වර්ෂ 2023 ක්වූ October 03 වැනිදා Tuesday
ඔබ එන්න, ඔබ ඇවිත් යන්න එන්න

අනූව දශකයේ මුල නාලන් මෙන්ඩිස් අධ්‍යක්ෂණය කළ ‘නෑදෑයෝ’ දීර්ඝ ටෙලිනාට්‍ය මාලාවේ රඟපෑමට ප්‍රවීණ ගායක මොරිස් විජේසිංහට යෝජනාවක් ආවේය. ඔහු විමතියට පත් විය. යෝජනාව ඉදිරිපත් වූයේ ටෙලිනාට්‍යයේ නිෂ්පාදක සන්ධ්‍යා මෙන්ඩිස්ගෙනි. සන්ධ්‍යා හා මොරිස්ගේ බිරිය මරීනා සමීප මිතුරියන්ය. මරීනා කොළඹ ඉන්ටර්කොන්ටිනන්ටල් හෝටලයේ ඒ කාලයේ රැකියාවේ නියුතුව සිටියාය.
‘මම ගායකයෙක් මිස නළුවෙක් නෙවෙයි. මම හිතන්නේ නෑ මට හොඳට රඟපාන්න පුළුවන් වෙයි කියලා’ මොරිස් ටෙලිනාට්‍යයේ අධ්‍යක්ෂක නාලන් මෙන්ඩිස්ට කීවේය.
‘නෑ ඔයා හොඳට රඟපාවි. මට ඒක විශ්වාසයි’ නාලන් විශ්වාසය පළ කරමින් කීවේය.
නාලන් මෙන්ඩිස් වසර 25 ක මතකය මතක් කරමින් මෙසේ කීය.
‘මුලදී බැහැ කියලා අන්තිමට රඟපෑ මොරිස් දක්ෂ ලෙස ටෙලිනාට්‍යයේ උප ප්‍රධාන චරිතයක් අපූරුවට රඟපෑවා. පස්සේ මොරිස්ට රඟපෑමට ආසාවක් ඇති වුණා. මොරිස් රඟපෑවේ ටෙලිනාට්‍යයේ අයිවන් ලෙස රඟපෑ ශ්‍රියන්ත මෙන්ඩිස්ගේ යාළුවා හැටියට. තමන්ගේ කෑම බීම හදා ගන්නා තනිකඩ විනෝදකාමී චරිතයක්. නෑදෑයෝ ටෙලිනාට්‍යයේ ඔහු රඟපෑවේ ගිටාරය වාදනය කරමින් විනෝද වන තරුණයකු හැටියට. එහි මොරිස් ගීතයක් ගැයුවේ නෑ. ඔහු ගිටාරය ගයමින් තරු පහේ හෝටල්වලදී විදේශිකයන් මවිත කළේ ජනප්‍රිය ස්පාඤ්ඤ ගීත ගයමිනි.’
මොරිස් ජනප්‍රිය ඉතාලි, ස්පාඤ්ඤ, ප්‍රංශ ගීත ඒ අයුරින්ම ගයා විදේශිකයින්ගේ ප්‍රශංසා ලැබූ අපූරු ප්‍රතිභාවක් ඇති ගායකයකු විය. ඔහුගේ ප්‍රධාන විනෝදාංශය වූයේ ලෝකයේ හොඳම ඔපෙරා ගීත රස විඳීමය. ඔහු තම ගීත ඇසූ ජර්මනියේ Lubeck සංගීත කණ්ඩායම සමඟ මාස 6 ක ගිවිසුමකට බැඳී ගීත ගැයුවේය. ජර්මන්, ස්විට්සර්ලන්ත, නවසීලන්ත ගිත ගැයීමට අපේ රටින් ගිය ශ්‍රී ලාංකික ගායකයා ඔහුය. 1970 වසරේ සිට ශ්‍රී ලංකාවේ තරු පහේ හෝටල්වල ඔහු ගී ගැයුවේය. Ramada, Grand Pegaus Reef, Cinaman Grand, Brown Beach, Mount Laviniya, Galle Face, Bentota Beach යන සුපිරි හෝටල්වල ගී ගැයූ ඔහු හිල්ටන් හෝටලයේ ගිවිසුමකට බැඳී එලිෆන්ටේ ශාලාවේ වසර ගණනක් One Man Show පවත්වා ජනප්‍රිය විය. අසූව දසකයේ මොරිස් විජේසිංහ චිත්‍රපට පසුබිම් ගායකයකු ලෙස චිත්‍රපට ක්ෂේත්රයට එක් වූයේ එතෙක් සිටි ගායකයන්ට වඩා ගැඹුරු, තමාටම ආවේණික හඬකිනි.
