වසංගතය මැද බොන්ඩ් 25 වාර්තා තබයි

ඔක්තෝබර් 21, 2021

මම ජේම්ස් බොන්ඩ් ලෝලියෙක්මි. එය සිද්ධ වුණේ මෙහෙමය. බ්‍රිතාන්‍යයේ දෙවැනි එලිසබෙත් මහ රැජණ දෙවැනි වරට ලංකාවට පැමිණියේ 1981වසෙර්ය. ඒ දවස් අපේ පාසැල් කාලයයි. පාසැලේ පන්තියට අමතරව බාහිර පන්ති ද විය. එයින් එකක් තිබුණේ බම්බලපිටියේය. රැජණ ආ දවසට පෙර දා මහ මාර්ග තදබදය හේතුවෙන් දැන ගන්නට ලැබුණේ විෂය භාර ගුරුතුමන් පන්තියට නොපැමිණෙන විත්තියයයි. කාලයෙන් උපරිම ප්‍රයෝජන ගත යුතු ඒ කාලයේ අපට පිහිටවනුයේ සිනමාහලයි. එදිනම අලුත් චිත්‍රපටයක් කොළඹ මැජස්ටික් සිනමාහලේ තිරගත වීම අරඹා තිිබණ. සරසවිය පුවත්පත බොන්ඩ් ගැන මහා වරුණාවක් ලියා තිබිණ. එමෙන්ම එයට පෙර මැජස්ටික් සිනමාහලට ගොඩ වූ කිහිප වාරයකම ජේම්ස් බොන්ඩ් ට්‍රේලරය දුටු අප එයට වසඟව තිබිණ. ඔක්කෝටම වඩා බොන්ඩ් ට්‍රේලර් රථයක් ගඟකින් එතෙරට පන්නා ගැනීමේ ජවනිකාව අප මවිතයට පත් කොට තිබිණ. ජේම්ස් බොන්ඩ් ගැන අසා තිබුණත් ඔහු ගැන නොදැන සිටි මට අලුත් බොන්ඩ් චිත්‍රපටය නැරඹීමේ ඇති වැදගත්කම වැටහිණ. චිත්‍රපටය 'මෑන් විත් ද ගොල්ඩන් ගන්' නම් විය. නිපදවුණේ 1974 වසරේ වුවත් මෙරට තිරගත වූයේ 1981 වසෙර්ය. ඒ කාලයේ 'ඒරොප්පේ පරණ පැටන් කොලොම්පුරේ අලුත් පැටන්' බැවින් චිත්‍රපටය අට වසරක් ගෙවී ගියා යැයි අපට දැනුණෙ නැත. පුංචි තිතක් හෙමින් හෙමින් මහා පරිමාණයට තිරයේ ඇදෙද්දී ඒ මතට ගොඩ වැද ප්‍රතාපවත් ගමනින් පැමිණි හයේ හතරේ පොරක් එකපාරට ප්‍රේක්ෂකයා දෙසට වෙඩි තබයි. ඒ සමඟ තිරයේ පැහැය වෙනස්ව යයි. මම බොන්ඩ්ට වසඟ වන්නට පටන් ගතිමි. ජේම්ස් බොන්ඩ් හෙවත් 007 නම් අන්වර්ථ නාමයෙන් හදුන්වාදෙනු ලබන බ්‍රිතාන්‍ය මහ රැජණ වෙනුවෙන් සේවය කරනු ලබන මේ සුප්‍රකට රහස් පරීක්ෂකවරයා එයට පෙර අප දුටු සිනමා වීරයාට වඩා වෙනස්ය. එයට පෙර අප දුටු සියලු සිනමා වීරයෝ දැනුම්වත්ව පව් නොකරති. පවුකාරයෙක් වුව ද ඔහුට හොඳ මිනිසෙකු වන්නට මොළේ පැදුණ පසු පින්වන්තයෙක් වෙයි. එහෙත් ජේම්ස් බොන්ඩ්ට එසේ නොවීය. ඔහු දිනන්නට ගන්නා වැර කෙසේ හෝ දිනන ජාතියේ අයෙක්ය. මෑන් විත් ද ගෝල්ඩන් ගන් චිත්‍රපටයේ එන එක් අවස්ථාවක කරාටේ සටනක් ආරම්භයට පෙර ප්‍රතිවාදියා බොන්ඩ්ට හිස නමයි. මේ සටනින් බොන්ඩ්ට දිනන්නට නොහැකි බව මේ වන විට සතුරාගේ ප්‍රතිරූපය අනුව අපට දැනී අවසානය. එහෙත් බොන්ඩ් එවර දිනන්නේ මෙහෙමය. හිස පාත් කරන ප්‍රතිවාදියාට හිස ඔසවන්නට පෙර හතර ගාතේ දා බිම ඇද වැටෙන්නට පා පහරක් එල්ලකිරිමෙනි. මේ වූ කලී කවර සංග්‍රාම පිටියක වුව මහත්මා ලක්ෂණයක් නොවේ. එය සටනට පටහැණිය. එහෙත් මේ ජේත්තුකාර මිනිසාට එහෙම වැදගත්කමක් නැත. කොක්කෙන් හෝ කෙක්කෙන් දිනා ගැන්ම ඔහුගේ න්‍යායයි. එයට පෙර අප දුටු වීරයාට සිටින්නේ එක් පෙම්වතියකි. තරුණියන් දුසිම් ගණනාවක් සිටිය ද එක් පෙම්වතියකි. බොන්ඩ්ට එහෙම නැත. ඔහුට වසඟ වන නැතහොත් ඔහු විසින් වසඟ කරගනු ලබන සුරූපිනියන් දුටු විට එවකට ගැටවර වියේ සිටි අපට ඇතිවුයේ බොන්ඩ් ගැන ඊර්ෂ්‍යාවකි. ඔහු මේ පෙම්වතියන් අත හැර දමනුයේ කෙතරම් සරල ආකාරයෙන් ද ? එපමණක් නොව පෙමවතියක් වන ගැහැනිය අමාරුවේ දමන්නට ඔහු කිසි විටෙකත් දෙවරක් හිතන්නේ ද නැත. එමෙන්ම ඔහුට වසඟ වෙතැයි අප සිතන ගැහනුන් සමහර විට එයට වඩා වෙනසක් නැත. ඔහුට මුණ ගැසෙන දුෂ්ටයා ද අප දුටු දුෂ්‌ටයා නොවේ. ඔහු බිහිසුණුය. එමෙන්ම තද මොළකාරයෙකි.

