අර්බුදයට මුල පිරුවේ කිකිළි ද බිත්තරය ද?

රැකෙනු නැත්නම් තැවෙනු ! - 5
මාර්තු 18, 2021

 

පසුගියදා සවසක මම කොළඹ බම්බලපිටියේ මැජස්ටික් සිනමා ශාලාවට ගියේ දෙවසරකට පමණ පසුවය. ඒ වන විට එහි පැවැති තත්ත්වය කනගාටුදායකය. මෙරට සිනමා‌ ශාලාවන්ගේ වර්තමාන තත්ත්වය පිළිබඳ හොඳම නිදර්ශනය එය යැයි නොකියාම බැරිය. එය එක් අතකින් අතීතය හා වර්තමානය යා කරන අවස්ථාවක්ය. මෙරට සිනමාවේ අර්බුදයේදී මෙයට විසිපස් වසරකට පෙර එයට පිළිතුරු දුන්නේ ද මෙම සිනමා සංකීර්ණය බැව් නොකියාම බැරිය. 1994-95 වර්ෂ කාලයේ දී ටෙලිවිෂනය එයට අභියෝගයක්යැයි සිතුවේ සිනමාවෙන් එහා යමක් සිතිය නොහැකි යාවත්කාලින නොවන පිරිසක් පමණකි. බොහෝ දෙනා සිනමාව අතහැර ටෙලිවිෂනය ඔස්සේ ජීවිතය ගෙන යෑමට මඟ පාදා ගත්හ. එයට වසරකට පමණ පෙර බොහෝ සිනමා ශිල්පින් ඇතුළු කාර්මික වෘත්තිකයන් ජීවත්වීම පිළිබඳ අරගලයක යෙදෙද්දී ඔවුන්ට ලැබුණ හොඳම විකල්පය වූයේ ටෙලිවිෂන කර්මාන්තයයි. ඒ සමඟ පැරැණි චිත්‍රපට නිෂ්පාදන ආයතන කිහිපයක් පවා අභාවයට ගිය ද එයට වඩා නූතන තාක්ෂණයෙන් යුත් ටෙලිවිෂන නිෂ්පාදන සමාගම් බිහි විය. එයට කවර අභියෝග මත හෝ යැපෙන්නට ටෙලි නාට්‍ය ද දැන්වීම් නිෂ්පාදන ද අතරින් පතර චිත්‍රපට ද ලැබිණ.

දේශීය චිත්‍රපට පළමුව උපන් කොමඩි රැල්ල ඔස්සේ යැපුණේය. එයින් පසු විකල්පය වූයේ කාම රැල්ලය. ඇගේ වෛරය චිත්‍රපටයෙන් පසු මේ රැල්ල කෙතරම් පැතිර ගියා ද යත් සිංහල චිත්‍රපට සඳහා ඉල්ලුම මදි වන විට ඒ සඳහා මලයාලම් සිනමාවේ කලකට ඉහත තිර ගත වුණු එබඳු චිත්‍රපට ද ලෝකයේ වෙනත් රටවල පැවැති බාල වර්ගයේ චිත්‍රපට ද සිනමා ශාලාවල තොග ගණනට තිර ගත විය. විශේෂයෙන් එකල ප්‍රසිද්ධ රැඟුම් පාලක මණ්ඩලය මගින් සෙසු ආසියාතික රටවලට වඩා පුළුල් නිදහසක් මෙරට සිනමාව සම්බන්ධයෙන් අනුගමනය කරන ලදී. අවාසනාවට එයින් විපුල ඵල නෙලා ගත් බහුතරය සිනමාවේ ප්‍රගමණය අපේක්ෂා කළ අය නොවේ. මේ කාම රැල්ල කිහිප දෙනෙකුට හොද්ද බොර කර දුන්නද දේශිය සිනමාවේ දීර්ඝ කාලීන වෙළෙඳපොළට එමඟින් සිදු වූ හානිය විශාලය.

