වර්ෂ 2023 ක්වූ June 04 වැනිදා Sunday
තරු යායේ ඈතින් ඈතට ගිය ගී ආනන්දය

පුරුදු විදියටම උඳුවප් මහේ සීතල සුළං රැළි ගත දැවටෙනවා. හී ගඩු පිපෙන උඳුවප් මහ ආනන්දනීය කෝකිලයෙකු ගේ ආදරණීය හඬ නිහඬ කරවපු දිනයක් විදියට මගේ මතකය අවුස්සනවා. ආදරය, ප්‍රේමය අපේ හදවත් තුළ සදා අනුස්මරණියව තැන්පත් කරමින් ගී ගැයූ මේ ගීත කෝකිලයා නික්ම ගොස් හරියටම වසර දහයක් සපිරෙනවා. එදා හිස්වුණු ඔහුගෙන් පිරී තිබුණු ඒ අවකාශය අදටත් හිස්මයි. ඔහුට සම කරන්නට හෝ ඔහුගේ හිස්තැන පුරවන්නට තරම් සමතෙක් මතුවට හෝ බිහිවෙයි කියාද විශ්වාස කළ නොහැකි මොහොතක ආදරය පිරුණ ඔහුගේ ගි ලොව යළි යළිත් සමරන්නට අපට අවසර.
ඔහු අන් කවරකු හෝ නොව ග්‍රේෂන් ආනන්දය. එළඹෙන 29 වැනිදාට ග්‍රේෂන් ආනන්දයන් අපෙන් නික්ම ගොස් පුරා වසර 10 ක් සපිරෙනවා. ඒ වෙනුවෙන් ග්‍රේෂන් ආනන්ද සැමරුම් මතකයන් එළි දැක්වීමේ වැඩ පිළිවෙළක් ඔහුගේ ආදරණීය පුතු මරියෝ ආනන්ද හා දියණිය දුලංජලී සූදානම් කර තිබෙනවා. විවිධ ගීත නිර්මාණය, දෘශ්‍ය නිෂ්පාදන, වාර්තාමය වැඩ සටහන් ආදිය කරනු ලබන මාරියෝ ආනන්ද ගේ නිෂ්පාදන ආයතනය වන ‘ මාරියෝ ආනන්ද ප්‍රඩක්ෂන්‘ හි මීළඟ ව්‍යාපෘතිය වශයෙන් ග්‍රේෂන් ආනන්ද නම් වූ සිය පියාණන් ගේ ජීවිත කතාන්දරය වාර්තාමය වැඩ සටහනක් ලෙස එළි දැක්වෙනවා. මෙහි පරමාර්ථය වන්නේ විවිධ කෝණයන්ගෙන් මනිනු ලැබ, අසාධාරණයන් බොහොමයකට ලක්වූ අව්‍යාජ අසීමිත හැකියාවලින් රටක් පිනවූ, අහිංසක, මනුෂ්‍යවාදී නිර්මාණකරුවාගේ සත්‍ය ජීවිත කතාන්දරය, අනාගතයේ ඔහු පිළිබඳ හැදෑරීමට උනන්දුවන කාට හෝ ග්‍රේෂන් ආනන්ද යනු කවුරුන්ද යන්න කියාපෑමයි. මෙම වාර්තාමය වැඩසටහන එළඹෙන 29 වැනිදා මාරියෝ ආනන්ද යූ ටියුබ් චැනලය ඔස්සේ එළි දැක්වෙනවා.