දෙකොන ගිනිගත් විලක්කුවක් මෙන් පත්තු වී සිය ගෝල බාලයන්ට පුස් පාට් දමන්නෙකු ද නොවේ. එබැවින් හැම විටම දුෂ්ටයා බොන්ඩ්ට වඩා දැවැන්තය. හොඳ වැඩකාරයෙකි. බොන්ඩ් පදවන්නේ දිය ගොඩ හැම තැන යා හැකි රථයන්ය. මෑන් විත් ද ගොල්ඩන් ගන් ලියා තිබුණේ බොන්ඩ් නිර්මාණය කළ ලේඛකයා වූ ඉයන් ෆ්ලෙමිංගේ පෑනෙනි. බැංකු සමාගමක හිමිකරුවකුගේ පුතෙකු මෙන්ම බ්‍රිතාන්‍ය හමුදා නිලධාරියකු පුවත්පත් කලාවේදියකු ලෙස කටයුතු කළ ද මේ ලිපිය ලියන්නට එදා ඔහුට ඒ කාලයේ ලියන්නට පරිගණක තිබුණේ නැත. එබැවින් ඔහු ලියන්නට ඇත්තේ පෑනකින්ය. දැන් ෆ්ලෙමිං මිය ගොස් අවුරුදු පනස් හතකි. (මිය ගියේ 1964 වසරේ අගෝස්තු මස 12 වැනි දාය. ) ඒ වනවිට ඉයන් ෆ්ලෙමිංගේ වයස අවුරුදු 56 කි. ඔහු උපන්නේ 1908 වසරේ මැයි මස 28 වැනි දාය. ඔහු 1952 වසරේ විවාහ වූයේ ඈන් චාටරිස් සමඟය. ඈන් එයට පෙර ෂේන් ඕනීල් සාමිවරයා සමඟ විවාහව සිටි අතර එය ඔහුගේ මරණයෙන් කෙළවර විණ. දෙවැන්න කොන්සර්වේටිව් මන්ත්‍රිවරයෙක් මෙන්ම බ්‍රිතාන්‍ය ඩේලි මේල් පුවත්පත් අධිරාජ්‍යයක හිමිකරුවෙකු වූ එස්මන්ඩ් හාම්ස්වර්ත් සමඟය. ඔහුගෙන් ඇය වෙන්වූවාය. ෆ්ලෙමිං මිය ගියේ සිය එකම පුත් කැස්පර්ගේ දොළොස් වැනි උපන් දිනය දවසේ හෘදයාබාධයකට ගොදුරුවීමෙන්ය. තදින් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ කැස්පර් විසි තුන් වැනි වියේ දී සියදිවි නසා ගත්තේය. ෆ්ලෙමිං ලියන ලද ද මෑන් විත් ද ගොල්ඩන් ගන් මා නැරඹුව ද ඉයන් ෆ්ලෙමිංට කිසි කලෙක නරඹන්නට ලැබුණේ නැත. කොහොමටත් ඉයන් ෆ්ලෙමිං විසින් රචනා කරන ලද නවකතා ඇසුරෙන් ඔහුට දැක ගන්නට ලැබුණේ ඩොක්ටර් නෝ හා ෆ්‍රොම් රෂියා විත් ලව් පමණකි. එයට අමතව ෆ්ලෙමිං විසින් රචනා කරන ලද චිටි චිටි බෑන්ග් බෑන්ග් කෘතිය ද ජනප්‍රිය සිනමාකෘතියක් වූ අතර එය සිනමාවට නැඟුණේ ද ඔහු මිය ගිය පසු 1967 වසෙර්ය.