කොළඹ ආනන්ද විද්‍යාලයේ උසස් පෙළ පන්තියේ (1969) වසරේ ඉගෙනුම ලැබූ රන්ජිත් ලාල් හා මෙම ලියුම්කරු ඇතුළු සිසුන් තැනූ ‘නිම්වළල්ල’ චිත්‍රපට සිලෝන් තියටර්ස් සමාගමේ සිනමාහල්වල තිරගත විය. ඉන්පසු ඒ චිත්‍රපටයේ අධ්යක්ෂ හා සංගීත අධ්යක්ෂ ද වූ රංජිත් ලාල් නම් ප්‍රතිභාන්විත තනිකඩ තරුණ සිනමාකරුවා ජීවත් වූයේ වැල්ලවත්තේ ‘සිලෝන් ඉන්’ හෝටලයේ කාමරයකය. එහෙත් ඔහු තේ බීමට ගියේ ග්‍රීන් කැබින් අවන්හලටය. එතැන රංජිත් ලාල්ට නිත්‍ය මේසයක් වෙන් කර තිබුණි. ලක්ෂ්මන් වැලිකල, නවරත්න ගමගේ, මොරිස් විජේසිංහ ඒ අතර ප්‍රධානය. ඔවුන් සංගීත නිර්මාණකරුවන් නිසා එම විෂය ගැන පැය ගණනන් කතා කළහ. සම්භාව්‍ය සංගීතය, ඔපෙරා, බටහිර සංගීත විධි ගැන කෙරෙන ශාස්ත්‍රීය සංවාද කෙළවර වන්නේ මොරිස් වාද්‍ය බාණ්ඩයක් නැතිව ගයන ස්පාඤ්ඤ, ඉතාලි, ප්රංස, ජර්මන් ගීත නිදසුන් කොට ගැයීමෙනි. ඔහුගේ කටහඬම වාද්‍ය භාණ්ඩයකි.
දිනක් අහම්බෙන් මෙන් රංජිත් ලාල්ට ප්‍රේමසිරි කේමදාස සංගීතවේදියා හමු විය.
‘මාස්ටර් මගේ යාළුවෙක් ඉන්නවා. මිනිහට ස්පාඤ්ඤ, ඉතාලි, ජර්මන් ගීත කියන්න පුළුවන්. ඒ වගේම හොඳ ගිටාර් වාදකයා’
‘සංගීත මංජරියට (මරදානේ කේමදාසයන්ගේ සංගීත පන්ති පැවැත්වෙන ස්ථානය) උදේ වරුවක එවන්න’ යයි කලබලයෙන් කියූ කේමදාසයන් නොපෙනී ගියේය.
කේමදාසයන් හමු වූ මොරිස් සිලෝන් ඉන් හෝටලයට ගොස් රංජිත් ලාල්ට කීවේ සතුටුදායක ආරංචියකි.
‘ලාල්, කේමදාස මාස්ටර් මගේ ගීත අහල චිත්‍රපටයක සින්දුවක් දුන්නා’
සැමදා සත්භාවයෙන් දක්ෂයන්ට උදවු කරන රංජිත් ලාල්ට මේ වදන රසඳුනක් විය. ඔහු හදවතින්ම සුබ පැතුවේය.
සුගතපාල සෙනරත් යාපා අධ්‍යක්ෂණය කළ ‘ඉන්දුට මල් මිටක්’ චිත්‍රපටයෙන් පසුබිම් ගායකයෙකු වී මොරිස් විජේසිංහ දොරට වැඩියේය. ගීතය රචනා කළේ ධර්මසිරි ගමගේය.
