හීනවලට පණ පොවන ඉරණම්කාරී ඉම්ලි

අප්‍රේල් 14, 2022

 

ඉම්ලි, උත්තර් ප්‍රදේශ්හි බලියා දිස්ත්‍රික්කයේ පිහිටි පග්ඩන්ඩියා නම් ගම්මානයේ 18 හැවිරිදි දැරියකි. ඇය උපාධිය ලැබීමෙන් පසු ශිෂ්‍යත්වයක් ලබා ගනී. ඉම්ලිගේ බලාපොරොත්තුව පොලිස් නිලධාරිනියක වීමයි.

ඒ තමා හදා වඩා ගත් පියාට සහය ලබා දීමට මෙන්ම තවමත් අවිවාහක මවට යහපත් ජීවිතයක් ලබා දීම වෙනුවෙනි. ඉම්ලිගේ මව, මීති ආදරයෙන් බැඳුණේ නගර වැසියෙකු වන දේව් චතුර්වේදි සමඟිනි. ඔහු විවාහකයෙකු බවත් දියණියකගේ පියෙකු බවත් මීති දැන ගන්නනේ ඉම්ලිගේ උප්පත්තියට කෙටි කලකට පෙරදීයි. මේ හේතුව නිසාම පිරිමියෙකු ගැහැනු ළමයෙකු සමඟ රාත්‍රිය ගත කරන්නේ නම් ඔවුන් විවාහ විය යුතු බවට වන නියමය පග්ඩන්ඩියා ග්‍රාමයේ ක්‍රියාත්මක විය.

සත්‍යකම් යනු කැරලිකාරයෙකු බවට පත් වූ ගොවියෙකි. ඔහු සිය ග්‍රාමයේ අයිතීන් වෙනුවෙන් සටන් කරන්නෙකි. ඉම්ලිගේ කැපකරු පියා වන්නේද ඔහුය. ආදිත්‍ය කුමාර් ත්‍රිපාති හෙවත් ආදි, භාස්කර් ටයිම්ස් හි සේවය කරන දිල්ලියේ මාධ්‍යවේදියෙකි. සත්‍යකම් නම් ගොවියා කැරළිකරුවෙකු බවට පත් වූයේ ඇයි ද යන්න සොයා යාම ඔහුගේ රාජකාරි දිවියේ සුවිශේෂ ඉලක්කයකි. සත්‍යකම් කැරලිකරුවෙකු නොව විප්ලවවාදියෙකු බව ලොවට ඔප්පු කර පෙන්වීම වෙනුවෙන් ආදි පග්ඩන්ඩියා ග්‍රාමය බලා පිටත් වේ. ගමට පැමිණෙන ආදි හට මඟ පෙන්වන්නේ අතරමඟදි මුණ ගැසෙන ඉම්ලිය. අධික වර්ෂාව සහ ගිගුරුම් සහිත වැසි හේතුවෙන් ඔවුන් දෙදෙනාට පැල්පතක රාත්‍රියක ගත කිරීමට සිදු වේ. මේ හේතුව නිසා ගම්වාසීන් විසින් ආදි සහ ඉම්ලි අතර විවාහය බලහත්කාරයෙන් සිදුකරනු ලබයි. ආදි සහ ඉම්ලි නවදිල්ලියට පැමිණෙන අතර ආදි විසින් ත්‍රිපාති පවුලට ඉම්ලි සේවිකාවක ලෙස හඳුන්වා දෙනු ලබන්නේ ඔවුන්ගේ විවාහය ද සඟවමිනි. ඉම්ලි මේ සියලු දුක් ඉවසා සිටින්නේ විවාහය පිළිබඳ වූ ගෞරවය, දෙවියන් වහන්සේ කෙරෙහි ඇති විශ්වාසය මෙන්ම තමා හැර ගිය හොත් ගම්වාසීන් විසින් ආදි මරා දමනු ඇතැයි යන භයංකර සිතුවිල්ලද සිතේ දරාගනිමිනි.

මේ දිනවල සිරස ටීවී ඔස්සේ විකාශය වන 'ඉම්ලි' ටෙලි නාට්‍ය මාලාවේ ආරම්භය සිදු වූයේ මෙලෙසිනි. මෙම සිදුවීම හමුවේ මේ වන විටත් පෙම්වතෙකු වන ආදිගේ තීරණය කුමක් වේවිද? වැරදි වැටහීමකින් විවාහවීමට සිදු වූ ඉම්ලිගේ අනාගතය කෙසේ වනු ඇති ද? යන්න 'ඉම්ලි' ටෙලි සිත්තම ඔස්සේ ඉදිරියේදී දිග හැරෙනු ඇත.

