වර්ෂ 2023 ක්වූ October 03 වැනිදා Tuesday
මිනිස්සු දුක් දරාගන්නේ කලාව නිසා

කලා ශිල්පී ශිල්පිනීන් බොහෝ දෙනකුගේ ආරම්භක යුගය විමසන විට අපට අසන්නට ලැබෙන්නේ මවුපියන්ගේ විරුද්ධත්වයට එරෙහිව සටන් කරමින් කෙසේ හෝ සිය ගමන සකසා ගත් ආකාරය පිළිබඳ කතාවකි. එහෙත් රත්නා ලාලනී ජයකොඩි නම් ප්‍රවීණ රංග ශිල්පිනියට ඇත්තේ ඊට හාත්පසින්ම වෙනස් පවුලේ පූර්ණ ආශීර්වාදය සහ සහයෝගය සමඟ පැමිණි ගමනක තොරතුරුය. ගුවන්විදුලිය, වේදිකාව, රූපවාහිනිය සහ සිනමාව යන ක්ෂේත්‍ර සියල්ල ජය ගන්නට ඇගේ මවුපියන්ගේත්, සොයුරු සොයුරියන්ගේත්, ස්වාමිපුරුෂයාගේත් පමණක් නොව පුතණුවන්ගේ ද සහාය ලැබීම අසාමාන්‍ය වාසනාවක් ලෙස සැලකිය හැකිය. සරසවිය සමඟ කතාබහකට එක්වුණු ඇයගේ ඒ සුබවාදී ආරම්භය සිහි කරමින්ම වත්මන් තොරතුරු ද විමසන්නට වීමු.
“මගේ කලා ජීවිතය ඇරඹුණේ පවුලෙන් තමයි. ගීතා කාන්ති ජයකොඩි, ගාමිණි කමල්, පියල්, ශ්‍රියානි යන සහෝදර සහෝදරියන්ට පසුව තමයි මම ඉපදෙන්නේ.
අම්මටයි තාත්තටයි අපව බොහෝ සෙයින් කලාවට යොමු කරන්න විශාල වුවමනාවක් තිබුණා. තාත්තා කැඩුම් බිඳුම් වෛද්‍යාචාර්යවරයෙක් නිසා ගාථා ශ්ලෝක මිහිරිව ගායනා කරනවා. අම්මත් ඉස්කෝලේ වැඩවලදි ගායනා ආදියට සම්බන්ධ වෙලා තිබෙනවා. ඒත් ඔවුන්ට ප්‍රසිද්ධ වේදිකාවලට සම්බන්ධ වන්න අවස්ථාව ලැබී නෑ. මට මතකයි අම්මා ළඟ ලතා වල්පොල මහත්මිය ඇතුළු කලාකරුවන් රැසකගේ අස්සන් සහිත සමරු පොතක් තිබෙනවා. ඔවුන් කොතරම් ඒ දේවලට ආසාවක් දැක්වූවාද යන්න එයින්ම අවබෝධ වෙනවානේ. චිත්‍රපට රූගත කෙරෙන ළඟපාත තැන්වලට ගිහින් බලන්නත් අම්මලා පුරුදු වෙලා හිටියා. ඒ නැඹුරුව නිසා තමයි කරුණාරත්න අබේසේකර මහත්මයා හමුවෙලා ගීතා අක්කාව ගුවන්විදුලියේ ළමා පිටියට ඇතුළු කරන්න අම්මලා කටයුතු කර තිබෙන්නේ. ඉන් පසු පිළිවෙළට අපි ඔක්කොම කලා ක්ෂේත්රයට යොමු වුණා.
මම ඒ අයට වඩා අවුරුදු හත අටක් බාලයිනේ. ඒ නිසා මුලින් ගියේ අක්කාගේ තනියට. පසුව ළමා ශිල්පිනියක් හැටියට මමත් ගුවන්විදුලියට සම්බන්ධ වුණා. ඒ පියවර ඔස්සේ වේදිකාව, රූපවාහිනිය, සිනමාව යන අනෙකුත් ක්ෂේත්රවලටත් යොමු වුණා. අපට ලොකුම ශක්තිය වුණේ අපේ මවුපියන්. මෙතරම් දියුණු අද කාලෙත් ළමයින්ට වැඩසටහන්වලට යද්දි මවුපියන් ‘බැරියර්‘ දානවානේ. අපට ඒ කිසිම බාධාවක් තිබුණේ නෑ. ඕනෑම වැඩසටහනක් සඳහා කියන තැනකට අපව ඔවුන් එක්කරගෙන ගියා. අපි අකැමැති වුණත් වැඩසටහනකට එන්න කීවොත් අම්මලා බලෙන් හරි එක්කගෙන යනවා.“ ඇය කීවේ කෘතඥ පූර්වක ස්වරයකිනි.
