වර්ෂ 2023 ක්වූ June 04 වැනිදා Sunday
ලාංකේය සිනමාවේ විකල්ප රූපණවේදියා

නාට්‍යාතිශය රංග ශෛලිය (Melo Dramatical) මෙරට සිනමාවේ මුල් බැසගෙන පැවති දාරක සමයේ (1947- 1960) වුවත් සිනමා මාධ්‍යයට උචිත රංග ශෛලියක්, පෞරුෂයක් පවත්වාගෙන ගිය ලැඩී රණසිංහ, ඩොමී ජයවර්ධන වැනි ප්‍රතිභාපූර්ණ කථානායකයෝ එකල සිටියහ. ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් ‘රේඛාව’ (1956) චිත්‍රපටය මඟින් පුද්ගල කේන්ද්‍රීය යථාර්ථවාදය ඔස්සේ (එනම් සමාජ කරුණු පසුබිමෙහි තබා පුද්ගල චරිත පෙරබිමට ගෙන ඉස්මතු කිරීමයි) කලාත්මක සිනමා ධාරාව ස්ථාපිත කරද්දී ලාංකේය සිනමා රූපණයද ඊට අනුකූලව හැඩගැසිණ. අයිරාංගණී සේරසිංහ හා ගාමිණි ෆොන්සේකා යුගල ආසියානු පුරෝගාමීන් ලෙස යථාර්ථවාදී රූපණය (Realistic acting style) මෙරට සිනමාවේ ස්ථාපිත කිරීමට ලෙස්ටර් විවර කළ ගමන් පථයෙන් මනා රුකුලක් ලැබිණ. ඉන්පසු 60 දශකයේ ජෝ අබේවික්‍රම, ටෝනි රණසිංහ, මාලිනී ෆොන්සේකා ආදීහු මහා රූපණවේදීන් ලෙස විධිමත් සිනමා පාසලක් තවමත් නොමැති අප රටේ රංගන අත්පොත් බවට පත්වූහ. පූර්වෝක්ත මහා රූපණවේදීන් ස්ථාපිත වූයේද ලෙස්ටර් ප්‍රාරබ්ධ කළ පුද්ගල කේන්ද්‍රීය යථාර්ථය ඉස්මතු කොට ගත් කලාත්මක චිත්‍රපට ධාරාව සේවනය කොටගෙනය. ලෙස්ටර්ගේ මඟ අනුදත් අනුප්‍රාප්තික සිනමාවේදීන් යථෝක්ත කලාත්මක සිනමා ධාරාව සුපෝෂණය කරද්දී යථාර්ථවාදය පිළිබඳ 60 දශකය අග භාගයේ වැදගත් සංවාදයක් ඉස්මතු විය.මේ වූ කලී මෙරට සෑම කලා මාධ්‍යයක්ම පුද්ගලවාදී බවට පමණක් සීමා නොවී සමාජ නැඹුරුවකටද අර අඳිමින් සිටි සමයකි. තත්කාලීන සමාජ, දේශපාලන ව්‍යුහයද මෙහිලා බලපෑවේය. ධර්මසේන පතිරාජ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ තම ආචාර්යවරයා වූ මහාචාර්ය සිරි ගුනසිංහ අධ්‍යක්ෂණය කළ ‘සත් සමුදුර’ (1967) චිත්‍රපටය විචාරයට ලක් කරමින් ඔහුට පැවසුවේ ලෙස්ටර් මඟ ගත් මේ යථාර්ථවාදී කලාත්මක චිත්‍රපට අගය කළ හැකි වුවත්, ඒවා මඟින් තත්කාලීන සමාජය යථාර්ථවාදී ලෙස නිරූපණයට ප්‍රයත්න දරා නැති හෙයින් සමාජ නැඹුරුවකින් යුත් යථාර්ථවාදී සිනමාවක් අවශ්‍ය බවය.
“එසේ නම් ඔබ එවැනි චිත්‍රපටයක් නිර්මාණය කොට පෙන්වන්න” යැයි ගුරු සිරි ගුනසිංහ ශිෂ්‍ය පතිරාජට සුන්දර අභියෝගයක් කළේය.
