ජයා රංගනයේ පනස් වසර සපුරන්නීය

ඔක්තෝබර් 28, 2021

1976 වසරේ 'දෝ අන්ජානේ' චිත්‍රපටයේ ප්‍රධාන චරිතවලට පණ දුන් රේඛා සහ අමිතාබ් අතර ප්‍රේම සම්බන්ධයක් ඇති බවට කතා පැතිර යාමත් එම කතා සත්‍ය බවට තහවුරු වන ලෙසින් කළ රේඛාගේ හැසිරීමත් ඒ අතර විශේෂ විය.

 

අමිතාබ් සහ ජයාගේ ආදර කතාවේ ඇරඹුම වූයේද ‘ඒක් නසාර්’ දර්ශනතලයයි.

 

අමිතාබ් සමඟ ඇයගේ පළමු රංගනය වූයේ ‘බන්සි බර්ජු’ (1972) චිත්‍රපටයයි.

 

1975 වසරේ ‘ෂෝලේ’ චිත්‍රපටයෙන් පසුව ජයා රංගන දිවියෙන් සමු ගත්තේ දරුවන් වෙනුවෙනි.

බොලිවුඩ් නළු අමිතාබ් බච්චන් හෙවත් බිග් බී බොලිවුඩයේ පමණක් නොව ආසියාවේම දිගු කාලීනව දිලෙන සුපිරි තරුවකි. අමිතාබ් බිරිය ජයා බහදූරි බච්චන්ද රංගනය වෙනුවෙන් වූ කුසලතාව නිසා බොලිවුඩයේ ඉහළටම පැමිණියාය.

නවයෞවනයේදී සත්‍යජිත් රායිගේ 'මහානාගර්' (1963) බෙංගාලි චිත්‍රපටයෙන් සිනමාවට පා තැබූ ජයා පසුගියදා බොලිවුඩයේ වසර 50 ක් සම්පූර්ණ කළාය. 70 දසකයේ අහිංසක පෙම්වතිය වූ ඇය මේ වන විට සිය දිවියේ 73 වැනි වසර ගත කරන්නීය. ගත වූ වසර ගණනාව පුරා ජයා බච්චන් හින්දි සිනමාවට අමතක නොවන චරිත රැසක් ලබා දුන්නාය.

ජයාගේ දෙවැනි සිනමා රංගනය යෙදුණේ විශිෂ්ට ඉන්දීය සිනමාකරුවෙකු වූ රිෂිකේෂ් මුඛර්ජිගේ 'ගුඩ්ඩි' (1971) චිත්‍රපටයේය. එහි පාසල් දැරියකගේ චරිතයක් මැවූ ඇය රංගනයේ යෙදුණේ ජනප්‍රිය නළු ධර්මේන්ද්‍ර සමඟිනි. 'ගුඩ්ඩි' වාණිජමය වශයෙන් සර්ථක චිත්‍රපටයක් විය.

ඇයගේ රංගන දිවියේ පනස් වසර සලකනුයේ ගුඩ්ඩි තිරගත වීම අනුවයි. සංවේදීභාවය විදහා දක්වන චරිත සඳහා ජයා විශේයෙන් කැපි පෙනුණාය. ගුල්සාර්ගේ 'කොෂිෂ්' (1973) චිත්‍රපටයේ ජයා, සංජීව් කුමාර් සමඟින් ආබාධ සහිත පුද්ගලයන් ලෙස තම දුෂ්කරතා සමඟ පොරබදන බිහිරි යුවළකගේ චරිතවලට පණ පෙවුවාය. එම චිත්‍රපටය සිනමා ජීවිතයේ "ඉගෙනුම් අත්දැකීමක්" ලෙස පෙන්වා දෙන ඇය එම අත්දැකීම අනාගතයේදී සමාජ සේවා කටයුතු වෙනුවෙන් තමා පොලඹවනු ලැබූ බවද සඳහන් කරන්නීය.

අමිතාබ් සමඟ ඇයගේ පළමු රංගනය වූයේ 'බන්සි බර්ජු' (1972) චිත්‍රපටයයි. අනතුරුව අමිතාබ් සහ ජයාගේ රංගනයෙන් හැඩවූ බී.ආර්. ඉෂාරාගේ 'ඒක් නසාර්' චිත්‍රපටයද ඒ වසරේදීම නිකුත් විය.

