වේදිකාවේ අපූර්ව නළු නිළි සුසංයෝග

ජනවාරි 14, 2021

ස්වකීය කුලුඳුල් නාට්‍ය නිර්මාණය වූ "මහගිරිදඹ" සිට විවිධාකාරයෙන් කලාකරුවාට මුහුණ පෑමට සිදුවන ඛේදවාචක ආචාර්ය ජයලත් මනෝරත්නයන්ගේ නාට්‍යවලට වස්තු විෂය වූ බැව් පෙනේ. පසුගිය ලිපියේ ම විසින් ව්ග්‍රහ කරන ලද "ගුරුතරුව" සහ "අන්දරේලා" නාට්‍ය ද්වය මෙහිලා සනිදර්ශිතය.මේ සියලු විලම්බෑසි සිදු වනුයේ වචනයේ පරිසමාප්ත අර්ථයෙහිම කලාකරුවන්ටය. කලාකරුවන්ගේ වේශයෙන් සිටින ව්‍යාජ වෙළෙන්දන්ට, සුකිරිබටිල්ලන්ට මේ කිසිදු ගැටලුවක් නොමැත. මේ දෙපිරිස අතර තුලනයක් ආචාර්ය මනෝරත්නගේ "තලමල පිපිලා" නාට්‍යයෙහි දක්නා ලැබේ. වැඩවසම් අර්ථ ක්‍රමයක ලක්ෂණ පළ කෙරෙන උඩරට ගම්මානයක, නවීකරණය හේතුකොට එහි ගම්වැසියන්ගේ ජීවන වෘත්තීන්,අධ්‍යාත්මය,සමාජ ආචාර ධර්ම, සාහිත්‍ය කලා, සංස්කෘතික උරුමය යනාදිය දෙදරා යෑමෙන් සාම්ප්‍රදායික ගම්මානයක පවුල් සංස්ථාව මුහුණපාන ඛේදවාචකය ආචාර්ය ජයලත් මනෝරත්නයන්ගේ "තලමල පිපිලා"(1988) සුප්‍රකට නාට්‍යයට වස්තු විෂය විය.

ගැමි අධ්‍යාත්මයෙහි නිදන්ගත ජාතික චින්තනයෙන් හා පාරම්පරික කලා ඥානයෙන් හෙබි රංබරණා ගුරුන්නාන්සේ (ජයලත් මනෝරත්න) නර්තන ඇදුරුතුමෙකි. ඔහු ඇහැළ ගහ යට "මධ්‍යම ලංකා රංග සභාව" ඔස්සේ නර්තනය උගන්වයි. ඔහු තම භාර්යාවද අහිමි වීමෙන් පසුව පුතු බාලබණ්ඩාර( ශ්‍රියන්ත මෙන්ඩිස් පසුව සරත් චන්ද්‍රසිරි)ඇති දැඩි කිරීමට කැප වූ පියෙකි.බටහිර ආකල්පවලින් මඩනා ලද ඒ අනුව ක්‍රියා කරන්නියක වූ මහේෂිකා (රත්නා ලාලනී)බාල බණ්ඩාරගේ භාර්යාවය. ඇය බටහිර බැලේ නර්තන ශිල්පිනියකි. ඔවුන්ගේ කුඩා පුතු හේතු (භානුක මනෝරත්න) තම දෙමවුපියන්ට වඩා ප්‍රිය කරනුයේ ලොකු අත්තාට හෙවත් රංබරණා ගුරුන්නාන්සේටය. සංස්කෘතික හර පද්ධතිය බිඳ දැමූ ජනප්‍රිය සංස්කෘතික වහන්තරා කරපින්නා ගැනුමටත් මුදලට ප්‍රමුඛතාව දෙන භෞතික ජීවිතය වෙතත් බාලබණ්ඩාර පෙලඹෙනුයේ මහේෂිකා නිසාය. ඇය තම මාමණ්ඩියගේ කලා විඤ්ඤාණය හෑල්ලුවට ලක් කරන්නීය. සභාපති (ලාල් කුලරත්න) වැනි වංචනික දේශපාලනඥයන් සහ ඔකනල් (සම්පත් තෙන්නකෝන්) වැනි විදේශීය වෙළෙන්දන් සමඟ එක්වී ආත්මාර්ථ සාධනයට තම පවුල සේම දේශීයත්වයද ඕ දඩමීමා කරගන්නා අයුරු "තලමල පිපිලා" නාට්‍යයෙහි මැනවින් නිරූපිතය. බාලබණ්ඩාර "මධ්‍යම ලංකා රංග සභාව" යන නාමය කෙටි කොට අවසන "මල රංග සභාව" ලෙස වෙනස් කරයි. මෙහි නුග ගස නාට්‍යවේදියා සංකේතාත්මක අර්ථයකින් උපයුක්ත කොට ගෙන ඇත. නාට්‍යය මුලදී සහෘදයා දකින නුග ගස අවසානයේ බාලබණ්ඩාර කපා දමයි. "රංබරණා", "බාලබණ්ඩාර","මහේෂිකා" යන පාත්‍ර වර්ගයා නාට්‍යවේදියා විසින් නාමකරණය කරනු ලැබ ඇත්තේද සංකේතාත්මක අරුත් සහෘද මනසෙහි කාවද්දනු පිණිසය.

