වර්ෂ 2023 ක්වූ December 07 වැනිදා Thursday
නොමියෙන මනෝරත්නගේ නොනිමි මෙහෙවර

මෙරට සාහිත්‍යය කලා ක්ෂේත්රය නන්විධ මාධ්‍යය ඔස්සේ සුපෝෂණය කළ අදීන කලාකරුවෙක් වශයෙන්, ආචාර්ය ජයලත් මනෝරත්න දෙස් විදෙස් සහෘද හදවත් වැලඳගත් විද්වතෙකි. 1948.ජුනි.12 වැනි දින නුවරඑළිය දෙහිපේ ගම්මානයේ උපත ලද එතුමා දෙහිපේ ප්‍රාථමික මිශ්‍ර පාඨශාලාවෙන් ප්‍රාථමික අධ්‍යාපනය ලබා, ශිෂ්‍යත්වය සමත් වී පොරමඬුල්ල මධ්‍ය විද්‍යාලයට ඇතුළත් විය. පාසල් වේදිකාව දික් විජය කරමින් පේරාදෙණිය විශ්වවිද්‍යාලයට වරම් ලබන මනෝරත්නයන්, මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර නම් නිර්මාණ වෘක්ෂයෙහි සෙවණ ලබමින් හැඩි දැඩි වන්නේ ය. හෙන්රි ජයසේන, සුගතපාල ද සිල්වා, දයානන්ද ගුණවර්ධන, ගුණසේන ගලප්පත්ති වැනි නිර්මාණවේදීන්ගේ ඇසුර ලැබීමෙන් එතුමාගේ ජීවිත විශ්වවිද්‍යාලයට ශාස්ත්රෝපාධි රැසක් එකතු විය. 70 දශකය ආරම්භයේ දී සුනිල් ආරියරත්න හා බුද්ධදාස ගලප්පත්ති සමඟ “දොළොස්මහේ පහන” නමින් කාව්‍ය සංග්‍රහයක් ප්‍රකාශයට පත් කරමින් කවියකු වශයෙන් සමාජගත විය. මනෝරත්නගේ ප්‍රථම නාට්‍යය 1980 දී “මහගිරිදඹ” යනුවෙන් නිෂ්පාදනය විය.
එතැන් සිට ස්වතන්ත්‍ර හා පරිවර්තන නාට්‍ය පහළොවක් පමණ මෙරට වේදිකා නාට්‍ය කලාවට තිළිණ කළේ ය. වේදිකා නාට්‍ය, ටෙලි නාට්‍ය, සිනමාව යන ත්‍රිවිධ මාධ්‍යයන්හි තම අපූර්ව රංග ප්‍රතිභාව ප්‍රකට කළ එතුමා අධ්යක්ෂවරයෙක් ලෙස ද මෙරට ටෙලි නාට්‍ය කලාවට දායාද කළ නිර්මාණ ප්‍රේක්ෂක අවධානයට ලක් විය. නවකතාව, කෙටිකතාව, ගීතය, කවිය, නාට්‍ය වැනි නන්විධ සාහිත්‍යය මාධ්‍යයන් ඔස්සේ තම චින්තනය නිර්මාණාත්මක ව සමාජගත කළ එතුමා ප්‍රකට සාහිත්‍ය සමීක්ෂණ මණ්ඩලවල විනිශ්චයකරුවෙක් ද විය. විශ්වවිද්‍යාල බාහිර කථිකාචාර්යවරයෙක් ද වූ එතුමා ගමින් ගම, රටින් රට ගොස් දේශන පවත්වමින් රසික හදවත් උසස් නිර්මාණ කෙරෙහි යොමු කරවීය. සාහිත්‍යය - කලා ක්ෂේත්රයේ අනුපමේය ක්‍රියාවලියක නිරතව සිටිය දී 2018 වර්ෂයේ අග භාගයේ දී මනෝරත්නයෝ රෝගාතුර වූහ. සුවහසක් රසික හදවත් ප්‍රකම්පනය කරමින් 2020 ජනවාරි 12වෙනි ඉරු දින අලුයම ආචාර්ය ජයලත් මනෝරත්නයෝ ජීවන රඟමඟඬලින් සමුගත්තෝ ය. මෙම මස ජනවාරි දොළොස්වෙනිදාට එතුමාණන් භෞතිකව අපට සමු දී වසරක් ගත වුව ද, මනෝරත්න චින්තනය මතු පරපුරටත් සමීප කිරීම වෙනුවෙන් වැඩසටහන් ගණනාවක් ක්‍රියාත්මක වේ.