“අක්කාගේ තවමත් තිබෙනවා ඒ උනන්දු ගතිය. සමහර අය නම් තමන් තැනකට ආ පසු පවුලේ අනෙක් අයට එන්න නොදෙන ගතියක් තිබෙනවානේ. ඒත් ඇය හැම තිස්සේම අපේ පවුලේ කෙනෙකුට තැන හදලා දෙන්න උත්සාහ කරනවා. යම් නිර්මාණයකට ශිල්පියෙක් හොයනවා කීවත් අක්කා මුලින්ම අපේ පවුලේ කෙනෙකු තමයි යෝජනා කරන්නේ. මගේ පුතා මන්ජිත තෙන්නකෝන්ට මුලින් සංගීතයට සම්බන්ධ වුණේ දැන් රංගනයෙත් යෙදෙනවා. පොඩි අය්යාගේ පුතා අංග රචනා ශිල්පියෙක්, පොඩි පුතා රට සිටියත් ගිටාර් සහ තාල භාණ්ඩ වාදන ශිල්පියකු ලෙස කටයුතු කරනවා, අයියාගේ ලොකු පුතා බිමල් ජයකොඩි රංග ශිල්පියෙක්, පොඩිපුතා රනිල් සංගීතඥයකු ලෙස කටයුතු කරනවා. පොඩි අක්කාගේ පුතාලා දෙන්නත් ඒ වගේ. කවිඳු බණ්ඩාර, අක්කාගේ දුව පබෝදා වැනි අයවත් ඒ ආකාරයෙන් යොමු කළ නිසා දැන් වනවිට අපට විශාල කලා පවුලක් තැනී තිබෙනවා ජයකොඩි පවුල කියලා.“
එසේ පවසන විට ඇයගේ දෑසට සියුම් අභිමානයක්ද එක් වූවා සේය. ඇය තවත් විස්තරයකට යොමු වූවාය.
“ප්‍රසිද්ධ වේදිකාවට පෙර පාසල් වේදිකාවේ අපි සහෝදර සහෝදරියන් සියලු දෙනා රඟපාලා, සමස්ත ලංකා තරගවලින් ජයගෙන තිබුණා. මම මුලින්ම ගියේ සේදවත්ත සිද්ධාර්ථ මහා විද්‍යාලයට. හයවසරෙන් පසු කොළොන්නාව බාලිකා විද්‍යාලයට. 84/85 වෙද්දි මම සෞන්දර්ය විශ්වවිද්‍යාලයට තේරී පත්වෙනවා පෙරදිග සංගීතය ලලිතකලාවේදී උපාධිය හදාරන්න. ඉන්පසු ගුරුවරියක් ලෙස කටයුතු කරනවා කොළොන්නාව ටෙරන්ස් ඒ. ද සිල්වා පාසලේ. පසුව කොළඹ විශ්වවිද්‍යාලයේ නාට්‍ය හා රංගකලාව පශ්චාත් උපාධි ඩිප්ලෝමාව හැදෑරුවා. ඉන්පසු කොළඹ රාජකීය විද්‍යාලයේ උසස් පෙළ සඳහා නාට්‍ය හා රංගකලා විෂයය ආරම්භ කරන්න මට අවස්ථාව ලැබුණා. ඒ වෙනුවෙන් මම එස්. එච්. කුමාරසිංහ විදුහල්පතිතුමන්ට ස්තුතිවන්ත වෙනවා. කලා අංශයක් තිබුණේ නෑ ඒ වනතුරු රාජකීය විද්‍යාලයේ. ඒ අතර මම ශාස්ත්‍රපති උපාධිය කළා නාට්‍ය හා රංගකලාව විෂයයන් කැලණිය විශ්වවිද්‍යාලයේ. ඒ නිසා මම දිගටම ඒ විෂයය උගන්වන්න අවස්ථාව ලැබුණා. රාජකීය විද්‍යාලයේ වසර 21ක් උගන්වා මේ වෙද්දි කොටිකාවත්ත රාජසිංහ මධ්‍ය මහා විද්‍යාලයේ උගන්වනවා. පාසල් කාලයේ සිට අද දක්වා මම රංගනය කියන දේ අතහැරියේ නැහැ. ජීවිතේ හරි අඩකටත් වඩා ගෙවී තිබියදීත් ගුරු වෘත්තිය සහ රංගනය සමබරව ගෙනයන්න මට හැකි වුණේ ඒ මුල් පියවර නිවැරැදිව ගත් නිසා.“
අතීතයත් වර්තමානයත් ඇය අපූරුවට ගළපා කීවාය. මම තවත් පැනයකට යොමු වීම්.
පාසලක් නැති අපේ රටේ රංගනය කොහොමද ඉගෙන ගත්තෙ?
“මේ විෂයන්ට සහජ කුසලතාව කියන දේ බලපානවා. මට නම් පවුලේ බලපෑමත් තිබෙනවා. ගුරුවරියක් ලෙස අපට ලැබුණු මඟ පෙන්වීමත් ලැබුණා. සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ හැදෑරීමත් වැදගත් වුණා. අප ගීතයක් ගැයුවත් රංගනය සමඟයි සිදු කරන්නේ. රංගනය පිළිබඳ මගේ මුල්ම පාඩම ලැබුණේ ගුවන්විදුලියෙන්. කොහොමද හඬ පාලනය කරන්නේ, කොහොමද චරිතයක් කටහඬින් මවන්නේ වැනි දේවල් ඉගෙන ගත්තේ එහිදී. අපි වේදිකාවට එද්දි එහි වෙනස මුලින්ම හඳුනා ගත්තෙත් ගුවන්විදුලියෙන්. ගුවන්විදුලියෙදී අප යම් යම් චරිතවල හඬ මවද්දි අසන්නා දන්නේ නෑ අපි සුදුද කළුද කියලාවත්. ඔවුන් අපේ ස්වරූපය මවා ගන්නේ අපේ හඬින්. එය වේදිකාවේදි ලොකු අත්වැලක් වුණා.