ආචාර්ය ජයලත් මනෝරත්න, රත්නා ලාලනී, වසන්ත විට්ටච්චි, ශ්‍රියන්ත මෙන්ඩිස් (පසුව -සරත් චන්ද්‍රසිරි), ලාල් කුලරත්න, සම්පත් තෙන්නකෝන්, භානුක මනෝරත්න, සෝමපාල පතිරගේ, බණ්ඩාර ඇහැළියගොඩ, අජිත් ලොකුගේ, එස්.එම්.සී.චන්ද්‍රරත්න, කුමාර ලියනගේ, ජගත් බෙනරගම යනාදීහු "තලමල පිපිලා"නාට්‍යයෙහි රංගනයෙන් දායක වූහ.ආචාර්ය ජයලත් මනෝරත්න නිර්මාණය කළ නාට්‍ය බහුතරය ස්වතන්ත්‍ර වීම නිසා ඔහු මෙරට සමකාලීන සමාජ, ආර්ථික, දේශපාලන ගැටලු, විෂමතා ඒවාට වස්තු විෂය කොට ගත්තේය. එහෙත් ඔහු සියලු නාට්‍ය පාහේ නිර්මාණය කළේ සෞන්දර්යාත්මක, කාව්‍යාත්මක රීතියකිනි. එහෙයින් ඔහු සෙසු බොහෝ නාට්‍යවේදීන් මෙන් මෙරට සමාජ, ආර්ථික, දේශපාලන ගැටලු විවරණය උදෙසා සෞන්දර්යාත්මක පරතරය (Aesthetic distance) තබා ගනු පිණිස විදෙස් නාට්‍ය කෘති පරිවර්තනයෙන් හෝ අනුවර්තනයෙන් නාට්‍ය නිර්මාණය කිරීමට එතරම් උත්සුක නොවූයේය.විදෙස් නාට්‍ය කෘතියක අනුවර්තනයෙන් ඔහු නිර්මාණය කළ ප්‍රමුඛතම නාට්‍යය "පුත්‍ර සමාගම"(1985)ය. මේ වූ කලී ඇලෙක්සැන්ඩර් වැම්පිලොව්ගේ "ඊඩඥ ඥතඤඥප ඵධද"(1967) නමැති රුසියානු නාට්‍යයෙහි අනුවර්තනයකි. මෙය පරිවර්තනය කරමින් පිටපත රචනා කරන ලද්දේ ප්‍රවීණ සිනමාවේදී ප්‍රසන්න විතානගේ විසිනි.

ලාංකේය වේදිකා නාට්‍ය වංශයේ මනෝරත්න - රත්නා ලාලනී සුසංයෝගය අපූර්වය. විටෙක ඔවුන් ආධ්‍යාත්මික පෙම්වතුන්ය. (නිදර්ශන - ගුරුතරුව), වරෙක අඹුසැමියන්ය. (නිදර්ශන-අන්දරේලා) තවත් වරෙක මාමණ්ඩිය හා ලේළියයි. (නිදර්ශන- තලමල පිපිලා) එපමණක්ද ? තවත් වරෙක පියා සහ දියණියයි."මායාදේවි"මෙන්ම "පුත්‍ර සමාගම" ඊට දෘෂ්ටාන්තයෝ වෙත්.