1957 මාර්තු මස 15 වැනි දින ජන්ම ලාබය ලබන ග්‍රේෂන් ආනන්ද ට උප්පැන්න සහතිකයේ නම ලැබෙන්නේ බජ්ජල වලව්වේ ග්‍රේෂන් ආනන්ද අබේකෝන් නිමින්. ග්‍රේෂන් ගේ පියා බජ්ජල වලව්වේ ෂෙල්ටන් අබේකෝන් වෘත්තීයෙන් පොලිස් නිලධාරියෙක්. මව සංගීත ගුරුවරියක්. එකල බොහෝ දෙනෙක් ග්‍රේෂන් ගේ මව හඳුන්වා ඇත්තේ ‘ බ්රෙවන්ඩා‘ යනුවෙනි. ඇගේ සම්පූර්ණ නම වූයේ බර්නඩෙත් බර්නඩීන් ජයවර්ධන අමදෝරුයි. පියාගේ රැකියාවට වරින්වර ස්ථාන මාරු ලැබෙන බැවින් මේ පවුලට නිරන්තරයෙන් තැනින් තැන ගොස් පදිංචි විමටසිදුවූ බව එකල ඔහු අප සමඟ පනසනවා මට මතකයි. ඒ අනුව ඔහුගේ මවගේ ගම් පියස වූ තංගල්ලේ කුඩා කුසුම් බාලිකාවෙන් ග්‍රේෂන් මුලින්ම අධ්‍යාපනය ලබා තිබෙනවා. එහෙත් පසු කලෙක ඔහු කොළඹ ශාන්ත මැතිව් පාසලෙන් හා කොළඹ ශාන්ත ජෝශප් විද්‍යාලයෙන් ද ඉගෙනුම ලබා තිබෙනවා.
පාසල් අධ්‍යාපනය ඒ ආකාරයෙන් සිදු වුවද ග්‍රේෂන් ගේ සංගීත අධ්‍යාපනය සිදුවනුයේ සිය නිවෙස තුළින්මය. මව සංගීත ගුරුවරියක් වූ බැවින් විවිධ සංගීත භාණ්ඩ ඔහුගේ නිවෙසේදීම ඔහුට ඇසුරු කරන්නට ලැබුණා. ඔහුට අවුරුදු පහක් සපිරෙන විට අපුරුවට මවුත් ඕගනය වාදනය කිරීමේ හැකියාව ඔහුට ලැබෙනවා.
කොළඹට සංක්‍රමණය වෙන ග්‍රේෂන්ට වැඩිපුර සංගීත අධ්‍යාපනයට තෝතැන්නක් හමුවෙනවා. ඒ බොරැල්ල සියලු ශාන්තුවරයන්ගේ දේවස්ථානය. දේවස්ථානයේ කන්තාරු කණ්ඩායමට සම්බන්ධ වෙන ග්‍රේෂන් එවකට මිසම බාර පියතුමන් වූ ජෝන් හේරත් පියතුමන් ගෙන් බටහිර සංගීතය හා ට්‍රම්පට් වාදනය ඉගෙන ගන්නවා.
වයස අවුරුදු 12- 13 ක ගැටවරයෙක් ලෙසින් ගිටාරය අතට ගත් ඔහු ඉන් මැවූ අපූරු ස්වර රටා මේ තරමට ලාංකේය රසිකයන් පිනවාවි කියා එදා ඔහුවත් සිතන්න නැතුව ඇති. ඉන් පසු කලෙක ගායකයෙකු වශයෙන්ද දොරට වැඩි ඔහු ගැයූ ගී, ඔහු ගැයූ සිනමා ගීතාවලිය මේ අද දක්වාත් , හෙට උපදින ගී රසවතා දක්වාත් ආදරයෙන් වැලඳ ගනී කියා කිසිවෙකුත් හිතන්න නැතුව ඇති. මේ ගීත සියල්ල , ඔහු මැවූ ස්වර රටා සදාතනික ජීව ගුණයකින් අද වගේම හෙටත් මතු පරපුරකුත් පිනවනවා.
ග්‍රේෂන්ගේ සංගීත දිවියේ මහා බලකණුව වෙන්නේ මෙරට චිත්රඔපට පසුබිම් ක්ෂේත්රයේ විස්මිත සංගීත නිර්මාණකරුවා ලෙසින් මා දකින සරත් දසනායකයි. තරුණ කොලු ගැටයෙකු ලෙසින් විවිධ වාද්‍ය කණ්ඩායම් සමඟ සම්බන්ධව සිටි ග්‍රේෂන්ට හොරණ පැවති විවාහ මංගල උත්සවයකදී අහම්බෙන් සරත් දසනායකයන් මුණ ගැසෙනවා. මේ හමුවිම තමයි ග්‍රේෂන්ගේ සංගීත දිවියේ හැරවුම් ලක්ෂය වෙන්නේ. ග්‍රේෂන් සජිවී සරල ගි සහ සිනමා සංගීත පටිගත කිරීම්වලට සහභාගී වෙමින් රාගධාරී සංගීතය ඉගෙන ගන්නේ එතැනින්. දසනායකයන් ගේ සංගීත රටා වාද්‍ය වෘන්දය සඳහා ස්වර ප්‍රස්ථාර ගත කිරීමේ සිට සරත් දසනායකයන් ගේ සියලු සංගීත අධ්යාක්ෂණයන්වලදී සහාය වූ ඔහු කෙටි කලකින්ම ඔහුගේ වාද්‍ය වෘන්දයේ සහාය සංගීත අධ්යක්ෂ ලෙස කටයුතු කළා. ග්‍රේෂන් ගායකයෙකු වශයෙන් ක්ෂේත්රයට පිවිසින්නේද සරත් දසනායකයන්ගේ විවරණ ලබමින්.
