ඉන්දියානු සිනමා නාමාවලියේ ලාංකික සිනමාකරුවෝ

ජූලි 9, 2020

ලාංකේය සිනමා ඉතිහාසය පුරාම සදහන්ව තිබෙන්නේ ඉන්දියානු සිනමාකරුවන් විසින් සිංහල චිත්‍රපට හදන ලද විස්තරයක් පමණි. මුල්ම ලාංකේය චිත්‍රපටය වූ රාජකීය වික්‍රමය හැදූ ගුප්තා ගේ සිට මෑත භාගයේ උදුම්බරා නිර්මාණය කළ කේ. චමත්රාජ් දක්වා ඉන්දියානු සිනමාකරුවන් විසි හත්දෙනෙකු අපේ සිනමා නාමාවලියේ හමුවෙයි. එහෙත් බොහෝ දෙනා නොදන්නා කරුණක් වනුයේ ලාංකේය සිනමාකරුවන් කිහිප දෙනෙකුගේ නම් ද ඉන්දියානු සිනමා නාමාවලියේ සදහන්වන විත්තියයි. ඔවුන් අපට මුණ ගැසෙන්නේ දකුණු ඉන්දියානු සිනමා නාමාවලියේ වීම මෙහි ඇති විශේෂත්වයයි. ඔවුන් මෙරට ඉපැදුණු නැතහොත් මෙරට සම්භවයක් ඇති පුද්ගලයන් වීම විශේෂයකි.

1956 වසරේ තිර ගත කරන ලද ඩිංගිරි මැණිකා චිත්‍රපටයට පාදක වනුයේ එනමින් ම යුත් පියදාස සිරිසේන සූරීන්ගේ නවකථාවයි. මේ සිනමා කෘතිය නිෂ්පාදනය කරන ලද්දේ හෙළදිව ෆිල්ම් ආට්ස් සමාගම වෙනුවෙන් නීතිඥ එස්. ද එස්. සෝමරත්නයි. මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන ලද්දේ එවකට දකුණු ඉන්දියානු දෙමළ සිනමාවේ ජනප්‍රිය හා වැදගත් සිනමාකරුවකු වන ඒ.(අරුල්) එස්.(සූසායි) ඒ.( ඇන්තනි) සාමි විසින්ය. 1915 වසරේ කොළඹ නගරයේ දී ඔහු උපත ලබනුයේ එවකට මෙරට සිටි ඉන්දියානු සම්භවයක් සහිත පවුලක සාමාජිකයකු හැටියටය. ඔවුහු රංගශාලා ඉදිකිරිමෙහි නියැළුණෝ වෙති. ඔහු ඉගෙනුම ලබනුයේ මෙරට බොහෝ සිනමාකරුවන්ට පාස‍ල වූ කොටහේන ශාන්ත බෙනඩික්ට් විදුහලේය. ඔහු ලන්ඩන් විශ්වවිද්‍යාල උපාධිය ලබගනුයේ ද එවකට කොළඹ විශ්වවිද්‍යාලයෙනි. (එවකට යුනිවර්සිටි කොලීජීය). පසුව මෙරට දී ගුරුවරයෙකු ලෙස මෙන්ම විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරයෙකු ලෙස ද කටයතු කළ ඔහු පසුකලෙක ඉන්දියාවට ගියේය. එහි දී මුලින් ගුරුවරයෙකු ලෙස කටයුතු කරන අතර ගුවන්විදුලි නාටක රචකයකු ලෙස නමක් සාදාගෙන පසුව එවකට ඉන්දියාවේ සුප්‍රකට නාට්‍ය සමාගමක් වූ ටී.කේ.එස් බ්‍රදර්ස් සමාගම සඳහා නාට්‍ය රචනා කළේය. ගුවන් විදුලියේ මෙන්ම වේදිකාවේ දී ද ඔහුගේ නාට්‍යවල ප්‍රධාන චරිත රඟපෑවේ හතළිහ දශකයේ දකුණු ඉන්දියාවේ ජනප්‍රියම සිනමා තරුව වූ ත්‍යගරාජා භගවතාර්ය.