ඉයන් ෆලෙමිං විසින් ජේම්ස් බොන්ඩ් චරිතය ඇතුළත් කොට මුල්ම නවකතාව රචනා කරන ලද්දේ 1953 වසෙර්ය. කැසිනෝ රෝයල් එහි මුල්ම නවකතාව විය. 1964 වසර වන විට ඔහු ජේම්ස් බොන්ඩ් චරිතය අලළා නවකතා 12 ක් හා කෙටි කථා දෙකක් රචනා කර තිබුණ අතර තවත් දෙකක් නිකුත් වූයේ ඔහුගේ මරණයෙන් පසුවය. ෆ්ලෙමිං ගේ මරණයෙන් පසු බොන්ඩ් නොමරා ජීවත් කරවීමට තවත් ප්‍රබන්ධ රචකයෝ කිහිප දෙනෙක්ම දායක වූහ. 2008 වසරේ ‌ෆ්ලෙමිංගේ ජන්ම ශත සංවත්සරය අලළා ද බොන්ඩ් නවකතාවක් නිකුත් විය. මේ නවකතා ඇතැමක් සිනමාවට නැඟුණ අතර ඇතැමක් මුද්‍රණ ද්වාරයෙන් පමණක් නිකුත් විණ. රොබට් මාකම්, ක්‍රිස්ටෝපර් වුඩ්, ජෝන් ගාඩ්නර්, රේමන්ඩ් බෙන්සන්, චාලි හ්ග්සන්, ඇන්තනි හෝවිටිස් මේ අතර සිටිති. මේ කවුරු රචනා කළ ද නවකතාවේ අයිතිය ඇත්තේ ඉයන් ෆ්ලෙමිං පබ්ලිකේෂන්ස් ආයතනයටයි. ෆ්ලෙමිං විසින් රචනා කරන ලද්දේ ජැමයිකාවේ ඔහුට අයත් ගොල්ඩන් අයි නම් සුන්දර නිවහනේදීය. පසුකලෙක ජේම්ස් බොන්ඩ් චිත්‍රපටයක් ද මේ නමින් තැනුණ අතර මුල්ම බොන්ඩ් චිත්‍රපටය වූ ඩොක්ටර් නෝ හා ලිව් ඇන්ඩ් ලෙට් ඩයි චිත්‍රපට රූපගත කිරිමේ දී මේ නිවහන හා වතුයාය අද්දර මුහුදු වෙරළ භාවිත කරන ලදී.