‘ ඈත දුරක දෑස පාවෙලා
ගොළු වීලා -ඔහේ තනිවෙමු
පාළු ලොවක -
ඈත දුරක දෑස පාවෙලා....
නීලා වික්‍රමසිංහ සමඟ ගැයූ මේ යුග ගීතය ග්‍රේෂන් ගායකයෙකු කරවූවා. ඒ 1978 වර්ෂයේදීයි. ඒ ඇරඹුම තමයි. අදටත් අපි රසවිඳීන ඔහුගේ ආනන්දනීය ගීතයේ සන්ධිස්ථානය. ග්‍රේෂන් ගායකයෙකු ලෙසින් මෙරට වඩවඩාත් ස්ථාවර වන්නේ චිත්‍රපට පසුබිම් ගායන ශිල්පියෙකු ලෙසින්. ඒ වනවිටත් මෙරට සිනමා ඉතිහාසයේ හද බැඳ ගත් හඬ පෞරුෂයන් රැසක් තිබුණා. ඒත් මේ සියල්ලෙන් වෙනස් රිදි තිරයටම ගැළපෙන ආකර්ෂණීය හඬ පෞරුෂයක් ග්රේ්ෂන් ගේ හඬ තුළ තිබුණා. ඒ හඬ ඇතුළේ මට දැනුණේ ආදරය පිරිලා තිබුණා කියලයි. අපේ සිනමා ඉතිහාසය තුළ පසුබිම් ගීත ගායනය වෙනුවෙන් සුසැදි විශේෂ ගායකයන් කිහිප දෙනෙකු හිටියා. ඒ අතර මොහිදින් බෙග්, ධර්මදාස වල්පොල, එච්. ආර්. ජෝතිපාල , මිල්ටන් මල්ලවාරච්චි වැන්නන් සුවිශේෂයි. ග්රේෂනුත් මේ ගණයට ආපු අපුරුම චරිතයක්. මේ කිසිදු හඬකට සමාන නොවන , ආදරණීය හඬක් ග්‍රේෂන්ට තිබුණා. ඒ නිසාම වෙන්න ඇති ඉතාම කෙටි කලක් ඇතුළත චිත්‍රපට පසුබිම් ගීත ක්ෂේත්රය තුළ ඔහු සිය අනන්‍යතාවය තහවුරු කර ගත්තේ.
ඔහු චිත්‍රපට පසුබිම් ගීත ගායනයට එක්වෙන්නේ සේන සමරසිංහ ගේ ‘ මල් කැකුළු චිත්‍රපටයට යුග ගීයක් ගායනා කරමින්. ‘බිඳු බිඳු කඳුළු ගලා ‘නම් වූ ඒ ගීතය ඔහු ගායනා කළේ ශ්‍යාම් ෆොන්සේකා සමඟ . ඒ සමඟම ඔහු 1982 වසරේ ‘ බයිසිකලේ ‘ චිත්‍රපටයට ගැයූ ගීතයත් සමඟ ඒ හඬ පෞරුෂය ක්ෂේත්රය තුළ වඩාත් කැපී පෙනෙන්නට වුණා.
‘තරු යායේ ඈතින් ඈතට දිදුලන
රන්තරු යුවළත් සේ....
කිසි දිනයක නොමියෙන
සොහොයුරු පෙමකින්
ඔබ අප බැඳුණාවේ....
එතැන් සිට චිත්‍රපට රැසකට ග්‍රේෂන් පසුබිම් ගීත ගැයුවා. චිත්‍රපට ප්‍රධාන භූමිකාවන් නිරූපණය කළ සිනමා සක්විති ගාමිණී ෆොන්සේකා ගේ සිට, ජෝ අබේවික්‍රමයන්ගේ සිට, චන්න පෙරේරා දක්වාත් ඔහු සිය පසුබිම් හඬ මුසු කළා.
