දකුණේ ඉපිද රජරට හැදුණ වේහැල්ලේ

ඔක්තෝබර් 22, 2020

අපේ ගමට යන්නට නම් එක්කෝ කැබිතිගොල්ලෑවට යා යුතුය. නැත්නම් කහටගස්දිගිලියට යා යුතුය. ඒ දවස්වල එනම් අවුරුදු තිස් පහකට ඉස්සර කහටගස්දිගිලියට ගිය විට ගමට යන බස් රථය එනතුරු තේ එකක් බොන්නට ගොඩ වැදෙන කඩයක් කහටගස්දිගිලිය හන්දියේ තිබිණ. කඩය තවමත් එහි තිබුණ ද මෑතක මට එහි යන්නට ලැබුණේ නැත. කොළඹ සිට ගමට යන පාසැල් සිසුවකු වූ මට එකල එහි කඩහිමියා සමග මිත්‍රත්වයක් ඇති කරගන්නට හැකිවූයේ අහම්බයක් හැටියටය.

මේ යාළුකම කොයි හැටි වුණාද කිවහොත් මාස ගණනාවකට පසු ගමට යන විට කඩයට ගොඩ වැදී බොන තේ කෝප්පයට මවිසින් ගෙවනු ලබන මුදල පවා ප්‍රතික්ෂේප කරන්නට තරම් එකක් විය. එය එසේවූයේ කඩ හිමියා සමග ඒ දවස්වල සිනමාව ගැන කථාබහක් නිසා ඇතිවුණ හිතවත්කම පමණක් නොවේ. කොළඹ සිට යන මා ඒ දවස්වල සිනමාවේ කයි කතන්දර අභිරුචියෙන් අසන්නකු වූ අතර කඩහිමියා එතරම් දුර පළාතක සිට එම කලා ලෝකයට සම්බන්ධකම් තිබිම මට මහත් පුදුමයක් විය. කොටින්ම ඔහු විජය කුමාරතුංග ආදීන් පෞද්ගලිකව දැන සිටිම මට මහත් විස්මයක් ගෙන දුන්නේය. ඔහුගේ නම කලාකරුවකු වශයෙන් අපේ ගම් පළාතේ ප්‍රසිද්ධව තිබිණ. බස් රථය එන තුරු මේ කථා ඇසීම එකල මට මහත් ආස්වාදයක් ගෙන දුන්නේය. ඒ කඩ හිමියා පසුකලෙක කොට්ටාව පැත්තේ පදිංචිව සිට තමා වඩාත් ඇලුම් කළ කහටගස්දිගිලයේ දී අවසන් ගමන් ගියේය. ඒ වේහැල්ලේ පියතිලකය. පසුගිය 19 වැනි දින අභාවප්‍රාප්ත වන විට ඔහු අනූ හැවිරිදි වියේ පසුවිය. ඔහු උපන්නේ 1930 වසරේ මැයි මස 30 වැනි දින මාතර වේහැල්ලේදීය. ගම නමට ගත්තේ ඒ උරුමයටය. ඉගෙන ගත්තේ ඌරුගමුව මෙතෝදිස්ත විදුහල,දික්වැල්ල බටහිර පාසැල, දික්වැල්ල විජිත මධ්‍ය මහා විදුහල හා මාතර රාහුල විදුහලෙන්ය. දකුණේ ඉපිද කහටගස්දිගිලියට යන්නේ ඒ පළාතේ ව්‍යාපාර ගොඩ නැගූ සෙසු දකුණේ මිනිසුන් මෙන් නොව රාජකාරි සඳහාය. ඒ සමුපකාර දෙපාර්තමේන්තුවේ පරීක්ෂකවරයෙකු හැටියටය. ඔහුගේ ඉරණම්කාරිය නන්දා හමුවන්නේ එහිය. එබැවින් ඔහු එහි බින්න බැස්සේය. සමුපකාර රස්සාව මැද වුවත් සිතේ තිබුණ කලාකාමි හැකියාව වේහැල්ලේ හුදකලා නොකළේය. රජරට කලා හවුල නමින් කලා සංවිධානයක් ගොඩ නැඟු වේහැල්ලේ එමගින් අලුත් පරම්පරාවකට එළියට එන්නට අත දුන්නේය. මේ වන විට ඔහු සිනමාවට සම්බන්ධව සිටියේය. ඒ නළුවකු මෙන්ම ගීත රචකයකු හැටියට අමරදේවයන් ගයන රන් බෝපත් සැලෙන ගීතයත් මිල්ටන් පෙරේරා ගයන සමාන වී ඉපදී ගීතයත් මේ අතර ජනප්‍රියය. ඔහු සිනමාවට පිවිසෙනුයේ විශ්මය චිත්‍රපටයෙනි. එයින් පසු කස්තුරි සුවඳ, මිහිදුම් සිහින,මධු සිහින. ආදි චිත්‍රපට රාශියකට ඔහු සම්බන්ධ වූයේය. ඔහු සිය භාර්යාවගේ පවුලට අයත් සමගි හෝටලයට දායක වනුයේ අසූව වැඩ වර්ජනයට දායක ව රැකියාව අහිමි වූ පසුවය.

එතරම් දුරබැහැරක දුෂ්කර මොහොතක පවා කලා කටයුතු වලින් බැහැර නොවූ වේහැල්ලේ නවකථාකරුවකු,කෙටිකථාකරුවකු මෙන්ම පුවත්පත් කලාවේදියකු හැටියට ද නමක් උපයා ගත්තේය. ඇත්ත පුවත්පතෙන් ඇරඹි ඔහුගේ පුවත්පත් දිවිය පසුකලෙක දිනමිණ පුවත්පතට ද දායක වූයේය. සරසවිය පුවත්පතට ද ඔහු කලා ලෝකය ගැන ලිපි කිහිපයක්ම රචනා කළේය. ටිකිරි හැන්දෑව නමින් ඔහු ටෙලි වෘත්තාන්තයක් ද නිර්මාණය කළේය.මේ ටෙලි නාට්‍ය විකාශය නොවුන ද එයට පාදක වූයේ ඒ පළාතේ ටිකිරිහැන්දෑව නම් වූ ගම පිළිබඳ පුරාවෘත්තයකි. ඔහු මොරින් චාරුනී අධ්‍යක්ෂණය කරන ලද හංස විලාපය චිත්‍රපටයේ කාර්මික අධ්‍යක්ෂවරයා ද විය. එමෙන්ම අනුලා බිසව නමින් ඔහු තිරරචනයක් ද ලියා තිබිණ. පසුගිය රයිගම් සම්මාන උලෙළේ දී හොඳම වාර්තා වැඩ සටහන වෙනුවෙන් සම්මාන දිනූ එමෙන්ම 2018 සරසවිය සම්මාන උලෙළේ ටෙලිවිෂන වැඩ සටහන නිර්මාණය කළ ජනජීව පුතු මෙන්ම දිමුතු ප්‍රියදර්ශනී ඔහුගේ දූදරුවෝ වෙති.