වර්ෂ 2023 ක්වූ September 25 වැනිදා Monday
ඩී.එස්. හා සර් ජෝන් සිනමාවට

1854 වසරේ දී ජෝන් වෝකර් නම් ස්කොට් ජාතික ඉංජිනේරුවරයා විසින් මෙරට ආරම්භ කරන ලද අදාළ සමාගම ඒ වන විට ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ඉහළ නමක් දිනා සිටියේය. ඔවුනගේ ඉංජිනේරු තාක්ෂණයෙන් වැඩියෙන්ම වැඩ ගත්තේ මෙරට වතු ක්ෂේත්‍රයයි. අලුත් සමාගමක ඉදිකිරිමක් සදහා එපමණ මුදලක් ණය ලබාදීමෙන් හා එම ගොඩනැගිල්ලේ ඉදිකිරිම් කටයුතු පවරා ගැනීමට තරම් විශ්වාසවන්ත වනුයේ සිනමා සමාගමේ බලසම්පන්න ආයෝජකයන් බහුතරය එකල සුප්‍රකට වතුහිමියන් බැවින් ඔවුන් හා වෝකර්ස් පුත්‍රයන් අතර ඇතිව තිබුණ අන්‍යෝන්‍ය විශ්වාසය නිසායැයි අනුමාන කළ හැකිය.
ඔලිම්පියා සිනමාහල හරහා ලාභ ඉපැයීමෙන් පසු ගාඩ්නර් හා තම්බයියා නුවරඑළියේ ක්ලිෆර්ඩ් පැවිලියන් ශාලාව ද බදුගත්හ. ක්ලිෆර්ඩ් පැවිලියන් ශාලාව වතුකරයේ සුද්දන් අතර ජනප්‍රිය ශාලාවක් විය. කොළඹ සහ නුවරඑලියේ ව්‍යාපාර සාර්ථක වීමට ගියේ කෙටි කාලයකි. එබැවින් ඔවුන් ඉතා ඉක්මනින් ව්‍යාපාරික ක්ෂේත්‍රයේ කීර්තිමත් නාමයක් දිනා ගන්නට ඇති වග අමුතුවෙන් කිව යුතු නොවේ.
ගාඩිනර් සිය මිතුරෙකු වූ කොළඹ හෝර්ටන් පෙදෙසේ ජීවත් වූ දොස්තර සී.(චාර්ල්ස්) වී.(වික්ටර්) එස්.(සිද්ධාර්ථ) (සිඩ්)කොරෙයා ගේ නිවහනට වරෙක ගියේ සතුටු සාමීචියේ යෙදෙන්නටය. 1921 වසරේ දී පිරිමින් වෙත පනවන ලද ඇඟ බද්දට එරෙහිව අරගල කිරීම හේතුවෙන් සිරගත කළ ලංකා කම්කරු සංගමයේ ආරම්භක සභාපති වූ හලාවත වික්ටර් කොරෙයා දොස්තර සී.වී.එස් ගේ පියාණන්ය. කොරෙයා පවුල උගත්තු මෙන්ම ඉඩම් හිමියෝ ද වූහ. පසුකලෙක මෙරට හෝමියෝපති වෛද්‍ය විද්‍යාව ප්‍රචලිත කිරීමෙහි පුරෝගාමි වූයේ ද දොස්තර සීඩ් කොරෙයා ය.
එමෙන්ම මෙරට ඉහළ පෙලේ රාජ්‍ය තාන්ත්‍රිකයකු විදේශ දූත සේවා නිළධාරියකු හා ආර්ථික විශේෂඥයකු ද වූ අභාවප්‍රාප්ත ආචාර්ය ගාමණි කොරෙයා දොස්තර කොරෙයා මෙන්ම ප්‍රවීණ මාධ්‍යවේදි විජය කොරෙයා දොස්තර කොරෙයාගේ පුතුන්ය. ගාඩිනර්, කොරෙයා ට සතුටු සාමිචිය මැද අපූරු යෝජනාවක් ගෙනාවේය. ඒ සිනමාව සම්බන්ධ දේශිය සමාගමක් ගොඩ නැඟිමය. යෝජනාවට එකහෙළා කැමැතිවීමට දොස්තර කොරෙයා තීරණය කළේය. පුළුල් ආස්වාදයක් සහිත නව කලා මාධ්‍යයට ඒ වනවිට ඔහු ද වහ වැටී තිබිණ. සාකච්ඡා කල් අරින්නට ගාඩිනර් කැමැති වූයේ නැත.