මනෝරත්නයන් දැයෙන් සමුගෙන මසක් ගත වීමට පෙර, එතුමාගේ කලාත්මක හා සමාජීය මෙහෙවර අනාගතය වෙනුවෙන් තිළිණ කිරීමටත්, බුද්ධිමය දේපළ සංරක්ෂණය කර ගැනීමේ අරමුණ ඇතිවත් ව්‍යාපෘති රැසක් ආරම්භ කෙරිණි. භානුක ප්රබුද්ධ මනෝරත්න, උත්පලා ඉන්දීවරී මනෝරත්න යන දෙදරුවන්ගේ මූලිකත්වයෙන් ද, එතුමාණන්ගේ ආදරණීය බිරිඳ වූ තමරා ජයන්ති සිල්වා මහත්මියගේ අනුශාසකත්වයෙන් ද පිහිට වනු ලැබූ “මනෝරත්න භාරය” “ජයලත් මනෝරත්න නාට්‍ය නිර්මාණ” “මනෝරම්‍ය කලාභූමි” යන ත්‍රිවිධ සංසද කැටි කොටගත් “ත්‍රිලෝ එන්ටටේන්මන්ට් පුද්ගලික සමාගම” ජයලත් මනෝරත්නයන්ට නැවත ජීවය ලබා දුණි.
එහි ප්‍රථම අදියර වූයේ “මනෝරත්න පෙර දැක්ම” නම් වූ රසවින්දනාත්මක දේශන මාලාව ආරම්භ කිරීමයි. මනෝරත්නයන්ගේ උපන් දිනය හා වියෝව 12වෙනි දිනක සිදු වූ නිසා, එය නිමිති කොටගෙන සැම මසකම දොළොස්වෙනි දින දිවයිනේ ඕනෑම ප්‍රදේශයක රසවින්දනාත්මක හෝරා දෙකක්, දේශකයන් දෙදෙනෙකුගේ සහභාගීත්වයෙන් පැවැත්වීමට කටයුතු කෙරිණි. මනෝරත්නයන් වියෝ වී පළමු මාසය සපිරෙන පෙබරවාරි දොළොස්වෙනි දා, එතුමාණන් ජීවත් වූ බොරලැස්ගමුව නගරය කේන්ද්‍ර කොටගෙන බොරලැස්ගමුව මංසන්ධියේ දී මහේන්ද්‍ර පෙරේරා හා චාමික හත්ලාහවත්ත යන දේශකවරුන්ගේ සහභාගීත්වයෙන් පැවතිණි.
එම මස සිදු වූ තවත් අපූර්ව කාර්යයක් වූයේ “මනෝ- සොඳුරු රඟසොබා” නම් වූ, මහගිරිදඹ සිට හඬ නිහඬ දක්වා නාට්‍යයන්හි තෝරාගත් නාට්‍ය ගී අන්තර්ගත ප්‍රසංගයක් පැවැත්වීමයි. එහි අභිමංගල දැක්ම 2020 පෙබරවාරි 21 දින බිෂොප් විද්‍යාලයීය රංග ශාලාවේ දී පැවතිණි. මනෝරත්නයන් රඟපෑ සියලු භූමිකා භානුක ප්රබුද්ධ මනෝරත්නයන් නිරූපණය කිරීම මෙම ප්‍රසංගයේ සුවිශේෂීතාවයකි.
“මනෝරත්න පෙර දැක්ම” දෙවෙනි අදියර මාර්තු දොළොස්වෙනි දින හොරණ මංසන්ධියේ පැවැත්වුයේ මනෝරත්නයන් සමු ගෙන දෙවන මස සපිරීම වෙනුවෙනි. කොරෝනා උවදුර හේතු කොටගෙන අප්‍රේල් මස සිට “මනෝරත්න පෙර දැක්ම” පැවැත්වූයේ මුහුණු පොත මාධ්‍යය කරගෙන ය. විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරන බුද්ධිමතුන්ගේ දැනුම දෙස් විදෙස් සහෘදයන්ට මේ හේතුවෙන් සමීප කිරීමට හැකි විය. මනෝරත්නයන් වියෝ වී වසරක් සපිරීම වෙනුවෙන් පවත්වන මතක බණවර පිංකම ද මෙම මස දොළොස්වෙනි දින සවස 3.00ට මුහුණු පොත මගින් සජීවී ව පැවැත්වීමට කටයුතු යොදා තිබුණි. “බුදු දහම හා සෞන්දර්ය” යන මාතෘකාව තේමා කර ගනිමින් මහාචාර්ය පූජ්‍ය අගලකඩ සිරිසුමන ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ ධර්ම දේශනය සිදු කළ සේක.
මනෝරත්නයන්ගේ 72 වෙනි ජන්ම දිනය පසු ගිය ජුනි දොළොස්වෙනි දිනට යෙදී තිබුණි. ඒ නිමිත්තෙන් තවත් අපූරු සමාජ සත්කාරයක් සිදු විය. එනම් අධ්‍යාපන අමාත්‍යාංශයේ නිර්දේශය ඇති ව, මෙරට සියලු පළාත් නියෝජනය කරමින් තෝරාගත් අඩු පහසුකම් සහිත පාසල් පුස්තකාල සඳහා නාට්‍ය හා රංග කලාව, සිංහල භාෂාව හා සාහිත්‍යය යන විෂයයන්ට අවශ්‍ය ග්රන්ථ පරිත්‍යාග කිරීමයි. උසස් රසිකත්වයෙන් යුත් ආදරණීය සමාජයක් ගොඩනැඟීම නම් වූ, මනෝරත්නයන් දුටු සුබ සිහිනය සැබෑවීමට මෙවැනි කාර්යයන් මනා පිටු බලයක් වනු නොවනුමානය.