මම ප්‍රසිද්ධ වේදිකාවට යොමු වන්නේ 80 වසරේ අග භාගයේ වැනිසියේ වෙළෙන්දා නාට්‍යයෙන්. ටෝනි රණසිංහ සහ බන්දුල විතානගේ දෙපළ ආදරයෙන් සිහි කරන්න ඕනේ ඒ නාට්‍යයට මාව සම්බන්ධ කරගත්තාට. අක්කා තමයි ඊටත් මුල් වුණේ. වැනිසියේ වෙළෙන්දා නාට්‍යයේ අක්කා රඟපාමින් සිටියදී ටෝනි රණසිංහ කළ චරිතයේ දුවගේ භූමිකාවට කෙනෙක් අවශ්‍ය වෙලා අක්කා මාව යෝජනා කර තිබුණා. අප එයට සම්බන්ධ වුණ කාලේ පාසල් වියේ පිරිස තමයි වැඩි වශයෙන් නාට්‍යයට සම්බන්ධ කරගෙන තිබුණේ. ඒ නිසා මටත් එය හරියට රංගනය පිළිබඳ පාසලක් වගේ. අපි පුහුණුවීම්වලට ගියෙත් නිල ඇඳුම පිටින්. එහිදී වේදිකාව භාවිත කරන්නෙ කොහොමද යන්න අධ්‍යයනය කරන්න ලැබුණා. ටෝනි රණසිංහ, බන්දුල විතානගේ, ප්‍රසන්න ෆොන්සේකා වැනි ක්ෂේත්රයේ ප්‍රවීණයන් පිරිසක් සමඟ තමයි අපට රඟපාන්න ලැබුණේ. ප්‍රේමසිරි කේමදාස මාස්ටර් තමයි සංගීතය අධ්‍යක්ෂණය කළේ. එයින් සංගීතය, ගායනය වැනි දේ නාට්‍යයක් සමඟ යෙදෙන්නේ කොහොමද යන්න පිළිබඳ අවබෝධයක් ලැබුණා. අද කාලේ වගේ නෙවෙයි ටෙලි විෂන් එහෙම නැති නිසා මාස හයක් පමණ පුහුණු වීම් කෙරෙනවා ඒ කාලේ නාට්‍යයකට. ඒ කාලය පුරාම ටෝනි රණසිංහලා වගේ අය කොහොම හරි කාලය වෙන් කරගෙන පුහුණුවීම්වලට සහභාගී වනවා. වේදිකාවේ ඈත කෙළවරේම සිටින ප්‍රේක්ෂකයාට ඇහෙන්න අපේ හඬ පාලනය කරන්නේ කෙසේද යන්න පිළිබඳ අපට අවබෝධයක් ලැබුණේ එවැනි පුහුණුවීම්වලදි. වේදිකාවේ හිටගන්නේ කොහොමද? අනෙක් රංග ශිල්පියා සමඟ දෙබස් හුවමාරු කරගන්නේ කොහොමද? අභිනයන් හතර අතරින් විශේෂයෙන් සාත්වික අභිනය යොදාගන්නේ කෙසේද වැනි කරුණු අපට විශේෂයෙන් ඉගැන්වුවේ නැති වුණාට අභ්‍යාස කෙරුණා. ඒ ආරම්භයත් සමඟ වේදිකා නාට්‍ය විශාල සංඛ්‍යාවක රඟපාන්න අවස්ථාව ලැබුණා. සුගතපාල ද සිල්වා, රංජිත් ධර්මකීර්ති, ඩග්ලස් සිරිවර්ධන, ජයලත් මනෝරත්න, කපිල කුමාර කාලිංග, කේ. බී. හේරත්, නීල් අලස්, ශ්‍රියන්ත මෙන්ඩිස්, මැණිකේ අත්තනායක, සෝමලතා සුබසිංහ, රම්‍යා වනිගසේකර වැනි විශිෂ්ට අධ්යක්ෂවරුන් සහ ශිල්පී ශිල්පිනීන් සජීවීව වේදිකාවේ දි හඳුනාගන්නවාට අමතරව ඔවුන් කතා බහ කරන දේ සහ නිර්මාණවලට යොදා ගන්නා දේවල් පිළිබඳ අපට අත්දකින්න ලැබෙනවා. “
ඒ අත්දැකීම් ඔබ සම්මානනීය නිළයක් බවට පත් කරනවා?