ඒ සඳහා ඊළඟ සාකච්ඡාව පැවැත්වුණේ මරදානේ සදර්ලන්ඩ් පාරේ පිහිටි ඔලිම්පියා සිනමාහලේය. ගාඩිනර් කළමනාකාර අධ්‍යක්ෂධුරයට පත්කොට සමාගම පිළිබඳ අවසන් තීන්දුවට එළැඹුණේ එහිදීය. ගාඩිනර්, තම්බයියා, ඊ.වී.ආර්.සමරවික්‍රම හා දොස්තර කොරෙයා එහි මුල්ම සාමාජිකයෝ වූහ.පසුකලෙක සෙනෙට් සභාවේ ලේකම් ධුරයට පත් වූ ඊ.වී.ආර්.සමරවික්‍රම කීර්තිමත් නීතිඥවරයෙකු හා විනිසුරුවරයෙකු ලෙස ද පසුකලෙක පතළ විය. ඔහු සිනමා ව්‍යාපාරයට එක් වනුයේ නීතිඥයකු ලෙස කීර්තිමත් නාමයක් දිනමින් සිටි අවදියේය. මරදාන ශාන්ත ජෝශප් විදුහලේ ආදි සිසුවකු වන ඔහු නීතිඥයකු ලෙස දිව්රුම් දෙනු ලබනුයේ 1922 වසෙර්ය.
සමාගම කොටස් වෙළෙඳ පොළ ලියාපදිංචි කොට පුළුල් කරන්නට දැවැන්ත ප්‍රාග්ධනයක් අවශ්‍යව තිබිණ. තරුණයෝ මුහුණ දුන් මුල්ම ගැටලුව එය විය. මෙරට කොටස් වෙළෙඳපොළ ව්‍යාපාරික මට්ටමින් ආරම්භ වනුයේ 1896 වසරේ පටන්ය. ඒ ෂෙයා බ්‍රෝකර් ඇසෝසියේෂන් නමින් ලන්ඩන් කොටස් වෙළෙඳපොළ අනුව යමිනි. එයට ආදේශ කර ගත්තේ ද එරට නීතියයි. විසි වැනි සියවසේ මුල් දශක තුන ගත ගත වනතුරුම කොළඹ කොටස් වෙළෙද පොළ ලැයිස්තු ගත සමාගම් බහුතරය වෙළෙඳ සමාගම් සියල්ලම පාහේ හිමි ව තිබුණේ හෝ නිර්මාතෘවරුන් වූයේ විදේශිකයන් විය.
එයින් බහුතරය යුරෝපියන් වූ අතර සෙස්සෝ ඉන්දියානු සම්භවයකින් යුක්ත වූවෝ වූහ. මේ අවදිය වනතුරුත් මෙරට නව ධනවත් පැළැන්තියේ බහුතරය සිය මුදල් ආයෝජනය කළේ වතුපිටි මිලයට ගැනීමෙන් හා දේපොළ එක් රැස්කිරීමට වැඩි ඉඩකඩක් දෙමින්ය. එයින් මිදුණු නවතාවයෙන් සිතූ තරුණයන් නැතුවාම නොවේ. ඩී.ආර්.විජයවර්ධන තරුණයා විසින් සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම 1926 වසරේ දී කොළඹ කොටස් වෙළෙඳ පොළ ලියාපදිංචි ගත සමාගමක් ලෙස ආරම්භ කරනු ලැබීම ද එබඳු අවස්ථාවකි. කෙසේ වෙතත් මේ සමයේ කොටස් වෙළෙඳ පොළ ගැන උනන්දු වන මෙරට ධනවත් පවුල් සාමාජිකයෝ බහුතරය තරුණයෝ වූහ.
එමෙන්ම අලුත් අදහස්වලින් යුක්ත පිරිසක් වූහ. එසේ නොවන්නට ඔවුන් ද කළ යුතුව තිබුණේ තම වැඩිහිටියන් මෙන්ම වැවිලි හෝ මිනිරන් වැනි තම උරුම ව්‍යාපාර දියුණු කිරීම පමණකි. විජයවර්ධන මහතා මෙන්ම සර් ගාඩිනර් ද එබදු සම්ප්‍රදායික ව්‍යපාරවලින් වියුක්තව නවමං සෙවූ දෙදෙනෙකු බැව් පෙනී යයි.
මෙබඳු අලුත් අයෝජන මාර්ගයන් නොවන්නට එනම් 1932 වසරේ දී ලොව පුරා සිදුවන ආර්ථික අවපාතය නිසා බිඳවැටෙන ඇතැම් වතු අධිරාජ්‍යයන්ගෙන් යුත් පවුල් සතු බලපරාක්‍රමය ආරක්ෂා කර ගැන්ම සිහිනයක් වන්නට ඉඩ තිබිණ. එසේ වීනම් මෙරට දේශපාලන ඉතිහාසය ද යම් ප්‍රමාණයකට වෙනස් විය හැකිව තිබිණ. අභිනව සමාගම සඳහා ආයෝජකයන් සොයා ගැන්ම පිළිබඳ වගකීම සම්බන්ධව දොස්තර කොරෙයා විසින් හෙළිදරවු කරනු ලබනුයේ සමාගමේ වසර පනහ සපිරුණ අවස්ථාවේ නිකුත් කරන ලද ග්‍රන්ථයටය.