අමිතාබ් සහ ජයාගේ ආදර කතාවේ ඇරඹුම වූයේද 'ඒක් නසාර්' දර්ශනතලයයි. සොඳුරු අතීතය සිහිපත් කරමින් වරෙක අමිතාබ් පැවසූයේ, එකල සඟරා කවරයක් සරසා තිබූ ජයාගේ ඡායාරූපයක් දෙස තමා නිරන්තරයෙන් බැලූ බවයි. එයට හේතු වූයේ ඇයගේ සුන්දර දෑස් බවද ඔහු පැවසීය.

60 දශකයේ අග භාගයේදී සිනමාවට පිවිසි අමිතාබ් හැත්තෑව දශකයේ දී ඉහළ ජනප්‍රියත්වයක් ළඟා කර ගත්තේ 'කේන්තිකාර තරුණයා' යන අන්වර්ථ නාමය ද සමඟිනි. 1969 වසරේදී 'සාත් හින්දුස්තානි' චිත්‍රපටයෙන් බොලිවුඩයට පිවිසි අමිතාබ් රඟ පෑ මුල් චිත්‍රපට 12ම සාර්ථක ඒවා නොවීය. මේ තත්ත්වය මත බොහෝ නිළියන් ඔහු සමඟ රංගනය ප්‍රතික්ෂේප කරන්නට විය. එහෙත් ජයා, අමිතාබ් සමඟ 1973 වසරේදී 'සංජීර්' චිත්‍රපටයට දායක වූවාය. අමිතාබ් සුපිරි තරුවක වන මාවතට යොමු කළ චිත්‍රපටය එයයි. චිත්‍රපටයේ සාර්ථකත්වය ඔහුට සිනමාවේ වාසනාව ගෙන ආවා සේම එහි ප්‍රධාන නිළි ජයා බහදූරි ඔහුගේ ජීවිතයට වාසනාව ගෙන ආවාය. අමිතාබ්ට සංජීර් ලැබුණේ ජයාලේ බලකිරීම වන බව ප්‍රසිද්ධ කරුණකි. 'අභිමාන්' (1973), 'චුප්කේ චුප්කේ', 'මිලී', 'ෂෝලේ' (1975) අමිතාබ් - ජයා තිරයේ පෙම්වතුන් වූ සාර්ථක සිනමා නිර්මාණයන් ය. 'අභිමාන්' බොලිවුඩයේ පමණක් නොව ශ්‍රී ලංකාවේ ද වසර ගණනක් පුරා අති සාර්ථක අයුරින් තිරගත කෙරුණු හින්දි චිත්‍රපටයකි. එහි රංගනය වෙනුවෙන් ඇය ෆිල්ම්ෆෙයාර් හොඳම නිළිය වෙනුවෙන් වූ සම්මානයෙන් ද පිදුම් ලැබුවාය. අමිතාබ් - ජයා ආදරය බොලිවුඩ් සිනමාවේ විශේෂම ආදර කතාවලින් එකකි. සිනමාවේ දෙදෙනා එක්ව කළ රංගනයන් බොහොමයක් නොවුණ ද දෙදෙනාම එකට දුටු සිනමා නිර්මාණ කිසිවෙකුගේ මතකයෙන් ගිලිහී නොයෑමත් එයට තවත් හේතුවකි. 1975 වසරේ 'ෂෝලේ' චිත්‍රපටයෙන් පසුව ජයා රංගන දිවියෙන් සමු ගත්තේ දරුවන් වෙනුවෙනි. නැවතත් 80 දශකයේදී අමිතාබ් සහ රේඛා ප්‍රධාන චරිත මැවූ 'සිල්සිලා' චිත්‍රපටයෙන් ජයා සිනමාවට පිවියාය.