ප්‍රේමය, හාස්‍යය, පිය සෙනෙහස, මානවහිතවාදය, සංවේදීතාව අපූර්ව ලෙස කැටි වූ නාට්‍යයක් ලෙස ආචාර්ය ජයලත් මනෝරත්නයන්ගේ "පුත්‍ර සමාගම" සහෘදයන්ට අමතක නොවේ.

ඒ රුසියාවේ ශීත සෘතුවය. හිමපතනය සහ කුණාටුවද එළිමහන් ජීවිතයට අයහපත් ලෙස බලපා තිබේ.රාත්‍රී 12.30 අවසාන දුම්රිය වරද්දා ගන්නා බුෂින් (අජිත් ජිනදාස පසුව ජනක කුඹුකගේ) සහ ස්ලික් (ශ්‍රියන්ත මෙන්ඩිස් පසුව සරත් චන්ද්‍රසිරි) තරුණයෝ දෙදෙනෙකි. ඔවුහු ඉවසිය නොහැකි අධික ශීතලෙන් පීඩා ලැබ එකිනෙකා සමඟ කුලුපග වෙති. බුෂින් විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙකි. ස්ලික් අලෙවි නියෝජිතයෙකි. දුම්වැටියකින් හෝ ශාරීරික අභ්‍යාසවලින් සීතල මකා ගැනීමට ඔවුන් දරන වෑයම ව්‍යර්ථ වේ.

තවදුරටත් මෙලෙස එළිමහනේ සිටියහොත් මරණය පමණක් උරුම වන බව පසක් කොට ගන්නා ඔවුහු පසුදා පහන්වන තුරු බේරී සිටීමට අසල්වැසියන්ගේ ගෙවල්වලට තට්ටු කොට බලති. කිසිවකු හෝ පිහිට වන අයුරක් දක්නට නොමැත. මේ අතර එක් නිවසකින් එළියට බසින සරාෆ්නොව් (ජයලත් මනෝරත්න)නමැති මහලු ට්‍රම්පට් වාදකයා අසල්වැසි නිවසක නතාෂා (චාන්දනි සෙනෙවිරත්න) නමැති තරුණියකට කතා කරන අයුරු තරුණයෝ රහසෙන් මෙන් දකිති. ශීතලය නිවා ගැනීමට උපායක් යොදන ඔවුහු වහා ගොස් සරාෆ්නොව්ගේ නිවසට රිංගා ගනිති.එහි සිටින්නේ නොමේරූ මනසකින් යුත් වසෙන්කා (ජය ශ්‍රී චන්ද්‍රජිත්) සහ ඔහුගේ සොහොයුරිය නීනා (රත්නා ලාලනී) ය.

තමන් දෙදෙනා පැමිණියේ වසෙන්කා හා නීනාගේ පියා හමුවීමට බව ඔවුහු පවසති. තරුණයෝ දෙදෙනා පියා එනතුරු යැයි කියමින් හොඳීන් සංග්‍රහ ලබා ගනිත්. හදිසියේ පියා වන සරාෆ්නොව් නිවසට පැමිණේ.තරුණයෝ දෙදෙනා ක්ෂණිකව හිසට නැඟෙන බොරුවක් ගොතා කියති.බුෂින් කියා සිටින්නේ තමා සරාෆ්නොව්ගේ පුතකු බවය. ස්ලික් මිතුරකු බවය. මුලදී සරාෆ්නොව් මෙය ගණන් නොගත්තද තමා බොහෝ කලකට පෙර හමුදා සේවයේ යෙදී සිටියදී සිදු වූ සිද්ධියක් සිහිපත් වීමෙන් මේ නම් තමාගේම පුතකු බවට ක්‍රමයෙන් විශ්වාස කිරීමට පෙලඹේ.තරුණයෝ දෙදෙනා ඔහු රවටා කෙසේ හෝ රාත්‍රිය මෙහි ගත කිරීමට කටයුතු යොදා ගනිති. රාත්‍රිය පුරා සරාෆ්නොව් සහ බුෂින් දීර්ඝ කතාබහකින් පසුව ඔවුහු නින්දට යති.