ජේම්ස් බොන්ඩ් නවකතාව නිකුත් වූ අවදියේම මෙය මුදල් ඉපැයිය හැකි ආකාරයේ නවකතාවක් වන බව වටහාගත් නිසාවෙන් 1954 වන විට චිත්‍රපට නිෂ්පාදක ග්‍රෙගරි රැටොෆ් විසින් කැසිනෝ රෝයල් මිළයට ගන එමඟින් ටෙලි චිත්‍රපටයක් නිෂ්පාදනය කරන ලදී. තන්ඩර්බෝල් නවකතාව ද ‌ෆ්ලෙමිං විසින් විකුණා දමා තිබුණේ නිෂ්පාදක කෙවින් මැක්ලෝරිටය. ජේම්ස් බොන්ඩ් නවකතා ඇසුරෙන් චිත්‍රපටයක් නිපදවීමේ අරමුණින් එක්වුණ ඉතාලි සම්භවයකින් යුත් ඇල්බට් ආර්. බ්‍රොකලි හා කැනේඩියානු සම්භවයක් ඇති හැරී සෝල්ට්ස්මන් දෙදෙනා ඉයොන් ප්‍රඩක්ෂන් ගොඩ නංවන ලදී. ඒ වන විට බොන්ඩ් නවකතාවල සම්පුර්ණ අයිතිය සෝල්ට්ස්මානි විසින් මිළ දී ගෙන සිටිම මේ හවුලේ අරමුණ විය. බොන්ඩ් නවකතා සිනමාවට නැංවීමට මහත් බලාපොරොත්තුවෙන් සිටි බ්‍රොකලි සෝලට්ස්මාන් හා එක්වූයේ එම අරමුණ සහිතවය. ඉයොන් මුල්ම නිෂ්පාදනය වූ ඩොක්ටර් නෝ බොන්ඩ් නවකතා මාලාවේ හය වැන්න වු අතර එය චිත්‍රපටය රූපගත කරන සමය වන විට නිකිතුව තිබුණු අලුත්ම නවකතාව විය. එමෙන්ම බ්‍රිතාන්‍ය සාහිත්‍ය විචාරකයන් අතර දැඩිව විවේචනයට ලක්වුණ බොන්ඩ් නවකතාව වූයේ ද ඩොක්ටර් නෝ ය. 1976 වසරේ දී සෝල්ට්ස්මන් ඉයොන් ප්‍රඩක්ෂන් වෙතින් ඉවත් විය. තන්ඩර්බොල් නවකතාව ඇසුරෙන් 1967 වසරේ තැනුණු බොන්ඩ් චිත්‍රපටය නිෂ්පාදනයේ දී කෙවින් මැක්ලෝර් තිරනාටකයට හා නිෂ්පාදනයට හවුල් වූ අතර පසුකලෙක එම නවකතාව සෝලට්ස්මාන් විසින් නෙවර් සේ නෙවර් අගේන් නමින් නැවත නිෂ්පාදනය කරන ලද්දේ ඒ වන විට බොන්ඩ් චරිතය අතහැර ගිය ෂෝන් කොනරි යොදාගෙනය. බ්‍රොකලි මිය යන විට ඉයොන් ප්‍රඩක්ෂන් සමාගමේ පාලනය ඔහුගේ දියණිය බාබරා බාර ගත් අතර බාබරාගේ මව ඩානාගේ මුල් විවාහයේ දරුවා වූ මයිකල් ජේ. විලසන් හා එක්ව ඔවුහු බොන්ඩ් අමරණීය චරිතයක් බවට පත් කරන ලදී. පසුකාලිනව බොහෝ බොන්ඩ් චිත්‍රපට සදහා මයිකල් තිර රචනයෙන් ද දායක විය.