හැත්තෑව දශකයේ සාහිත්‍යකරුවා හා නාට්‍යකරුවා සම්ප්‍රදායෙන් මිදී සිය නිර්මාණ කරද්දී සිනමාකරුවා එතරම් නිර්භීත නොවුයේ ද මෙරට සිනමා වෙළෙඳ පොළ කේන්ද්‍ර කර ගත්තේ පවුල් ඒකකය නිසාවෙන්ය. එකල සාමාන්‍ය මතය වූයේ එක් වීදියක එක් කාන්තාවකට චිත්‍රපට ප්‍රවේශ පත්‍රය නොමිලයේ ලබා දුන්නොත් මුළු පළාතටම ප්‍රවේශ පත්‍ර අලෙවි කළ හැකි බවය. කාන්තාවක සිනමා ශලාවට ගොඩවනුයේ තනියම නොවේ. ඇය සමඟ ඇගේ සැමියා ද නැතහොත් දරුවන් ද සිනමාහලට ගොඩ වනු ඇත. එහෙත් කාම රැල්ල පවුලේ සිනමාව වැනසුවේය. එක් අතකින් එම චිත්‍රපට තිබුණේ ද ගැහැනුන්ගේ නිරුවත අලෙවි කිරිමට පමණකි. ඒ වන තෙක් මෙරට සිනමා ශාලා ව්‍යාපාරය රැඳී තිබුණේ පවුල නම් සංකේතය වටාය. එහෙත් සිංහල සිනමාවේ කාම රැල්ල බෝවත්ම එම සිනමා ශාලා ද සාමාන්‍ය ප්‍රේක්ෂකයා අතින් දුරස්ත වන්නට විය. එමෙන්ම මෙම සිනමා පට ප්‍රදර්ශනයත් සමඟ එම චිත්‍රපට තිර ගත වන සිනමා ශාලා බොහෝ ප්‍රේක්ෂකයා සලකන ලද්දේ ගණිකා මඩම් නැතහොත් ගුබ්බෑයම් හැටියටය. ඇතැම් සිනමා ශාලා ඒ වන විට වැටී ඇති තත්ත්වයෙන් මිදෙන්නට මෙම නිරුවත් ජවනිකා අඩංගු දර්ශන සහිත චිත්‍රපට ප්‍රදර්ශනය කළ අතර, ඇතැම් සිනමා ශාලා එය තව දුරටත් ප්‍රගුණ කරන ලද්දේ චිත්‍රපටයට අදාළ නොවන වෙනත් ඉංග්‍රිසි චිත්‍රපටවල තිබුණු සරාගී ජවනිකා ද එයට එක් කරමින්ය. තාවකාලිකව එම සිනමා ශාලා එයින් පණ ගැසුව ද එය දීර්ඝ කාලීනව අහිතකර වූයේ මේ බොහෝ සිනමා ශාලා මෙම රැල්ලේ අවසානය සමඟ සම්පූර්ණයෙන්ම වසා දමන තත්ත්වයට පත් වීමෙනි. කොළඹ පමණක් එලෙස වැසුණු සිනමා ශාලා සංඛ්‍යාව හතකි. ඇතැම් සිනමා ශාලාවක් යළි විවෘත වූයේ නව කළමනාකාරීත්වයෙන් යුතුව සිනමා ශාලාවට අලුත් මුහුණුවරක් දෙමින්ය.

මේ අවදියේ සිනමාව සම්බන්ධව පැවැතියේ පළමුව ඉපැදිය යුත්තේ කුකුළා ද බිත්තරය ද යන න්‍යායේ කතාබහකි. සිනමා ශාලා යහපත් නොවන නිසා සිනමා කෘතීන් නැරඹිමට ප්‍රේක්ෂකයන් නොඑන බවට නිෂ්පාදකයෝ මැසිවිලි නැඟුහ. ආකර්ෂණීය සිනමාවක් නැතිව සිනමාහල් සඳහා ප්‍රේක්ෂකයන් ඇදී නොඑන බවට ප්‍රදර්ශකයෝ මැසිවිලි නැඟූහ.