ටී.කේ.බ්‍රදර්ස් සිනමාවට පිවිසියේ සාමි විසින් සංස්කෘත නාට්‍යයක් ඇසුරෙන් රචනා කරන ලද බිල්හානන් නම් ගුවන් විදුලි නාටකය පාදක කර ගනිමිනි. සාමි කොයිමිබතූර් හි ජූපිටර් පික්චර්ස් සමාගමේ කථා රචකයා වන විට එහි මාස් පඩියට සේවය කළ අතිරේක නළුවකු වූයේ පසුකලෙක දෙමළ දේශපාලනයේ මෙන්ම සිනමාවේ ද සුපිරි තරුව වූ මෙරට උපන් එම්.ජී.රාමචන්ද්‍රන්ය. එම්.ජී.ආර්. සුපිරි තරුවක් කරන රාජකුමාරි, සාමිගේ මුල්ම අධ්‍යක්ෂණය වූ අතර මේ අලුත් නළුවා සිය මුල්ම චිත්‍රපටයට තෝරා ගන්නට නිෂ්පාදකයන් සමඟ සටන් කරන්නට සාමි ට සිදුවිය. වාර්තා පිට වාර්තා බිඳ හෙළූ රාජකුමාරි ඔස්සේ මිය යන තුරුම දෙමළ සිනමාවේ සුපිරි තරුව බවට පත් වන්නට එම්.ජී.ආර් පියවර තැබුවේය. පසුකලෙක එම්.ජී.ආර් කෙතරම් ඉහළ ගිය ද ඔහුට නමින් ඇමතූ එකම තැනැත්තා සාමි පමණක් විය. එමෙන්ම එම්.ජී.ආර් ද සාමිට කටපුරා අය්යා යන ගෞරවයෙන් ඇමතුවේය. රාජකුමාරි දෙබස් රචනය සඳහා සාමි විසින් හඳුන්වා දෙන ලද තරුණයා පසුකලෙක එම්.ජී.ආර් ගේ දේශපාලන ප්‍රතිවාදියා වූ එම්.කේ. කරුණානිධි ය.

දෙමළ සිනමාවේ වැදගත් සංධිස්ථානයක් මෙන්ම එහි දේශපාලන සිනමාවේ මුල් චිත්‍රපටය වන වේලක්කාරි සාමි ගේ ඊළඟ අධ්‍යක්ෂණය වූ අතර චිත්‍රාගාරයෙන් බැහැර ව රූප ගත කරන ලද මුල්ම දකුණු ඉන්දියානු චිත්‍රපටය ද මෙය විය. එහි කැමරාව මෙහෙය වන ලද්දේ මෙරට දී හැදුණු වැඩුණු එමෙන්ම පසුකලෙක මෙරට සිනමාවට මහත් මෙහෙයක් කළ ඉන්දියානුවකු වන එම්.මස්තාන් ය. සාමි සිනමාවේ පමණක් නොව පසුකලෙක දකුණු ඉන්දියානු දේශපාලනයේ ද න්‍යායාචාර්ය වරයකු වනුයේ එයින් පසුවය. දෙමළ සිනමාව දේශපාලන මෙහෙයුමක් බවට පත්වනුයේ මෙයින් පසුවය. වේලක්කාරි තිරනාටක රචකයා ලෙස පිවිසෙන තරුණයා අන්නාදොෙර්ය. පසුකලෙක සිනමා ව්‍යාපාරය මඟින් දෙමළ දේශපාලනය අත්පත් කර ගනු ලබන ද්‍රවිඩ මුන්නේත්‍ර පක්ෂයේ සැබෑ නිර්මාතෘවරුන් වූයේ අන්නාදොරේ සහ සාමිය. 1956 වසරේ දී ඩිංගිරිමැණිකා සිංහල බසින් නිර්මාණය කරන විට සාමි එරට සිනමාවේ දැවැන්තයකු වූයේය. ඒ වන විට ඔහු චිත්‍රපට අටක් අධ්‍යක්ෂණය කර තිබිණ. මේ චිත්‍රපට සියල්ල අති සාර්ථක චිත්‍රපට විය. සාමි අවසන් වරට චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කරනුයේ 1971 වසෙර්ය.

