සමුගත් මහා ගාන්ධර්වයා

අප්‍රේල් 6, 2023

 

ඉතා විශිෂ්ට ගායනයක් කළ සනත්ට ධර්මසේන පතිරාජ අධ්‍යක්ෂණය කළ ‘අහස් ගව්ව’ චිත්‍රපටයේ ප්‍රේමසිරි කේමදාස ගේ සංගීතයට චන්ද්‍රසිරි පල්ලියගුරු රචනා කළ ‘ඉරා අඳුරු පට පෙරදිග අහසේ’ නම් මහරු ගීය ගැයීමේ වරම් උදාවිණ.

 

 

පැරැණි ගීත ගැයීමත් ඒවා පිළිබඳව ඇගැයීමත් එසේම විවේකීව සිටින හැමවිටම පාහේ රාගධාරී සංගීත ඛණ්ඩයක් හෝ ගායනයෙන් රසවිඳීමටත් බොහෝ සේ ඇලුම් කරන ඔහු එහි ඇති ශාස්ත්‍රීය රසෝජා ගුණාංගය දියණියටත්, ශිෂ්‍යයින්ටත්, මටත් රසවත්ව පෙන්වා දීමට උත්සාහ කළේය. “මල්කාන්ති නන්දසිරි තම සැමියා සනත් නන්දසිරි ගැන ලියූ ලිපියක සඳහන් කර තිබේ.

 

සනත් නන්දසිරි ඉපැදුණේ කොලොන්නාව ගොතටුව ගමේ 1942 පෙබරවාරි 15 දාය. ඒ ලෝක යුද්ධ කාලයයි. සුවිශාල කාර්ය භාරගත් ඉටුකළ සනත් 2023 මාර්තු 28 දා ජීවිතයෙන් සමුගත්තේ බොහෝදෙනා සෝ සයුරේ ගිල්වමිනි. ඔහු උපන් ගෙදර ග්‍රැමෆෝනයක් තිබුණි. ඔහුගේ තාත්තා නිවසේදී පැරැණි ගී ගයනු සනත්ට ඇසුණි. රාත්‍රියේ ගුවන් විදුලිය ශාස්ත්‍රීය සංග්‍රහයට සවන් දුන් ඔහු ගායන වාදන - විශේෂයෙන් තබ්ලා වාදනයෙන් ඒවා ඇසීමෙන් අපූරු වින්දනයක් ලැබීය. 1947 ඔහුට වයස 5දී ගමේ උත්සවයක දී සිය සොයුරිය සමඟ ගීයක් ගැයුවේය. 1955 දී නන්දා ජයමාන්නගේ මඟ පෙන්වීමෙන් ගුවන් විදුලියේ ළමා මණ්ඩපයෙහි දොරටුව සනත් වෙනුවෙන් විවර විය. ‘මාලාගන්ධ විලේපන ධාරා’ ගීය ඔහු විසින් කුඩා කල මුලින්ම ගුවන් විදුලියේදී ගයන ලද්දේ හැකියාව විදහාපාමිනි.

හේමතිලක දයාරත්න, මහේෂ් සින්නයියා, විශාරද ඩී. ආර්. පීරිස් ඔහුගේ මුල් කාලීන සංගීත ගුරුවරු වූහ.

රජයේ ලලිත කලායතනයේ ඉගෙනගත් සනත් එකල ලයනල් එදිරිසිංහගේ හොඳම ශිෂ්‍යයකු විය. පසුව ඉන්දියාවේ භාත්ඛණ්ඩ සංගීත් විද්‍යපීඨයට ඇතුළු වී ගායනය හා තබ්ලා වාදනයට විශාරද උපාධි දිනාගති.

උස්තාද් අහමඩ්ජාන් තිරක්වා නම් භාරතයේ අග්‍රගණ්‍ය සංගීතඥයාගෙන් තබ්ලා වාදනය හදාළ එකම ලාංකීක ශිෂ්‍යයා වීමේ භාග්‍යය ඔහුට උදාවිය.

