රිදී තිරය මත නොමැකෙන මතකයක් ඉතිරි කර ඔහු යන්නට ගියේය. හොඳම නළුවාට හිමි ඔස්කාර් සම්මානය දිනාගත් පළමු කළු ජාතිකයා වූ සිඩ්නි පොයිටියර් පසුගිය සිකුරාදා ඔහුගේ නිවෙසේදී අවසන් හුස්ම හෙළූ බව බහමාස් විදේශ අමාත්‍ය ෆ්‍රෙඩ් මිචෙල් පසුගිය සිකුරාදා තහවුරු කළේය. ඒ වන විට ඔහු 94 වැනි වියේ පසු විය.
1963 වසරේදී සිඩ්නි පොයිටියර් හොඳම නළුවාට හිමි ඇකඩමි සම්මානය (ඔස්කාර්) දිනා ගත්තේ "ලිලීස් ඔෆ් ද ෆීල්ඩ්" චිත්‍රපටයේ රංගනය වෙනුවෙනි. එකල පොයිටියර් හොලිවුඩයේ ඉහළම මුදලක් ලබන නළුවෙකු බවට පත් වූයේ එම ලැයිස්තුවේ පස් වැනි ස්ථානයට පැමිණීමෙනි. ඔහුට ඉදිරියෙන් සිටියේ රිචඩ් බර්ටන්, පෝල් නිව්මන්, ලී මර්වින් සහ ජෝන් වේන් පමණි.
විචාරකයන් හඳුන්වා දෙන්නේ පොයිටියර් බොහෝ විට සීමාකාරී, සාන්තුවර භූමිකාවන්හි නිරත වූ නළුවෙකු ලෙසිනි. හොලිවුඩයේ ආදරණීය චරිත බොහොමයක් ඔහු හට හිමි නොවීය. පොයිටියර් වරෙක සම්මුඛ සාකච්ඡාවකදී (1967) ඔහුගේ චිත්‍රපට චරිත පිළිබඳ මෙසේ පැවසීය. "සමාජයේ ව්‍යුහය වෙනස් නම් දුෂ්ට චරිත රඟ දැක්වීමට සහ විවිධාකාර මානයන්ගෙන් යුත් නීග්‍රෝ ජීවිතයේ විවිධ රූප සමඟ ගනුදෙනු කිරීමට මම කැමැත්තෙමි". "නෝ වේ අවුට්" (1950) චිත්‍රපටයේ ඔහු ජාතිවාදී රෝගියෙකු විසින් පීඩාවට පත් වූ වෛද්‍යවරයෙකු ලෙස ද, "බ්ලැක්බෝර්ඩ් ජන්ගල්" (1955) හි නිව් යෝර්ක් නගරයේ පොදු පාසලක කරදරකාරී ශිෂ්‍යයෙකු ලෙසද චරිත නිරූපණය කළේය. "ද ඩිෆයින්ට් වන්ස්" (1958 ) පොයිටියර් තරුවක් ලෙස ස්ථාපිත කළ චිත්‍රපටය ලෙස හැඳීන්විය හැකිය. එහි පලා යන සිරකරුවෙකු ලෙසින් කළ රංගනයට ඔහු හොඳම නළුවා වෙනුවෙන් වූ ඇකඩමි සම්මානය සඳහා නාම යෝජනා අතර ඇතුළත් විය. 1967 දී පොයිටියර් හොලිවුඩයේ ඉහළම ආදායම් ඉපැයූ චිත්‍රපට තුනකට රංගනයෙන් දායක වීමට වරම් ලද අතර එම චිත්‍රපට පොයිටියර් ජනප්‍රියත්වයේ උච්චතම ස්ථානයට ඔසවා තැබීය. "ඉන් ද හීට් ඔෆ් ද නයිට්" චිත්‍රපටයේ ඔහු අන්තවාදී පොලිස් නිලධාරියෙකු වූ අතර " ටූ සර්, විත් ලව්" චිත්‍රපටයේ ඔහු ලන්ඩන් උසස් පාසලක ගුරුවරයෙකු විය. පොයිටියර් සිය රංගන ජීවිතය පුරාම ඔහු රඟපෑ චරිත මත වාර්ගික වැදගත්කමක් දරා සිටියේය. "මා විසින් කරන්නා වූ සෑම චලනයකින්ම මිලියන ගණනාවක ජනතාවක් නියෝජනය කරනවාක් මෙන් හැඟේ" ඔහු වරෙක පැවසීය. හොලිවුඩය දිනූ නළුවෙකු, අධ්‍යක්ෂවරයෙකු, නිෂ්පාදකවරයෙකු වීමට ඔහු පැමිණි ගමන අතිශය දුෂ්කර එකක් විය.