ආචාර්ය ධර්මසේන පතිරාජ ‘අහස් ගව්ව’ (1974) අධ්‍යක්ෂණය කරමින් ඒ අභියෝගය ජයගත්තා මතු නොව, මෙරට කලාත්මක ධාරාවේ විකල්ප සිනමාව (An Alternative Cinema) ස්ථාපිත කළේය. එහිදී ප්‍රමුඛ ජනප්‍රිය හා කලාත්මක ධාරාවන්හි ස්ථාවරව සිටි විජය කුමාරතුංග, මාලිනී ෆොන්සේකා වැනි කථානායක නායිකාවන්ගේද සිරිල් වික්‍රමගේ, සෝමසිරි දෙහිපිටිය වැනි කුසලතාපූර්ණ චරිතාංග නළුවන්ගේ ප්‍රතිභාවද පතිරාජගේ සිනමාව අවශෝෂණය කොට ගත්තේය. එහෙත්, ඔහුගේ විකල්ප සිනමාවටමැ පමණක් ආවේණික වූ කථානායකයකුගේ හා හාස්‍යෝත්පාදක චරිතාංග නළුවකුගේ විශාල රික්තයක් පැවතිණ. පිළිවෙළින් අමරසිරි කලංසූරිය හා විමල් කුමාර ද කොස්තා පිරවූයේ මේ හිඩැසයි. එතෙක් තිරයේ අප දුටු කථානායකයන් සියල්ලටම වඩා විකල්පයක් කලං ස්ථාපිත කළේය. ගාමිණි ෆොන්සේකාගේ ජවසම්පන්න වීර පෞරුෂය (Masculine), විජය කුමාරතුංගගේ අරුමැසි( Romantic) , , අනුහාසාත්මක (Charismatic) ප්‍රතිරූපය හෝ ඩොමී ජයවර්ධනගේ මනාව හැඳ පැලඳ ගත් (Well dressed) ජේත්තුකාර ශෛලිගත විලාසවාදී (Stylish) පෞරුෂය ඔහුගෙන් පිළිබිඹු නොවීය. ඒ වෙනුවට හිසකෙස් අවුල් කොටගෙන, බොත්තම් නොපියවූ කමිසයකින් උඩුකය සරසාගෙන බොහෝවිට නිල් පැහැති ඩෙනිමකින් සැරසී, නාහෙට නාහන හිතුවක්කාර, ජවන වේගයකින් දිවිය හැකි කුඩා සිරුරකින් හෙබි අව්‍යාජ තාරුණ්‍යයේ නළු ප්‍රතිරූපයක් කලං තහවුරු කළේය.
මෙවැනි විකල්ප නළු ප්‍රතිරූපයක් ගොඩනඟනු පිණිස ධර්මසේන පතිරාජ ආභාසය ලැබුවේ ප්‍රංශ නවරැල්ලේ සිනමාකරුවන්ගෙනි. ශාන් ලූක් ගොඩාඩ්ගේ "Breathless"((1960) චිත්‍රපටයේ කථානායකයා වූ ශාන් පෝල් බෙල්මැන්ඩෝද එවැනි රූපණ ශෛලියක්, බාහිර රූපකායක් පිළිබිඹු කර නළුවෙකි. පතිරාජ මුලින්ම කලං දුටු අවස්ථාවේ ඔහුට නිසැකවම ශාන් පෝල් බෙල්මැන්ඩෝ සිහිපත් වන්නට ඇත.පතිරාජ ඔහු ගැන එසේ සිතුවත් කලං එකී විකල්ප නළු ප්‍රතිරූපය ගොඩනැඟුවේ තමාගේ ප්‍රකෘති ජීවන රටාවෙන්ම මිස බෙල්මැන්ඩෝ අනුකරණය කිරීමෙන් නොවේ. කලං වරින් වර මා සමඟ පැවසූ බොහෝ දේ ඔස්සේ මම එය පසක් කොට ගතිමි.