ආපසු සියරට පැමිණි සනත් ගුවන් විදුලියේ නවදැළිහේන ගීත නාටකයේ නයනතානශී හාස හාංසී නම් වූ පී. ඩන්ස්ටන් ද සිල්වාගේ සංගීතයෙන් හා විමල් අභයසුන්දරගේ රචනයෙන් නිර්මාණය කළ ගීතය ගැයීමෙන් සැමගේ ප්‍රශංසාවට ලක්විණි. පී.ඇල්.ඒ. සෝමපාල ඔහුගේ දස්කම් දැක ගුවන් විදුලිය වෙළෙඳ සේවයේ ගීත තුනක් පටිගත කිරීමට කළ ඇරයුම සනත්ගේ සංගීත ජිවිතය වෙනස් මඟකට යොමු කරන සිද්ධියකි. විමලධර්ම ජයවීරගේ ‘ඇවිළුණු ගිනිදැල්’, බණ්ඩර විජේතුංග ලියූ ‘මහද පෙම් විලේ’, ප්‍රේමකීර්ති ද අල්විස් රචනා කළ මුල්ම ගීය ‘මිහිරාවි’ (මල්කාන්ති සමඟ) ගැයීමෙන් වහා ජනප්‍රිය වූයේ නව ගමනකට ආශිර්වාද ලබමිනි.

යම් යම් අවස්ථාවල අමරදේවයන්ට තබ්ලා වාදනයෙන් සහය වී සිටි සනත්ට සැඩොල් කඳුළු චිත්‍රපටයේ ගීයක් ගැයීමට අමරදේව විසින් ඇරයුම් කරන ලදි.

තෙරක් නැති ආසා

අනප්තවූ ආසා

අන්ධකාරෙන් බිහිව

ශ්වේත සළු පිළි පැලඳ

හිරු නුදුටු ආසා

මේ ගීය රචනා කළේ හෙන්රි ජයසේන විසිනි. සුගතපාල සෙනරත් යාපා ‘හන්තානේ කතාව’ චිත්‍රපටයේ ප්‍රේමසිරි කේමදාසගේ සංගීතයට ගීයක් ගැයීමට සනත්ට ආරාධනා කළේය. විජය ධර්ම ශ්‍රී ද ඊට හවුල් විය. එම ගීතය අපූර්ව රඝෝජාවක් ජනිත කළ ගීයකි. විජය කුමාරතුංග හා පුරා කියා ගීයකට මුව විවර කළේ එම චිත්‍රපටයටයි.

අනන්ත වූ දෙරණ

සරා දෑස නිවන තිලක් සොයා

අහස් ගව්ව නග ගත්තේ

නිල්ල දකින්නයි

ගලන ගඟක සිඟිති

දොළක සිහිල විඳීන්නයි

ගසක වෙලෙන සිඟිති වැලක

පහස ලබන්නයි

ඉතා විශිෂ්ට ගායනයක් කළ සනත්ට ධර්මසේන පතිරාජ අධ්‍යක්ෂණය කළ ‘අහස් ගව්ව’ චිත්‍රපටයේ ප්‍රේමසිරි කේමදාස ගේ සංගීතයට චන්ද්‍රසිරි පල්ලියගුරු රචනා කළ ‘ඉරා අඳුරු පට පෙරදිග අහසේ’ නම් මහරු ගීය ගැයීමේ වරම් උදාවිණ.

ඉරා අඳුරුපට

පෙරදිග අහසේ

පොකුරු පොකුරු තරු

නිවී යන්ට පෙර

අරුණළු උදසේ

මැකී යන්ට පෙර

පියමං කරමින්

අහස් ගව්වටයි ළංවන්නේ

සුගතපාල සෙනරත් යාපා ප්‍රේමසිරි කේමදාස, විජය කුමාරතුංග එකට හමුවුණු තවත් චිත්‍රපටයකි. ‘පෙම්බර මධු’ එහිදී සනත් ගැයූ මෙම ගීය කදිම රසඥතාවක් විශද කරන්නකි.