“ඔව්. මුල්ම හොඳම නිළිය සම්මානය හිමි වුණේ යොවුන් නාට්‍ය උලෙළේ සුනන්ද සිල්වාගේ පාරාජිකා නාට්‍යයේ රංගනයට, 1982වසරේ. 83දි සෝමපාල පතිරගේගේ තුංමංසල යොවුන් නාට්‍ය හොඳම නිළිය වනවා. 85 සාම නාට්‍ය උලෙළේ කේ. බී. හේරත්ගේ මායාදේවී සඳහා හොඳම නිළියට සම්මාන ලබනවා. 96 බන්දුල විතානගේගේ රෝමය ගිනි ගනී නාට්‍යයේ හොඳම නිළිය. ජපන් තානාපති කාර්යාලයෙන් ඒ කාලයේ විශිෂ්ට රංගන ශිල්පීන්ට පිරිනමන බුන්කා සම්මානය 2011 ලැබුණා. වේදිකාව තමයි මට බොහෝ චරිත සහ සම්මාන දුන්නේ.
මගේ රංගන ජීවිතේ වැදගත්ම අවස්ථාවක් ලෙස සලකන්න පුළුවන් මහාචාර්ය සරච්චන්ද්‍රගේ නාට්‍ය තුනක රංගනයෙන් දායක වන්න ලැබුණු අවස්ථාව. එය උදා වුණේ මායාදේවි නාට්‍යයේ රංගනය දුටු පසුව සරච්චන්ද්‍රයන් මහාසාර නාට්‍යයේ චරිතයක් නිරූපණය කරන්න කතා කිරීමත් සමඟයි. ඉන්පසු 1991 වසරේ යශෝධරා සරච්චන්ද්‍ර නිරූපණය කළ මනමේ කුමරිය වෙනුවට රඟපාන්න අවස්ථාව මට ලැබුණා. එසේ හත්වැනි මනමේ කුමරිය වෙද්දි මම පෙමතො ජායතී සොකො නාට්‍යයේ පුහුණුවීම් කරමින් සිටියේ.
සරච්චන්ද්‍ර මහතා සහ ලලිතා සරච්චන්ද්‍ර මහත්මියත් මට ලොකු පන්නරයක් ලබා දුන්නා රංගනය පිළිබඳ. එය වේදිකාවේ පතාක යෝධයන් සමඟ රංගනයට මට ලැබුණු අවස්ථාවක්. වේදිකා නාට්‍ය කණ්ඩායමක ස්වභාවය පවුලක් වගේ. එයින් ලැබෙන ආදරය, දැනුම සියල්ල තමයි අද අප යම් තැනක සිටිනවා නම් එයට පන්නරය ලබා දුන්නේ.
ටෙලි නාට්‍යයක් නම් රඟපෑ පසු විකාශය වද්දි ශිල්පීන් විසිරිලා. ඒත් වේදිකා නාට්‍යයක අඩුම තරමින් දින හැටක්වත් පුහුණුවීම් කරනවා. එකට බසයේ ගමන් කරනවා. එවිට පුදුම බැඳීමක් ඇති වනවා කණ්ඩායමක් ලෙස. ඒ වගේම අපේ තිබෙන අඩුපාඩුකම් දුර්වලකම් සකසාගෙන වැඩිදියුණු කළ යුතු තැන් හදාගන්න අවස්ථාව ලැබෙනවා. ඒ පසුබිම නිසා තමයි වේදිකා නාට්‍ය නළු නිළියන් දක්ෂයි කියා කියන්නේ. අනෙක හැමදාම අලුත්වන ප්‍රේක්ෂකයන් ඉදිරියේ කරන රංගනය සජීවියි. ඔවුන්ගේ ප්‍රතිචාර වගේම අධ්යක්ෂවරයාගේ විචාරය අනුව අපේ රංගනයත් හැමදාම අලුත් වෙනවා. ඒ නිසා මම කවදත් වේදිකාවට ආදරෙයි.“ ඇයගේ මුහුණේ මතු වන්නේ ස්නේහවන්ත හැඟීමකි. ඒ ළෙන්ගතු ස්වරයෙන්ම ඇය තවත් කරුණක් ගෙන හැරපායි.
“ඒ කාලේ වේදිකා නාට්‍ය අධ්යක්ෂවරුන් බොහෝ දෙනෙක් මෙය හදාරනවාට අමතරව හොඳ අධ්‍යාපනික පසුබිමකුත් ලබා ඇති අය. ඔවුන් තමන්ගේ නළු නිළියන්වත් ඒ තැනට යොමු කරනවා. මම 96 වසරේ ගුරුතරුව නාට්‍යයේ රඟපානකොට රෝමය ගිනි ගනීත් එකටම ආවා. මගේ පශ්චාත් උපාධි කටයුතුත් ඒ අතර කරන්න සිදු වුණා. එය ලොකු පීඩනයක් ලෙසයි ඒ අවස්ථාවේ මට දැනුණේ. එත් අපට ලැබුණු අත්දැකීම ම තමයි විභාගයටත් ලියන්න තිබෙන්නෙ. ඒ වගේම අපේ ජ්‍යෙෂ්ඨයන් අපට දුන් උපදෙස් ඒ විභාගයටත් වැදගත් වුණා. ඉතින් අවසානයේ රෝලන්ඩ් අබේපාල සර් මට කීවා ‘රත්නා නාට්‍ය දෙකේත් රඟපාලා හොඳම නිළියත් වෙලා විභාගෙත් කරගන්න සමත් වුණා නේද‘ කියලා. අපි අවිවේකී වෙන තරමට කාලය කළමනාකරණය කරගන්නවා, ක්‍රියාශීලී වෙනවා.“ ඇය කීවේ උද්යෝගයෙනි.