"මගේ කොණ්ඩය අවුල් තත්ත්වයෙන් තිබුණේ සිනමාවට පැමිණීමට පෙර කාලයේ මගේ කොණ්ඩය පීරා ගන්න පොඩි කණ්ණාඩි කෑල්ලක් වත් අපේ ගෙදර එදා නොතිබුණු නිසයි ජවන වේගයෙන් මට දුවන්න පුළුවන් වුණේ පාසල් සමයේ මා දක්ෂ මලල ක්‍රීඩකයෙකු වූ නිසයි. අනෙක මම ආර්ථික අපහසුතා නිසා ඒ කාලයේ දී මුදල්වලට රිලේ තරගවල දිව්වා."
කලංගේ නළු ප්‍රතිරූපය සේම මේ ප්‍රකාශය අව්‍යාජ නොවේද ? 1940 සැප්තැම්බර් 20 වැනිදා මහනුවර බහිරව කන්දේදී උපත ලැබූ ඔහු, මහනුවර කන්‍යාරාමය, කිරිබත්කුඹුරේ ශ්‍රී සුමනජෝති විදුහල, මහනුවර ධර්මරාජ විද්‍යාලය ආදියෙහි සිප්සතර හැදෑරුවේය. පාසල් සමයේ කලං දක්ෂ බොක්සිං ක්‍රීඩකයකු ද වූයේය.
කුඩා කාලයේ පටන් අනේකවිධ ආර්ථික දුෂ්කරතා රැසකට මුහුණ දෙමින් කඳුළු මැදින් සිනාසුණු ඔහු, වයස අවුරුදු 18 දී (1958) දෙවැනි ස්වේච්ඡා සිංහ රෙජිමේන්තුවේ සොල්දාදුවෙකි. පසුව රැකියා රාශියකට වරින්වර මාරු වූ කලං මහනුවර මල්ලිකා ස්ටුඩියෝවේ සේවය කරමින් හුන් සමයේ රංජිත් පෙරේරාගේ "රැයත් දවාලත්" (1969) චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රඟපාමින් සිනමාවට පිවිසියේය. ඉක්බිති සුගතපාල සෙනරත් යාපාගේ "හන්තානේ කතාව" (1969) හා රංජිත් ලාල්ගේ " නිම් වළල්ල" (1970) යන චිත්‍රපට යුගල ඔස්සේ පැමිණ, ආචාර්ය ධර්මසේන පතිරාජගේ "අහස් ගව්ව" (1974) හී විජේගේ භූමිකාවෙන් කලංගේ අව්‍යාජ විකල්ප තාරුණ්‍යයේ මුද්‍රාව සනිටුහන් කළේය. "බඹරු ඇවිත්" (1978 - සනත්), "අපේක්ෂා" (1978 - නිමල්) , "අනූපමා" (1978 - රජී) , "පරිත්‍යාග" (1980 - ධනප්‍රේම) , "වජිරා" (1981), "යස ඉසුරු"(1982 - සුරාජ්) , "රැජන"(1985 -රංජි) , "පූජා"(1986 - විපුල), "පොඩි විජේ" (1987 - පොඩි විජේ) , "අහස් මාලිගා" (1994 - සිසිර), "දිය යට ගින්දර"(2004) ඔහුගේ රූපණ දිවියේ අනගි පියසටහන්ය. මෙරට ප්‍රථම ප්‍රාසංගික ටෙලි නාට්‍ය කථා නායකයා බවට පත් වෙමින් කලං කිසිදා නොබිඳෙන වාර්තාවක් තැබුවේය. එනම් ආචාර්ය ඩී.බී.නිහාල්සිංහයන්ගේ "දිමුතු මුතු"(1983) ටෙලි නාට්‍යයේ ජයසේන නමැති දිරිමත් යෞවනයා ලෙස ඔහුගේ චරිත නිරූපණය එදත් අදත් සහෘදයාට අමතක නැත. සිසිල් ගුණසේකරගේ "ගුවන් කරණම්" නාට්‍යයෙන් ඔහු වේදිකාවටද පිවිසිණ. සරසවිය, දීපශිකා, විචාරක, ජනාධිපති, සුමති සම්මානවලින් ඔහු පිදුම් ලැබුවේය. හොඳම සහය නළුවා ලෙස දෙවතාවක් (යස ඉසුරු සහ පූජා) කලං සරසවිය සම්මාන දිනුවේය.