කෙසේ වෙතත් සිනමා ශාලාවල තත්ත්වය යහපත් නොවේ නම් සිනමා හලට නොපැමිණෙන්නට හේතු තිබිණ.

1995 වසර වන වට මෙරට ටෙලිවිෂන් ක්ෂේත්‍රයේ ඇති වුණ තරගකාරීත්වය මත එක් පැත්තකින් දැන්වීම් දිනා ගැන්මටද අනික් පැත්තතෙන් ඒ සඳහා ප්‍රේක්ෂකයන් දිනා ගැන්මටද එම ආයතන කටයතු කළේය. එහි වඩාත්ම වැදගත් ප්‍රතිඵලය වූයේ මධ්‍යම පන්තියට සිහින විකිණීමය. එය මිනිසුන්ගේ අවශ්‍යතා වැඩි වැඩියෙන් පුළුල් කිරිමට හේතු විය. කුඩා ටෙලිවිෂනයකින් නිවෙසේ ප්‍රවෘත්ති නැරඹූ ගෙදර උදවිය එයට වඩා පුළුල් ටෙලිවිෂනයක් ගැන සිහින මවන්නට පටන් ගත්තේ මේ අවධියේය. බොහෝ ටෙලිවිෂන වැඩ සටහන් ඉලක්කගත වූයේ මැද පාන්තික සිහින ඉදි කරන්නටය. ණය වී හෝ සිහින සැබෑ කරන්නටය. සාමාන්‍ය නිවෙසක ජීවත් වූ මිනිසා දෙමහල් නිවෙසක් තනා එය ටයිල් කිරීමේ සිට නිවාසයක් යනු අවශ්‍යතාවක් නොව විලාසිතාවක් බවට පරිවර්තනය කරනු ලබනුයේ මේ අවදියේය. මිනිසාගේ කෑම බීම පමණක් නොව සුවඳ විලවුන් හා ඒ වන තෙක් කිසිවකු හෝ අසා නැති රෝග ව්‍යාධි මෙන්ම ඒ සඳහා බිහිවුණු චැනල් වෛද්‍යවරු ද සෙල්ස්රෙප්ලා ගාණට ටෙලිවිෂනයේ උදේ වැඩසටහන්වල ඹෟෂධ අලෙවි කරන ලද්දේ තෙල් බේත් වෙළෙන්ඳන් ගාණට පත්වෙමින්ය. ටෙලිවිෂනයේ මෙම දැන්වීම් කලාව ඇතුළත තමන් නොදැනුවත්වම පාරිභෝගිකයන් බවට පත්විය. තව දුරටත් විදුලි පංකාවක සුවය විඳීන්නට සිනමා ශලාවට යා යුතු නැත. අයිස් චොක්ස් කන්නට යා යුතු නැත. ඒ සඳහා මැද පන්තියේ නිවෙසට අත්‍යාවශ්‍ය භාණ්ඩ ලෙස විදුලි පංකාව ද ශිතකරණය ද පැමිණියේය. එදිනෙදා ආහාර වේලේ සිට විලාසිතාවන් රස වින්දනය ආදි වූ සියල්ල වෙනුවෙන් ටෙලිවිෂනය මඟින් රසිකයෝ ගිල ගත්හ. සිනමා හලට යනවාට වඩා සිනමා ශාලාව ගෙදර ආවේය. පරිබාහිර වශයෙන් නූතන තාක්ෂණය යටතේ පරිගණකය ද අත්‍යාවශ්‍ය භාණ්ඩයක් බවට පත්වීම සහශ්‍රකය ආරම්භය වන විට සිදුවෙමින් පැවතිණ. 2000 වසර වන විට වීඩියෝ යන්ත්‍රයේ තැන ඩීවීඩීයට ද (ඒ අතර ලේසර් ඩිස්ක් නම් අන්තරාභවයක් බඳු යමක් ද විය) පසුව තවත් දශකයක ඇවෑමෙන් එය බ්ලූ රේ තැටියට ද මාරු විය. මෙයටත් වඩා ඒ සියලු රූප රාමු දැක ගැන්මට ජංගම දුරකථනයට හැකි විය. මේ සියල්ලෙහි පාරිභෝගික අවශ්‍යතාව ලෙස ඉස්මතු වූයේ වඩා සුවිසල් රූපයක් දැක ගැනීමය. සිය පාරිභෝගිකයා එලෙස විපර්යාසවලට මුහුණ දෙද්දී තව දුරටත් චිත්‍රපට නැරඹීමට ශාලාවට එතැයි බලාපොරොත්තු තබා ගන්නේ නම් නිවෙසේ ඇති පරිසරයට වඩා වැඩි යමක් සිනමා ශලාවේ තිබිය යුතුය. මේ විපර්යාසය හඳුනාගෙන එයට පිළිතුරක් සැපයූවේ කොළඹ මැජස්ටික් සිනමා ශාලාවේ ඉදිවූ සිනමා ශාලව සමඟය. එය නිවසට වඩා වැඩි යමක් අඩංගු සිනමාහලක් විය.