මේ නිහඬ නිල් තලයේ

මා තනිවෙලා

හෙළන කඳුලක් සේ සෝ

හඬ තලා

ගලනු ඇයි නිබදේ තී

රැඳෙව මගසුවදී

ටී. අර්ජුන ගේ වසන්තයේ දවසක් චිත්‍රපටයට අජන්තා රණසිංහ ලියූ ගීය සනත් ගැයුවේ ලතා වල්පොල සමඟිනිය. ප්‍රේමසිරි කේමදාස ගේ සංගීත සංයෝජනයෙනි.

දේදුන්නෙන් එන සමනළුන්

ගම්මැද්දේ පොඩි කුරුල්ලනේ

රෑං රෑං ඇවිදිල්ලා

අපේ ළඟින් ඉඳහල්ලා

එම ගීයට සරත් දසනායක සනත්ගේ භාව ප්‍රකාශන ගායන හැකියාව මැනවින් හඳුනා සිටි සංගීතවේදියෙකි.

චාර්ලස් පෙරේරා අධ්‍යක්ෂණය කළ විස්මය චිත්‍රපටයට කරුණාරත්න අබේසේකර ලියූ ‘ලස්සන නම් නෑ පෙනෙන්නේ’ ඩෝල්ටන් අල්විස් ලියූ ‘අමුතු අමුතු අරුණළු මල්’ ගීත අප ගැයුවේ සනත්ගේම අනන්‍ය ගායන විලාසයෙනි. එහි විජය කුමාරතුංග රඟපෑවේ අන්ධ තරුණයකුගේ භූමිකාවකි.

කේ.ඒ.ඩබ්. පෙරේරා අධ්‍යක්ෂණය කළ දුලීකා චිත්‍රපටය සංගීතවත් කළ ප්‍රේමසිරි කේමදාස, සුනිල් ආරියරත්නගේ ගී පද රචනයට අනුව ‘සීත රෑ යාමේ අඳුරේ වාසනා නිල් දෑස පායා ගීතය ගැයීමට සනත්ට ඇරියුම් කළේය. සනත් ගේ ගායන රටාව රිද්ම ලීලාව මෙහිදී අපූර්ව ආනන්දයක් මතු කරන ලදී.

සිරිල් වික්‍රමගේ අධ්‍යක්ෂණය කළ ‘සිහින ලොවක්’ චිත්‍රපටයේ මෙගොඩ ගොඩින් අප යනවා. එගොඩ ගොඩට අප යනවා ගීය සෝමදාස ඇල්විටිගල සංගීතවත් කළේය. මේ ගීතය ගැයුවේ සනත්ය. ඉන් අතිශය ප්‍රීතියට පත් ඇල්විටිගල, පියරත්න සෙනරත් හා දයානන්ද ජයවර්ධන නිර්මාණය කළ ‘අමරණීය ආදරේ’ චිත්‍රපටයට සුනිල් ආරියරත්න ලියූ ගීතය ගැයීමට සනත්ට ආරාධනා කළේය. එම ගීතය ඉසියුම් වේදියිත නංවන ජීවන අනුභූතියක් පළ කරයි.

ජීවන යාත්‍රාව බිඳුණු වරායේ

කොතැන ලැගුම් ගන්නේ

මඟ යන එන අය තැන හඳුනන්නේ

කාටද මගේ දුක පවසන්නේ

කෙතරම් කදිම සිනමා ගී ඔහු ගයා ඇතිද?

ඔහු එක් සරසවිය සම්මානයක් දිනා ගත්තේය.

එච්. ඩී. ප්‍රේමරත්නගේ අධ්‍යක්ෂණයෙන් එච්.එම්. ජයවර්ධනගේ සංගීත නිර්මාණයෙන්, සනත් ගැයූ ‘වාසනා වේවා. වාසනාවේවා’ ගීතයටයි ඒ ඇගයුම ලැබුණේ කැමිලස් පෙරේරා, එම ගීය රචනා කළේය.