චිත්‍රපටයක අවසානයේ වීරයා දන්නා සියලු සටන් ශිල්ප උපයෝගී කොටගෙන දුෂ්ටයාට පහරදී ඔහුගේ ග්‍රහණයෙන් තම පෙම්වතිය බේරා ගැනීම ජනප්‍රිය සිනමාවේ සුලබ ලක්ෂණයකි. එහෙත්, ‘අපේක්ෂා’ චිත්‍රපටයේ වීරයා (නිමල් - කලංසූරිය) දුෂ්ටයාට (සැම්සන් - රන්ජන් මෙන්ඩිස්) ගල් ගෙඩියකින් දමා ගසා පෙම්වතිය (නිරංජලා - මාලිනී ෆොන්සේකා) සමඟ පලා යයි. ඔහුගේ වීරත්වය එතරම්ම අව්‍යාජ විය. තමාට කිසිදු පහරක් නොවැදී දහදෙනෙකුට පමණ කැමරා උපක්‍රමවල පිහිටෙන් එක තැන කැරකී පහර දෙන ව්‍යාජ කාඩ්බෝඩ් වීරයකු ලෙස කලං රඟපෑවේ නැත.
කලං හින්දි හා දමිළ චිත්‍රපට නැරැඹීම ප්‍රිය නොකළේය. එහෙයින් කිසිදු ඉන්දියානු නළුවෙක් ඔහුට ආභාසයක් වූයේ නැත. බටහිර චිත්‍රපට නැරැඹීමට බෙහෙවින් රුචි කළ ඔහු යූල් බ්‍රයිනර්, ජිම් බ්‍රවුන් , ක්ලින්ට් ඊස්ට්වුඩ්, සිල්වෙස්ටර් ස්ටැලෝන් වැනි නළුවන්ගෙන් යම් යම් දේ උකහා ගත්තේය. ඔහු බෲස් ලීගේ රංග ශෛලියෙන් ආභාසය ලැබුවා මතු නොව, ජීට් කුන් ඩූ සටන් කලාවද හදාළ බව බොහෝදෙනා නොදනිති. කලං කිසිවෙකුටවත් අනුකරණය කළ නොහැකි An Inimitable Actor) නළුවකු ලෙස මම දකිමි. කලං මේ සියලු විස්කම් පෑවේ චිත්‍රපට 33 ක එනම් සංඛ්‍යාත්මකව අඩු චිත්‍රපට ප්‍රමාණයක රඟපෑමෙනි.
රෝමන් පොලන්ස්කිගේ "knife in the water" චිත්‍රපටයෙහි දක්නට ලැබුණු රූපණ ශෛලියෙහි අනුප්‍රාණය , අව්‍යාජ බව ඔහුට ලැබිණ.