පොයිටියර් හැදී වැඩුණේ බහමාස් හි නමුත් 1927 පෙබරවාරි 20 වැනි දින ඔහු උපත ලැබුවේ මියාමි හිදීය. ඔහුගේ මාපියන් සිය තක්කාලි අස්වැන්න විකිණීම සඳහා නිතිපතා මියාමි වෙත සංචාරය කිරීම එයට හේතු විය. දරුවන් හත් දෙනෙකුගෙන් බාලයා වූ ඔහුගේ ඇඳුම් නිම වූයේ පිටි ගෝනිවලිනි. පොයිටියර් පවුල 1937 දී කැට් අයිලන්ඩ් සිට නසාවු වෙත යන තෙක් කුඩා සිඩ්නි පොයිට්යර් කිසි දිනෙක මෝටර් රථයක් දැක තිබුණේ නැත. එපමණක් නොව අයිස්ක්‍රීම් රස බලා තිබුණේ ද නැත.
වයස අවුරුදු 12 දී පොයිටියර් පාසලෙන් ඉවත් වී කම්කරුවන්ගේ කාර්ය මණ්ඩලයේ ජල සේවකයෙකු බවට පත්විය. ඔහු ළමා ශ්‍රමිකයෙකු බවට පත්වීම ගැන කනස්සල්ලට පත් වූ ඔහුගේ මාපියන් ඔහුට වයස අවුරුදු 14 වන විට දී විවාහක සහෝදරයෙකු සමඟ ජීවත් වීමට ඔහු මියාමි වෙත යවා ඇත. වසරකටත් අඩු කාලයකදී මියාමි සිට නිව් යෝර්ක් වෙත පලා ගියේය. එදින ඔහු අතෙහි වූයේ ඩොලර් 3ක් පමණි. පසුව ඔහු පිඟන් සෝදන්නෙකු ලෙසත් වළවල් හාරන්නෙකු ලෙසත්, කම්කරුවෙකු ලෙසත් බෙදා හැරීමේ සේවකයෙකු ලෙසත් සේවය කළේය. එකල ඔහුගේ ජීවිතය අතිශය කටුක විය.
1943 අග භාගයේදී පොයිටියර් ව්‍යාජ වයසක් ඉදිරිපත් කරමින් හමුදාවට බැඳී ලෝන්ග් අයිලන්ඩ්හි රෝහලක වෛද්‍ය කණ්ඩායමක් සමඟ සේවයට එක් විය. ඒ අතරතුර මානසික ආබාධයක් මවා පාමින් 1945 දී අස්වීමේ අවසරය ලබාගෙන නැවත නිව්යෝර්ක් වෙත ගිය ඔහුගේ ඇස ගැටුණේ ඇම්ස්ටර්ඩෑම් ප්රවෘත්ති පත්‍රයේ වූ ඇමරිකානු නීග්‍රෝ රඟහල නළු නිළියන් සොයන බවට වූ නිවේදනයයි.
ඉංග්‍රීසි භාෂාව උච්ඡාරණයේ අපහසුතාවය හේතුවෙන් රංගන අවස්ථාව නොලද ඔහු හට උපදෙස් ලැබුණේ පිඟන් සෝදන්නෙකු ලෙස රැකියාවේ නිරත වන ලෙසයි. උත්සාහය අත් නොහල පොයිටියර් ගුවන්විදුලි යන්ත්‍රයක් මිල දී ගෙන එය ශ්‍රවනය කරමින් ඉංග්‍රීසි කතා කිරීමට පුරුදු විය. තවද පිඟන් සෝදන ආපනශාලාවේ කාරුණික සහෝදර සේවකයෙක් ඔහුගේ කියවීමට උදව් කළේය. පොයිටියර් අවසානයේ රංගන පාසලේ ස්ථානයක් දිනාගත්තේය. ඔහු වැටුප් නොමැතිව මුරකරුවෙකු ලෙස සේවය කිරීමට ස්වේච්ඡාවෙන් ඉදිරිපත් විය. රඟහලේ නළුවෙකු නොපැමිණි දිනෙක පොයිටියර්ගේ වාසනාව උදා විය. 1946 දී එම නළුවා වෙනුවට ඔහු වේදිකාවට ගොඩ වූයේ "ලයිසිස්ට්රෙටා" හි රංගනය වෙනුවෙනි.