ඇයගේ ගමනේ දැවැන්තම අත්වැල හිමිවන්නේද වේදිකාවෙනි.
“මගේ පවුල් ජීවිතය ගොඩනැඟෙන්නෙත් වේදිකාවෙන් මුණ ගැසෙන කෙනෙක් සමඟ. මම හිතන්නේ මට ලැබුණු ලොකුම භාග්‍යයත් ඔහු හමුවීම. මොකද වෙනස්ම විෂයයකට සම්බන්ධ කෙනෙකු වුණා නම් මට මේ ගමන එන්න අපහසු වෙන්නත් ඉඩ තිබුණා. ජයලත් මනෝරත්නයන්ගේ පුත්‍ර සමාගම නාට්‍යයත් ඩග්ලස් සිරිවර්ධනයන්ගේ සුබ සැන්දෑවක් නාට්‍යයත් එකවර පුහුණුවීම් කටයුතු ආදිය තිබුණේ. ඊට පෙර නාට්‍යවල අප මුණ ගැසී තිබුණත් අපේ බැඳීම වැඩෙන්න හේතු වුණේ මේ නාට්‍ය දෙක. බොහෝ තරුණ පිරිස තමයි ඒ නාට්‍යවල සිටියේ. ජය ශ්‍රී චන්ද්‍රජිත්, චාන්දනී සෙනෙවිරත්න වගේ අය. පුත්‍ර සමාගමේ නීනා කියන මගේ චරිතයත් වයස 19ක තරුණියක්. මටත් ඒ වෙද්දි ඒ වයසෙමයි. ඔවුනුත් ඒ ආසන්න වයස්වල. සම්පත් තෙන්නකෝන්ටත් කවුරුත් හිටියේ නෑ ඒ වෙද්දි. අපි වසර පහක් පමණ ආදරය කරලා විවාහ වුණේ. මට හැමතිස්සෙම ඔහු උදවුවක් වුණා. ඔහු මගේ රංගන ජීවිතය ගැන මටත් වඩා උනන්දු වුණා සමහර විට. මම යන්න බෑ කියන චරිතවලටත් යන්න ඔහු උනන්දු කරවනවා, ‘කම්මැළි වෙන්න එපා මම එක්කගෙන යන්නම්‘ කියලා. “
ඇය මඳක් නිහඬ වූවාය. ඔහුගේ මතකයන් සමඟ සුසුමකට මුසු වූ වදන් පෙළක් ඇය වා තලයට මුසු කළාය. “ඔහුගේ ජීවිතය තිබෙන තුරු මගේ පසුපසින් සිටියා. අප දෙදෙනා දෙදෙනාට උදවු කළා. දෙදෙනාම එකට එළියට යන්නේ එකට ගෙදර එන්නේ. වැඩක් අතපසු වුණත් කවදාවත් මට දොස් කීවෙත් නෑ. මමත් පුරුදුව සිටියා කලින්ම වැඩකටයුතු ඉවර කරගන්න. සම්පත්ගේ අම්මා සහ අක්කා පුතාව බලා ගන්න උදවු කළා. ඒ නිසා කිසිම දවසක පිට තැනක දරුවා තබා යන්න අවශ්‍ය වුණෙත් නෑ. ඔවුන් මට මගේම අම්මා සහ සහෝදරියන් වගේ නිසා මගේ ජීවිතේ විශේෂ දුක් කරදර නැතිව සමබරව ගෙනයන්න අවස්ථාව ලැබුණා. ඔවුන් මගේ ගුරුවෘත්තියට ආදරය කළා. මගේ රූපවාහිනී වැඩසටහන් පිළිබඳ පළමුවෙන්ම හොඳ නරක කියන්නේත් සම්පත්ගේ අක්කලා. ඒ අයට මාව වටිනවා කියන දේ ඔවුන් සැම විටම කියනවා. සම්පත් නැතත් අදටත් මට ඔවුන්ගේ බැඳීම තිබෙනවා.“
වේදිකාවෙන් නොබැසම ඇය රූපවාහිනියට මෙන්ම සිනමාවට ගොඩ වූවාය.
“රූපවාහිනියට මම යන්නේ මුලින්ම පරාක්‍රම නිරිඇල්ලගේ ‘ළා හිරු දහසක්‘ ටෙලි නාට්‍යයේ ඉතාම සුළු චරිතයක කුඩා ජවනිකාවකට. ඒ සමඟම ලූෂන් බුලත්සිංහලගේ ‘එක මවකගේ දරුවෝ‘ නාට්‍යයේ චරිතයක් ලැබෙනවා. පසුව යශෝරාවයේ ප්‍රධාන චරිතයක් ලැබෙනවා. එය බොහෝ ජනප්‍රිය වනවා. ඒ සමඟම තමයි මම සෞන්දර්ය විශ්වවිද්‍යාලයට තේරෙන්නේ. ඒ සමඟ තවත් ටෙලි නාට්‍ය රැසක චරිත මට ලැබෙනවා. ශාන්ත සොයිසාගේ සඳා නාට්‍ය යේ අම්මාගේ චරිතය මට හොඳට මතකයි.