ගීත කුමාරසිංහ නිපැයූ ‘සළඹක් හඬයි’ චිත්‍රපටයට ඔහු ‘මට සමාවුව මැනේ’ ගීය ගායනා කළේය. ‘අසිපත මමයි’ චිත්‍රපටයට සනත් දමයන්ති ජයසූරිය සමඟ ‘සියුමැලි සුවඳක් පිළිසිඳ සෙවණක්’ යන ගීය ගැයීය. සරත් දසනායක හා කැමිලස් පෙරේරා එකතුව කළ මේ ගී නිමැයුම කුමන හේතුවක් හෝ තිසා චිත්‍රපටයේ ඇතුළත් වූයේ නැත.

පතිරාජ ඇල්.එස්. දයානන්දගේ ‘තුත්තිරි මල්’ සුනිල් ආරියරත්නගේ ‘මිහිදුම් සළු’ ජෝ මයිකල්ගේ ‘රන්මලි ගේ වාසනාව’ අජාසත්ත චිත්‍රපට සඳහා සනත් නන්දසිරි පසුබිම් සංගීතය නිමැයුවේ සිනමාරූපී සංගීතයේ උචිත බව ද දැන හඳුනාගෙනය.

ධර්මසේන පතිරාජ අධ්‍යක්ෂණය කළ ‘ෂෙල්ටන් හා කාන්ති’ චිත්‍රපටය 83 ජාතිවාදී කලබල මැද විනාශ විණි. ප්‍රේමසිරි කේමදාස එහි සංගීතය නිර්මාණය කළේය. සනත් ගැයූ ගීතය තමන් ළඟ ආරක්ෂිතව තිබුණු බව එහි නිෂ්පාදක හේරත්, නවරත්න ගමගේට පවසා ඇත. අහස් ගව්ව චිත්‍රපටයේ ද නිෂ්පාදක දායකත්වය ලබා දුන් ඔහු එකල සනත් ඇතුළු කලාකරුවන් මුදල් වාසි ලාභ ප්‍රයෝජන නොතකා චිත්‍රපට නිර්මාණයට තිස්සරණධ්‍යාශයෙන් කළ ඇප කැප කිරීම මහත් සේ අගය කරයි.

භාරතීය ජීවිතයේ චමත්කාරය නම් සනත් ලියූ පොතේ ඉන්දියාවේ චිත්‍රපට නැරඹීමෙන් ලද ආස්වාදය මෙසේ සඳහන් කර ඇත.

එහෙයින් හින්දි චිත්‍රපට බැලීමට ද ඉතා කැමැත්තක් මා තුළ ඇති වී තිබිණි. ඉඳහිට ඉරිදා දිනයක හෝ නිවාඩුවක් ලද විටක හොඳ චිත්‍රපටයක් බැලීම මාගේ සිරිත විය. ඒත් කිසිදිනක තනිව චිත්‍රපට බැලීමට යෑම මගේ සිරිත නොවීය. කවුරුන් හෝ සිංහල මිතුරකු සැමවිටම මා සමඟ ගියේය. භාත්ඛණ්ඩේ විසින් අප වෙත නිකුත් කර තිබූ විද්‍යාලයීය හැඳුනුම්පත චිත්‍රපට ශාලාවේ ප්‍රවේශපත් කවුළුවට දුන් විට අය කරන මුදලින් භාගයකට ප්‍රවේශපත්‍ර ලැබුණි. සම්භාව්‍ය ගණයේ ලා ගැනෙන චිත්‍රපට සඳහා වෙන් වූ චිත්‍රපට ශාලා ද සාමාන්‍යයෙන් විමෝද ජනක වූ පැරැණි චිත්‍රපට පෙන්වීම සඳහා වෙන් වූ චිත්‍රපට ශාලා ද ලක්නව් නගරයේ විය. සංගීතමය චිත්‍රපටයක් වූයේ නම් අනිවාර්යෙන්ම මම එය නැරඹුවෙමි. එවකට තිරගත වූ චිත්‍රපට අතර මාගේ සිතේ දැනුදු රැඳී පවතින චිත්‍රපට රාශියක් වේ. දෝස්තී, සහිබ් බිබී ඕර් ගුලාම්, ටාජ් මහල්, හකීකත්, හරියාලීඕර් රාස්තා, අසලී නකලී, ගුම්රාහ, ජුම්රූ, වෝ කෝන්තී, මුජේ ජීනේ දෝ, මේ චුප් රහුංගී, දිල් එක් මන්දිර්, බීස් සාල් බාද්, ඩොක්ටර් විද්‍යා, දිල්හිතෝහේ, නීලී ආංකේං, ෂරාබී, හම්දෝනෝ, ආරතී, දිල් අප්නා ඕර් පී‍්‍රත් පරායේ, ආදී චිත්‍රපට ඒ අතර වේ.