එයට පෙර එම ස්ථානයේ පැවැති මැජස්ටික් සිනමාහල කොළඹ නගරයේ පැවැති දැවැන්ත සිනමාහලක් විය. එය 1930 වසරේ දී ආරම්භ කරන ලද්දේ එවකට මෙරට සිනමා වෙළෙඳපොළේ හිමිකාරීත්වය දරා සිටි මදාන් තියටර්ස් සමාගම මගින්ය. ඒ සිලෝන් තියටර්ස් සමාගම මඟින් ඉදි කරන ලද රීගල් සිනමාවට අභියෝගයක් වන අන්දමටය. කෙසේ වෙතත් 1940 වසර වන විට සිලෝන් තියටර්ස් සමාගම මඟින් මැජස්ටික් සිනමා හල ද හිමි කරගන්නා ලදී . මේ දැවැන්ත සිනමාහල 1993 වසරේ දී ඉවත් කරන ලද්දේ වර්තමාන මැජස්ටික් සිටි සංකීර්ණයේ දෙවැනි අදියර සඳහාය. ඒ අවස්ථාවේ දී එවකට සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂවරයාව සිටි ඇන්තනි පේජ් මහතා සමඟ සරසවිය පුවත්පත සාකච්ඡාවක් කරන ලදී. මේ අවස්ථාවේ පැරැණි සිනමාහල කඩා ඒ බිම් කඩෙහි වටිනාකමත් එයට වැඩි වටිනාකමක් ගෙන එමින් එහි නව සිනමා හා සාප්පු සංකීර්ණයක් වසරකට උපයන ආදායමේ ප්‍රමාණයත් පෙන්වා දුන් ඔහු එමඟින් වැඩි ලාභයක් ලැබිය හැකි වග එහිදී පැහැදිලි කළේය. මේ සමයේ කොළඹ නගරයේ සිංහල චිත්‍රපට සඳහා ජනප්‍රිය නමක් දිනූ එක්තරා සිනමාහලක හිමිකරු සිය සිනමාහල වායු සමනය කොට සැකසීම සඳහා එක්තරා බැංකුවකින් ණය මුදලක් ඉල්ලා සිටියේය. එහි භූමියේ වටිනාකම බැංකුව මඟින් තක්සේරු කරන ලද්දේ රුපියල් ලක්ෂ 400කටය. එහෙත් සිනමාහල සඳහා ඉල්ලූ ලක්ෂ දහයක ණය මුදල ලබාදීමට බැංකුව අදිමදි කරන ලද්දේ සිනමාහලේ වාර්ෂික ආදායම එතරම් නොවන බව පරික්ෂා කිරිමෙනි.