ඩබ්ලිව්.(විලියම්) එම් ( මැක්ගවන්) එස් (සෙල්ලසාමි) තම්පෝ මෙරට සිනමාවට දායක වනුයේ 1958 වසරේ තිර ගත වන සේපාලි චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයා ලෙස වුවද ඔහු ඒ වන විටත් දකුණු ඉන්දියානු සිනමාවේ ජනප්‍රියම නිෂ්පාදකවරයෙක්ව සිටියේය. ඔහු ඉන්දියාවේ චිත්‍රපට නිෂ්පාදනයේ යෙදුණු මුල්ම ශ්‍රී ලාංකිකයායි. ඩබ්ලිව්.එම්.එස්.තම්පෝ යාපනයේ කීර්තිමත් පවුලක සාමාජිකයකු වූ අතර ඔහු නීතිඥවරයෙකු ද විය. තම්පෝ පවුල යාපනයේ ජීවත් වූ විනිසුරුවරුන් ඇතුළු ඉහළ සමාජ තලයට අයත් වෘත්තිකයන්ගෙන් සමන්විත වූ පවුලක් වන අතර ඩබ්ලිව්. එම්.එස් සිය පවුලේ නීති වෘත්තිය අතහැර සිනමාවට එක්වූයේ ඉන්දියාවේදීය. ප්‍රභාවතී ඔහුගේ මුල්ම නිෂ්පාදනයයි. ඒ 1947 වසෙර්ය. අනතුරුව ඔහු ඉන්දියාවේ දී දෛවනීති (1948), කලාවතී( 1951) නුම් කුලන්දෙයි( 1954) යන චිත්‍රපට නිෂ්පාදනය කළේය. මේ අතරින් නුම් කුලන්දෙයි අධ්‍යක්ෂණය කරන ලද්දේ පසු කලෙක මෙරටදී විචාරක පැසසුමට ලක් වූ කුරුලු බැද්ද, සිකුරු තරුව වැනි චිත්‍රපට අධ්‍යක්ෂණය කරන ලද එල්.එස්.රාමචන්ද්‍රන් විසින්ය. තම්පෝ සේපාලි අධ්‍යක්ෂණය කරනුයේ ඉන්දියානු නිෂ්පාදකයකු හැටියට නමක් දිනාගැනීමෙන් අනතුරුවය.

සිනමා කෘතිය නිෂ්පාදනය කරනුයේ පසුකලෙක ජනප්‍රිය සිනමාකරුවකු වන තම පුත් රොබින් (රබීන්ද්‍රනාත්‍ කුමාරස්වාමි ) තම්පෝගේ ඉන්ද්‍රා ටෝකිස් සමාගමේ නිපැයුමක් හැටියටය. ඉන්ද්‍රා යනු ඩබ්ලිව්.එම්.එස් ගේ දියණියගේ නමයි. (රොබින් ගේ සොහොයුරිය) ඩබ්ලිව්.එම්.එස් පසුව සැමියා බිරිඳගේ දෙවියාය, සතුටුයි කදුළුයි, ළඳක මහිම, ළයට ළය, රුහුණු කුමාරි, දෙය්යන්නේ තීන්දුව යන චිත්‍රපට නිර්මාණය කළේය. පසුකාලින සියලු චිත්‍රපට නිපදවන ලද්දේද ඩබ්ලිව්.එම්.එස්.තම්පෝ විසින්ම වන අතර ඒ මීනා මූවිස් නමින්ය. මීනා තම්පෝගේ භාර්යාවගේ නමයි. (රොබින් ගේ මව) ඩබ්ලිව්.එම්.එස් .තම්පෝ විසින් ඉන්දියාවේ චිත්‍රපට නිෂ්පාදනයට දායක වුව ද ඔහු කිසිකලෙක ඉන්දියාවේ ජීවත්වූයේ නැත. වර්තමානයේ ඔහුගේ පවුලේ සිව්වැනි පරපුර ද සිනමාවට දායකව සිටිති. ඒ රොබින්ගේ පුත් චිත්‍රපට ආනයනකරුවකු වන සංජීව හා සංජීව ගේ පුත් කැමරා අධ්‍යක්ෂවරයකු වන රොබින් කනිෂ්ඨ මෙන්ම රොබින්ගේ දියණිය, සිනමා ගත් කතුවරියක වන විලාස්නි තම්පෝ ඔතෑන්ය.

ඉතිරි කොටස ලබන සතියේ...