එදා චිත්‍රපට බොහෝ දුර සුදුකළු චිත්‍රපට විය. ගීතයක් ඇතුළත්ව තිබුණේ නම් අවශ්‍ය අවස්ථාවකම යොදා තිබිණැයි සිතේ. වර්තමාන චිත්‍රපට වල මෙන් අවශ්‍ය අනවශ්‍ය ස්ථානයන්හි නැටුම් දර්ශන නොවීය. එසේ රංගනයක් තිබුණේ නම් භාරතීය විවිධ නැටුම් ශෛලීන්ගෙන් කුමන හෝ ශෛලියකට අයත් වූවක් විය. ඉඳ හිට මල්වත්තක රඟන පෙම්වතුන් යුවළක් දැකිය හැකි වූවත්, නීරස නොවන අන්දමට ඇතුළත් කිරීමට බොහෝ දුරට වගබලාගත් බවක් පෙනුණි.

එසේ වසරකට වරක් පිරිනැමෙන ෆිල්ම් ෆෙයාර් සම්මානය හිමිවූයේ සම්භාව්‍ය සංගීතයට කොහෙන් හෝ සම්බන්ධකමක් ඇති ගීතකටය. උදාහරණ වශයෙන් දෝස්තී චිත්‍රපටයේ චාහුංග මේ තුජේ ගීතය, ටජ් මහල් චිත්‍රපටයේ ‘ජොවාදා කියාවෝ, වෝ කොන්තී’ චිත්‍රපටයේ ලගජ ගලේ, ගුම්රාහ චිත්‍රපටයේ ‘ආප් ආයේ’ ගීත ඉන් කිහිපයක් ලෙස හැඳින්විය හැකිය. මෙම ගීත තුළ කිසියම් භාරතීය බවක්, තනු සහ සංගීත සංයෝජනයේ මිහිරක් තිබුණු බැව් මම ද ඉඳුරාම පවසමි. වර්තමානයේ එවන් ගීතයක් භාරතීය චිත්‍රපටයකින් අසන්න ලැබෙන්නේ නම් බොහෝ අල්ප වශයෙනි.