ඩොක්ටර් නෝ චිත්‍රපටයේ සිට මේ දක්වා කාලය ඇතුළත ඉයොන් නිෂ්පාදන මඟින් චිත්‍රපට 24 ක් නිර්මාණය කළේය. පිළිවෙළින් ඩොක්ටර් නෝ ගේ සිට ෆ්‍රොම් රෂියා විත් ලව්, ගෝල්ඩ් ෆින්ගර්, තන්ඩර්බෝල්, යූ ඔන්ලි ලිව් ට්වයිස්, ඔන් හර් මැජෙස්ටික් සීක්‍රට් සර්විස්, ඩයමන්ඩ්ස් ආ ෆො එවර්, ලිව් ඇන්ඩ් ලෙට් ඩයි, ද මෑන් විත් ද ගෝල්ඩන් ගන්, ස්පයි හූ ලවිඩ් මී, මූන්රේකර්, ෆො යුවර් අයිස් ඔන්ලි, ඔක්ටොපස්, අ විව් ටු අ කිල්, ද ලිවන් ඩේලයිට්ස්, ලයිසන්ස් ටු කිල්, ගෝල්ඩන් අයි, ටුමාරෝ නෙවර් ඩයිස්, ද වර්ල්ඩ් ඊස් නොට් ඉනෆ්, ඩයි අනදර් ඩේ, කැසිනෝ රෝයල්, කොන්ටම් ඔෆ් සොලාස්, ස්කයිෆෝල්, ස්පෙක්ටර් මේ චිත්‍රපට 24 වෙයි. නෙවර් සේ නෙවර් අගේන් මේ බොන්ඩ් ගොන්නෙහි අඩංගු නොවේ. ෂෝන් කොනරි මුල්ම බොන්ඩ් නළුවා ලෙස මැවූ ප්‍රතිරූපය අද ද එහි විරාජමාන වෙයි. පසුකලෙක ජෝර්ජ් ලෙසන්බි, රොජර් මුවර්, තිමති ඩෝල්ටන්, පියර්ස් බ්‍රොස්නන්, ද බොන්ඩ් ගේ චරිතයට පණ පෙවූහ. මේ අතරින් ලෙසන්බි රඟපෑවේ ඔන් හර් මැජස්ටි සීක්‍රට් සර්විස් චිත්‍රපටයේ පමණක් වන අතර එය මෙතෙක් බොන්ඩ් චිත්‍රපට අතර අසාර්ථකම චිත්‍රපටයක් ලෙසත් ඔහු පෙබාන්ඩ් චරිතය නිරුපණය කළ දුර්වලම නළුවා ලෙසත් සැලකිණ. එබැවින්ම ඒ වන විට ජේම්ස් බොන්ඩ් චරිතයෙන් ස්වයං විශ්‍රාමයක් ගෙන සිටි ෂෝන් කොනරි නැවත ගෙන්වා ඩයමන්ඩ්ස් ආ ෆොඑවර් චිත්‍රපටය සඳහා නැවත යොදා ගැන්මට ඇල්බට් ආර්.බ්‍රොකලිට සිදුවිය. රොජර් මුවර් ෂෝන් කොනරිගේ අනුප්‍රාප්තිකයා වූ අතර ඔහු ලිව් ඇන්ඩ් ලෙට් ඩයි සිට අ විව් ටු අ කිල් දක්වා බොන්ඩ් ගේ චරිතය පණ ගැන්වීය. වැඩිම වාරයක් බොන්ඩ් බවට පත්වූයේ රොජර් මුවර්ය. එය හත් වාරයකි. හත් වන වාරය වන විට රොජර් මුවර්ට මෙන්ම ප්‍රේක්ෂකයන්ට ද බොන්ඩ් තිත්ත වන ගතියක් දැනිණ. එය ඉයොන් ප්‍රඩක්ෂන් වහා වටහා ගත්තේය. අනතුරුව ජේම්ස් බොන්ඩ් බවට පත් වූ තිමති ඩෝල්ටන් රඟපෑවේ චිත්‍රපට දෙකක පමණකි. පර්ස් බ්‍රොස්නන් අනතුරුව බොන්ඩ් වීමේ වාසනාව උදා කර ගත් අතර එවර ඔහු චිත්‍රපට හතරකට පණ පෙවීය. බොන්ඩ්ට පණ පෙවූ පස් වැනි ඩැනියෙල් ක්‍රේ එයට එක්වූයේ 2006 වසරේ කැසිනෝ රෝයල් සමඟය.

මෙවර එනම් සැප්තැම්බර් මස 21 වැනි දින බොන්ඩ් චිත්‍රපට මාලාවේ විසි පස් වැන්න වූ නෝ ටයිම් ටු ඩයි කලඑළි දුටුවේ සම්ප්‍රදායිකව ලන්ඩනයේ ඇල්බට් ශාලාවේය. මෙවර ද එහි ප්‍රධාන චරිතයට පිවිසුණේ ඩැනියෙල් ක්‍රෝ ය. බොන්ඩ් හමුවේ මෙවර අභියෝගය රෝගකාරක අවියක් නිෂ්ක්‍රිය කිරිම වීම දෛවෝපගත කරුණකි. එය වඩාත් පෑහෙන්නේ වර්තමාන කොවිඩ් වසංගතය ගැන විවිධ කටකතා ලෝකය පුරා පැතිර යද්දිය. කෙසේ වෙතත් 2016 වසරේ දී අලුත් බොන්ඩ් චිත්‍රපටය ආරම්භයේ ඉදිරියේදී ලොව දරුණු වසංගතයකට මුහුණ දෙනු ඇතැයි කිසිදු හාංකවිසියක්වත් ලොව පුරා නොවිණ. කොටින්ම නෝ ටයිම් ටු ඩයි ඇරඹුණේ බොන්ඩ් 25 යන අන්වර්ථ නාමයෙනි. එහි නම එළි දැකුවුණේ එයින් පසුවය. කෙසේවෙතත් කොවිඩ් වසංගතය සමඟ ජේම්ස් බොන්ඩ් ගොදුරු නොකොට කිහිප වරක්ම එළි දැක්වීම නිෂ්පාදකයන් කල් දමා ගත්තේය . පුදුමය නම් යාන්තම් කොවිඩ් වසංගතය එහා මෙහා වන විටම පසුගිය සැප්තැම්බර් 30 වැනි දින සිට ලොව පුරා චිත්‍රපටය තිරගත කරවද්දී එයට විශාල ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් ලැබීමය.