චිත්‍රපටවලට මම යොමු වුණේ ධර්මසිරි ගමගේ මහත්මයාගේ පූජා චිත්‍රපටයෙන්. එහි රඟපෑවේ අක්කාගේ යාළුවෙක් හැටියට. ඉන්පසු සිරිමැදුර, පුංචි සුරංගනාවී, සිරිරජසිරි, සුදු කළුවර, රන්දිය දහර, ගාමනී වැනි චිත්‍රපට විසිපහකට අධික සංඛ්‍යාවක රංගනයට අවස්ථාව ලැබුණා. සිංහබාහු, රිදී සීනු චිත්‍රපට ඉදිරියේදී තිරගත වන්නට නියමිත යි.“
රූපවාහිනිය, සිනමාව සහ වේදිකාවේ රංගනයේ වෙනස ඔබට දැනෙන්නේ කෙසේද?
“ගුවන්විදුලියේදි වුණත් අප කළේ රංගනය තමයි. වෙනස එය ශ්‍රාවකයන් සඳහා පමණක් වීම. වේදිකාවේ සජීවී ප්‍රේක්ෂකයන් ඉදිරියේ චරිත නිරූපණය කළ යුතුයි. සිනමාවේ විශාල තිරයක් වෙනුවෙන් රංගනය කළ යුතුයි. මේ සියල්ලේ රංගනයේදී සුළු සුළු වෙනස්කම් තමයි තිබෙන්නේ. වේදිකාවේ රංගනයේ තිබෙන නිදහස රූපවාහිනියේ සහ සිනමාවේ නැහැ. අපි රූපවාහිනී කැමරාවට කතා කරන්නේ, අංගචලන කරන්නේ සීමාසහිතව. සිනමාවේදි අපට ලොකුවට කෑගහලා ඇස් ලොකු කරලා කතා කරන්න සුදුසු නෑ. අපේ පුංචි ඉංගිතයක් වුණත් සිනමාවේදි ලොකුවට පේන නිසා අපි දැඩි පාලනයකින් රංගනය කළ යුතුයි සිනමා කැමරාවට. මට ඇත්තටම සිනමා කැමරාවට රඟපෑමේදී යම් අපහසුතාවක් දැනෙනවා වේදිකාවේ නිදහස් රංගනයට හුරු වී ඇති නිසා. ආචාර්ය ලෙස්ටර් පීරිස්ගේ අවරගිර චිත්‍රපටයේ ජෝ අබේවික්‍රම, අයිරාංගනී සේරසිංහ, ලකී ඩයස්, කමල් අද්දරආරච්චි, වසන්ති චතුරාණි, සනෝජා බිබිලේ, රංජන් රාමනායක වැනි ප්‍රවීණයන් සමඟ රංගනයට අවස්ථාව ලැබුණා. එහිදී ලෙස්ටර් මහත්මයා මට කීවා සමීප රූපයේදී වැඩිය කට ඇරලා ඇස් ලොකු කරලා කතා කළොත් යකෙක් වගේ පෙනෙයි කියලා.“
සිනහවක් සමඟ ඇය ඒ ක්ෂේත්රයේ රංගනයේ වෙනස පැවසුවාය.
වසර හතළිහකට අධික කාලයක් කළ රංගනය ඔබ අර්ථ දක්වගෙන ඇත්තේ?
“රඟපෑමක් කියන්නේ කවුරුන් හෝ කළ දෙයක් නිරූපණය හෝ වෙනත් කෙනෙකුගේ චරිතයකට සමාරෝප වීමක්. අපි එයට ආරූඪ වීම කියලත් කියනවා. අපේ චරිත ස්වභාවයන් පසෙකින් තබා තමයි එය කරන්නේ. එය ඇත්තක් නොවේ. ඒත් ප්‍රේක්ෂකයන් එය ඇත්තක් ලෙස පිළිගන්නවා. ඉතින් ප්‍රේක්ෂකයන්ගේ රසවින්දනය උදෙසා තමයි අප ඒ දේ කරන්නේ. ඒ සඳහා අපට සතර අභිනය අවශ්‍ය වෙනවා. ඒ වගේම අනුශංගික අංග අවශ්‍යයි. රංගනය කියන්නේ පිටපතක ඇති වෙනත් කෙනකුගේ චරිතයට ආරූඪ වෙලා කරන ඉදිරිපත් කිරීමක්.“
ඔබ දකින වේදිකාවේ එදා සහ අද වෙනස කෙබඳුද?