රිදී තිරයේ පෙම්වතුන්ව සිටි අමිතාබ් - ජයා විවාහ දිවියට පත් වූයේ 1973 වසරේදීය. එය හදිසි විවාහයක් විය. මෑත කාලීනව අමිතාබ් එම හදිසි විවාහයට හේතුව සටහන් කර තිබුණි. එය නම් ඔහුගේ මිතුරන් ලන්ඩනයට යාමට සංවිධානය කර තිබූ විනෝද චාරිකාවකි. අමිතාබ් ද ජයා සමඟින් ඒ සඳහා යාමට තම පියා හරිවන්ශ් රායි බච්චන්ගෙන් ගෙන් අවසර ඉල්ලා සිටියේය. එක් කොන්දේසියටකට යටත්ව ඔහුට ඒ වෙනුවෙන් අවසර ලැබිණි. එනම් ජයා විවාහ කරගෙන එම විනෝද චාරිකාව යෑමටයි. ඒ අනුව අමිතාබ් - ජයා විවාහය එක් දිනක් ඇතුළත සංවිධානය කෙරුණි. විනෝද චාරිකාව සඳහා ගුවන් ගමන යෙදී තිබූ දිනයේ පෙරවරුවේදීම හින්දු චාරිත්‍රානූකූලව විවාහය සිදු කෙරිණි. එය බච්චන් පවුලේ සහ බහදූරි පවුලේ ළඟම ඥාතීන් ද අමිතාබ් සහ ජයාගේ සමීපතම මිතුරු මිතුරියන් ද පමණක් සහභාගි වූ විවාහයක් විය.

අමිතාබ් - ජයා යනු බොලිවුඩ් සිනමාවේ සංකේත තරු යුවළකි. මේ දෙදෙනාගේ ආදරය පරම්පරා ගණනක් ආදර්ශයට ගෙන තිබෙන බවත් රහසක් නොවේ. එහෙත් අමිතාබ් - ජයාගේ ජීවිත කතාවේ හැම පිටුවක්ම රෝස මල් පිරුණු එකක් නොවීය. විවිධාකාර හැල හැප්පීම් නිසා මේ ආදර කතාවේත් අඳුරු තැන් විය. රේඛා සහ අමිතාබ් ආදර කතාව නිසා කිහිප වරක්ම බච්චන් කැදැල්ල දෙදරා යන්නට විය. 1976 වසරේ 'දෝ අන්ජානේ' චිත්‍රපටයේ ප්‍රධාන චරිතවලට පණ දුන් රේඛා සහ අමිතාබ් අතර ප්‍රේම සම්බන්ධයක් ඇති බවට කතා පැතිර යාමත් එම කතා සත්‍ය බවට තහවුරු වන ලෙසින් කළ රේඛාගේ හැසිරීමත් ඒ අතර විශේෂ විය. තමන් අමිතාබ් සමඟ හොර රහසේ විවාහ වූ බව හැඟවීමට රේඛා නළලේ සින්ධූර් තවරා මංගල මාලය පැලඳීමත් එකල පුවත් මවන්නට විය. මේ කිසිවකින් නොසැලුණු ජයා අමිතාබ් හෝ බච්චන් පවුල අතහැරියේ නැත. තිරයේ යුවළක් ලෙස මිනිසුන් ඔවුන් හට ආදරය කළ බවත් එය ඉතා හොඳ බවත් වරෙක ජයා පැවසුවාය. ඇය පවසන්නේ මාධ්‍ය විසින් අමිතාබ් ඔහු සමඟ රංගනයෙන් දායක වූ සෑම නිළියක සමඟම සම්බන්ධ කිරීමට උත්සාහ කළ බවත් ඒ සියල්ල විශ්වාස කළා නම් තම ජීවිතය අපායක් වීමට ඉඩ තිබූ බවත්ය.

බච්චන් පවුලේ එකම දියණිය ස්වේතා ලේඛිකාවකි. පුතු අභිෂේක් බච්චන් ද බොලිවුඩයේ තම නම ඉහළින් රැන්දූ නළුවෙකි. ජයා බච්චන් තම දරුවන්ට දැඩි මවක් බව ප්‍රසිද්ධ කරුණකි. එසේම ඇය, බච්චන් පවුල වෙනුවෙන් අවසාන හා බැඳීමේ තීරණය ගන්නා බවද සැඟවුණ කරුණක් නොවේ. මාධ්‍ය වාර්තා කිහිපයකටම අනුව, ඓෂ්වර්යා රායි බච්චන් විසින්ද 'දැඩි නැන්දම්මා' ලෙස ජයා හැඳීන්වීම එයට තවත් හේතුවක් විය.