‘පෙර දා අඳුරින් සුළඟින් පාවීලා
සැමදා සුවදුක් දැහැනින් මුදවාලා
මධු මී සිතකින් පැතුමන් පුරවාලා
ඔබ මා සිටියේ සිහිනෙන් තනි වීලා
ඔබ පෑ සඳුවන් කුලුණින් නැහැවීලා
දුටුවේ පෙරුමන් පුරමින් සැනසීලා
රැඳුණේ නිවමින් සැනෙකින් ගිලිහිලා
ඔබ මා දුටුවේ සිහිනෙන් තනිවීලා’
එතැන් සිට මොරිස් කේමදාසයන්ගේ සංගීත නිර්මාණවලට චිත්‍රපට කිහිපයක ගී ගැයීය. සිව්රඟ සේනා, පාර දිගේ, හංස විලක් මේ චිත්‍රපට වේ. ‘ජුලියට්ගේ භූමිකාව‘ චිත්‍රපටයට ඔහු ගැයූ ‘මතුරා සවනට රෝමියෝ කුමරුට‘ ගීත ද සුවිශේෂය.
කවුද මේ මොරිස් විජේසිංහ?
1941 ඔක්තෝබර් 16 වෙනිදා ගල්කිස්සේ උපත ලැබූ මොරිස් ඩෙන්සිල් බර්නාඩ් විජේසිංහ හත් දෙනෙකුගේ පවුලේ දෙවෙනියාය. ඔහු ඉගෙනුම ලැබුවේ බම්බලපිටියේ ශාන්ත පීතර විද්‍යාලයෙනි. එම විද්‍යාලයේ සිංහල භාෂාව හා සංගීතය ඉගැන්වූ
මර්සලීන් ජයකොඩි පියතුමා දිනක් පාසල් ගීතය ගයන සිසු පිරිස අතරින් උච්ච ස්වරයෙන් ගයන සිසුවා ගැන උනන්දුවක් දැක්විය. දෙහිවල සාන්ත මේරිස් දේවස්ථානයේ උස් හඬින් ගී ගයන සිසුවාත් එදා පාසල් ගීය ගැයූ හඬත් අතර සමානත්වයක් දුටු ජයකොඩි පියතුමා ඔහු කැඳවීය.
‘දරුවා උඹේ නම කුමක්ද?’
‘බානි’
‘බානි උඹේ කටහඬ බටහිරට නෑකම් කියන්නේ. ඒක හොඳයි. අපේ දේශීය සංගීතයත් ඉගෙන ගත්තොත් තවත් උඹේ කටහඬ සුදිලේවි. උඹට තියෙන්නේ දෙවියන් වහන්සේ දුන්න කටහඬක්.’
මොරිස් තම නමට නොතිබූ ‘බානි’ කොටසට තිබූ ආදරය නිසා එය භාවිත කළේය. පාසලේ මිතුරන් කතා කළේ බානි නමිනි. මොරිස්, ජයකොඩි පියතුමාගේ උපදෙස් අනුව සුනිල් සාන්ත, ආනන්ද සමරකෝන්, සී. ටී. ප්‍රනාන්දුගේ ගීත අනුකරණය කරකමින් පාසලේ සැණකෙළිවල ගී ගැයුවේය.
වරක් මොරිස් මෙම ලියුම්කරුට බටහිර සංගීතයට යොමු වූ සැටි කීවේය.
‘මගේ පාසලේ හොඳම පන්ති මිතුරා වූයේ නිහාල් ෆොන්සේකා. එයා දැන් ඉන්නේ කැනඩාවේ ටොරොන්ටෝවල. ඔහු ඉගෙන ගන්න කාලේ ඔපෙරා සංගමයට බැඳී කටහඬ අභ්‍යාස කළා. මට ස්පාඤ්ඤ, ඉතාලි, ප්‍රංශ ගී තැටි අහන්න දීලා මා ලවා ඒවා උච්චාරණය කරන හැටි කියල දුන්නා. මට ඒ ගීත ගැයීමට අනුබලය දුන්නේ නිහාල්.’
මොරිස් විජේසිංහගේ වඩාත් ජනප්‍රිය චිත්‍රපට ගීතය වූයේ ‘සප්ත කන්‍යා’ චිත්‍රපටයේ රෝහණ වීරසිංහගේ සංගීත අධ්යක්ෂණයට ගැයූ වසන්ත කුමාර කොබවකගේ රචනයක් වූ මේ ගීතයයි.