මම එන්නේ 80 දශකයේ මුල. ඒත් වේදිකාවේ වුණත් ස්වර්ණමය යුගය ලෙස සලකන්නේ හැට හැත්තෑව දශක.අපටත් වාසනාවක් තිබුණා ඒ යුගයේ දක්ෂ අධ්යක්ෂවරුන් වගේම ශිල්පීන් සමඟ එක්ව රංගනයේ යෙදෙන්න. අසූව විවෘත ආර්ථිකය සමඟ යම් පෙරළියක් සිදු වූ යුගයක්. විවිධ නාට්‍යකරුවන්ගේ විවිධ නාට්‍ය කණ්ඩායම් තිබුණා. අප අයත් වුණේ අසූවේ කණ්ඩායමට. ඒ් යුගයෙත් අපට හොඳ නාට්‍යවල රඟපාන්න අවස්ථාව ලැබුණා. අනූවෙන් දෙදහෙන් පසු රටේ දේශපාලනය, සමාජ සංස්කෘතික වෙනස්කම්, අධ්‍යාපනය, පරිසරය ආදිය සමඟ තමයි වේදිකාවත් ගමන් කරන්නේ. අපේ පමණක් නොවේ ලෝකෙමත් එහෙමයි. අසූව දශකයේ රූපවාහිනිය පැමිණි පසු වේදිකාවට ප්‍රේක්ෂකයන් අඩු වුණා. යුද්ධය නිසා ප්‍රවාහන අපහසුතා ආදිය ඇති වුණා වගේම ඉන් පසු දිගින් දිගටම විදුලි අර්බුද, බෝම්බ ප්‍රහාර, සුනාමි, පාස්කු ප්‍රහාරය, වසංගත වැනි දේ මේ සියලු කලාවන්ටත් විශේෂයෙන් නාට්‍ය කලාවටත් බලපෑවා. වේදිකා නාට්‍ය කලාවට විශේෂයෙන් බලපෑවේ ප්‍රවාහන අපහසුතා සහ පාරිසරික කරුණු. සජීවී ප්‍රේක්ෂකයන් සමඟ ගැටෙන වේදිකාව වගේම සජීවී සංගීත සන්දර්ශන ආදියටත් මේ තත්ත්වය තදින් බලපෑවා. ලෙඩ රෝග නිසා ජනතාව එකතු වන අවස්ථා අඩු වුණා.
අපි නම් රැකියාවක් සමඟ කලාවට යොමු වූ නිසා ආර්ථික වශයෙන් වුවත් අපහසුතාව ලොකුවට නොදැනුණත් පූර්ණ වශයෙන් කලාවට යොමු වූ අය අසරණ වුණා. ජීවත් වීමේ අපහසුතාව නිසා පිටරට ගිය අයත්, කලාව අතහැර දැමූ අයත් ඉන්නවා. දේශපාලන අර්බුද ආදියත් මේ සියල්ලට බලපානවා. කොහොම වුණත් අපේ ජනතාවට වගේම කලාකරුවන්ටත් ශක්තිමත්ව මේ සියලු දේට මුහුණ දීමේ හැකියාව තිබෙනවා. මේ වන විට නැවත යන්තම් කලා කටයුතු හිස ඔසවමින් එන බවකුත් පේනවා. තමන් කරන්න කැමැති දේ කරමින් සතුටින් ඉඳීමයි අපි නම් කරන්නේ.
කලාව නිසා තමයි මිනිස්සු බොහෝ වෙලාවට දේවල් ඉවසා දරාගෙන ඉන්නේ. කොරෝනා කාලේ අපි එකතු කරගත් ටික කාලා බීලා කලා කටයුතුවල හුදෙකලාව නිරත වුණා. ඒවායින් තමයි බොහෝ දෙනා හිත හදාගත්තෙත්. අසනීපයකදි වුණත් අපි ගීතයක් අහලානේ මනසට සැහැල්ලුවක් ලබා දෙන්නේ. මොන දේ නැතත් කලාව මිනිසුන්ට ජීවත් වෙන්න, පීඩනය නැති කරගන්න ඖෂධයක්.“
වසර 30ක් පුරා ගුරු වෘත්තියේ යෙදුණු ඔබ දරුවන්ගේ රසවින්දනය වෙනස් වූ ආකාරය දකින්නේ කෙසේද?
“දැන් සිසුන්ට නම් වසංගතය සහ රටේ තිබෙන විවිධ තත්ත්වයන් අනුව පාසල් වැසුණාම අධ්‍යාපනයේ වෙනසක් ඇති වුණා. දරුවන් සමඟම ඉන්න මවුපියන් ඒ දරුවන්ගේ කලා රසඥතාව ගැන සැලකිලිමත් වුණත් මවුපියන් පිටරටවල ඉන්න දරුවන්, හොස්ටල්වල හැදුණු දරුවන්, බාරකරුවන් ළඟ වැඩුණු දරුවන් ගෙවල්වලදි රැකවරණය නැතිව අසරණ වුණා. පාසලේදී ගුරුවරුන් සැරවැර කරමින් හෝ ඉගැන්වීම් කටයුතුවල යොදවනවානේ. ඒත් දිගින් දිගටම ගෙදර ඉඳීමෙන් සමහර ළමයින් අධ්‍යාපනය නතර කර රැකියාවල නිරත වෙන්න ගත්තා. සමහර ළමයි අපචාරවල යෙදෙන්න පුරුදු වුණා. තවත් සමහර දරුවන් ගෙවල් තුළදීම බාලඅපචාරවලට ලක් වූ බව අහන්න ලැබුණා. අනෙක් ලොකුම ඛේදවාචකය මත්ද්‍රව්‍ය. එය පාලනය කරන්න බැරි තැනට ඇවිත් දෝ කියා හිතෙන මට්ටමක් තිබෙනවා.“
කලා භාවිතයෙන් මේ දේවල යම් වෙනස් කරන්න පුළුවන්ද?