එකල චිත්‍රපට සංගීත අධ්‍යක්ෂවරුන් ද සංගීත අධ්‍යක්ෂණයේ දී භාරතීය බව රැක ගැනීම ද විශේෂයෙන් සඳහන් කළ යුතු සත්‍යයකි. විවිධ වූ සංගීත සංකලන, චිත්‍රපට ගීතයටත්, පසුබිම් සංගීතයටත් යොදා ගනු ලැබුවත්, නිරන්තරයෙන්ම ජනිත වුයේ භාරතයටම ආවේණික වූ කිසියම් හඬක් නොවේ දැයි මට සිතේ. විශේෂයෙන් තබ්ලාවේ හෝ ඩෝලක්, ඩෝල්කි, මෘදංග ආදී අවනධ්‍ය භාණ්ඩ වලින් නිකුªත් කළ හැකි සරල වාදන පද විශේෂ පිළිබඳ ද නොයෙක් ආකාරයේ මං එම වකවානුවේ දී සෙවු බැව් ඇතැම් ගීතයන්හි එම අංශය පිළිබඳ විමැසීමේ දී පැහැදිලි වේ. දෝස්තී, ටජ් මහල් ආදී චිත්‍රපටයන්හි ගීත පිළිබඳව විමැසීමේ දී මේ බැව් හොඳින්ම පැහැදිලි වේ. වර්තමාන චිත්‍රපට වල නොඇසෙන සාරංගි නමැති අති මිහිරි හඬක් ජනිත කරවන සංගීත භාණ්ඩය ටාජ් මහල් චිත්‍රපටය සඳහා කොතරම් සාර්ථකව යොදාගෙන ඇත්දැයි මට සිතේ. බටහිර සංගීත භාණ්ඩයක් වූ සැක්සෆෝනය දෝස්තී චිත්‍රපටයේ තේමා වාදනය සඳහා භාරතයටම උචිත අන්දමින් යොදා ගැනීම එදා මහත්සේ අගය කළ යුත්තක් විය. (එම තේමා වාදනය සඳහා වාදනය කර තිබුණේ චිත්‍රපටයේ එන ගීත සමූහයය) එකල මා නැරඹූ සෑම හින්දි චිත්‍රපටයකම පාහේ තේමාවන් කොතැනක දී හෝ භාරතීය ජන ජීවිතයට සුළුවෙන් හෝ සම්බන්ධ කිරීමට කතා රචකයන් වග බලාගත් බව ද සඳහන් කළ යුතුව ඇත. විවිධ ප්‍රාන්තයන්හි ජන ජීවිතය, සිරිත් විරිත්, ඇඳුම් පැලඳුම්, ඒ ඒ පළාත්හි ස්වභාව සෞන්දර්යය, සංගීත අංග චිත්‍රපට කතා ශරීරය ගලා යාමේ දී කොතැනක දී හෝ හමුවිණි. විවිධ කාලයන්හි භාරතයේ විසූ මං කොල්ලකරුවන්, ඒකාධිපතිවරුන්, මිනිසුන් තලා පෙළා පාලනය කළ ධන කුවේරයන් ආදීන්ගේ ස්වරූප මෙම කතා ශරීරයන්හි තේමාවන් තුළ චිත්‍රපට ඉඳ හිට දක්නට ලැබිණි. භාරතයට ආවේණික විවිධ ගීත ශෛලීන් වඩ වඩාත් සාමාන්‍ය ජන කොටස් අතර ප්‍රචලිත වීමට චිත්‍රපට ද මහත් රුකුලක් වුයේ යැයි එකල මට සිතිණි. උත්තර භාරතය ලොවට හඳුන්වා දුන් සම්භාව්‍ය රාගධාරී සංගීතය පිළිබඳ පමණක් ලියවුණු කතා ශරීරද, රැගත් තේමාවන් බොහෝ විය. උදාහරණය වශයෙන් බයිජු බව්රා, ජනක් ජනක් පායල් බාජේ, කොහිනූර්, මෙරී සුරත් තේරී ආංකේං චිත්‍රපට දැක්විය හැක. එම චිත්‍රපටවල ඇතුළත් වූ රාජධාරී සංගීතයෙන් ආභාසය ලැබ නිර්මාණය වූ ඉතා ගැඹුරු වූ ගීත සාමාන්‍ය රසිකයින් ද ගයනු දැකිය හැකිවිය. චිත්‍රපටයන්හි ඇතුළත් වූ නිසාම එවන් ගීත සාමාන්‍ය රසික ජනතාව ද කිසිදු බියක් සැකක් නැතිව ගැයුවාදැයි විටෙක සිතිණි.

 

සේයාරූ - නිශ්ශංක විජේරත්න

[email protected]