‘දූවිල්ලෙන් වත්සුනු තවරා
කුමර කුමරියන් වී ළෙන්ගතු ඇසුරේ
රහස් බැලුම් දෙන හැන්දෑවේ
නන්නනාඳුනනා
කය මිස සිත නැති පුරවරයේ
කවුරුන් හෝ තුරුලේ
නිමේෂයක් කොඳුරමි රහසින්
ආ ගිය උන් හිටි තැන් සඟවා
උකුසු ඇසක් ගෙන කුරුලු
වෙසක් ගෙන
පියඹා යාවි මොනර කිරිල්ලි
ගිනි කඳු සිරසේ මළ පුඬු අතරේ
කැදලි සදා වී මොනර කිරිල්ලි
රැයකින් රැයකට කුස පිරෙනා
සඳ සෙවණැල්ලේ
සිත ඇති කය නැති මිටියාවත ඉවුරේ
රහස් බැලුම් සඟවා
සැඩ සුළඟේ මුල් ඉදිරි යන ගස මුදුනේ
නූපන් දවසේ රන් කිරි කඳුළේ
හීන දකීවි මොනර කිරිල්ලී’
මොරිස් හා දමයන්ති ජයසූරිය ‘වත්සලා අක්කා’ චිත්‍රපටයට ගැයූ මේ ගීතයේ රචනය චිත්‍රපටයේ අධ්යක්ෂ සරත් ගුණරත්නගෙනි. සංගීත නිර්මාණය කාලෝ විජේසිරිය.
‘සිහනෙන් ගෑ සුවඳ ආදරේ
සදා කාලයෙන් සදා කාලයට
පෙමින් වෙළුණු
පෙමින් වෙළුණු’
තිස්ස අබේසේකර අධ්‍යක්ෂණය කළ ‘මහ ගෙදර’ චිත්‍රපටයේ එන ගීතමය දර්ශනයක මොරිස්, චිත්‍රා සෝමපාල, නීලා වික්‍රමසිංහ, උපාලි රංජිත් ‘නිල් අහස් තලේ අගෙයි - වලාකුළු’ ගීතය ගැයුහ. මෙහි නව සංගීත නිර්මාණය සරත් ප්‍රනාන්දුය. මේ ගීතයේ මොරිස් ගැයූ කොටස රඟපාමින් ගැයුවේ විජය කුමාරතුංගය.
මොරිස්ට අවසාන කාලයේ වඩා ගීත නිර්මාණය කර දුන්නේ හද බැඳි සමීතම මිතුරා වූ නවරත්න ගමගේය.
එයින් වඩාත් ජනප්‍රිය වූ ගීතයකි උපුල් සාන්ත සන්නස්ගල ලියූ මේ ගීතය.
‘ඔබ එන්න - ඔබ ඇවිත් යන්න එන්න
සෞමිය සඳ සේමා
වත රූ සිරි බෝමා
සන්සුන් ගමනේ
රූ සිරු බෝමා
ආදරේ නොකියා - ඉන්නේ කොහොමා
මගේ රන් කඳට මම ආදරෙයි
ඔබ නොදැක බැරුවා
ඔබ නැතිව බැරුවා
මඟ සොය සොයා - මුව සනහලා
සත්තකයි මම ඔබ එතැයි සිතුවා
මම පෙරුම් පිරුවා - ඔබ එතැයි සිතුවා
මඟ බල බලා - නෙතු දව දවා
රත්තරං මම - ඔබ එතැයි සිතුවා’
නවරත්නයන් සංගීතවත් කළ ‘හිස් අහස වුණත් දිලෙන රැයක තාරකා ඇලී ඇස් නිලංකාර වෙනවාමයි’ (සහය ගායනය - මරියසෙල් ගුණතිලක - ගීත රචනය - වසන්ත කුමාර කොබවක) ‘නෞකාව නිම්වළල්ල පීරලා නොඑවිදෝ’ (ගීත රචනය - ආචාර්ය අජන්තා රණසිංහ) ‘මල වී මධුර අවිඳුර සඟවා (ගීත රචනය - කුමාර ලියනගේ), ‘සඳවතට සඳේ රුව දකින්න අවසර නෑ’ - ‘මට කඩා වැටෙන්න දෙන්න වැහි රැල්ලක් වාගේ’ (සහාය ගායනය ඉන්දිකා උපමාලි / ගීත රචනය - වසන්ත කුමාර කොබවක) මොරිස් අවසන් වරට ගැයූ ගීතය ‘සීගිරියේ සිංහයා’ (ගීත රචනය - රංජිත් කෝරළේ).
මොරිස් ගැයූ අනික් ගීත මෙසේය.