“කලාවෙන්ම පමණක් මේ සියල්ල වෙනස් කරන්න බෑ. අපි දරුවන්ට කතා කළත් සමහරු දැන් කට්ටි පනිනවා. වෙනදාට සාමාන්‍ය පෙළ උසස් පෙළ කරන ළමයින් පාසල්වල පිරිලා ඉන්නවා. දැන් ළමයින්ට ඒ අවශ්‍යතාව නැති වෙලා. පැමිණීම අඩු වෙලා. මේ තත්ත්වය වෙනස් කර දරුවන් පාසල් එවීමට වගකීමක් මවුපියන්ටත් තිබෙනවා. ඉස්සර නම් අපි අපේ සිසුන්ට පාරක් ගහලා හරි පාලනය කරනවා. දැන් ළමයින්ට එහෙම බෑ. ඔවුන් වෙනස්ම මානසිකත්වයක ඉන්නේ. ඉස්සර කලාව සාහිත්‍යය ආදිය මඟින් දඟ, දඩබ්බර ළමයි හොඳ මාර්ගයට ගන්න පුළුවන් වෙලා තිබුණා. ගුරුතරුව වගේ නාට්‍යවලින් පවා ඒ බව පෙන්වුවා. ඒත් දැන් එය ඒ තරම් පහසු කාර්යයක් නෙවෙයි. ඉතින් ගුරුවරුන්ටත් වඩා මවුපියන්ට වගකීමක් තිබෙනවා තමන් සමාජයට මුදා හරින්නේ කෙබඳු දරුවකුද යන්න තීරණය කිරීමේදී.“
ඇය ගුරු වෘත්තියට සමු දෙන්නට සූදානමින් සිටින්නීය. ඒ බව නොසඟවා කීවේ මේ වන විට ඇය දායකව ඇති නිර්මාණ පිළිබඳ හෙළි කරන අතර අනාගත බලාපොරොත්තු පොදියක්ද හිත තුළ තෙරපාගෙනය.
“මේ දවස්වල තරංග දිසානායකගේ හිච්චි ටෙලි නාට්‍යයේ රූගත කිරීම් කරගෙන යනවා. චමිල් පතිරණ සිටුවර පුවත නාට්‍යයටත් මට ආරාධනා කළා නැන්දම්මා කෙනකුගේ චරිතය සඳහා. ගුරු තරුව, අන්දරේලා, තල මල පිපිලා, සින්දුකාර කවි නළුව වැනි නාට්‍යවල රඟපෑම් කටයුතුවලත් මේ දිනවල නියැළෙනවා. රෝලන්ඩ් ඒ ප්‍රනාන්දුගේ දිවැස හෙළනු මැන නාට්‍යය කලින් සම්පත් සමඟ මම ඉදිරිපත් කළා. සම්පත්ගේ අභාවයෙන් පසු මම කල්පනා කළා අලුත් නළු නිළියන් යොදාගෙන නැවත නිෂ්පාදනය කරන්න. ජය ශ්‍රී චන්ද්‍රජිත් ඕස්ට්‍රේලියාවේ. මමත් ලාල් කුලරත්නත් පමණයි පැරැණි නාට්‍යයේ නළු නිළියන් ලෙස ඉන්නේ. එ නිසා මගේ චරිතයට පබෝදා සන්දීපනී දුව සහ සම්පත්ගේ චරිතයට අපේ පුතා මන්ජිත තෙන්නකෝන් යොදාගෙන මගේ අධ්‍යක්ෂණයක් ලෙස නැවත නිෂ්පාදනය කරන්න හිතුවා රෝලන්ඩ් අය්යාටත්, ජයලත් මනෝරත්න අය්යාටත්, සම්පත්ටත් උපහාරයක් ලෙස.
මෙතෙක් කල් මම කලා කටයුතුවල නියැළුණේ සීමිතව. 2024 ගුරුවෘත්තියෙන් විශ්‍රාම ගිය පසු මට බොහෝ නිදහසක් ලැබෙන නිසා සහ පුතාත් මට විශාල සහායක් දෙන නිසා ඉදිරියේදී කලාවට යොමු වන්න වැඩි කාලයක් ලැබෙයි. පුතාත් සම්පත් වගේම මගේ වැඩවලට ලොකු ශක්තියක් සපයනවා. සම්පත් නැති පාළුව පාඩුව තිබුණා වුණත් එයත් කැමැති වුණේ මම නිතර වැඩක යෙදී සිටීමයි. ජීවිතය ඇති තුරා කලාවේ නිරත විය යුතුයි කියන අදහස ඔහු හැම විටම කීවා. ඔහු රෝහල්ගත කළේ දිවිතුරා ටෙලි නාට්‍යයේ රූපගත කිරීම් අතරයි. මමත් පුළුවන් තාක් කල් කලාවේ නිරත වෙනවා.“
සේයාරූ - නිශ්ශංක විජේරත්න