පසුදා උදෑසන වන විට පියා සහ මේ පුතා අතර දැඩි භාවමය බැඳීමක් ගොඩනැඟෙයි. බොරුවකින් ඇරැඹුවද බුෂින්ට දැන් මේ කාරුණික පුද්ගලයා හැරදමා යා නොහැකිය. වසෙන්කා සහ අසල්වැසි නතාෂා අතර ඇති සබඳතාව නතර කරලීමට සරාෆ්නොව් බුෂින්ගේ සහය පතයි.මේ අතර නීනාගේ පෙම්වතා වන කුඩිමොව් (සම්පත් තෙන්නකෝන්) සවස් යාමයේ නිවසට පැමිණෙන්නේ ප්‍රථම වතාවටය. සරාෆ්නොව් දකින කුඩිමොව්ට සිනහ පහළ වේ. ඊට හේතුව සංධ්වනි වාද්‍ය වෘන්දයේ (Symphony orchestra) ට්‍රම්පට් වාදකයකු ලෙස කලින් අසා තිබූ සරාෆ්නොව් අවමඟුල් පෙරහැරවල ට්‍රම්පට් වාදකයකු බව සිහිපත් වීම නිසාය.එහෙත් බුෂින් සරාෆ්නොව්ගේ සහයට ඉදිරිපත් වීමෙන් ගැටුමකට මුල පිරේ. මේ අතර වසෙන්කා නතාෂාගේ ගෙට ගිනි තබා දිව එයි. ඒ නිවසෙහි සිටින්නෝ නතාෂා සහ ස්ලික්ය.

අනතුරට ලක්වන ස්ලික්ද නටාෂාද මේ නිවසට දිව එති. තවදුරටත් තත්ත්වය සංකීර්ණත්වයෙන් ව්‍යාකූල වෙයි.කෝපයට පත් කුඩිමොව් නිවසින් පිටව යයි.ස්ලික්ටද දැන් පිටවීමට අවශ්‍ය වුවත් බුෂින් මේ නිවස හා බැඳී සිටීම ඊට හරස් වේ.ස්ලික් සත්‍යය හෙළි කරන්නේ එහෙයිනි. එහෙත් එය පිළිනොගන්නා සරාෆ්නොව් ස්ලික් නිවසින් එළවා දමයි. නටාෂා පෙරදින රාත්‍රියේ තමාගෙන් නවාතැන් ඉල්ලා සිටි බුෂින් හඳුනාගැනීමෙන් රහස මඳීන් මඳ හෙළිදරව් වේ.මේ වන විටත් නීනා කෙරෙහි බැඳුණු සිත් ඇති ව සිටින බුෂින් තවදුරටත් තමා ඇගේ සොහොයුරකු නොවන බව දැඩි ලෙස අවධාරණය කරයි.

සරාෆ්නොව් සිය දරුවන් කෙරෙහි කලකිරීමෙන් මේ "වැඩිමහල් පුතු" වූ බුෂින් සමඟ දුර පළාතකට ගොස් වාසය කිරීමට තීරණය කරයි. එහෙත් බුෂින් හැඟීම්බරව පවසා සිටින්නේ තමා ඔහුගේ පුතකු නොවන බවත් රාත්‍රිය උණුසුමින් ගත කිරීමට අවශ්‍ය වූ නිසා මේ බොරුව ප්‍රකාශ කළ බවත්ය.සරාෆ්නොව් ඉන් කම්පාවට පත් වේ. බුෂින් ආපසු යෑමට කබායෙන් සැරසී වෙලාව විමසයි. එවිට රාත්‍රී 12.30 පසුවී ඇති බව නීනා පවසයි. "එහෙනං ආයිමත් මට අන්තිම කෝච්චිය වැරදුණා" කියමින් බුෂින් අසුනට බරවත්ම සරාෆ්නොව් සහ නීනා ජයග්‍රාහී සිනහවකින් එකිනෙකා දෙස බලා ගනිති.

මෙලෙස "පුත්‍ර සමාගම" නාට්‍යය ඔස්සේ ආචාර්ය ජයලත් මනෝරත්න සහෘද මනස් හී කාවැද්දීමට ප්‍රයත්න දරනුයේ "ලේ බැම්මෙන් හෝ නෑදෑකමෙන් බැඳෙන බැම්මට වඩා හැඟීමෙන් සහ මානුෂික ගුණධර්මවලින් බැඳෙන බැම්ම බලවත්" වන බවය.