ඔහු "ෂූට් ටු කිල්" (1988), " ලිට්ල් නිකිටා" (1988) සහ " ස්නිකර්ස්" (1992) වැනි ත්‍රාසජනක ක්‍රියාදාම චිත්‍රපටවල විශිෂ්ට රංගනයන් ඉදිරිපත් කළේය. ඔහුගේ රංගන දිවියේ විශිෂ්ටතම චරිත දෙකක් ඔහුට ලබා දුන්නේ රූපවාහිනියයි. 1991 දී ඔහු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු තුර්ගුඩ් මාෂල්ගේ ජීවිතය ගෙන ආ ටෙලි නිර්මාණයක් වන "සෙපරේට් බට් ඊක්වල් " හි ප්‍රධාන චරිතයට පණ පෙව්වේය. 1997 දී ඔහු "මැන්ඩෙලා ඇන්ඩ් ද ක්ලර්ක්" හි නෙල්සන් මැන්ඩෙලා ලෙස ඉහළ පැසසුමට ලක් වූ රංගනයක් ඉදිරිපත් කළේය. එය නෙල්සන් මැන්ඩෙලා සිරගත කිරීමේ අවසන් වසර පිළිබඳව අවධානය යොමු කළ රූපවාහිනී චිත්‍රපටයකි.
ගෝර්ඩන් පාර්ක්ස් සහ මෙල්වින් වෑන් පීබල්ස් වැනි කළු ජාතික සිනමාකරුවන්ගේ නැඟීමත් සමඟ 70 දශකයේ මුල්භාගයේ දී එවකට 40 වැනි වියේ පසු වූ පොයිටියර් අධ්‍යක්ෂණය සහ නිෂ්පාදනය වෙත යොමු වූයේය. 1969 දී ඔහු පෝල් නිව්මන් සහ බාබරා ස්ට්රෙයිසන්ඩ් සමඟ එක්ව ෆ්රස්ට් ආටිස්ට් නමින් නිෂ්පාදන සමාගමක් පිහිටුවීමෙන් පසුව "බක් ඇක්ඩ් ද ප්‍රීචර්" (1972) අධ්‍යක්ෂණය කළේය. අනතුරුව ඔහු "අප්ටවුන් සැටර්ඩේ නයිට්" (1974), " ලෙට්ස් ඩූ ඉට් අගේන් " (1975) වැනි ප්‍රහසන චිත්‍රපට අධ්‍යක්ෂණය කළේය. විචාරකයන් ඔහුගේ අධ්‍යක්ෂණය පිළිබඳ එතරම් සැලකුවේ නැති නමුත් උද්යෝගිමත් ප්‍රේක්ෂකයන් ආකර්ෂණය කළ එම චිත්‍රපට බොක්ස් ඔෆිස් වාර්තා තැබීය.
1951 දී ඔහු නර්තන ශිල්පිනියක් සහ නිරූපිකාවක් වන ජුනයිතා මේරි හාඩි සමඟ විවාහ වූ අතර 1965 දී එම විවාහය දික්කසාදයකින් නිම විය. ඔවුන්ට බෙවර්ලි, පෙමිලා, ෂෙරී සහ ජීනා නමින් දියණියන් සිව් දෙනෙක් වෙති. 1976 දී ඔහු "ද ලොස්ට් මෑන්" (1969) චිත්රපටයෙහි ඔහුගේ සහය නිළි ජොආනා ශිම්කස් සමඟ විවාහ විය. ඔවුන්ගේ කැදැල්ලේ අනිකා සහ සිඩ්නි යනුවෙන් දියණියන් දෙදෙනෙක් වෙති. 2001 දී පොයිටියර් හට සිනමාවට කළ මෙහෙවර වෙනුවෙන් ගෞරව ඔස්කාර් සම්මානයක් පිරිනමන ලදී. ඔහුට 1995 දී කෙනඩි මධ්‍යස්ථානයේ ගෞරව සම්මානයක් ද හිමි විය. 2009 දී ජනාධිපති බැරක් ඔබාමා ඔහුට නිදහසේ ජනාධිපති පදක්කම පිරිනමන ලදී.
පොයිටියර් 1974 දී දෙවැනි එලසබෙත් රැජින අතින් නයිට් පදවිය ද ලබා ඇත.
පොයිටියර් විසින් ඔහුගේ මතක සටහන් ගෙන එන "දිස් ලයිෆ්" කෘතිය 1980දී නිකුත් කළේය. "ද මෙෂර් ඔෆ් අ මෑන්" 2000දී නිකුත් විය. එහි ජීවිතය, ආදරය, රංගනය සහ වාර්ගික දේශපාලනය පිළිබඳ ඔහුගේ සිතුවිලි ඇතුළත් විය. 2008 වසරේදී ලයිෆ් බියොන්ඩ් මෙෂර් : ලෙටර්ස් ටු මයි ග්‍රේට්-ගෑන්ඩ්ඩෝටර් කෘතිය රචනා කළේය.