2016 වසරේ ආරම්භ කරන ලද චිත්‍රපටයේ මූලික අදහස2017 වසරේ තිර නාටක රචක නීල් පර්විස් සහ රොබට් ඩේවිට පැවරිණ. චිත්‍රපටය ආරම්භයේ දීම එයට පෙර බොන්ඩ් චිත්‍රපට දෙකම අධ්‍යක්ෂණය කළ සෑම් මෙන්ඩෙස් අලුත් චිත්‍රපටය සඳහා තමා සහභාගි නොවන බව දන්වා සිටියේය. එවර නිෂ්පාදකයන්ගේ ඉලක්කය වූයේ ජනප්‍රිය චිත්‍රපට රැසක් තැනූ ක්‍රිස්ටෝපර් නෝලන් වුවත් ඔහු ද එය ප්‍රතික්ෂප කළේය. 2017 අවසානය වන විට යෑන් ඩෙමන්. ඩේවිඩ් මැකන්සි, හා ඩෙනිස් විලේනූඩ් ඩූන් ද අලුත් බොන්ඩ් චිත්‍රපටය අධ්‍යක්ෂණ සදහා සැරසුණ ද ඒ සියල්ල අතරමඟ ඇණ හිටියේය.

එවර චිත්‍රපටය පැවරුණේ ස්ලම්ඩෝග් මිලියනයර් ඇතුළු සම්මානනීය චිත්‍රපට රාශියක් තැනූ ඩැනී බොයිල්ටය. බොය්ල් එහි මුල් තිරනාටක සියල්ල අවලංගු කොට අලුත් තිරනාටකයක් රචනා කළේය. 2018 වසරේ දෙසැම්බර් මාසයේ දී ඩැනි බොයිල් ගේ අධ්‍යක්ෂණය යටතේ අලුත් බොන්ඩ් චිත්‍රපටය ආරම්භ කිරීමට කටයුතු කෙරිණ. චිත්‍රපටයේ දුෂ්ටයා වැදගත් රුසියානුවෙකු ලෙස හඳුන්වා දි තිබිණ. එමෙන්ම කතා නායිකාව රූමත් එමෙන්ම විචක්ෂණශීලි එකියක වූවාය. එහෙත් පිටපත සම්බන්ධයෙන් සිදුවූ ආරවුලක් සමග ඩැනී බොයිල් චිත්‍රපටයෙන් ඉවත් විය. නිෂ්පාදකයන් හමුවේ ඊළග ගැටලුව වූයේ නියමිත රූපගත කිරිම් සඳහා අධ්‍යක්ෂවරයෙක් සොයා ගැන්මය. බොයිල්ගේ ඉවත්වීමෙන් හරියටම මාසයක් ගෙවුණ තැන කෙරී ජොජී ෆුකුනාගා අලුත් අධ්‍යක්ෂවරයා ලෙස හදුන්වාදෙන ලදී. හතළිස් හතර හැවිරිදි ෆුකුනාගා ජපාන සම්භවයකින් යුක්තය. ඒ සමඟ අලුතින් තිර නාටකය ලියැවුණු අතර සම්මානනිය සිනමාකරුවකු හා තිර නාටක රචකයකු වූ පෝල් හගීස් තිර නාටක රචනයට එක්විය. එහිදී වැඩ කටයතු සමග 2018 දෙසැම්බරයේ රූප ගත කිරිමට සූදානම් වූ බොන්ඩ් චිත්‍රපටයේ වැඩ 2019 අප්‍රෙල් මාසට කල් ගියේය.

සෑම බොන්ඩ් චිත්‍රපටයක්ම රූපගත කළ බ්‍රිතාන්‍යයේ පයින්වුඩ් චිත්‍රාගාරයට අමතරව මෙහිදී ඉතාලිය, ජැමෙයිකාව, නෝර්වේ, ෆාරෝ දූපත් සහ ලන්ඩන් ද රූපගත කිරීම් කෙරිණ. 2019 අප්‍රේල් 28 දින, පෝට් ඇන්ටෝනියෝ ඇතුළු ජැමෙයිකාවේදී ප්‍රධාන රූපගැන්වීම නිල වශයෙන් ආරම්භ විය. 2019 මැයි මාසයේදී ජැමෙයිකාවේ රූගත කිරීම්වලදී ඩැනියෙල් ක්‍රේග් පාදයේ ආබාධයකට ලක් වූ අතර පසුව සුළු ශල්‍යකර්මයකට භාජනය විය. 2019 ජූනි මාසයේදී, පිපිරීමක් හේතුවෙන් පයින්වුඩ් චිත්‍රාගාරයේ 007 වේදිකාවට හානි සිදු වූ අතර එහි කාර්ය මණ්ඩල සාමාජිකයෙකු සුළු තුවාල ලැබීමෙන් නිෂ්පාදනයට තවදුරටත් බාධා එල්ල විය. එසේම 2019 ජුනි මාසයේදී අත්ලාන්තික් සාගර මාර්ගයේ ඇස්ටන් මාටින් වී 8 වැන්ටේජ් සහිත රිය පැදවීමේ අනුපිළිවෙළ රූගත කිරීම සඳහා නිෂ්පාදනය නෝර්වේ වෙත ආපසු ගියේය. මෙවර බොන්ඩ්ගේ වාහනය ඇස්ටන් මාටින් වර්ගයේ රථයකි.