දොස්තර කොරෙයාගේ ඇරැයුමෙන් සමාගමේ ආයෝජනය සඳහා ජෝන් කොතලාවල (පසුව ලංකාවේ අග්‍රාමාත්‍ය ශ්‍රීමත්) හා ඔහුගේ සොහොයුරු ජස්ටින් කොතලාවල හා සොහොයුරිය ෆ්‍රීඩා ද එක්වූහ. ෆ්‍රීඩා දොස්තර කොරෙයාගේ එවකට භාර්යාව වූවාය. (ආචාර්ය ගාමිණී කොරෙයා මේ යුවළගේ පුත්‍රයාය. විජය ඔහුගේ දෙවැනි භාර්යාව වූ ඇමිබල් ගේ පුතනුවන්ය) ජස්ටින් කොතලාවල යනු සෙලින්කෝ සමූහ ව්‍යපාරයේ සභාපතිව සිටි ලලිත් කොතලාවලගේ හා සුප්‍රකට ලේඛිකා පුණ්‍යකාන්ති විජේනායකගේ පියාණන්ය. සෙලින්කෝ නිර්මාතෘ වූයේ ජස්ටින් කොතලාවලය.
ළදරු සමාගමක් වුව ලංකා නෘත්‍ය සමාගමේ (සිලෝන් තියටර්ස් ලිමිටඩ්) අභිලාෂයන් විශාල ඒවා විය. කොම්පඤ්ඤවීදියේ අංක 2 දරන තැන පිහිටි මදාන් තියටර්ස් සමාගම මගින් පවත්වාගෙන යන ලද එම්පයර් සිනමා භූමිය සදහා නව බදු කරුවකු කොළඹ නගර සභාව මගින් ලබා ගනිද්දී එහි හිමිකාරත්වය ලබා ගැන්මට සිලෝන් තියටර්ස් සමත්වීම මෙරට සිනමාවේ වැදගත් අවස්ථාවක් විය. නව සිනමාහල සඳහා අවශ්‍ය මුදල් සොයා ගැන්ම ළදරු සමාගමට දැඩි අභියෝගයක් විය. 1928 වසරේ ජූලි මාසයේ දී දොස්තර කොරෙයා විසින් සමාගමට යෝජනාවක් ගෙනෙන ලද්දේය.
ඒ සිනමාහල ඉදිකිරිම සදහා වෝකර්ස් පුත්‍ර සමාගමෙන් ලක්ෂ දෙකක ණය මුදලක් ලබා ගැන්මය. 1854 වසරේ දී ජෝන් වෝකර් නම් ස්කොට් ජාතික ඉංජිනේරුවරයා විසින් මෙරට ආරම්භ කරන ලද අදාළ සමාගම ඒ වන විට ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ඉහළ නමක් දිනා සිටියේය. ඔවුනගේ ඉංජිනේරු තාක්ෂණයෙන් වැඩියෙන්ම වැඩ ගත්තේ මෙරට වතු ක්ෂේත්‍රයයි. අලුත් සමාගමක ඉදිකිරිමක් සදහා එපමණ මුදලක් ණය ලබාදීමෙන් හා එම ගොඩනැගිල්ලේ ඉදිකිරිම් කටයුතු පවරා ගැනීමට තරම් විශ්වාසවන්ත වනුයේ සිනමා සමාගමේ බලසම්පන්න ආයෝජකයන් බහුතරය එකල සුප්‍රකට වතුහිමියන් බැවින් ඔවුන් හා වෝකර්ස් පුත්‍රයන් අතර ඇතිව තිබුණ අන්‍යෝන්‍ය විශ්වාසය නිසායැයි අනුමාන කළ හැකිය.
“ලංකා නෘත්‍ය” සමාගමේ ආරම්භක අධ්‍යක්ෂ මණ්ඩලයේ තවත් එක් කැපී පෙනෙන චරිතයක්වූයේ පසුකලෙක මෙරට මුල්ම අග්‍රාමාත්‍යධුරයට පත්වන ඩී.එස්.සේනානායක මහතාය. ඩී.එස්.සේනානායකයන්ගේ වැඩිමහල් සොහොයුරු එෆ්.ආර්. සේනානායකගේ භාර්යාව එලන් හා සර් ජෝන් කොතලාවලගේ මෑණියන් වූ ඇලිස් පිළියන්දල මඩපාත විසූ ඩී.සී.ජී.ආටිගලගේ දියණියෝ වූහ.
පසුකලෙක දේශපාලන කෂේත්‍රයේ ඉස්මතුවන මේ පවුල් සිනමා ක්ෂේත්‍රයේ ද ආයෝජකයන් ව සිටීම අපේ සිනමා ඉතිහාසයේ අපූරු අවස්ථාවකි. එයටත් වඩා වැවිලි හා මිනිරන් ක්ෂේත්‍රයේ ඒ වන විට ඉහළම තලයේ සිටි ඔවුන් අලුත් ව්‍යාපාරය ක්ෂේත්‍රයට අත ගැසීම මෙරට ව්‍යාපාරික ඉතිහාසයේ ද අපූරු අවස්ථාවක් බැව් කිව යුතුය.