මෙහිදී සිනමාව යනු ව්‍යාපාරයක්ය යන න්‍යාය බැහැර කළ නොහැකිය. එවිට එක්කෝ කළ යුත්තේ සිනමා හල කඩා ඒ මත වෙනත් ව්‍යාපාරයක් ගොඩ නැඟීමය. අද ලොව පුරා සිදු වන අයුරිනි. නැතහොත් එයට මුහුණ දීමය. මෙහිදී මැජස්ටික් සිනමාහල සම්බන්ධයෙන් සිදු වූයේ දෙවැනි කාරණයයි. ඒ වන විට ලොව පුරා සිනමා ශාලා කුඩා වෙමින් පැවතිණ. ඒවායේ නවීන ශබ්ද තාක්ෂණය නිසා පැරැණි රංග ශලාවලින් උරුම වූ බැල්කනිය අහෝසි විය. 1996 වසරේ මැජස්ටික් සිටි මුල්ම සිනමා ශලාව ගොඩ නැඟුණේ එම අභියෝගයට මුහුණ දෙමින්ය. මෙහිදි සිනමාහලේ මුල් කළමනාකාරිත්වය දැරූ ඊ.එ.පී චිත්‍රපට සමාගම එහි අපූරු අත්හදා බැලීම් රැසක යෙදුණේ බොහෝ දෙනාට ආදර්ශයක් වෙමින්ය. ඒ වන විට රට පුරා තිබුණු තත්ත්වය යටතේ සිනමාහල් දිනකට පවත්වන ලද දර්ශන වාර ගණන තුනකට සීමා කර තිබිණ. එහි මුල්ම කටයුත්ත නම් එහි දර්ශන වේලාවන් සම්මත සිනමා දර්ශන වේලාවන්වලට වෙනස් කිරිමයි. ඒ අනුව සුපුරුදු 10.30, 2.30, හෝ (3.00) 6.30 වෙනුවට මුල්ම දර්ශනය පෙරවරු 11.00 ටත්, දෙවැන්න 1.15ටත්, තුන්වැන්න 4.15 ටත් සහ රාත්‍රි 7.00 ටත් දර්ශනයක් යෙදවිණ. මේ අනුව චිත්‍රපට ශාලාවල යළි දිනකට දර්ශන වාර හතරක් ආරම්භ වූ අතර මේ නව වේලාවන් කාර්යබහුල නව සමාජය හා බෙහෙවින් ගැළපිණ. මුලින් මේ නව වේලාවන් අවඥාවෙන් සැලකූ ඇතැම් සිනමා ශාලා ද හීන්සීරුවේ නව ක්‍රමය අත්හදා බලා සාර්ථක ප්‍රතිඵල ගෙනාහ. දෙවැන්න කිසිවිටෙකත් සිනමාහලක වැඩිහිටියන්ට පමණක් සීමා වන චිත්‍රපට තිර ගත නොකිරිමයි. එමගින් යළි පවුලේ සිනමාව කරා ප්‍රේක්ෂකයා ඇද ගත හැකි විය. එහි තාක්ෂණය හා ප්‍රදර්ශනය ඒ වන විට නිවෙසේ දී අත් විඳීය නොහැකි විය. එමෙන්ම සාප්පු සවාරියක් ද මේ අතරේ ඉබේටම සිදුවිය. සිනමාව ප්‍රේක්ෂකයා අතරට යළි සිනමාහලට ගෙනාවේ එහෙමය. එහෙත් පොදු වෙළෙඳ තරගයකදී හැම විටම අභියෝගයන් සාමාන්‍ය කරුණකි. අලුත් ව්‍යාපාරිකයෝ වඩාත් නවීන ක්‍රම උපයෝ‍ගී කරගෙන සිය වෙළෙඳ පොළ ජය ලබා ගනිති. 2011 වසරේදී මැජස්ටික් ශාලා ත්‍රිමාණ චිත්‍රපට ප්‍රදර්ශනයට ද එළැ‌ඹෙමින් සිනමා ශාලා 4ක් දක්වා වර්ධනය වූයේ එහි මුල් සමාගම වූ සිලෝන් තියටර්ස්හි නව පාලනය අතට ගැනීමත් සමඟය. ඒ වන විට කොළඹ සිනෙසිටි සිනමා සංකීර්ණය ද ඉදි ව තිබිණ. එමෙන්ම පැරැණි සැවෝයි වැනි සිනමා ශාලා ද නවීකරණය වූ අතර රට පුරා ද අලුත් සිනමා ශාලා සංකීර්ණ කිහිපයක් ඉදිවිණ. මේ අතරින් යාපනය, කෑගල්ල, නුවරඑළිය වැනි ස්ථාන කිහිපයක්ම උදාහරණ කොට පෙන්වා දිය හැකිය. මේ සියලු කාරණා වැදගත් වන්නේ සිනමාව සම්බන්ධව ප්‍රේක්ෂකයා ආකර්ෂණය කර ගන්නේ කෙලෙසද යන්න පැහැදිලි කිරිමටය. එයට පසුකලෙක ස්කෝප් හා පී.වී.ආර් වැනි වඩා නූතන සිනමා සංකීර්ණ සමඟ මැජස්ටික් සිටි සංකීර්ණයට තරගයක් ඇතිවිණ. මේ තරගයේ දී ඔවුන්ට ජය ලබා ගත හැකි වනුයේ වඩාත් නවීකරණය වෙමින්ය. (වර්තමානයේ මැජස්ටික් සිටි සිනමා සංකීර්ණය නවීනත්වය අනුව වඩා තරඟයට මුහුණ දෙන්නට සැරසෙන බවට ආරංචි පවතී)