එහෙත් ග්‍රේෂන් ගේ හඬ අති සාර්ථක ලෙස ම ගැළපුණු නළුවා වූයේ සනත් ගුණතිලකය. ග්‍රේෂන් බහුතරයක් චිත්‍රපට ගීත ගයා ඇත්තේද සනත්ටයි. සනත් සහ ග්‍රේෂන් සුසංයෝගය අපට මුලින්ම හමු වනුයේ යසපාලිත නානායක්කාරගේ ‘ නැවත හමුවෙමු ‘ චිත්‍රපටයෙනි. එතැන් සිට සනත් - ග්‍රේෂන් සුසංයෝගය නිර්මාණය කළ චිත්‍රපට ගීත සංඛ්‍යාව අති විශාලය. මේ සියලුම ගීත ද අතිශයින්ම ජනපි‍්‍රය වීමද සුවිශේෂී කාරණාවකි.විජය කුමාරතුංගයන්ට එච්. ආර්. ජෝතිපාලයන් පසුබිම් ගී ගයද්දී, විජය සනත් එක්ව රැඟූ බොහෝ චිත්‍රපටවල සනත්ට ගී ගැයුවේ ග්‍රේෂන්ය.
සනත් - ග්‍රේෂන් සුසංයෝගයේ ගී අතර ‘ නැවත හමුවෙමු ‘ චිත්‍රපටයේ ‘ සිහින අහසේ වසන්තේ ‘ , මහමඟ හමු වන්නේ, දයා විමලවීර ගේ ‘ රජ දරුවෝ චිත්‍රපටයේ බිළිඳුනේ දරුවනේ මගේ, ආත්මා චිත්‍රපටයේ ‘ හිමරේණු වැටෙනා, ආකාස ගංගාවේ, සසර චේතනා චිත්‍රපටයේ ‘ හිමකඳු යහනේ , මධු සිහින චිත්‍රපටයේ ‘ රජ මැදුරේ ඉපදීලා, ගී රස දන්නා, ඔබටයි පි‍්‍රයේ ආදරේ චිත්‍රපටයේ ‘ මනාලියක් සඳ වාගේ, ආසාවේ ආසාවේ පායා, සිහිනයකි ජීවිතේ, රජ වැඩ කාරයෝ චිත්‍රපටයේ ‘ සීතාදෝ මේ කැකුළී මා රාමාදෝ, සුජාතා චිත්‍රපටයේ ‘ පිපෙන්නේ මේ මල් ලතාවේ, දෑසේ මල් පිපිලා චිත්‍රපටයේ ‘ මල් පාරේ, ඔක්කොම රජවරු චිත්‍රපටයේ ‘මධුර ප්‍රේම නිම්නයේ, ඇතුළු චිත්‍රපට ගීත රාශියක් මතකයට එනවා.
සනත් ට අමතරව ග්‍රේෂන් ගාමිණී ෆොන්සේකා , විජය කුමාරතුංග, ජෝ අබේවික්‍රම, රන්ජන් රාමනායක, ලකී ඩයස්, ලාල් වීරසිංහ, ශෂී විජේන්ද්‍ර, ෆ්‍රෙඩී සිල්වා, නිහාල් සිල්වා, ටෙනිසන් කුරේ, චන්න පෙරේරා ඇතුළු නම් ලැයිස්තුවකට ම ඔහුගේ පසුබිම් හඬ මුසු කළා. එසේම ඔහු හෙළ ගීත කෝකිලාවිය ලතා වල්පොල, ඇන්ජලින් ගුණතිලක ගේ සිට උරේෂා රවිහාරි දක්වා ත් යුග ගී ගායනා කළා. ග්‍රේෂන් සිය දක්ෂතාවයන්, හැකියාවන් ප්‍රකට කළේ ගායනයේදී පමණක් නොවෙයි. සංගීත අධ්‍යක්ෂවරයෙකු වශයෙන් ඔහු ඉතාම මියුරු සංගිත රටා මැව්වෙක්. ඔහුගේ ප්‍රථම චිත්‍රපට සංගීත අධ්‍යක්ෂණය වුණේ කේ. ඒ. ඩබ්ලිව්. පෙරේරා අධ්‍යක්ෂණය කළ ‘ දුර්ගා ‘ චිත්‍රපටයයි. ප්‍රථම