ජෝන් ඔස්බෝර්න්ගේ "Look Back in Anger" (1956) ඉංගී‍්‍රසි නාට්‍යය එංගලන්තයේ මතු නොව, ලොවපුරා පෙරළියක් ඇති කළේය. අතීතය වර්ණනා කොට සිටීමෙන් මිදී පවතින අසාධාරණයන්ට එරෙහිව වියරු වූ තරුණයන් යහපත් අනාගතයක් සඳහා පෙරමුණ ගත යුතු බව ඒ නාට්‍යයෙන් විදාරණය වුණි. මෙය මුලින් නැරැඹූ එවක බ්‍රිතාන්‍ය BBCනාට්‍ය අංශයේ ප්‍රධානී මාර්ටින් එස්ලින් ප්‍රහර්ෂයට පත්ව එය නරඹන්නේ නැති ඉංග්‍රීසි ජාතිකයකු සිටී නම් තමා ඔහුට වෛර කරන බව ලීවේය. එස්ලින් මේ නාට්‍යය මුල්වරට "Absurd" යන යෙදුමෙන් හඳුන්වා දීමෙන් අභූතරූපී නාට්‍ය ශෛලියේ උපත සිදුවිය. මේ නාට්‍යයේ පිළිබිඹු වූ ප්‍රතිවීර (Anti Hero) තාරුණ්‍යය"young Angry Men" ලෙස හැඳීන්විණ. මේ සංකල්පයේ බලපෑම ලංකාවේ 60 දශකයේ ගාමිණි ෆොන්සේකාටත් සුගතපාල ද සිල්වාගේ තාත්වික නාට්‍යවලටත් මෙන්ම කලංසූරියගේ විකල්ප, හිතුවක්කාර, අව්‍යාජ රංග ශෛලියටත් බලපෑ බව මම සිතමි. එමතු නොව මේ සංකල්පය 70 දශකයේ ඉන්දියාවේ අමිතාබ් බච්චන්ගේ හා ලංකාවේ රවීන්ද්‍ර රන්දෙණිය නළු ප්‍රතිරූපවලටද බලපෑවේය. "young Angry Men" ලෙස එරට විචාරකයන් අමිතාබ් බච්චන් හැඳීන්වූයේ එහෙයිනි.
කලංගේ සැබෑ ජීවිතයේද පෙර කී අව්‍යාජත්වය තිබුණේය. තමා සුප්‍රකට නළුවකු බව ඔහු සිතුවේම නැත. සුපුරුදු ඩෙනිම් කලිසමෙන් සැරසී කමිසයක් උඩින් දමා ගෙන, සාමාන්‍ය සෙරෙප්පු කුට්ටමක් පය ලා ගෙන ඔහු සරසවිය සම්මානයක් දිනු අවස්ථාවක බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේ වේදිකාවට නැග්ගේය. නළුවකු යැයි සිතා සෑමවිටකම මෝටර් රියේ ගමන් බිමන් ගියේද නැත. හිතුණු විට දුම්රියේද බස් රථයේද ගමන් කළේය. බොහෝ මගීහු එහිදී ඔහුට අසුනක් පිරිනැමූහ. කලං තරමට මහ පොළොවේ පය ගසා ජීවත් වූ සිනමාව නළුවකු මා දැක නැත.
තමා ජීවිතය පටන් ගත් මුල ඔහු කිසිදාක අමතක නොකිරීම මීට හේතු හේතුව යැයි මට සිතේ. ඔහු ‘අපේක්ෂා’ චිත්‍රපටය රූගත කරද්දී මාලිනී ෆොන්සේකාට තිබෙන ගෞරවය නිසා ඇය සිප වැලඳ ගැනීමට මැළි වූයේය. අවසානයේදී ඒ සුළු කොටසට පෙනී සිටියේ කැමරා අධ්‍යක්ෂ ඩොනල්ඩ් කරුණාරත්නය.
මුළු ගතෙහිම ශක්තිය මුහුණ මතට ගෙන එහි කම්මුල්වල මස් පිඬු ප්‍රසාරණය කිරීමේ අසාමාන්‍ය සහජ හුරුවක් කලංට තිබිණ.එවිට ඔහුගේ ඇස් රත් පැහැයට හැරේ. ඔහු එය මා ඉදිරියේ කර පෙන්වා ඇත. ශරීර සෞඛ්‍යයට එතරම් හිතකර නොවන මේ පුරුද්දෙන් කලං ‘පොඩි විජේ’ චිත්‍රපටයේදී පොඩි විජේට අපූර්වත්වයක් එක් කළේය.