2019 ජූනි මස අගභාගයේදී නිෂ්පාදනය එක්සත් රාජධානියට ගෙන යන ලදී. ඒ අතර වයිට්හෝල්, සෙනෙට් හවුස් සහ හැමර්ස්මිත් ද ඇතුළත් ය. ජූලි මාසයේදී රූගත කිරීම් ඇවිමෝර් නගරයේ සහ ඒ අවට කෙයාන්ගොර්ම්ස් ජාතික වනෝද්‍යානයේදී සිදු විය. සමහර දර්ශන අර්ඩ්වෙරිකි හවුස් වතුයායේ සහ උද්‍යානයට නුදුරින් ලොච් ලග්ගාන් ඉවුරේ ද රූගත කරන ලදී.

2019 අගෝස්තු අග භාගයේදී ඉතාලියේ මැටෙරා වීදි හරහා ඇස්ටන් මාටින් ඩීබී 5 රථ හඹා යාම රූපගත කෙරිණ. අවසානයේදී, ෆාරෝ දූපත්වල දර්ශන රූගත කරන ලදී.

චිත්‍රපටයේ පසු නිෂ්පාදනවලදී සංගිතය සඳහා ඩෑන් රෝමර් යොදා ගත්ත ද ඔහු පසුව එයින් ඉවත් විය. ඒ වෙනුවට හාන්ස් සිමර් චිත්‍රපටයේ සංගීතය බාර ගන්නා ලදී. බොන්ඩ් චිත්‍රපට ඉතිහාසයේ පසු නිෂ්පාදනවලදී දැවැන්තයකු ඉවත් වූ මුල්ම අවස්ථාව මෙය විය.

2020 ජනවාරියේදී බිලී අයිලිෂ් චිත්‍රපටයේ තේමා ගීතය ගායනා කළාය. ඇගේ සහෝදර ෆිනියාස් ඕකොනෙල් සම රචකයෙකු මෙන්ම ගීතයේ නිෂ්පාදකයා ලෙසද කටයුතු කළේය. වයස අවුරුදු 18 දී ජේම්ස් බොන්ඩ් තේමා ගීතයක් පටිගත කළ ළාබාලම ගායිකාව වන්නේ අයිලිෂ් ය. චිත්‍රපටය ප්‍රමාද වුවද, 2021 මාර්තු 14 වෙනිදා, 63 වැනි වාර්ෂික ග්‍රැමී සම්මාන උලෙළේ දී, දෘශ්‍ය මාධ්‍ය සඳහා රචිත හොඳම ගීතය සඳහා වූ ග්‍රැමී සම්මානය සඳහා එම ගීතය නිර්දේශ වූ අතර, එම චිත්‍රපටය නිකුත් වූ දිනට මාස හයකට පෙර එම ගීතය එළිදැක්වුණි.

චිත්‍රපටය මුලින් සැලසුම් කරන ලද්දේ 2019 නොවැම්බර් මාසේ එළි දැක්වීමට වුව ද ඩැනී බොයිල්ගේ ඉවත්වීම සමඟ ඇති වූ ප්‍රමාදයෙන් එය කල් ගියේ 2020 පෙබරවාරියටය. පසුව එය අප්‍රේල් මාසයට කල් ගියේය්. එහෙත් මාර්තුවේ ලොව පුරා කොවිඩ් 19 වසංගත තත්ත්වයක් ලෙස ප්‍රකාශයට පත් කිරිමත් සමඟ චිත්‍රපටය එම වසරේ නොවැම්බර් 12 වැනිදාට කල් දමන ලදී. කොවිඩ් වසංගතය හේතුවෙන් බලවත්ම පීඩාවට පත් දැවැන්තම චිත්‍රපටය ලෙස සැලකෙනුයේ නෝ ටයිම් ටු ඩයි චිත්‍රපටයයි. කෙසේ වෙතත් වසංගතය ලොව පුරා පැතිර යාමත් සමඟ ලොව පුරා සිටින බෝන්ඩ් ලෝලින් චිත්‍රපටය කල් දමන ලෙස නිෂ්පාදකයන්ගෙන් අන්තර් ජාලය හරහා ඉල්ලීමක් කිරීම සුවිශේෂ කරුණකි. පළමු වරට බොන්ඩ් ඉතිහාසයේ එය මුදාහැරීම සඳහා යුනිවර්සල් පික්චර්ස් සමාගම ද හවුල් විය. මෙවර බොන්ඩ් චිත්‍රපටය තිරගත වනුයේ සිනමා ශාලා වසා දැමුණු චීනය, දකුණු කොරියාව, ජපානය, ඉතාලිය, ප්‍රංශය වැන සියලු රටවල සිනමා ශාලා යළි විවෘත වන පසුබිමකය.