පසුබිම් සංගීත අධ්‍යක්ෂණයෙන්ම ඔහු එවර සරසවිය සම්මාන උලේළේදී හොඳම සංගීත අධ්යක්ෂ ලෙස නිර්දේශිත නාම අතරට එක්වුණා. එවර හොඳම ගායිකාව වශයෙන් සරසවිය සම්මාන දිනා ගත් නීලා වික්‍රමසිංහ එම චිත්‍රපටයේ ග්‍රේෂන් ගේ සංගීත අධ්‍යක්ෂණයෙන් හොඳම ගායිකාව බවට පත්වුණා. ග්‍රේෂන් ගේ මියුරු තනු නිර්මාණය පිළිබඳ කතා කරත්දී මතකයට එන තවත් සුවිශේෂී ගීතයක් තිබෙනවා. ඒ විශාරද එඩ්වඩ් ජයකොඩි ගායනා කරන ජනපි‍්‍රයතම ගීතයක් වන ‘ තෙදිනි විරාජ ‘ ගීතය. මේ සත්සර රටා මේ රටේ තවත් බොහෝ ගී නිර්මාණයන්ට මෙන්ම ටෙලිනාට්‍ය සංගීතයටද ඔහු පිරි නමා තිබෙනවා.
ඔහු ගේ නිර්මාණ ජීවිතයේ මෙන්ම පෞද්ගලික ජීවිතයේද ඔහුට ශක්තියක් වූයේ ඔහුගේ දයාබර බිරිය ශී‍්‍රමා ය. ආදරණිය පේ‍්‍රම සබඳතාවයක ප්‍රතිඵලයක් ලෙසින් ග්‍රේෂන් ශී‍්‍රමා අතිනත ගන්නේ 1985 ජනවාරි 11 වැනිදාවක කොළඹ ශාන්ත සිසිලියා දෙව් මැඳුරේදී. ඔවුන් සිය කුටුම්බ ජීවිතය තුළ දුක් සැප සමව බෙදා ගත්තා. සිය ජීවන ගීතය නිමා කරන මොහොත දක්වාම නිර්මාණකරණයේ නියැළුණු ඔහු සිය ආදරණීය හඬ අදටත් අපට අසන්නට ඉතිරි කර දෙව්මව් තුරුළට ගියා.
ග්‍රේෂන් හැමදාමත් විශ්වාස කළේ ඔහු සතු වූ මේ හැකියාව, දක්ෂතාවය, කටහඬ, දෙවියන්ගෙන් ලත් තිළිණයක් ලෙසයි. අද ඔහුගේ නිර්මාණ ඇතුළු මේ සියල්ල ආරක්ෂා කරමින්ම තමන්ගේම යැයි ස්ව ගමනකද නිරත වන්නේ ඔහුගේ පුත් මාරියෝ හා දියණිය දුලංජලීයි. දුලංජලි මේ වනවිට ඉංගී්රසි ප්රවෘත්ති නිවේදිකාවක ලෙස සහ සහාය නිෂ්පාදිකාවක ලෙසින් චැනල් අයි නාළිකාවේ සේවය කරනවා. ග්‍රේෂන් ගේ සිනමා ගමන් මඟ තුළ ඔහු කිහිප විටක්ම හොඳම ගායකයා වශයෙන් විවිධ සම්මාන උලෙළයන්හිදි සම්මානයට පාත්‍ර වූවා. එහෙත් අද දින, මේ මොහොතේත් ඔහුගේ නිර්මාණ කාර්යයන් හා ගායනයන් පිළිබඳ පසු විපරම් කරත්දීත් දැනෙනුයේ මේ තරම් දක්ෂතාවයන් රැසක් කරපින්නාගෙන සිටි ඔහුට , චිත්‍රපට පසුබිම් ගීතයට දායක කළ ආනන්දනීය සිනමා ගී පොකුරෙහි අලංකාරය කෙතරම් දැයි සිතත්දීත් , ඔහු ජීවත්ව සිටියදී ඊට නිසි ගෞරවය හෝ ඇගයීම ලැබුණා මදි නොවේද කියායි.