‘ඔබ යන්න ගියා මට එන්න නොහැකි නිසා’ (ගීත රචනය - වසන්ත බණ්ඩාර දුක්ගන්නාරාළ / සංගීතය - සමන්ත පෙරේරා) ‘අතීතයේ අමිහිරි මතකය’ (ගීත රචනය - අරුණ කිත්සිරි / සංගීතය එච්. එම්. ජයවර්ධන), ‘ප්‍රේමය තැවරූ හිමිදිරියක් ඒවි’ (සංගීතය - එච්. එම්. ජයවර්ධන) ‘සයුරු තෙරේ ඇය වියන්නේ ආදරේ’ ‘රතු මල පිනිබිඳු සලයි’ (සංගීතය - ප්‍රේමසිරි කේමදාස / ගීත රචනය - ලූෂන් බුලත්සිංහල), ‘ඔබ රවටා ඔබ හා යහන් ගත වන ඒ මිනිසා (ගීත රචනය - පද්ම කුමාර මෙත්තසේන / සංගීතය - සරත් ද අල්විස්)
චන්ද්‍රන් රත්නම් අධ්‍යක්ෂණය කළ ‘ආදර කතාව‘ චිත්‍රපටයට ගැයූ ‘සුනිල්වන් වලාකුළින් පාවෙලා’ ගීත පටිගත වුව ද එය චිත්‍රපටයට යොදා ගෙන නොතිබුණි. මේ ගීතයේ සංගීතය නිමල් මෙන්ඩිස්ගෙනි. ගීත රචනය ගාමිණී විජේතුංගගෙනි.
මොරිස් විජේසිංහට ජීවිතයේ ලැබුණු එකම සම්මානය හිමි වූයේ සුමති සම්මාන උලෙළේදීය. දයාරත්න රටගෙදර අධ්‍යක්ෂණය කළ ‘දෑකැති මුවහත’ ටෙලිනාට්‍යයේ තේමා ගීතයට හොඳම ගායකයා ලෙස සුමති සම්මානය හිමි විය. සංගීතය ආනන්ද ගමගේය. පද රචනය බණ්ඩාර ඇහැලියගොඩගෙනි. බර්මින් ලයිලිගේ ‘කුල කුමාරිය’ ටෙලිනාට්‍යයේ මොරිස් ගැයූ ‘ඇසපිය සලමින් හිනැහෙමින්’ ගීතයේ රචනය අයිවන් කිරිඇල්ලගෙනි. සංගීතය ආනන්ද ගමගේගෙනි.
මොරිස්ට අනාගත සහකාරිය හමු වන්නේ අහම්බෙනි. මේ ගැන ඔහුගේ බිරිය මරීනා විනෝදනී පෙරේරා පවසන්නේ මේ කතාවය.
‘මගේ ගම වාද්දුව මොල්ලිගොඩ. මම ඉගෙන ගත්තේ බම්බලපිටියේ හෝලි ෆැමිලි කොන්වන්ට් එකෙයි, ශාන්ත බ්‍රිජට් කන්යාරාමෙයි. මගේ තාත්තාට රැකියාවක් ලැබිලා අපි දෙහිවල පදිංචියට ආවා. අපි හිටිය ගේ ගාවයි සුප්‍රසිද්ධ ඉංග්‍රීසි ක්‍රිකට් විචාරක කාල්ටන් සෙනෙවිරත්න හිටියේ. කාල්ටන් හමුවෙන්න මොරිස් නිතර ආව ගියා. මමයිි මොරිස්ගෙයි ආදර සම්බන්ධයට උදවු කළේ කාල්ටන්ගේ දුව. කොහොම හරි අපි 1969 විවාහ වුණා. කාලයක් මොරිස් අසනීපයෙන් හිටියේ. අන්තිම කාලේ සියල්ලම අත්හැරියා. අපේ 50 වැනි විවාහ සංවත්සරයට අපේ දුව, පුතා, මිනිබිරිය, මුනුබුරා එක්ක සාදයක් ලෑස්ති කළා. මේක දැනිල මොරිස් කිව්වා ‘අපි කිසිම සාදයක් පවත්වන්නේ නෑ. ඒ සල්ලිවලින් අනාථ නිවාසයකට දානයක් දෙමු. තෑගි බෝගත් දෙමු’ කියලා. ආබාධිත දරුවන් සිටින අනාථ මඩමකට ගිටාරයත් අරන් ගිහිල්ලා මොරිස් ඒ දරුවො එක්ක සින්දු කිව්වා. හොඳට විනෝද වුණා. ඒ තරම් සතුටින් හිටපු දවසක් මට මතක නෑ. ඉතාම සරල ජිවිතයක් ගත කළේ. ප්‍රසිද්ධිය පස්සේ ගියේ නැහැ. එක දවසක් අපි ඉන්න ගල්කිස්සේ ධර්මපාල පාරේ ඇවිදගෙන යන කොට හරක් දෙන්නෙක් පාරේ වතුර පයිප්පයෙන් නාවනවා. අර වතුර හෝස් එක අරං හරකුන්ගේ තුනටියට වතුර වත් කළා. ‘මුන්ගේ ශක්තිය තියෙන්නේ තුනටියේ, වතුර දැම්මම එයාට සනීපයි’ කියලා. ඒ තරම්ම සත්තුන්ට ආදරෙයි.’