සිනමාවේ ඇතිවන අර්බුද අප රටට පමණක් උරුම වූ අර්බුද නොවේ. අපේ සිනමා කර්මාන්තය කොයි හටි වෙතත් ප්‍රේක්ෂකයා හැමවිටම යාවත්කාලින වන්නෙකු වෙයි.අද ලොව පුරාම පාහේ කේවල සිනමා ශාලා වසා දැමෙමින් පවතී. ඒවා සාප්පු සංකීර්ණවල අලුතින් ආරම්භ වෙයි. එක් සිනමා කෘතියක් නොව එහිදී සිනමා කෘති රැසක් අතරින් තමන් කැමැති චිත්‍රපටයක් තෝරා ගැන්මේ අයිතිය හෝ ප්‍රතික්ෂේප කිරිමේ අයිතිය ප්‍රේක්ෂකයා සතුව ඇත. එයටත් වඩා ගෘහ සිනමා ශාලාවක් සඳහා අවශ්‍ය සියලු දෑ වඩාත් ලාබයට ක්‍රෙඩිට් කාඩ්පත් මඟින් ලබා ගත හැක්කේ එක් පැත්තකින් ණයකරුවන් කිරීම මඟින්ය. මේ සියලු කාරණා සෘජුව හා වක්‍රව සිනමාවේ ප්‍රගමණයට හේතු වෙයි. එනම් සිනමාව සිනමා ශාලාවෙන් බැහැරව පුළුල් ලෝකය වෙත ගොස් ඇති බවය. කොටින්ම නියමිත වේලාවක නියමිත තැනක නැරඹූ චිත්‍රපටය කැමැති තැනක, කැමැති විටෙක නරඹන්නට ඉඩකඩ සලසා තිබේ. තවමත් මෙරට 4ඬ ප්‍රක්ෂේපණ තාක්ෂණයෙන් යුතු සිනමා ශාලා ඇත්තේ පහකි. ඩොල්බි ඇට්මොස් ශබ්ද තාක්ෂණය ඇති සිනමාහල් සංඛ්‍යාව එයටත් අඩුය. එහෙත් 4ඬ නොව 8ඬ ටෙලිවිෂන ද පහසු ගෙවීමේ ක්‍රමයට ගෙදර ගෙන යා හැකිය. ශබ්ද තාක්ෂණයත් එහෙමය. දැන් ඉතින් රැකෙනු නැත්නම් තැවෙනු. එසේ නම් විය යුත්තේ කුමක්ද?