මගේ දෙමව්පියන්ගෙන් දිගුකාලීන මිතුරකු වූ කලං මාමා මා සමීපව ඇසුරු කරන්නට පටන් ගත්තේ 1984 වසරේ සිටය. රංගන ශිල්පී තිස්ස උඩංගමුව මහතාද සමඟ මගේ දෙමව්පියන් එවක 8 හැවිරිදි මා ද කැටුව කලං මාමාගේ ගම්පොළ ගෙළිඔය පිහිටි නිවසට ගිය ගමන මට අමතක නැත. ඔහු නිවෙස වටා මැනවින් වගා කළ එළවළු වර්ග අපට පෙන්වීය. අප ඒ නිවසෙන් සමුගත් අවස්ථාවේ කුඩා මා හිස් අතින් යැවීමට කලං මාමා කැමැති වූයේ නැත.
‘මේ පැංචට මොනවද මං දෙන්නේ’ යැයි කී ඔහු තම දියණිය මධුමතී කලංසූරිය සතු වූ, ලාල් ප්‍රේමනාත් ද මැල් මහතා ලියූ ‘සිංහල සාහිත්‍යයේ නව මුහුණුවර’ ග්‍රන්ථය මට තෑගි දීමට තීරණය කළේය. එහි මුල් පිටුවේ ඉහළ ඉංග්‍රීසියෙන් ලියා තිබුණු මධුමතීගේ නම අසලින් “අමරසිරි කලංසූරිය මාමාගෙන් නුවන් පුතාට තෑගි” යනුවෙන් ලියා මේ පොත මා අත තැබුවේය. 8 හැවිරිදි ළමයකුට ඔහු ළමා පොතක් හෝ රසකැවිල්ලක් නොදී මෙතරම් බැරෑරුම් සාහිත්‍ය පොතක් කුඩා මා අත තැබුවේ මන්දැයි එදා මට නොවැටුණත් අද මම එය වටහා ගෙන සිටිමි.
අමරසිරි කලංසූරිය නම් වූ ප්‍රවීණ රූපණවේදියා පසුගිය අප්‍රේල් 1 වැනිදා අභාවප්‍රාප්ත වූයේය. මියයන විට ඔහු 83 වැනි වියෙහි පසු විය. කලංසූරිය සූරීන් සැබැවින්ම මියයෑමට ඉහත මෙරට සමාජ මාධ්‍ය අවිචාරයෙන්, මුග්ධ ලෙස භාවිත කරන්නෝ ඔහු දිවමන්ව සිටියදී කිහිපවරක්ම මියගිය බවට ව්‍යාජ පුවත් ප්‍රචාරය කළහ. ඒවායින් ඔහු කම්පනයට පත්ව සිටි බැව් මම දනිමි. එබඳු අවස්ථාවල දී “තවමත් කලං ජීවත්ව සිටින බව” දැනුම් දීමට මා හට ද මැදිහත් වන්නට කීපවරක්ම සිදු විය. එහෙත් පසුගිය අප්‍රේල් 1 වැනිදා කලං මාමාගේ වැඩිමහල් දියණිය මධුමතී අක්කා දුරකථනයෙන් මා අමතා “මල්ලී, මේ වතාවෙ නම් තාත්තා ඇත්තටම නැති වුණා. ඔයා මේ ප්‍රවෘත්තිය මුළු රටටම දැනුම් දෙන්න” යැයි ශෝකාකූලව ඉල්ලා සිටියාය. ඒ අනුව මම ඇයගේ ඉල්ලීම ඉටු කළෙමි. මින් ඉදිරියටවත් ජීවත්ව සිටින කලාකරුවන්, ව්‍යාජ පුවත් ගොතා මරා දැමීමෙන් වළකින ලෙස අපෙන් සමු ගත් කලං මාමාගේ නාමයෙන් මම ඉල්ලා සිටිමි.
ආදරණීය කලං මාමා....ඔබ ආයෙත් අප අතර ඉපදෙනවා නම් හොඳයි තමයි....එහෙත් අගක් මුලක් නොපෙනෙන මේ භයංකර සංසාර භව ගමනෙන් මිදී නිවී සැනසෙන්න ඔබතුමාට වරම් ලැබුණොත් එය ඊටත් වඩා හොඳ යැයි මට සිතේ.
සේයාරූ - නිශ්ශංක විජේරත්න