2004 වසරේදී 'යුවා' චිත්‍රපටය එළිදැක්වීමෙන් පසු, අභිෂේක් බච්චන් සහ රාණි මුකර්ජි තිරයේ ආදණීය තරු යුගලයක් ලෙස හැඳීන්වෙන්නට විය. ඔවුන් දෙදෙනාගේ ඊළඟ චිත්‍රපටය 'බන්ටි ඕර් බබ්ලි' (2005) වාණිජමය වශයෙන් ජනප්‍රිය වූ අතර 'ලගා චුනාරි මේන් දාග්' (2007) ඔවුන්ගේ පෞද්ගලික මෙන්ම වෘත්තීයමය ජීවිතය තුළ පෙරළියක් ගෙන දුන්නේය. එහි අභිෂේක් සහ රාණි සමඟින් ජයා ද රංගනයෙන් දායක වූවාය. චිත්‍රපටය වාණිජමය වශයෙන් සාර්ථක නොවීය. එසේම අභිෂේක් සහ රාණි ඔවුන්ගේ ජීවිත යුවළක් ලෙස ඉදිරියට ගෙන ගියේ ද නැත. රාණි සහ අභිෂේක්ගේ සම්බන්ධතාවයට ජයා බච්චන් මුලින් අනුමැතිය දී ඇත්තේ රාණි ද ජයා මෙන් බෙංගාලි ජාතිකයෙකු වූ බැවිනි. නමුත් ජයා සහ රාණි අතර 'ලගා චුනරි මේන් දාග්' රූගත කිරීම්වලදී ඇති වූ මත ගැටුමක් මේ යුවළ වෙන් කරන්නට හේතු වූ බවද ප්‍රසිද්ධ විය.

සිනමාවෙන් දුරස්ව සිටි කාලයේදී සමාජ සේවා කටයුතුවලටද ඇයගේ දායකත්වය ලැබිණි. එපමණක් නොව ජයා ක්‍රියාකාරි දේශපාලන චරිතයකි. ඇය 2004 දී ප්‍රථම වරට උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තය නියෝජනය කරමින් සමාජවාදි පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරිය ලෙස පාර්ලිමේන්තුවට තේරී පත් විය. 2012 දී තෙවැනිවරට ඇය නැවත තේරී පත් වූ අතර 2018 දී නැවත සිව්වැනි වරටත් රාජ්‍ය සභාවට සමාජවාදි පක්ෂයෙන් තේරී පත් වූවාය. පාර්ලිමේන්තුවේ ඇය හැඳීන්වෙන්නේ නොබියව අදහස් දක්වන මන්ත්‍රීවරියක ලෙසිනි.

සුෂාන්ත් සිං රාජ්පුත් මරණය හා සම්බන්ධ මත්ද්‍රව්‍ය චෝදනාව මත චිත්‍රපට කර්මාන්තය අප

වාදයට ලක් කිරීමට ගත් උත්සාහයන්ට එරෙහිව ඇය පාර්ලිමේන්තුවේදී දැඩි ලෙස කතා කිරීමෙන් දිනකට පසු මුම්බායි පොලිසිය හට ඇයගේ නිවෙස ඉදිරිපිට විශේෂ ආරක්‍ෂාවක් සැලසීමටද සිදු විය.

ඉන්දියාවේ සිවිල් පුරවැසියෙකුට පිදෙන සිව්වැනි ඉහළතම සම්මානය වන පද්ම ශ්‍රී සම්මානය ජයා බච්චන් වෙත පිරිනැමුණේ 1992 වසරේදීය. 50 වසරක අභිමානය සමඟින් ජයා බච්චන්ගේ නවතම රංගනය දැකගැනීමට ලැබෙන්නේ කරන් ජොහාර් විසින් අධ්‍යක්ෂණය කර 2022 වසරේදී නිකුත්වීමට නියමිත 'රොකී ඕර් රාණි කී ප්‍රේම් කහානි' චිත්‍රපටයෙනි. රන්වීර් සිං සහ ආලියා භාත් ප්‍රධාන චරිත නිරූපණය කරන එහි රන්වීර් පණ පොවන රොකී ඛන්නාගේ මිත්තණිය ලෙසින් ජායා රංගනයේ යෙදීමට නියමිතව ඇත. එහි දී ඇයගේ සැමියාගේ චරිතයට පණ පොවන්නේ ජ්‍යෙෂ්ඨ නළු ධර්මේන්ද්‍රය.