වසංගතයේ මුල් අවධියේදී, චීනයේ සිනමා ශාලා 70,000 ක් වසා දමා තිබූ අතර, වෛරසය පැතිරීම අවම කිරීම සඳහා ඕස්ට්‍රේලියාව සහ එක්සත් රාජධානිය ඇතුළු රටවල් සිනමා ශාලා වසා දැමීය. චිත්‍රපටය ප්‍රවර්ධනය කිරීම සඳහා චිත්‍රාගාරය මේ වන විටත් ඩොලර් මිලියන 66 ක් වියදම් කර ඇති බව හොලිවුඩ් රිපෝටර් පුවත්පත සදහන් කර ඇති අතර චිත්‍රපටය ප්‍රමාදයෙන් ගෝලීය බොක්ස් ඔෆිස් පාඩුව ඩොලර් මිලියන 300 ඉක්මවා යාමට ඉඩ ඇතැයි ගණන් බලා ඇත. හොලිවුඩ් රිපෝටර් වාර්තාව අනුව දැක්වෙන්නේ ප්‍රමාද වීම හේතුවෙන් එම්ජීඑම් සමාගම සඳහා ඩොලර් මිලියන 30-50 අතර මුදලක් නාස්ති වන බවයි. නෝ ටයිම් ටු ඩයි තිරගත වීම ප්‍රමාදය හේතුවෙන් බ්‍රිතාන්‍යයේ විශාලතම සිනමා ප්‍රදර්ශන ජාලය වන සිනෙවර්ල්ඩ් දින නියමයක් නැතුවම වසා දැමුවේය. බොන්ඩ් ලොව පුරා නැඟී සිටියේ රටවල් 54 ක ආරම්භක සති අන්තයේ ඩොලර් මිලියන 119.1 ක වර්තාගත ආදායමක් ලබා දෙමිනි. වසංගතය සමග චීනයේ සහභාගීත්වයෙන් තොරව ඩොලර් මිලියන සියයක් ඉපද වූ මුල්ම චිත්‍රපටය නෝ ටයිම් ටු ඩයි චිත්‍රපටයයි.

එපමණක් නොව චිත්‍රපටයට ලැබෙනුයේ ඉහළ විචාරක ප්‍රතිචාරය. පැය දෙකහමාරකට අධික කාලයක් වීම ගැන ඇතැමෙකුගේ මැසිවිල්ලක් ඇති නමුදු සමස්තයක් ලෙස චිත්‍රපටයට ඇත්තේ ධනාත්මක ප්‍රතිචාරය. සිනමාකරුවාගේ බොන්ඩ් කෙරෙහි ඇති අලුත් දැක්ම මෙහිදී ප්‍රශංසාවට පාත්‍රව තිබේ. මේ ජේම්ස් බොන්ඩ් චරිතය සඳහා ඩැනියෙල් ක්‍රේ සහභාගි වන අවසාන අවස්ථාවයි. බොහිමියන් රැස්පොරිඩි චිත්‍රපටය සඳහා ඇකඩමි සම්මාන දිනූ රාමි මලික් මෙහි ප්‍රතිවාදියා විය. ක්‍රේ බොන්ඩ් ලෙස කළ නිරූපණයන් අතර ඉහළම රංගනය නෝ ටයිම් ටු ඩයි චිත්‍රපටයේ ඇතුළත්ව ඇති බව විචාරකයන්ගෙ මතයයි.

මේ ලිපිය ආරම්භයේ දීම මම බොන්ඩ් ලොලියකු බව පැවසුවෙමි. බොන්ඩ් හැම විටම දිනන බව මම දනිමි. මට දැන ගන්නට වුවමනා ඔහු මෙවර ද දිනන්නේ කෙලෙසකින් ද යන්නය. ඒ ගැන ලියන්නට මෙරට සිනමා ශාලා විවෘත වන තුරු එනම් හෙට බලා සිටිමි.