මනෝරත්න නම් වූ අදීන මානව හිතවාදීයාණන්ගේ චින්තනය, දැක්ම පෙරටු කොට ගත් කාර්යයන් රැසක් “ත්‍රිලෝ එන්ටටේන්මන්ට් පුද්ගලික සමාගම” ඉදිරියට සංවිධානය කොට ඇත. ඒ අතර ප්‍රධාන කාර්යයක් වන්නේ රංගනය, ගායනය, නර්තනය යන තෙවදෑරුම් කුසලතාවන්ගෙන් පරිපූර්ණ බුද්ධිමත් නළු නිළි කැලක් මෙරට කලා ක්ෂේත්රයට තිළිණ කිරීමයි. නාට්‍ය වැඩමුළුවක් පවත්වා, ඊට සම්බන්ධ වන පිරිස උසස් නාට්‍යයන් මගින් සමාජගත කිරීම මෙහි දී සිදු වේ.
දැනට නිෂ්පාදන මට්ටමේ නොමැති ජයලත් මනෝරත්නගේ විශිෂ්ට නිර්මාණ කිහිපයක් ප්‍රති නිෂ්පාදනය කිරීමට ද ත්‍රිලෝ සමාගම කටයුතු කරමින් පවතී. පුත්‍ර සමාගම (ධර්මප්‍රිය ඩයස්), සඳගිර (ප්‍රසන්නජිත් අබේසූරිය), බූරුවා මහත්තයා (ජයනාත් බණ්ඩාර), ලෝකය තනි යායක් (සුදර්ශන බණ්ඩාර හා ඉෂාර වික්‍රමසිංහ) ඒ අතර වේ. 2021 වර්ෂයේ අග භාගයේ දී ජයලත් මනෝරත්නගේ නාට්‍ය උලෙළක් පැවැත්වීමට කටයුතු සංවිධානය වීම ද මනෝ හිතැති සහෘද ප්‍රජාවට සුබාරංචියක් යනු ඇත.
මනෝරත්නගේ තෝරාගත් නාට්‍ය කෘති දෙකක් ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කර නිෂ්පාදනය කිරීම (ජෙරොම් ද සිල්වා), වර්තමාන සිසු පරපුරට මනෝරත්න නාට්‍ය නිර්මාණ අධ්‍යයනය කිරීම සඳහා වැඩ කටයුතු සැලසීම, මනෝරත්න සිය නවකතාව පාදක කර ගනිමින් රචනා කළ “දවස තාමත් තරුණයි” සිනමා තිර රචනය නිෂ්පාදනය කිරීම, ඔහු රචනා කළ කවි එකතුවක් මුද්‍රණය කිරීම, මනෝරත්න ප්‍රතිමාව ස්ථාපිත කිරීම, සැම මසකම දොළොස්වෙනිදා පවත්වන “මනෝරත්න පෙර දැක්ම” දේශන මාලාවට අමතරව පාසල් සිසුන් හා විවිධ ආයතන සඳහා දේශන හා වැඩමුළු පැවැත්වීමට අවශ්‍ය සංවිධානය සැපයීම, තරුණ නාට්‍ය ශිල්පීන් සමඟ එක් වී පැරණි නාට්‍ය ගී යූ ටියුබ් නාළිකාව මඟින් සමාජගත කිරීමට කටයුතු කිරීම, විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ට ශිෂ්‍යත්ව ප්රදානය, විවිධ අපහසුතා ඇති කලාකරුවන්ට උපකාර කිරීම වැනි නන්විධ කලාත්මක හා සමාජීය කාර්යයන් “මනෝරත්න භාරය” “ජයලත් මනෝරත්න නාට්‍ය නිර්මාණ” “මනෝරම්‍ය කලාභූමි” යන ත්‍රිවිධ සංසද කැටි කොටගත් “ත්‍රිලෝ එන්ටටේන්මන්ට් පුද්ගලික සමාගම” ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වේ.
මෙරටට අත්‍යවශ්‍යම මොහොතක අපෙන් සමුගත් ආචාර්ය ජයලත් මනෝරත්නයන්ගේ චින්තනය සජීවීකෘත කරමින්, අනාගත පරපුරට එම දැනුම හා දැක්ම සමීප කිරීමේ උදාර කාර්යයේ නිරතවන ත්‍රිලෝ සමාගමට හා එහි කාර්යය මණ්ඩලවල සියලු කටයුතු සාර්ථක කර ගැනීමට සුබ පතමු. මනෝරත්නයන් අපේක්ෂා කළ ප්‍රඥා සම්පන්න හා අදරැති තනි ලෝකය නිර්මාණය කිරීමට දායකත්වය සැපයීම එතුමාණන් වෙනුවෙන් සිදු කළ හැකි උත්තරීතර ගෞරවාදරයවන බැවින්, මෙම සද්කාර්යයන් සමගින් එකතුවන ලෙස මනෝ හිතැති සහෘද හදවත්වලට ඇරයුම් කරමු.