 

පහනි වික්‍රමරාච්චි, යෂ් වීරසිංහ, ජයනි අලුත්ගේ, රත්නශීලා පෙරේරා, තිලාන් වර්ණජිත්, කුසුම් පෙරේරා, සුභාෂි නදීකා, තෙරුණි ආශංසා පීරිස්, තාරක මඩවිටවිතාන, අප්සරා ජයවර්ධන, මහේන්ද්‍ර වීරරත්න, රෂික ප්‍රදීප්, සුලෝචනා වීරසිංහ, බුද්ධිත බන්දුජීව, ශෂි ප්‍රියංකර, කවීෂා ද සිල්වා, මහින්ද කරුණාරත්න, රෙක්ස් හැමිල්ටන්, නිමල් ජයසිංහ, ගිහාන් චතුරංග, හිරුණිකා උදටියවල, නයනතාරා මිහිපානි, තරුෂි අබේකෝන්, අශාන් චන්ද්‍රෙස්න, ලක්ෂාන් මධුසංක, තිළිණ පෙරේරා, හසංක දිමුතු කාරියවසම්, දන්තිකා ගුණසිංහ ඇතුළු පිරිසක් 'ඉම්ලි' හඬ දායකත්වය ලබා දෙති. 'ඉම්ලි' ටෙලි නාට්‍ය මාලාවේ තේමා ගීතය රචනය කර තිබෙන්නේ සෙව්වන්දි වික්‍රමසිංහ විසිනි. රදීෂ් වැන්දබෝනාගේ සංගීත නිර්මාණයට අනුව එය ගායනා කරනු ලබන්නේ නදීමාල් පෙරේරා විසිනි.

 

 

සුසුම් වලට හීන පොවන

තරු වලද එතී

හැඟුම් දහස් කතා කියයි

නුඹ ගැනම නිතී

රහස් එක්ක හිත අහුලන

ඇස් වලට එබී

හීන වලට පණ දෙනවද

නුඹ කවදා හරී

 

හාදු ඉහින දෙතොල් අතර

නවතින්න සිතී

කොතෙක් දුරක් වුවත්

සසරේ නුඹ එක්ක එමී

රෑට අහසේ රටා මවන

තරු අතර වැටී

හීන වලට පණ දෙනවද

නුඹ කවදා හරී

 

අහම්බයක් වගේ දැනුණ

කවි අතර මැවී

අතරමංද අහන්නෙපා

නුඹ දැනුණා මට වැඩී

හිමි වේ නම් බලාගනිමි

නුඹේ පහසේ මං රැදී

අහිමි වුණොත් දරාගනිමි

මේ ආදරේ හැටී

 

ඉන්දීය ටෙලි නාට්‍ය මාලාවක් වන 'ඉම්ලි' පසුගිය 2020 වසරේ නොවැම්බර් මස ස්ටාර් ප්ලස් ඔස්සේ මුල්වරට විකාශය විය. වේරා

රයිනා සහ සෝනක්ෂි ඛන්දවාල්ගේ තිරරචනයට අනුව එය අධ්‍යක්ෂණයට අතිෆ් ඛාන්, රාහුල් තිවාරි, අජේ කුමාර්, පවන් කුමාර් ජා එක් වී සිටිති. එය 'ඉෂ්ති කුටුම්' නම් බෙංගාලි ටෙලි කතා මාලාවේ ප්‍රතිනිර්මාණයකි. 'ඉෂ්ති කුටුම්' තෙළිඟු, මලයාලම්, දෙමළ, කණ්ණඩ භාෂාවලින්ද ප්‍රතිනිර්මාණය කර ඇත. හින්දි ප්‍රතිනිර්මාණයේ ඉම්ලිගේ චරිතයට පණ පොවන්නේ ඉන්දීය ටෙලි නිළියක වන සුම්බුල් තවුකීර් ඛාන්ය. මධ්‍ය ප්‍රදේශ් හි කට්නි හි මුස්ලිම් පවුලක උපත ලැබූ ඇයගේ පියා තවුකීර් හසන් ඛාන් රූපවාහිනී ක්ෂේත්‍රයේ නර්තන අධ්‍යක්ෂකවරයෙකි. සුම්බුල් නිළි ජීවිතය ආරම්භ කළේ 'ජෝධා අක්බාර්' කතා මාලාවෙනි. 2009 දී 'චන්ද්‍රගුප්ත මෞර්ය' කතා මාලාවෙන් පසු බොලිවුඩයට පිවිසියේ 'ආටිකල් 15' චිත්‍රපටයෙනි. ආදිත්‍ය කුමාර් ත්‍රිපාතිගේ චරිතයට පණ පොවනු ලබන්නේ ගෂ්මීර් මහජානි විසිනි. ඔහු ප්‍රවීණ මරාති චිත්‍රපට නළු රවීන්ද්‍ර මහාජානිගේ පුත්‍රයාය. නළුවෙක්, නර්තන ශිල්පියෙක් සහ නාට්‍ය අධ්‍යක්ෂවරයෙක් වන ගෂ්මීර් මරාති සිනමාවේ ජනප්‍රිය නළුවෙකි. මීට අමතරව ෆාමාන් ඛාන්, මයුරි දේශ්මුක්, රිතූ චෞද්‍රි, ප්‍රීත් කෞර් නායන්, කිරන් කෝජ් ඇතුළු පිරිසක් ද රංගනයෙන් දායක වී සිටිති.