මරීනා පවසන්නේ කොතරම් තරු පහේ හෝටල්වල ගීත ගායනා කළත් රෑ කෑමට ළඟ පහළ හිටියොත් ගෙදර කෑම ගැනීමට එන බවය. තමා අතින් පිසින අලකරිය, පොල් සම්බෝල සමඟ ඉඳියප්පන් කෑමට මොරිස් ප්‍රිය කරන බවයි ඇය පවසන්නේ. උදේ ආහාර ලෙස පේර ගෙඩියක්, පැපොල් පලුවක් කෑමට ඔහු ප්‍රිය කරයි. අසනීප වි සිටි කාලයේ මොරිස් බලා කියා ගත් උපස්ථායකයා වූයේ හැටන්වල සිටි පැමිණි ෂේකර් නම් දමිළ තරුණයකි. ඔහු මොරිස්ව ඉතා පරෙස්සමින් බලා ගත් බව මරීනා පැවසුවාය.
අන්තිම කාලයේ මොරිස්ගේ සමීපතම හිතවතුන් දෙදෙනා වී ඇත්තේ බෲනෝ නම් සුනඛයාත්, ෆල්ෆි නම බළලාය. ෆල්ෆි තම ස්වාමියා සොයමින් ඔහුගේ කාමරයේ ඇඳ යටට වී අඬමින් සිටින්නීය. මරීනා පවසන පරිදි ලද දෙයින් සතුටු වූ මුදල් පසුපස නොගිය ඔහු කිසි දිනක තමාගේ අත් බෑගයේ ඇති මුදල්වලට අත තබා නැත. හදිසියකට මුදල් වුවමනාවක් වූ විට බෑගය තමා අතට දී මුදල් ඉල්ලා ගෙන ඇත. එසේම මරීනා ද මොරිස්ගෙන් මුදල් ඉල්ලා ගත්ත ද කිසිදා පොකැට්ටුවෙන් මුදල් ගෙන නැත. අමුතු සිරිත් සමුදායක් මොරිස්ට තිබී ඇත්තේ.
මොරිස් හා මරීනාට දරුවන් දෙදෙනෙකි. දියණිය මනෝරි ජර්මනියේ වෙසෙන අතර පුතු මෙවන්, ව්‍යාපාරවල නියුතුව සිටී. මරීනා ඉන්ටර්කොන්ටිනල් හෝටලයේ දුරකථන ක්‍රියාකාරිනියක ලෙස සේවය කොට විශ්‍රාම ලබන විට මුළු දිවයිනේම හොඳම දුරකථන ක්‍රියාකාරිනිය ලෙස සම්මානයක් ද ලබා සිටියාය.
වරක් පත්‍ර කලාවේදිනියක වූ වසන්තා විමලසිංහ මොරිස්ගෙන් ‘ඔබ ඉතාලියානු හා ස්පාඤ්ඤ ගීත විශිෂ්්ට ලෙස ගැයීමේ විශේෂය කුමක්දැයි ඇසුවාය. එයට මොරිස් පිළිතුරු දී තිබුණේ මෙසේය.
‘That’s God gift I believe infact I sang those songs writing the words in sinhala it stood me two to three weeks to practice one such song. From 1983 I sang at Mt. laviniya hotel and that become my profession’
පසුගිය 31 වෙනිදා ඔහුගේ අන්තිම කැමැත්ත අනුව පැය 24 ක් ඇතුළත ගල්කිස්සේ නිසල සෙවනේ ආදාහනය කර අළු මහ මුහුදේ පා කර හැරියේය.